විමලාර්ත්ථවාහිනී මජ්ඣිම නිකාය ව්‍යාඛ්‍යාව පාලි සිංහල.pdf

කතෘ :
කොත්මලේ ධම්මානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1927
මුද්‍රිත වර්ෂය :
1927
පිටු ගණන :
945
බාගත කිරීම් ගණන :
1,260
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
138 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 473

විමලාත්ථ වාහිනී නම්වු මධ්‍යම නිකායාත්ථ ව්‍යාඛ්‍යාව යනු මජ්ඣිම නිකායේ සූත්‍ර ධර්මයන් සඳහා සිංහල භාෂාවෙන් සම්පාදිත සවිස්තරාත්මක අර්ථ ව්‍යාඛ්‍යානයකි. මෙය කොත්මලේ වටද්දර ඥානොදය පරිවෙණාධිපති පණ්ඩිත කොත්මලේ කේ. ශ්‍රී ධම්මකීත්ති ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් බුද්ධඝෝෂ හිමියන්ගේ ප්‍රපඤ්චසූදනී අටුවාව ඇසුරු කරගනිමින් රචනා කර ඇත.

මෙම ප්‍රථම භාගය මූලපණ්ණාසකයේ මුල් සූත්‍ර විස්තර ඇතුළත් වන අතර පාලි පෙළ සහ පදාර්ථ, අර්ථ විවරණ මෙන්ම අදාළ නිරුක්ති සහ ධර්ම කරුණු පැහැදිලි කර දී තිබේ. පොතෙහි අගට සූත්‍රවල සඳහන් ස්ථාන නාම හා පුද්ගල නාම ඇතුළත් සවිස්තර නාමාවලියක් (Index) ද එක්කර ඇත.

හෝමාගම විද්‍යාදීප්‍රකාශ යන්ත්‍රාලයේදී දොන් එලාමිස් වික්‍රමසිංහ මහතා විසින් මුද්‍රණය කරවා බු.ව. 2466 (ක්‍රි.ව. 1927) දී ප්‍රකාශයට පත් කර ඇති මෙම කෘතිය, ත්‍රිපිටක සූත්‍ර අධ්‍යයනයෙහි යෙදෙන ධර්මකාමීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් අගනා පැරණි සිංහල සන්න ග්‍රන්ථයකි.

විඥාපනය.

විවිධ මොහාන්ධකාර විධ්වංසනය කොට ශ්‍රී සද්ධර්මාලෝකයෙන් සකලලෝකය එකාලෝක කිරීමෙන් සහස්‍ර රශ්මීන්ට සහස්‍රගුණයෙන් අධික ප්‍රභාවත්වූ ශ්‍රී ඝන සුගත තථාගත ශාසන රත්නය ශොභාමානව පවත්නාතෙක්ම බෞද්ධ ලෝකයාගේ සම්‍යක් ප්‍රතිපත්තිය පවත්නේ වෙයි. එසේ යහපත් ප්‍රතිපත්තිය පවත්නාතුරුම ජිනශාසනයත් මනාව රැඳීසිටියි. ශාසනාධාර සුප්‍රතිපත්තියද පර්‍ය්‍යාප්තිය මුල්කොට ඇත්තේමැයි. පර්‍ය්‍යාප්තිය ප්‍රගුණ කොට එයින් ප්‍රඥාතව්‍ය භාවිතව්‍ය ධර්මයන් දැන ධර්මානුධර්මප්‍රතිපදාවෙහි යෙදී නිර්‍වාණධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට පර්‍ය්‍යාප්තිඥානයම මෙසේ මුල්වන්නේයයි දත යුතුයි, පර්‍ය්‍යාප්තිඥානයට යථාර්‍ථාවබොධය පරමොපකාරීය. අර්‍ථාවබොධයක් නැත්තේනම් එය ශාසන විලොපයකි. යථාර්‍ථාවබොධය ශාසනාභිවෘද්ධියෙකි. ඒ බැව් ශ්‍රීමුඛ පාලියෙහි මෙසේ සඳහන් වේ;

“පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ භික්ඛවෙ භික්ඛූ සක්කච්චං ධම්මං සුණන්ති. සක්කච්චං ධම්මං පරියාපුණන්ති. සක්කච්චං ධම්මං ධාරෙන්ති. සක්කච්චං ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති. සක්කච්චං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති. ඉමෙ ඛො—ප—

ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ධර්මය ප්‍රගුණ කිරීම වාචොද්ගත කිරීමෙන් ධර්මය දැරීම ධර්මාර්‍ථාව බොධය ධර්මානුධර්මප්‍රතිපදාව යන මේ කරුණු පස හේතුවෙන් බුදු සස්න මනාව පවත්නේයයි වදාළ මේ බුද්ධ වචනයෙන් යථාර්‍ථාවබොධය ශාසන ප්‍රවෘත්තියට පිටිවහල් බව ප්‍රතීත වේ මැයි;

යථොක්ත යථාර්‍ථාවබොධයද සම්බුදුන් වහන්සේගේ අදහස මේයයි නිශ්චයවශයෙන් දත් මහාමහින්දාදි මහ රහතන් වහන්සේලාගේ අන්වෙක්ෂණාවන් හකුළුවා කළ මාගධී අට්ඨකථා පද්ධතිය නිසාද සද්‍රමාන වාචනාමාර්ගය නිසාද ලැබෙමැයි;

මෙයින් බෞද්ධයන්ගේ ධර්මාර්‍ථාවබොධය සඳහා ත්‍රිපිටක පාලියට සුදුසු බැවින් අර්ථ වර්ණනා නිපදවීම ශාසන ප්‍රවෘත්තියෙහි අසහාය ප්‍රතිෂ්ඨාවක් වන්නේය යන නිගමනයට සුවසේ බැසිය හැකිවෙයි.

මෙකල ඇතැම් පණ්ඩිතහු පරණ ත්‍රිපිටක ධර්මයට අර්ථ ව්‍යාඛ්‍යාන නිපදවීම ඉතා ලඝු කොට සලකතත් ශික්ෂාකාමී උගත් බෞද්ධ භික්ෂු නමක් විසින් කටයුතු සත්කාරියන් අතුරෙහි මෙය ඉතා වැදගත් දෙලෝ වැඩදැයී උතුම් කටයුත්තක්යයි සැලකූ අපි මජ්ඣිමනිකායෙහි සිංහල අර්ථව්‍යාඛ්‍යානය නිපදවීමට ආරම්භ කෙළෙමු.

මජ්ඣිම නිකාය නමි?

ඉතා දීර්ඝවුද හ්‍රස්වවුද සූත්‍රයන්ගෙන් තොරවූ මධ්‍යම ප්‍රමාණ ඇති සූත්‍රයෙන් සමලංකෘතහෙයින් මජ්ඣිම නිකාය යන අන්වර්‍ථ නාමයෙන් උපලක්ෂිතවූ ත්‍රිවිධ සඞ්ගායනානාරූඪ මූල මජ්ඣිම උපරි යන පණ්ණාසක තුනෙකින්ද මූලපරියාය වර්ගය ආදී වගී පසළොසකින් ද මූලපරියාය සූත්‍රය පටන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය හිමිකොට ඇති එක්සිය දෙපණසක් සූත්‍රාන්තයෙන්ද අසූ දහස් පන්සිය තෙවිසි පදයකින්ද සත් ලක්ෂ සතලිස් දහස් තෙපණසක් අක්ෂරයෙන්ද තෙවිසි පදයක් හා අඩ බණවරක් සහිත බණවර අසුවකින්ද ප්‍රවෘත්තානුසන්ධි අජ්ඣාසයානුසන්ධි යථානුසන්ධි යන සංඛ්‍යා අනුසන්ධි තුනකින් හා තුන්දහස් නවසියයක් විස්තරානුසන්ධියෙන්ද සුසොභිත සූත්‍ර පිටකාගත පස් මඟ සඟි අතුරෙන් එක් මහ සඟියක්වූ පරම ගම්භීර ධර්ම මනොහර විමුක්ති රසොපෙතවූ භවනිස්සරණානුයොගීන් විසින්ද මාගධී භාෂොද්ග්‍රහණාභිලාෂීන් විසින්ද සකල ධර්මකථිකයන් විසින්ද අත්‍යන්ත සාදර ගෞරවයෙන් ශ්‍රවණ ධාරණ වාචනාදීන් පරිශීලනය කරණු ලබන සුපරිසුද්ධ සූත්‍රාන්තමය මහාර්ඝ ධර්ම රත්නාවලියෙකි.

පුරාතන සිංහල දීපයෙහි මුළු සුත්‍ර පිටකයටම සියබසින් කළ අනගි අර්ථ ව්‍යාඛ්‍යානයක් තුබුනු බැව් ඉතිහාසයෙන් හැඟෙතුදු දැනට එබන්දක් අවිද්‍යමාන බව තත්ත්වාර්‍ථාවබොධක සාධු ජනයාට මහත් පාඩුවක් යයිද ධර්ම ප්‍රචාරයට මහත් බාධාවක්යයිද මෙබඳු ධාර්මික ග්‍රන්ථයක් නිපදවීම අපගේ භවනිස්තරණයට අසහාය හේතුවක් වන්නේයයිද සලකා

ශ්‍රීමත් බුද්ධඝොෂ මහාස්වාමීන්ද්‍ර ප්‍රණීත ප්‍රපඤ්චසූදනී මැඳුම්සඟි අටුවා නයද සද්‍රමාන පරම්පරාගත නිර්මලාර්ථ වර්ණනා පද්ධතියද නොහැර බාහුල්‍යයෙන් පදාර්‍ථයද දුරවබොධ ස්ථානයන්හි සවිස්තර භාවයද යථාස්ථානයෙහි නිරුක්ති නයද දක්වමින් නාතිසංක්ෂෙප විස්තාරයෙන් විමලාර්ථ වාහිනී නම්වූ මෙකි මජ්ඣිමනිකායාර්ථ ව්‍යාඛ්‍යානය නිපදවීමි.

මෙය මුද්‍රණයෙහිදී ඇතිවූ විවිධ බාධාවන් මැඩපවත්වා මූලපණ්ණාසකය අවසන් කොට ඇති සතරවන භාගයද සුලු කාලයකින් නිකුත් කිරීමෙහි ප්‍රොත්සාහීව ක්‍රියා කළ කොළඹ කෝපිවත්තේ ශ්‍රී වික්‍රමසිංහාරාමාධිපති අප මිත්‍ර හෝමාගම සීලරතන ස්ථවිරයන් වහන්සේට අප අකුටිල ස්තුතිය පිරිනමමු. තවද මේ ව්‍යාඛ්‍යානය සමාදරයෙන් පිළිගෙන සදුපදෙශ ප්‍රදානයෙන් අපට අනුග්‍රහ කළ අප ධර්මාචාර්යය වරයෙක්වූ විවෘද්ධ මකුටායමාන කොළඹ විද්‍යොදය මහා විද්‍යාලයාධිපති කහවේ ශ්‍රී සුමඞ්ගල රතනසාරාභිධාන කොළඹ නවකෝරළේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද මෙහි සද්ව්‍යාපාරයෙහි අප නිතර උත්සුක කිරීමෙන් සැම අතින්ම මිට උපස්තම්භකවූ අපාචාර්‍ය්‍ය සුපෙසල ශික්ෂාකාමී ශාසනාභිවෘද්ධිකාරී ප්‍රවර විනයාචාර්‍ය්‍ය කබඩෙදර ශ්‍රී රතනජොත්‍යාභිධාන කොත්මලේ පළාතේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද මෙහිදී ගෞරව භක්තියෙන් සිහිපත් කරමු.

මුලපටන් කොපි ලියාදීමාදියෙන් නොයෙක් ප්‍රවීණයෝ කොබෙයිතුඩුවේ උපනන්ද ස්වාමිකුඹුරේ උපනන්ද අම්බාගේ සුනන්ද වටද්දර මෙධානන්ද යන උගත් අතේවාසික සතරනම මීට උපකාර කළබව ආදරයෙන් සඳහන් කරමු.

ප්‍රථම කොට මැදුම් සඟියට අර්ථව්‍යාඛ්‍යානයක් කරණු මැනවැයි අදිරිසෙන්ද අල්විස් ගුණතිලක කොළඹ මහත්මයාගෙන් ලැබුනු සමාරාධනයද මෙහිදී සතුටින් සිහිකටයුතුයි.

මේ සමග යොදතිබෙන සූත්‍රප්‍රවුත්ත ස්ථාන නාම පුද්ගලනාම ඌනපූරණ ස්ථාන යන අවයවයෝ යථාර්‍ථාව බොධයට පරමොපකාරීවන්නාහුයයි අපගේ බලාපොරොත්තුවයි.

යලිදු මෙහි මුද්‍රණයකිරීමෙහිදී හටගත් චකාර වකාර හකාර තකාරාදීන් විපර්‍ය්‍යාසනව වැටීමාදී අශුද්ධස්ථාන සමූහයක් ඇතිබව දැනගත් නමුත් එබඳු තැන් ප්‍රමාද පතිතස්ථානයයි සලකනු කාර්‍ය්‍ය නොවේ.

නමුත් අර්‍ථාව බොධයට බාධාවක් නොවන බැවින්ද අප විසින් අභිනව නිපදවනලද මෙකි ව්‍යාඛ්‍යානයෙහි අයිතිය හෝ දෙවෙනිවර මුද්‍රණය කිරීමේ බලය කිසිවෙකුට නොපවරා අප කෙරෙහිම පවත්නා හෙයින් අපේ කැමැත්තලෙස දෙවෙනි වර මුද්‍රණය කිරීමෙහිදී පළමුකී සුලු දොෂස්ථාන සියල්ලද දුරුකොට ප්‍රසිද්ධකරවන බවද කරුණාවෙන් මෙයින් නිවේදනය කරමු. එසේම මෙතැන් සිට නොපමාව ඉතිරි මජ්ඣිම පණ්ණාසකයෙහි පටන් අර්ථව්‍යාඛ්‍යානය පිළිවෙළින් පළකරවන බව ශාසනාභිවෘද්ධිකාමී සාධූන් විසින් සැලකිය යුතුයි,

අපගේ ප්‍රමාදයෙන් ජනිත දොෂස්ථානයන් යම් කිසි ශාසනාභිවෘද්ධිකාමී බුද්ධිමත් සත්පුරුෂයෙක් දන්වන්නේ නම් එය ඉමහත් ගෞරව ස්තුතියෙන් පිළිගෙන දෙවන වර මුද්‍රණයෙහිදී මීට ඇතුළත් කරණ බව සතුටින් ප්‍රකාශ කරමු.

බුදු සසුන බැබලේවා

මීට—ශාසනස්තිති කාමීවූ, කොත්මලේ ධම්මානන්ද ස්ථවිර නෙමෙමි.

2469 1926. 2. 25.

ඥානොදය පිරිවෙන, වටද්දර පුස්සැල්ලාව.

කොත්මලේ ධම්මානන්ද ස්ථවිර නෙමෙමි. 1926. 2. 25. ඥානොදය පිරිවෙන, වටද්දර, පුස්සැල්ලාව.

සංඥාපනය.

සකල ලෝකාන්ධකාර විධ්වංසන ශ්‍රී ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ විසින් වදාරාවූද එසේම ත්‍රිවිධ සංගායනාවට අනතර්ගතවූද මධ්‍යමප්‍රමාණ සූත්‍ර එක්සිය දෙපණසකින් හා වර්ගපසළොසකින් ප්‍රතිමණ්ඩිත වූ පරම ගම්භීර මධුර මනොහර විමුක්ති රසොපෙත මධ්‍යම නිකාය විභාගී මාගධිභාෂොද්ග්‍රහණාභිලාෂීන් විසින්ද එසේම සියළු ධර්ම කථිකයන් විසින්ද බෙහෙවින් ප්‍රගුණ කරණු ලබන මහාර්ඝ ග්‍රන්ථ රත්නයකි.

මීට යොග්‍යවූ සවිස්තර සිංහල ව්‍යාඛ්‍යානයක් අවිද්‍යමාන බව තත්ත්වාර්‍ථාවබොධක සාධුජනයාට මහත් පාඩුවක් යයිද එබඳු ව්‍යාඛ්‍යානයක් කිරීම සද්ධර්ම ප්‍රචාරයෙහි මහත් ප්‍රතිෂ්ඨාවක් යයිද සලකා ශ්‍රීමත් බුද්ධඝොෂ අටුවාකථාචාර්‍ය්‍ය පාදයන් වහන්සේගේ ප්‍රපඤ්ච සූදනී නම් මැදුම් සඟි අටුවාව ඇසුරු කොට ආචාර්‍ය්‍ය පරම්පරාගත වාචනාමාර්ගයද නොඉක්මවා දුරවබොධ තන්හි භාවය හා යථාස්ථානයෙහි නිරුක්තිනයද දක්වමින් නාතිසංක්ෂෙප විස්තාරයෙන් මෙකී අර්ථව්‍යාඛ්‍යානය නිපදවන ලදි

මෙසේ ලොකශාසනාභිවෘද්ධිය තකා නිපදවන ලද ව්‍යාඛ්‍යානයෙහි ප්‍රථම භාගය අපේ කැමැත්ත පරිදි හෝමාගම දොන් එලාමිස් වික්‍රමසිංහ මහතා විසින් මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කරණ ලදි. එහි සඳහන් කළ පරිදි ද්විතීය භාගයෙහිද වැඩ අප්‍රමාදව කරගෙන යන අතර යථොක්ත මහතාගේ අකාල මරණයෙන් මීට බාධා පැමිණි නමුත් එය පිරිමසාගෙන දෙවන භාගයත් මෙසේ ප්‍රසිද්ධ කරවන්ට ලැබීම මහත් සතුටකි.

ග්‍රන්ථාවසානය දක්වා නොකඩව ප්‍රසිද්ධ කිරීම අපේ ස්ථිර අදහස බැවින් අන්‍ය පින්වතුන් විසින් මේ සඳහා පරිශ්‍රම දරා අපගේ මේ සත්ක්‍රියාවට වියවුල් නොකටයුතු බව කරුණාවෙන් මතක් කරමු.

මෙහි අපගේ ප්‍රමාදයෙන්ද මුද්‍රණයෙහිදී ද සඤ්ජාත බොහෝ දොෂස්ථාන ඇති විය හැක. එබඳු දොෂස්ථානයන් යම්කිසි සත්පුරුෂ උතුමෙක් අපවෙත දන්වන්නේ නම් එය ගෞරවයෙන් පිළිගෙන ශුද්ධිපත්‍රයට ඇතුළත් කරන්නෙමු.

එසේම මීට යොග්‍යවූ සූත්‍රප්‍රවෘත්ත, ස්ථාන නාම, පුද්ගලනාමාදි විස්තර මතු භාගාවසානයෙහි පළ කරවීමට බලාපොරොත්තු වන්නෙමු.

තවද මේ සඳහා වටද්දර ක්ෂෙත්‍රාරාමාධිපති අසමදාචාර්‍ය්‍ය සුපෙසල ශික්ෂාකාමී ප්‍රවර විනයාචාර්‍ය්‍ය කබඩෙදර ශ්‍රී රතනජොත්‍යාභිධාන කොත්මලේ පළාතේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අප උද්‍යෝගවත් කිරීමෙන්ද කොළඹ විද්‍යොදය මහාපරිවෙණාධිපති පණ්ඩිත ශිරොමණි පූජ්‍යපාද කහවේ ශ්‍රී සුමඞ්ගල රතනසාරාභිධාන නවකෝරළේ ප්‍රධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප්‍රයොජනවත් උපදෙස්දීමෙන් හා ඉතා සන්තොෂයෙන් මේ පොත පිළිගැනීමෙන්ද, කොළඹ දෙමටගොඩ කෝපිවත්තේ ශ්‍රී වික්‍රමසිංහාරාමාධිපති උගත් හෝමාගම සීලරතන ස්ථවිරයන් වහන්සේ විසින් මුද්‍රණීය පත්‍ර (පෲප්) බලාදීමාදියෙන්ද උපකාර කළ බව ගෞරවානුස්මෘතියෙන් මෙහි සඳහන් කරම්හ. මෙහි තුන්වන භාගයද දැනටම මුද්‍රණයට යවා තිබෙන හෙයින් නොපමාව ලැබෙන බැව් කාර්‍ය්‍යශ්‍රී යුක්තව සලකාගත යුතුයි.

මීට—ශාසනස්ථිති කාමී, කොත්මලේ ධම්මානන්ද ස්ථවිර නෙමෙමි.

ඥානොදය පිරිවෙන. වටද්දර—පුස්සැල්ලාව. 2467 මැයි මස 14 වෙනි දිනදීය. 1924

කොත්මලේ ධම්මානන්ද ස්ථවිරනෙමෙමි. ඥානොදය පිරිවෙන, වටද්දර—පුස්සැල්ලාව. 2467 මැයි මස 14 වෙනි දිනදීය. 1924