සම සතළිස් කර්මස්ථාන භාවනා - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2014
- මුද්රිත වර්ෂය :
- 2014
- පිටු ගණන :
- 312
- බාගත කිරීම් ගණන :
- 14,465
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-27
- ගොනුවේ ප්රමාණය :
- 803 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සම සතළිස් කර්මස්ථාන භාවනා යනු ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ අතිපූජ්ය නාඋයනේ අරියධම්ම මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද සමථ භාවනා කමටහන් පිළිබඳ විස්තරාත්මක අත්පොතකි. කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ භාවනා පන්ති මාලාව වෙනුවෙන් දේශනා කරන ලද මෙම කමටහන් පෙළ ධර්ම දානය පිණිස සම්පාදනය කර ඇත.
විසුද්ධිමාර්ගය සහ ත්රිපිටක පාළිය පාදක කරගනිමින් සමථ භාවනාවට අයත් කර්මස්ථාන සතළිසම මෙහි සරලව හා ප්රායෝගිකව විස්තර කර ඇත. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සතර බ්රහ්මවිහරණ, සතර අරූප, ආහාරේ පටිකූල සඤ්ඤා සහ චතුධාතු වවත්ථානය ඇතුළු සමථ කර්මස්ථානයන් මෙහි ඇතුළත් වේ.
මෙම කෘතියට අතිපූජ්ය මාතර ශ්රී ඤාණාරාම මහානායක හිමි, අතිපූජ්ය කඩවැද්දූවේ ශ්රී ජිනවංශ මහානායක හිමි සහ අතිපූජ්ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන්ගේ ආශිර්වාදාත්මක සංඥාපන සහ හැඳින්වීම් අන්තර්ගතය. යක්කල දිමුතු ප්රකාශන ආයතනය විසින් 2014 (බු.ව. 2557) වර්ෂයේදී ධර්ම දානය පිණිස මෙය මුද්රණය කර බෙදාහැර ඇත.
සංඥාපනය (ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය්ය මීතිරිගල නිස්සරණ වනසේනාසනාධිපති අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේ ගේ ආශිර්වාදය)
බුද්ධ ශාසනයෙහි හඳුන්වා දෙන වැඩ පිළිවෙළ තුළ භාවනාවට ලැබෙන්නේ ඉතා උසස් තැනකි. භාවනාව ගැන කථාකරන බොහෝ දෙනා ‘’විසුද්ධි මාර්ගය’’ ඉදිරිපත් කර ගනිති. එයට හේතුව එහි සෑම භාවනා ක්රමයක් ම පෙන්වා තිබීමයි. ‘’විසුද්ධි මාර්ගය’’ සම්පාදනය කළ බුද්ධඝෝෂ ආචාර්ය්ය තුමා ද සාමාන්ය බෞද්ධ ලෝකයා විසින් මානනීය භාවයෙන් පිළිගන්නා ලද්දේය.
බුද්ධඝෝෂ ආචාර්ය්යන් වහන්සේ විසුද්ධි මාර්ගය රචනා කළේ තමාගේ ම මති මතාන්තර උඩ නො වේ. එතුමා බුදුරජාණන් වහන්සේ ලොවට ඉදිරිපත් කළ භාවනා ක්රම මුල් කරගෙන තත්කාලීන වූ ද පශ්චාත් කාලීන වූ ද ධර්මධර අගතැන්පත් පූජ්ය ආචාර්ය්යන් වහන්සේලා ගේ උපදේශ ආධාරයෙන් විසුද්ධි මාර්ගය එළි දැක්වූහ. එහි සඳහන් භාවනා ක්රම අතරෙහි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ භාවනා ක්රමත් ඒවා සම්බන්ධව පශ්චාත් කාලීන ආචාර්ය්යන් වහන්සේලා ඉදිරිපත් කළ උපදේගත් විශේෂයෙන් සැලකිය යුතුය.
භාවනා ක්රම සම්බන්ධයෙන් මේ කාලයේ නොයෙක් ආකාරයේ පොත් සකස් වී ඇත. ඒ සම්බන්ධ කොට සාකච්ඡා කරන සැටි ද පෙනේ. උනන්දුවක් ද ඇත. එසේම භාවනා නොකරමින් ම භාවනාව විවේචනය කරන පිරිසක් ද සිටින බව අපට හොඳ හැටි ප්රකටය. මේ හැම දෙනා ම තේරුම් ගත යුත්තේ නෛය්යානික සම්බුද්ධ ධර්මයෙන් නියම ප්රයෝජන ගතයුත්තේ කෙසේද? යන්නය.
ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ප්රසිද්ධ ස්ථවිර නමක් වන නාඋයනේ අරියධම්ම ස්ථවිර නම කලක සිට භාවනා වැඩ පිළිවෙලක් පවත්වාගෙන යන බව ප්රසිද්ධ කරුණකි. එමගින් භාවනාව සම්බන්ධ ධර්ම ග්රන්ථ ද රාශියක් නිකුත් වී ඇත. සමහර අවස්ථාවලදී භාවනාව සම්බන්ධව කථා කිරීම සඳහා අප හමුවට පැමිණෙන අය ඉදිරිපත් කරන අදහස් සංසිඳවීමට එම පොත් ඉදිරිපත් කරමු.
මේ ළඟදී සම සතළිස් කර්මස්ථානයන් ම සම්බන්ධ කරගෙන කරනලද දේශනා එකතු කොට ග්රන්ථයක් එළි දැක්වීමට සූදානම් බව දැන ගතිමු.
මේ තාක් වැඩ පිළිවෙළ යටතේ ලියවී ඇත්තේ සමථ භාවනාව සම්බන්ධයෙන්ය. එළි දැක්වීමට බලාපොරොත්තු වන ග්රන්ථය ද සමථ භාවනාව සම්බන්ධ එකකි. දැනට පවත්වාගෙන යන මෙම වැඩ පිළිවෙළට ඉදිරියේදී විපස්සනා භාවනාවත් සම්බන්ධ කරන්නේ නම් ඉතාමත් හොඳ බව මතක් කරදීමට කැමැත්තෙමු.
සම සතළිස් කර්මස්ථානයන්ම සංග්රහ වී ඇති මෙම ග්රන්ථයෙන් උපරිම ප්රයෝජන ගෙන තම තමන්ගේ උත්තමාර්ථය සපුරා ගන්නා ලෙසට සියලුම සැදැහැතියනට මෙයින් මතක් කර දෙමු.
සසුන් හිතැති, මාතර ඥානාරාම මහා ස්ථවිර, මීතිරිගල නිස්සරණ වනය,
මීතිරිගල
( ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ සම්පාදක ප්රධාන අනුශාසක අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්රී ජිනවංශාභිධාන අස්මදාචාර්ය්ය මාහිමිපාණන්ගේ ආශිංසනය )
ඥාණ සමාපත්තිය
බුදු පහනේ ආලෝකය ප්රඥාධාරාවයි. අනන්ත වූ ඒ ඥාණ සමාපත්තියේ බුද්ධ සන්තානයකම පහළවන විශිෂ්ඨ ඥාණ සයක් වේ. ඉන්ද්රිය පරෝපරියත්ත ඥාණය, ආසයානුසය ඥාණය, යමකපාටිහාරිය ඥාණය, මහාකරුණා සමාපත්ති ඥාණය, සබ්බඤ්ඤුත ඥාණය, අනාවරණ ඥාණය යන මේ සවැදෑරුම් ඥාණ විශේෂයෙන් පහළ වන්නේ බුද්ධ සන්තානයේ පමණයි. ඉද්ධි විධාදි සෙසු ඥාණයන් බුදුසව්වන් විසිනුදු උපදවාලිය හැකි නමුත් ඉන්ද්රිය පරෝපරියත්තාදි ඥාණ ශ්රාවකයන් කෙරෙහි පහළ වන්නේ නැත. මේ ඥාණ ෂට්කය අසාධාරණ නමින් හඳුන්වනු ලබන්නේ බුද්ධ භාවයට සීමිත විශිෂ්ඨ ඥාණමහිමයන් වන හෙයිනි. බුදුරජානන් වහන්සේ නියමයෙන් දැක ගැනීමට ෂඩ්අසාධාරණ ඥාණ සය පිළිබඳව යම්තමින් හෝ දැන සිටිය යුතුය. මේ එක් එක් ඥාණය ඉතා කෙටියෙන් හඳුන්වතොත් මෙසේ තේරුම් කළ හැකිය. ( 1 ) ඒ ඒ පුද්ගලයන්ගේ අධ්යාත්මික වූ සද්ධා, සති, සමාධි, වීර්ය්ය, පඤ්ඤා යන ඉන්ද්රියයන් පිළිබඳ අඩු වැඩි බව ප්රමාණ කොට දක්නා මහ නුවණ ඉන්ද්රිය පරෝපරියත්ත ඥාණ නම් වේ. ( 2 ) දිට්ඨි, අනුලෝම ඛන්ති, යථාභූත ඥාණ වශයෙන් සිතබැඳි පවත්නා තත්ත්වය වූ ආසයත් සත්ව සන්තානයෙහි නිද්රාගතමෙන් පවත්නා රාගාදි ක්ලේශ සංඛ්යාත අනුසයත් දක්නා මහනුවණ ආසයානුසය ඥාණ නම් වේ. ( 3 ) බුදු සිරුරෙන් රෝම කූපයක් පාසා වෙන වෙනම ගිනිකඳ හා ජලකඳ පෙරපසු නොවී නිකුත් කිරීම් ආකාරයෙන් පෙළහැර පෑමේ මහනුවණ යමකපාටිහාරිය ඥාණ නම් වෙයි. ( 4 ) රාගාදී කෙලෙස් ගින්නෙන් දැවෙන සත්ව ප්රජාව නොයෙක් ආකාරයෙන් බලා වදාරණ බුදුරජාණන් වහන්සේගේ සන්තානයෙහි පහළ වන්නා වූ අනුද්දයතා පූර්වාංගම මහා ඥාණය මහා කරුණා සමාපත්ති ඥාණ නම් වෙයි. ( 5 ) සංඛත අසංඛත සියලු ධර්මයන් නිරවශේෂ වශයෙන් දක්නා මහා ඥාණය සබ්බඤ්ඤුත ඥාණ නම් වෙයි. ( 6 ) සියලු ධර්ම විෂයෙහි නොපැකිල පවත්නා ඥාණ ගතිය අනාවරණ ඥාණ නම් වෙයි.
මේ ෂඩ් අසාධාරණ ඥාණයන් හදාරා ඥාණසමාපත්තියේ යෙදෙන්න.
මිණිරුවන් ගබඩාවක අභ්යන්තරයට පිවිසගත් තැනැත්තා මිණිකැල්මෙන් නැහැවී යන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේගේ ඥාණ නිධානයේ අභ්යන්තරයට සමාපත්ති වශයෙන් ඔබ පිවිස ගත් කල්හි, බුද්ධ ඥාණ සාගරයට වැදී ඔබ කිමිදෙන කල්හි ලොවුතුරාමය සැනසුමත්, අමාමිහිරත් ඔබට විඳගත හැකි වෙනවා ඇත. බුදුගුණ මිණිරුවන් වතුරෙන් ඔබේ සන්තානය නහවා සනසා ගැන්ම තරම් සැපයක් ශාන්තියක් ඔබට තවත් ඇත්තේ නැතැයි සිහිකරන්න.
පැහැසර අනගි මිණිරුවනක් අතටගත් කල්හි ඒ මාණික්යරත්නයේ ආලෝකයෙන් අත බබලන්නට පටන්ගැනීම ප්රත්යක්ෂවම සිදු වෙයි. එලෙසින් බුදුරජාණන් වහන්සේගේ ඥාණ ගුණයන් මනසිකාර කරන කල බුදු නුවණේ එලියෙන් බුදු සිරියෙන් ඔබේ සිත එළියවන සැටි, ඔබේ සිත විසිතුරුවන සැටි ඔබට ප්රත්යක්ෂ වෙනවා ඇත.
කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමය තමන් බොදු පිළිවෙතින් සැනසෙමින් තව බොහෝ දෙනා ඒ සැනසිලි පෙරහැරක විසිතුරෙකි. තත් බෞද්ධ සංගමයේ දායකත්වයෙන් අපේ සසුන් දැරූ රත්නය වූ නාඋයනේ අරියධම්ම ස්ථවිර නම 1984 වර්ෂයේ පටන් මාසිකව පවත්වා ගෙන එන භාවනා පන්තියේ අති විශේෂ භාවනා පාඩම් සියල්ල බෞද්ධ සංගමය මගින් මුද්රණය කරවා බෙදා දී ඇත්තේ මිණිරුවන් මාලාවක් ලෙසිනි. එහි මෙවර මේ නිකුත් කරන්නේ සම්පූර්ණ සම සතළිස් කර්මස්ථාන භාවනා රුවන්මාලාවයි. මෙය අපට පෙනෙන්නේ ශාසන ප්රාතිහාර්යක් ලෙසිනි. සම සතළිස් කර්මස්ථාන පිළිබඳ මෙවැනි පෙහෙළියක් පෙර පළ නොවීයයි තත් සංගමයේ ගරු ප්රධාන ලේකම් තැන්පත් ක්රියාශීලි මුදලිගේ මහතා අප ඉදිරියේ උදාන පළකළේ දහම් සතුට උතුරවමිනි.
මේ ධර්මව්යායාමය මේ සත්පුරුෂ එකතුව යාව නිබ්බාන වේවා. ‘’සතං සමාගමො හොතු යාවනිබ්බාන පත්තියා’’
මෙයට බුදුගුණයෙන් සැනසෙන, කඩවැද්දූවේ ජිනවංස ස්ථවිර, ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව, කහව.
භාවනා (රාජ්ය සේවා බෞද්ධ සංගමයේ ආරම්භක පැවිදි අනුශාසක, ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අතිපූජ්ය ආචාර්ය විද්යා විශාරද මහෝපාධ්යාය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය)
යම් චේතනාවක් කරණ කොට ගෙන කුශල ධර්මයන් වඩයි ද ඒ චේතනාව භාවනා නම් වේ. භාවනා නම් වැඩිම ද? හිත යහපත් අරමුණෙහි වැඩිම යි. එහෙ මෙහෙ විසිර නොයා දී එම අරමුණෙහිම සිත නැවත ඉපදවීම් වශයෙන් බැඳී තිබීමයි. සීල සමාධි පඤ්ඤා යන නිවන් මග ගිහි පැවිදි දෙපිරිසට ම එක හා සමානයි. එසේ වුවත් මෙහි විස්තර වන්නේ ගිහි පැත්තට බරව ලිහිල් බසිනි.
භාවනා කළ යුත්තේ කුමට ද ? උත්තාන සත්ත්වයෝ ය, ගහන සත්ත්වයෝ යැයි ලොව ඇතිතාක් දෘශ්යමාන සත්ත්වයෝ කොටස් දෙකකට බෙදෙති. උත්තාන සත්ත්වයෝ නම් නොසැඟවුණු ප්රකට වූ එළිදරව් වූ කෙලෙස් ඇත්තෝ ය. එනම් තිරිසන්නුය. ගහන සත්ත්වයෝ නම් සැඟවුණු වැසුණු අප්රකට වූ කෙලෙස් ඇත්තෝ. එනම් නියම මනුෂ්යයෝ ය.
තිරිසන්නු කාමකෝපාදිය ඉවසන්නෝ නොවෙති. කාම කෝප ආ විට තැන, වේලාව, පුද්ගලයා නොබලා පිටකරන්නෝ ය. මිනිස් රූකඩයෝ ද එබඳුම වෙති. නියම මිනිසා කාමකෝපාදිය ආ විට තැන බලයි. වේලාව බලයි. පුද්ගලයා බලයි. ඉවසයි. සඟවාගනී.
වර්තමාන සමාජයේ අපරාධ වැඩිවීමට ප්රධාන හේතුව වී තිබෙන්නේ බොහෝ දෙනාට කාමකෝප ඉවසන්නට ශක්තියක් නැතිකම බව නුවණින් කල්පනා කරන කාට වුවද වැටහෙනවා ඇත. මේ අපරාධ අඩුකර ගැනීමට ඉන්ද්රිය සංවරයට හා චිත්තදමනයට උපකාර වන ඉහළ සිල් රැකීම හා භාවනා ඉතා අවශ්ය ය. කාමකෝප ඉවසීම නම් වූ උතුම් මිනිස් ගුණය ඇති කර ගැනීමට හා සමාජයේ අපරාධ අඩුකර ගැනීමට ද භාවනාව ඉතා අවශ්ය ය.
භාවනා කිරීමෙන් හිත පිරිසිදු වෙයි. හිත පිරිසිදු වීමෙන් ශරීරගත ලේ ද පිරිසිදු වෙයි. ලේ පිරිසිදු වූ විට ලෙඩ අඩු වෙයි. ශරීරය ද පැහැපත් වෙයි. අන්යයනට ප්රිය ද වෙයි. බෞද්ධයන්ගේ පරමාර්ථය සසර දුකින් නිදහස් වීමයි. නිවන් සුව ලැබීමයි. එය කළ හැක්කේ කෙළෙසුන් නැති කිරීමෙනි. කෙලෙස් නම් සිත පිළිබඳ නරක ගතියි. ඒ නරක ගති නැති කර ගත හැක්කේ සිත දමනය කිරීමෙනි. සිත දමනය කිරීමෙහි ප්රධානම මාර්ගය භාවනා කිරීමයි.
මේ කරුණු ගැන සලකා බලන විට සෑම බෞද්ධයකු විසින්ම භාවනාවක් කළ යුතු බව මැනවින් පැහැදිලි වේ. එයින් භාවනා නොකරන්නා නියම බෞද්ධයකු නොවන බවත් පැහැදිලි වේ. තම පරමාර්ථය කුමක් දැයි නොදන්නා හෙයින් එය ලැබුමට නිසි මගට නොපිළිපන් හෙයිනි.
ගිහිගෙවල අපමණ කරදර ඇති බව නොරහසකි. කරදරවලින් මිදී විවේක වාසයක් ලබා ගෙන භාවනා කරන්නට සැරසෙතොත් එය මහ මුළාවකි. මේ ලෝක වාසීනට මැරෙන තෙක් ම කරදරවලින් අඩුවක් නොවන හෙයිනි. මරණින් මතු නැවත උපදින්නේත් මේ ලොවම නිසා ඒ කරදර නැවතත් ඇති වේ. කරදරවලින් මිදෙන්නට නම් ලෝකයෙන් මිදිය යුතු ය. ඒ සඳහා භාවනා අවශ්යය. එහෙයින් කෙසේ නමුත් දවසට මිනිත්තු පහක් වත් විවේකය ලබාගෙන කිසි භාවනාවක් කළ යුතු ම බව හැම ගිහි පින්වතුන් විසින් ද සිතට ගත යුතු ය. පැය විසිහතරක් ඇති දිනෙකින් පැය විසිතුනකුත් මිනිත්තු පණස් පහක්ම ලෞකික කටයුතු සඳහා යොදා, තමන්ගේ පරමාර්ථය වූ නිවන් සඳහා මිනිත්තු පහක්වත් යොදා ගත නොහැකි නම් ඒ බෞද්ධකමේ ඇති ඵලය කුමක් ද ? හිම්දිරි පාන්දර කාටත් කරදර නැති වෙලාවකි. පැය පහක් හයක් විවේක ගැනීමෙන් ඇඟට ද, ඉන්ද්රියයනට ද, සිතට ද පණ ඇති වේලාවකි. වෙන වේලාවක් වුවද වරදක් නොවේ. ළමයිනට නම් රෑ නින්දට පෙර පවා වඩා පහසු විය හැකිය. කවර වේලාවක් හෝ සම්මත කර ගෙන භාවනාවක් පුරුදු කිරීමට කුඩා දරුවා පටන් මහල්ලා තෙක් හැම පින්වතුන් සිතට ගත යුතුය. එහෙයින් භාවනාවට ප්රථම පන්සිල් සමාදානයෙන් හෝ සිල්වත් විය යුතු ය.
බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය මුළු මහත් බෞද්ධ ලෝකයෙහි ම සුන්දර සමාජ පරිවර්තනයක් කළ වැඩ පිළිවෙළකි. ඒ උද්යෝගය නිමිති කර ගෙන රජයේ හා පළාත් පාලන ආයතනවල සේවයේ යෙදී සිටි බෞද්ධයන් ‘’රාජ්ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සම්මේලනය’’ නමින් සංවිධානයක් ආරම්භ කරන ලදී. එය උතුම් සමාජ සේවයක්, සුන්දර සමාජ පරිවර්තනයක් සිදු කළ බව සතුටින් සඳහන් කරමි.
මේ සුන්දර සමාජ පරිවර්තනයෙහි ප්රතිඵලයක් වශයෙන් පොහොය නිවාඩුව, දරුවන්ට සිංහල බෞද්ධ නම් තැබීම, චාම් ඇඳුමට හා චාම් ජීවිතයට බැසීම, සතර පොහොයට පන්සල් යෑම, පුනු පොහෝදා සීලභාවනාවෙහි යෙදීම ආදී සද්ගුණයන්ගෙන් බැබළීම ද සිදුවුණා.
විවිධ හේතූන් නිසා මදක් නිහඬ වැ සිටි රජයේ බෞද්ධ සේවකයෝ ‘’රාජ්ය සේවා බෞද්ධ සංගමය’’ නමින් සංවිධානය වූහ. විවිධ සේවාවන්හි යෙදුණු බෞද්ධ සේවකයෝ සීල භාවනා දෙපිළිවෙතින් බැබළෙන්නට වූහ. කොළඹ මහජන පුස්තකාලයානුබද්ධ ශ්රවණාගාරයෙහි පවත්වාගෙන යන සීල භාවනා වැඩපිළිවෙළ අතිසුන්දරය ය. විශිෂ්ඨ ඵලදායක ය.
මෙකල වාසය කරන කර්මස්ථානාචාර්ය්යන් වහන්සේලා අතුරෙන් මා අග්රස්ථානයෙහි ලා සලකන්නේ, අම්බලන්ගොඩ කහවේ ගුණාවර්ධන යෝගාශ්රම වාසී නාඋයනේ අරියධම්ම මහාස්ථවිරයන් වහන්සේ ය. උන්වහන්සේ ත්රිපිටකය හදාරා ප්රගුණ කොට ඇත. සම සතළිස් කර්මස්ථානයම හදාරා පුහුණු කොට ඇත. උන්වහන්සේගේ අචාර්ය්යත්වයෙහි තබා ගෙන බුද්ධධර්මයට අයත් භාවනා පුරුදු කොට පොත් වශයෙන් මුද්රණය කොට ඇත. එය ඉතා වටිනාධර්ම දානමය පින්කමෙකි.
බුද්ධකාලයෙහි ද ශාසනික භාවනා මෙන් ම අශාසනික භාවනාත් තිබුණා. එසේ ම බුද්ධශ්රාවකයන් ද අශාසනික භාවනා පුරුදු කරන්නට ගොස් තාවකාලික සුවයක් හා ධ්යාන අභිඥා ලැබූවත් නිර්වාණාවබෝධයෙන් ඉවත් වී ඇත.
ශ්රී ලංකාවෙහි ද ශාසනික භාවනා මෙන් ම අශාසනික භාවනා කියා දෙන්නන් හා පුරුදු කරන්නන් ද ඇත. ඔවුන් ද තාවකාලික සුව ලබතත් නිවන් සුවයෙන් ඈත් වනු ඇත. බුරුමයේ ද අශාසනික භාවනා ක්රම තිස්හතරක් උගන්වන පුරුදු කරවන බව ග්රන්ථාරූඪ කර ඇත.
මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ
හැඳින්වීම
සමථ භාවනා විපස්සනා භාවනා නමින් බෞද්ධ භාවනා ක්රම දෙකක් ඇත. බුද්ධශාසනයේ පරමාර්ථය වූ සියලු දුක් සන්සිඳුවන ශාන්ත නිවන් සුව සාක්ෂාත් කිරීම පිණිස එම භාවනා ක්රම දෙකම අත්යවශ්යයි. මහා මුහුද එක තැනින් ම ගැඹුරු නොවී අනුපිළිවෙලින් ම ගැඹුරු වී ඇත්තාසේ බුද්ධශාසනය නිවන දක්වා ගැඹුරු වී ඇත්තේ අනුපිළිවෙළිනි. ශීල, සමාධි, ප්රඥා, යනු ඒ අනුපූර්ව ප්රතිපදාව ය.
ශීලය සමාධියටත්, සාමාධිය ප්රඥාවටත්, ප්රඥාව නිවනටත්, අනුපිළිවෙලින් පැමිණේ. මැදුම් පිළිවෙත - අනුලෝම පිළිවෙත - අරිඅටඟි මග ආදී නමින් හැඳින්වෙනුයේ ද ශීල සමාධි ප්රඥාවම ය. සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස ශීලයෙහි පිහිටා සමථ භාවනාවෙන් චිත්ත සමාධිය උපදවා විදර්ශනා වැඩීමෙන් මැදුම් පිළිවෙත අරි අටඟි මග වැඩිය යුතු වේ.
ශීලය අර්ථ වශයෙන් එකක් වුවත් ප්රභේද වශයෙන් රාශියකි. ඇසට පෙනෙන සියල්ල දැකීම වශයෙන් එකක් වුවත් රූප වර්ණ සටහන් වශයෙන් බොහෝ ප්රභේද ඇත්තාක් මෙනි. එසේ ම චිත්ත සමාධිය ද ඒකාග්රතා අර්ථයෙන් එකක් වුවත් සමාධියට බැසගැනීමේ ස්ථාන වශයෙන් විවිධාකාර වේ. ‘’සම සතළිස් කර්මස්ථාන භාවනා’’ නමින් හැඳින්වෙනුයේ සමාධියට බැස ගැනීමේ ස්ථාන සතළිසකි. විපස්සනාවත් අර්ථ වශයෙන් එකක් වුවත් විදර්ශනාවට බැස ගැනීමේ දොරටු වශයෙන් බහුවිධ ය.
ත්රිපිටක පාලියෙහි දැක්වෙන සමථ කර්මස්ථාන භාවනා සියල්ල එක්රැස්කොට විසුද්ධි මාර්ග අර්ථකථාවෙහි සවිස්තරව දක්වා ඇත්තේ සමථ කර්මස්ථාන සතළිසක් වශයෙනි. දශ කසිණය - දශ අශුභය - දශ අනුස්සතිය - සිවුබඹ විහරණ - ආහාරේ පටික්කූල සඤ්ඤාදාය - ධාතුකර්මස්ථානය හා අරූප කර්මස්ථාන සතරයයි. සමථ කර්මස්ථාන භාවනා සතළිසකි. ගුරුපදේශ සහිතව වාරිත්රානුකූලව වඩන සමථ කර්මස්ථානයකින් චිත්ත සමාධියක් ලබා විදර්ශනා භාවනාව වැඩීමෙන් නිවනට පැමිණීම පහසුවනු පිණිස සියල්ල දත් ශාන්තිනායක සර්වඥ සම්මාසම්බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් කර්මස්ථාන සතළිස දේශනා කළ සේක.
සමථ භාවනා නොවඩා හුදු විදර්ශනා භාවනාවෙන් ම නිවන් අවබෝධ කරගත් උතුමෝ ද පෙර සිටියහ. චක්ඛුපාල මහරහතන් වහන්සේ වැනි එවැනි උතුමෝ බොහෝ දුකසේ නිවන් අවබෝධය ලැබුවෝ වෙති. සමථ වඩා අනුපිළිවෙලින් විදර්ශනා වඩන උතුමනට විශේෂ අනුසස් පසක් ලැබේ. දිට්ඨධම්ම සුඛ විහරණය - විපස්සනා පාදක - අභිඥා පාදක - නිරෝධ සමාපත්තිය හා භවවිශේෂානිසංසය යනු ඒ අනුසස් පස ය. ‘’සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති’’ මහණෙනි! සමාහිත වූයේ විදර්ශනාවෙන් තත්වාකාරව හෙවත් ඇත්ත ඇති සැටි මනැසේ දකින්නේ ය. අවබෝධ කරන්නේ යයි වදාළ බුද්ධ වචනය ද සිහිපත් කළ යුතු වේ.
කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමය මගින් 1984 ජුනි 06 වෙනි දා ආරම්භ කරන ලද භාවනා පන්ති පාඩම් පෙළ තුළින් බුද්ධානුස්සති - ධම්මානුස්සති - සංඝානුස්සති - මෛත්රී - අසුභ - මරණ සති කර්මස්ථාන සයත් සතිපට්ඨාන භාවනා කර්මස්ථාන විසිඑකත් අනුපිළිවෙලින් පුහුණු කරවා ඉන් අනතුරුව භාවනා පාඩම් පෙළ භාවනා පොත් 5 ක් වශයෙන් මුද්රණය කරවා ධර්මදාන වශයෙන් භාවනාභිලාෂීන් වෙත බෙදා දී ඇත. බුද්ධානුස්සතිය බුදු ගුණ භාවනා පොතෙහි සවිස්තරව දැක්වෙන අතර දහම්ගුණ භාවනා - සඟ ගුණ භාවනා පොත් දෙකෙහි ධම්ම - සංඝ අනුස්සති දෙක ද මෛත්රී - අසුභ - මරණ සති භාවනා තුන එක පොතක් වශයෙන්ද සවිස්තර ව දක්වා ඇත. සතිපට්ඨාන භාවනා පොතෙහි ආනාපානාසතිය හා ධාතුමනසිකාරයත් සහිත සතිපට්ඨාන භාවනා විසිඑක සවිස්තරව දැකගත හැකි ය.
ඉන් අනතුරුව රාජ්ය සේවා බෞද්ධ සංගමයේ ඉල්ලීම පරිදි සම සතළිස් කර්මස්ථාන සියල්ල සම්පූර්ණ වනු පිණිස භාවනා පාඩම්පෙළ පවත්වන ලදී. 1991 දෙසැ. 04 වෙනි දාට සමසතළිස් කර්මස්ථාන භාවනාව නිමාවට පත් වූ බැවින් එහි ප්රතිඵලය වශයෙන් ‘’සම සතළිස් භාවනාව ‘’ මුද්රණය කරවා ධර්මදාන වශයෙන් බෙදාදීම රාජ්ය සේවා බෞද්ධ සංගමය මගින් සිදුකෙරෙන විශාල ශාසන සේවයකි. ධර්ම නිධානයකි. පාරමී නිධානයකි. කර්මස්ථාන සතළිස අතුරෙන් කමටහන් අටක් ම පළමු සඳහන් භාවනා පොත් පසෙහි සවිස්තරව පළවී ඇති බැවින් මේ පොතට ඒ කමටහන් අට ඇතුළත් කරන ලද්දේ සංක්ෂේපයෙනි. බුද්ධ - ධම්ම - සංඝ අනුස්සති තුනත් කායගතාසති - මරණානුස්සති - ආනාපානසති තුනක් මෛත්රියත් ධාතුමනසිකාරයත් යන කමටහන් අට ය.
සම සතළිස් කර්මස්ථාන භාවනා පොතෙහි පාඩම් පෙළ පහසුවෙන් තේරුම් ගත හැකි වනු පිණිස සරල ලෙස සකස් කොට ඇත. මෙකල දශ කසිණ දශ අශුභ වැනි භාවනා ක්රම භාවිතයෙන් බොහෝ සේ ඈත් වී ඇතත් ගුරුපදේශ ඇතිව නිසි සේ ප්රතිඵල සහිතව භාවනා වැඩීමට උද්යෝගයක් මෙයින් ඇතිවේවා යන ප්රාර්ථනාවෙන් යුතුව මෙහි අකුරක් පාසා මෛත්රියෙන් කරුණාවෙන් හා නිශ්ශරණාධ්යාශයෙන් යුතුව සම්පාදනය කළෙමි. මෙහි කර්මස්ථාන අනුපිළිවෙල විසුද්ධි මාර්ගය ගුරුතැන තබා ගත හැකිය.
අවුරුදු අටක් තිස්සේ මාසයක් පාසා මේ උතුම් භාවනා පාඩම් පෙළ ප්රගුණකරවීමට සදූපදේශ දානයෙන් හා ආශිංසනයෙන් සැමවිට පිහිට වූ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය්ය මහෝපාධ්යාය අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේට ද, තත් සංස්ථා සමුත්පාදක ප්රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දූවේ ශ්රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේට ද, කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ ප්රධාන අනුශාසක අතිපූජනීය විද්යා විශාරද රාජකීය පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේට ද නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ශතවර්ෂාධික කාලයක් දීඝායු ශ්රී සම්පත් හා මතු උතුම් ලොවුතුරා බුදුබවත් අත්වේවායි වැඳ නමස්කාරයෙන් යුතුව ගුරු භක්තියෙන් ප්රාර්ථනා කරමි.
සම්බුද්ධ ශාසන චිර ජීවනය පතමින් මේ උතුම් භාවනා ප්රතිපත්තිමය වැඩසටහන සාර්ථකව සංවිධාන කරන කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලයටත්, මහත් උද්යෝගයකින් ඇප කැප වී ක්රියා කරන ප්රධාන ලේකම් යූ. එස්. මුදලිගේ මහතාටත්, මෙම පොත මුද්රණය සඳහා අනුමත කළ බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් එස්. කාරියවසම් මහතාටත්, මෙය මුද්රණය කරවූ රජයේ මුද්රණාලයාධිපතිතුමා හා බී. එස් කුරේ මහතාටත් මාසයක් පාසා භාවනා පන්තියට සහභාගි වූ පිංවත් සැමටත් රත්නත්රයානුභාව බලයෙන් ආයුරාරෝග්යාදි ශ්රී සම්පත් අභිවර්ධනය වී සමථ විදර්ශනා භාවනා මාර්ගය ආලෝකමත් වී ශාන්ති ලක්ෂණ නිර්වාණධාතුව ඒකාන්තයෙන් සාක්ෂාත් වේවායි ප්රාර්ථනා කරන අතර සම්බුද්ධ ශාසනය පවත්නා වූ මේ උතුම් බුද්ධෝත්පාදයේ දී ලත් ක්ෂණ සම්පත්තියෙන් වැඩි වැඩියෙන් උත්සාහ ගන්නෝ වෙත්වායි මෙත් සිතින් ආශිංෂණය කරමි.
‘’සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’’
මෙයට මෙත්සිතින්, නා උයනේ අරියධම්ම ස්ථවිර, ශ්රී ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව, කහව, අම්බලන්ගොඩ