මංගල ධර්ම විස්තරය - ගොඩිගමුවේ සෝරත හිමි.pdf
- කතෘ :
- ගොඩිගමුවේ සෝරත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2010
- මුද්රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 366
- බාගත කිරීම් ගණන :
- 3,844
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-26
- ගොනුවේ ප්රමාණය :
- 11 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මංගල ධර්ම විස්තරය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහා නායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදිත සදහම් අමා පත්රිකා සහ ලිපි ලේඛන ඇසුරෙන්, උන්වහන්සේගේ ප්රධාන ශිෂ්යවර ගොඩිගමුවේ සෝරත ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ධර්ම ග්රන්ථයකි. 2500 බුද්ධ ජයන්ති වර්ෂය නිමිත්තෙන් මුල්වරට සම්පාදිත මෙම ග්රන්ථය මඟින් මහා මංගල සූත්රයේ දැක්වෙන අටතිස් මංගල කරුණු සවිස්තරව විග්රහ කෙරේ.
මංගල සූත්රය හුදෙක් සෙත් පිරිත් දේශනාවකට පමණක් සීමා නොකොට, මිනිසාගේ චරිත සංවර්ධනය හා ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය සලසන ප්රායෝගික ජීවන මාර්ගයක් වශයෙන් මෙහිදී විස්තර කර ඇත. ගෘහස්ථ ජීවිතයේ යුතුකම්වල සිට නිර්වාණාවබෝධය දක්වා වූ පිළිවෙළ ගාථා දහය ඔස්සේ සරලව හා පැහැදිලිව පහදා දී තිබේ.
මෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා:
- අසෙවනා ච බාලානං - යනාදී ගාථාව
- පතිරූප දෙසවාසො ච
- බාහු සච්චං ච සිප්පං ච
- මාතා පිතු උපට්ඨානං
- දානඤ්ච ධම්ම චරියා ච
- ආරති විරති පාපා
- ගාරවො ච නිවාතො ච
- ඛන්තී ච සොවචස්සතා
- තපො ච බ්රහ්මචරියඤ්ච
- ඵුට්ඨස්ස ලොකධම්මෙහි
මෙම දස වන මුද්රණය 2010 වසරේදී ශ්රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ධර්මදානය සඳහා ප්රකාශයට පත් කර ඇත.
හැඳින්වීම
ධර්මනයය
නීතිගරුක සමාජය දියුණුය. නො දියුණු සමාජයක නීති රීති ද නැත. පුද්ගලයකුගේ හෝ ජාතියකගේ ආධ්යාත්මික හෝ භෞතික දියුණුව ලබාගත හැක්කේ නීතිරීති මගිනි. නීතිරීති ගරු කිරීම යම්තාක් දුරට දියුණු ද ඒ තරමට ඔවුහු දියුණු වෙති. වැද්දන් ගැන සිතන්නකුට මේ ගැන හරි අවබෝධයකට පැමිණිය හැකිය. ඔවුහු නො දියුණු මිනිස්සුය. ඊට හේතුව: නීති ගරුක මිනිසුන් වශයෙන් ඔවුන්ගේ පරිණාමයක් නො දක්නා ලද හෙයිනි.
ජීවිතයක බාහිරව පැවති නීතිරීති භෞතික දියුණුව ගෙන එයි. එය ලෞකිකය. එමෙන් ම තාවකාලිකය. හොඳින් හෝ නරකින් යමක් උපයා ගැනීමත් පරිභෝගයත් යන දෙක ම ජීවිතයේ එක ම අවධියකදී අවසන් වන්නේත් එතැන් සිට ඔහු පසුතැවිල්ලට යොමුවන්නේත් ඒ නිසා ය. එයින් සැනසීමක් ලද නො හැකිය. ආධ්යාත්මික දියුණුව සදා සුන්දරය. ඉන් විපුල ඵල ලැබේ. බුද්ධ ධර්මය ආධ්යාත්මික දියුණුවේ මාර්ගයයි. ඒ ඒ පුද්ගලයන්ගේ චරිත වර්ධනයට පොහෝනා ධර්මනීති ඔවුන්ගේ ම ජීවිතයේ අවයව කොට දැක්වීම දේශනා මාර්ගයෙහි එන සාමාන්ය පිළිවෙළයි. මංගල සූත්රය ද එවැනි ධර්මනීති පද්ධතියකි.
එහිලා කියයුතු විශේෂය නම් චරිත පුද්ගල විසින් බැඳීමක් නැති බවයි. කාගේත් අවධානයට මෙන් ම අභ්යාසයට ද සුදුසු බවයි. එක ම මූලික කාරණයක් පදනම් කොට ගත් ජීවිතය අඩියෙන් අඩිය පරම ආධ්යාත්මික සැපය කරා ළංවීමක් මෙහි දී දැක්ක හැකි ය. මංගල සූත්රය නො සිදුනු එක ම ධර්ම න්යාය මාර්ගයකින් වෙළී තිබේ.
ත්රිවිධ මංගල
ශ්රී සිද්ධාර්ථ ශාක්යමුනීන්ද්ර සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මෙලොව හා පරලොව පිළිබඳ අභිවෘද්ධියට හේතු වූ අතිශ්රේෂ්ඨ ධර්ම සමූහය “මංගල ධර්ම” නමින් හැඳින් වේ. පුරා දොළොස් වසක් මඟුල් නම් මොනවාදැයි සෙවූ දඹදිව වැසියනට බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවෙන් පසුව එකෙක් ඒ පිළිබඳව ඔවුන් දරා සිටි විවිධ අදහස් බිඳී ගියේය. එද ඇතැම් කෙනෙක් “මුලින් දුටු දේ මඟුලැ”යි කීහ. තවෙකෙක් “මුලින් ම ඇසූ දේ මඟුලැ”යි ගත්හ. ඒ මතවල නො පිහිටි ඇතැම්හු “මුලින් ලද සුවඳ හෝ රසය හෝ ස්පර්ශය මංගල”යයි කීහ. මෙසේ දිට්ඨ මංගල, සුත මංගල හා මුත මංගල වශයෙන් මංගල කරුණු පිළිබඳ නානත්වයක් ඉපැද, විවිධ මත දැරූ භාරතීයයනට දොළොස් වසක් ඉක්මව ගියේය. ඒ තාක් ඔවුහු සිතූහ. සාකච්ඡා කළහ. ඒ ඒ අදහස්වලට විරුද්ධව වාද කළහ. එකෙකින් නො නැවතී දෙවියන් අතරට ද මේ සාකච්ඡාව ගියේය. ඔවුහු ද “මංගල කරුණු මොනවා දැ”යි සෙවූහ, දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි දේවතාවෙක් “සමස්ත දිව්ය මනුෂ්යයන් තුළ මංගල කරුණු පිළිබඳව ඇති වී තිබෙන කුහුල දුරුකොට වදාරන ලෙස” ඇයැදීය. බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනා කොට වදාළේ ඒ ඇයැදුමෙහි ප්රතිඵලයක් වශයෙනි.
මංගල ශබ්දය
“මංගල” යනු ඉෂ්ටාර්ථ සූචක පදයකි. ඒ හැර ග්රහභේදය, ශ්රේෂ්ඨාර්ථය, දුර්ගාව, ගෘහ, පතිව්රතාව, පව් නැස්ම ආදිය හා අභිවෘද්ධිය යන විවිධාර්ථයන්හි යෙදෙන මංගල ශබ්දය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කොට වදාරන ලද්දේ “අභිවෘද්ධිය” යන අරුත ඔස්සේය. පසු කල එය විග්රහ කළ අටුවා ඇදුරෝ “මං වුච්චති පාපං, තං ගලතීති මංගලං” යි නිරුක්ති දැක්වූහ. “මංගල” යනු පාප සමනයෙන් අභිවෘද්ධියට හේතුවන කරුණු රාශිය යනු ඒ නිරුක්ති අනුව පැහැදිලි ය. මේ සූත්රයෙන් අනාවරණය වන කරුණුවලට උත්තම මංගලයයි වදාළ හෙයින් ඉන් ඔබ්බෙහි මංගල නාමයෙන් ව්යවහාර කළ හැකි දේ වෙත් නම් ඒ හැම ආරූඪ වශයෙන් මංගල වන නමුත් අර්ථනුගත නො වන්නේ ය. මේ සූත්රය එබඳු මඟුල් කරුණු තිස් අටකින් පරිමිත ය.
1,2,6 වැනි ගාථාවන්හි කරුණු තුන බැගින් 9 කි. 3,4,5,8,9,10 ,, ,, සතර ,, 24 කි 38 7 වැනි ගාථාවෙහි මංගල කරුණු 5 කි
මංගල සූත්රය දෙස එකවරට බලන්නකුට පෙනී යන්නේ එය ස්වප්රධාන වූ වෙන් වෙන් කරුණු තිස් අටක් සංග්රහ කළ සූත්රයක් වශයෙනි. එහෙත් මුල් ම ශාසනික ප්රතිපදාවෙහි පටන් අර්හත් ඵලය කුළුගන්වා පවත්වන දේශනා විලාශයක් මෙහි ලා දැක්ක හැකිය. බාලයන් සේවනය නො කළ යුතු බවත්, සේවනය කළ යුත්තන් දැක්වීමත් මේ සූත්රයෙන් ඉදිරිපත් කරන ප්රධාන ශීර්ෂයයි. මිනිසාගේ ජීවිතය අඳුර පහවී විද්යාවේ ආලෝකය ලබා සැනසීමට පැමිණිය හැකි ක්රමය පිළිබඳව අනතුරුව විස්තර වෙයි. අර්හත්වය තෙක් එය ක්රමානුකූල නැඟීමකින් යුක්තය. අවසාන මංගල කරුණු කීපයකින් ක්ෂීණාශ්රවයකුගේ පැවැත්ම පිළිබඳව විස්තර වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි ප්රකටව පෙනෙන ආදි, මධ්ය, පරියෝසාන කල්යාණතාව මෙහිදී ද පැහැදිලිව දැක්ක හැකිය.
මංගල සූත්ර භාවය
“පිදිය යුත්තන් පිදිය හැක්කේ පණ්ඩිත ජන සේවනය කළහොත් පමණි. මේ කරුණු දෙක සුදුසු ප්රදේශයක වාසය කරන බවට මෙන්ම පෙර පින් ඇති බවට ද සාධකය. එබඳු අයගේ සිත්සතන් දාන්තය, මනා පැවැත්මෙන් යුක්තය. එයින් තැප්ත නොවු ඔහු තම බහුශ්රැත බවත් ශිල්පයත් ආත්ම දමනය පිණිස යොදයි. හොඳ වචන කියන්නෙක් වේ. ගිහියන් වශයෙන් මව් පිය උපස්ථානයත් අඹුදරු සංග්රහයත් නිසි සේ කෙරේ. දැහැමිව වස්තුව සපයා ගනී. එයින් දන් දෙයි. දහමෙහි හැසිරෙයි. ශක්ති පරිදි නෑයන්ට ද සංග්රහ කෙරේ.
නිදොස් කටයුතු ඇති ඔහු පවින් වෙන් වෙයි. මත්පැන් නො බොයි. කුසල ධර්මයන්හි තත්පරවූයේ බුද්ධ, බුද්ධ ශ්රාවක, ආචාර්ය උපාධ්යායාදීන් කෙරෙහි පැවැත්විය යුතු ගරු බවත්, යටත් පහත් පැවතුම් ඇති බවත් එළඹ සිටී. යථා ලාභයෙන් සතුටු වෙයි. කළගුණ දන්නකු බවට පැමිණෙයි. සුදුසු කාලයෙහි ධර්ම-ශ්රවණය කරයි. අධිවාසන ක්ෂාන්තිය පෙරදැරිව ඇතිවන කීකරු කම එළඹ සිටී, මෙසේ භික්ෂූන් හමුවීමෙන් සාකච්ඡා පැවැත්වීමෙන් තපසට බැසගනී.
ඉන්ද්රිය සංවරයෙන් තපසට බැසගත් හේ බඹසර හැසිරෙන්නකු වෙයි. අවසාන චතුරාර්ය සත්ය ධර්මයන් පිළිබඳ අවබෝධය ලබා නිර්වාණය ප්රත්යක්ෂ කරන්නේක් ද වේ. ඉන්පසු ඔහුට අටලෝ දහමෙහි නො සැලී සිටීමට හැකි වෙයි. ශෝක රහිත වෙයි. කෙලෙස් දූලි නැතිවෙයි. සියලු උවදුරු නැතිවෙයි.” මෙසේ මංගල සූත්රය එක ම ධර්ම වර්ෂාවෙකි.
මංගල ධර්ම සමාජය
අවුරුදු ගණනාවක් මහජනයා තුළ භාවිතයට ආ මතධර්ම පහසුවෙන් මකනු නො හැකි බව පෙනෙන්නේ මඟුල් යන්නෙහි අරුත අදත් පෙර පරිදිම තිබෙන හෙයිනි. මංගල ධර්ම දේශනාවෙන් පසුව මඟුල් කරුණු පිළිබඳව භාරතීයයන් දැරූ අදහස් දෙදරා ගිය බව මුත් ඔවුන් ගෙනා මතධර්ම නො වෙනස්ව පැවති බව පෙනේ. ත්රිපිටකයෙන් හා හින්දූන්ගෙන් එකවර ලංකාවට සංක්රමණය වූ මංගල ශබ්දය එහි අදහස් සමග පැහැදිලිව දෙමගක ගමන් කළේ ය. බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණූත් එහි ඇති ක්රියාත්මක ශක්තියක් මුල්කරකොට, ශාන්තිකර්ම ස්වරූපයක් ගෙන, අස්වසා ගැනීමෙන් පමණක් ස්වකීය අභිමතාර්ථයන් ඉටුකර ගැනීමේ තත්ත්වයකට පෙරළින. මඟුල් කරුණුවලට වඩා මංගල ශබ්දයට තැනක් ලැබිණි. හින්දූන්ගේ දර්ශනික බලපෑම්වලට ගොදුරු වූ බෞද්ධයෝ මංගල සූත්රයට ආශීර්වාද ස්වරූපයක් ආරෝපණය කළහ. පසු කලෙක හින්දූන් ශාන්තිකර්මයෙන් බලාපොරොත්තු වූ පිහිට බෞද්ධයෝ මංගල සූත්රය අස්වා ගැනීමෙන් බලාපොරොත්තු වූහ. අදත් ඉන්දියාවේ පේන සාධුවරුන්ගේ ශාන්ති ගීතය “මංගලම්” යන වචනය යි.
“මංගල සූත්රය” පිරිත් පොතට ඇතුළත් කළ නිසා එය මහජනයාගේ ආදර සම්මානය දිනාගත් බවට සැකයක් නැත. ඒ නිසාමය අනික් සූත්ර අතර එය ඉතා ප්රසිද්ධියක් ද උසුලනුයේ. ඒ එක්ක ම කියයුතු කාරණය නම් ධර්මය පිළිබඳව යථාර්ථය වැසීගිය යුතු අතර මංගල සූත්රය ප්රධාන බවය. බුදුරජාණන් වහන්සේ මංගල කරුණු පිළිබඳව දරා සිටි අදහස් ඉන් ඉවත්ව යාමට පටන්ගත්තේ මංගල සූත්රය පිරිත් පොතට ඇතුළත් කිරීමෙන් පසුවය. කවර ආගමික වුවත් දර්ශනික පක්ෂයෙන් සාමාන්ය මහජනයාගේ බැඳීමක් නැත. හුදෙක් යථාර්ථ හැඟීම්වලට වඩා පුදපූජා හා ශාන්ති කර්ම වැනි ලෞකික දෙයින් බැඳීම ස්වභාව හෙයිනි. පුද පූජාවන්ගෙන් හා ශාන්තිකර්මයෙන් ආගමක් හා මහජනයා අතර ඇතිවන බැඳීමේ ස්ථිරත්වය දුටු මහායානික අනුශාසකයෝ ක්රමානුකූල පූජාවිධි පිළිවෙළක් සකස් කළහ. මෙයින් වූයේ ථෙරවාදය කෙරෙහිත් මෙබඳු හැඟීම් බලවත්ව පැන නැඟීමයි. මංගල සූත්රය නිවන කරා දුවන ක්රියා මාර්ගයක් බව අමතක කිරීමට වැඩිකලක් ගත නොවූයේ යථෝක්ත බලපෑම්වලට ගොදුරු වූ හෙයිනි.
නො එසේ නම් මංගල සූත්රය වැනි වටිනා උපදේශ මාලාවක් අනාවරණය කරන සූත්රයක් තවත් නැති තරම් ය. මිනිස් සමාජය අමතක කළ ගුණදහම් මංගල සූත්රය නැවත නැවත මතක්කර දෙන සුළුය. බඩකට පුරා කා බී සැපසේ ජීවත් වන පෞද්ගලික සැප විහරණය පමණක් සලකන්නවුන් කෙරෙහි බුදු දහමින් යොමුවන්නේ උදාසීන බැල්මකි. එහෙයිනි, යමක් උපයාගත් පමණින් තම නෑදෑයන් අමතක කරන මිනිසුන් කෙරෙහි “ඥාතීන්ට සංග්රහ කිරීම” වැනි මංගල කරුණුවලින් ඔවුන් කෙඳගන්වන්නේ. මව්පිය උපස්ථානය, කළගුණ දන්නා බව, ඉවසීම, වැනි පුරුදු කළ යුතු ගුණාංග ජීවිතයක් ගුණබරින් බර වීමට දමන පඩි ය. මේ ගුණදහම් නමැති භාණ්ඩවල අතුල්ලා ඔප මට්ටම් නො කළ ජීවිතවල කිසි ම වටිනා කමක් නැත. එයින් සුවඳ කැවූ ජීවිතවලින් ම දස දෙස ගුණ සුවඳ හමයි. බුදුරජාණන් වහන්සේ දියුණුවට හෝ පිරිහීමට හෝ හේතු වදාළ හැම තැනකදී ම මත්පැන් පානය හෙළා දුටහ. මෙහිද මත්පැන් නො බීම මංගල කාරණයක් කොට වදාරා තිබේ. මෙසේ මෙහි සඳහන් අටතිස් කරුණුවලින් එකක් පාසා මිනිසාගේ දැහැමි දිවි පෙවෙතට සම්බන්ධය ලැබෙන අයුරුත් එයින් ඇතිවන සාමකාමී ජීවිතයත්, දෙස බලන විට එක ජීවිතයකට, එක රටකට නොව සමස්ත ලෝකයටම මංගල ධර්ම ගැන හරි අවබෝධයක් ලබාදීම වැදගත් ලෝකශාසනික සේවයක් වනු නො අනුමානය.
අපගේ ප්රාර්ථනය
මෙම සම්බුද්ධ ජයන්ති වර්ෂය ගත වූ වර්ෂවලට වඩා බෞද්ධයන්ගේ ආගමික භක්තිය දියුණු කරමින් පවතී. අද දිවයිනේ හැම තැනක ම පාහේ පිළිවෙත් ගරුක බෞද්ධයන් දක්නට ලැබීම සැනසීමට කරුණකි. මෙය බෞද්ධයන්ගේ වියළී ගිය භක්ති ලතාවට තාවකාලික දියත්තක් වේවා. එයින් සම්බුද්ධ ජයන්තියේ පරමාර්ථය ඉටුවූවා නො වෙයි. දෙදහස් පන්සියයේ සම්බුද්ධ ජයන්තියෙන් පසුව ලෝකයෙන් බුද්ධ ධර්මය වඳවී යා හැකියයි කියන ක්රිස්තියානි කතෝලික පින්වතුන් මෙන් ම බෞද්ධයන් ද සිටීම කණගාටුවට මෙන් ම අනුකම්පාවට ද කරුණකි. එහෙත් එහි සත්යය බොහෝ ඇතය. මෙහිදී එකක් කිය හැකිව තිබේ. “බෞද්ධයන්ගේ පිරිහීම කවදා හෝ විය යුතු නම් එය අනිත් ආගමිකයන් නිසා නොව බෞද්ධයන් ගෙන් ම වන බවය.” මේ කාරණය ගැන පමණක් සිතා බැලුව හොත් ඉදිරියෙහි පැමිණිය හැකි ආගමික ආපදාවෙන් වැළකීගත හැකිය.
ගත වූ වර්ෂ කීපය තුළ මේ දිවයිනේ බෞද්ධයන්ගේ ආගමික දැනීම පුළුල් කළ ධර්මධරයන් අතර අපගේ ගුරුදේව වූ “ආචාර්ය රේරුකානේ චන්දවිමල” මහාහිමිපාණන් වහන්සේට ද හිමි වන්නේ සාමාන්ය තැනක් නො වෙයි. උන්වහන්සේ ලියූ ආගමික පොතපත බලා තම අදහස් දන්වා එවූ බෞද්ධයන්ගේ මෙන් ම ක්රිස්තියානි කතෝලික පින්වතුන්ගේත් ලියුම් සිය ගණනක් වුව ද අප වෙත තිබේ. අප මෙයින් සතුටුවන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාන්ත්යාලෝකය, අමා පණිවුඩය ලැබීමෙන් ඔවුන්ගේ සිත් සතන් පිනායාම ගැනය. මේ කාරණය අපට සඳහන් කිරීමට සිදුවූයේ මේ “මංගල ධර්ම විස්තරය” ලිවීමට හේතු වූ කරුණු පිළිබඳ මතක් කළ යුතුව තිබුණ හෙයිනි.
පොකුණුවිටින් පළ වූ ඒ දහම් පොත් කිය වූ පින්වතුන්ගේ එක්තරා අදහසක් ක්රියාවට නැංවීමක් වශයෙනි, මෙසේ මංගල ධර්ම පිළිබඳ විස්තරයක් ලිවීමට අප උත්සාහවත් වූයේ. අප ගුරු දේවයන් වහන්සේ වරින් වර රෝගී වීම නිසාත්, මේ බුද්ධ ජයන්ති කාලයෙහි පළාතේ අවශ්යයෙන් ම කිරීමට සිදුවී තිබෙන ධර්ම සංග්රහ නිසාත්, මේ කටයුත්තෙහි ලා උන්වහන්සේ අප මෙහෙයවා වදාළහ. එබැවින් මේ සම්බුද්ධ ජයන්ති වර්ෂය තුළ ම මංගල ධර්ම පුස්තකයක් බෞද්ධයන් අතට පැමිණවීමෙන් වටිනා ශාසනික සංග්රහයක් කිරීමට යොමු වූ අපි ද මංගල ධර්ම යටතේ එන කාරණයක් පාසා මිනිසාගේ ලෞකික ප්රයෝජනය මෙන් ම ලෝකෝත්තර සැපය පිළිබඳවත් වර්තමානයට ගැලපෙන අන්දමින් අවබෝධයට ද පහසුවන පරිදි පොත් පිංචක් සකස් කෙළෙමු. ඒ මේ දහම් පොත කියවා මංගල ධර්ම පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් තම තමන්ගේ ජීවිත, ලෞකික හා ලෝකෝත්තර දියුණුවේ මාවත ඔස්සේ ගෙන ගොස් ශාන්ත අති සුන්දරතර සැපය ළංකර ගැනීමේ භාග්යවන්තයෝ වේවා යි ඉත සිතින් ප්රාර්ථනා කරමු.
උපකාරානුස්මෘති
මෙම ග්රන්ථය සැපයීමේ දී අපගේ ගුරු දේවයාණන් වූ අතිගරු රේරුකානේ නාහිමිපාණන් වහන්සේ විසින් මෙයට පස්විසි වසකට ඉහත දී මාසික ධර්ම පත්රිකාවක් වශයෙන් “මංගල ධර්ම” අළලා ලියන ලද වටිනා ලිපි රැසක් හා උන්වහන්සේ විසින්ම පත්ර සඟරා ආදියට සැපයූ තවත් ලිපි ලේඛන සමූහයක් ගුරුකොට ගත් බව ද, ඇතැම් ගැඹුරු කරුණු පිළිබඳව උන්වහන්සේ අතින් ලියැවුණු දැ ද එසේ ම වචනයකුදු වෙනස් නො කොට මෙහි ඇතුළත් කළ බව ද කෘතඥතා පූර්වකව සාතිශය ගෞරවයෙන් සඳහන් කරමු.
වර්තමාන සමාජයෙහි බලපාන “තාපස කලබලය, සමාජ සේවක භික්ෂූව, වනවාසී භික්ෂුව” ආදී සාමාන්ය බොහෝ කරුණු පිළිබඳව විවේචනාත්මකව ලියැවුණු දැ අප සතු ය. එබැවින් ඒ පිළිබඳ ලෝකයාගෙන් යම් සම්මානයක් හෝ අවමානයක් ලැබෙතොත් එද අප සතු විය යුතු බව මෙහිලා විශේෂයෙන් සිහිපත් කරමු.
ග්රන්ථයක් මුද්රණය කරවීමේ දී ගත්කරුවන්ට කරන්නට සිදුවන පෲප් බැලීම් ආදි සියලු ම කටයුතු මේ පොත මුද්රණයේ දී ඉතා සැලකිලි ලෙස කරදුන් අපගේ පැවිදි සොහොයුරාණ කෙනකු වූ හේන්ගොඩ කල්යාණධම්ම ස්ථවිරයන් වහන්සේට කෘතඥතා පූර්වකව පිං දෙමු.
බුදුසසුන බැබලේවා!
මෙයට, ලෝවැඩ කැමති ගොඩිගමුවේ සෝරත ස්ථවිර.
ශ්රී. බු. ව. 2499 ක්රි. ව. 1956 මාර්තු 1 වැනි දින
පොකුණුවිට ශ්රී විනයාලංකාරාරාමයේ දී ය.
මෙයට, ලෝවැඩ කැමති
ගොඩිගමුවේ සෝරත ස්ථවිර.
ශ්රී. බු. ව. 2499
ක්රි. ව. 1956 මාර්තු 1 වැනි දින
පොකුණුවිට
ශ්රී විනයාලංකාරාරාමයේ දී ය.
ලේකම්ගේ සටහන්...
මංගල ධර්ම විස්තරය, රේරුකානේ මහා නාහිමිපාණන් විසින් ලියා පළ කළ ධර්ම පත්රිකා ඇසුරු කොට උන්වහන්සේගේ ශිෂ්ය, අපවත් වී වදාළ ගොඩිගමුවේ සෝරත හිමිපාණන් විසින් රචිත පොතකි. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කළ මේ පොත අදටත් නවක භික්ෂූන් වහන්සේලාගේ හා පාඨකයන්ගේ ආදර ගෞරවයට බඳුන් වෙයි. නවක සාමණේරයන් වහන්සේලාගේ දේශනා චාතූර්ය සඳහා මංගල ධර්ම විස්තරය අත්වැලකි.
පොතෙහි හැඳින්වීමේ කතු හිමියන් දක්වන ....බෞද්ධයන් ගේ පිරිහීම කවදා හෝ විය යුතුනම් එය අනෙක් ආගමිකයන් නිසා නොව බෞද්ධයන්ගෙන්ම වන බවය...” යන වැදගත් අදහස මේ කාලයේ දී අවධානයට ලක් කිරීමත්, ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්රියාමාර්ග කෙරෙහි බලධර ආයතනයන්හි අවධානය යොමු වීමත් අවශ්ය ය. ඈත අතීතයේ සිටම ලක්දිවට පැමිණි නොයෙකුත් ආගමිකයන්ගේ ආභාෂයන් නිසා නාමික බෞද්ධයන් පිරිසක් දිවයිනෙහි නිර්මාණය වී ඇත. මේ පිරිස ‘මොනම ආගමකටවත් නැති පිරිසක් වීම’ ජාතියෙත්, ආගමෙත්, රටේ ආර්ථිකයේත් දියුණුවට බාධාකර බව කිවයුතු තරම් නොවේ.
විදේශීය ආධිපත්යයෙන් අප නිදහස් වුව ද, අපේ පැරණි සිංහල නීතියත්, බුදු සමයේ එන විනය නීතියත් අතර තිබූ සම්බන්ධය යළි ඇති කරන්නට අප සමත්වී නැත: යුරෝපීය චින්තනය, ඔවුන් විසින් පැන වූ අණපනත්වලින් නිදහස් වීමට අප නො පොළඹවයි. විහාර දේවාලගම් පනතේ ‘ලියාපදිංචි භික්ෂුව’ හා ‘ශිෂ්යානු ශිෂ්ය පරම්පරාව’ යන තේමා ඔස්සේ ඇති කළ විහාරාධිපති පදවිය නිසා වැඳූ පටිපාටියට හානි වීමත්, භික්ෂූන් වහන්සේලා අතර අයිතිය පිළිබඳ ගැටළු මතු වීමත් වැළැක්විය නො හැකීය: මේ නිසා බුද්ධාගමිකාරයන් වශයෙන් සිටීමට අවස්ථාව රටේ නීතියෙන් තහවුරු කිරීම මොන මොන තැන්වලින් විය යුතුදැයි සොයා බැලීමත් කළ යුතුව ඇත.
ක්රියාකාරී ජීවිතයේදී හුරු කළ යුතු ගුණධර්ම, සංගායනාවට සීමා කිරීම අද නිරතුරුව ම දැකිය හැකි ය. මහා මංගල සූත්රය, කරණීය මෙත්ත සූත්රය ආදියෙහි දැක්වෙන, අප අනුගමනය කළ යුතු ක්රියාමාර්ගය ශාන්තිය අපේක්ෂාවෙන් උදෑසන, රාත්රියේ, වැඩක ආරම්භයේදී හා විවාහ කිරීම්වලදී සංගායනා කිරීම අපේ සිරිතක් වී ඇත. අරුත ගැන නොසිතා රීතිත ගැන පමණක් සිතා කරන මේ මැතිරීම පූජ්ය-පූජක දෙපිරිස ම පත් ව ඇති මංමුළාව පෙන්නුම් කරයි. බුදු දහමේ පෙන්වා ඇති පරිදි කළ යුතු වැඩ කිරීමෙන් මිස කීමෙන්, ආවැඩීමෙන් කිසිදු ප්රතිඵලයක් නොවන බව බෞද්ධයන්ගේ කල්පනාවට බඳුන් විය යුතු ය.
සෑම යුගයක ම වැඩිහිටියන්ගේ චෝදනාවක් බවට පත්වී ඇති ඊළඟ පරපුර තමන්ට වඩා ගුණ දහමින් පිරිහීමට ලක් වී ඇත’ය යන කරුණ ද මේ යටතේ ම අපේ සැලකිල්ලට භාජනය විය යුත්තකි. ඊළඟ පරපුරේ ගුණධර්ම පරිහානියට තමන් කොතෙක් වගකිව යුතු ද? අපේ ධර්මය ඉගැන්වීමට හා ඒ අනුව හැසිරීමට උපදෙස් දෙන ආකාරය නිවැරදි ද? එම අධ්යාපන ක්රම නැවත සකස් විය යුතු ද? එසේ කරන්නේ නම් ඊට සහභාගී විය යුත්තේ කවුරුන් ද? එම තෝරාගැනීම්වලදී භාවිත කරන මිණුම්දඬු ප්රමාණවත් ද? ආදී ගැටළු ද අප ඉදිරියේ මතු වෙයි. මේ සියල්ල ජය ගැනීම සඳහා එක් එක් ආකාරයෙන් එල්බ ගෙන ඇති මානයන්ගෙන් ලිහිල් වීමට අපට හැකි විය යුතු ය. නොයෙක් ආගමිකයන් සමග එක්ව ජීවත්වීම බුදුරජාණන් වහන්සේ විසින් ම ආදර්ශයෙන් පෙන්නුම් කර ඇත. කුමන ගඟෙන් ගැලුවත් මහසයුරේ ජලකඳ එකක් වන්නා සේ විවිධ ජාතීන්ගෙන් සැදුම් ලද නමුත් ලාංකික ජනතාව එක ම කණ්ඩායමක් වශයෙන් සැළකීමට අපට දුෂ්කර නොවිය යුතු ය.
බඹයක් පමණ වූ මේ ශරීරයෙහි ලෝකයත්, නිවනත් පැනවීමෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වූ සත්යය, සියලු ගැටළු තම තමන් විසින් ම නිරාකරණය කළ හැකිය යන පණිවුඩය ද අපට ගම්යමාන කරයි. අප එකිනෙකාගෙන් ඉටුවිය යුතු කාර්යභාරය හරිහැටි තේරුම් ගෙන කිරීමට තරම් නුවණක් මේ පොත කියවීමෙන් ලබන්නට සැදැහැවතුන් උත්සාහ ගනී නම් අපේ ප්රයත්නය සාර්ථක වූවා වෙයි.
මේ පොතෙහි මුද්රණ කටයුතු ඉටුකළ සිකුරු ප්රකාශකයෝ ආයතනයෙහි ශිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද, සංශෝධිත පරිගණක අක්ෂර සංයෝජනයෙන් දායක වූ සාලිය ජයකොඩි මහතා ද සහෘදව සිහිපත් කරමි. දයාවතී අබේසිංහ මහත්මිය සම්බන්ධ වූ පළමු සෝදුපත් සටහන් මෙයට ද ප්රයෝජනවත් විය. මට ශක්තියක් වූ කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් ද, මට උපකාර කරන උන්වහන්සේගේ ශිෂ්ය ස්වාමීන් වහන්සේලා ද දයාබරය. ධර්මයට ලැදිව කටයුතු කරන, ධර්ම ගරුකව කියවන සියලු දෙනා ද අප සත්පුරුෂ සමාගමේ සාමාජිකයෝ ය.
අප බොහෝ කාලයක් අපේක්ෂා කළ ඒ ”දියසෙන් සංකල්පය” අද යථාර්ථයක් බවට පෙරළී ඇත. විවිධ හේතු නිසා සමාජ ක්රමයේ විචිත්රත්වයක් දක්නට ඇතත් මහින්ද චින්තනයෙන් තහවුරු කළ ජනමූල චින්තන ධාරාව ඉදිරියට ගලා යන්නට සැලැස්වුව හොත් අප එකිනෙකා තුළ ඇතිවන ආත්මාභිමානය, අප ලෝකයේ උසස් ස්ථානයකට ඔසවා තබනු නොඅනුමානය.
සියල්ලෝ දහම් රසයෙන් සැනසෙත්වා! තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි ගරු ලේකම් ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2010 ජනවාරි මස 01 වන දින, පොකුණුවිටදී ය.
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2010 ජනවාරි මස 01 වන දින,
පොකුණුවිටදී ය.