සතිපට්ඨාන භාවනා විවේචනය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2008
- මුද්රිත වර්ෂය :
- 2008
- පිටු ගණන :
- 163
- බාගත කිරීම් ගණන :
- 3,919
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-26
- ගොනුවේ ප්රමාණය :
- 5.4 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදිත ලිපි සහ විවිධ කෘතීන් කිහිපයක එකතුවකි. 1950 දශකයේදී ලක්දිව ප්රචලිත වූ බුරුම සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්රමය සම්බන්ධයෙන් පැනනැඟුණු විවේචන හා විරෝධතාවලට ශාස්ත්රීය හා ධර්මානුකූල පිළිතුරු සපයමින් ලියන ලද ‘සතිපට්ඨාන භාවනා විවේචනය’ මෙහි ප්රධාන කොටසයි.
මීට අමතරව උන්වහන්සේ විසින් රචිත පූජාවාද නිරාකරණය, ස්වර්ණමාලී චූඩා මාණික්ය වර්ණනාව හා විනයාලංකාර මාහිමි චරිතය, ශ්වේජින් නිකාය පිළිබඳ ඓතිහාසික විස්තරය මෙන්ම විවිධ පුවත්පත් සහ සඟරාවලට ලියන ලද දුර්ලභ ශාසනික ලිපි කිහිපයක් ද මෙහි ඇතුළත් වේ.
ප්රධාන අන්තර්ගත මාතෘකා:
- සතිපට්ඨාන භාවනා විවේචනය
- පූජාවාද නිරාකරණය
- ස්වර්ණමාලී චූඩා මාණික්ය වර්ණනාව හා විනයාලංකාර මාහිමි චරිතය
- ශ්වේජින් නිකාය
- සඟරුවන, ධර්ම විජය, රිවිරැස ආදී පුවත් ලිපි
- විනයාලංකාර සම්ප්රදාය හා පුණ්යානුමෝදනාව
පොකුණුවිට ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2008 වසරේදී මෙම පස්වන මුද්රණය ප්රකාශයට පත් කර ඇත.
පෙර වදන
බුරුම ජාතික ඌ. විනයාලංකාරහිමිපාණන් ලක්දිව සැපත් වූයේ මෙහි නැවතීමේ අදහසකින් නොවේ. එකල ලංකාවේ වෙහෙර විහාර වන්දනාව සඳහා පැමිණි බොහෝ විදේශිකයන් අතර උන් වහන්සේ ද කෙනෙකි. (විස්තර ඇතුළත ලිපිවල පලවේ) ඒ විසිවන සියවසේ මුලමය. ක්රි. ව. 1901 දී ය. වස් කාලයේ වස් වසමින් හා රුවන් වැලි මහ සෑ ප්රතිසංස්කරණාදි කටයුතුවලට සහාය වෙමින් පයින් ම ගමන් කරමින් දීර්ඝ වන්දනා ගමනක යෙදී ශ්රීපාද වන්දනාවෙන් පසු ආපසු සිය රට බලා වඩනා උන් වහන්සේ පොකුණුවිට ප්රදේශයේ නවාතැන් ගැනීම ශ්රී ලංකා බෞද්ධයන්ගේ භාග්යයකි.
එවකට නිකායත්රය තුළ ක්රියාත්මක වූ ශෝචනීය ගති ලක්ෂණ වලින් කම්පිතව සිටි බෞද්ධයන්ට බුරුම හිමියන්ගේ පැවැත්ම කොතරම් සිත් ගත්තේ ද යත්, උන් වහන්සේ නවතාගෙන මහා පින්කම් කිරීමටත්, කුල දරුවන් පැවිදි කිරීමටත්, පටන් ගත්තෝ ය.
පොකුණුවිට ශ්රී විනයාලංකාරාරාමයේ සීමා බන්ධනය කර, 27 නමක් පැවිදි කිරීමෙන් ආරම්භ වූ ශ්රී විනයාලංකාර වංශය අද දක්වා සසුනට කර ඇති සේවය අගය කිරීම, ලිහිල් බසින් දහම් පොත් රැසක් ලියා 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් අති විශාල සේවයක් කර අපවත් වී වදාළ රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් ගේ අභාවයෙන් දෙවන සංවත්සර පිංකමේ අංගයක් සේ ඉටු කිරීම සුදුසු යයි සිතුවෙමු.
අංගුත්තර නිකායේ නවක නිපාතයේ නවංගුපෝසථ සූත්රය අනුව අටසිල්හි හා මෙත්රී භාවනාවේ යෙදවූ නවාංග උපෝසථ ශීලය සමාදන් කරවීමෙන් බුරුම හිමියන් කළ ශාසන සේවය ඉවසිය නොහැකිව වාදකරුවන් ඒවීමෙන් හා නවංග උපෝසථය’ නමින් 1905 දී විවේචන පොතක් පළ කර වීමෙන් ලාංකික භික්ෂූන් වහන්සේගේ පළමු ප්රහාරය බුරුම හිමියන්ට විරුද්ධව එල්ල විය.
උන් වහන්සේ තමන්ට ලැබුණු පිරිකරාදිය පිරිනමා, දීමට සැලැසූ මහා දනට නො වැටීමෙන් දෙවන විරෝධතාවය එල්ල කළ නමුත් වස්කඩුවේ ශ්රී සුභූති නාහිමියන් ඉදිරිපත්ව සියක් නමක් වඩමවා ඊට සහාය දීමෙන් එම අභියෝගය ද ජය ගන්නට විනයාලංකාර හිමියන්ට හැකි විය.
මහනුවර යුගයේ ශාසන පරිහානියෙන් පසුව සරණංකර සංඝරාජ හිමියන්ගේ උත්සාහයෙන් ලක්දිව යළි භික්ෂු ශාසනය පිහිටවූ නමුත් ප්රතිපත්තිය අභිබවා ආමිෂය පමණක් මතු වී පැවැත්තේය. ශ්රද්ධාවෙන් ආමිෂ පූජාවේ යෙදෙන අතර ඊට වැඩි උනන්දුවකින් ප්රතිපත්ති ශාසනය ආරක්ෂා කිරීමේ වැදගත්කම සලකා බුරුම ජාතික භික්ෂූන් වහන්සේ ප්රචලිත කළ භාවනා මාර්ගයට විරුද්ධව තෙවන අභියෝගයක් ද එල්ල විය. බෞද්ධ භාවනා ක්රමය හා අළුත් බුරුම භාවනාව’ නමින් 1958 දී උගත් ධර්මධර නාහිමිවරුන්ගේ ලිපි ඇතුලත් පොතක් පළ කිරීමෙන් මේ විරෝධතාව දැඩිව එල්ල කරන ලදී. භාවනා මධ්යස්ථාන සෝවාන් පැක්ටරි’ නමින් හැඳින්වූ එම පොත රේරුකානේ නාහිමියන්ගේ භාවනා පොත් ද ඊට අනුබල දෙනියයි නිර්දය විවේචනයට ලක් කළහ. (මේ සතිපට්ඨාන භාවනා විවේචනය ලියවුණේ ඊට පිළිතුරු වශයෙනි.)
මේ සියලු විරෝධතා වලට කරුණු සහිතව පිළිතුරු දීමෙන් හා නොබියව සසුන් කටයුතු වල යෙදීමෙන් කලක් යන විට සත්යය පැහැදිලි කිරීමට හැකි විය. හුදු තම ක්රියා මාර්ග සසුනේ පැවැත්මට මිස ලාභ සත්කාර ලැබීමේ මගක් නොවන බව අල්පේච්ඡ ජීවිතවලින් තහවුරු කළ විනයාලංකාර පරපුර ක්රමයෙන් සියල්ලන්ගේ ප්රසාදයට පත් වූහ.
ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ආදීන් කළ ජාතික ආගමික මෙහෙවරට නොදෙවෙනි ශාසන පුනරුදයක් කළ විනයාලංකාර හිමියන්, අල්පේච්ඡව හා නිශ්ශබ්දව තම කටයුතු කළ නිසාම ඉතිහාසයේ සටහන් නොවිය. රුවන්වැලි සෑ චූඩාමාණික්ය සැපයීම. ශ්රී දළදා මාලිගයට විහාර මන්දිරයක් තැනීම, උන් වහන්සේ නිසා භාවනා ක්රම ප්රචලිත වීම තුළ ඇති වූ සසුන් දියුණුව එසේ අමතක කළ හැකි නොවේ. උන් වහන්සේගේ සිසු පරපුරින් ඇති වූ ශාසන දීපක කටයුතු අතර භාවනා මධ්යස්ථාන සහ රේරුකානේ මහ නාහිමියන්ගේ දහම් පොත් සම්පාදනය ද විශේෂ ස්ථානයක් ගනී.
ඒ අතරම මිෂනාරි අධ්යාපනයෙන්, දේශීයත්වය අමතක කර, බුද්ධාගමත්, ජාතිකත්වයත් හැල්ලුවට ලක් කරන්නවුන්ට පිළිතුරු දෙන්නටත්, ඒ සඳහා දේශීය උගතුන් ඇති කරගත් සංවිධානවලට උදව් දෙන්නටත් විනයාලංකාර පරපුර කටයුතු කර ඇති බව රේරුකානේ නාහිමියන් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්රීමතාණන් පිහිටවූ සිංහල මහාසභාවප්රාදේශීයව උදව් කිරීමෙන් හා සංරක්ෂණය නමින් ‘ධර්මවිජය’ පුවත් පතට 1955 දී ලියූ ලිපි වලින් හා ජාතිය පුවත් පතට ලියූ ලිපිවලින් පෙනේ.
මෙම පරපුරේ විශේෂ සේවාවක් කළ හිමිවරුන් වශයෙන් අරංගල සිරිධම්ම. උඩුවේ විමලරංසි, කහටපිටියේ සුමණපාල, දෙවිනුවර ඤාණාවාස, රේරුකානේ අරියඤාණ. ඇම්. යූ. ශ්රී කවිධජ, රේරුකානේ චන්දවිමල ආදී නාහිමිවරුන් සටහන් කළ හැකිය. එයිනුත් වඩා ප්රකට වන්නේ ජාතියට හා ආගමට වන සියලු අභියෝගයන්ට නොබියව පිළිතුරු දෙමින් ජනතාව අතර බුද්ධ ධර්මය ගැන හැඟීමක් ඇති කිරීමට මහත් උත්සාහයක යෙදුණු රේරුකානේ චන්දවිමල නාහිමියෝය. උන් වහන්සේගෙන් පසු මහා නායක ධුරයට පත් සේනෙගම කල්යාණසිරි නාහිමියන් ද එය තහවුරු කරන්නට මහත් උත්සාහයක් ගනිති.
විදේශිකයන්ට නතු වීමේ සිට 20 වන සියවසේ මුල්භාගය දක්වා විදේශිකයන්ගේ ගැහැටට ලක්වූ බුදුසමය ඉන්පසු තවමත් නිසි සැලකිල්ල නො ලබ දුෂ්කරව රැකෙන බව නො රහසකි. අප රටේ අනන්යතාව රැකෙන එක් අංශයක් වූ බුද්ධාගම ඊට නිසි අයුරින් පෝෂණය කිරීමේ වගකීම දරණ අමාත්යාංශයක් පවා තිබුණ ද, පැවරෙන අභියෝගය භාර ගන්නට තරම් සවිමත් මානසිකත්වයක් වගකිව යුත්තන් තුළ නොතිබීම නිසාදෝ බුද්ධාගමත්, භික්ෂූන් වහන්සේත් ඔවුන් තුළම හැල්ලුවට ලක්වනු කොතෙකුත් දක්නට ලැබේ. සිංහල බෞද්ධයින් වශයෙන් අන්යාගම්වලට හා ජාතිකත්වයට ගරු කරන මුත් අපේ ම ආගම හා ජාතිය පිළිබඳව හැල්ලුවෙන් සිතීම ජාතික අභාග්යයකි. විවිධාකාරයෙන් බෙදී සිටින භික්ෂූන් වහන්සේත්, දේශපාලන නායකයනුත් නිසා සියලු අනන්යතා නසා ගත්තා වූ ජාතියක් බවට පත්ව සිටින අප ලාංකිකයන් වශයෙන් සමගි වීමේ අගය වටහා ගන්නේ කවද ද?
මේ සංග්රහය විනයාලංකාර ගමන් මග නමින් මුද්රණය කිරීම අපේ මුල් අදහස විය. එහෙත් රේරුකානේ නාහිමියන් ලියූ පොත් හා ලිපි කීපයක එකතුවක් නාහිමියන්ගේ නමින්ම මුද්රණය කරන විට එසේ වෙනස් නමක් ආරූඪ කිරීම අයෝග්යයයි කල්පනා කර, මෙනමින් මුද්රණය කළෙමු. කෙසේ නමුත් මේ සියලු කෘතිවලින් පිළිබිඹු වන්නේ ‘විනයාලංකාර ගමන් මග’ බව පැහැදිලිය.
විනයාලංකාර හිමියන් ප්රමුඛ එම පරපුරෙන් වූ ප්රධාන සේවාවන් අතර ප්රතිපත්ති ශාසනය ඉස්මතු කිරීම (භාවනා හා ශීල සමාදානය) දළදා මැදුරේ සංවර්ධනය, රුවන්වැලි සෑයෙහි සංවර්ධනය, ජාතික ආගමික කටයුතු පිළිබඳ උද්යෝගය, දහම් පොත් පත් සැපයීම ප්රධාන වශයෙන් අගය කළ හැකිය.
මේ පළ කිරීම විනයාලංකාර පරපුරටත්, රේරුකානේ නාහිමියන්ටත් ප්රණාමයක් වේවා. විනයාලංකාර ගමන් මග ශ්වේජින් නිකායික භික්ෂූන් වහන්සේට ආදර්ශයක් වේවා. සියලු බෞද්ධයන්ගේ සත්යාවබෝධයට උපකාරයක් වේවා.
මේ සංග්රහය සකස් කිරීමේ ලා මා උනන්දු කර වූ රේරුකානේ මහ නාහිමියන් ගත් ආගමික ක්රියාමාර්ග තවදුරටත් සරු කොට තහවුරු කරන්නට මහත් උත්සාහයක යෙදෙන විහාරාධිපති කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ටත්, සෝදුපත් කියවූ මාලනීටත්, සංශෝධිත පිටු සැකසීමේදී පරිගණක අකුරු සැකසූ හොරණ රූ මායා ග්රැෆික් හි සාලිය ජයකොඩි මහතාටත්, මුද්රණයෙන් සහාය වූ සිකුරු ප්රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙමි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි ගරු ලේකම් ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2008 ජූලි මස 26 වන දින, පොකුණුවිට ය.
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2008 ජූලි මස 26 වන දින, පොකුණුවිට ය.
නිදානය
මේ පොත ලියූයේ කුමටද?
මා විසින් මේ පොත ලියූයේ භාවනා මධ්යස්ථානයක් අල්ලා ගැනීමේ අදහසින් ද නොවේ. අපට ඇති භාවනා මධ්යස්ථානයක් අන්යයන් අල්ලා ගනිති ය යන බිය නිසාත් නොවේ. අපට භාවනා මධ්යස්ථාන නැත. අප විසින් මේ භාවනාව පුහුණු කරවන පිරිසක් අනුන් අල්ලා ගනිත්ය යන බිය නිසාත් නොවේ. අප විසින් මේ භාවනාව කාටවත් පුහුණු කරවන්නේත් නැත. අළුත් දායක පිරිසක් අල්ලා ගැනීමේද නොවේ.
මේ භාවනාව ප්රචාරය කරන මහාසි තෙරුන් වහන්සේ හා අපගේ ඇති සම්බන්ධයක් නිසා ද නොවේ. ඒ තෙරුන් වහන්සේ හා මා කතාකර ඇත්තේ එක් දිනයක් පමණෙකි. මේ භාවනාව පුහුණු කරවන භාවනා මධ්යස්ථානයන් හා අප අතර ඇති සම්බන්ධයක් නිසා ද නොවේ. මේ භාවනාව කරවන පුද්ගලයන් හා අපේ ඇති මිත්ර කමක් නිසා ද නොවේ. යම් කිසිවකු විසින් කරන ලද ආරාධනාවක් හෝ පෙළඹවීමක් නිසා ද නොවේ. මේ භාවනාවට විරුද්ධ අය හා අපගේ ඇති වෛරයක් නිසා ද නොවේ. ඒ අයට රිදවීමේ අදහසින් ද නොවේ.
මේ විවේචනයෙන් සමහරුන් ගේ සිත් රිදෙන්නටත් බැරි නැත. එසේත් නො වන පරිදි විවේචනයක් කිරීම අපහසු ය. කිසිවකුගේ නම් ගම් මෙහි සඳහන් කර නැත. එසේ කරන ලද්දේ ද හැකිතාක් අනුන්ගේ සිත් රිදවීමෙන් වලකිනු පිණිස ය.
කාලාන්තරයක් යටපත් වී තුබූ මේ භාවනා ක්රමය බුද්ධ ජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැනට මේ භාවනා ක්රමය පවත්නේ සුළු පිරිසක් අතේ ය. බලවතුන් නගන ප්රශ්නවලට සෑහෙන පිළිතුරු දීගන්නට ඒ අය අසමර්ථ වුව හොත් සමහර විට මේ උතුම් භාවනා ක්රමය නැවතත් අප රටෙන් තුරන් වන්නට ඉඩ තිබේ. එසේ වුව හොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මා විසින් මේ පොත ලියූයේ මේ භාවනා ක්රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිසය.
මීට - ශාසනස්ථිතිකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
01-12-58
පොකුණුවිට
ශ්රී විනයාලංකාරාරාමයේදී ය.