පපඤ්ච දීපිකා මජ්ඣිමනිකාය අට්ටකථා සිංහල.pdf

කතෘ :
බුද්ධඝොෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1936
මුද්‍රිත වර්ෂය :
1936
පිටු ගණන :
803
බාගත කිරීම් ගණන :
3,083
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
83 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 402

පපඤ්ච දීපිකා යනු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ අටුවාව වන භදන්ත බුද්ධඝොෂ හිමියන් විසින් සම්පාදිත පපඤ්චසූදනී අටුවාවේ සිංහල අනුවාදයයි. මෙහි මුල් වෙළුම (ප්‍රථම භාගය) මොල්ලිගොඩ ප්‍රවචනොදය පිරිවෙනේ ආචාර්ය ලබුගම ලංකානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කර ඇති අතර, ප්‍රවචනොදය පිරිවෙණාධිපති සුවිසුද්ධ සද්ධර්‍ම වාගීශ්වර ශ්‍රී දෙවරක්‍ෂිත සද්ධර්‍මචාරී නිධාන එල්ලාවල නායක මාහිමියන් වහන්සේ විසින් සංශෝධනය කර ඇත.

පොතේ සංඥාපනයෙහි දැක්වෙන පරිදි, පාලි අටුවා පෙළෙහි විස්තරාර්ථයන් සරල සිංහල භාෂාවට නඟා පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ‘අභිනව හෙළටුවා’ සම්ප්‍රදායෙන් මෙය සකස් කර තිබේ. මෙහිදී හිටපු විද්‍යාලංකාර පරිවෙණාධිපති රත්මලානේ ධර්මාරාම නායක හිමියන්ගේ සංස්කරණය මූලිකව ඇසුරු කර ඇති අතර අවශ්‍ය තැන්වලදී අභිනව ටීකාවන්ද ප්‍රයෝජනයට ගෙන ඇත.

මූලපණ්ණාසකයේ පළමු කොටස වන මූලපරියාය වර්ගයේ සූත්‍ර අටක අටුවා විවරණ මෙම ප්‍රථම භාගයෙහි අන්තර්ගත වේ:

  • මූලපරියාය සූත්‍රවණ්ණනා
  • සබ්බාසව සූත්‍රවණ්ණනා
  • ධම්මදායාද සූත්‍රවණ්ණනා
  • භයභෙරව සූත්‍රවණ්ණනා
  • අනංගණ සූත්‍රවණ්ණනා
  • ආකංඛෙය්‍ය සූත්‍රවණ්ණනා
  • වත්ථ සූත්‍රවණ්ණනා
  • සල්ලෙඛ සූත්‍රවණ්ණනා

ප්‍රවචනාධාර සභාවේ භාණ්ඩාගාරික තැන්පත් මොල්ලිගොඩ කේ. ඩී. විලියම් සිල්වා මහතාගේ මූල්‍ය දායකත්වයෙන් බු.ව. 2479 (ක්‍රි.ව. 1936) දී හොරණ විද්‍යාශෙඛර මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සඤ්ඤාපනය.

ශ්‍රී සද්ධර්‍ම රත්නයං ශ්‍රී සර්‍වඥාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සම්මාර මථනය කොට බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළතැන් පටන් නිරුපධිශෙෂ පරිනිර්‍වාණ ධාතුවෙන් පිරිනිවීම දක්වා පන්සාලිස්වසක් මුළුල්ලෙහි අමෘතමහා ගංගාප්‍රවාහයක් සෙයින් සකලදෙවි මිනිසුන්ගේ කෙලෙස් ගිනි නිවමින් දෙශනා කර වදාළ ශ්‍රී සද්ධර්‍මරත්නය එකම විමුක්තිරසය එලවන හෙයින් එකවිධ වේ. ධර්‍ම විනය වශයෙන් ද්විවිධවේ එහි විනය නම්? විනයපිටකයයි. තදවශෙෂ වූ සියලු බුද්ධවචනය ධර්‍ම නම්.

ප්‍රථම-මධ්‍යමාවසාන වශයෙන් ත්‍රිවිධ වේ.

සූත්‍රාභිධර්‍ම විනය පිටකයන්ගේ වශයෙන් ද ත්‍රිවිධවේ. එහි “උභයප්‍රාතිමොක්‍ෂය උභය විභංගය දෙවිසි ඛන්ධකය සොළොස් පරිවාරය,, යන මේ විනය පිටක නම්. හෙද-පාරාජිකා- පාචිත්තිය- මහාවග්ග- චූලවග්ග පරිවාර, යයි ග්‍රන්ථ පසකින් හෙබියේය සූත්‍රාන්තපිටකය - දීඝනිකාය මජ්ඣිමනිකාය සංයුත්තනිකාය අංගුත්තර නිකාය සහ ඛුද්දකනිකායයෙහි ඛුද්දක පාඨ- ධම්මපද- උදාන- ඉතිවුත්තක -සුත්තනිපාත-විමානවත්ථු-පෙතවත්ථු ථෙරගාථා- ථෙරීගාථා- ජාතක- නිද්දෙස- පටිසම්භිදා- අපදාන- බුද්ධවංස- චරියා පිටක යන ග්‍රන්ථ පසළොසින් ද පරිමිත විය. අභිධර්‍ම පිටකය ධම්මසංගණී- විභංග- ධාතුකථා- පුග්ගලපඤ්ඤත්ති- කථාවත්ථු- යමක-පට්ඨාන යන සප්තප්‍රකරණයෙන් ප්‍රතිමණ්ඩිත වූයේය.

තවද- මෙහි විනය පිටකය- ආඥාබාහුල්‍යයෙන් දෙශනා කළ හෙයින් ආඥාදෙශනා යි ද බහුලවූ ව්‍යතික්‍රම ඇති සෙය්‍යසකාදීහු අපරාධය වූ පරිදි මෙහිලා අනුශාසනා කරනලද හෙයින් යථාපරාධ සාසන යි ද, අධ්‍යාචාරයන්ට ප්‍රතිපක්‍ෂ වූ කුදුමහත් සංවරය වදාළහෙයින් සංවරා‘‘සංවරකථා’’යි ද කියනු ලැබේ. සූත්‍රපිටකය - ලොකව්‍යවහාරය බහුලවශයෙන් දෙශනා කළ හෙයින් වොහාර දෙසනා යි ද, විවිධ ආසයානුසය චරිතාධිමුත්ති ඇති සත්වයන් අධ්‍යාශයාදීන්ට අනුරූපවශයෙන් අනුශාසනා කරනලද හෙයින් යථානුලොමසාසන’යිද, දෙසැට දෘෂ්ටීන්ගේ දුරලීම වදාළහෙයින් දිට්ඨිවිනිවෙඨනකථා’යි ද කියනු ලැබේ. අභිධර්‍මපිටකය- ස්කන්ධාදි පරමාත්‍ථ බාහුල්‍යයෙන් වදාළ හෙයින් පරමත්ථදෙසනා’යි ද, ස්කන්ධාදි ධර්‍ම මාත්‍රයෙහි මම ය මාගේ යයි සංඥා ඇත්තාහු ධර්‍මස්වභාවයට අනුරූපවශයෙන් අනුශාසනා කරනලද හෙයින් යථාධම්මසාසන’යි ද, රාගාදීන්ට ප්‍රතිපක්‍ෂ වූ නාමරූපයන්ගේ පිරිසිඳීම වදාළ හෙයින් නාමරූප පරිච්ඡෙදකථා’යි ද කියනු ලැබේ.

මෙසේ පිටක වශයෙන් ත්‍රිවිධ වූ බුද්ධවචනය නිකාය වශයෙන් පඤ්චවිධ වේ. එහි - වර්ගතුනක සංග්‍රහ වූ බ්‍රහ්මජාලාදි දීර්‍ඝප්‍රමාණ සූත්‍ර සූතිස දීර්ඝනිකාය නම් වේ. මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන්ගෙන් යුක්ත වූ වර්ග පසළොසක සංග්‍රහ කරනලද මූලපරියායාදි සූත්‍ර එක්සිය දෙපනස මජ්ඣිමනිකාය නම් වේ. දෙවතාසංයුත්තාදි වශයෙන් පිහිටි ඔඝතරණ සූත්‍රය ප්‍රමුඛ කොට ඇති සත්දහස් සත්සිය දෙපනස් පමණ සූත්‍රයෝ සංයුත්තනිකාය නම් වේ. එකක නිපාතාදි එකොළොස් නිපාතයක සංග්‍රහ වූ චිත්තපරියාදාන සූත්‍රය ආදි කොට ඇති නවදහස් පන්සිය සත්පනසක් සූත්‍රයෝ අංගුත්තර නිකාය නම් වේ. මෙකී නිකාය සතර හැර විනයපිටකයෙහි පාරාජිකාපාළි ආදි ග්‍රන්ථ පස ද සූත්‍රපිටකයෙහි ම ඇතුළත් වූ ඛුද්දකපාඨාදි පළමු දැක්වූ ග්‍රන්ථ පසළොස ද- අභිධර්ම පිටකයෙහි ධම්මසංගණී ආදි සප්තප්‍රකරණය ද යන මොවුහු ඛුද්දකනිකාය නම් වේ.

නැවත- අංගවශයෙන් සියලු බුද්ධවචනය නවවිධ වේ. සුත්ත-ගෙය්‍ය- වෙය්‍යාකරණ- ගාථා- උදාන- ඉතිවුත්තක- ජාතක- අබ්භුතධම්ම- වෙදල්ල යයි කියායි. මෙසේ අංගවශයෙන් නවවිධ වූයේ ධර්‍මස්කන්ධ වශයෙන් අසූසාර දහසකට ප්‍රභෙද වේ. මේ කී තාක් බුද්ධවචනය සම්බුදුන් වහන්සේ ජීවමාන සමයෙහි ග්‍රන්ථාරූඪ කළ කිසිවෙක් නැත.

ප්‍රථම සංගායනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවිකල්හි සුභද්‍රනම් මහලු පැවිද්දෙකු ප්‍රකාශ කළ අගාරවවචනය නිමිති කොට අනුබුද්ධ වූ මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් රැස් කරවා ශාසනය අවුරුදු පන්දහසක් නිරුපද්‍රැත ව පවත්නා පිණිසත් අධර්‍මවාදි- අවිනයවාදීන් මදනය කරනු පිණිසත් ධර්‍මය සංගායනා කළ මැනවැයි දැන්වූහ. භික්‍ෂූන් යෙහෙකැයි පිළිගත් කල්හි කාශ්‍යපස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටක පය්‍යාප්තිප්‍රභෙදර වූ ප්‍රතිසංවිත්ප්‍රාප්ත වූ මහානුභාව ඇති බොහෝසෙයින් තථාගතයන් වහන්සේ එතදග්‍රයෙහි තැබුවා වූ ශෙක්ෂ වූ ආනන්දස්ථවිරයන් ද සමග ක්‍ෂීණාස්‍රවභික්‍ෂූන් පන්සියයක් නියම කළහ. මහාකාශ්‍යපස්ථවිර ප්‍රමුඛ ඒ භික්‍ෂූහු රජගහනුවර වස්වසෙසමින් වෙහාරපර්‍වතප්‍රාන්තයෙහි සප්තපණ්ණීගුහාද්වාරයෙහි අජාසත් රජු විසින් කරවනලද මණ්ඩපයෙහි රැස් ව සියලු ධර්‍මවිනය සංගායනා කළහ.

එහි දී ස්ථවිරභික්‍ෂූහු ඒ ධර්‍මවිනය පිටකාදිවශයෙන් විභාග කොට සංගායනාවට නැගූහ. මෙසේ පාලිධර්‍මය සංගායනාකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ම ඒ ඒ තැන්හි දී වදාළ ප්‍රකීර්‍ණකධර්‍මකොට්ඨාශයන්ගෙන ත්‍රිපිටකඅටුවාව ද සංගායනා කළහ. එහෙයින් සියලු අටුවා තථාගතයන් වහන්සේ විසින් වදාරණලදු යයි සැලකිය යුතුයි.

තවද- උද්දානසංග්‍රහ- වර්ගසංග්‍රහ. පෙය්‍යාලසංග්‍රහ- නිපාතසංග්‍රහ- සංයුක්තසංග්‍රහ - පණ්ණාසසංග්‍රහාදි පිටකත්‍රයෙහි පෙනෙන නො එක් සංග්‍රහභේද ව්‍යවස්ථා කොට මෙසේ බුදුන් පිරිනිවි වර්ෂයෙහි ම මේ ප්‍රථම සංගායනාව සත්මසකින් නිමවූහ. ඒ සියල්ල තථාගතයන් ධර්‍මය දෙශනා කළ ශුද්ධමාගධිකභාෂාවෙන්ම තබනලදී. සංගායනා රූඪ වූ සාර්ථකථාත්‍රිපිටකධර්‍මය- මහා කාශ්‍යපස්ථවිරාදීන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍යපරම්පරාව විසින් මුඛපාඨවශයෙන් ම ගෙන එන ලද්දේය.

ද්විතීය සංගායනාව. තථාගත පරිනිර්‍වාණයෙන් වර්ෂසියයක් ඉක්ම ගිය කල්හි විශාලානුවර වැසි වජ්ජිපුත්තකභික්‍ෂූහු “සිංගලොණකප්පා,,දි අකැප දශවස්තුවක් ප්‍රකාශ කළහ. ඒ බැව් දත් කාකණ්ඩකපුත්‍රයශස්ථවිරයන් වහන්සේ මෙබඳු ශාසනමලයෙක් දැක දැක උපෙක්‍ෂාවීම නො මැනවැයි සලකා රෙවතස්ථවිරප්‍රමුඛ භික්‍ෂූන් සැටදහසක් රැස්කරවූහ. රෙවතස්ථවිරයන් විසින් විචාරනලදුව සබ්බකාමී නම් තෙරණුවෝ විනය විසඳා දශවස්තු විනිශ්චය කළහ. මෙසේ ඒ අධිකරණය සමථයට පමුණුවනලදී. අනතුරුව ඒ ස්ථවිරභික්‍ෂූහු ඒ අධිකරණය ම නිමිති කොට නැවතත් ධර්‍මවිනය සංගායනා කළ මැනවැයි සලකා කාකණ්ඩපුත්‍රයශස්ථවිරප්‍රමුඛ ත්‍රිපිටකපය්‍යාප්තිධර ප්‍රතිසංවිත්‍ප්‍රාප්ත වූ සත්සියයක් ක්‍ෂීණාස්‍රවයන් නියම කොට විශාලා නුවර වාලුකාරාමයෙහි රැස්ව කාලාසොක රජුගේ සහායයෙන් ප්‍රථමසංගායනාවෙහි සෙයින්ම පිටකාදිවශයෙන් සංග්‍රහකරමින් මේ දෙවන සංගායනාව අටමසකින් නිමකළහ.

තෘතීය සංගායනාව. සම්බුද්ධපරිනිර්‍වාණයෙන් දෙසිය අටළොස්වසක් ඉක්ම ගිය සඳ ධර්‍මාශොකමහ රජනෝ දඹදිව විපක්‍ෂවර්තී වූහ. ඒ රජතෙම බුදුසසුන්හි පැහැද පැලලුප්නුවර අශොකාරාමය ආදි සුවාසූදහසක් විහාර කරවා සසුන්හි මහත් පූජා පැවැත්විය. එකල ප්‍රත්‍යයලාභයෙහි ගිජුවූ තීර්ථකයෝ සසුන් වැද තමන්ගේ විෂම දෘෂ්ටීන්ම ධර්‍මය විනය කොට දක්වමින් ශාසනයෙහි මහත් අර්බුද ඉපදවූහ. මේ අධිකරණය අතිශයින් බලවත් වූයෙන් ධර්‍මයෙන් විනයෙන් සමථයට නො පැමිණවිය හැකිවිය. එහෙයින් ධර්‍මාශොකරජුගේ බලවත් සහායයෙන් සියලු භික්‍ෂූන් අශොකාරාමයට රැස් කරවා ශ්‍රමණවෙශධාරී වූ සැටදහසක් පමණ තීර්ථකයන් නෙරපා ශාසනය ශුද්ධ කරන ලද්දේය.

මේ අධිකරණය නිමිතිකොට නැවතත් ධර්‍මය සංගායනා කළ මැනවැයි සැලකූ ස්ථවිරභික්‍ෂූහු මොග්ගලිපුත්තතිස්ස ස්ථවිරප්‍රමුඛ දහසක් ක්‍ෂීණාස්‍රවයන් නියම කොට බුදුන් පිරිනිවි දෙසියපන්තිස්වන වර්ෂයෙහි පැළලුප්නුවර අශොකාරාමයෙහි රැස්ව ධර්‍මාශොකරජුගේ ආරක්‍ෂා ඇතිව පූර්‍වසංගායනා දෙකෙහි දී මෙන් ම පිටකාදිවශයෙන් සාර්ථකථාධර්‍මවිනය සංගායනා කොට නවමසකින් නිමවූහ.

මහින්දා ගමනය. සියලු ශාසනකණ්ටක විශොධනය කොට තෘතීය මහාධර්‍මසංගායනාව නිමවා විදේශයන්හි ධර්‍මප්‍රචාරය සඳහා ධර්‍මදූතභික්‍ෂූන් යවන්නාවූ මොග්ගලිපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ ලංකාබුද්ධශාසනප්‍රතිෂ්ඨාපනය සඳහා ස්වකීය අතවැසි වූ ක්‍ෂීණාස්‍රව මහාමහින්ද්‍රස්ථවිර ප්‍රමුඛ පඤ්චවර්‍ගික භික්‍ෂූන් නියම කළහ ඒ මහින්ද්‍රස්ථවිරයන් වහන්සේ ද සංගායනාත්‍රයෙහි ඇතුලත් වූ සාර්ථකථාත්‍රිපිටකධර්‍මය ද සියලු ආචාය්‍යවාදය ද සිය ගුරු වූවන්ගෙන්ම ඉගෙන ධාරණය කරනසේක. උන්වහන්සේ බුදුන් පිරිනිවි දෙසියසතිස්වන වර්ෂයෙහි පොසොන්මස පුණුපොහෝදවස් ලක්දිව පැමිණ අඹතලා ගල්හි වැඩහිඳ ලංකාධීශ්වර දෙවානම්පියතිස්ස මහරජාණන් දහම් දෙසීමෙන් තිසරණ ගන්වා නොබෝකලකින් සියලු සිංහලජනතාවටම බුද්ධාගමය පිළිගැන්වූහ. එසේ ම නො එක් දහස් ගණන් සිංහල ජනයා පැවිදි- උපසපන් කරවා ඔවුන්ට වාග්ද්වාරයෙන් ම සාර්ථකථා ත්‍රිපිටකධර්‍මය ඉගැන්වූහ.

චතුත්‍ථසංගායනාව. එක් දිනක් ලක්දිව බුදුසසුන් පිහිටියේ හෝ නො වේ හෝ දැයි විචාළ රජුට මහින්ද්‍රස්ථවිරයන් වහන්සේ මහරජ! මේ දිවයින්හි ම උපන් මවුපියන්ගේ දරුවෙක් මෙහි මැ මහණ- උපසපන් වැ මෙහි මැ ධර්‍මවිනය ඉගෙන මෙහිදී මැ විනය දෙශනාකරන තෙක් ශාසනය මුල්ප්‍රතිෂ්ඨා නො වන්නේ යැ යි දන්වූහ. ඊට පසු රජු විසින් ථූපාරාම විහාරයෙහි කරවූ ධර්‍මමණ්ඩපයෙහි රැස් වූ මහා මහින්ද්‍රස්ථවිරප්‍රමුඛ අටසැටදහසක් භික්‍ෂූන්මධ්‍යයෙහි මහාඅරිට්ඨ නම් ස්ථවිරයන් වහන්සේ ධර්‍මසනාභාරූඪ ව විනයපිටකය දෙශනා කළහ. මෙය පළමු දැක්වූ සංගායනාත්‍රයට අසමානවුව ද ලංකාසම්‍බුද්ධශාසනයාගේ මුල්ප්‍රතිෂ්ඨාව සඳහා කළ හෙයින්ද- සංගායනාස්වරූප හෙයින් ද- සතරවෙනි ධර්‍මසංගායනාව වශයෙන් සලකනුලැබේ.

අර්‍ථකථා සිංහල භාෂාවෙන් ලිවීම. තථාගතපරිනිර්‍වාණයෙන් සාධිකශතවර්‍ෂයක් ඉක්ම යන තුරු ද ත්‍රිපිටකපාලිය හෝ අර්‍ථකථා මාගධ භාෂාවෙන් හෝ අන්‍යභාෂාවකට පරිවර්තනය කිරීමෙන් පදව්‍යඤ්ජනමාත්‍රයකුදු ලියනලද්දාහු නො වෙති. මහින්ද්‍රස්ථවිරයන් වහන්සේ විසින් අර්‍ථකථා සහිත ආචාය්‍යවාදය ද ලාංකෙය්‍ය අතවැසිගණයට ඉගැන්වූ බැව් යට කියනලදී. ඒ දුරදර්ශී වූ සිංහල භික්‍ෂූහු මාගධිඅර්‍ථකථා සහිත ථෙරවාදය මතාන්තරසංකලනයෙන් වලකනු සඳහා කඤ්චුකයකින් වසා තබන්නාක් මෙන් සිංහලයෙන් පරිවර්තනය කොට ලියූහ. තථාගතධර්‍මය භාෂාන්තරපරිවර්තිත වූ ප්‍රථමවාරය මෙය වේ. හෙ ද අර්‍ථකථා පමණෙකි. මේ ධර්‍මලෙඛනයෙහි ලා යම් ගෞරවයෙක් වේ නම්? එය සිංහලජනතාවට හා සිංහල භාෂාවට ද හිමි වේ. මේ අටුවා සමූහය අනුරාධපුර මහා විහාරීය භික්‍ෂූන් විසින් ලියූ හෙයින් මහා විහාරඅටුවා යි ද, හෙළටුවා යි ද ප්‍රකටවිය.

අවශෙෂ අර්‍ථකථා. මෙකී මහා අටුවාව හැර “මහාපච්චරියඅට්ඨකථා, කුරුන්දියට්ඨකථා, අන්ධකඅට්ඨකථා, සංඛෙපඅට්ඨකථා,, යයි අන්‍යඅර්‍ථකථා සතරක් ද වූහ. එහි පසුරෙක්හි වෙසෙමින් ලියූ අටුවාව මහාපච්චරිය නම් විය. එය යට දැක්වේ. කුරුඳු වැලි නම් විහාරයෙහි වෙසෙමින් ලියූ අටුවාව කුරුන්දිය නම් වේ. අර්‍ථකථාවල “කුරුන්දවේලී,, යි ද මහාවංශයෙහි “කුරුන්දපාසක,,යි ද පෙනෙන මේ විහාරය බු: ව: 433 දී, රජපැමිණි ඛල්ලාටනාග රජු විසින් කරවූ හෙයින් කුරුන්දියඅටුවාව ඉන් පසු කලක ලියනලද්දක් වේ. ත්‍රිපිටක ධර්‍මයාගේ සංක්‍ෂෙපයෙන් අරුත් දැක්වීම පිණිස ලියනලද්දී සංඛෙපඅට්ඨකථා නම් වූය. මේ අටුවා සියල්ල ම සිංහලයෙන් ම ලියනලද්දාහුයි. අන්ධකඅට්ඨකථා නම්? “ආන්ධ්‍ර,, යයි ප්‍රසිද්ධ වූ ද්‍රවිඩභාෂාවිශෙෂයෙන් හෝ තද්දේශීය ආචාය්‍යවරයෙකු විසින් සිංහලයෙන් ම ලියන ලද්දක් බව හැඟේ.

බ්‍රාහ්මණතියභය හා මහාපච්චරියඅටුවාව. වට්ටගාමණී අභයරජතෙම බු: ව: 439 වැන්නේහිප්‍රථම වරට රජ විය. මෙකල තිස්ස නම් බමුණෙක් රාජ්‍යය සඳහා දූමරිකව හැසිරෙන්ට විය. බමුණුතෙම මහාජනයා විසින් තීයසොරැ යයි හඳුන්වනු ලැබීය. පුලහත්‍ථාදි ද්‍රවිඩයන්ගේ පැමිණීම ද මෙකල්හි ම විය. රජතෙම සිංහාසනය හැර වල්වැදුනේය මේ සොරබිය හා පරසතුරුවිය පවත්නාකල්හි මහත් නියඟයකින් සස්‍යවිනාශයද විය. මේ නියඟය දොළොස්වසක් පැවතුනේය. මේ කාලයෙහි ලක්‍ෂගණන් මහාජනයා ද දහස් ගණන් භික්‍ෂූහුදු මළහ. ලංකාඉතිහාසයෙහි මෙපමණ අඳුරුකාලයක් දක්විය නොහැකි තරම්ය. මේ කල ඇතැම් භික්‍ෂූහු පරදෙස ගියහ. කිසිවෙක් පලාවෙල කමින් ජීවත්වූ මිනිසුන් අතර ඉතා දුකසේ ජීවත්වුහ. කිසිවෙක් ශත්‍රැයාගේ අනුදැනුම පරිදි දඹකොලපටුන සම්ප්‍රාප්තවෙමින් පසුරක් කොට එහි විසූහ. මේ සියල්ලන්ගේ ම පරමාභ්‍යාශය වූයේ එකෙක් කල් ග්‍රන්ථාරූඪ නො වූ ත්‍රිපිටකපය්‍යාප්තිය රැකගැනීමයි. එහෙයින් පසුරෙහි විසූ භික්‍ෂූහු පිටකත්‍රය සිත්හි ධරමින් සිංහලයෙන් අටුවා ලියූහ. ඕ මහාපච්චරියට්ඨකථා නම් වූවාය. මෙසියලු අටුවා අතුරෙහි මහා විහාරීය අටුවාවට අතිශයින් ප්‍රශස්තද සම්පූර්‍ණ ද වූවාය.

පඤ්චම සංගායනාව හා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪකිරීම දොළොස්වසක් පමණ ඉක්ම යන කල්හි බ්‍රාහ්මණතියභය (බැමිණිතියාසාය) ක්‍රමයෙන් සංසිඳුනේය. බුදුන් පිරිනිවි වර්ෂ 454 ක් ඉක්මුනු කල්හි “පීතෲමහාරජ,, යයි ප්‍රසිද්ධ වලගම්බාරජතෙම නැවත රාජ්‍යයට පත්විය. පරදෙස ගිය භික්‍ෂූහු ද පෙරලා පැමිණියාහ. මේ කල්හි ම මහා විහාරයෙන් භින්නව අන්‍යනිකායක් අභයගිරි විහාරයෙහි පහළවිය. දුර්භික්‍ෂාදි මහා විපත්තියෙන් පීඩිත වූ මහා විහාරීයභික්‍ෂූහු ලක්දිව නිකායාන්තරයන්ගේ සම්භවය හේතුකොට සංගායනාත්‍රයට පැමිණි අතිපරිශුද්ධ බුද්ධවචනය නිකායාන්තරසංසර්‍ගයෙන් කාලාන්තරයක පැමිණිය හැකියයි ද අනාගතශාසනධාරීන්ගේ ධාරණ ප්‍රඥාව අල්ප යයි ද සලකා ත්‍රිපිටකධර්‍මය ග්‍රන්ථාරූඪ කිරීමට නිශ්චය කරගත්හ. එහෙත් ලංකාධිපති වලගම්බාහුරජු අභයගිරිපක්‍ෂය ගෙන සිටිහෙයින් ද අභයගිරිනිකායිකයින්ගෙන් පීඩා ඇතිවිය හැකි හෙයින්ද මහා විහාරය හැර මාතුල (=මාතලේ) ජනපදයෙහි අලුවිහාරයට රැස්ව ධර්‍මසංගායනාව සඳහා ත්‍රිපිටකපය්‍යාප්තිධර පන්සියයක් ක්‍ෂීණාස්‍රවයන් වහන්සේ නියම කළහ. ඒ භික්‍ෂූහු මාතුලජනපදාධිපතිහුගේ ආරක්‍ෂා ඇතිව සියලු ධර්‍මවිනය පූර්‍වසංගායනාවන්හි සෙයින් පිටකාදි වශයෙන් පිළිවෙළින් සංගායනා කොට ග්‍රන්ථයන්හි ලෙඛනය ද කළහ. මෙසේ බුදුන්පිරිනිවි සාරසිය සූපනස්වසක් ගතවූ කල්හි මුඛ පාඨවශයෙන් ගෙනා සියලු බුද්ධවචනය ප්‍රථමවරට ග්‍රන්ථාරූඪ විය. මෙහි ගෞරවය ද ලක්දිවට ම හිමි වේ.

සූත්‍රපිටකය සිංහලයට නැගීම ඒ පඤ්චම සංගායනා වෙහි පටන් ත්‍රිපිටකය මාගධ භාෂාවෙන් ද අර්‍ථ කථා සිංහලභාෂාවෙන් ද පඨන පාඨන ලෙඛනාදි වශයෙන් පැවැත්තේය. බු: ව: 882 දී රජ පැමිණි බුද්ධදාස රජු සමයෙහි මහාධම්මකථී නම් ස්ථවිරකෙනෙක් සූත්‍රපිටකය සිංහලට නැඟූහ. එය මෙකල සම්පූර්‍ණයෙන් ම අභාවප්‍රාප්තයැ.

මාගධ අර්‍ථකථා බු: ව: 953 දී රජ වූ මහානාම රජු දවස මෙහි පැමිණි බුද්ධඝොෂ ස්ථවිරයන් වහන්සේ සිංහල භාෂාවෙන් ලියා තුබූ සියලු අටුවා සසඳමින් මහා විහාර අටුවාව ප්‍රමුඛස්ථානයෙහි තබා මාගධ භාෂාවෙන් පරිවර්තනය කළහ. සමහර අටුවා බදරතිත්‍ථ ධම්මපාල- බුද්ධදත්ත- උපසෙන- මහානාම ආචාය්‍යවරයන් විසින් පරිවර්තිත වූහ. මෙතැන් සිට සාර්ථකථා ත්‍රිපිටකධර්‍මය ග්‍රන්ථාරූඪවූයේ ලක්දිව හා විදෙශයන්හි ද ව්‍යාප්තවිය.

අර්‍ථකථාග්‍රන්ථ පද හෙළටුවා පරිවර්තනය කළ පසු මාගධභාෂාමය අටුවාවන්ට ගිහිපැවිදි පණ්ඩිතවරයන් විසින් මහාගණ්ඨිපද-මජ්ඣිමගණ්ඨිපද- චූලගණ්ඨිපද යයි සිංහලයෙන් ලියූ ගැටපද ග්‍රන්ථසමූහයක් ද විය. හෙද පොලොන්නරු සමයෙහි ශාරිපුත්‍රසංඝරාජයන් වහන්සේ විසින් ටීකානිෂ්පාදනයෙන් පසු අභාවයට ගියබැව් පෙනේ. එයින් ශෙෂව පවත්නා බු: ව: 1473 දී රජපැමිණි 5 වෙනි කාශ්‍යපරජු විසින් ලියනලද දම්පියා අටුවා ගැටපදය ධර්‍මවිචාරකයින්ගේ සිත් දිනමින් සිංහල සාහිත්‍යයෙහි අභිෂෙක ලැබ පවතී.

හෙළටුවා විනාශය. බුද්ධඝොෂ තෙරුන්ගේ හෙළටුවා පරිවර්තනයෙන් පසු ද ඒවා බොහෝ කලක් නිරුපද්‍රැතව පැවැත්තේය. “මාගධිපරිවර්තනයෙන් හෙළටුවා විනාශය විය,, යනු සාවද්‍යමතයෙකි. දම්පියා අටුවා ගැටපද විසුද්ධිමග්ගසන්නා ආදියෙහි පාඨ ප්‍රදෙශ දක්නා ලැබෙන හෙයිනි. කාලිංගමාඝාදීන්ගේ දුෂ්ටක්‍රියා මාර්‍ගය නිසා අන්‍ය වැදගත් සිංහලග්‍රන්ථයන් සමග හෙළටුවා ද විනාශවූ බව සැලකිය යුතුයි.

අර්‍ථකථා සංරක්‍ෂණය. මාගධියට නැඟූ අටුවා විදෙශයන්හිද ගෙන ගියබැව් යට කියනලදී. ලක්දිව මාගධි අටුවා ද හෙළටුවා සමග බොහෝ සෙයින් අභාවයට ගියේය. එසේ අභාවයට ගිය බොහෝ ග්‍රන්ථ පිටරටින් ගෙන්වූ වාර ද සඳහන් වේ. යම් හෙයකින් මාගධි පරිවර්තනය නො වී නම් අද ත්‍රිපිටකාර්ථ කථාවලින් වැඩි කොටසක් ලොකයෙන් අතුරුදහන් වනු නියතයි. එහෙයින් බුද්ධඝොෂාක්‍රියා මාර්ගය අටුවා රැකීමෙහි ලා අතිශයින් උපකාරීවිය. ඒ මාර්ගයෙන් ම දැනුදු හැකිතාක් හෙළටුවා නිපදවා ගැනීමට ඉඩ තිබේ. විශේෂයෙන් නම්? දුරතීතයෙහි පැවති (දැනට සෙල්ලිපිවල) භාෂාවෙන් නො ලැබීම පමණකි. අවුරුදු දහසකින් මෙපිට කවර ගත වර්‍ෂයක නමුදු භාවිත වූ හෙළවට සමවන පරිදි නිපදවා ගැනීමට ඇති බාධාව කුමක් ද? ධම්මපදට්ඨකථා ජාතකට්ඨකථා ආදිය මාගධි අටුවාවෙන් පරිවර්තිතව දැනුදු පවතී. එහෙත් ඒ විශේෂ ධර්‍මග්‍රන්ථ වශයෙනි.

අභිනව හෙළටුවා. දැනට සිංහලයට නඟා තිබෙන අටුවා කීපයෙන් සිංහලජනතාවට ලැබී තිබෙන ප්‍රයෝජනය මහත් වේ. සෙසු අටුවා ද සිංහලයට නඟාලීමෙහි යොග්‍යක්‍ෂණය සැලකූ පින්වත් තේ සොභානන්දනාථශ්‍රීකල්‍යාණවංශමහායතිවරයන් වහන්සේ විසින් ආරාධිත වැ මොල්ලිගොඩ ප්‍රවචනොදය පරිවෙණාධිපතිව වැඩවිසූ අපගේ ආචාය්‍යර්‍ය්‍ය ශ්‍රී මහා විහාරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ගුණරතනාභිධාන රයිගම නායකමාහිමියන් වහන්සේ මනොරථපූරණී නම් අංගුත්තර නිකායාර්ථකථාව පරිවර්තනවාරයෙන් මනොරක්‍ෂණී නම් සිංහල අටුවා නිපදවූහ. එයින් කොටසක් මුද්‍රිත වැ තදනිලශීන්ගේ ඉෂ්ටාභිවෘද්ධිය කෙරේ. (තත්කර්තෘන්වහන්සේගේ ප්‍රමාදයෙන් ඉතිරි කොටස මේ තාක් මුද්‍රණය වී නැත.) පපඤ්චසූදනී නම් මධ්‍යම නිකායාර්ථකථාව ද හෙළටුවාවක් කිරීමෙහි අභිලාෂී ව සිටි නායක මාහිමියාණෝ තත්කාය්‍යර්‍ය්‍යසිද්ධිය අතිපස්තනව ම ස්වකීයපරායණ වූහ. තදධ්‍යාශය පූරණයෙහි ලා අපගේ මේ ව්‍යාපාරය වන්නේය.

පපඤ්චසූදනී. සංගායනාත්‍රයට ම ආරෝපිත වූ මධ්‍යමනිකායාර්ථකථාව යට කී ලෙසින් හෙළබසින් තබනලද්දී පසුව මාගධියට නගනලද්දීය. ඕතොමෝ යම්හෙයකින් ධර්‍මයාගේ විස්තාරාර්ථප්‍රසවය කරන්නී ද එහෙයින් පපඤ්චසූදනී නම් වූය. මෝ අටුවාව ලංකා- සියම් -බුරුමාදි රටවල ආචාර්ය්‍යවරයන් විසින් සංශොධිත වැ මුද්‍රිතවූවා පවතී. එයින් ශ්‍රීමත් අතිගරු සර් රේබට් චාමර්ස් උතුමාණන් විසින් ආරාධිතවැ කරනලද විද්‍යාලංකාර පරිවෙණාධීශ්වර වැ විසූ ධර්‍මකීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන නායකස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංශොධනය ම අතිශයින් අනාකුල ද ප්‍රශස්ත ද වන්නේය.

පපඤ්චදීපිකා. ඒ පපඤ්චසූදනී නම් මගධි අටුවා නැවත සරල වූ සිංහලභාෂාවට නගනලද්දී විස්තරාත්‍ථයන් ප්‍රකාශ කරන්ති නු යි පපඤ්චදීපිකා නම් වූය. මේ පරිවර්තනයෙහිදී ශ්‍රී ධර්‍මාරාම නායකස්වාමීන්ද්‍රයන්ගේ සංස්කරණය මූලස්ථානයෙහි තබා සුදුසු තැන්හි සෙසු අටකථා හා බම්බලපිටියේ වජිරප්‍රඥාකාලොයස්ථ ටීකාව ද අපවිසින් ඇසුරු කරනලදී.

උපස්තම්භය. අපගේ මේ සද්ව්‍යාපාරය “ප්‍රවචනොදය,, පරිවෙණාධිපති පණ්ඩිතාචාර්‍ය්‍ය ශ්‍රී සද්ධර්‍මවාගීශ්වර නායක මාහිමියන් වහන්සේ සංශොධනපූර්වක වැ ප්‍රතිග්‍රහණය කිරීමෙන් ද- තත්පරිවෙණොපප්‍රධානාචාර්ය මොල්ලිගොඩ සිරි අභයවංසාභිධාන මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ ද- පරිවෙණොපවාචාර්ය්‍ය පණ්ඩිත හල්තොට සිරිමනාන්දාභිධාන මහාස්ථවිරයන් වහන්සේ ද- කළුතර දෙවානන්දාභිධාන ස්ථවිරයන් වහන්සේ ද යන අසමදෘශායෙෂ්මාන්තමයන් විසින් දුරවබොධ වූ සියලු ස්ථානයන් කරුණාපූර්‍වකව මධ්‍යස්ථාශයයෙන් සුබොධ කරදීමාදිවශයෙන් ද අතිශයින් සාර්ථක කළ බැව් අත්‍යන්තගෞරවාචනත වැ ප්‍රකාශ කරම්හ. තවද වවුලුගල සිරිධම්මරක්ඛිතාරාමාධිපති අසමදෘශාස්මී එල්ලාවල විමලරතනාභිධාන මහාස්ථවිරපාදයන් වහන්සේ හා දලුගවත් තේ මහා විහාරාධිපති පනාගොඩ ශ්‍රී රෙවත ධම්මරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා ඔබපාත සුමනජොති ආයුෂ්මතාණන් ද මෙහි ලා අතිශයින් ආධාර කළ බැව් ද, විශේෂයෙන් ම අප ප්‍රියසබ්‍රහ්මචාරී වූ සිරිධම්මරක්ඛිතාරාමවාසී මොල්ලිගොඩ පියරතන ආයුෂ්මතාණන් විසින් මුද්‍රණයෙහි දී ශුද්ධිපත්‍ර බැලීම් ආදිවශයෙන් සම්ප්‍රකාරයෙන් උපස්තම්භක වූ බැව් ද කෘතඥතාපූර්‍වක වැ සඳහන් කරම්හ.

එසේ ම විශේෂ උනන්දුවක් දක්වමින් මෙහි මුද්‍රණකාර්ය්‍යය ඉතා සිත්කළුවෙස කරවාදුන් හොරණ විද්‍යාශෙඛර යන්ත්‍රාලයාධිපති ඒ. ඩී. බර්නාඩ් අප්පුහාමි ද ඒ සඳහා ආධාර කළ අප භ්‍රාතෘභූත ලබුගම පී. දාවිත් පෙරේරා මහතාණන් හා අනෙක් සියලු පින්වතුන් ද මෙහිදී කෘතඥතා පූර්‍වක වැ පුණ්‍යානුමොදනාචාරයෙන් සිහිපත් කරමු.

ප්‍රයොජන. ඉතා සවිස්තාර වූ ද ගම්භීර වූ ද දුරවබොධ වූ ද ධර්‍මපදර්ථයන් සරලවූ හෙළදිව බසින් දක්වා තිබෙන හෙයින් ධර්‍මාභිලාෂීන්ට මේ ග්‍රන්ථරත්නය චින්තාමාණික්‍යයක් සමාන වන්නේය. සිංහල සාහිත්‍යයට ද මහත්වූ උපස්ථම්භයක් වන්නේය. එසේ ම අපගේ මේ උත්සාහය සම්බුද්ධපය්‍යාප්ති ශාසනයාගේ අභිවෘද්ධියට ඉවහල් වේවා යි ප්‍රාර්ථනා කරමු.

තවද- දැනට සිංහලයට පරිවර්තනය නොවී පවත්නා සියලු අටුවා ම යථාවකාශයෙන් පරිවර්තනයකොට අභිනවහෙළටුවා සුලභකිරීම අපගේ බලාපොරොත්තුව වේ. මීට සැදැහැවත් බෞද්ධමහාජනයාගේ විශේෂාධාරය ලැබේවා යි බලාපොරොත්තු වෙමු.

නැවත මුද්‍රණය “ප්‍රවචනොදය,, පරිවෙණාධිපතීන් වහන්සේට අභිමතපරිදි වියයුතුයි.

ලබුගම ලංකානන්ද.
ශ්‍රී බුද්ධවර්ෂ දෙදහස්සාරසිය එකුන්අසූ (2479) ක් වැ බිනරමස අමාවක් ලත් ක්‍රි: වර්‍ෂ 1936 ක් වැ සැප්තැම්බර් මස 15 වෙනි කුජදින මොල්ලිගොඩ ප්‍රවචනොදය පිරිවෙන්හිදීය.

දැන්වීමයි.

හෙලටුවා සුලභ කිරීමේ අදහසින් අප ආරම්භ කළ “ප්‍රපඤ්ච දීපිකා” වේ තෘතීයභාගය මූලපණ්ණාසවණ්ණනා අවසන් කොට මෙසේ ප්‍රසිද්ධ කරවීමට අවස්ථාව ලැබීම අපට මහත් ප්‍රීතියකි. මෙහි ඉතිරි කොටස හා අවශෙෂ අර්ථකථා ද ඉතා ඉක්මනින් ම හෙළටුවාචාරයෙන් ශාසනාභිවෘද්ධියෙහි යෙදෙත්වායි අපගේ ආශංසනය වේ.

මෙ ම තෘතීයභාගය සම්පාදනයෙහි හා මුද්‍රණය කිරීමෙහිදී ද පෙර සේ ම “ප්‍රවචනොදය” පරිවෙණාධිපතීන් වහන්සේ ප්‍රමුඛ අප ආචාය්‍යොත්තමයන්ගේ අනුශාසනය ද, එසේ ම අප ප්‍රියසබ්‍රහ්මචාරීභූත මොල්ලිගොඩ පියරතන ආයුෂ්මතාණන් වහන්සේගේ දුස්කර උපස්තම්භය ද, හොරණ විද්‍යාශෙඛර යන්ත්‍රාලය ස්වාමි වූ ඒ. ඩී. බර්නාඩ් අප්පුහාමිගේ උපකාරය ද අතිශයින් හේතු වූ බැව් කෘතඥතා පූර්වක වැ සඳහන් කරම්හ.

ලබුගම ලංකානන්ද.
ශ්‍රී බුද්ධ වර්‍ෂ 2482 ක් වැ ඇසළමස පුරපසළොස්වක්ලත් ක්‍රි: වර්‍ෂ 1939 ක්වැ ජූලි මස 30 වෙනි රවි දින මොල්ලිගොඩ “ප්‍රවචනොදය” පිරිවෙන්හිදීය.