උභය ප්‍රාතිමෝක්‍ෂය.pdf

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
155
බාගත කිරීම් ගණන :
4,746
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-12-09
ගොනුවේ ප්‍රමාණය :
334 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 78

උභය ප්‍රාතිමෝක්‍ෂය යනු විනය පිටකයේ පාරාජිකා හා පාචිත්තිය පාලි ග්‍රන්ථයන්හි එන භික්ෂු හා භික්ෂුණී ශික්ෂාපද සංග්‍රහයයි. මෙම කෘතිය බුරුම ඡට්ඨ සංගායනාවෙන් ශුද්ධියට පත්කළ මූල පාඨයන් ඇසුරෙන් ගොඩිගමුවේ සෝරත ස්ථවිර සහ පණ්ඩිත කනදුල්ලේ රතනරංසි ස්ථවිර යන හිමිවරුන් විසින් සිංහල අනුවාදයක් සහ උපග්‍රන්ථයක් සහිතව සංස්කරණය කරන ලද්දකි.

මෙහි ප්‍රස්තාවනාව ලියන ලද්දේ ප්‍රවචන විශාරද, අතිගරු රේරුකානේ චන්දවිමල මහානායක හිමිපාණන් වහන්සේ විසිනි. ශාසනයේ ආයුෂය බඳු විනය ශික්ෂා නිවැරදිව හා දෝෂ රහිතව හැදෑරීම සඳහාත්, භික්ෂූන් වහන්සේලාට පොහොය කර්ම හා ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීමේ පහසුව පිණිසත් මෙය සකසා ඇත.

මෙම පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

  • සංඝ උපෝසථය කිරීමේ ක්‍රමය
  • භික්ඛු පාතිමොක්ඛ පාළි
  • භික්ඛුණී පාතිමොක්ඛ පාළි
  • සිංහල භික්ෂු ප්‍රාතිමෝක්ෂය
  • සිංහල භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය
  • උපග්‍රන්ථය

මෙම පස්වන මුද්‍රණය බුද්ධ වර්ෂ 2550 (ක්‍රි.ව. 2007) දී ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

ලේකම්ගේ සටහන්....

ත්‍රිපිටකයට අයත් ධර්‍ම-විනය හා භික්‍ෂු පරපුර බුද්ධ ශාසනය යි. චිරාත් කාලයක් මේවා පැවැත්වීමේදී බිහිවූ සංස්කෘතිය ද ශාසනය මැ යි.

විනය ශාසනයේ ආයුෂයි. සංස්ථාවක් වශයෙන් සඟ පරපුර එක්කර ඇත්තේ විනය ශික්ෂාපද තුළිනි. කවර ජාතික භික්ෂූන් වහන්සේ නමකගේ වුවද සාම්‍යයක් අප දකින්නේ මේ හැදියාව නිසා ය.

සංඝ සමාජයේ වටිනාකම ද ද මේ ඒකාසන වීමයි. බුදුන් පිදීමටත් වඩා සාංඝික පූජාවක් උසස් යයි වදාරා ඇත්තේ ද සමාජයක් වැළඳ ගන්නා සේවයක් මගින් සත්පුරුෂ සමාජයක් ඇති කිරීමට සංඝ සමාජය ඉවහල් වන නිසා ය.

භික්‍ෂු සමාජයේ මේ එකමුතුව බිඳී යන්නේ නම් ඉන් මිථ්‍යාදෘෂ්ටිය සමාජගත වීම ද වැළැක්විය නොහැකිය. සද්ධර්‍ම ප්‍රතිරූපකයන් නිසාත්, තෙරුවන, ශික්ෂාපද හා බණ-භාවනා ගැන ගරුසරු නැති සංඝයා වහන්සේ නිසාත්, දේශපාලනය, ජ්‍යෝතිෂය හෝ වෙනත් ගුප්ත විද්‍යාදිය ඇසුරු කරන භික්ෂූන් වහන්සේ නිසාත් ශාසන අන්තර්ධානය වන ආකාර බුදුන් වහන්සේ දේශනා කළ තැන් රාශියක් “සඟි බණ - සමන්තේසනා” මගින් පූජ්‍යපාද යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියෝ පෙන්වා දෙති.

පූජ්‍යපාද රේරුකානේ චන්දවිමල නාහිමියෝ ද කාමච්ඡන්ද නීවරණය ගැන පැහැදිලි කිරීමේදී භික්ෂූන් වහන්සේ තමන් නොදැනම විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සසුනට කරන හානිය දක්වා සිටිති.

ගමින් ගම සේවය කළ භික්ෂූන් වහන්සේගේ සේවය මුළුගැන්වී මාධ්‍ය ඔස්සේ ධර්‍ම දේශකයන් කීපදෙනකු ඉස්මතු වීමත්, ඒ අතර සමහරුන් බණ වැනි බණ කියන්නන් වීමත්, දුර්වල මානසික හේතු නිසා ධර්‍මය අවලංගු කරමින් භික්‍ෂු වංශයේ පූර්‍වාචාරීන් විවේචනය කිරීමත්, ශ්‍රද්ධාවත් ගිහි සමාජය එකතු කළ ‘පිරිත් හූය’ එක් එක් භික්ෂුවකගේ අනන්‍යතාව බවට පත් කිරීමත් වැනි කරුණු ගැන කල්පනා කරන විට සසුන පිරිහෙන්නේ බාහිර කරුණුවලට වඩා අභ්‍යන්තර ක්‍රියාකාරකම් නිසා බව පැහැදිලි වෙයි.

ඇසුරු කරන භික්ෂූන් වහන්සේගේ හැදියාව මත ගිහියන් ශ්‍රද්ධාවත් වන අයුරු බුදුන් වහන්සේ නිතර පෙන්වා ඇති නිසා තම වගකීම අවබෝධ කරගත් භික්ෂු පරපුරක් ඇති වන්නේ නම් අප සමාජය සකස් කරගැනීම තවමත් ප්‍රමාද නැත. මූලිකව කළ යුතු වැඩ කොටස අතපසු කර ගැටළුවලට පිළිතුරු සෙවීම පහසු නැත.

ප්‍රාතිමෝක්ෂය ඉගෙනීමෙන් හා දැරීමෙන් සංස්කරණයෙන් විය යුතු සහ කළ හැකි සේවය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේ දැකීමට බෞද්ධයෝ වාසනාවන්ත වෙත්වා.

පෙර පූජ්‍ය කුකුල්පනේ සුදස්සී, මමන සුසීම හිමිපාණන් වහන්සේලා සැකසූ සෝදුපත් සටහන් මෙවර මුද්‍රණයටත් උපකාරී විය. සංශෝධිත පරිගණක අක්ෂර ගැලපීම හොරණ රූ-මායා ග්‍රැෆික්ස්හි සාලිය ජයකොඩි මහතා අතින් ද, මුද්‍රණය සිකුරු ප්‍රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයෙන් ද මනා ලෙස ඉටු කිරීම කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. උපකාරී වූ සැමට ශාසනාලයෙන් යුතුව පින් දෙමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය
2007 මාර්තු මස 15 වන දින, පොකුණුවිටදී ය.

හැඳින්වීම

විනය

“විනයො නාම සාසනස්ස ආයු” විනය නම් ශාසනයාගේ ආයුෂයයි.

මෙයින් භික්ෂූන්ගේ ශික්ෂා ගරුත්වයත්, සම්බුද්ධශාසනයේ ජීවනයත්, පිළිබඳ අවධාරණයෙන් කළ පරිච්ඡේද නියමයක් හෙළි කරයි. සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනා කොට වදාළ චිරස්ථායී ක්‍රියා මාර්ගය විනය නමින් හැඳින්වූවා මෙන් ම, එය අනුගමනය කිරීම, භික්ෂුවංශයේ දියුණුවට මෙන් ම ශාසනයේ පැවැත්මටත් හේතු වන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථවලින් සොයා ගත හැකිය. එය කෙතරම් වැදගත් දෙයක් කොට සලකා වදාරණ ලද්දේ දැ’යි කියතොත් පසළොස් දිනකට වරක් ශික්ෂාවන් සිහිපත් කරගත යුතු බවත්, එසේ නො කිරීම ආපත්තියක (වරද)ට හේතුව වන බවත් වදාළහ. තමාට තමා ම වංචා සහගත නොවීමේ පදනම මත ගොඩනගන ලද භික්ෂු ජීවිතය පිළිබඳ මනා පාලනයක් විනය ශික්ෂාවන්ගෙන් සිදුකෙරේ. එහෙයින් වරදත්, ඊට සුදුසු දඬුවමත් නො සඟවා, විනය ශික්ෂාවන් ගුරුතන්හි ලා සලකන භික්ෂූන් නිසා ශාසනය චිරස්ථායී වීම ගැන කවර කථාද?

උභය ප්‍රාතිමෝක්ෂය

සියලු ම විනය ශික්ෂාවෝ පස්මහ පොතකින් පරිමිතයහ. i. පාරාජිකා ii. පාචිත්තිය iii. චූලවග්ග iv. මහාවග්ග v. පරිවාර වශයෙනි. එයින් පාරාජිකා, පාචිත්තිය යන ග්‍රන්ථ ද්වයෙහි වදාළතාක් ආඥා දේශනාවන් ඉතා සංක්ෂිප්ත කොට සකස්කළ ශික්ෂා සංග්‍රහයකි, උභය ප්‍රාතිමෝක්ෂය. භික්ෂූන් හා භික්ෂුණීන් පිළිබඳ ප්‍රාතිමෝක්ෂය හෙයින් මෙ නම විය. සර්වඥ ශාසනයට ඇතුළත් ව, විසිවිය සම්පූර්ණ වීමෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලය ලැබූ භික්ෂුව විසින් රැක්ක යුතු ප්‍රාතිමෝක්ෂය උද්දේසවාර පරිච්ඡේද පසකින් පරිමිත වූ අතර භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය සතරකින් යුක්තය.

භික්ෂු භික්ෂුණී ශාසනද්വയ ම නිර්මලව පැවති යුගයේ උභය ප්‍රාතිමෝක්ෂය වැනි ශික්ෂා සංග්‍රහයකින් ලද පහසුවත් අවශ්‍යතාව හා ප්‍රයෝජනයත් පිළිබඳ යමක් සිතාගත හැක්කේ අනිත් විනය ග්‍රන්ථ අතර උභය ප්‍රාතිමෝක්ෂයට හිමි වන ස්ථානය ගැන සලකා බැලීමෙනි. යාම්-ඊම්, ඉඳුම්-හිටුම්, කෑම්-බීම් වැනි ඉතා කුඩා කරුණෙහි පටන් භික්ෂූත්වය විනාශ වී යාම දක්වා වූ ලොකු කරුණුත්, මාතෘකා සංග්‍රහයක් වශයෙන් සකස් වූ ප්‍රාතිමෝක්ෂය, විනය සාගරයට බැස ගන්නවුනට විවෘත කළ තොටක් වැනිය.

අද භික්ෂුණී ශාසනයක් නැත. මතු ඇති විය හැකි ද නොවේ. එහෙයින් භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය ද තව ඉදිරියටත් ගෙන යාමෙහි අවශ්‍ය බවක් නො පෙනේ. අද පමණක් නොව අනුරාධපුර රාජධානියෙන් මෙපිට ලක්දිව භික්ෂුණී ශාසනයක් (මෙහෙණි සස්නක්) ගැන තොරතුරු අනාවරණය නොවේ. එහෙත් ඉතා මෑතක් වනතුරු ම ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ටීකා විස්තර කථාදිය සැපයූ ආචාර්ය්‍යවරු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය අමතක නො කළහ. භික්ෂුවට පමණක් සාධාරණ ශික්ෂාවන් සංග්‍රහ කොට ප්‍රාතිමෝක්ෂය පිළියෙළ කිරීම අදට මෙන් ම එදාට ද ප්‍රමාණ විය. ශික්ෂා ගෞරවය, ධර්ම ගෞරවය හා ග්‍රන්ථ ගෞරවය ගැන සැලකූ ඇදුරෝ පෙර පැවති පරිදි ම තිබෙන්නට හළමුත් වෙනසක් නො කළහ. අපිදු මෙහිදී එය අනුගමනය කෙළෙමු.

අපේ සංස්කරණය

“ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික” මහා සංඝ සභාවේ අනුමැතිය පරිදි වර්ෂයකට වරක් ප්‍රාතිමෝක්ෂය කටපාඩම් දීමේ සිරිතක් පැවැත්තේ ය. සෑම වර්ෂයක ම ජනවාරි හෝ පෙබරවාරි මාසයේ නියමිත දිනයක දී එය සිදුවිය. සිරිත් පරිදි අදත් එය සිදුවේ. එහිදී ශ්වේජින් නිකායේ මහානායක මා හිමියන් ඇතුළු මධ්‍යම නවක සෑම භික්ෂුවක් ම ප්‍රාතිමෝක්ෂය කට පාඩම් දිය යුතුය. එසේ ම සාමණේරවරු සතර බණවර පාඩම් දිය යුතුය.

ඉකුත් වර්ෂයෙහි පැවැත්වූ මේ ධර්ම පරීක්ෂණයේදී ඊට සහභාගිවනු කැමති භික්ෂුවරයකුට අප අයත් ප්‍රාතිමෝක්ෂය දීමට සිදුවිය. අපට ද පොතක් අවශ්‍ය වූයෙන් අලුත් පොතක් මිලට ගතිමු. අනුවාදය සහිත වූ ඒ පිටපත මුද්‍රණයෙන් බිහිව වැඩි කලක් ගත නොවූ බව පෙනින. එහෙත් එය පෙරලා බැලීමේදී අප තුළ ඇති වූ බලවත් සංවේගයේ ප්‍රතිඵලය වශයෙන්, මෙම අනුවාදය සහිත ප්‍රාතිමෝක්ෂය මුද්‍රණය කිරීමට අදහස් කළේ. එතරම් ඒ පිටපත වරදින් ගහනව පැවැත්තේය. විනය පරීක්ෂණවලදී නැතිව ම බැරි පොත් පිංචක් වශයෙනුත්, විනය ශික්ෂාවන් පිළිබඳ භික්ෂුවගේ අත්පොත වශයෙනුත්, වැදගත් වූ, ප්‍රාතිමෝක්ෂය සැලකිලිමත්ව මුද්‍රණය කළයුතුව තිබිය දී සෝදුපත් බැලීම ගැන සැලකිල්ලක් නො දක්වා ඇති බව පෙනී ගියේ ය.

වරදවා මුද්‍රණය කරවන ලද, ශික්ෂාවන් පිළිබඳ පාලි පාඨයක් කටපාඩම් කිරීමට සැලැස්වීම විනය අපරාධයකි. විනය අවිනය කිරීමකි. ප්‍රාතිමෝක්ෂය හදාරණ ශිෂ්‍යයා එහි වරද තැන් නිවරද කරගනිමින් ඉගෙනීමට තරම් හැකි වියෙක නො සිටී. මෙවැනි දූෂිතව මුද්‍රණය කළ පෙළ පොත්, විශේෂයෙන් වාචෝද්ගත කළ යුතු පොත්, මුද්‍රණ දෝෂ පවා පහ නො කොට ඔවුන් වෙ තැබීම අශාසනිකය. කරුණු මෙසේ හෙයින් හැකිතාක් දුරට වැරදිවලින් තොරව පාවිච්චියට ද පහසුවන පරිදි මෙවැනි පොතක් සකස් කිරීමේ අදහස පහළ වීමේ හේතුව යට සඳහන් කළ කාරණය බව කියනු කැමැත්තෙමු.

මේ දිනවල බුරුම රට පැවැත්වෙන ඡට්ඨ මහා සංගායනාවෙන් ශුද්ධියට පත්කළ විනය ග්‍රන්ථ මේ කටයුත්තෙහි ලා ගුරුකොට ගතිමු. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අදහස පමණක් ඇතුළත් වන සේ අනුවාදය ද සකස් කෙළෙමු. මෙහි ලා විස්තර කළ යුතු බොහෝ තැන් ඇතත් දීර්ඝ විස්තර ලියැවුණු පොතපත සුලභව ඇති හෙයින්, විශේෂ තැන් කීපයක් උපුටා උපග්‍රන්ථය වශයෙන් පිළියෙළ කරන ලද්දේ විනය ඉගෙන ගන්නා පැවිදි ශිෂ්‍යයන්ගේ පාවිච්චියට ද ඇති පහසුව සලකා ගෙනය.

කරුණු මෙසේ හෙයින් කුඩා වුවද මේ වටිනා ග්‍රන්ථය අප අදහස් කළ පරිදි පොතක් නැතිකමේ පාඩුව පිරිමසාලීමෙහි මෙන් ම පැවිද්දන්ගේ විනය ඉගෙනීමෙහිත් අල්පමාත්‍ර වූ හෝ ප්‍රයෝජනයක් වන්නේ නම් එය අපගේ උත්සාහයේ වටිනා ප්‍රතිඵලය කොට සලකමු.

උපකාරානුස්මෘති

මේ කටයුත්තෙහි දී අපට ලැබුණු උපකාර අතර, උගත් ධර්මධරයෙණ කෙණකු වශයෙන් හා ධර්මග්‍රන්ථ කර්තෘවරයෙණ කෙනකු වශයෙනුත් අද ලෝකයා පිළිගත් අපගේ ගුරුදේව අතිගරු ආචාර්ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේගෙන් ලැබුණු උපදේශ හා ප්‍රස්තාවනාවක් සපයා දීමෙන් කළ මහඟු උපකාරය ද ගරුකොට සලකන අතර තෙසරණ සරණින් හා සව්මුරු බෙලෙන් නිදුකින් දිනේවා’යි ආශිංසනය කරමු.

මේ බුද්ධ ජයන්ති වර්ෂයේ කුඩු මහත් කටයුතු රැසක ව්‍යාපෘතව සිටි හෙයිනුත්, ඒ අතර ගිලනකු වශයෙන් පසුවන්නට සිදුවූ හෙයිනුත්, මේ කටයුත්තට සහයෝගය දෙමින් අප සමග ක්‍රියාකළ දැනට හම්බන්තොට ශ්‍රී ගුණානන්ද පරිවෙණාධිපති පණ්ඩිත කනදුල්ලේ රතනරංසි ස්ථවිරයන් වහන්සේ ද මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කරමු.

බුදුසසුන බැබලේවා !

මෙයට - ලෝවැඩ කැමති ගොඩිගමුවේ සෝරත ස්ථවිර. ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහා සංඝ සභාවේ සමලේඛක. ශ්‍රී බු. ව. 2499 (ක්‍රි. ව. 1956) මාර්තු 01 වන දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දීය.

ප්‍රස්තාවනා

මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් තමන් වහන්සේ ගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණීන් හට පරූපවාද විරහිත ව, ජනප්‍රසාදය ඇතිව, සුවසේ ජීවත් විය හැකි වනු පිණිස හා අපායදුඃඛයෙන් මිදිය හැකි වනු පිණිස ද, ධ්‍යානාභිඥා මාර්ගඵල සංඛ්‍යාත උත්තරීමනුෂ්‍ය ධර්මයන් ඇති කරගත හැකි වනු සඳහා ද, පරූපවාදාදියට හේතුවන දෙයින් මුදවා භික්ෂු භික්ෂුණීන් ආරක්ෂා කරනු පිණිස පනවා වදාළ බොහෝ නීති ඇත්තේ ය. ඒවාට සසුන ශික්ෂාපදයයි ද කියනු ලැබේ. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු චිර කාලයක් සසුන පවතින්නට සැලැස්වීමත් ශික්ෂාපද පැනවීමේ එක් කරුණෙකි. ඇතැම් බුදුවරයෝ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවති. ඇතැම් බුදුවරයෝ ශික්ෂාපද නො පනවති. ශික්ෂාපද නො පනවන ලද බුදුවරුන් ගේ සසුන් ඒ බුදුවරයන් ගේ හා බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ ද පිරිනිවීමෙන් පසු නොබෝ කලකින් අතුරුදහන් වේ.

ශික්ෂාපද පනවනලද බුදුවරයන් ගේ සසුන් බොහෝ කල් පවතී. ශ්‍රාවකයන්ට ශික්ෂා පද නො පැන වූ විපස්සී, සිඛී, වෙස්සභූ යන අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන් වැඩිකල් නො පැවති බවත්, ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැන වූ කකුසඳ, කෝණාගම, කස්සප යන බුදුවරයන් වහන්සේලාගේ සසුන් ඒ නිසා බොහෝ කල් පැවති බවත් අප බුදු රජාණන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට වදාරන ලද්දේ ය.

පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම සම්බන්ධයෙන් ඇත්තා වූ විනය නීති ටිකම බුදුසස්නට මහත් ආරක්ෂාවෙකි. ඒ ටික නොමැති නම් කැමති කැමති අය සිවුරු හැඳ පොරවා ගෙන භික්ෂූන් සැටියට පෙනී සිටිමින් බුදුසස්න විනාශ කරන්නාහු ය. පසුගිය කාලයේ ‘තාපස භික්ෂූහුය’යි කියමින් රට පුරා හැසුරුණු පිරිසට බුදුසසුනට ඇතුළු වන්නට ඉඩ නො ලැබුණේ ද ඒ නීති රැස නිසා ම ය. ඔවුනට මේ බුදුසස්නට ඇතුළු වන්නට ලැබුණා නම් මහා ශාසන හානියක් වනු නො අනුමාන ය.

ලෝකයෙහි භික්ෂු පිරිස තරම් නීති ඇති නීති ගරුක තවත් පිරිසක් නැතය යි කිය යුතුය. භික්ෂූන් වහන්සේට විනය නීති නැත්තේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන, ඇසිපිය හෙළීම ගැන පමණෙකැ යි කිය යුතුය. හිඳගැනීම නිදා ගැනීම ගමන් කිරීම සිවුරු පිණිස වස්ත්‍ර සැපයීම සිවුරු කැපීම මැසීම පඩු පෙවීම හැඳීම පෙරවීම අතිරේක සිවුරු ලබා ගැනීම දීම ගැනීම පරණ සිවුරු සේදීම පාත්‍රය පිළියෙල කිරීම පාත්‍ර තබා ගැනීම පාත්‍රය පරිභෝග කිරීම පිඬුසිඟා යෑම අහර පිළිගැනීම වැළඳීම අනුන්ට දීම සෙනසුන් පිළියෙල කිරීම සෙනසුන් පරිභෝග කිරීම බෙහෙත් සැපයීම පිළිගැනීම පිළිගත් බෙහෙත් තබා ගැනීම බෙහෙත් වැළඳීම පාවහන් කුඩා භාජනාදි වස්තූන් පරිභෝග කිරීම දත් මැදීම මුඛදෙවීම් අත්පා සේදීම වතුර නෑම කෙල ගැසීම, මලමූත්‍ර කිරීම හිසකේ කැපීම රැවුල කැපීම කථා කිරීම ස්ත්‍රීන් ඇසුරු කිරීම දහම් දෙසීම ගමෙහි හැසිරීම රජුන් ඇසුරු කිරීම ගුරූන් ඇසුරු කිරීම ගෝලයන් තැනීම ආගන්තුකයන් කෙරෙහි පිළිපැදීම තමන් ආගන්තුකයකු වශයෙන් අන්තැනකට ගිය කල්හි හැසිරීම පැවිදිකිරීම උපසම්පදා කිරීම සඟසතු දේ පරිහරණය කිරීම යනාදි නොයෙක් කරුණු ගැන භික්ෂූන්ට ශික්ෂාපද ඇත්තේය. භික්ෂු පිරිස සම්පූර්ණයෙන් ම ගිහියන්ගෙන් වෙනස් පිරිසක් වන්නේ ඒ ශික්ෂාපද සමූහය නිසා ය.

බුදුරජාණන් වහන්සේ විසින් පනවා ඇති බොහෝ ශික්ෂාපදයන් අතුරෙන් භික්ෂූන් විසින් පොහෝ දිනයන්හි මසකට දෙවරක් සීමාවකට රැස්ව පොහෝ කිරීම් වශයෙන් එක් භික්ෂුවක් විසින් සඟමැද හිඳ උදෙසීමටත් (කීමටත්) අන්‍ය භික්ෂූන් විසින් අසාගෙන සිටීමටත් නියමිත ප්‍රධාන ශිකෂපද සමූහය “භික්ඛු පාතිමොක්ඛ” නම් වේ. භික්ෂුණීන්ට පොහෝ කිරීම් වශයෙන් භාවිතයට නියමිත ප්‍රධාන ශිකෂපද සමූහය “භික්ඛුණී පාතිමොක්ඛ” නම් වේ.

එයින් භික්ඛු පාතිමොක්ඛය නිදානුද්දේස, පාරාජිකුද්දේස, සංඝාදිසේසුද්දේස, අනියතුද්දේස, විත්ථාරුද්දේස යන උද්දේස පසකින් හා සික පද (220) දෙසිය විස්සකින් ද යුක්තය. භික්ඛුණී පාතිමොක්ඛය අනියතුද්දේසය හැර ඉතිරි උද්දේස සතරින් යුක්තය.

පාතිමොක්ඛ නම් වූ මේ ග්‍රන්ථය සියලු ම භික්ෂූන් විසින් විනිශ්චය සහිතව ඉතා හොඳින් උගත යුත්තකි. භික්ෂූන්ට සෑම කල්හි ම පාඩම් තිබිය යුත්තකි. එබැවින් බුරුමයේ බොහෝ සංඝාරාමවල වස්කාලය තුළදී වර්ෂයක් පාසා ම නවක මධ්‍යම ස්ථවිර සකල භික්ෂූන්ගෙන් ම ප්‍රාතිමෝක්ෂය පාඩම් ගනිති. දිනපතා සවස තුනුරුවන් වැඳීමෙන් පසු සැමදෙනා ම එක්ව ප්‍රාතිමෝක්ෂයෙන් යම්කිසි කොටසක් සජ්ඣායනා කිරීම ද එරට බොහෝ පන්සල්වල පවත්වන චාරිත්‍රයෙකි.

විනය පිටකයට අයත් පොත් පස අතුරෙන් පාරාජිකා පාලිය පාචිත්තිය පාලිය යන පොත් දෙකෙහි ඇත්තේ ප්‍රාතිමෝක්ෂයට අයත් සිකපද වල විස්තරයකි. ඒ විස්තරයට මේ සිකපද සමූහය මාතෘකා වන බැවින් ප්‍රාතිමෝක්ෂයට මාතිකා පාලිය යයි ද කියනු ලැබේ.

පාතිමොක්ඛ යන වචනය මේ ග්‍රන්ථයට පමණක් නොව ඒ සිකපද රක්නා වූ භික්ෂුවගේ ශීලයට ද නමෙකි. පාතිමොක්ඛ යන වචනයේ තේරුම “පාතිමොක්ඛන්ති-ප අති මොක්ඛං අතිපමොක්ඛං, අතිසෙට්ඨං, අති උත්තමන්ති අත්ථො” යි කංඛාවිතරණී අටුවාවෙහි දැක්වෙන පරිදි ඉතා උතුම් දෙය ය යනුයි. මේ ශීලය බිඳුන හොත් භික්ෂුත්වය ද නැතිවන බැවින් භික්ෂුවගේ ඉතා උතුම් දෙය ප්‍රාතිමෝක්ෂ සංවර ශීල නම් වූ ඒ ශීලයය. ඒ ශීලය ඉතා උතුම් වීමෙන් එයට අයත් සිකපද සමූහය වූ මේ ග්‍රන්ථය ද ඉතා උතුම් වේ. ඉතා උතුම් දෙය වූ මේ ප්‍රාතිමෝක්ෂය පොතක් වශයෙන් මුද්‍රණයට පැමිණවිය යුත්තේ ද ඉතා උතුම් ලෙසට ය.

රන් රිදී පත්වල වුවද ලියා තැබීමට සුදුසු මේ පොත ඇතමුන් විසින් බාල කඩදාසිවල අශෝභන ලෙස මුද්‍රණය කරවීමෙන් ද, හරි වැරදි බැලීම පවා සැලකිල්ලෙන් නො කොට ඉතා අපිරිසිදු ලෙස මුද්‍රණය කරවීමෙන් ද සිදුකර තිබෙන්නේ විනය ශික්ෂාකාමීන්ගේ සිත් කම්පා කරවන අපරාධයෙකි. ගොඩිගමුවේ සෝරත, පණ්ඩිත කණදුල්ලේ රතනරංසි යන ස්ථවිරවරුන් විසින් බුරුම සංගායනාවෙන් ශුද්ධියට පැමිණි වූ පොත් අනුව සංශෝධනය කොට සුගම අනුවාදයකින් ද යුක්ත කොට ශෝභන ලෙස මේ උතුම් පොතට නිසි ගෞරවය දී මුද්‍රණයට පැමිණවීමෙන් කර තිබෙන්නේ බුදුසස්නට ඉමහත් සේවයකි. මෙය විනයගරුකයන්ගේ ප්‍රීතියට ද හේතු වනු ඇත.

මීට, ශාසනස්ථිතිකාමී, රේරුකානේ චන්දවිමල ස්ථවිර.

මීට, ශාසනස්ථිතිකාමී, රේරුකානේ චන්දවිමල ස්ථවිර.