රේරුකානේ චන්ද්‍රවිමල හිමි චරිත කතාව - ඉත්තෑපාන ධම්මාලංකාර හිමි.pdf
- කතෘ :
- ඉත්තෑපාන ධම්මාලංකාර හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1996
- මුද්‍රිත වර්ෂය :
- 1996
- පිටු ගණන :
- 117
- බාගත කිරීම් ගණන :
- 4,609
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-26
- ගොනුවේ ප්‍රමාණය :
- 5.6 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ සියවැනි ජන්ම දිනය (1996) නිමිත්තෙන් උන්වහන්සේගේ චරිත කතාව ඇසුරින් පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන් විසින් මෙම චරිතාපදානය සම්පාදනය කර ඇත.
මෙහි රේරුකානේ නාහිමියන්ගේ කුඩා කල දිවිය, පැවිදි වීම, බුරුමයට වැඩමවා ධර්මය හා විනය හැදෑරීම, නැවත ලංකාවට පැමිණීම, පොත්පත් සම්පාදනය කළ ආකාරය, භික්ෂු අධ්‍යාපනය හා අභිධර්මය පිළිබඳ උන්වහන්සේගේ දෘෂ්ටිය, ධර්ම සාකච්ඡා සහ දිවියේ විවිධ මතක සටහන් මෙන්ම ශිෂ්‍ය හිමිවරුන් පිළිබඳ තොරතුරු ද අන්තර්ගත වේ.
- මගේ පුංචි කාලය (පැවිද්ද හා බුරුමයට යාම)
- බුරුමයේ සිට ලංකාවට
- මේක බුරුම පන්සල (ශ්වේජින් නිකායේ මූලස්ථානය)
- මං පොත් ලිව්වේ . . .
- වර්තමාන භික්ෂු අධ්‍යාපනය කොහෙත්ම සුදුසු නෑ
- අභිධර්මය බුද්ධ දේශනාවක්මයි
- ධර්ම සාකච්ඡාවක් හා ජීවිතයේ රසවත් සිදුවීම්
සම්පාදකගෙන් . . .
ප්‍රවචන විශාරද අතිගරු රේරුකානේ චන්ද්‍රවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සියවෙනි ජන්ම දිනය 1996 ජුලි මස 19 වනදාට යෙදී ඇත. බොහෝ ඉන්ද්රියයන් දුර්වලව, අඩපණව එක්තැන්ව වැඩ සිටියද උන්වහන්සේට සියවෙනි ජන්ම දිනය ලැබීම ශ්‍රී ලංකාවාසී ගිහි පැවිදි හැම දෙනාගේම භාග්‍යයක් සේ මම සළකමි. සම්මා සම්බුද්ධ සාසනයටත්, භාෂා ශාස්ත්රාදියටත්, රටටත්, ජාතියටත් අනුපමේය සේවාවක් කළ උතුමෙකුගේ ඉන්ද්රියයන් කෙතරම් දුර්වලව අඩපණව තිබුණද ශේෂ වී පවත්නා ප්‍රාණ වායුව පවා අමුතු ජීවයක් අපට ලබා දෙන්නේය.
“පැවිදි පඩි මිණි පහන්” නමින් 1990 දී ම විසින් ලියා පළකරන ලද චරිත කථා එකතුවේ දී මුල් පරිච්ඡේදය අතිගරු රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ චරිත විස්තරයට වෙන් කරන ලදි. එසේ තිබියදී මෙසේ වෙනමම චරිත කථා ග්රන්ථයක් ලියා පළ කිරීමට හේතුවද මෙහිදී පැහැදිලි කිරීම අවශ්‍යය.
1990 දී “පැවිදි පඩිමිණි පහන්” ග්‍රන්ථය පළවීමෙන් පසුව 1993 දී අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන්ගේ චරිත කතාව වෙනමම ග්රන්ථයක් වශයෙන් ලියා පළ කළෙමි. එය අද මේ රටේ ජනප්‍රියම පොත් වලින් එකක් බවට පත් වී තිබේ. අතිගරු රේරුකානේ චන්ද්‍රවිමල මහානායක මා හිමියන් වහන්සේගේ චරිතය ඒ හා සමාන වෙනමම පොතක් වශයෙන් මා ලවා ලියවා පළකරවා ගැනීමේ බලවත් උවමනාව තිබුනේ අතිගරු චන්ද්‍රවිමල මහානායක මා හිමියන්ගේ දයාබර ශිෂ්‍ය මගේ කල්‍යාණ මිත්‍ර හේන්ගොඩ කල්‍යාණ ධම්ම හාමුදුරුවන්ටයි. වසර 3 කටත් ඉහත දී මෙම ඉල්ලීම කළද කල්‍යාණධම්ම හාමුදුරුවන් අපවත්වන තෙක්ම එය ලියා මුද්‍රණයෙන් පළකරන්නට නොලැබීම ගැන නම් ඇතිවන්නේ මහත්ම වේදනාවකි. කෙසේ වුවත් අතිගරු මහානායක මා හිමියන් වහන්සේගේ සියවෙනි ජන්ම දිනය උදාවන දා හේන්ගොඩ කල්‍යාණ ධම්ම හාමුදුරුවන්ගේ තුන්මාසේ පින්කම සිදු කරන දා, එම චරිත කථාව මෙසේ පළ කරන්නට ලැබීම සැනසීමට හේතුවකි.
1994 පෙබරවාරි මාසයේ ආරම්භ කරන ලද මේ චරිත කථාව සම්පූර්ණයෙන් ලියා අවසන් කරන ලද්දේ 1996 පෙබරවාරි මාසයේදීය. විවිධ හේතූන් නිසා වසර දෙකකට අධික කාලයක් මේ සඳහා ගත විය.
මේ චරිත කථාව මේ මොහොතේදී හෝ පළ කිරීමට ලැබෙන්නේ මාස 3 කට පෙර අපවත් වී වදාළ හේන්ගොඩ කල්‍යාණ ධම්ම හාමුදුරුවන් දැක් වූ උනන්දුව නිසා බව නො කියාම නොහැකිය. 1996 මාර්තු මාසයේ මෙම චරිත කථාව ලියා අවසන් කොට තවත් මොනවා හෝ අඩුපාඩුවක් ඇද්දැයි කියවා බලන්නට මුල් පිටපත අපේ කල්‍යාණධම්ම හාමුදුරුවන්ට භාරදී මම විදේශ ගත වීමි. ඒ සමගම මේ ග්‍රන්ථය කියවා බලා පුංචි පෙරවදනක් ලිවීමේ කාර්යය සඳහා සිංහල ශබ්ද කෝෂයේ සම්පාදක කර්තෘ රාජකීය පණ්ඩිත ආචාර්ය හොරණ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කරන ලෙසටද මතක් කළෙමි. ඒ අනුව උන්වහන්සේ ලියූ පෙරවදනත් සකස් කරන ලද අත් පිටපතත් සති 3 ක් ඇතුලත මගේ පංසලට ලැබෙන්නට සලස්වා තිබුණි. එයින් පැහැදිලිව පෙනුනේ කල්‍යාණධම්ම හාමුදුරුවන් අවසාන මොහොතේදී මෙම කාර්යය සඳහා වහ වහා ක්‍රියාත්මක වූ බවයි.
මේ චරිත කථාව සඳහා මට තත් අයුරින් සහාය වූ කිප දෙනෙක් වෙති. වසර 2 ක් වැනි කාලයක් අතිගරු මහානායක මා හිමියන් වහන්සේ හමු වී කථා බහ කිරීමට මට ඉඩකඩ ලැබුණි. එහිදී අපේ හේන්ගොඩ කල්‍යාණධම්ම හාමුදුරුවන්ගෙන් සහ අග්‍ර උපස්ථායක කිරිබරුවේ ධම්මානන්ද ආයුෂ්මතුන්ගෙන් ද වෛද්යාචාර්ය බී. ප්‍රේමරත්න මහතාගෙන් ද ලැබුණු සහාය ඉතා විශාලය. එම නිසා මුලින්ම මෙම චරිත කථාව ලිවීමෙන් අත්වන මහාකුසලය තෙමසකට පෙර අපවත් වී වදාළ හේන්ගොඩ කල්‍යාණධම්ම හාමුදුරුවන් වහන්සේට අනුමෝදන් කරවමින් කිරිබරුවේ ධම්මානන්ද ආයුෂ්මතුන් පුරන පාරමිතාවද කවදා හෝ සමෘද්ධ වේවායි ද ප්‍රාර්ථනා කරමි.
මගේ ගෞරවණීය ඉල්ලීම පරිදි හේන්ගොඩ කල්‍යාණධම්ම හාමුදුරුවන්ගේ මතක් කිරීම් අනුව මෙම චරිත කථාව සම්පූර්ණයෙන් කියවා බලා අගනා පෙරවදනක් ලිවීම පිළිබඳව ආචාර්ය ගරු හොරණ වජිරඥාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ ගෞරව පූර්වක ස්තූතිය මුලින්ම හිමි කරමි.
පිටපත් කිරීමේදී සහාය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අපරැක්කේ ප්රඥාසිරි හා ඉඟුරුගමුවේ සීලාලංකාර යන දෙනමටත් රුක්මලේ පදිංචි සුමිත්‍රා මල්ලිකා මෙනෙවියටත් මගේ විශේෂ ස්තූතිය හිමි වේ.
මෙම චරිත කතාව යතුරු ලියනය කිරීමේ සම්පූර්ණ කාර්යය මහත් උනන්දුවෙන් කර දුන් මහරගම පදිංචි ස්වර්ණා කරුණාරත්න මහත්මියට මගේ කෘතඥතාවය හිමිවන අතර වෙහෙස නොබලා ඉක්මනින් මෙම කාර්යය ඉටු නොකළේ නම් චරිත කථාව මුද්‍රණයෙන් එළිදැක්වීම තවත් ප්‍රමාද වන්නට ඉඩ තිබුණි.
ශාස්ත්‍රීය කටයුතු වලදී මෙන්ම අනිකුත් සියලු කටයුතු වලදීත් විවිධාකාරයෙන් මා උනන්දු කරවන මගේ කල්‍යාණ මිත්‍ර මහාචාර්ය ගරු බෙල්ලන්විල විමලරතන ස්ථවිරයන් වහන්සේට ද මගේ ස්තූතිය හිමි වේ.
මෙවැනි කාර්යයන් සඳහා කායික හා මානසික විවේකය හැමවිටම ලබා දෙන මගේ ප්‍රිය ශිෂ්‍ය මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය පැලවත්තේ පුඤ්ඤරතන නමටත් ආශිර්වාද කරමි.
අවසාන වශයෙන් මා දිවයිනෙන් බැහැරව සිටියදී ඉතා කෙටි කලක් තුළ මනහර ලෙස මුද්‍රණ කටයුතු අවසන් කළ නැදිමාලේ ශ්‍රීදේවී ප්‍රින්ටර්ස් අධිපති මහේන්ද්‍ර සේනානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටද අවශ්‍ය ඡායාරූප සපයා ගැනීමේදී සහාය වූ ප්‍රකට පුවත් පත් කලාවේදියකු සහ ලේඛකයකු වූ ගුණදාස ලියනගේ මහතාටද දෙහිවල ට්රාන්ස්විට් අධිපති ෂ්‍යාම් සෙයිනුදීන් මහතාටද මගේ කෘතඥතාව හිමි කරමි.
ඉත්තෑපාන ධම්මාලංකාර ස්ථවිර
රුක්මලේ විහාරය
පන්නිපිටිය
1996.06.14
ප්‍රස්තාවනා
ත්‍රිපිටක බුද්ධ ධර්මයත් අර්ථකථා, ටීකා, ගණ්ඨිපද, සන්න, සංග්‍රහ, විවරණ ආදි විවිධ ග්රන්ථ සම්පාදනයෙන් ශ්‍රී ලංකාවේ ථෙරවාද බුද්ධ ධර්මය ආරක්ෂා කළ, පෝෂණය කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන් වහන්සේලාගේ ශ්‍රී නාමයන් සාසන ඉතිහාසයෙහි අමරණීයත්වයෙන් සටහන් වී තිබේ. අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ, බුද්ධදත්ත, ධම්මපාල, ආනන්ද, සාරිපුත්ත, බුද්ධරක්ඛිත, ධර්මකීර්ති, සංඝරක්ඛිත ආදි මාහිමිවරු අතීත යුගයට අයත් වෙති. වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගෙන් ආරම්භ වූ මධ්‍යතන අවධියෙහි යාත්‍රාමුල්ලේ ධම්මාරාම, හික්කඩුවේ සිරි සුමංගල, රත්මලානේ ධර්මාලෝක, බද්දේගම ධර්මරත්න, වස්කඩුවේ සුභූති, රත්මලානේ ධර්මාරාම, බැඳිගම රතනපාල ආදි සාසන භාරධාරී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සම්ප්‍රදායානුකූලව තමන් වහන්සේලා වෙත පැවැරුණ ඒ යුග මෙහෙවර නිසි පරිදි ඉටු කළහ.
මහාචාර්ය, සාහිත්‍ය චක්‍රවර්ති පණ්ඩිත අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහා නායක මාහිමියන් වහන්සේ ඉහත නම් සඳහන් කළ ථෙරවාද මහා සංඝ පරම්පරාවට අයත් වන අද ජීවතුන් අතර වැඩ සිටින මහ තෙරුන් වහන්සේලා දෙතුන් නමගෙන් එක් හිමි නමකි. දහනව වෙනි ශත වර්ෂයේ අවසාන දශකයේ රයිගම් කෝරලයේ කුඩා ගම්මානයෙක උපත ලබා මේ විසිවන ශත වර්ෂයේ අවසාන දශකයේ බෙලහීන වූ කායේන්ද්රියයෙන් යුක්ත වුවද හද තුළ දැල්වෙන දහම් පහන් එළියෙන් ආලෝකවත්ව වැඩ සිටින රේරුකානේ චන්ද්‍රවිමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි පඩි මිණි පහන් වැටට එක් කිරීම රාජකීය පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන්ගෙන් ඉටුවුණු මහඟු ශාසනික සේවාවක් ලෙස අගය කළ හැකිය.
හොරණ වජිරඥාන නායක ස්ථවිර