සන්දේහ ඝාතිනී කංඛාවිතරණී සන්නය - මාදම්පේ ධම්මාධාර හිමි.pdf
new print
- කතෘ :
- මාදම්පේ ධම්මාධාර හිමි
- පිටු ගණන :
- 216
- බාගත කිරීම් ගණන :
- 1,315
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 48 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සන්දේහ ඝාතිනී (නාමොපලක්ෂිත) කංඛාවිතරණී විසිතුරු සන්නය යනු ආචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත පාතිමොක්ඛ අටුවාව වන ‘කංඛාවිතරණී’ මාතෘකාට්ඨකථාව සඳහා සම්පාදිත විස්තරාත්මක සිංහල සන්නයකි. මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ රත්මලානේ පුෂ්පාරාමාධිපති විබුද්ධසේනාචාර්ය්ය මාදම්පේ ධම්මාධාර ස්ථවිරයන් වහන්සේ විසිනි.
භික්ෂු විනයෙහි මූලික ශික්ෂාපද අන්තර්ගත උභය ප්රාතිමෝක්ෂය අවබෝධ කරගැනීම උදෙසා උපකාරී වන මෙම කෘතියෙහි ප්‍රථම භාගය තුළ නිදානුද්දේශය, පාරාජිකුද්දේශය සහ සංඝාදිසේසුද්දෙසය පිළිබඳ අටුවා පාඨ සහ ඒවායේ සිංහල සන්නය හා විස්තර අඩංගු වේ.
අභාවයට යමින් පවතින දුර්ලභ දහම් පොත් නැවත මුද්‍රණය කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම සංස්කරණය රුවන්ගිරිකන්ද සේනාසන පාලක සභාව මඟින් කුරුණෑගල අනුර ප්‍රින්ටර්ස් ආයතනයෙන් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.
පිදුම
රුවන්ගිරිය වන සෙනසුන් නිර්මාතෘ අපවත් වී වදාළ අති පූජනීය විදර්ශනාචාර්ය්ය මාතලේ ශ්‍රී සීලරක්ඛිත හිමි පාණන් වහන්සේගේ 21 වන ගුණ සමරු පිංකම නිමිති කරගෙන උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ උප සභාපති ධුරීණ හා මහෝපාධ්‍යාය රුවන්ගිරිය හා බුත්කල බුදුගල්ලෙන ආරණ්‍ය සෙනසුනධිපති අති පූජනීය මාවතගම ගුණානන්ද නායක හිමිපාණන් වහන්සේගේ උතුම් ශ්‍රී හස්තයට ගුරු පූජාවක් ලෙසට පිරිනමන වගයි.
සංඥාපනය
ශ්‍රී ඝන සුගත තථාගත වූ අප බුදු රජාණන් වහන්සේ මේ මහා භද්‍රකල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් මත්තෙහි කුළුණු නුවණැති සුමේධ නම් මහා තාපසව ලෝක ශිවංකර වූ දීපංකර නම් සර්වඥයන් වහන්සේගේ සම්මුඛයෙහි හස්ත ප්‍රාප්ත නිර්වාණ පදය සසර දුක මෙන් හැරපියා සකල සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් එම දිවකුරු බුදුන්ගෙන් නියත විවරණ ශ්‍රී ලැබ සසර වැද ඉන් මෑත ලොව පහළ වූ තෙවිසි සර්වඥවරයන්ගෙන් ද ලබන ලද විවරණ ශ්‍රී ඇතියෙක් සමත්‍රිංශත් පාරමී ධර්මයන් පුරා පිළිවෙලින් බෝධිද්රෑම රාජයා කරා පැමිණ පස්මරුන් පරදවා වෙසක් මස පුණු පොහෝ දවසැහි මේ මහ පොළොව යදණ්ඩකින් පහල ලොහොතළියක් සේ ශතශාඛ සහස්රශාඛයෙන් කම්පාකොට දශබල චතුර්වෛශාරද්යාද්යාදී විවිධ ගුණ ගණාලංකෘත සර්වඥතා ඥානාධිගමයෙන් සර්ව ධර්මයන් සර්වාකාරයෙන් අවබෝධකොට බුද්ධරාජ්යශ්රීයට පැමිණ පන්සාලිස් හවුරුද්දක් මුළුල්ලෙහි වැඩහිඳ දිව්‍ය බ්‍රහ්මයන් සහිත අනන්ත සත්ව වර්ගයාට දහම් දෙසා හිත වැඩ සලස්වමින් භික්ෂූන් උදෙසා යම් ශික්ෂා පද ප්රඥප්තියක් පණවා වදාළ සේක්ද ඒ ප්රඥප්ති තොමෝ සර්වඥයන් වහන්සේටම විෂය වන්නීය.
ඊට කරණු කිම යත්? ශ්‍රාවකයන් අතුරෙන් අග්රතැන්පත් ආයුෂ්මත් ධම්මසේනාපති ශාරීපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් එක් කලෙක ශික්ෂා පද පැණවීම පිණිස අවසර ඉල්වා තුන් යලක් සර්වඥයන් වහන්සේට යාච්ඤා කරණු ලැබූයේ එම්බා ශාරීපුත්‍රය මේ ශික්ෂා පද ප්රඥප්තිය තොපට විෂය නොවන්නීය. සර්වඥ ගෞතම බුදු වරයන්ටම විෂය වන්නීය. කුමක් හෙයින යත්? මේ වරදට මේ දඬුවම වටනෙය. මේ ව්‍යතික්‍රමය මේ ප්‍රතිකර්මයෙන් පිරිසිදු වෙයි යනු සර්වඥතා ඥානයට මුත් ප්රදේශඥානයට විෂය නොවන හෙයිනි. ඒ එසේ මැයි. බුද්ධ ප්‍රඥප්ත විනය පිටකයෙහි උපාලි මහා කාශ්‍යප ශාරීපුත්‍රාදි මහා ශ්‍රාවකයන් විසින් එක් ශික්ෂා පදයක්දු නොපණවන ලදි.
අභිධර්ම පිටකයෙහි වනාහි තිකදුකමාතෘකා මාතෘකත්ම සර්වඥයන් වහන්සේගෙන් අසා ඉගෙන ශාරීපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ විසින් සර්වඥයන් වහන්සේගේ මාතෘකාවෙහි පිහිටා සිටගෙන ෂට්ප්රකරණයෝ දේශනා කරණ ලද්දාහුය. එසේ ම තෘතිය සංගායනාවසානයෙහි මොග්ගලිපුත්ත තිස්ස මහා ස්ථවිරයන් වහන්සේ විසින් බුද්ධ ප්‍රඥප්ත මාතෘකාවෙහි සිටගෙන කථාවස්තු ප්‍රකරණය දේශනා කරණ ලදී. සූත්‍ර පිටකයෙහි කුදු ගත් සඟියට අයත් ප්රතිසම්භිදාමාර්ගය මහා නිර්දේශය චූල නිර්දේශය යන ප්රකරණත්රය හා සිය ගණන් සූත්‍රද දේශනා කළහ. මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් මධුපිණ්ඩික සූත්‍රය හා පෙටකොපදේශය නෙත්ති ප්‍රකරණයද දේශනා කරන ලදී.
එක් කලෙක සුභ නම් මාණවක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අතින් නුඹ වහන්සේ ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්තේ කවරක් හුගෙන් දැයි විචාල ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් “ද්වාසීතිංබුද්ධතො ගණ්හිං පෙ ද්වෙසහස්සානි භික්ඛුතො” යනුවෙන් අසූදෙදහසක් ධර්ම ස්කන්ධයන් සර්වඥයන් වහන්සේගෙන්ද දෙදහසක් ධර්ම ස්කන්ධයන් ශ්රාවකයන්ගෙන්ද උගන්නාලදීමියි දුන් උත්තරයෙන් දෙදහසක් ධර්ම ස්කන්ධයෝ ශ්‍රාවක භාෂිතයෝ යයි හැඟේ. විනය පිටකයෙහි වනාහි ශ්‍රාවක භාෂිත එක් ශික්ෂා පදයක්දු නොදක්නා ලදී.
“විනයො නාම සාසනස්ස ආයු” යන්නෙන් මේ විනය ධර්මය තෙම සර්වඥ ශාසනය සම්බන්ධ වූ ආයුෂය නොහොත් ජීවිතය නම් වේ යයි පෙනේ. “විනයෙඨිතෙසාසනංඨිතංහොති” යන්නෙන්ද “විනයෙ අවිනට්ඨෙමිහි පුනිට්ඨිතා සාසනං” යන්නෙන්ද විනය ධර්මය උද්ග්‍රහණ ප්රවීඡා ශ්රවණාධාරණා ප්රත්යවෙක්ෂාදියෙන් අවබෝධ කොටගෙන ඒ වූ පරිදි පිළිපැදීමින් විනෂ්ට නොව මනාව පවත්නා කල්හි සර්වඥ ශාසනය චිරස්ථිතියට පැමිණෙයයි ප්‍රකාශිතයි. ආඥා දේශනා සංඛ්‍යාත විනයෙහි ආවා වූ පාරාජිකාදි සප්තාපත්ති ස්කන්ධයන් රක්ෂා කරන්නා වූ භික්ෂූන්ගේ සමූහයකට සම්මුති සංඝයයි කියති. එබඳු භික්ෂු සංඝයාට සීමාබන්ධන උපසම්පදාදි සියලු විනය කර්මය කරණු සඳහා සර්වඥයන් වහන්සේ විසින් අනුදැන වදාරණ ලදී. ඒ භික්ෂූන් අතුරෙන් අන්තිම භික්ෂූහුගේ පාරාජිකාපත්තියට පැමිණීමෙන් ප්‍රතිපත්ති අන්තර්ධානය යම් කලෙක්හි වන්නේද, එකල්හි මේ ලෝකය මහත් වූ මෝහාන්ධකාරයෙන් වැසී යන්නේය. එහෙයින් සර්වඥයන් වහන්සේ විසින් පාරාජික පචිති සුළුවග මහවග පරිවාරයන පොත් පසකින් යුත් විනය පිටකය දේශනා කරණ ලදී.
ඒ විනය පිටකයෙහි දේශනා කරණ ලද උභතො විභංගයෝ පාරාජිකා පාචිත්ති යන ග්රන්ථද්වයකින් සංගෘහ කරණ ලද්දාහුය. දෙවිසිඛන්ධකයෝ සුළුවග මහවග යන ග්රන්ථද්වයකින් යුක්තයහ. සොළොස් පරිවාරයෝ පරිවාර පාළියයි දක්වන ලදහ. භික්ෂු ප්රාතිමෝක්ෂාගත දෙසියවිස්ස (220) ක් ශික්ෂා පදයන්අතුරෙන් සතර (4) පරිජි ඇවැත්ය. තෙලෙස් (13) සඟ වෙසෙස් ඇවැත්ය. ද්විවිධ (2) අනියත ඇවැත්ය තිසක් (30) නිසඟි පචිති ඇවැත් යන එකුන් පණස් (49) මාතෘකා ශික්ෂා පදයෝ පාරාජිකා පාළියෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. දෙයානුව (92) ක් ශුද්ධ පචිති ඇවැත්ය. සතර (4) පාටිදෙසනීය ඇවැත්ය පන් සැත්තෑව (75) ක් සෙඛියා ඇවැත්ය යන එක්සිය සත්හැ එක (171) ක් මාතෘකා ශික්ෂා පදයෝද (7) සප්තාධිකරණ සමථයෝද පාචිත්තිය පාළියෙන් සංග්‍රහ කරණ ලදහ. භික්ෂුණී ප්රාතිමෝක්ෂාගත අට (8) පරිජි ඇවැත්ය සතලොස් (17) සඟ වෙසෙස් ඇවැත්ය තිසක් (30) නිසගිපචිති ඇවැත්ය එක්සිය සැට (166) ක් ශුද්ධ පචිති ඇවැත්ය අට (8) ක් පාටිදේසනීය ඇවැත්ය පන්සැත්තෑව (75) ක් සෙඛියා ඇවැත්ය යන තුන්සිය සතර (304) ක් මාතෘකා ශික්ෂා පදයෝද (7) සප්තාධිකරණ සමථයෝද පාචිත්තිය පාළියෙන් සංග්‍රහ කරණ ලදහ. ආදියෙහි නිදානුද්දේශයද මාතෘකා ශික්ෂාපද පන්සිය සූවිස්ස (524) ක් හා (7) සප්තාධිකරණ සමථයෝද යන මෙයින් සමුප ලක්ෂිතයි. එම ශික්ෂා පද සමූහය කවර අර්ථයකින් විනය නම් වන්නේ ද යත්? නිදානුද්දේශ පාරාජිකුද්දේශ සංඝාදිසේසුද්දෙස අනියතුද්දෙස විත්ථාරුද්දෙස (නිසඟිපචිති මුල පටන් සප්තාධිකරණ සමථාවසානය දක්වා විත්ථාරුද්දෙසය වෙයි) යන පඤ්චවිධ පාතිමෝක්ඛුද්දෙස සප්තාපත්ති ස්කන්ධ මාතෘකා විභංගාදි ප්‍රභේද වශයෙන් නානාවිධ විශේෂ ක්‍රම ඇති හෙයින්ද කායික වාචසික අනාචාරයන් වළක්වන හෙයින්ද ඔවුන් නික්මවන හෙයින්ද මේ පිටකය විනය නම් වන්නේ යයි දක්වන ලදී.
“විවිධ විසෙසනත්තා - විනයනතො චෙව කායවාචානං විනයත්ථ විදූහි අයං - විනයො විනයොති අක්ඛාතො”
ඒ විනය ශබ්දය පය්යප්තිභාජනාර්ථ වාචක වූ පිටක ශබ්දය සමග “විනයොවසො පිටකඤ්චෙති - විනය පිටකං” කියා හෝ “විනයස්ස පිටකං - විනය පිටකං” කියා හෝ සමාස කරණු ලැබේ. කරමධාරය සමාස පක්ෂයෙහි විනය වූ පය්යප්තපරත්වය ද තත් පුරුෂ සමාසපක්ෂයෙහි වින සම්බන්ධ වූ හෝ විනය පය්යපන්න වූ හෝ ඒ ඒ අර්ථයන්ට භාජනාර්ථයද ප්‍රකාශ වෙයි.
විනය පිටකයෙහි දුක්ෂභාවය කැමැත්තවුන් විසින් සූත්‍ර සූත්රානුලෝම ආචාර්යවාද අත්තනොමති යන සතර මහා ප්‍රදේශයෝ දතයුත්තාහුය. මුළු විනය පිටකයෙහි පාළිය සූත්‍ර නම් වේ. “යංහික්ඛන්ධවෙමයා ඉදංනකප්පතිති පටික්ඛිත්තංතඤ්චෙ අකප්පියං අනුලෝමෙතිකප්පියං පටිබාහති තංවොනකප්පති” යනාදියෙන් දක්වන ලද්දේ සූත්රානු ලෝම නම් වේ. ප්රකීර්ණක දේශනාසංඛ්යාත අර්ථ කථා පාළිය ආචාර්යවාද නම් වේ. අර්ථකථාවන්හි ආවාවූ ථෙරවාදය අත්තනොමති නම් වෙයි. අත්තනොමතියට වඩා ආචාර්යවාදය අතිශයින් බලවත් වෙයි. ඊටත් වඩා සූත්‍රානුලෝමය අතිශයින් බලවත් වේ. ඊටත් වඩා සූත්‍රය අතිශයින් බලවත් වෙයි. මේ චතුර්විධ සතර මහා ප්‍රදේශයන් දැනගෙන පාළි වශයෙන් අර්ථකථා වශයෙන් විනය පිටකය ප්‍රගුණ වාචොද්ගත කොට සුවිනිශ්චය කරගැන්මද පෙළසම්බන්ධ වූ යට භාගයෙන් හෝ උපරිභාගයෙන් හෝ පදපටිපාටියෙන් හෝ අර්ථ කථාවෙන් හෝ එක එක රෝමයක් සන්ධ්යාසයකින් වෙන් කොටැ ගන්නෙකු මෙන් විසර්ජනය කෙරේද ආවර්ජනය කළ කල්හි ආලෝකමත් ප්‍රදීපාලෝකයක් සේ ඇදුරු පරපුර ස්ථවිර පරම්පරාව වංශ පරම්පරාව මනාව අවබෝධ වීමද යන මේ ලක්ෂණානුයෙන් විනයධර භික්ෂුතෙමේ සම්පූර්ණ විය යුත්තේය. විනය ධරයන් විසින් දස අවුරුද්දක් පමණ උගතමනා විනය පිටකය අනාගතයෙහි උපදනා මන්දබුද්ධිකයන්ට උද්ග්රහණාදිය නොකට හැකිව සම්බුද්ධ ශාසනය පිරිහේ දෝහෝයි යන භයින්ද අඩමසක් පාසා පාමොක් උදෙසනු පිණිසද ධර්මසංගාහක මහා ස්ථවිරයන් විසින්ම භික්ෂු භික්ෂුණීන්ට පණවා වදාළ ශික්ෂාපදයන්ගේ මුල් මාතෘකා පද සංග්‍රහ කොට විනය මාතෘකාවැයි කියන ලද උභය ප්රාතිමෝක්ෂය සංගායනා කල හෙයින් ඒ විනය මාතෘකාවේ සම්පූර්ණාර්ථ විස්තර කිරීමෙන් කංඛාවිතරණී නම් අටුවාව මහාකවි බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ විසින්ම කරන ලදී.
ඒ කංඛාවිතරණී තොමෝ ග්රන්ථ ප්රාතිමෝක්ෂය සම්බන්ධවූ පදපදර්ථ විනිශ්චය මුඛයෙන් ඛන්ධකපරිවාර පදභාජනා දි වශයෙන් කරණු ලබන විනිශ්චය ද නිදානාදි වශයෙන් කරනු ලබන සප්තරස ප්‍රභේදයද සියලු ශික්ෂාපදයන් සම්බන්ධ වූ සාධාරණ විනිශ්චය ද දක්වන්නීය. එහෙයින් ස්වදේශ විදේශීය සියලු ආචාර්ය පරම්පරාවන්හි මේ මාතෘකාර්ථකථා තොමෝ උභය ප්රාතිමෝක්ෂ ග්‍රන්ථය හදාරන්නා වූ භික්ෂූන් වහන්සේලාගේ උද්දේසාදියෙහි ප්‍රයුක්ත වූවා තදර්ථාවබෝධයෙහි ඒ භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තී සැකදුරලීමෙහි තරණී වූවා හෙවත් නෞකාවක් සමාන වූවා ඒකාන්තයෙන් පරිශීලනය කරණු ලබන්නීය. පරිවාර ග්රන්ථාන්තර සම්පත්තීන්ද යුක්ත වූවා විනයාර්ථ මඤ්ජුසා නම් ටීකාවෙන්ද සිංහල භාෂාවෙන් විරචිත ග්රන්ථපදවර්ණනාවෙන්ද සමලංකෘත වන්නීය.
මේ ශාසනයෙහි සියලු භික්ෂූන් විසින් නිස්සයමුක්තවනක සම්මුතිය ලැබැ යථානාධිපති භාවයට හා ශිෂ්‍යයන් හික්මවීමටද ආචාර්යයෝපාධ්යායයන්ගෙන් වෙන්ව සෙසවරි භාවයෙන් ක්‍රියා කිරීමට ද විනයෙහි නියමබව දත යුත්තේයි. “නිස්සයමුක්තනකෙනභික්ඛුනා අත්තමසොද්වෙමාතිකා පගුණා වාචුග්ගතා කාතබ්බා” යනු මහවග අටුවාවෙහි ආ හෙයින් නිස නොමිදී ශෛක්ෂව වසන භික්ෂූන්ට ආපත්ති අනාපත්ති භාවය නොදැනීමෙන් දවස්පතා පැමිණෙන ඇවතින් හිස ඔසවන්නට නොහැකිව මේ ප්‍රව්‍රජ්‍යාව හේතුකොටගෙනැ ලැබිය යුතු සුගතියන්බා අපාය මාර්ගය නොදැනුවත්ව එලිවන බව සලකා සැදැහැයෙන් උපසපන් වූ තැන්පටන් පස්වසක් විනයධරයෙකු වෙත නිස සමාදන්ව උභය ප්රාතිමෝක්ෂාදි නිස්සයාංගයන්ට සුදුසු බණදහම් ප්‍රගුණකොට කංඛාවිතරණී අටුවාවෙහි ආනයින් යටත් පිරිසෙයින් මේ උභය ප්රාතිමෝක්ෂයෙහිවත් අර්ථ ඉගෙනගත යුතු වන්නේය.
එසේ හෙයින් පසුබැසයන්නා වූ මේ ශාසනය නැවත යථා ස්ථානයෙහි පිහිටුවන්නට සහායවනු කැමැත්තෙන් සියලු විනයාර්ථයන් හකුළුවා කරණ ලද මේ අර්ථ කථාවට සවිස්තර සන්නයක් සම්පාදනය කොට ශාසනාවචර කුලදරුවන්ගේ අත්වලට පමුණුවන්නෙහි නම් සම්භාව්‍ය ශාසන සංග්‍රහයක් වේයයි දකුණු පලාතේ මාදම්පේ ඉඩන්තොට සුවිසුද්ධාරාමාධිවාසී විනයගරුක ආයුෂ්මත් සොමානන්දාභිධාන ස්ථවිරයන් විසින් සමාරාධිතවැ මේ උදාරතර ශාසනාකෘත්යය නිපදවාලීමෙහි උද්යෝගවත් වීමු.
තවද මහා විහාරාන්වයෙහි වූ අමරපුර සමාගමේ සිරිසද්ධම්ම වංස මහානිකායාධිපතිව විසූ ඒ මහා ස්ථවිරයන් වූ මාදම්පාගම ලංකාගොඩ කවිකුලසේඛරායමාන සිරිධම්ම වංසපාල පූජ්‍ය පාද ධීරානන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් “විනයවිනිශ්චය” නම් ග්රන්ථයට ප්‍රණීතතර ව්‍යාඛ්‍යානයක් කරණ ලදී. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය වූ යටෝක්ත ග්‍රාමයෙහි තුඹුවෙවත්තේ සිරිවිසුද්ධ අරියවංසාලංකාර මහානිශ්රය කාරකාවැයි “පඤ්ඤාදීප” මහා ස්ථවිරයන් වහන්සේ විසින් “සමන්ත පාසාදිකා” නම් විනයාර්ථ කථාවට සන්නයක් කරණ ලදී. ඒ මහාස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය වූ පුජ්‍යපාද සුගත ශාසනධජ විනයාචරිය ධම්මාලංකාරාභිධාන මහා නායක ස්ථවිරයන් වහන්සේ විසින් “සීමානයදප්පන” නම් විනය ග්රන්ථයක් කරණ ලදී.
මෙසේ පූර්වෝක්ත උත්තම ස්ථවිරයන් වහන්සේලා අද්විතීය විනයධර චාතුර්ය්යාතිශය උද්දීප්තියෙන් බැබළුහ. දැනුදු මේ විනයධර පරම්පරාව විනයපය්යප්ති චාතුර්ය්යයෙන් හා සංඝපීතෘභාවයෙන්ද අනුනව පවත්නීය. නානාදිශාවන්හි ගණාප්රධාන මහා නායක ස්ථවිර අනුනායක ස්ථවිරාදීන්ගෙන් යුත් අප සිරිධම්ම වංසනිකායෙහි “සුධර්මා” නම් කාරක සභා තොමෝ චිරාත්කාලයක් මුලුල්ලෙහි නිරුපද්‍රව විරාජමාන වේවායි ආශිංසනය කරම්හ.
රත්මලානේ පුෂ්පාරාමාධිපතිව වැඩ විසූ ශුද්ධාශිලාදි විවිධ ගුණ සමුදයො භාෂිත වූ “විමලතිස්සාභිධාන මහා ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්යවූද කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති සර්වදේශ විදේශයන්හි ව්‍යාප්ත කීර්ති කදම්බයෙන් අනුනව විසූ ශ්‍රී සුමංගලාභිධාන මහානායක ස්ථවිරයන් වහන්සේගේ ධර්මාන්තේවාසී වූද මෙහි පහත නම් සඳහන් කරණ මා විසින් බුද්ධාසාසන මහා සුරසේනාපති යන රාජ දත්ත නාමොපලක්ෂිත “ඇම්. ධර්මරතන ලක්මිණි පහන් කර්තෘභූත” පණ්ඩිතාග්රේ වාචනා මාර්ගය ඇසුරු කොට බුදුමැදුරට ආචාර්ය්ය පරම්පරාවෙහි අර්ථකථනය කරගෙන එන පරිදි නොපිරිහෙලා මේ “සන්දේහඝාතිනී” නම් වූ කංඛාවිතරණී අර්ථව්යාඛ්යාව සම්පාදනය කරණ ලද්දීය. තවද මේපොතට අර්ථ ලිවීමේ හිදි දික්වැල්ලේ ගුණරතන ස්ථවිර උනන්දුවේ විමලසාරස්ථවිරාදි අප මිත්‍ර ස්ථවිරයන් වහන්සේලා කීපනමක් ගෙන්ද මීට ආධාර ලැබුන බව ස්තුති පෙරටුව සඳහන් කරමු.
සසුන්වත් කුලදරුවන්ට අභිමතාර්ථ සාධක කල්ප වෘක්ෂයක් හා සදෘශය වූ මේ අරුත් වියකන එකවරකට මුද්‍රණය කරවන්නට රුපියල් එක්දහස් පන්සිය (1500) ක් පමණ වියදම් දරණ බව පෙනී ගිය බැවින්ද අර්ථ කියවා ගන්නා වූ භික්ෂූන් විසින් නොපමාව පොත ඉල්වන ලද බැවින් ද මේවරට නිදානුද්දේශය පාරාජිකුද්දේශය සංඝාදිසේසුද්දෙසය යන උද්දේශත්රයකින් යුක්ත වූ ප්‍රථම භාගය දෙන්ට අදහස් කෙළෙමු. ද්විතියභාගය අනියතුද්දේශය ආදි කොට ඇති භික්ෂු ප්රාතිමෝක්ෂය අර්ථකථාව හා භික්ෂුණී ප්රාතිමෝක්ෂය අර්ථකථාවද ඇතුළත් කොට මෙසේ ම මුද්‍රණය කරවන්නෙමු. මේ සම්බන්ධවැ නොමසුරුව මුදල් දීමෙන් ආධාර කළ පුන්‍යකාමී භවතුන්ගේ නාමලේඛණය ස්තුති පූර්වකව මෙහි අගට පළකරවන්නෙමු. ඒ මහතුන් විසින් පින් අනුමෝදන් විය යුත්තේයි.
තවද මෙහි ඌනාධික ලිපිදෝෂාදිය ඇති තැන් දැන මෙසේ ශුද්ධ කටයුතුයැයි. විනයධර සුධීන් විසින් අපවෙත ලියා එවනු ලැබෙත් නම් පරීක්ෂාකොට සුදුසුනම් පිළිගෙන අපේ ශුද්ධි පත්‍රයට ඇතුළත් කර පොත අවසානයේදී දෙන බවද සැලකිය යුතුයි. ශාසනායුභූත විනයපය්යප්තියෙහි කෞශල්‍යය පතන්නා වූ ශාසනික කුල පුත්‍රයන් විසින් මේ අරුත් වියකන ඉගෙන විනයධර පදවියට පැමිණිය යුතුයි.
මේ වගට, රත්මලානේ පුෂ්පාරාමාධිපති විබුද්ධසේනාචාර්ය්ය මාදම්පේ ධම්මාධාර ස්ථවිර M. Dhammadhara
රත්මලානේ පුෂ්පාරාමාධිපති විබුද්ධසේනාචාර්ය්ය මාදම්පේ ධම්මාධාර ස්ථවිර
M. Dhammadhara
සන්දේහඝාතිනී පත්ථාවනා
1. සංවණ්ණිතා මිත ගුණො සනරාමරෙහි සච්චද්දසො නරවරො වරභූරි පඤ්ඤො සල්ලොක පීති ජනකො පරමත්ථදනා සම්මාබුද්ධං ජිනවරං පණමාමහන්තං
2. සංසාර නීඝ තිමිරං සුවිධංසනක්කං සප්පඤ්ඤ ජන්තු කුමුදෙ සුවිබුද්ධසොමං සද්ධම්ම මග්ග මසමං කවිකන්ත ධම්මං සම්මා සදා සුවිසදං පණමා මහන්තං
3. සද්ධා දයා මති පති මුනි රාජ සූනු සංසුද්ධ සීල ධනවා විහතාරි රායි සංඝො මනුඤ්ඤ සනිමා සුගමාහි රාමො සප්පීතිකො නවරතං පණමා මහන්තං
4. ඉච්චෙව මාසය කරෙහි නමස්සනියං වත්ථුත්තයං පියතරං අභිවන්දමානො පුඤ්ඤාභියන්ද මමලං යමහං අලත්ථං තස්සානුභාව මුපගම්ම හතන්තරායො
5. බුද්ධඝොෂ මහාථෙරො - මහාධීරො ගරුත්තමො සාසනස්ස හිතත්ථාය - මාතිකාට්ඨකථං අකා
6. තායන්තිකානං විපුලං - ඵලං පස්සං විසුද්ධිදං පුබ්බාචරිය සීහානං - මතං සම්මාව ලම්බිය
7. ලංකාමිණිජ්ජ දීපස්ස - කත්තුභූතස්ස ධීමතො ධම්මරතන නාමස්ස - නිස්සාය වාචනානයං
8. මාදම්පේතිප්පභීතස්මිං - ගාමස්මිං සුජනාකරෙ සුවිසුද්ධාරාම නාමෙ - විහාරස්මිං මනොරමෙ
9. සාසනොදයකාමෙන - පිය සබ්රහ්මචාරිනා සොමානන්දභිධානෙන - ථෙරෙන අභියාචිතො
10. විබුද්ධසේනාචරියො - ධම්මාධාරොති විස්සුතො රාජ දත්තිය නමෝහං - පුෂ්පාරාමාධිවාසිකො
11. කවිකුඤ්ජරානමානන්ද - මාදෘදං සුවිවිච්ඡයං සන්දේහඝාතිනිං නාම - ව්යාඛ්යාලිංඛාමි මුන්තිදං
12. සාසනෙ කුල පුත්තානං - මුඛපාලංකාරසන්නිහා මොහප්පධංසිනීවායං - නිච්චං පීණායතං මනං
13. සද්ධම්ම වංසික නිකාය පති සධීරා නන්දෙ මහා යතිවරො විබුද්ධාව තංසො සම්බුද්ධ සාසනභවං අභිපන්ථ යන්තො ව්යාඛ්යාං කරිත්ථි විනයාදි විනිච්ඡයස්ස
14. ශිෂ්යෙන තස්ස වර සිඝ්රපමෙන පඤ්ඤා දීපව්හයෙන යතිනාමි වරෙන සම්මා අත්ථාය සංඝමිගණස්ස තතා සමන්ත පාසාදිකාය විනයට්ඨ කථාය ව්‍යාඛ්‍යා
15. තෙසං පසත්ථචරිතං චචිරුන්ත මානං ඤත්වා නමේවචරිතං අනුසික්ඛිතස්ස සද්ධම්ම වංසික සුධීපි මමුස්සහාය මොදන්තමා චරියවංස විභූසයන්තා
16. රම්මෙ කලම්බු නගරෙ නගරංග පුණ්ණෙ ජෝතිති පංචම නරින්ද පසාසනස්මිං තස්සෙව දක්ඛිණ දිසායතු රත්මලාණා ගාමො විභාති බුධසප්ජන වාසවාසො
17. යොතත්ථසප්ජනගණෙහි කතම්හි පුජ්ජා රාමෙපති විමලතිස්ස මහ යතින්දෙ ගන්තේපි තීසු පිටකේසු ලිඛාපයිත්වා පාලෙසි සාසනවරං ගරුමෙ භවීසො
18. සම්බුද්ධ සාසන සරම්භි සරොරුහංව යො සෙවතො විවිධසිස්ස මධුබ්බවන්තෙහි විජ්ජොදයබ්බ පරිවෙණ පති ගරුමෙ දේවන්තගො සිරි සුමංගල සංඝසෙට්ඨො
19. පවර පීන ගිරාරවින්ද හංසො විවිධ දිසාවති විස්සුතොරු කිත්ති විදුර සිරිධරො විභාතු ධම්ම රතන සමිවිභ ගරු චිරං හිතාය
20. පුඤ්ඤෙදන්තේන විපුලෙන අනාගතේහං හෙස්සන්ති හේතුක බලො විබුද්ධගගචාරී මාතා පිතාචරිය පච්චය දායකා මෙ තෙඤ්ච නිමිත්ත පවරා අමතංව පත්තු
21. ධම්මේන වත්තතු සදා සනරින්ද ලොකො ඤාණේන රක්ඛතුජ්ජං සපජ්ජං නිවිචං සීලෙසු හොන්තු යතයො පරිපුරකාරී දුක්ඛෙන මුඤ්චතු පජා නිඛිලා අරොගා
සිවමත්ථු
ලේකම් තුමාගෙන්
සුදුසු කාලයේදී කෙරෙන ධර්ම ශ්‍රවණය මහා මංගල කාරණයක් ලෙසට දේශනා කල බුදු රජාණන් වහන්සේ ධර්මය රත්නයක් පරිදි පෙන්වා දෙමින් එය නෙරුවනින් එකක් ලෙසට ගෙනහැර දැක්වූහ.
බෞද්ධයෙකු යනුවෙන් කෙනෙකු හඳුන්වන්නේ ඔහු රත්නත්‍රය සරණගිය පුද්ගලයකු ලෙස සලකා ගෙනය. බුදුන් වහන්සේගේ චරිතාපදානය අනුගමනය කිරීම මෙන්ම බෞද්ධ ධර්මානුකූලව ජීවිතය සකස්කර ගැනීමට ද බෞද්ධයෙකු කටයුතුකළ යුතු බව පැහැදිලිය. මේ නිසා ධර්මය ගැන වර්ණනාත්මකව බුදු රජාණන් වහන්සේ දේශනාකොට වදාළ තැන් ත්‍රිපිටක ධර්මයෙහි බොහෝ තැන්වල අඩංගුව ඇත.
මෙසේ වූ ධර්මය ඇසිය යුතුය. එය ප්‍රමාණවත් නොවේ. ඒ අනුව ධාරණය කරගත් සිතකින් බෞද්ධ ආකල්ප ගොඩනගා ගත යුතුය. ඒ අනුව පෞද්ගලික ජීවිතයේ චර්යාධර්ම රටාව සකස්කර ගත යුතුය. ධර්මයෙන් වැඩක් ගන්නා වෙන්නේ එසේ වූවහොත් පමණි.
ධර්මය ගැන විමසා බලන පමණින් ධර්මය ගැන කථාකරණා පමණින් ඒ ගැන පරීක්ෂාකර බලන පමණින් ධර්මය තව තවත් බැබළෙන බවත් ධර්මය වැසී තිබෙන තරමට නොබැබළෙන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වාදී ඇත.
මේ පදනමෙහි පිහිටා ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සිටම ධර්මය පදනම් කොට ග්රන්ථ කරණයේ බට භික්ෂූන් වහන්සේලා හා ගිහි භවතුන් ගැන අපේ බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම බෞද්ධ ඉතිහාසයේද සඳහන් වෙයි.
පෙදෙන් බුදු සිරිත - බසින් වත් සිරින් ඈ යනුවෙන් සියබස්ලකර කතුවරයා කවියක් ලියුවහොත් එය බුද්ධ චරිතයම මුල් කර ගන්නක් විය යුතුය යනුවෙන් ප්‍රකාශ කොට ඇත. භික්ෂු ප්‍රතිපත්ති ගැන සඳහන් කරන අවස්ථාවකදී සාර්ථක පැවිදි ජීවිතයක් ගත කරන භික්ෂූන් වහන්සේ නමක් විනයධර විය යුතු බවත් ධර්මධර විය යුතු බවත් සඳහන් කර ඇත. භික්ෂු ප්‍රතිපත්ති වලට ධර්මධර වීම අත්‍යවශ්‍ය දෙයක් නම් ධර්මයෙහි ඇති වටිනාකම එමගින්ද පැහැදිලි වේ.
ඈත අතීතයේ ග්රන්ථධුර දැරූ භික්ෂූන් වහන්සේලා ගැන කොතෙකුත් සඳහන් වන අපේ සාහිත්‍යයේ උන් වහන්සේලා ලියූ එවැනි පොත්පත් නිසාම අපට සාහිත්‍යයක්ද ඉතිරි වී ඇත. එය නිකම්ම සාහිත්‍යයක් නොව බෞද්ධ සාහිත්‍යයක් වීමද ඉතා වැදගත් කොට සැලකිය යුත්තකි.
එවැනි දහම් පත පොත කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වෙමින් පවතී. මේ පිළිබඳව සිත යොමුකල රුවන්ගිරිය වන සෙනසුන් සේනාසනාධිකාරී පූජනීය බුත්කල බුද්ධදත්ත හිමිපාණෝ අභාවයට යමින් පවතින ඉතා දුර්ලභ දහම් පත පොත වසරකට එකක් බැගින් සංරක්ෂණය කොට නැවත ගෞරවනීය මහා සඟරුවන අතට පත්කිරීමේ උතුම් අදහස මල්පල ගැන්වීමක් ලෙසට මෙය ඔබ අතට පිරිනමේ. මේ සඳහා උන්වහන්සේගේ ගුරු දේවෝත්තම ශ්‍රී කල්යාණියෝගාශ්රම සංස්ථාවේ උප සභාපති ධුරීන හා මහෝපාධ්‍යාය අති පූජනීය මාවතගම ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා මග පෙන්වීම පිංදීමෙන් යුතුව සිහිපත් කරමි.
මෙම උතුම් දහම් ග්‍රන්ථය ඔබ අතට පිරිනැමීම සඳහා මුල්‍යමය අනුග්‍රහය ලබාදුන් වඩුමුන්නේ ගෙදර ඒ. ආර්. රංකිරා මුදලාලි මහතා සහ එම මැතිනියද වැහැර වෛද්‍ය වසන්ත වෙලේමුල්ල මහතාටද මේ පින එකසේම අයිති වේවා.
මේ සඳහා අපව ධෛර්යයවත් කළ බුත්කල බුද්ධදත්ත හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් පතන අතර උතුම් සම්පයක් ප්‍රාර්ථනාවන් සඵල වේවායි ප්‍රාර්ථනය කරමි.
මෙම ධර්ම සංග්‍රහය සකස් කිරීමේදී සෝදුපත් බැලීමෙන් සහය වූ කටුපොත සද්ධාශීල ස්වාමීන් වහන්සේ, රුවන්ගිරියේ සමනවංශ ස්වාමීන් වහන්සේ හා පැවිදි අපේක්ෂක මධුශංක දරුවා යන සැමට අපගේ ප්‍රශංසාව හිමිවිය යුතු අතර උන්වහන්සේලාගේ ප්‍රාර්ථනාවන් සඵල වේවායි ප්‍රාර්ථනය කරමි.
රුවන්ගිරියේ යෝගාශ්‍රමවාසී සියළු සඟ පිරිසටත් සභාපති කේ. එම්. ධර්මරත්න මහතා භාණ්ඩාගාරික ඩබ්. එම්. චිත්‍රරත්න මහතා හා කලට වේලාවට ශෝභන අයුරින් හා මහත් සැලකිල්ලෙන් මෙම පොත මුද්‍රණය කරවා දුන් කුරුණෑගල අනුර ප්‍රින්ටර්ස් අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටද මාගේ කෘතඥතා පූර්වක ප්රශංසානුමෝදනාව හිමි වේවා.
මෙයට, රුවන්ගිරියේ භාරකාර මණ්ඩලයේ, ගරු ලේකම්, ජී. එම්. වයි. සී. බණ්ඩාර
රුවන්ගිරියේ භාරකාර මණ්ඩලයේ,
ගරු ලේකම්,
ජී. එම්. වයි. සී. බණ්ඩාර