නිර්වාණ විනිශ්චය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්ද්රවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2007
- මුද්රිත වර්ෂය :
- 2007
- පිටු ගණන :
- 154
- බාගත කිරීම් ගණන :
- 7,555
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-26
- ගොනුවේ ප්රමාණය :
- 4.3 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්රමය යනු පූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත, නිවන හා පුනරුත්පත්තිය පිළිබඳ ග්රන්ථ දෙකක් එක් කළ ධර්ම ග්රන්ථයකි. ලේකම් සටහනට අනුව මේ ග්රන්ථද්වය 1926 දී සහ 1927 දී මුල් වරට වෙන වෙනම පළ කර, 1991 දී එක් පොතක් ලෙස ප්රකාශයට පත් කෙරිණ. නිර්වාණ විනිශ්චයේ සංඥාපනය ක්රි.ව. 1926 දී පානදුර වැල්ලබඩ පන්සලේදී ලියා ඇත.
සිය බසින් නිර්වාණ තත්ත්වය පැහැදිලි කරන ග්රන්ථයක් නොමැති අඩුව පිරවීම සඳහා අභිධර්ම ප්රකරණ, නිකාය සතරේ සූත්ර, උදාන, ඉතිවුත්තක, අටුවා ටීකා, විශුද්ධිමාර්ගය හා ලේඩි සයාඩෝ හිමියන්ගේ නිබ්බාන දීපනී ඇසුරින් මෙය සම්පාදනය කළ බව කතුවරයාණෝ පවසති. පරිච්ඡේද පහකින් යුත් නිර්වාණ විනිශ්චයේ නිර්වාණ තත්ත්වය, නානා විධ නිර්වාණ, නිවනට පැමිණෙන ආකාරය, නිර්වාණ සුඛය හා නිවන පිළිබඳ විවිධ වාද හා ඒවායේ විනිශ්චය දක්වේ. දෙවන කොටස වන පුනරුත්පත්ති ක්රමයෙන් සත්ත්ව ප්රභේද, යෝනි, මැවීම පිළිබඳ දෘෂ්ටිය හා පුනරුත්පත්තිය විස්තර කෙරේ.
ග්රන්ථකරණයේ ආධුනික අවධියේ ලියූ මෙහි භාෂාව ආධුනික වුවත් කරුණු විග්රහය එසේ නොවන බවත්, පසු කාලීන කෘතීන්හි සරල ශෛලියට පැමිණීමට නාහිමියන් ගත් වෑයමේ මූලය මෙයින් පෙනෙන බවත් ලේකම් සටහනේ දැක්වේ.
මෙය ශ්රී චන්ද්රවිමල ධම්පුස්තක සංරක්ෂණ මණ්ඩලය (ශ්රී විනයාලංකාරාරාමය, පොකුණුවිට) විසින් බු.ව. 2551 / ක්රි.ව. 2007 දී පළ කළ හත්වන මුද්රණයයි.
- ප්රථම පරිච්ඡේදය - නිර්වාණ තත්ත්වය
- ද්විතිය පරිච්ඡේදය - නිර්වාණ භේද
- තෘතීය පරිච්ඡේදය - නිර්වාණයට පැමිණෙන ආකාරය
- චතුර්ථ පරිච්ඡේදය - නිවනෙහි සුඛත්වය
- පඤ්චම පරිච්ඡේදය - ආචාර්ය වාද හා විනිශ්චය
- පුනරුත්පත්ති ක්රමය
ලේකම්ගේ සටහන්.....
1926 දී සහ 1927 දී මුල් වරට වෙන වෙනම පලකරන ලද රේරුකානේ නාහිමියන්ගේ “නිර්වාණ විනිශ්චය හා පුනරුප්පත්ති ක්රමය” යන ග්රන්ථද්වය 1991 දී දෙවන වරට එක් පොතක් වශයෙන් අප මණ්ඩලයෙන් එළි දක්වන ලදී.
ග්රන්ථකරණය පිළිබඳ ආධුනික අවධියේදී ලියන ලද මේ පොත්වල භාෂාව පිළිබඳ ආධුනික බවක් මිස, කරුණු විග්රහය පිළිබඳ ආධුනික බවක් නැති නිසා නිවන හා පුනරුත්පත්තිය පිළිබඳ ගැඹුරින් හදාරන්නකුට මේ පොත හොඳ අත්වැලකි.
යම් කරුණක් පිළිබඳ පෙලෙහි ඇති විග්රහයත්, ඒ අනුව අටුවා ටීකාවන්හි දක්වෙන ථෙරවාදී පද විග්රහයත් එක් තැන් කොට හැකිතාක් සරලව ගැඹුරු දහම් කරුණු පිළිබඳව බුදුන් වහන්සේගේ අදහස තේරුම් ගැනීමට සැලැස්වීම රේරුකානේ නාහිමිපාණන් වහන්සේගේ කෘතීන්හි එන ලක්ෂණයයි. පසු කාලයේ පොත් වල ඉතා දියුණුවට පෙණුනු මේ තත්ත්වයට එන්නට නාහිමියන් ගත් වෑයමේ මූල ලක්ෂණය ද මේ පොතෙන් තේරුම් ගත හැකිය.
ලෞකික වින්දනය හා ද්රව්ය හැඳින්වීම සඳහා නිර්මාණය කරගෙන ඇති වචන වලින් ලෝකෝත්තර තත්වයක් විග්රහ කරන්නේ කෙසේද යන ගැටළුව ජය ගැනීම රේරුකානේ නාහිමිපාණන්ට පමණක් නොව බුදුන් වහන්සේට ද මතු වූවකි. ඒ නිසා ම බුදුන් වහන්සේ ධර්ම දේශනාවට පසුබා ගිය බවත්, මහා බ්රහ්මයාගේ ආරාධනාවෙන් ධර්මය දේශනා කිරීමට නැවත තීරණය කළ බවත් සඳහන් වෙයි. එකල බ්රහ්ම සංකල්පය යටපත් කරගෙන මතු වූ බුද්ධ සංකල්පය තුලනය කිරීම පිණිස යෙදී ඇති මේ අදහස් කෙසේ වෙතත්, භාෂාව මෙවලමක් වශයෙන් ගෙන ලෝකෝත්තර වූ නිවණ තේරුම් කිරීමත්, තේරුම් ගැනීමත්, කොතරම් අසීරු කාර්යක් වී ද යන්න නිවණ සහ රහතන් වහන්සේ තේරුම් කරන්නට දේශිත සූත්රවල එන පද හරඹයෙන් වටහා ගත හැකිය.
1927 සිට 1947 දක්වා රේරුකානේ නාහිමියන්ගේ කිසිදු පොතක් පල නොවීම හා මේ කාලය ධර්ම පත්රිකා පමණක් පළවීම තුළ වසර 20 ක පමණ කාලයක් භාෂාව පිළිබඳ මේ ගැටළුව ජය ගැනීමට නාහිමියන් ගත් වෑයම තේරුම්ගත හැකිය. උන් වහන්සේගේ අනික් පොත් හා සසඳන විට, කරුණු තේරුම් කිරීම අතින් සරල, සුගම නොවූ මේ පොත් දෙක පිළිබඳ අදහසත්, එය පාදක කරගෙන භාෂාව සකස් කරගැනීමත් නිසා මේ පොත් දෙකෙහි වටිනාකම අති විශාලය. 1947 දී පල වූ චතුරාර්ය සත්යය භාෂාව පිළිබඳ වූ අඩුපාඩු ඉවත ලා කියවන්නාගේ අදහස් සීඝ්ර වර්ධනයකට ගෙන යා හැකි සේ අදහස් කුළු ගැන්වීමේ ලක්ෂණයන්ගෙන් යුක්තව ඉදිරිපත් කිරීමට නාහිමියෝ සමත් වෙති.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මය සැඟවෙන්නට නොදී එය ප්රබුද්ධ ජනයාගේ යහපත පිණිස විවර කර දුන් මහා කාශ්යප, මහින්ද, බුද්ධඝෝෂාදි මහා සංඝ පරම්පරාවට අයත්ව 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විශාල සේවයක් කර සියක් වසරක් ආයු වළඳා බුද්ධ ධර්මය අනුව ම සංස්කාරයන් කෙරෙහි පිළිපැදීමට ශ්රාවකයන්ට අනුබල දී ලෝකය ඉක්ම වූ රේරුකානේ නාහිමියන්ගේ උදාර ගති අවබෝධ කර ගනිමින්, ලොව සත්ය වසා ඇති මායා පටලය තේරුම් ගැනීමටත්, ඒ සඳහා උන් වහන්සේගේ සරල සුගම පොත් භාවිතා කිරීමටත්, ඒ පොත් පවත්වන්නට ආධාර අනුබල දෙන්නටත්, අපි ඔබට ආරාධනා කරමු.
මේ මුද්රණයේදී ප්රයෝජනයට ගත්තේ පෙර මුද්රණයේ සෝදුපත් සටහන් ම ය. එහි යෙදුණු මාලනී හා ගයානි වනිගතුංග මෙනෙවියගේ සහාය නැවත සිහිකරන්නේ ගුණ ප්රගුණය පිණිසය. හොරණ රූ-මායා ග්රැෆික්ස්හි සාලිය ජයකොඩි මහතාගේ සංශෝධිත පරිඝණක අකුරු ඇමුණුමත්, සිකුරු ප්රකාශකයෝ හි ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්රමුඛ කාර්ය මණ්ඩලයේ මුද්රණ සහායත් ස්තුති පෙරටුව සටහන් කරමි.
අප සංරක්ෂණ මණ්ඩලයේ කාර්යයන්හි නිබඳ සහාය දක්වන ගරු සභාපති කිරිඹරුවේ ධම්මානන්ද හිමියන් ප්රමුඛ ශිෂ්ය ස්වාමීන් වහන්සේලා ද මේ කටයුතු කෙරෙහි දක්වන උනන්දුව පැසසුමින් සටහන් කරමි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි, ගරු ලේකම්, ශ්රී චන්ද්රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය; 2007 දෙසැම්බර් 14 වන දින, පොකුණුවිටදී ය.
සංඥාපනය
ශ්රී ඝන සුගත තථාගතයන් වහන්සේ විසින් අතීතානෙක කල්ප කෝටි ශතසහශ්රයෙහි පුරිතාමිත පාරමිතා බලයෙන් ප්රතිලබ්ධ වූ මාර්ගඥාන ඵලඥාන සර්වඥතාඥානයන් කරණ කොට ගෙන අවබෝධ කොට වෛනෙය්ය ජනයන්ට දේශනා කරන ලද්දා වූ සකල බෞද්ධ ජනතාව විසින් ප්රාර්ථනා කරනු ලබන්නා වූ සුඛපිණ්ඩායමාන වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය ලක්වැසි බෞද්ධයන්ට සුවසේ දැන ගැනීම සඳහා සිය බසින් කරන ලද නිර්වාන තත්ත්වදීපක ග්රන්ථයක් නැත්තා වූ පාඩුව දුටු අප විසින් නිර්වාණ විනිශ්චය නම් වූ මෙම ග්රන්ථය ලියන්නට ආරම්භ කරන ලදී. මෙහි පරිච්ඡේද පසක් වෙයි. එයින් ප්රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ තත්ත්වයද ද්විතීය පරිච්ඡේදයේ නානා විධ නිර්වාණයන්ද තෘතීය පරිච්ඡේදයේ නිවණට පැමිණෙන ආකාරය හා නිර්වාණ තත්ත්වයද පරිනිර්වෘත පුද්ගල තත්ත්වයද දක්වන්නා වූ දේශනාවන්ද චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්ත්වය දක්වන්නා වූ දේශනාවන්ද පඤ්චම පරිඡේදයේ නානා වාද හා නානා වාදයන්ගේ විනිශ්චයද දක්වා තිබේ.
අප විසින් මේ ග්රන්ථය කරන ලද්දේ අභිධර්ම ප්රකරණයන් අතුරෙන් ධර්මසංගණී විභංග කථාවත්ථු යන ප්රකරණ තුනේ එන නිර්වාණය දක්වන දේශනාවන් හා දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, යන නිකාය සතරෙහි නිර්වාණය සම්බන්ධව වදරා තිබෙන සූත්ර සිය ගණනකද උදානයෙහි හා ඉතිවුත්තකයෙහි එන දේශනා කීපයකද ථෙර ගාථා විමාන වත්ථු නිද්දේස නෙත්ති ආදි ප්රකරණයන්හි ඇතැම් දේශනාද ඒ ඒ දේශනාවන්ගේ අර්ථ කථා ටීකාද විශුද්ධි මාර්ගය හා එම ටීකාව ද බුරුම භාෂාවෙන් තිබෙන නිබ්බාන දීපනී නම් වූ ග්රන්ථයක් හා තවත් ග්රන්ථයන්ද ඇසුරු කිරීමෙනි. නුමුත් මෙහි දක්වා ඇත්තේ සූත්ර ස්වල්පයක් පමණකි.
අති සූක්ෂම වූ නිර්වාණ ධාතුවේ තත්ත්වය මන්දබුද්ධිකයන්ට අප වැන්නන් විසින් නොව සර්වඥවරයකු විසින් ද අවබෝධ කරවිය නොහේ. අපගේ ව්යායාමය මධ්යම ප්රමාණ ඥානයෙන් හා තීක්ෂණ ඥානයෙන් යුක්ත වූවන්ට අවබෝධ කරවීම පිණිසය. මධ්යම ප්රමාණ ඥානයෙන් යුක්ත වූවන්ට තේරුම් ගත හැකි වන පරිදි ග්රන්ථය හැකිතාක් උත්සාහයෙන් ලිහිල් කොට සම්පාදනය කෙළෙමු. එහෙත් මෙය වරක් දෙවරක් බැලීමෙන් සියල්ලන්ට නිර්වාණ තත්ත්වය අවබෝධ කරගත හැකි නොවේ. එබැවින් මෙය නොතේරෙන බණකැයි පසු නොබැස කාරණය අවබෝධ වන තුරු සිහි නුවණින් යුක්තව නැවත නැවත බැලිය යුතු ය. මෙහි ප්රථම පරිච්ඡේදයෙන් ම කල්යාණ පෘථග්ජනයන් විසින් දත හැකි පරිදි නිර්වාණ තත්ත්වය දත හැකි වේ.
නිර්වාණය ප්රත්යක්ෂ වශයෙන් දන්නේ එයට පැමිණියා වූ ආර්යයන් වහන්සේලා පමණකි. පෘථග්ජනයන් විසින් උන් වහන්සේලාගේ වචනානුසාරයෙන් දතයුතු වේ. උන්වහන්සේලාට එය පෘථග්ජනයන්ට සුවසේ අවබෝධවන පරිදි ප්රකාශ කිරීමට වචන නැත්තේ ය. කුමක් හෙයින් ද යතහොත්, ලෝක ව්යවහාරයෙහි ලෝකයා විසින් නො දන්නා ලද අර්ථයන් ප්රකාශ කිරීමට වචන නැති බැවිනි. ලෝක ව්යවහාරයෙහි වූ වචන වනාහි පළමු කොට අර්ථය දැන, දන්නා ලද අර්ථය ප්රකාශ කිරීම සඳහා පෞරාණිකයන් විසින් සම්මත කරන ලද්දාහු වෙති. නිර්වාණයෙහි වූ ගුණයන් ප්රකාශ කළ හැකි වචන වනාහි ලෝක ව්යවහාරයෙහි බොහෝ වෙති. එබැවින් ආර්යයන් වහන්සේලා ඒ ඒ නිර්වාණ ගුණයන් නිමිත්ත කොට ගුණවාචක ශබ්දවලින් ගුණීභූත නිර්වාණය ප්රකාශ කළහ. උන් වහන්සේලා විසින් ඒ සඳහා ප්රකාශිත වචනද බොහෝ වෙති.
අසංඛතං අනතං අනාසවං සච්චඤ්ච පාරං නිපුනං සුදුද්දසං අජ්ජරඤ්ච ධුවං අපලොකිනං අනිදස්සනං නිප්පපඤ්චං සන්තං
අමතං පණීතඤ්ච සිවඤ්ච ඛෙමං තණ්හක්ඛයො අච්ඡරියඤ්ච අබ්භුතං අනීතිකං අනීතිකධම්මං නිබ්බාන මෙතං සුගතෙන දෙසිතං
අබ්යාපජ්ඣං විරාගො ච සුද්ධි මුත්ති අනාලයො දීපං තාණඤ්ච ලෙණඤ්ච සරණඤ්ච පරායණන්ති
මේ සලායතන වග්ග අසංඛත සංයුක්තකයේ එන ගාථා වලින් නිර්වාණවාචී ශබ්දයෝ දැක්වෙති. මෙයින් “අසංඛත” ශබ්දයෙන් සංස්කරණය නොකරන ලද භව නමැති නිර්වාණ ගුණය නිමිත්ත කොට නිර්වාණය ප්රකාශ කරනු ලැබේ. “අනත” ශබ්දයෙන් තෘෂ්ණාභාවය නිමිත්ත කොට නිර්වාණය ප්රකාශ කරනු ලැබේ. ශේෂ ශබ්දයන්ගෙන්ද ඒ ඒ ගුණ නිමිත්ත කොට නිර්වාණය ප්රකාශ කරනු ලැබේ. මේ වචන වලින් පෘථග්ජනයන්ට ඒ ඒ ගුණ අවබෝධ වන නමුත් ගුණීභූත නිර්වාණය අවබෝධ නොවේ. ඒ වනාහි පරම්පරාගතාචාර්යෝපදේශානුගමනය කොට පෘථග්ජනයන් විසින් දත යුතු වේ. නිර්වාණය ප්රකාශ කරන්නා වූ පාල්යාර්ථකථා ටීකාවන්හි අර්ථය විපරීතාකාරයෙන් ගෙන නානා වාද ඇති කර ගැනීමට හේතුව ද මේ වචනාර්ථ දුරවබෝධත්ත්වයමය. පරම්පරාගතාචාර්යෝපදේශ නොමැතිව තමාම පොත් බලා උගෙනීම කළා වූද එබඳු ආචාර්යෝපදේශ ඇසුරු කළා වූද ඇතැම්හු අප රටේ නානාකාරයෙන් නිර්වාණය ප්රකාශ කරන්නට පටන්ගෙන තිබේ.
යමකු විසින් සත්ය පහද දුන් කල ද ඔවුහු තමා පෙර කී ක්රම වලට විරුද්ධ වූ සියල්ල ඕවා බුරුම බණය, සිංහල බණ නොවේය, සිංහල බණ පොත් වල ඕවා නැතය යනාදිය කියා අඥයන් රවටා තමාගේ පණ්ඩිතකම රැක ගන්නට උත්සාහ කරති. යමක් තීරණය කරගත හැකි ඥානයෙන් හීන වූ පක්ෂභජනය කරන සුළු වූ ඇතැම්හු සිංහල බණයයි කීවාම කෙතරම් අසත්ය ක් වුවත් සත්යයයි ද ධර්මයයි ද පිළිගනිති. බණ වල බුරුම, සිංහල, සියම්, ජපන් ආදි භේදයක් නැතත් වර්තමාන කාලයේ නිවැරදි ලෙස ධර්ම විනය දත් පඬිවරුන් ඇත්තේ බුරුමයේ ය. ඊට හේතුව නම් එරට අද දක්වාත් ශාසනයට අන්තරායක් නොවී ශාසන පරම්පරාව අවිච්ඡින්නව පැවැත්ම ය. අප රටේ පෙර පටන් පැවත ආවා වූ ශාසන පරම්පරාව හා බොහෝ පොත්පත්ද නෂ්ටප්රාප්ත වූහ. බුරුමයේ අද දක්වාම අර්ථකථා සහිත පිටකත්රයට සන්න ගැටපද විවරණාදිය හා තවත් සියගණන් ඒ භාෂාවෙන් කරන ලද බණපොත් ද ඇත. එරට වැඩ විසූ නානාශාස්ත්රයන්හි හා ත්රිපිටක ධර්මයෙහි විශාරද පඬිවරයකු වූ සැටකටත් අධික ග්රන්ථ සමූහයක කතුවරයෙක් වූ ලේඩිශයාඩෝ නමින් ප්රසිද්ධ වූ මහාස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද නිබ්බාන දීපනී නම් වූ ග්රන්ථය අප කෘතියට ද මහෝපකාරී විය. එරට ඉන් අන්ය වූද නිර්වාණය ගැන කරන ලද පිටු (400) සාරසියය (500) පන්සියය පමණ ඇති ග්රන්ථ කීපයක් ද වේ. එයින් ගම්භීරාගම්භීර මහා නිබ්බුත දීපනී නම් වූ ග්රන්ථයෙන් කොටසක් ඇම්. ධර්මරත්න පඬිතුමා ජීවත්ව සිටින කාලයේදී සිංහල භාෂාවට පරිවර්තනය කොට ලක්මිණිපහන් පත්රයෙහි ප්රසිද්ධ කර වූයේ ය. ඒ වනාහි එරට වැසි පණ්ඩිතයන් විසින් පිළිගන්නා ලද ග්රන්ථයක් නොවේ. එහි කර්තෘ වූ ශීලාදි ගුණයන් කරණ කොටගෙන අති ප්රසිද්ධ වූ ගෞරවාර්හ ජාගරාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්යයෙක් වූ බොහෝ ග්රන්ථ- යන්ගේ කතුවරයෙක් වූ විසුද්ධාචාර නායක ස්වාමිපාදයාණන් වහන්සේ විසින් කරන ලද ජද්දපිධාතනි නම් වූ විශුද්ධිමාර්ගය වැනි ග්රන්ථයක් වේ. එහි නිර්වාණය දැක්වියයුතු තැන ස්වකීය ආචාර්යාණන්ගේ නිර්වාණ විනිශ්චය තිබිය දී ලේඩිශයාඩෝ නම් වූ මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් ලියන ලද ඊට වෙනස් වූ නිර්වාණ විනිශ්චයක් දක්වා තිබේ. එයින් යථෝක්ත ග්රන්ථය උන් වහන්සේගේ ශිෂ්යයන් විසිනුත් පිළි නොගන්නා ලද බව ස්ඵුට වේ. එය ඇම්. ධර්මරත්න පඬිතුමා විසින් මෙරට පළකරනු ලැබීම නිසාද එතුමාගේ ඊට අනුව ලියන ලද ලිපි නිසා ද ඒ මත පිළිගත් අය අප රටේ ද ඇති විය හැකි හෙයින් හා තවත් අයට එබඳු මත ඇති නොවීම පිණිසත් ඒ වාදයන් සම්බන්ධව හා තවත් නොයෙක් වාදයන් ගැනද සංක්ෂේප විනිශ්චයවල් මෙහි පඤ්චම පරිච්ඡේදයේ දක්වා ඇත.
රේරුකානේ චන්ද්රවිමල යති; වැල්ලබඩ පන්සල, පානදුර. ක්රි.ව.1926