අභිධර්මාර්ථ සංග්රහය.pdf
- කතෘ :
- රේරුකානේ චන්ද්රවිමල හිමි
- පිටු ගණන :
- 141
- බාගත කිරීම් ගණන :
- 11,373
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 29 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්මාර්ථ සංග්රහය යනු අනුරුද්ධාචාර්යයන් වහන්සේ විසින් විරචිත පාලි අභිධම්මත්ථසඞ්ගහ නම් ප්රකට අභිධර්ම මූල ග්රන්ථය සඳහා අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද සිංහල අනුවාදයයි.
අභිධර්මය හදාරන විද්යාර්ථීන් විසින් මුලින්ම ප්රගුණ කළ යුතු අත්පොතක් ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර, මෙහි පාලි ගාථා සහ පාඨ සමග ඒවායේ සිංහල අනුවාදය පරිච්ඡේද වශයෙන් අනුපිළිවෙළින් ඉදිරිපත් කර ඇත.
ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ප්රකාශිත මෙම කෘතිය අජිත් ප්රින්ටර්ස් වෙතින් මුද්රණය කොට ඇත.
ලේකම්ගේ සටහන්...
අභිධර්මාර්ථ සංග්රහය, අභිධර්මය උගන්නවුන් විසින් මුලින්ම ප්රගුණ කළ යුතු, කටපාඩම් කළ යුතු පොතක් වශයෙන් සෑම බෞද්ධ රටක්ම පිළිගන්නා පොතකි. එය අත්පොතකි. ලක්දිව අභිධර්ම පාඩම් පොත් ලියැවී ඇත්තේ ද මේ අනුව යමිනි. ධර්මකාමීන්ගේ ඉල්ලීමත් අවශ්යතාවත් සලකා රේරුකානේ මහ නාහිමියන් වහන්සේ මේ පොත අනුවාදයක් සහිතව භාවිතයට පහසු පරිදි සකස් කරන ලදී.
බුදුදහම දර්ශනයක් වශයෙන් ලොව පවතින්නේ අභිධර්මය නිසාය. විද්යාව හා සසඳන්නන් බෙහෙවින් සලකන්නේ අභිධර්මයේ එන ඉගැන්වීම් රටාවය. අභිධර්මය නොදැන දහම් දෙසන්නා නියම ධර්ම කථිකයකු නොවන බව අටුවාව කියයි. ශාස්ත්රය උගත් වෙදැදුරාත්, වට්ටෝරු වෛද්යවරයාත් අතර වෙනස මෙන්නැයි පහදා ඇත. මුල් අවස්ථාවේ බුදුන් වහන්සේ තමා අවබෝධ කළ ධර්මය දේශනා කරන ආකාරය ගැන කුකුසක් ඇතිව සිටි බව බුද්ධ චරිතයෙන් පෙන්වයි. ඒ නිසා බුදුන් වහන්සේගේ මුල් සූත්රදේශනා බෙහෙවින් සරල සම්ප්රදයක් අනුගමනය කළ බව නොරහසකි. කල්යත් ම අභිධර්ම සම්ප්රදය ඇතුළත් සූත්ර, සූත්ර පිටකය තුළ ම අන්තර්ගත විය. පසුව එය වඩාත් අවබෝධ කළ හැකි පිරිසක් අතට පත්වූ බව සැරියුත් හිමියන්ට දේශනා කිරීම පිළිබඳ නිදාන කථාවෙන් පැහැදිලිය.
මේ ටික සඳහන් කරන්නට සිදුවූයේ වැදගත් ශාසන මෙහෙවරක් කළ හැකි සමහර භික්ෂූන් වහන්සේලා අභිධර්මය පිළිකෙව් කරන නිසාය. කෙළින්ම ප්රතික්ෂේප කරනවාට වඩා ඒවා ඉගෙන පැරණි ශාස්ත්රයටත්, ආචාරීන් වහන්සේලාටත්, සම්ප්රදායටත් ගරු කරන්නේ නම් “සුන්දර වූ ඇත්ත” සොයා ගැනීම පහසුය. කලබල වී සෝවාන් වනවාට වඩා වැඩි සේවයක් එමගින් කළ හැකිය. මිථ්යාදෘෂ්ටිය තේරුම් ගැනීම සඳහා සම්යක්දෘෂ්ටිය අවශ්යය.
ශ්රී ලාංකික පදනමට අභියෝග කරමින් අධිරාජ්යවාදීන් ගෙන ගිය නොයෙක් වැඩසටහන් අතර බෞද්ධයන් තුළ ගොඩනැගී තිබුණු ආගමික චින්තනය දෙදරවීම ද එක් අංගයකි. රීස් ඩේවිස් නම් බටහිර උගතා විසින් එය අපූරුවට ඉටු කළ අතර ශ්රී ලංකාවේ විශ්ව විද්යාල මගිනුත්, අද වන විට සමහර භික්ෂු කණ්ඩායම් මගිනුත් මේ මත ප්රචලිත කිරීමට වෙර දරති. ඔවුන් වෙතින් වැඩිපුර ම අභියෝගයට ලක්වන්නේ බුදුදහමේ දාර්ශනික පදනම වූ අභිධර්ම පිටකය ය. එය බුද්ධ දේශනාවක් බව තහවුරු කරන්නට පසුගිය කාලයේ වැඩිපුරම වෙහෙසුනේ රේරුකානේ නාහිමියන්ය. ඒ නිසා ම උන්වහන්සේ ‘ආභිධම්මික’ යන ගෞරව නාමයෙන් සමාජය විසින් පුදනු ලැබීය.
අභිධර්මාර්ථ සංග්රහය මුද්රණය කිරීමට වැය වූ මුළු මුදල ධර්ම පූජාවක් වශයෙන් පරිත්යාග කිරීමෙන් පරලෝසැපත් පියදාස වන්නිඅච්චි මහතා පෙර මුද්රණයකදී දැමූ පදනම අදටත් මෙහි පැවැත්මට ශක්තියකි. දහම් රසය දන්නෝ එය තවත් අයට බෙදා දීමට මසුරු නොවෙති. සමාජයේ කලණ මිතුරෝ ඔවුහු ය.
පූජ්ය මීමන සුසීම හිමියන් සමග සැසඳූ කලින් සෝදුපත් ලේඛන මෙම මුද්රණයට ද යොදා ගැනීමට හැකිවීම පහසුවකි. පූජ්ය කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් පසුබිම සිට කරන මෙහෙයවීම එවැනි ම ශක්තියකි. මෙම සංශෝධිත පරිගණක වර්ණ සංයෝජනය හොරණ ග්රැෆික් කලෙක්ෂන්හි ෂෙරින් ජයතිලක මහත්මිය අතින් නිම විය. අජිත් ප්රින්ටර්ස්හි අජිත් සමරසේකර යුවල ප්රධාන කාර්ය්යමණ්ඩලයේ නොමඳ සහායෙන් මේ මුද්රණය එළිදැක්විණ. කවදත් උදව් දෙන පිරිසක් සිටීමෙන් පිරිවැය පිරිමසා ගැනීමටත් සැහැල්ලුවෙන් මුද්රණයෙන් එළිදැක්වීමටත් හැකි විය. සියල්ලෝ ප්රඥාවන්තයෝ වෙත්වා.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය