ඉතිවුත්තක පාලිය අර්ථභාව ධර්මවිස්තර සහිත - කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමි 1961.pdf

කලුසුදු

කතෘ :
කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමි
ප්‍රකාශිත වර්ෂය :
1961
මුද්‍රිත වර්ෂය :
1961
පිටු ගණන :
432
බාගත කිරීම් ගණන :
1,619
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-01-22
ගොනුවේ ප්‍රමාණය :
95 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 217

අර්‍ථ භාව ධර්‍මවිස්තර සහිත ඉතිවුත්තක පාලිය යනු ඛුද්දක නිකායට අයත් ඉතිවුත්තක පාළිය සඳහා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරන්ධරව වැඩවිසූ කිරිවත්තුඩුවේ ධර්‍මකීර්ති ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත අගනා ධර්ම විවරණ ග්‍රන්ථයකි. බුද්ධ වර්ෂ 2503 (ක්‍රි.ව. 1961) දී කැලණියේ කේ. ජී. සිරිවර්ධන මහතාගේ ප්‍රකාශනයෙන් මරදානේ අනුල මුද්‍රණාලයේ මුද්‍රණය කර ඇත.

මෙහි ඉතිවුත්තක පාලි පෙළ සමඟ එක් එක් ගාථා හා සූත්‍ර සඳහා අවශ්‍ය අර්ථ, භාව සහ ධර්ම විස්තර විස්තාරාත්මකව සපයා තිබේ. එමෙන්ම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය එච්. ඇස්. කුරේ මහතා විසින් ඉතිවුත්තකයේ ඓතිහාසික හා සාහිත්‍යයික පසුබිම පිළිබඳව විමර්ශනාත්මක දීර්ඝ ප්‍රස්තාවනාවක් ද සපයා ඇත.

සංඥාපනය

ශ්‍රී සුගත තථාගත සද්ධර්‍මවර චක්‍රවර්ති ස්වාමීවූ අප භාග්‍යවතුන් වහන්සේගේ පර්‍ය්‍යාප්ති ශාසන නම්වූ නවාංග සමන්වාගත ත්‍රිපිටක බුද්ධ වචනයෙහි ඉතිවුත්තකාඞ්ගය වනුයේ මේ ඉතිවුත්තක පාළි නම්වූ මනහර ධර්‍ම ග්‍රන්ථය යි.

එහි කිසිම සූත්‍රදේශනාවක නැති විශේෂ ලක්ෂණයකින් ප්‍රතිමණ්ඩිතවූ අංගය ඉතිවුත්තකාඞ්ගය යි “වුත්තං හෙතං භගවතා වුත්තමරහතාති මෙ සුතං” යන නිදානයෙන් හා “අයම්පි අත්‍ථො වුත්තො භගවතා, ඉති මෙ සුතං” යන නිගමනයෙන් ද එය පැහැදිලි වෙයි.

මෙය මෙසස්නෙහි ධර්‍මකථික උපාසිකාවන් අතුරෙන් අග්‍රතනතුරු ලත් ඛුජ්ජුත්තරා නම්වූ ආර්‍ය්‍යශ්‍රාවිකාවන් විසින් තමාගේ ධර්‍මදේශනා සමයේදී තැබූ නිදානපාඨයයි භාග්‍යවතුන්වහන්සේගේ අදහස් දත් ධර්‍මසංගායක ආර්‍ය්‍යයන් වහන්සේ විසින් මේ දේශනා ඉතිවුත්තකයන්ට කරුණු වන බව හැඟවීම පිණිස මේ ක්‍රමයෙන් නිදානය තබනලදැයි ද ආචාර්‍ය්‍ය මතයෙකි.

එසේ ද වුවත් එයින් මෙය බුද්ධභාෂිතයවනු මිස වේදල්ලාංගය මෙන් ශ්‍රාවකභාෂිතයක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරන ලද්දක් ශ්‍රාවකයන් හෝ ශ්‍රාවිකාවන් ප්‍රකාශ කළ මුත් තම තමන් විසින් සිතා අත්තනොමතිකව දෙසනලද්දක් නොවනබව ප්‍රථම ධර්‍ම සංගීතියෙහි මහරහතන් වහන්සේගේ පිළිගැනීමෙන් ම පෙනේ

මේ පර්‍ය්‍යාප්තිධර්‍මය බුද්ධභාෂිතය, ශ්‍රාවකභාෂිතය, ඍෂිභාෂිතය, දේවභාෂිතය යි භාෂිත සතරකට කොටස්කර තිබේ. සියලු විනය පිටකය හා අභිධර්‍ම පිටකයත් ධම්මපද, චරියාපිටක, උදාන, ඉතිවුත්තක, ජාතක, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, බ්‍රහ්මජාලාදි සූත්‍රයෝත් “බුද්ධභාෂිතයහ”

භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවුපිරිසට අයත් ශ්‍රාවකයන් විසින් ප්‍රකාශිතවූ අනංගණ, සම්මාදිට්ඨි, අනුවාන, චුල්ලවේදල්ල, මහා වේදල්ල, ථෙරථෙරීගාථා ආදි ධර්‍මයෝ “ශ්‍රාවක භාෂිත”යෝ ය.

බාහිර පරිබ්‍රාජකාදි තාපසයන් විසින් කියන ලද සුත්තනිපාතයෙහි එන සියලු පරිබ්‍රාජක වර්ගයත් පාරාවරිය බමුණුහුගේ අතවැසි සොළසක් බමුණු තවුසන්ගේ ප්‍රශ්න ඇතුළත් ධර්‍මයෝත් “සෘෂිභාෂිත” යහ

දිව්‍ය බ්‍රහ්ම ආදීන් විසින් ප්‍රකාශිත දේවතා සංයුක්තය, දෙවපුත්ත සංයුක්ත, මාර සංයුක්ත, බ්‍රහ්ම සංයුක්ත, සක්ක සංයුක්ත ආදි ධර්‍මයෝ “දේවභාෂිත”යෝ ය. මෙසේ ශ්‍රාවක, සෘෂි, දෙවතාදීන් විසින් තමහට ඉඩ ලැබෙන ඒ ඒ අවස්ථාවන්හිදී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ කළ ප්‍රකාශයෝ උන්වහන්සේගේ ද අනුමැතිය ලැබ ස්වාක්ඛාත ධර්‍මයවූ හෙයින් බුද්ධභාෂිතම වූහ.

ලියන්නන් ලියූ ඔප්පු තිරප්පුවල ඔවුන් අත්සන් කරනු ලැබුවත් රාජමුද්‍රාව නොතැබුවේ නම් වලංගු නොවන්නා සේ ශ්‍රාවකාදීන් විසින් ප්‍රකාශිත ධර්‍ම භාග්‍යවතුන් වහන්සේ ද පිළිගෙන වදාළ හෙයින් බුද්ධභාෂිතම වූ බව සැලකිය යුතුය. “ලියන්නන් ලියාලූ පත්කඩෙහි රජ්ජුරුවන් ලූ ඔප්පුව නිසා ඒ කෙමේ සත්හස් වීද, එපරිද්දෙන් මේ වස්තුවත් බුද්ධභාෂිත නම් වී”යයි සද්ධර්‍මරත්නාවලියෙහි මට්ටකුණ්ඩලී වස්තුව සඳහා කියනලද්දේ එහෙයිනි.

විනයපිටකයෙහි උභතොවිභංග (පාරාජිකා පාචිත්තිය) චුලනිද්දේස, මහා නිද්දේස, ඛන්ධක (මහාවග්ග චුළවග්ග) පරිවාරය ද, සුත්තනිපාතයෙහි මංගල සූත්ත, රතන සුත්ත, නාලක සුත්ත, තුවටක සුත්තාදි සූත්‍ර වශයෙන් නම් කළ තථාගත බුද්ධවචන ද ‘සූත්‍ර’ යයි දතයුතු. සාමාන්‍යයෙන් ගාථා සහිත සූත්‍ර හා විශේෂයෙන් සංයුක්තනිකායෙහි සියලු සගාථක වර්ගයට ඇතුළත් ධර්‍ම ද “ගෙය්‍ය” නම් වේ. ගාථා

මිශ්‍ර නොවූ සූත්‍ර හා අනික් අංග අටට ම ඇතුළත් නොවූ බුද්ධවචන ද මුළුමනින් අභිධර්‍මපිටකය ද “වෙය්‍යාකරණාංගයට” ඇතුළත් වේ.

ධම්මපද, ථෙරගාථා, ථෙරීගාථා, හා සුත්තනිපාතයෙහි සුත්ත නම් නොවු සුද්ධික ගාථා ද “ගාථාංගයට” ඇතුළත් වේ. සතුට විදහා දක්වන සොම්නස් සහගත නුවණින් ප්‍රකාශවූ ගාථාවන් ඇතුළත් දෙඅසූවක් සූත්‍ර “උදාන” නම් වේ. “වුත්තං හෙතං භගවතා” යන ආදි වශයෙන් ප්‍රකාශිත එකසිය දොළසක් සූත්‍ර “ඉතිවුත්තකාංගයට” ඇතුළත් වේ.

අපණ්ණක ජාතකාදි පන්සිය පනස් ජාතක දේශනා “ජාතකාංගයට” ඇතුළත්වත්ම “චත්තාරො මෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ” යන ආදීන් වදාළ ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම ප්‍රතිසංයුක්ත සූත්‍රාන්තයෝ “අද්භූත ධර්‍මාංගයට” ඇතුළත් වෙති.

චුල්ලවේදල්ල, මහා වේදල්ල, සම්මාදිට්ඨි, සක්ක පඤ්හ, සංඛාරභාජනීය, මහාපුණ්ණමාදි සූත්‍ර නුවණත් සතුටත් ලැබ ලැබ පුළුවුස්නා ලද ප්‍රශ්නොත්තර මාලාවන්ගෙන් යුක්ත හෙයින් “වේදල්ලාංගයට” ඇතුළත් වේ යනු සමන්ත පාසාදිකා නම්වූ විනයට්ඨකථාවේ හා මහානිද්දෙසට්ඨ කථාවේ ද සඳහන්වූ අයුරු යි.

ඉතිවුත්තක සූත්‍ර සංඛ්‍යාව ගැන පඬුවන් අතර යම් යම් මතභේද ඇතත් එහි එන උද්දාන ගාථාවන්ට අනුව සූත්‍ර නාමයන් ද සඳහන් කොට බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 24 වෙනි ග්‍රන්ථයෙහි සඳහන් කළ අයුරු ප්‍රශස්ත ය. එහෙයින් එය එසේම ගෙන බලන්නවුන්ගේ පහසුව සඳහා මෙහි ද ඇතුළත් කෙළෙමු එසේම එය පරලෝසැපත් ඒ ඇම් ගුණසේකර වාසල මුදලිඳුන් විසින් පිළියෙළ කළ ශ්‍රී සද්ධර්‍මකෝෂයෙහි ඉතිවුත්තකය ගැන ලියූ දහම් ලිපියෙහි ද සඳහන්ව ඇත.

මෙහි ඇතුළත් ප්‍රස්තාවනායෙහි සඳහන් පරිදි ඉතිවුත්තක සූත්‍ර සංඛ්‍යා නියමය පිළිබඳ මතභේද ඇතත් ඒ සඳහා කිවයුතුව තිබෙන්නේ තත් තත් අර්‍ථකථාවාසී මතවලට අනුව සූත්‍ර සංඛ්‍යාව ටිකක් අඩු වැඩි වුව ද “දෙ අසූ කඳුවත්” යයි කිවයුතු තන්හි “අසූ කඳුවත්” යයි සඳහන් වූවාක් මෙන් “ද්වාදසුත්තරසත සුත්තන්තං” යයි කිවයුතු තැන “දසුත්තරසත සුත්තන්තං” යි සඳහන් වූවාක් මෙනි.

එහෙයින් සාරත්‍ථදීපනියෙහි: “කාමං චෙත්ථ අප්පකං ඌනමධිකං වා ගණනුපගං න හොතීති කත්වා ද්වාසීති ඛන්ධක වත්තානීති වත්තබ්බෙ අසීති ඛන්ධක වත්තානීති වුත්තං වචනං විය ද්වාදසුත්තරසත සුත්තානීති වත්තබ්බෙ දසුත්තර සත සුත්තන්තානි වුත්තානීති සක්කා වත්තුං” (86 පිට) යනු සඳහන් වී ඇත.

අනුබුද්ධ බුද්ධඝොෂ මාහිමියන්ගේ අර්‍ථකථා රචනා විලාශයට වඩා බදන්ත ධම්මපාල මාහිමියන්ගේ අර්‍ථකථා රචනාවිලාශය බෙහෙවින් ගැඹුරු ය. උන්වහන්සේ ශාස්ත්‍රාන්තර සමයාන්තරවලිනුදු සාධක ගෙන හැර පාමින් ස්වමතය සනාථ කරනු සඳහා ප්‍රයත්න දැරූසේක්ම ය. එය මෙහි දුකනිපාත දෙවෙනි වර්ගයෙහි සවන සූත්‍රාට්ඨකථාව හා සසඳා බැලීමෙන් හොඳින් ස්ඵුට වෙයි. උදාන, ඉතිවුත්තක නෙත්තිප්පකරණයන්හි අර්‍ථකථා එකකර්තෘක හෙයින් හෙයින් එහි බොහෝ තැන්වල සාම්‍යය ද පෙනෙන්නට තිබේ. ඉතිවුත්තකයෙහි දක්නට ලැබෙන ඇතැම් සූත්‍ර උදානයෙහි ද නෙත්තිප්පකරණයෙහි ද සඳහන්ව ඇති හෙයින් අර්‍ථ කථාවන්ගේ සාම්‍යය ද පුදුමයක් නොවේ.

ඉතිවුත්තකයෙහි (2 2 6) අජාත සූත්‍රය උදාන පාළියෙහි අටවෙනි පාටලිගාමිය වර්ගයෙහි තෙවන සූත්‍රය වශයෙන් “අත්‍ථි භික්ඛවෙ අජාතං, අභූතං, අකතං, අසංඛතං” යන ආදීන් පටන් ගෙන තිබෙන බව පෙනෙයි හේතු ප්‍රත්‍යයෙන් හටනොගන්නාවූ නිවන පරමාර්‍ථ වශයෙන් ඇති ධර්‍මයක් වන්නේ කෙසේදැයි භික්ෂූන් අතර නිවන ගැන ඇතිවූ විමතිය දුරුකරනු සඳහා මේ සූත්‍රය වදාළහ “ඉධ සමණබ්‍රාහ්මණානං නිබ්බානං නිබ්බානන්ති වාචාමත්තමෙව, නත්‍ථි පරමත්ථතො නිබ්බානං නාම අනුපලබ්භමාන සභාවත්තාති ලොකායතිකාදයො විය, විපටිපන්නානං බහිද්ධා ච පුථුදිට්ඨිගතිකානං මිච්ඡාවාද භඤ්ජනත්‍ථංච ඉමං අමතමහානිබ්බානස්ස පරමත්ථතො අත්ථිභාවදීපනත්‍ථං තස්ස ච නිස්සරණභාවාදි ආනුභාව - වන්තතානං පීතිවේගෙන උදානවසේන ඉමං සුත්තමභාසී” යනු ඉතිවුත්තකට්ඨකථාවෙහි මෙන්ම උදානට්ඨකථාවේ ද එයට සමාන අදහස් ඇති නෙත්තිප්පකරණට්ඨකථාවේ ද සඳහන් වේ.

ඉතිවුත්තක විසුද්ධාරාම සංස්කරණයෙහි තිකනිපාත යෙහි ඇතැම් සූත්‍රවල හා චතුක්කනිපාතයෙහිත් “වුත්තං

හේතං භගවතා” යන ආදි නිදානය පිළිබඳ ප්‍රධානාංශය සඳහන්ව නැතත් එය අඩුවක් වශයෙන් පෙනුණු හෙයින් අපගේ සංස්කරණයෙහි එය ද එසේ ඇතුළත් කෙළෙමු

ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයෙහි ද එය කල්පනාවට භාජනවූ බව පෙනුණු හෙයින් ඒ අඩුපාඩු පුරවා එහි 24 වෙනි ත්‍රිපිටක පරිවර්තන ග්‍රන්ථයෙහි යොදා ඇතිබව දක්නට ලැබිණි.

ඉතිවුත්තකය විශ්ව විද්‍යාලයන්හි ද පිරිවෙන්හි ද උපයෝග කරගනු ලබන ධර්‍මග්‍රන්ථයකි මෙය පාලිභාෂා ඥානය මෙන් ම ධර්‍මඥානය සඳහා බෙහෙවින් උපකාර වන්නකි. මෙහි ගැඹුරු වූ ද සරල වූ ද ධර්‍මදේශනා ඇතුළත් වෙයි. නවීනයකුට වුව ද සුවසේ වහා තේරුම් ගතහැකි දහම් කොටස් මෙන් ම ප්‍රවීණයකුට වුව ද සාවධානව කියවා සසඳාබලා තේරුම්ගතයුතු ගැඹුරු දහම් කොටස් ද මෙහි අන්තර්ගත වෙයි. ධර්‍මදේශකයන්ට ද ධර්‍මඥානය ලබාගනු කැමති හැම දෙනාට ද ඉතිවුත්තකය ඉතා වැදගත් බණපොතකි එබැවින් ඉතිවුත්තකපාළියෙහි අර්‍ථවිවරණය කොට අප විසින් ධර්‍මව්‍යාඛ්‍යාන ද සපයනලදී සාමාන්‍ය යෙන් සලකන කල පෙළ වඩා නොගැඹුරු හෙයින් තැන් තැන්වල පෙනෙන ගැට පදවලට පමණක් ග්‍රන්ථිපද විවරණයක් වශයෙන් අර්ථ දී ඇත. වුවමනා තැන භාවය ද පැහැදිලි කර දක්වා ඇත.

මෙහි විශේෂ ලක්ෂණයක් නම්: වැදගත් බණපද විස්තර කිරීමයි අර්‍ථකථාව හා එයින් බැහැර වූ ද ධර්‍ම, ග්‍රන්ථානුසාරයෙන් විස්තරකර ඇත. එසේ නොකොට සැකෙවින් ලියන්නට හැකිවුවත් බණ කියනු කැමති භික්ෂූන්ට හා ධර්‍මඥානය දියුණුකරගනු කැමති උපාසක උපාසිකාවන්ටත් ධර්‍මප්‍රකාශනයක් වශයෙනුදු භාවිතාකිරීමට ප්‍රයෝජනවනු සඳහා මෙය මෙ සේ සපයන්නට කල්පනා කෙළෙමි. මෙහි අනුක්‍රමණිකාවෙන් එහි තත්ත්වය සලකාගත හැකිවෙයි.

පෙර අපර දෙදිග විචාරකයන්ගේ මත මෙන්ම විවිධ භාෂාවන්ගෙන් රචිත ඉතිවුත්තකයන් ද විමසා සසඳා බලා සාරගර්භ ප්‍රස්තාවනාවක් සැපයූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍ය්‍ය එච්. ඇස්. කුරේ මහතාට අපගේ කෘතඥතාව පළකළයුතු ය ඉතිවුත්තකපාළිය පිළිබඳව පර්යේෂණාත්මකව කෙරෙන මෙම විවරණය විචාරකයන්ට මෙන්ම ආධුනික යන්ට ද විපුල ප්‍රයෝජන සලස්වනු නිසැකයි

එසේම මෙහි ඉතිවුත්තක පෙළ පිටපත්කර දීමෙහි සියඹලාපේ සුධර්‍මාරාමාධිපති උගත් විලියුල පඤ්ඤානන්ද ස්ථවිරයන්ගෙන් හා අර්‍ථ භාව ධර්‍ම විස්තර පිටපත්කර දීමෙහි සාහිත්‍යවාචී පණ්ඩිත තලගුණේ ධම්මරතන භික්ෂුනම ගෙන් ද ලැබුණු උපකාරය ගැන විශේෂයෙන් සඳහන් කළයුතු වෙයි.

මෙය තෙමසකින් පරිමිතවූ ස්වල්ප කාලයක් තුළ මුද්‍රණය කරවා නිමවිය හැකි ග්‍රන්ථයක් වූ හෙයින් ශුද්ධිපත්‍රයක් ඇතුළත් නොකරන්නට ගත් ප්‍රයත්නය අසඵල විය මේ ධර්‍මග්‍රන්ථය ධර්‍මභිලාෂයෙන් හොඳහිතින් බලන්නවුන්ට සාමාන්‍යයෙන් ශුද්ධිපත්‍රයක් වුවමනා නොකෙරෙතත් මෙහි තැන් තැන්වල විශේෂයෙන් දක්නට ලැබෙන අවශ්‍ය සංශෝධන කීපයක් පමණක් සඳහන් කරන්නට සිදුවූ බව කරුණාධ්‍යාශයෙන් මතක් කරමිහ.

මෙය ඉතා සුළු කාලයක් ඇතුළත මහත්වූ ද සැලකිල්ලෙන් හොඳින් මුද්‍රණය කරවූ මරදානේ අනුල මුද්‍රණාලයේ අධ්‍යක්ෂක මහතාට හා එහි කෘතහස්ත කාර්‍ය්‍යමණ්ඩලයට ද අපගේ කෘතඥතාව හිමිවෙයි.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර.
විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේදී ය.
2503
1961

ප්‍රස්තාවනා

ඉතිවුත්තකය නමින් හඳුන්වනු ලබන ඛුද්දකනිකාය පරියාපන්නවූ පෙළ පොත යම් යම් විශ්වවිද්‍යාලයීය විභාග වලට නියමිතව ඇති හෙයින් හුදෙක් විභාගාපේක්ෂකයන්ගේ අර්ත්‍ථසිද්ධියම සලකා ගෙන අලුත් සංස්කරණයක් වශයෙන් මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත්කිරීමෙහි නිරතවූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරන්ධර කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ සඳහා ශාස්ත්‍රීය නිබන්ධයක් සපයනු පිණිස මා වෙත කළ නියමය පරිදි උන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහයෙහිත් ධෛර්‍ය්‍යයෙහිත් ප්‍රතිඵලයක් වශයෙන් ම මෙම ප්‍රස්තාවනාව පිළියෙළ කළ හැකිවීම ගැන මගේ කෘතඥතාව උන් වහන්සේ වෙත පැවරෙන බව ගෞරවාදර පූර්වකව පළමු කොට මෙහි සඳහන් කළ යුතුය.

ඉතිවුත්තකාඞ්ගය පිළිබඳ සාමාන්‍ය අටුවා මතය ඉතිවුත්තක නම් වූ පෙළ පොත ගැන යමක් ප්‍රකාශ කිරීමට ප්‍රථම එනමින්ම හැඳින්වෙන ශාසනිකාංගය කවරේදැයි සලකා බැලිය යුතුය සද්ධර්‍මසාසනය සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුත ධම්ම, වෙදල්ල යනුවෙන් නවාංග සමන්වාගතය යි සලකනු ලැබේ. පර්‍ය්‍යාප්ති ධර්‍මය පුහුණු කිරීමෙහි හෙවත් ඉගෙනීමෙහි ලා ගැනෙන අංගයන් වශයෙන් මේ නවාංගයෝ පෙළෙහි ද සඳහන් වෙති මෙයින් ඉතිවුත්තක නම් වූ ශාසනිකාංගය ඉතිවුත්තක පාළියම ද නැතහොත් ඊට වැඩි යමක්දැයි විශේෂයෙන් විමසිය යුතු වන්නේ අටුවාචාරීන් වහන්සේලා විසින් එකී අංගය ඉතිවුත්තක පාළියට පමණක් සීමා කිරීමට උත්සාහ ගෙන ඇති හෙයිනි. “භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදි යනාදී වශයෙන් පටන් ගැනෙන සූත්‍රාන්ත එකසිය දොළොස ඉතිවුත්තක යයි දත යුතු” යනුවෙන් ඇතැම් අටුවාවල සඳහන් වන්නේය.1

එහෙත් සිංහල අකුරින් ඉතිවුත්තක පාළිය ලියවී ඇති සමහර පුස්කොළ පොත්වල ද, බුරුම අකුරින් ලිඛිත එක් පුස්කොළ පොතක ද අග දැක්වෙන පාඨයකට අනුව සූත්‍රාන්ත එකසිය දසයක් මෙහි ලා සංගෘහිත වන බැව් පාලි ග්‍රන්ථ සමාගම මගින් රෝම අක්‍ෂරයෙන් මුද්‍රිත ඉතිවුත්තක පාළියෙහි අවසාන පිටුවේ අන්තර්ගත අඩෝලිපියක ප්‍රකාශිත ය 2 සිංහල පොත් අතරින් මිලින්ද ප්‍රශ්නයෙහි, ඉතිවුත්තකයන්ගේ ගණන දක්වා ඇත්තේ “සූත්‍ර දශාතිරෙක ශත ප්‍රමාණ වූ ඉතිවුත්තක නම් ධර්‍ම කෙනෙක්” යනුවෙනි 3 එහෙත් පාලි මිලින්දපඤ්හයේ එබඳු කිසිවක් සඳහන් වී නොමැත මෙසේ එකසිය දසයකැයි යන ගණන සූත්‍රාන්ත එකසිය දොළොසෙක් හැඳින්වීම පිණිස උපචාර වශයෙන් ව්‍යවහාර වූයේ ද නැතහොත් ඉතිවුත්තකයන්ගේ සංඛ්‍යා නියමය නිශ්චයාර්ත්‍ථයෙන්ම ප්‍රකාශ කරනු සඳහා ව්‍යවහාර වූයේදැයි තීරණාත්මකව නොකිව හැක්කේ සමන්තපාසාදිකාවේ හා සුමංගලවිලාසිනියේත් සූත්‍රාන්ත එකසිය දොළොසකැයි (ද්වාදසුත්තරසත සුත්තන්තා) කියවෙතත් පපඤ්චසූදනී නම් වූ මජ්ඣිමනිකායට්ඨ කථාවෙහි එන අලගද්දූපම සූත්තාවණ්ණනාවෙහි, සූත්‍රාන්ත එකසිය දසයකැයි (දසුත්තරසතසුත්තන්තා) කෙළින්ම සඳහන් කොට ඇති හෙයිනි ගණන පිළිබඳ මතභේදය කුමක් වුවත්, දැනට ඉතිවුත්තක පාළියෙහි සූත්‍රාන්ත එකසිය දොළොසක් සංගෘහිත බැවින්, බොහෝ දුරට පෙළ පොත අනුවම යෙමින් අටුවාචාරීන් වහන්සේ විසින් ඉතිවුත්තකාවාඞ්ගය විස්තර කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

ඉතිවුත්තකාඞ්ගයේ මුඛ්‍යාර්ත්‍ථය රස වශයෙන් එකවිධය යි ද, ධම්ම විනය වශයෙන් ද්විප්‍රකාරය යි ද, පිටක වශයෙන් ත්‍රිවිධය යි ද, නිකාය වශයෙන් පඤ්චවිධය යි ද, අංග වශයෙන් නව වැදෑරුමියයි ද ධර්‍මස්කන්ධ වශයෙන් සුවාසූ දහසෙකැයි ද යනුවෙන් නොයෙක් ආකාරයෙන් බෙදා දක්වා ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දෙසන ලද පර්‍ය්‍යාප්ති ධර්‍මය ම ය.

සද්ධර්‍මසාසනය නමින් හඳුන්වනුයේත් මෙය ම ය. “බහුං බො භික්ඛවෙ මයා ධම්මො දෙසිතො: සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං”5 යන දේශනා පාඨයෙනුත්, “ඉධ පන භික්ඛවෙ එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං”6 යන දේශනා පාඨයෙනුත් නවවංගසද්ධම්මසාසනයට අයත් ඒ ඒ ශාසනික අංගයන්ගෙන් ප්‍රකාශිත වූයේත් එමගින් උගත හැකි වූයේත් ධර්‍මය ම බව, මැනවින් පැහැදිලි වන්නේ ය

එසේ ම, මෙකී අංගානුසාරයෙන් කුළු ගැන්වෙන ධර්‍මය නො ඉගෙනීම, සද්ධර්‍මයේ අන්තර්ධානයට හේතුවන පළමු වැනි කරුණ යයි පෙළෙහි කියවේ 7 විපස්සී ආදී අතීත බුදුවරුන්ගේ ශාසනයන් චිරස්ථායී නො වීමට හේතු වූ එක් කරුණක් නම්, එකී බුදුවරුන් වහන්සේලා විසින් නවාංග නයින් දේශනාකරනලද ධර්‍මය අල්පමාත්‍රවීමය යි විනයපිටකයට අයත් පාරාජිකා පාළියෙහි සඳහන් වී ඇත 8 මෙකී සාක්ෂි අනුව ඉතිවුත්තක යයි හැඳින්විය හැකි දේශනා පාඨයන්ගෙන් වුවද මූර්තිමත් වනුයේ එකම සද්ධර්‍මය බව අවිවාදයෙන් පිළිගත හැකිය.

මජ්ඣිම නිකායෙන් දැක්විය හැකි නිදසුන්: ඉතිවුත්තක නම් ශාසනික අංගානුසාරයෙන් ධර්‍මය මූර්තිමත් වන අයුරු විස්තර කරන අටුවාචාරීහු එබඳු පාඨවලින් උපලක්ෂිත දේශනා කොටස් ඉතිවුත්තක පාළියට පමණක් සීමා කළහ. එසේ සීමාකිරීමට උන් වහන්සේලා පෙළඹෙන්නට ඇත්තේ ත්‍රිපිටකයෙහි ඇතුළත් පෙළ පොතක හුදෙක් නාම මාත්‍රයම සලකා ගෙන ඒ නයින් එකී නමට සම්බන්ධ කළ හැකි ශාසනිකාංගය විග්‍රහ කිරීමට කල්පනා කළ හෙයිකැයි හැඟේ උන්වහන්සේලා මේ ක්‍රමයට, උදාන හා ජාතක නම් වන ශාසනිකාංග දෙක ද උදාන පාළියත් ජාතක පාළියත් යන පොත් දෙක පිළිවෙළින් බලා ගෙන විස්තර කළහ.

ඒ කුමක් වුවත්, ඉතිවුත්තක පාළියෙන් බාහ්‍ය වූ - එහෙත් ඉතිවුත්තක ගතයෙහි ලා සැලකිය හැකි - දේශනා පාඨයන් ද තිබෙන බැව් පෙනේ නිදසුනක් වශයෙන්, “අනෙක පරියායෙන හාවුසො සාති, පටිච්චසමුප්පන්නං විඤ්ඤාණං වුත්තං භගවතා: අඤ්ඤත්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්භවොති,” යනුවෙන් මජ්ඣිමනිකාය මහාතණ්හාසංඛය සූත්‍රයෙහි සඳහන් පාඨය දැක්විය හැකිය 9 භාග්‍යවතුන් වහන්සේ විසින් විඤ්ඤාණය පටිච්චසමුප්පන්නය, හෙවත් ප්‍රත්‍යය ධර්‍මයක් හේතුකොට උපදන්නේය යි නොයෙක් ආකාරයෙන් දේශනා කොට ඇති බැව් කීමෙන්, ‘විඤ්ඤාණය’ පිළිබඳ වැරදි දෘෂ්ටියක එල්බ ගත් සාති නම් වූ භික්ෂුවකට කරුණු පැහැදිලි කිරීමට අවශෙෂ භික්ෂූන් උත්සාහ දැරූ සැටි එම සූත්‍රයේ සඳහන් වේ.

අවශෙෂ භික්ෂූන්ගේ බලාපොරොත්තුව වූයේ ‘මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත්තේ මෙසේය’ යනුවෙන් බුදුරජාණන් වහන්සේගේම ධර්‍ම පාඨයක් ගෙනහැර පෑමෙන් සාති භික්ෂුවට කරුණු ඒත්තු ගැන්වීම ය මෙයට සමාන අන්‍ය අවස්ථාවක, අරිට්ඨ නම් වූ භික්ෂුවක් උදෙසා බුද්ධශ්‍රාවකයන් විසින් දක්වන ලද ඉතිවුත්තක දේශනා කීපයක් අලගද්දූපම සූත්‍රයෙහි සඳහන් වේ. “අනෙකපරියායෙන හාවුසො අරිට්ඨ අන්තරායිකා ධම්මා, අන්තරායිකා වුත්තා භගවතා, අලං ච පන තෙ පටිසෙවතො අන්තරායාය අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්‍යො .... ”10 “මිත්‍ර අරිට්ඨය, අන්තරායික ධර්‍මයෝ අන්තරායිකමය යි නොයෙක් ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත එකී ධර්‍මයන් සේවනය කරන්නකුට අන්තරායකර වීමට තරම් ප්‍රමාණවත්වූ කාමයන් අල්පාස්වාදජනකයයි ද, බොහෝ දුක් කරදර ඇති කරන්නේය යි ද එහි බොහෝ අනිෂ්ට විපාක ඇතැයි ද භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇත”