භික්ෂු භික්ෂුණි ප්රාතිමෝක්ෂ වර්ණනාව - සෝනුත්තර ජිනරතන හිමි, රත්ගම ප්‍රඥාශේකර හිමි.pdf
- කතෘ :
- සොණුත්තර ජිනරතන හිමි, රත්ගම ප්‍රඥාශෙඛර හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2000
- මුද්‍රිත වර්ෂය :
- 2000
- පිටු ගණන :
- 414
- බාගත කිරීම් ගණන :
- 2,613
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 55 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
රත්නාර්ථ සූදනී නම් වූ භික්ෂු භික්ෂුණී ප්රාතිමොක්ෂ වර්ණනාව යනු භික්ෂු සහ භික්ෂුණී ප්රාතිමෝක්ෂ ශික්ෂාපද විග්රහ කෙරෙන අගනා විනය ග්රන්ථයකි. මෙය පණ්ඩිත පණම්ගල ශ්‍රී සෝනුත්තර ජිනරතන නායක ස්ථවිරයන් වහන්සේ සහ රත්ගම ප්‍රඥාශෙඛර නායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කර ඇත.
විද්‍යොදය පරිවෙණාධිපතිව වැඩසිටි කහවේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමියන් සහ බද්දේගම ශ්‍රී පියරතන නාහිමියන්ගේ පරිශෝධනයෙන් හා නිර්දේශයෙන් යුක්ත වූ මෙම කෘතිය, ප්රාතිමෝක්ෂය හදාරන ශිෂ්‍ය භික්ෂූන්ට ප්‍රයෝජනවත් වන පරිදි අටුවා විවරණ ඇසුරින් සකසා තිබේ. එහි පුබ්බකරණ පුබ්බකිච්ච, නිදානය, පාරාජිකා, සංඝාදිසේස, අනියත, නිස්සග්ගිය පාචිත්තිය, පාචිත්තිය, පාටිදේසනීය, සේඛියා සහ අධිකරණ සමථ ආදී විනය ශික්ෂාපද මැනවින් විස්තර කර ඇත.
මෙම පොත සමයවර්ධන පොත්හල විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙහි දැක්වෙන්නේ 2000 වසරේ නිකුත් වූ පස්වන මුද්‍රණයයි.
ප්රස්ථාවනා
විනය ධර්මය වනාහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශාසනාවචර කුල පුත්‍ර පුත්රීන් සංවරයෙහි පිහිටුවීම පරමාර්ථ කොට ගෙණ දෙශිත පරමවිශිෂ්ට ප්රඥප්ති ධර්මයෙකි. සැදැහැයෙන් සසුන් වන් භික්ෂු භික්ෂුණීන්ගේ කායද්වාරය හා වාග්ද්වාරය හික්මවන හෙයින් මේ ධර්මාංශයට “ විනය ධර්ම” යයි ප්‍රකාශ කරනු ලැබේ. එහෙයින් කීහු:-
“විවිධ විසෙස නයත්තා විනයනතො චෙව කාය වාචානං, විනයත්ථ විදූහි අයං - විනයො විනයොති අක්ඛාතො”.
සියලුම බුද්ධවචනය විනය පිටකය, සුත්තන්ත පිටකය, අභිධම්ම පිටකය යයි පිටක වශයෙන් ත්‍රිවිධ වේ. එයින් ප්‍රථම සංගායනාවේදී සංගායනා කරණ ලද්දාවූ ද සංගායනා නොකරණ ලද්දාවූ ද උභය ප්රාතිමොක්ෂය, විභංග දෙකය, දෙවිස්සක් ඛන්ධකය, සොළොස් පරිවාරයෝ දැයි මේ සියල්ලම විනය පිටකයට ඇතුළත් වේ. ධර්ම සංගීති කාරකාචාර්ය්යවරයෝ ‘පාරාජිකපාලි-මහාවග්ග පාලි - චුල්ලවග්ග පාලි-පාචිත්තිය පාලි-පරිවාර පාලි’ යයි ග්රන්ථ වශයෙන් පඤ්චකයක් දැක්වූහ.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි මේ විනය පිටකයට අයත් සියලුම ප්රඥප්තීන් ජීවිත පරිත්‍යාගයෙන් ව්‍යතික්‍රමණය නොකොට ආරක්ෂා කිරීමට සියලුම භික්ෂු භික්ෂුණීහු නොපැකිළුණාහ. තථාගත පරිනිර්වාණයෙන් පසුද විනය ගරුක ශ්රද්ධාවත් භික්ෂු භික්ෂුණීන් ගෙන් මේ ශාසනය නො සිස්විය. විනය ගරුකයන්ට තථාගතයන් වහන්සේ ද ගරු කළහ.
විනය ධාරීන්ට ගෞරව කිරීම සඳහාත් පශ්චාත් කාලීන භික්ෂූන්ට අනුකම්පාව සඳහාත් පරම ශික්ෂණයෙන් යුත් “උපාලි” මහරහතුන් වහන්සේ ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං විනය ධරානං යදිදං උපාලී’ යි එතදග්‍ර පාලියෙහි තබා වදාළ නිසා ඒ බැව් මනාව ස්ඵුට වේ. උපාලි මහරහතුන්වහන්සේ විනය ධාරීන්ගේ ප්‍රමුඛස්ථානය ලැබගෙණ බොහෝ ශිෂ්‍යයනට ප්‍රගුණ කරවීමාදියෙන් විනය ධර්මය බැබල වූ සේක.
ප්‍රථම සංගීතියේ පටන් තෘතීය සංගීතිය දක්වා උපාලිය, දාසකය, සොනකය, සිග්ගවය, මොග්ගලිපුත්තතිස්සය, යන පස්නම විනය වංශය ජම්බුද්වීපයෙහි විනය වංශය නො සිඳ පැවැත්වූහ. සිය දහස් ගණන් ශිෂ්යගණයාට උද්ග්‍රහණ ධරණාදිය කරවීමෙන් විනය ධර්මයේ උන්නතියත් භික්ෂූන්ගේ ශික්ෂණයත් වර්ධනය කළහ. ඒ බැව් අර්ථකථාචාර්ය්ය බුද්ධඝොෂ මාහිමියෝ මෙසේ දැක් වූහ.
“උපාලි දාසකො චෙව - සොනකො සිග්ගවො තථා තිස්සො මොග්ගලි පුත්තොව - පඤ්චෙතෙ විජිතාවිනො. පරම්පරාය විනයං - දීපෙ ජම්බුසිරීව්හයෙ අච්ඡිජ්ජමානං ආනෙසුං - තතියො යාව සංගහො.”
තෘතීය ධර්ම සංගායනාවේ දී ප්රමුඛ ස්ථානය ගෙණ වදාළ ෂඩභිඥාලාභී මොග්ගලිපුත්තතිස්ස ක්ෂීණාශ්රවයන් වහන්සේගේ ශිෂ්යභාවොපගත මහා මහේන්ද්‍ර මහරහතුන් වහන්සේ ලක්දිව සම්බුද්ධධර්මප්රචාරයෙහි ආදි කර්තෘවරයානෝ වූහ. මේ විනය ධර්මය ද උන්වහන්සේ ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව ලක්දිව ප්රචලිතත්වයට පැමිණ වූහ.
ලක්දිව විනයවංශය මහින්දය, ඉට්ඨිය, උත්තිය, සම්බලය, භද්දසාලය, අරිට්ඨය, තිස්ස දත්තය, කාලසුමනය, දීඝනාමය, දීඝසුමනය, කාල සුමනය, මහානාගය, බුද්ධරක්ඛිතය, තිස්සය, දෙවය, සුමනය, චූලනාගය, ධම්මපාලිතය, ඛෙමය, උපස්සය, ඵුස්සදෙවය, සුමනය, පුප්ඵනාමය, මහාසීවය, උපාලිය, මහානාගය, අභයය, තිස්සය, පුප්ඵනාමය, චූලාභය, තිස්සය, චූලදෙවය, සීවය යන මේ මහාක්ෂීණාශ්රව පරම්පරාව විසින් ත්‍රිපිටක ධර්මය මුඛ පාලි වශයෙන් පවත්වා ගෙණෙන ලදී.
ශ්‍රී බුද්ධ වර්ෂ 433 දී රාජ්‍යයට පැමිණි වලගම් අබා මිහිපල්හුගේ ආරක්ෂාවෙන් පන්සියයක් මහරහතුන් වහන්සේ මාතුල දනව්වෙහි අලුලෙණැ වැඩහිඳ සංගායනා කොට ඒ තාක් නිර්මලව පැවැති ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කළසේක. මේ තාක් වෙතුල්යවාදීන් ත්‍රිපිටක ධර්මයට ඔවුන්ගේ නානා මතාන්තරයන් මිශ්‍ර කිරීමට ප්රයත්න දැරුවත් අලුලෙනැ දී කළ මේ ධර්ම සංගායනාවට එයත් කරුණු වූ බවත් සැලකිය හැකි වේ.
අලුලෙනැ ධර්ම සංගායනාවෙන් පසු මහා විහාරික සැදැහැවත් මහා ස්ථවිරයන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන්ම විනය ධර්මය සුරක්ෂිත විය. විංශතිතම ශතවර්ෂයෙහි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියාණෝ ආදි විනය ගරුක මහාස්ථවිරවරු විනය ධර්මයෙහි යථාර්ථඥානය සුප්‍රකට කළහ. ඉන්පසු සකල නිකායික මහා ස්ථවිරවරු විනය ධර්මය ගරු කොට ස්වකීය ශිෂ්යගණයාට ප්‍රගුණ කරවති.
භික්ෂු භික්ෂුණී ප්රාතිමොක්ෂය “පාතිමොක්ඛං අතිපමොක්ඛං අතිඋත්තමං අතිසෙට්ඨං” යි අර්ථ කථාචාර්‍ය්‍ය බුදුගොස් හිමියෝ “පාතිමොක්ඛ” යන්නෙහි අර්ථ කථනය කළහ. මේ වනාහි ශීල ප්රාතිමොක්ෂය, ග්රන්ථප්රාතිමොක්ෂයයි දෙපරිදි වේ. “ආදිමෙතං මුඛ මෙතං පමුඛමෙතං කුසලානං ධම්මානං තෙන වුච්චති පාතිමොක්ඛං” යනාදි තන්හි ශීලප්රාතිමොක්ෂය ද, “උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති” යනාදි තන්හි ග්රන්ථ ප්රාතිමොක්ෂයද ප්‍රකාශ වේ.
ග්රන්ථ ප්රාතිමොක්ෂය ද, භික්ෂුප්රාතිමොක්ෂය, භික්ෂුණී ප්රාතිමොක්ෂ යයි දෙවැදෑරුමි. නිදානුද්දෙසය, පාරාජිකුද්දෙසය, සංඝාදිසෙසූද්දෙසය, අනියතුද්දෙසය, විත්ථාරුද්දෙසය යයි උද්දෙස පසකින් සංගෘහිතවූයේ භික්ෂු ප්රාතිමොක්ෂයයි. අනියතුද්දෙසය රහිත සෙසු උද්දෙස සතරින් සංගෘහිත වූයේ භික්ෂුණී ප්රාතිමොක්ෂයයි.
භික්ෂුණී ශාසනයාගේ නැතිවීම සමගම භික්ෂුණී ප්රාතිමොක්ෂයද අඳුරෙහි වැටින. භික්ෂු ප්රාතිමොක්ෂය අදත් ශ්රද්ධාවත් විනය ගරුක භික්ෂූන්ට මහදර්පනයක් සලසා දෙමින් බැබලෙයි. සකල භික්ෂූන් විසින්ම වාවොද්ගගත කිරීමෙන් හා අර්ථොද්ග්රහණය කිරීමෙන් ආදරයෙන් පරි ශීලනය කරණු ලැබේ.
පරිවාර ග්රන්ථ කඞ්ඛාවිතරණී නම් වූ මාතිකට්ඨ කථාව අර්ථ කථාවාසී අනුබුද්ධ බුද්ධඝොෂ මාහිමියන් වහන්සේ විසින් පෙළ බසින් ප්රාතිමොක්ෂයට ලියන ලද මාහැඟි පරිවාර ග්රන්ථයෙකි. සමන්තපාසාදිකා නම් වූ විනයාර්ථ කථාවෙහි සකල ශික්ෂාපදයක් ම විස්තර වශයෙන් ලියන ලද බැවින් මෙහි ප්‍රමාණවත් විස්තරයක් ලියන ලද බැව් පෙනේ. එහෙත් මාතිකාපාලිය පරිශීලනය කරණ ශිෂ්‍යයන්ට මෙයින් විපුල ප්‍රයෝජනයක් ලැබේ.
ප්රාතිමොක්ෂ ව්‍යාඛ්‍යාව මේ වනාහි ප්රාතිමොක්ෂයට හෙළුබසින් අර්ථව්යාඛ්යානය කළ ප්රශස්ත ව්‍යාඛ්‍යාවක් වේ. මෙය කවර කලක කවරෙකු විසින් කරණ ලද්දක් දැයි දැන ගැණීමට ඉවහල් කරුණු දුර්ලභය. සර්වඥපණ්ඩිත පරාක්‍රමබාහු කාලයේ භාෂාවට සමකළ හැකි ඇතැම් වචන මෙහි පවත්නා බැවින් ඉතා පැරණි විනය ධාරී මහතෙර කෙනෙකු විසින් කරණ ලද්දකැයි සැලකිය හැකි වේ. පාමොක් ඉගෙන ගන්නා භික්ෂූන්ට මේ සන්නය මේ තාක් ඉතා ප්‍රයෝජන විය.
ගණ්ඨී දීපනිය මේ ද අර්ථ කථා සහිත ත්‍රිපිටක ධාරී “ඤාණකිත්ති” නැමැති මහතෙර කෙනෙකුන් විසින් පෙළ බසින් ලියන ලද ප්රාතිමොක්ෂ පරිවාරග්රන්ථයෙකි. ප්‍රාතිමොක්‍ෂයේ ග්රන්ථිස්ථාන ලිහිල් කිරීමෙන් හා නිරුක්ති දැක්වීමෙන්ද විස්තර කළ යුතු ඇතැම් පද විස්තර කිරීමෙන් ද ලියන ලද්දකි. හෙද ශිෂ්‍යන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
රත්නාර්ථ සූදනිය ප්රාතිමොක්ෂයට පරිවාර ග්රන්ථ කීපයක් ඇතත් ප්රාතිමොක්ෂය හදාරණ ශිෂ්‍යයන්ට යොග්‍ය අර්ථ වර්ණනාවක් මේ තාක් පළවී නොමැත. ශිෂ්‍යයනට වූ ඒ පාඩුව පිරිමසා ලීමෙහි ප්‍රොත්සාහි වීමි. එහෙත් ශිෂ්‍යයන්ගේ අභිමතාර්ථය සම්පූර්ණ වේමයයි නොකියමි. නමුත් මේ තාක් පළ වූ ප්රාතිමොක්ෂ ව්‍යාඛ්‍යානයන්ට වඩා මදීය ව්‍යාඛ්‍යා ව ශිෂ්‍යයන්ට ප්‍රයෝජන වේයයි කියන්නට නො මැලිවෙමි. අර්ථකථා සහිත විනය පිටකය ආශ්රයෙන් ලියවුන සංලක්ෂ්යය ශිෂ්‍යයන්ට පහසුවන පරිදි පිළියෙළ කෙළෙමි. පොත් රාශියක් බලා ඉගෙන ගත යුතු කරුණු මෙයින් ම ඉගෙන ගත හැකි බැවිනි. පොත් රාශියක් බැලීමෙන් ශිෂ්‍යයන්ට ඇතිවන කරදරය මෙයින් බොහෝ දුරට මග හැරේ යයි සිතමි.
වර්තමානික ශිෂ්‍යයන් අතර භික්ෂුණී ප්රාතිමොක්ෂය පරිශීලනය කරණ ශිෂ්‍යයෝ දුර්ලභ වෙති. එබැවින් එහි විස්තරයක් ලිවීමට කල්පනා නො කෙළෙමි.
උපකාරානුස්මෘති විද්‍යොදය පරිවෙණාධිපතිව වැඩසිට ස්වර්ගස්ථවී වදාළ අතිගරු කහවේ ශ්‍රී සුමඞ්ගල රතනසාරාභිධාන කොළඹ නවකෝරළේ ප්‍රධාන නායක මාහිමියන් වහන්සේ මෙහි මුල කොටසෙහි ශුද්ධිපත්ත්ර බලාදීම මේ ග්රන්ථයාගේ ගුරුත්වය ආරක්ෂා කෙරෙමය. සම්පූර්ණ ග්රන්ථයාගේම ශුද්ධිය සිදුකරවාගන්නට නොලැබීම අපගේ අභාග්‍යයෙකි. මේ ග්රන්ථ සම්පාදනයෙන් සංක්ෂාත කුසලසම්භාරය යථොක්ත මාහිමියන් වහන්සේ අනුමෝදන්වී ස්වර්ගමොක්ෂ සම්පත් ලබත්වා.
ඉතිරි කොටසෙහි ශුද්ධිය ඉතා සැලකිල්ලෙන් බලා වදාළ මෙකල විද්‍යොදය පරිවෙණාධිපති අතිගරු බද්දේගම ශ්‍රී පියරතනාභිධාන නායක මාහිමියන් වහන්සේගෙන් ලැබුනු සමාදර පූර්වක අනුග්‍රහය ගෞරව පුරස්සරව අනුස්මරණය කරමි.
පණ්ඩිත පණම්ගල ජිනරතන ස්ථවිර. 2488 1944. 10. 15. දින විද්‍යාලොක පිරිවෙණේ දීය.
පණ්ඩිත පණම්ගල ජිනරතන ස්ථවිර.
2488
1944. 10. 15. දින
විද්‍යාලොක පිරිවෙණේ දීය.