KN ථෙරිගාථා අටුවාව RASSL.pdf
- කතෘ :
- ධම්මපාල හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1999
- පිටු ගණන :
- 302
- බාගත කිරීම් ගණන :
- 7,473
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්‍රමාණය :
- 51 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ථෙරිගාථාට්ඨ කථා (සිංහල පරිවර්තනය) යනු ඛුද්දක නිකායට අයත් ථේරිගාථා පාලි ග්‍රන්ථය සඳහා ආචරිය ධම්මපාල මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ‘පරමත්ථදීපනී’ නම් අටුවාවේ සිංහල අනුවාදයයි. මෙම කෘතිය ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ අනුග්‍රහයෙන් සහ බුද්ධශාසන අරමුදලේ අවසරය ඇතිව ආචාර්ය ජී. එස්. බී. සේනානායක මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද්දකි.
මෙහි බුදුන් වහන්සේගේ කාලයේ විවිධ සමාජ තලයන්ගෙන් පැමිණ සසුන්ගතව රහත්භාවයට පත් මෙහෙණින් වහන්සේලාගේ පූර්වාපර චරිතාපදාන, උදාන ගාථා සහ ඒවායේ අර්ථ විවරණ මනාව විස්තර කෙරේ. පුණ්ණා, පටාචාරා, අම්බපාලි, කුණ්ඩලකේසී, කිසාගෝතමී, යශෝධරා ආදී රහත් තෙරණියන්ගේ ජීවිත අත්දැකීම් සහ විමුක්ති සුවය පිළිබඳ විස්තර මෙහි අන්තර්ගතය.
ප්‍රස්තාවනාව (පළමු මුද්‍රණය)
පරමත්ථදීපනී නම්වූ මෙම කෘතිය භදන්ත ධම්මපාල හිමියන් විසින් ථෙරිගාථාවට කර තිබෙන අටුවාවය. ථෙරිගාථාව ඛුද්දකනිකායට අයත් පොත් පහළොවෙන් නවවැන්නය. එහෙත් මෙයට වඩා වෙනස් ක්‍රමයක් දීඝභාණකයන්ගේ වර්ගීකරණයට අනුව දැක්වෙන බව බුද්ධඝෝෂ ආචාර්යපාදයෝ සඳහන් කරති. ඒ අනුව දීඝභාණකයෝ ඛුද්දකනිකාය අභිධර්මපිටකයට ඇතුළත්කර එයට අයත් පොත් එකොළොසක් පෙන්වති. ඒ මෙසේය:
1. ජාතක 2. මහානිද්දෙස 3. චුල්ලනිද්දෙස 4. පටිසම්භිදාමග්ග 5. සුත්තනිපාත 6. ධම්මපද 7. උදාන 8. ඉතිවුත්තක 9. විමානවත්ථු 10. පේතවත්ථු 11. ථෙරිගාථා
මේ වර්ගීකරණයෙහි මහානිද්දෙසය හා චුල්ලනිද්දෙසය දෙකක් වශයෙන් ගෙන තිබෙන අතර ඛුද්දකපාඨ, ථෙරගාථා, අපදාන, බුද්ධවංස හා චරියාපිටක යන පොත් පහ ඉවත්කර තිබේ. නිද්දෙසපාළිය චුල්ල හා මහා යනුවෙන් ග්රන්ථ දෙකක් වශයෙන් ගැනීමට මෙන්ම ථෙරගාථාව ඉවත්කර ථෙරිගාථාව පමණක් ගැනීමට සාධාරණ හේතුවක් නොමැතිබව පෙනේ. දීඝ, මජ්ඣිම, සංයුක්ත හා අංගුත්තර යන නිකාය හතර සසීමිතව දක්වා, පසුකාලවල ධර්මවිනයානුකූලව ලියැවෙන ප්‍රාමාණික ග්රන්ථ කලින්කල ඇතුළත් කරගනු පිණිස ඛුද්දකනිකාය විවෘතව තැබීම මෙවැනි වාර්ගික වෙනස්කම්වලට හේතුවූබව කිවහැකිය. මේ අනුව, ග්රන්ථ පහළොවකින් සමන්විත ඛුද්දකනිකාය වඩාත් පරිපූර්ණවූවක් හැටියට සැලකිය හැකිය.
දක්ෂිණ භාරතයේ බදරතිත්ථ විහාරයේ විසූ ආචරිය ධම්මපාල හිමියෝ පසුකලක අනුරාධපුර මහා විහාරයෙහි ගණාචරිය යතිවරයෙක් වූහ. බුද්ධඝෝස තෙරණුවන් සමග සමකක්ෂයෙහිලා ගිණිය හැකි මුන්වහන්සේ පාලි අට්ඨකථා කිහිපයක් සම්පාදනය කළහ. ගන්ධවංසයට අනුව ධම්මපාල හිමියන් පහත සඳහන් පෙළපොත්වලට අටුවා සැපයූ බව සඳහන්වේ:
1. නෙත්තිප්පකරණ 2. ඉතිවුත්තක 3. උදාන 4. චරියාපිටක 5. ථෙරගාථා 6. ථෙරිගාථා 7. විමානවත්ථු 8. පේතවත්ථු
මේ හැර, විසුද්ධිමාර්ගයට ලියූ ටීකාවක්වන පරමත්ථමඤ්ජුසාවද, සෙසු නිකාය ග්රන්ථ සතරට හා ජාතකපාළියට ලියා තිබෙන ටීකා හැඳින්වෙන ලීනත්ථප්පකාසිනී (ලීනත්ථවණ්ණනා)යද ධම්මපාල හිමියන්ගේයයි සඳහන්වේ.
බුද්ධඝෝස හිමියන්ගේ මෙන්ම ධම්මපාල හිමියන්ගේද අටුවාවලට මූලාශ්රයවී තිබෙන්නේ හෙළඅටුවාවබව කිවහැකිය. මේ දෙනමගේම අර්ථකථා-ව්‍යාඛ්‍යාන ක්‍රමය සමසමව දක්නට ලැබේ. මේ දෙනමම ඇතැම් සංස්කෘත ප්‍රභවයන් සඟවා තබා පාලියෙහි ස්වාධීනත්වයක් පෙන්වීමට තැත්කර තිබෙන බව පෙනේ. මක්කලී යන පදය තේරුම් කිරීමේදී මාබලි (වැටෙන්ට එපා) යනුවෙන් නිතරනිතර මව විසින් කුඩා දරුවාට කියනලද හෙයින් පසුව ඔහු මක්කලි වූබව සුමංගල විලාසිනියෙහි දැක්වේ. එහෙත් මෙතෙම බුද්ධකාලයෙහි මෂ්කරින් නමැති ව්‍රතය අනුගමනය කළ හෙයින් ඔහු හඳුන්වනු ලැබූ මෂ්කරින් යන ශබ්දය පාලියට යාමේදී මක්කලී වීම ශබ්ද රීතියට සම්පූර්ණයෙන්ම එකඟය.
ධම්මපාල හිමියන් වැඩි වශයෙන් අටුවා ලියා තිබෙන්නේ ඛුද්දකනිකායට අයත් ග්‍රන්ථවලටය. ථෙර හා ථෙරිගාථා යන දෙකටම ලියා තිබෙන අටුවා හැඳින්වෙන්නේ පරමත්ථදීපනී යනුවෙන් එකම නමකිනි. බුදුන්වහන්සේගේ ජීවමාන කාලයෙහි යම්කිසි ප්‍රභූත්වයක් දැරූ තෙරවරුන් හා තෙරෙරියන් ආත්ම ප්‍රකාශන වශයෙන් හෝ උදාන වශයෙන් ප්‍රකාශකළ ගාථා මේ නම්වලින් හැඳින්වේ. එහෙත් ඕල්ඩන්බර්ග්ගේ අදහසට අනුව, ඇතැම් තෙරවරුන්ගේ හා තෙරෙරියන්ගේ ආඛ්‍යාන බුද්ධකාලයෙන් පසුව එකතුවී තිබෙනබවට සාධක එළිවිය හැකිය. ඒ අනුව මෙය අද පවත්නා තත්වයට පැමිණ තිබෙන්නේ තුන්වන සංගායනා සමයේදීබව පිළිගැනීමට සිදුවේ. ධම්මපාල හිමියන්ගේම ඇතැම් සටහන්වලින්ද මෙය සනාථවේ.
සමාජයේ විවිධ මට්ටම්වල විසූ කාන්තාවන් ගිහිගෙය අතහැර ගොස් බුදුන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන පැවිදිව රහත්බව ලබා එයින් ලද ආධ්‍යාත්මික වින්දනය ප්‍රකාශකර තිබෙන ගාථා සමූහයක එකතුවකි ථෙරිගාථා යනුවෙන් හැඳින්වෙනුයේ. මේ මෙහෙණන්ගේ පූර්වාපර චරිතකථාවලින් මෙම අටුවාව සමන්විත වේ. මේ කථා සියල්ලක්ම පාහේ එකම අච්චුවක නිපැයී තිබෙනබව දක්නට ලැබේ. හැම කථාවකම ඒකීයභාවය විනා විවිධත්වයක් කොහෙත්ම නැති තරම්ය. පෙර බුදුවරයෙකුගේ කාලයෙහි ප්‍රාර්ථනාව පිහිටුවා උන්වහන්සේගෙන් ලබාගත් විවරණ ඇතිව සියලු භවයන්හිදී පින්දහම්කර දෙව්මිනිස්ලෝවල සැරිසරමින් අපබුදුන්ගේ කාලයෙහි දඹදිව ඉපිද බණ අසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අවබෝධකරගෙන රහත්ඵලය ලබා පෙර විසූ කඳපිළිවෙළ ආවර්ජනය කරමින් ධර්මසංවේගය උපදවා කරනලද ආත්මප්රකාශන මේ කථාසැකිල්ලෙහි ආකාරයයි.
ව්යාජකාව්ය ස්වරූපයෙන් තොරව පරමාර්ථය ප්‍රකාශකිරීම් වශයෙන් කියා තිබෙන මේ ගාථාවල නිර්ව්‍යාජභාවය ඉස්මතුවී පෙනේ. ආකෘතිය හා අන්තර්ගතය වශයෙන් ළගන්නාසුලු ප්‍රකාශයන් තුළ අදාළ තෙරෙරියන්ගේ අහිංසකභාවය, විමුක්තිසුඛ වින්දනය, සරල දිවිපැවැත්මෙන් ලබන ආස්වාදය, භෞතික අපේක්ෂාවන්ගේ නිශ්ශාරභාවය හා බුදුන්වහන්සේට දක්වන පරම ගෞරවය පිළිබිඹුවී තිබේ. පළමුව ස්වකීය චරිතාපදානය බොහෝවිට සවිස්තරව කියා අවසානයේ උදාන ගාථාවකින් නිමකිරීම හැම වස්තුවකම පාහේ පොදුලක්ෂණයවී තිබේ. මා විසින් කෙලෙස් දවනලදී, බුදුන්ගේ අවවාදය ඉටු කළෙමි යනුවෙනි බොහෝ වස්තු අවසාන වන්නේ.
ථෙරිගාථාවට වඩා කාලීන සමාජයෙහි කාන්තාවන්ට ලැබී තිබුණු තත්වය විභූෂණය කරවන අනෙක් කෘතියක් බෞද්ධ සාහිත්‍යයෙහි තවත් ඇතැයි සිතිය නොහැකිය. එකම වර්ගයකට අයත් ථෙර ගාථාව හා ථෙරිගාථාව සංසන්දනාත්මකව බැලුවහොත් තෙරණියන්ගේ ප්‍රකාශවල පෞද්ගලික තත්වය ඉස්මතු වෙමින්, බාහිර අත්දැකීම් විවිධාකාරයෙන් ඇතුළත්වී තිබේ. එහෙයින් එය ජීවිතයේ ස්වභාවය පිළිබිඹු කරවන කැටපතක් වැනියයි කිව හැකිය. භික්ෂූන්ගේ භාෂණයන්ට වනාන්තර ගිරිදුර්ග ආදිය පිළිබඳව කමනීය වර්ණනයන් සමග හුදෙකලා අපිස් දිවිය නිවන්සුවය සමග මුසුකොට ලබන ලෝකෝත්තර වින්දනය ඇතුළත්වේ. නිවන්සුවය ලබාගනු පිණිස මනෝභාවනය, චෛතසික ඒකාග්‍රතාව මූලිකවන බව මේ දෙපිරිසේම සාධාරණ ධර්මයවී තිබේ. ලෝකධර්මයන්ගෙන් කම්පා නොවී, බාහිර අරමුණුවලින් සිත මුදවාගෙන එය සන්සුන් කරගැනීමට තැත්කරන භික්ෂුණියක් එයින් වළක්වාලීමට මාරයා පවා තැත්කර තිබෙන අයුරු ඇතැම් ආඛ්‍යානවලින් පැහැදිලිවේ.
මේ කාන්තාවෝ අත්‍යන්තයෙන්ම අහිංසකය. අව්‍යාජය. ඔවුහු ගිහිකල කළ වැරදි සියල්ල හෙළිකරති. එක්තරා භික්ෂුණියකට වේශ්යාවාදයෙන් චෝදනා කළ හෙයින් අවුරුදු දසදහසක් මුලුල්ලේ වේශ්‍යා වෘත්තියෙහි යෙදෙන්ට සිදුවූ බව අම්බපාලි තෙරණියෝ කියති. හිමපාත සමයෙහි අධික සීතලෙන් පෙළෙමින් හාමිපුතුන්ට බියෙන් දිය අදින්නට සිදුවූබව පුණ්ණා තෙරණිය කියයි. දරුණු සොරුෙකුට හසුවී මරණයෙන් බේරී බුදුන් වෙත පැමිණ පරම සුවය ලබාගත්බව කුණ්ඩලකේසා තෙරණිය කියයි. සැමියා විසින් පසේබුදුවරයෙකුට පාත්‍රය පුරවා දන් දෙනු දැක එය උදුරාගෙන මඩ පුරවා දී නැවතද එය ගෙන ආහාර පුරවා දීමේ විපාක වශයෙන් කල්ප ගණනක් පුරා නිරයේ පැසී පසුව බුදුන් වෙත පැමිණ නිවන්සුවය ලබාගත් අයුරු භද්දාකාපිලානී තෙරණිය කියයි. දරුවන් දෙදෙනා, සැමියා, දෙමාපියන් එකවර නැතිවීමෙන් උමතුවෙන් බුදුන් කරා පැමිණ අමාසුවය ලබාගත් අයුරු පටාචාරා මෙහෙණිය කියයි. ගෙයින් ගෙට සිඟායාමෙන් කසිර දිවිපෙවෙතක් ගතකළ තැනැත්තියක් පටාචාරා තෙරණියගේ අනුග්‍රහයෙන් අමාමිහිර ලබාගෙන ඇත. සැණකෙළි කෙළිමින් ඔකඳවෙමින් සිටි ශාක්යකුමාරිකාවක් බුදුන්ගෙන් බණ අසා නිවන්සුවයෙන් ඔකඳවූ අයුරු තව පුවතකින් කියවේ. භවභෝග ධනධාන්‍ය ආදී සියලු සම්පත් දෙන බවට පොරොන්දු වෙමින් විවාහජීවිතයට පෙළඹවීමට තැත්කරනු ලැබූ තරුණියක් ඒ සියල්ල හැරදමා ගොස් පැවිදිවී රහත්බව ලබාගත් අයුරු අනෙක් පුවතකින් හෙළිවේ. ඇතැම් වස්තුවක් මුවගට සිනහ නංවන අයුරින් පැවසී තිබේ. මුත්තා තෙරණියගේ කථාව එවැන්නකි. ඇය තුන්කුදයෙන් මිදී සදාකාලික සුවය ලබාගත්බව එයින් කියවේ. වංගෙඩිය, මෝල්ගහ හා කුදුසැමියා මෙහි තුන්කුදය හැටියට හැඳින්වේ.
අඩ්ඪකාසී තෙරණියගේ කතාපුවත බෙහෙවින් වෙනස්වූවකි. බුදුන්වහන්සේගෙන් උපසම්පදාව ලබාගනු පිණිස එහි යාමට පිටත්වූ ඇයට තමා අල්වාගැනීමට ධූර්තයන් රැසක් මග රැඳී සිටිනබව දැනගන්ට ලැබිණි. ඕ ඒබව බුදුන්ට දන්වා යැවුවාය. උන්වහන්සේ දූතමෙහෙණක ඇය වෙත යවා ඇයගේ මගින් උපසම්පදාව ලබාගැනීමට සැලැස්වූහ. අනුජානාමි භික්ඛවෙ දූතෙනපි උපසම්පාදෙතුං යන ශික්ෂා පදය පැනවූයේ මෙහිදීය.
භික්ෂුණීන්ගේ චරිතකථා එකම ආරකට සකස්වී තිබෙනබව ඉහත සඳහන් කළෙමි. මේ අයගෙන් වැඩිදෙනෙක් පෙර බුදුවරයෙකුගේ කාලයෙහි යම්කිසි මෙහෙණක් අග්රතනතුරකට පත්කරනු දැක ඔවුහුද අනාගතයේදී ඒ තනතුර ලබාගනු පිණිස ප්රාර්ථනාකර පින්දහම් කළහ. සසර දුකින් මිදීමක් ගැන ඔවුන් තුළ අභිප්‍රාවක් නොතිබුණු තරම්ය. ඇතැම් තෙරණියක් භවගති වශයෙන් දෙව්ලොව උපන් අයුරු පෙන්වන්නේ එක ගෙයකින් අනෙක් ගෙයකට යන්නාක් මෙනි. මිනිස් ලොවින් චුතවූ මම තව්තිසාවට ගියෙමි, එයින් පසු යාමයට ගියෙමි, ඉක්බිති තුසිතයට ගියෙමි, එයින් නිම්මාණරතියට ගියෙමි. එය අත්හැර වසවත්ති පුරයට ගියෙමි. ආදී වශයෙනි. පින්මහිමය නිසා විවිධ පුද්ගලයන්ගේ බිරිඳවීමට හැකිවූබව ඇතැම් මෙහෙණියක් කියයි. ඒ පින්කම හේතුකොටගෙන මම දෙවිවරුන් තිස්හය දෙනෙකුගේද සක්විත්තන් පණස් දෙනෙකුගේද බිරිඳ වීමි. මෙය විශේෂ ලාභයක් හැටියට සඳහන් කරති. ස්ත්‍රීත්වය දුකකි. එයිනුත් සපත්තියකවීම අධිකතර දුකකි යනුවෙන් අනෙක් මෙහෙණක් ස්ත්රීලාභය ගැන කලකිරෙයි.
ඛේමා තෙරණියගේ වස්තුවෙහි දැක්වෙන
කුසලානං විසුද්ධීසු කථාවත්ථුවිසාරදා අභිධම්මෙ නයඤ්ඤූච වසි පත්තම්හි සාසනෙ
(විශුද්ධි ධර්මයෙහි දක්ෂවෙමි, කථාවත්ථුවෙහි දක්ෂවෙමි, අභිධර්මක්රමය දනිමි, සසුනෙහි වසඟවෙමි. 136 පිට)
යන ප්‍රකාශය විමසීමට යොමුවිය යුතුය. මෙහි දැක්වෙන විශුද්ධිධර්මය බුද්ධඝෝස මහා ස්වාමීන්ගේ විසුද්ධිමාර්ගයටත්, කථාවත්ථුව මොග්ගලී පුත්ත තිස්ස රහතන්වහන්සේගේ කථාවත්ථුවටත් අභිධර්මක්රමය තුන්වන සංගායනාවේදී පරිසමාප්තියට පැමිණි අභිධර්මපිටකයටත් තුඩුදේ නම් එය බුද්ධකාලීන ඛේමා තෙරණිය විසින් ප්‍රකාශකරන ලද්දැකැයි පිළිගැනීමට කාලවිෂමතාව ඉඩ නොදෙයි. මේ ප්‍රකාශය සඳහන්වන්නේ අටුවාවෙහි විනා පෙළෙහි නොවේ.
අට්ඨකථාචාරිය භදන්ත ධම්මපාල තෙරණුවන්ගේ කාලය වනවිට මේ ධර්මපර්යායයන් සම්පූර්ණවී තිබුණු හෙයිනුත් බුද්ධ ධර්මයෙහි වැදගත් කොටසකට අයත්ව තිබුණු හෙයිනුත් මෙය ඇයගේම ප්‍රකාශයක් හැටියට සඳහන්වෙන්ට ඇද්ද යනු විමසා බැලීම ප්රයෝජනවත්ය. ධම්මපාල හිමියන් මෙය ඇතුළත් කරන්නේ අපදානපාළියෙහි සඳහන්වන අයුරිනි. අපදානපාලිය වූකලී ඛුද්දකනිකායට අයත් අවසාන කෘතියකි. එහෙයින් එය සකස්වී තිබෙන්නේ තුන්වන සංගායනාවටත් පසුව බව විද්වතුන්ගේ අදහසය. එහෙත් ඛේමා තෙරණිය උත්තමපුරුෂයෙන් කරන මේ ප්‍රකාශය කෙසේ අපදානයෙහි හෝ පරමත්ථදීපනියෙහි ඇතුළත් වීදැයි සොයා බැලීම වැදගත් වේ.
ථෙරථෙරීගාථාවල දක්නට ලැබෙන භාවාවේගය හා සුන්දරත්වය අතින් බලනවිට ඍග්වේද ගීතාවලියේ සිට කාලිදාසගේ හා අමරුගේ භාවගීත අබිබවා යන භාරතීය කාව්යක්ෂේත්රයෙහි ශ්‍රේෂ්ඨ නිර්මාණබවට සැකයක් නැත යනුවෙන් වින්ටර්නිට්ස් කියයි. මේ ගීත සරලය, යථාර්ථවාදීය, ආකස්මිකය, හදපතුලෙන් ගලා එන වාග්ප්රවාහයෝය. ඒවා ලකුණුවී තිබෙන්නේ නිර්ව්‍යාජත්වයෙන් හා ආනුභවික සත්‍යයෙනි. භාරතීය කාන්තාවට එකල හිමිවී තිබුණු සමාජ තත්වය මෙයට වඩා අන් කිසිම ප්‍රභවයකින් ලැබෙතැයි කිව නොහැකිය. භික්ෂුණී ශාසනයෙහි ප්රවර්තිකාවවූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගේ ආඛ්‍යානය පමණක්වුවද මෙහිලා සාධක වශයෙන් ප්‍රමාණවත්වේ. ඕතොමෝ පිරිනිවන් පෑමට සූදානමින් සිටිනබව බුදුන්වහන්සේ ඇතුළු සෙසු භික්ෂුභික්ෂුණීන්ට දැනුම් දුන්නාය. ආනන්දහිමියෝ වැළපෙන්ට පටන්ගත්හ. එය දුටු ගෝතමී තෙරණියෝ ‘දරුව, සතුටුවියයුතු කාලය පැමිණ ඇති කල්හි ශෝකකිරීම නුසුදුසුය. දරුව, මා යන්නේ නිවණටය, පුත, දුක් නොවන්න. ඔබේ වෑයම සපලවනු ඒකාන්තය’ යනුවෙන් සැනසූහ. ගෝතමී රහත් තෙරණිය ආදාහන කරනලැබූ ස්ථානයට දෙවිබඹුන් හා ශ්රාවකශ්රාවිකාවන් පිරිවරා බුදුන්වහන්සේද වැඩියහ. අවසානයේ ඇයගේ ගුණසන්දෝහය ප්රකාශවන අයුරින් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මදේශනාවක් කළහ.
ආචාර්ය ධම්මපාල හිමියන් මේ කෘතියෙහි පාලියෙහි වැඩිවශයෙන් භාවිත නොවන පද කිහිපයක් යොදා තිබේ. සච්ච බ්‍රාහ්මණ, භස්සර (-පභස්සර), ආහාරිමෙනරූපෙන, රණකරා, කීරියො (කීදිසො?) වච්චං දෙසෙසං අපසිරීතුමං උක්කුසො, පයන්තෙන, විබිභොගා, වච්ඡලා, පරික්ලෙස, අනුත්වා, පරම අවඤ්ඤතං, අනුභවිතං ආදිය එයින් කිහිපයකි. බාගද හෙළටුවා පාලියට නැගීමේදී ඇතැම් වචන අලුතෙන් සාදා ගැනීමටද සිදුවෙන්ට ඇත. එහෙයින් සම්මත වියරණයට අනුගත නොවීමට නොවැළැක්විය හැකිය.
724 පන්සල පාර, කොහොල්විල, කැලණිය. 1999 ජනවාරි 25.
724 පන්සල පාර,
කොහොල්විල,
කැලණිය.
1999 ජනවාරි 25.