විනය කර්ම.pdf

scanned

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
257
බාගත කිරීම් ගණන :
5,111
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-01-26
ගොනුවේ ප්‍රමාණය :
8.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 129

විනය කර්ම පොත යනු අතිපූජ්‍ය මහාචාර්‍ය්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට විනය ග්‍රන්ථයකි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අත්‍යවශ්‍ය වන භික්ෂු විනයෙහි එන කර්මයන් සහ විනය නීති රීති පිළිබඳව මෙහිදී සවිස්තරව පහදා දී ඇත.

මෙහි ප්‍රධාන වශයෙන් පැවිදි කිරීම, උපසම්පදා කර්මය හා ඊට අදාළ නීති රීති, අධිෂ්ඨාන සහ විකප්පන විධි, ඇවැත් දෙසීම, උපෝසථ (පොහෝ කිරීම), වස් විසීම, පවාරණය, කඨිනාස්තරණ විනය කර්මය, වත් මානත් පිරීම, විවිධ සම්මුති සහ සීමා බන්ධන ආදී විනය කර්මයන්හි නියමිත ක්‍රමවේද හා වාක්‍යයන් ඇතුළත් වේ.

මෙම පිටපත ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් 2008 වර්ෂයේදී පළ කරන ලද නම වන මුද්‍රණයයි.

ලේකම්ගේ සටහන්...

ශාසනයේ පැවැත්මට හේතු වන විනය පිටකය හා විශේෂයෙන් භික්ෂුත්වය හා භික්ෂු සමගිය ගොඩ නගන්නා වූ එහි ඇතුළත් ‘විනය කර්ම’ පිළිබඳව ඇති නොදැනුමට හේතු දක්වන පූජ්‍යපාද රේරුකානේ නාහිමියෝ මෙහි ප්‍රස්තාවනාවෙන් වැදගත් කරුණු කීපයක් අපේ අවධානයට ලක් කරති.

සමාජයීය හේතු නිසා භික්ෂු පරමාර්ථ වලින් සංඝයා වහන්සේ ඈත් වීමත්, ‘විනය කර්ම ඒකාධිකාර’ පිහිටුවීමත් මේ අතර වැදගත් වෙයි. සමකාලීන පඬි රුවනක් වූ පූජ්‍යපාද යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියෝ ද තම සඟබණ ‘සමන්තේසනා’ හා වනකතා යන කෘතීන් මගින් මේ පණිවුඩය දුන් බව අපි දනිමු.

භික්ෂූත්වය ආරක්ෂා කර ගනිමින් සංකීර්ණ සමාජයක කටයුතු කිරීම හා ගිහි-පැවිදි වෙනස ගැන තේරුම් ඇතිව ගිහි-පැවිදි සම්බන්ධය වර්ධනය කිරීම අද මහා සංඝ රත්නයෙන් ඉටුවිය යුතු අගනා කාර්ය භාරයකි. ගිහියන් විනය දැනුමින් පිරිහී සිටින නිසා නොබියව ප්‍රතිපදාව බිඳින හෝ විනය ප්‍රඥප්තිය, තමන්ම නොදැනීම නිසා එය බිඳින හෝ භික්ෂූන් වහන්සේ, අනිකුත් සමයයන් අතර බුදුසමය සිටිනා උත්තරීතර තත්ත්වය හුවා දක්වන්නට අසමත් වෙති. වෙනත් ආගමිකයන් තම අනුගාමිකයන් රඳවා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන ලාමක පිළිවෙත් ක්‍රියාත්මක කිරීමෙන් පහත වැටෙනවාට වඩා බෞද්ධ භික්ෂූන් වහන්සේට තම දායකයන් ඇද-බැඳ තබා ගන්නා, ශ්‍රද්ධාව මුවහත් කිරීමේ මග, විනය ප්‍රඥප්තිය නොපිරිහෙලා ක්‍රියාත්මක කිරීම බව බොහෝ දෙනා වහන්සේට නොවැටහීම අභාග්‍යයකි. බෞද්ධකම ගැන දැනුමත්, අභිමානයත් දායකයන් තුළ රඳවන්නට අසමත් උන්වහන්සේලා වෙනත් සමයයන් පිළිගන්නට තම දායකයන්ට මං පාදති.

මහා සංඝරත්නය රැකීම පිණිස යුතුකමක් වශයෙන් ගිහියා පුදන පරිෂ්කාරයන්හි ආගමික අගය ඉතිහාසය විසින් වෙනස් කර ඇති බවත්, ආනිසංසයන් පැරණි අගයෙන් දැක්විය නොහැකි බවත් බෞද්ධයන්ගේ විචාරයට ලක්ව ඇති බව පෙනේ. විද්‍යාව හා තාක්ෂණය පෙරමුණ ගත් නව අධ්‍යාපන රටාවෙන් ආගම ගැන ඉහළ තක්සේරුවෙන් සිතන තරුණ පිරිස අඩු කරයි. මේ නිසා නිතැතින් ගිහි මානසිකත්වය ආකර්ෂණය කර ගන්නා බුද්ධාඥාව රැකීම සඳහා භික්ෂු අධ්‍යාපනයේ විශේෂ තැනක් හිමිවිය යුතු බව වගකිව යුතු ගිහි - පැවිදි දෙපිරිසෙහි අවධානයට යොමු විය යුතුව ඇත.

තමන් ඇසුරු කරන භික්ෂූන් වහන්සේ නිසා, දායකයාගේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තහවුරු වන අයුරු බුදුරජාණන් වහන්සේ නොයෙක් තන්හි දේශනා කර ඇත. එනිසා චිරාත් කාලයක් බුදු සසුන රැකීමෙන් ලෝකයාට සැලසෙන යහපත පවත්වා ගැනීම පිණිස වර්තමාන මහා සංඝරත්නය සැරියුත් මුගලන් පරම්පරාවට ඇති සම්බන්ධය තහවුරු කර ගැනීම පිණිස විනය පිටකය ගැන අවධානය යොමු කරත්වා.

මේ මුද්‍රණයේදීත් මීට පෙර පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන් සහ කුකුල්පනේ සුදස්සී හිමිපාණන් වහන්සේලා කියවූ සෝදුපත් සටහන් ප්‍රයෝජනවත් විය. කලින් මුද්‍රණයේ තිබූ සුළු අඩුපාඩු ද විනය කර්ම අත්පොතක් වූ මෙහි තිබීම නුසුදුසු බව සැලකූ ධම්මානන්ද හිමිපාණෝ එවැනි තැන් සොයා බලා නැවත සකස් කිරීමට දැඩි අවධානයක් යෙදවූහ. සංශෝධිත පරිගණක වර්ණ සංයෝජනයෙන් දායක වූයේ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතාය. සිකුරු මුද්‍රණාලයාධිපති ශිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මනා ලෙස මුද්‍රණ කටයුතු නිම විය. අප අරමුදල පවත්වා ගන්නට උරදෙන සියලු සැදැහැවත්හු මේ පොතෙහි නොකඩවා පැවැත්මටද උපකාර වූහ. සියල්ලන්ට බුදු සසුනේ පැවැත්මට සම්බන්ධ වූහයි ලැබෙන සතුටු සිතින් සැනසීම වේවා.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම්, ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය, 2008 ඔක්තෝබර් 20 වන දින, පොකුණුවිට ය.

ප්‍රස්තාවනා

“විනයො නාම සාසනස්ස ආයු. විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” යන සඞ්ගීතිකාරක මහරහතන් වහන්සේලාගේ වචනය පරිදි තථාගතයන් වහන්සේගේ ආඥා දේශනාව වූ විනය පිටකය, සර්වඥශාසනයේ ජීවය වන බැවින් ද, විනය පවත්නා තෙක් ම බුදු-සස්න පවත්නා බැවින් ද සකල ශාසනමාමක භික්ෂූන් විසින් ම අත්‍යාදරයෙන් විනය පිටකය පරිශීලනය කළ යුතු ය. සීමාබන්ධනඋපසම්පදාදි විනයපිටකයෙහි එන කර්ම, විනය කර්ම නම් වේ. කුලපුත්‍රයන් උපසම්පදා කොට බුදුසස්නට ඇතුළු කිරීම හා එසේ බුදුසස්නට ඇතුළු වූ කුලපුත්‍රයන්ගේ ශීලය නැවත නැවත සංස්කරණයත් විනයකර්ම මාර්ගයෙන් ම සිදු කළ යුතු බැවින් විනය කර්මය ද බුදු-සස්නෙහි උසස් තැනක් ගන්නේ කි.

විනය කර්ම කරන කල්හි විනයාගත ක්‍රම නො ඉක්මවා ඉතා පිරිසිදු ලෙස ම එය කළ යුතු ය. වරදවා කරන විනය කර්මය කෙළේ ද නො කෙළේ වේ. නො දැන වුවද විනය කර්ම වරදවා කිරීම ඉතා නපුරෙකි. එයින් බුදු-සස්න නැසෙන්නේ ය. වරදවා සීමාබන්ධනයක් කළහොත් ගල්කණු සිටුවා ඇත ද එය සීමාවක් නො වේ. එහි කරන විනය කර්ම එකකුදු හරියන්නේ නොවේ. එහි උපසම්පදාවක් කෙළේ ද, ඒ උපසම්පදා කරනු ලැබුවෝ උපසම්පන්නයෝ නො වෙති. මතු කාලයේදී ඒ අසීමාවල උපසම්පදා කරනු ලැබුවන් විසින් කරන පැවිදි උපසම්පදා එකකුදු නො හරි යන්නේ ය. සීමාව හොඳ වුව ද උපසම්පදා කර්මය වරදවා කරන ලද්දේ නම්, ඔවුහු ද අනුපසම්පන්නයෝ ම වෙති. මතු කාලයේදී ඔවුන් විසින් පැවිදි කරන ගෝලයෝ ද නො පැවිද්දෝ-අනුපසම්පන්නයෝ ම වෙති. වරදවා විනයකර්ම කිරීමෙන් වන හානියේ බරපතල බව මේ කරුණු වලින් තේරුම් ගත යුතු ය.