රසවාහිනී ජම්බුදීපුප්පත්ති කථා - රන්ජිත් වනරතන.pdf

කතෘ :
රන්ජිත් වනරත්න
ප්‍රකාශිත වර්ෂය :
1993
මුද්‍රිත වර්ෂය :
1993
පිටු ගණන :
126
බාගත කිරීම් ගණන :
3,878
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-12-10
ගොනුවේ ප්‍රමාණය :
39 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 64

වේදේහ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත රසවාහිනී ග්‍රන්ථයේ පළමු වර්ගය වන ජම්බුදීපුප්පත්ති කථාවෙහි ඇතුළත් ධම්මසොණ්ඩක වග්ගය සඳහා පණ්ඩිත රන්ජිත් වනරත්න මහතා විසින් සම්පාදිත පාලි පෙළ, පදගථාර්ථ සහ සිංහල අනුවාදය මෙම කෘතියෙහි අන්තර්ගත වේ.

පිරිවෙන් හා දහම් පාසල් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කර ඇති මෙම ග්‍රන්ථයෙහි ධම්මසොණ්ඩක වත්ථු, මිගලුද්දක වත්ථු ආදී කථා වස්තු දහයක පාලි පෙළ, විස්තරාත්මක පදගථාර්ථ සන්නය සහ සරල සිංහල අනුවාදය පරිච්ඡේද වශයෙන් ඇතුළත් කර තිබේ.

  • ධම්මසොණ්ඩක වත්ථු
  • මිගලුද්දක වත්ථු
  • තිණ්ණං ජනානං වත්ථු
  • බුද්ධෙනියා වත්ථු
  • අහිගුණ්ඨිකස්ස වත්ථු
  • සරණත්ථෙරස්ස වත්ථු
  • වෙස්සාමිත්තාය වත්ථු
  • මහාමන්ධාතු වත්ථු
  • බුද්ධවම්ම වාණිජකස්ස වත්ථු
  • රූපදේවියා වත්ථු
  • පදගථාර්ථ සන්නය
  • සිංහල අනුවාදය

මෙම කෘතිය 1993 වසරේදී කොළඹ සමයවර්ධන මුද්‍රණාලයාධිපති ආරියදාස වීරමන් මහතා විසින් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.

ප්‍රස්තාවනාව

දඹදෙණි යුගය උදාවෙත්ම පාලි සාහිත්‍යයේ නවෝදයක් ඇති විය. විවිධ කරුණු ඔස්සේ විවිධ සාහිත්‍යික ග්‍රන්ථ නිපැයීමෙන් එය වඩාත් වර්ධනය විය. සිංහල, පාලි ග්‍රන්ථ නව මුහුණුවරක් දෙමින් බිහි වූයේ දඹදෙණි යුගයෙහිය. සමහරක් නැවත සංස්කරණය කළ අතර සමහරක් අමුතුවෙන්ම නිපැදවූහ. පාලි සාහිත්‍ය ග්‍රන්ථ නිපදවීමේ වැඩි ගෞරවය ලාංකෙය භික්‍ෂූන් වහන්සේ සතුවේති. මුලදී “පාලි” යන්න බුද්ධ ධර්මය හැඳින්වීමට භාවිත වුවද, පසුව එය පාලියේ ගැටලු තැන් විසඳීමට විස්තෘතව අටුවා ටීකා ආදියෙන් වැඩි භාෂාවක් වශයෙන් සංවර්ධනය විය. අනතුරුව වංශ කථා, චරිත කතා ආදිය නිසා පාලි භාෂා සාහිත්‍යය වඩාත් දියුණු විය. ථෙරවාදී බෞද්ධ සාහිත්‍යය දියුණු වීමට පාලි භාෂාව උපකාර විය. මහායානිකයන් සංස්කෘත භාෂාව මාධ්‍යය කරගෙන බුද්ධ ධර්මය විචාරයට ලක් කළ අතර, ථෙරවාදීහු එයට පහර ගසමින් බුද්ධභාෂිත හුදු පාලි භාෂාවෙන්ම දේශිත යයි කියමින් පාලි භාෂාවෙන්ම බෞද්ධ සාහිත්‍යය දියුණු කළහ.

ලංකා සාහිත්‍ය ඉතිහාසයේ පොළොන්නරු යුගය වන විට සංස්කෘතය තදින් පැතිරී ගිය බව පිළිගැනේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ සංස්කෘත භාෂාවෙන් ලද ආභාසය නිසා පාලි සාහිත්‍ය සංවර්ධනයට එය උපකාර කරගත් බැව් පශ්චාත් කාලීන පාලි ග්‍රන්ථ සමීක්‍ෂණයෙන් එය පැහැදිලි වේ. දඹදෙණි යුගය වන විට ද එය බලපා ඇති අයුරු එම යුගයෙහිම රචිත ථූපවංශ, රසවාහිනී ආදී ග්‍රන්ථයන්ගෙන් පැහැදිලි වේ.

මෙහිදී අපේ විචාරයට ලක්වනුයේ “රසවාහිනී” යයි. රසවාහිනිය වංශ කතා ගණයට මෙන්ම මහාර්ෂි ධර්ම ග්‍රන්ථයක් වශයෙන් ද, චරිත කතා සංග්‍රහයක් වශයෙන් ද ගිණිය හැකි චම්පු කාව්‍යයකි. මෙහි සඳහන් කතා බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ඇති වූ සිද්ධීන් වශයෙන් සැලකේ.

රසවාහිනිය ලිවීමට ද සිංහල කතා පොතක් උපකාර වූ බැව් එහිම මෙසේ සඳහන් වේ.

“තත්ථ තත්ථුප්පන්නානි - වත්ථූනි අරහා පුරෙ අහාසුං දීප භාසාය ඨපෙසුංතං පුරාතනා

මහා විහාරෙ තච්ඡුත්ත වංක පරිවෙණ වාසිකො රට්ඨපාලො’ති නාමෙන - සීලාචාර ගුණාකරො හිතාය පරිවත්තෙසි - පජානං පාලි භාසතො පුනරුත්තාදි දොසෙහි - තමාසි සබ්බමාකුලං අනාකුලං කරිස්සාමි - තං සුණාථ සමාහිතා”

මුලදී සිංහල බසින් තිබූ පොත මහා විහාරයෙහි තච්ඡුත්තවංක පිරිවෙන් වැසි රට්ඨපාල හිමිතුමන් විසින් පාලියට නැගූ බවත්, එයද පුනරුක්තාදි දෝෂයන්ගෙන් ගහණ නිසා මේ රසවාහිනිය යථෝක්ත දෝෂයන්ගෙන් පහකොට කළ බවත් සඳහන් වේ. එයින් මේ කෘතිය නිතරම වේදෙහ හිමියන්ගේ නිෂ්පාදනයක් හැටියට දැක්විය නොහේ.

රසවාහිනි කතුවරයා වේදෙහ හිමිතුමන්ය. ඒ බව ග්‍රන්ථාවසානයෙහි දැක්වෙන කර්තෘ නාම සංදර්ශනයෙහි මෙසේ එයි:

කාලිඞ්ගව්හො මහාථෙරො - යස්සො පජ්ඣායතං ගතො මඞ්ගලව්හො මහාථෙරො - ඛණ්ඩසීමාපති යතී

යස්ස ආචරියො ආසි - සබ්බසත්ථ විසාරදො අරඤ්ඤායතනානන්ද - මහථෙරො මහා ගණී.

ගරුත්තමාගතො යස්ස - සත්ථසාගර පාරගූ යො විජ්ජාගාම වංසෙ’ක - කෙතුභූතො ති සීහලෙ

යෝ ’කා සීහල භාසාය - සීහලං සද්දලක්ඛණං යො ච සමන්ත කූටස්ස - වණ්ණනං වණ්ණයී සුභං තෙන වේදෙහ ථෙරෙන කතා යං රසවාහිනී”

කාලිඞ්ග නම් මහතෙර නම යමෙකුගේ උපාධ්‍යාය භාවයට පත්වීද, ඛණ්ඩසීමාපති වූ සියලු ශාස්ත්‍රයන්හි විශාරද මංගල මහතෙර යමෙකුගේ කර්මාචාර්‍ය්‍ය වීද, මහ පිරිස් ඇති, ශාස්ත්‍ර සාගර පාරගත වූ ආනන්ද වනරතන ස්ථවිරතුමා යමෙකුගේ ආචාර්‍ය්‍ය වීද, යම් තෙර නමක් ශ්‍රී සිංහලයෙහි විජ්ජා ගාම වංශයට එකම ධ්වජයක් වැනි වීද, යමෙක් සිංහල බසින් එම භාෂාවේ ව්‍යාකරණයක් ලිවේද, යමෙක් “සමන්තකූට වණ්ණනා” නැමැති ග්‍රන්ථය සම්පාදනය කෙළේද, ඒ වේදෙහ තෙරුන් විසින් මේ “රසවාහිනී” ය කරන ලදී.

රසවාහිනිය ලියූ වේදෙහ හිමිත්, සිදත් සඟරාව ලියූ පතිරාජ පිරුවන්පති හිමිත්, එකෙකු සේ සලකත් නම්, මුන්වහන්සේගේ ජීවන සමය දඹදෙණි යුගයෙහි රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයට සම්බන්ධ වේ. මෙකල්හි විසූහ යි යන මතය බහු සම්භාවිත මතය සේ සැලකේ.

රසවාහිනිය ප්‍රමාණ වශයෙන් බණවර තිස් දෙකකි. පෙර තෙරුන් වහන්සේලා විසින් කියන ලද කථාවස්තු මෙහි ඇතුළත්ය. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව හටගත් කථා වස්තු දක්වන කොටස හා ලංකාවේ හටගත් කථා වස්තු දක්වන කොටසත් වශයෙනි. දඹදිව කථා වස්තු සතළිසකි. එහි ගාථා 657 කි. ලක්දිව කථා හැට තුනකි. එහි ගාථා 1076 කි. එයින් මෙහි ඇතුළත් වන්නේ දඹදිව උපන් කතා කොටසට අයත් ධම්මසොණ්ඩකවග්ගය පිළිබඳ වූ විස්තරය ප්‍රධාන කොට ඇති පළමුවන වර්ගයයි.

රසවාහිනිය කතා මාර්ගයෙන් බුද්ධ ධර්මය ප්‍රකාශයට ගත් මාර්ගයකි. එය විවිධ කරුණු ඔස්සේ ගමන් කරයි. ඉතිහාසය, චරිත කථා, දහම් ක්‍රම ආදිය උපයෝගී කරගෙන රචනා කර ඇත. රසවාහිනී කථා විලාසය නොබිඳී ගලා යන ගංගාවක් සේ පාඨකයා තුළ රස දනවමින් කථාව ගෙන යයි. මෙහි සරල පාලි භාෂා රීතිය අනුගමනය කර ඇත. එහෙත් සමහර තන්හිදී කාව්‍යමය රචනා විලාසයක් ද දක්නා ලැබේ. මෙය රචනයෙහිදී සංස්කෘත රචනා ශෛලිය අනුගමනය කිරීම එයට හේතු වී ඇත. අනුප්‍රාස, අලංකාර හිතා මතා යොදා ඇත. මේ නිසා සරල ශෛලිය ගිලිහී ගිය තැන් ද දක්නා ලැබේ. පාලි ග්‍රන්ථ කර්තෘවරුන් බොහෝ දෙනෙකු අනුගමනය කළ ක්‍රමයක් නම් සිංහල සංඥානාම පාලි කිරීමයි. එනිසා තත් ග්‍රාම නාමාදිය විකෘත වී ඇත. මෙහිද එය දක්නා ලැබේ.

මෙලොව හා පරලොව පිළිබඳ හැඟීමත්, පව් පින්වල විපාකයන් මැනවින් දත් සමාජයක් එදා වූ බව පැහැදිලි වන අතර, රා බීම, ස්ත්‍රීන්ගේ කාමාශක්ත භාවාදිය ගැන ද සඳහන් වේ. මෙසේ සමාජයේ විවිධ අවස්ථා මෙහි දැක්ක හැකිය.

රසවාහිනිය නොනවත්වා කියවිය හැකි රසවත් නිබන්ධයක් වන අතර එදා සමාජ තත්ත්වය දැන ගැනීමට මහඟු උපකාරයක් ද වේ.

මෙම පොත මුද්‍රණය කිරීමේ, ප්‍රකාශ කිරීමේ හා පොතේ අයිතිය භාරගත් කොළඹ මාළිගාකන්ද පාරේ අංක 53 දරණ ස්ථානයෙහි පිහිටි සමයවර්ධන මුද්‍රණාලයාධිපති අප හිතවත් ආරියදාස වීරමන් මහතා මෙය මුද්‍රණය කරවීමෙන් කළ සාහිත්‍ය සේවය අගයමින් මෙහිලා කෘතඥතා පූර්වකව සඳහන් කරම්හ.

මෙම ව්‍යාඛ්‍යාව මනා සැලකිල්ලෙන් යුතුව මුද්‍රණ කටයුතු කළ කාර්මික මහතුන්ට ද මගේ අවංක ස්තූතිය පුදවේ.

මෙයට ශාස්ත්‍රෝන්නතිකමි
රන්ජිත් වනරත්න.
1993.10.01
“වනමල්”
ඉරට්ටකුලම
මාදම්පෙ. (වයඹ)