සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය - ශබ්දකෝෂ සම්පාදන ආයතනය 2018.pdf

කතෘ :
ශබ්දකෝෂ සම්පාදන ආයතනය
ප්‍රකාශිත වර්ෂය :
2018
පිටු ගණන :
43
බාගත කිරීම් ගණන :
20,889
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-05-25
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 22

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය යනු සිංහල භාෂා ලේඛනයේ දී නිවැරදි අක්ෂර වින්‍යාස රීති සහ සම්ප්‍රදායයන් විමසා බැලෙන මාර්ගෝපදේශ සංග්‍රහයකි. ශුද්ධ සිංහල හෝඩිය හා මිශ්‍ර සිංහල හෝඩිය විග්‍රහ කරමින් ආරම්භ වන මෙම කෘතිය, භාෂාවේ නිරවද්‍ය ලිඛිත ව්‍යවහාරය සඳහා අනුගමනය කළ යුතු විධික්‍රම විස්තර කරයි.

මෙහි මූලික වශයෙන් සංස්කෘත, පාලි, දෙමළ, ඉංග්‍රීසි ආදී භාෂාවලින් සිංහලයට පැමිණි තත්සම සහ තද්භව වචන ලිවීමේ දී න-ණ, ල-ළ, ශ-ෂ-ස ආදී අක්ෂර භාවිතය පිළිබඳ නීති රීති උදාහරණ සහිතව පැහැදිලි කර ඇත.

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය

සිංහල භාෂාවේ ශුද්ධ සිංහල හෝඩිය හෙවත් අමිශ්‍ර සිංහල හෝඩිය සහ නූතන සිංහල හෝඩිය වශයෙන් අක්ෂර මාලා දෙකක් ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.

ශුද්ධ සිංහල හෝඩිය අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව ස හ ළ (අ)ං

මෙම ස්වර හා ව්‍යඤ්ජන භාවිතයෙන් ලිවිය හැකි සිංහල නිෂ්පන්න වචන හා මාතෘ භාෂාවලින් තද්භව වශයෙන් ගත් වචන ශුද්ධ සිංහලයට අයත් වේ.

පාලි සංස්කෘත භාෂාවලින් තද්භව වශයෙන් සිංහලට ආ වචන ලිවීමේ දී ණ-න හා ල - ළ අක්ෂර භාවිතය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු රීති සමුදායක් ඇත.

වර්තමානයෙහි සිංහල භාෂාව ලිවීම සඳහා භාවිත වන අක්ෂර මාලාව නූතන සිංහල හෝඩිය නමින් හැඳින්වේ. එය, ශුද්ධ සිංහල හෝඩියට අයත් ස්වර හා ව්‍යඤ්ජන අක්ෂරවලට අමතර ව, පාලි හා සංස්කෘත තත්සම ශබ්ද මෙන් ම දෙමළ, ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි ඇතුළු වෙනත් භාෂාවලින් සිංහල භාෂාවට ආ වචන ලිවීමට ප්‍රමාණවත් ශබ්ද සංකේතවලින් යුක්ත වේ.

මිශ්‍ර සිංහල හෝඩිය අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ ඐ එ ඒ ඓ ඔ ඕ ඖ (අ)ං (අ)ඃ ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ව ශ ෂ ස හ ළ ෆ

මෙම හෝඩිය භාවිතයෙන් සිංහල භාෂාව ලේඛනයේ දී නිරවද්‍ය අක්ෂර වින්‍යාසය යෙදීම තරමක් සංකීර්ණ කාර්යයකි.

දන්තජ න - ල හා මූර්ධජ ණ - ළ අක්ෂර මෙන් ම ක - ඛ, ග - ඝ, ච - ඡ, ජ - ඣ, ට - ඨ, ඩ - ඪ, ත - ථ, ද - ධ, ප - ඵ, බ - භ යන අල්පප්‍රාණ හා මහාප්‍රාණ අක්ෂර ද තාලුජ ශ මූර්ධජ ෂ හා දන්තජ ස අක්ෂර ද අනුනාසිකය අක්ෂර ද ප්‍රත්‍යය ද වචනයක යෙදෙන ආකාරය පිළිබඳ වූ රීතීන් හා සම්ප්‍රදායයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඊට අමතර ව භාෂාවේ අක්ෂර වර්ග කර ඇති ආකාරය, වචනවල නිරුක්ති, පද සාධනය, අක්ෂරවල නිවැරදි රූප, පිලි හා වෙනත් සංකේත ශබ්ද භාවිතය, වචනවල විකල්ප භාවිත මෙන් ම විද්වත් ව්‍යවහාරයන් ආදි විවිධ කරුණු පිළිබඳ ව ඇති දැනුම ද නිවැරදි අක්ෂර වින්‍යාසය සකස් කර ගැනීමේහි ලා ඉවහල් වේ.

සිංහලයෙහි භාවිත තද්භව වචනවල අක්ෂර වින්‍යාසය, දීර්ඝ කාලයක් තිස්සේ ඇති වූ භාෂා පරිණාමීය තත්ත්වයන් අනුව සකස් වී ඇත. මූල භාෂා ලෙස සැලකෙන සංස්කෘත හා පාලි භාෂාවලින් ගත් වචන බොහෝ ප්‍රමාණයක් තත්සම වශයෙන් ම සිංහලයෙහි භාවිත වේ. එසේ තත්සම වචන ගැනීමේ දී සංස්කෘත භාෂාවට මූලිකත්වය ලැබී තිබේ. එම භාෂාවල එන වචන තද්භව වශයෙන් සිංහලයට බිඳ ගැනීමේ දී න - ණ, ල - ළ භාවිතය සම්බන්ධයෙන් වඩා සමීප මූලාශ්‍රය වී ඇත්තේ පාලි භාෂාවයි. කෙසේ වුවත්, මූලභාෂාගත වචන සිංහලයට ගැනීමේ දී අනුගමනය කෙරෙන විවිධ රීති සමුදායක් වේ.

දෙමළ භාෂාවෙන් සිංහලයට ගත් වචනවල අක්ෂර වින්‍යාසය සකස් කර ගැනීමේ දී තරමක් ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. ඉංග්‍රීසි, පෘතුගීසි හා ලන්දේසි ඇතුළු අනෙකුත් භාෂාවලින් සිංහල භාෂාවට වචන බිඳ ගැනීමේ දී සංකීර්ණ නොවූ අක්ෂර වින්‍යාස සම්ප්‍රදායක් භාවිත කෙරේ.

වර්තමානයෙහි සිංහල භාෂාව ලේඛනයේ දී වචනවල නිරවද්‍ය අක්ෂර වින්‍යාසය සකස් කර ගැනීමෙහි ලා අනුගමනය කෙරෙන රීති හා සම්ප්‍රදායයන් පිළිබඳ කෙටි විමර්ශනයක් පහත සඳහන් වේ.