සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය - හීනටිකුඹුරේ සුමංගල හිමි.pdf

කතෘ :
හීනටිකුඹුරේ සුමංගල හිමි
ප්‍රකාශිත වර්ෂය :
1970
මුද්‍රිත වර්ෂය :
1970
පිටු ගණන :
999
බාගත කිරීම් ගණන :
9,355
වෙබ් අඩවියට එක් කළ දිනය :
2017-12-06
ගොනුවේ ප්‍රමාණය :
7.5 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 500

සිංහල මිලින්‍දප්‍ර‍ශ්නය යනු පාලි මිලින්දපඤ්හ ප්‍රකරණය ඇසුරින් හීනටිකුඹුරේ සුමංගල හිමියන් විසින් රචිත සිංහල අනුවාදය සහ විවරණයයි. මෙම කෘතියෙහි ග්‍රන්ථ සංස්කරණය ගලගම පණ්ඩිත ශරණංකර ස්ථවිරයන් විසින් සිදු කර ඇත.

මිලින්ද නම් යෝනක රජු සහ නාගසේන මහරහතන් වහන්සේ අතර බුදුදහමේ ගැඹුරු දහම් කරුණු පිළිබඳව ඇති වූ ධර්ම සංවාදය මෙම කෘතියේ ප්‍රධාන අන්තර්ගතය වේ. පාලි මිලින්දපඤ්හයේ ඉතිහාසය, රචනා කාලය, සංස්කෘත මූලයන්, විවිධ අටුවා පාඨ සංසන්දනයන් හා සාධක පාඨ පිළිබඳ දීර්ඝ සංඥාපනයක් සහ ගැටපද විවරණයක් ද මෙහි ඇතුළත් වේ.

සංඥාපනය

මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නගන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසෙන නම් රහත් තෙර කෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානුකූල පිළිතුරු සංග්‍රහ කොට මිලින්ද පඤ්හ කරණ ලද පාලිග්‍රන්ථය මිලින්ද පඤ්හ ය යි ප්‍රසිද්ධ ය. මේ ග්‍රන්ථයට අයත් වන්නේ පාලිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රේෂ්ඨස්ථානයකි. මෙහි රචනා විලාසය අතිශය මනොඥ ය. එය මෙයින් අපේක්‍ෂා කළ අර්ථයට ඉතාමත් උචිත ය. මෙයින් ප්‍රකට වන මිලිඳුරජතුමාගේ ප්‍රශ්න විචාරණශක්තිය පරදින්නේ නාගසෙන තෙරුන්ගේ ප්‍රශ්න විසර්ජනශක්තියට පමණකි. ඒ දෙදෙනාගේ ඒ ශක්ති දෙක ම අතිශයාශ්චර්ය්‍යාවහ ය. තර්කයෙහි අතිශය දක්‍ෂ වූ නාගසෙන තෙරුන් වහන්සේ පරවාදමථනය සඳහා තර්කශාස්ත්‍රයට වඩා අලංකාර ශාස්ත්‍රය ම යෙදූහ. බොහෝ විට ස්වකීයමතයන් ස්ථිර කිරීමට උන්වහන්සේ උපමාවන්ගේ හා නිදර්ශනයන්ගේ ද පිහිට සෙවූහ. තැනට නිසි උපමානිදර්ශනයන් දැක්වීමෙහි උන්වහන්සේ තුළ වූ ශක්තිය අද්විතීය ය. සිවුපිළිසිඹියාපත් රහත් කෙනෙකුන් තුළ මිස අනෙක් කෙනෙකුන් තුළ නො පිහිටන ධර්මප්‍රතිභානයන් මිලින්දපඤ්හයෙහි බොහෝ තැනින් ප්‍රකට වේ.

මිලින්දපඤ්හ රචනා කාලය

මිලිඳුරජතුමා හා නාගසෙන තෙරුන් වහන්සේ ද මනස්කල්පිත පුද්ගලයන් නො වන බව මතු දැක්වෙන කරුණුවලින් ඔප්පු වෙයි. ඒ දෙදෙනා අතර සිදු වූ, මේ ග්‍රන්ථයෙහි දැක්වූ, සංවාදය ද නුවූවක් නො වේ. එහෙත් ඒ සංවාදයට අනතුරු ව ම එය ග්‍රන්ථාරූඪ වූයේ ය යි කීමට මේ පොතෙහි මුල ම යෙදී තිබෙන “තං යථානුස්සූයතෙ” යන පාඨය ඉඩ නො දෙයි. ඒ පාඨයෙන් හැඟෙන්නේ ඒ සංවාදය සිදු වීමෙන් කලකට පසු ශ්‍රැතිපරම්පරාවෙන් ලද කරුණු සංග්‍රහ කොට මිලින්දපඤ්හය කළ බව යි. පාලි අටුවාවන්හි කීප පළක ම මිලින්ද පඤ්හයෙන්

උපුටාගත් පාඨ ඇතත් ඒ පාඨ දැන් අප අතට පැමිණ තිබෙන මිලින්දපඤ්හයෙහි පාඨයන් හා හැම ලෙසින් ම සමාන නො වන බව මතු දැක්වෙන නිදර්ශනයන්ගෙන් ඔප්පු වෙයි.

සුමංගලවිලාසිනියෙහි අම්බට්ඨසුත්තවණ්ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධරණය කළ-

“අතිදුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතන්ති.’ ‘කිං මහාරාජාති. ‘මහාරාජෙන ගිරිකරණොකාසං බ්‍රහ්මායුබ්‍රාහ්මණස්ස අන්තෙවාසීඋත්තරස්ස ච බාවරිස්ස අන්තෙවාසීනං සොළස බ්‍රාහ්මණානං ච සෙලස්ස බ්‍රහ්මණස්ස අන්තෙවාසීනං තිසමාණවානඤ්ච දස්සෙසි භන්තෙ’ති. ‘න මහාරාජ භගවා ගුය්හං දස්සෙසි. ඡායං භගවා දස්සෙසි. ඉද්ධියා අභිසංඛරිත්වා නිවාසනනිවත්ථං කායබන්ධනබද්ධං චීවරපාරුතං ඡායාරූප මත්තං දස්සෙසි මහාරාජා’ ති. ‘ඡායාරූපෙ දිට්ඨෙ සති දිට්ඨො යෙව හොතු භන්තෙ’ති. ‘නිට්ඨිතෙතං මහාරාජ, හදයරූපං දිස්වා බුජ්ඣනකසත්තො භවෙය්‍ය, හදයමංසං තින්තෙත්වා දස්සෙය්‍ය සම්මාසම්බුද්ධො’ති. ‘කල්ලොසි’[1] භන්තෙ නාගසෙනා’ති”.

යන මේ පාඨය පපඤ්චසූදනියෙහි බ්‍රහ්මායුසුත්තවණ්ණනාවෙහි ද, සුත්තනිපාතට්ඨකථාවෙහි සෙලසුත්තවර්ණනාවෙහි ද දක්නා ලැබේ. ඒ පොත්හි ලෙඛකප්‍රමාදයෙන් වූ විසදෘශපාඨ පෙණෙතත් එය මෙහි දී සැලකිය යුතු නො වේ.

මේ පාඨය හා අර්ථයෙන් සමාන වන මිලින්දපඤ්හපාඨය මෙසේ යි-

“දුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතං, යං එකස්සපි අදස්සනීයං තං දස්සෙන්තොනා’ති. ‘න මහාරාජ භගවා ගුය්හං දස්සෙසි. ඉද්ධියා පන ඡායං දස්සෙසී’ති. ඡායාය හි භන්තෙ දිට්ඨාය දිට්ඨායෙව හොති ගුය්හං යං දිස්වා නිට්ඨිධංග තොති................................. යදි මහාරාජ කොචි භගවතො හදයං

දිස්වා බුජ්ඣෙය්‍ය තස්සපි භගවා යොගෙන හදයං දස්සෙසෙය්‍ය”. (මුද්‍රිත මිලින්දපඤ්හයෙහි 134 පිටුව).

අටුවාවන්හි එන යථොක්ත පාඨය හා මේ මිලින්දපඤ්හපාඨය ද අසමාන ය යි කාට වුවත් පැහැදිලි වේ. මිලින්ද පඤ්හයෙහි වත්ථුගුය්හනිදස්සන පඤ්හයෙහි මුල එක ම සෙලබ්‍රාහ්මණයා පමණක් සඳහන් වතත් අටුවා පාඨයෙහි තවත් නම් ද සඳහන් වේ.

මනොරථපූරණියෙහි පස්වන වර්ගයෙහි අටවැනි සූත්‍රවර්ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධෘත-

“භන්තෙ නාගසෙන එකස්මිං අච්ඡරාක්ඛණෙ පවත්තිත චිත්තසංඛාරා සචෙ රූපිනොඅස්සු, කිවමහාරාසීභවෙය්‍යූ’ති. වාහසතානං බො මහාරාජ වීහිනං අඩ්ඪචූළං ච වාහා විහිසත්තම්මණානි චෙ ව තුම්බා එකච්ඡරාක්ඛණෙ පවත්තිතස්ස චිත්තස්ස සංඛම්පි න උපෙන්ති. කලම්පි න උපෙන්ති. කල භාගම්පි න උපෙන්ති’ති.”

යන පාඨය මිලින්දපඤ්හයෙහි එන්නේ බොහෝ අඩුපාඩු සහිත ව ය. මේ පාඨයෙහි මුල ම පෙණෙන මිලිඳුරජුගේ ප්‍රශ්නය මිලින්දපඤ්හයෙහි නො පෙණේ. ඊට මුලින් ඌනත්වයක් ඇති බව හැඟේ.

මිලින්දපඤ්හ පාඨය මෙසේ යි:-

“‘(තෙන හි භන්තෙ නාගසෙන බුද්ධො අසබ්බඤ්ඤූ, යදි තස්ස පරියෙසනාය, සබ්බඤ්ඤුතඤාණං හොතීති)........... (මෙතැන ඌනත්වයක් තිබේ). වාහසතං බො මහාරාජ වීහිනං අඩ්ඪචූළං ච වාහා වීහිසත්තම්මණානි චෙ ව තුම්බා එකච්ඡරාක්ඛණෙ පවත්ත චිත්තස්ස එත්තකා වීහි ලක්ඛං (?) ඨපියමානෙ පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං” (මිලින්දපඤ්හ 81 වන පිටුව).

මෙහි අවසානභාගය ද අටුවාවෙහි පෙණෙන පාඨය හා අසමාන ය.

සුමංගලවිලාසිනියෙහි මහාපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහි පෙණෙන-

“භන්තෙ නාගසෙන කතමං ඛුද්දකං? කතමං අනුඛුද්දකන්ති? දුක්කටං මහාරාජ ඛුද්දකං. දුබ්භාසිතං අනුඛුද්දකං”

යන පාඨය මිලින්දපඤ්හයෙහි (114) වන පිටුවෙහි)

“කතමානි තානි ඛුද්දකානි සික්ඛාපදානි? කතමානි අනුඛුද්දකානි සික්ඛාපදානී’ති දුක්කටං මහාරාජ ඛුද්දකසික්ඛාපදං දුබ්භාසිතං අනුබුද්දකසික්ඛාපදං”.

යන ලෙසින් පෙණේ.

මේ සංසන්දනයෙන් පැහැදිලි වන්නේ අටුවාඇදුරු බුදුගොස්තෙරණුවන් දැන් තිබෙන මිලින්දපඤ්හය නුදුටු බව යි. දැන් තිබෙන මිලින්ද පඤ්හය අටුවා කිරීමෙන් පසු කාලයක කළ බව එයින් ම ඔප්පු වේ. මේ මිලින්දපඤ්හය රචනා කළ කාලය පිළිබඳ ව මීට වැඩි දෙයක් කිය නො හැකි ය.

මිලින්දපඤ්හයෙහි මුල

අටුවා ලියන කාලයෙහි දැන් තිබෙන මිලින්දපඤ්හය නො තිබුණු බවත්, එහෙත් අනෙක් මිලින්දප්‍රශ්නයක් පැවැති බවත් යට දැක් වූ කරුණුවලින් තීරණය කර ගත හැකි ය. ඒ පුරාතන මිලින්දප්‍රශ්නය කිනම් භාෂාවකින් ලියා තුබුනේ දැයි නිශ්චය කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය දුර්ලභ ය. එහෙත් මෙහි ප්‍රාරම්භ පාඨය වූ “තං යථානුස්සූයතෙ” යන්න සංස්කෘතරචනාවෙක්හි මුහුණුවර දක්වන්නකි. එය “තද්‍යථානුශ්‍රූයතෙ” යන සංස්කෘතපාඨයෙහි පාලිපරිවර්තනය යි. එහෙයින් වර්තමාන පාලිමිලින්දපඤ්හයට මුල් වූයේ සංස්කෘතභාෂාවෙන් ලියා තුබුනු මිලින්දප්‍රශ්නයෙකැ යි අනුමාන කට හැකි ය.

‘අටුවාචාරීන් වහන්සේ සංස්කෘතග්‍රන්ථයකින් කරුණු ගණිත් ද?’ යනු දැන් නැඟිය හැකි ප්‍රශ්නයකි. ‘ඔවු’ යනු ඊට දිය හැකි කෙටි පිළිතුර යි. ග්‍රන්ථයෙහි භාෂාව කුමක් වුවත් එහි ඇතුළත් කරුණු බුද්ධ වචනයන්ට අවිරුද්ධ නම්, ස්වමතයන් ස්ථිර කිරීමට ඉවහල් වේ නම්, එබඳු කරුණු ගෙණ පෙළබසට නඟා දැක්වීම අටුවාචාරීන් වහන්සේට නුපුරුදු වූවක් නො වේ. ස්වනිකායිකයෙකු නො වූ ද මහකවි අශ්වඝොෂ තෙරුන්ගේ පොත්වලින් ගත් කරුණු බුදුගොස්තෙරුන්ගේ අටුවා පොත්හි පෙණෙන බව අපි දනිමු.

ඒ මූලය වූ සංස්කෘතමිලින්දප්‍රශ්නය පවා සංවාදයෙන් කලක් ගත වූ පසු කළ බව සිතිය හැකි ය.

අටුවා ඇදුරු බුදුගොස්තෙරණුවෝ සිය ගන්වලට නොයෙක් ගන්වලින් කරුණු ගත්හ. එහෙත් ඒ කරුණු ගත් ගන්වල නම් හෝ ගත් කතුවරුන්ගේ නම් හෝ බොහෝ විට නො දැක්වූහ. සුමංගලවිලාසිනියෙහි නිකාය ශබ්දාර්ථ දැක්වීමෙහි දී පාණිනියෙහි තුන්වන අධ්‍යායයෙහි තුන්වන පාදයෙහි එය ලොකව්‍යවහාරයෙන් ගත් සාධකයකැ යි කීහ. පාණිනියෙහි නම වත් නො දැක්වූහ. මනොරථපූරණියෙහි (හේවාවිතාරණ මුද්‍රණයෙහි 451 වන පිටුවෙහි) ජනපද විතර්කය විස්තර කිරීමෙහි දී දැක් වූ “අසුකො ජනපදො බෙමො සුභික්ඛො” යන්න මහාකවි අශ්වඝොෂතෙරුන්ගේ සෞන්දරනන්දකාව්‍යයෙහි පසළොස් වැනි සර්ගයෙහි 42 වන ශ්ලෝකයෙහි පූර්වාර්ධය වූ “අසෞක්ෂෙමො ජනපදඃ සුභික්ෂොසාවසෞ ශිවඃ” යන්නෙහි පාලිපරිවර්තනය වූ නමුත් ඒ බවක් නො කීහ.

මෙලෙසින් නම් නො කියා නොයෙක් පොත්වලින් කරුණු ගත් අටුවාචාරීන් වහන්සේ නාගසෙනතෙරුන්ට දැක්වූ ගෞරවය ඉතා මහත් ය. උන්වහන්සේ බොහෝවිට නම් දැක්වූ සිංහලට්ඨකථා ආදි පැරණි අටුවාවන්ට ද වඩා මිලින්දප්‍රශ්නයට ගරු කළහ. උන්වහන්සේ සුමංගලවිලාසිනියෙහි දී හා පපඤ්චසූදනියෙහි දී ද යථොක්ත “අතිදුක්කරං” යනාදි මිලින්දපඤ්හපාඨය උද්ධරණය කරද්දී “කිමෙත්ථ අඤ්ඤෙන වත්තබ්බං, වුත්තමෙතං නාගසෙනත්ථෙරෙනෙව මිලින්දරඤ්ඤා පුට්ඨෙන” (=මෙහි ලා අනෙකෙකු විසින් ම මෙය කියන ලදී) යි කියමින් නාගසෙන වචන අතිශය ප්‍රාමාණිකත්වයෙන් හා මහාපදෙසත්වයෙන් ද සැලකූහ. සුත්තනිපාතට්ඨකථාව මෙහි දී මේ පාඨයෙහි “අඤ්ඤෙන” (=අනෙකෙකු විසින්) යන්න “අම්හෙහි” (=අප විසින්) යි යෙදුනේ ය. අටුවාචාරීන් වහන්සේ විසින් මිලින්දප්‍රශ්නය එතරම් ගුරුස්ථානයෙහි ලා සලකන ලද්දේ නම් අන්‍යයන් ගැන කියනුම කිම?

සිංහල ගත්කතුවරු

ලක්දිව සිංහල ග්‍රන්ථකර්තෘවරයෝ ද, මිලින්දපඤ්හය අමතක නො කළහ. ඉතාමත් පැරණි වූ මිලින්දප්‍රශ්න සිංහල පරිවර්තනයක් අපට දැන් නැතත් එබන්දක් නො වූයේ යයි කිය නො හැකි ය. කුරුණෑගල රාජ්‍යසමයෙහි නැතහොත් ඊට ආසන්න කාලයෙක්හි කරණ ලද සද්ධර්ම රත්නාවලියෙහි හා ජයවර්ධනපුර රාජ්‍ය කාලයෙහි කළ සද්ධර්ම රත්නාකරයෙහි ද මිලින්දප්‍රශ්නයෙහි සංක්ෂෙපයක් අන්තර්ගත ය. ‘මිලිඳු’ නාමය සිංහල කවීන්ගේ සිහියෙන් ඉවත් නො වූ බව පැරකුම්බා සිරිතෙහි 72 වන කවෙහි-

“පැනය කියන විසඳන කලැ මිලිඳුනිරිඳු සදිසිවාද” යන පාදයෙන් ඔප්පු වේ.

රක්ඛිතතල

හිමාලයෙහි වූ ‘රක්ඛිතතල’ නම් පර්වතයක් මිලින්දපඤ්හයෙහි සඳහන් වේ. මේ නාමය අනෙක් පාලි පොතක දුටු බවක් අපට මතක නැත. සිංහල පොත්හි හිමාලයෙහි වූ රක්ගල්තලක් නම් සඳහන් වේ. ඒ ‘රක්ගල්තල’ යන්න සඳහා එහි සැබෑ අර්ථය නො සලකා මේ ‘රක්ඛිතතල’ යන වචනය පාලි මිලින්දපඤ්හයෙහි යෙදුනේ නම්, මේ පාලිමිලින්දපඤ්හයට වඩා පැරණි වූ සිංහල මිලින්දප්‍රශ්නයක් තුබුනු බවත් එය ද බලමින් පාලිමිලින්දපඤ්හය ලියූ බවත් සිතිය හැකි ය. ‘රක්’ යනු ‘මනඃශිලා’ නම් උපධාතුවිශෙෂයට සිංහල නාමයකි. ‘මනොසිලාතල’ යන්න සිංහලයට පෙරලූ පැරණි ගත්කතුවරු ‘රක්ගල්තල’ යි යෙදූහ. ‘රක්ගල්තල’ යන්නෙහි ඇති ඒ අර්ථය නො දත්තෙකු අතින් එය ‘රක්ඛිතතල’ යි පාලියට පෙරළීමට බැරි බවක් නො මැති යි. පාලිමහාබොධිවංශකර්තෘ ආදි ශ්‍රේෂ්ඨ උගතුන් අතින් ද මෙ බඳු වැරදි වූ බව පෙණෙන හෙයින් මෙය ද නො විය හැක්කක් නො වේ.

මිලින්දපඤ්හයෙහි ඇතුළත් කරුණු

මිලින්දපඤ්හයෙහි මුල මිලිඳුරජුගේ හා නාගසෙනතෙරුන්ගේ ද පූර්වජන්ම ප්‍රවෘත්තිය හා මිලිඳුරජතුමා පණ්ඩිත ය යි ප්‍රසිද්ධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කරා එළඹ ප්‍රශ්න විචාරා ඔවුන් පැරද වූ පරිදිත්, රහතුන් වහන්සේ දෙව්ලොවට වැඩ මිනිස් ලොව ඉපද මිලිඳුරජු දමනය කර සසුන්වැඩ වඩන මෙන් මහාසෙන දිව්‍යපුත්‍රයන්ට ආරාධනා කළ පරිදි හා එය පිළිගත් ඒ දෙව්පුතු මිනිස්ලොව ඉපද නාගසෙන නම් ව එකලට පැවැති ශාස්ත්‍රයන් ඉගෙන එහි හරයක් නො දැක බුද්ධධර්මයෙහි පැහැද පහණ ව සිවුපිළිසිඹියා පත් රහත් වූ පරිදිත්, පසු ව මිලිඳුරජු හමු ව ඔහු පහදවාගත් අයුරුත් ප්‍රකාශිත ය. ඊලඟට මිලිඳුරජුගේ ප්‍රශ්නරාශියක් හා නාගසෙනතෙරුන් වහන්සේ ඊට දුන් පිළිතුරුත් එයි. අවසානයෙහි යොගාවචරයෙකුට අවශ්‍ය කරුණු රාශියක් ඇතුළත් ය. ඒ කරුණු අසා පැහැදුනු මිලිඳුරජතුමා සිය නමින් මහා විහාරයක් කරවා නාගසෙන තෙරුන් වහන්සේට පුදා, පසු ව සිය වැඩිමහලු පුත් කුමරුන්ට රාජ්‍යය භාර කර පැවිදි වූ රහත් වූ බවත් දැක් වූ කථාවෙන් පොත අවසන් වෙයි.

සාධකපාඨ

ත්‍රිපිටකයෙහි නොයෙක් තැනින් උපුටා ගත් ගද්‍යපද්‍යසාධක පාඨ රාශියක් මිලින්දපඤ්හයෙහි ඇතුළත් වෙයි. මිලින්දපඤ්හය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ රෙස් ඩේවිඩ්ස් පඬිතුමා තමාගේ පොතේ සංඥාපනයෙහි ඒ සියල්ල සැකෙවින් දක්වා එයින් සමහරක් පෙණෙන මුල්තැන් ද සඳහන් කරයි. මුල්තැන් සොයා ගත නො හැකි වූ පාඨයන්හි දී ඒ බව ද දක්වයි. එතුමා විසින් සොයා ගත නො හැකි ය යි දැක්වූ පාඨයන්ගෙන් සමහරක් තිබෙන මුල්තැන් සොයා ගැනීම එතරම් අපහසු නො වේ. එහෙත් සමහර පාඨ තිබෙන මුල් තැන් සොයා ගැනීම ඉතාමත් අපහසු ය. සිංහල, සියම්, බුරුම අකුරුවලින් මුද්‍රිත බොහෝ ත්‍රිපිටකග්‍රන්ථයන්හි ක්‍රමානුකූල සූචි පත්‍ර, අනුක්‍රමණිකා ආදිය නොමැති වීමත්, ඉංග්‍රීසි අකුරෙන් මුද්‍රිත පොත්හි තිබෙන ඒ සූචිපත්‍ර ආදියෙහි අසම්පූර්ණත්වයක් ඒ අපහසු බවට ප්‍රධාන හේතුව ය යි කිය හැකි ය. මිලින්දපඤ්හයෙහි බුදුරජානන් වහන්සේ විසින් හා ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් ද දෙසූ සේ දැක්වූ සමහර පාඨ ක්‍රමානුකූල පරීක්‍ෂණයක් කළත් වර්තමාන ත්‍රිපිටක පාලියෙන් සොයා ගත නො හැකි ය යනු සමහරුන්ගේ අදහසකි. ඒ අදහස සත්‍ය වුවහොත් මිලින්ද පඤ්හයෙහි සංස්කෘත මූලකත්වය තහවුරු වෙයි.

ඌනතා

වර්තමාන මිලින්දපඤ්හය අසම්පූර්ණ ය යනු එහි ම අවසානයෙහි දැක්වේ. සම්පූර්ණ මිලින්දපඤ්හයෙහි ප්‍රශ්න තුන්සිය හතරක් ඇතුළත් විය යුතු නමුත් එයින් දෙසාලිසක් ම මේ පාලිමිලින්දපඤ්හයෙහි නැති බව සඳහන් වෙයි. ඒ ඌනත්වය කෙසේ වූයේ දැ යි නිශ්චය වශයෙන් නො කිය හැකි ය. බොහෝ සංස්කෘත ප්‍රාකෘත බෞද්ධ ග්‍රන්ථ විනාශ වී ගිය බව අපි දනිමු. මිලින්ද ප්‍රශ්නය ද එසේ විනාශයට ලං ව පැවැති අවස්ථාවක ඉතිරි ව තුබුනු කොටස පාලියට නැඟීමෙන් මේ මිලින්දපඤ්හය සකස් කළ බව සලකතොත් ඒ ඌනත්වයට හේතුව කුමක් දැ යි සිතා ගත හැකි ය.