සතිපට්ඨාන භාවනාව - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1990
- මුද්රිත වර්ෂය :
- 1990
- පිටු ගණන :
- 200
- බාගත කිරීම් ගණන :
- 5,329
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 42 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සතිපට්ඨාන භාවනාව යනු අතිපූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් සම්පාදිත ප්රායෝගික සතිපට්ඨාන භාවනා මාර්ගෝපදේශ ග්රන්ථයකි. 1984 වර්ෂයේ සිට කොළඹ මහජන පුස්තකාලයේදී කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ සංවිධානයෙන් පැවැත්වූ මාසික භාවනා පන්තිය සඳහා පිළියෙල කරන ලද පාඩම් පෙළ ඇසුරින් මෙම ග්රන්ථය සකස් කර ඇත.
මහා සතිපට්ඨාන සූත්රාන්ත දේශනාව පදනම් කරගනිමින් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයට අයත් භාවනා ක්රම 25 ක් දේශනා පාලිය, සිංහල අනුවාදය, භාවනා උපදෙස්, ප්රායෝගික භාවනා වාක්ය සහ ත්රිලක්ෂණ විදර්ශනා ක්රමවේද සහිතව මෙහි සවිස්තරව විග්රහ කර තිබේ.
කඩවැද්දුවේ ශ්රී ජිනවංශ නාහිමි, මාතර ශ්රී ඥාණාරාම මහානාහිමි යන කල්යාණමිත්ර ආචාර්යපාදයන් වහන්සේලාගේ ආශිර්වාද ලිපි සහිත මෙම කෘතිය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්රකාශනයක් ලෙස ශ්රී ලංකා රජයේ මුද්රණ දෙපාර්තමේන්තුව මඟින් 1990 දී ධර්මදානය පිණිස මුද්රණය කරවා ඇත.
ජීවිත සමාපත්තිය
ශාසන ප්රතිපදාවේ ක්රියාකාරී ස්වභාවය දෙපරිද්දය. සංවරණය ප්රහානය යනුවෙනි. මේ දෙසාධනයන් මැනවින් සම්පූර්ණ කරගෙන යනවිට ආධ්යාත්මික සංසිඳීම නියතයෙන් ඇතිවන්නේ එහි ආනිසංස ඵලය වශයෙනි. ශීල - සමාධි - ප්රඥා, යන ත්රි ශික්ෂාවේ ශීල - සමාධි දෙකින් කෙරෙනුයේ සංවරණ යයි. කය වචන දෙකේ තැන්පත්කමත්, ඉන්ද්රියයන් ගෙන් සිත කෙලෙසෙන්න නොදී රැකගැන්මත් සීල සංවරණයෙන් සැලසෙයි. පරියුට්ඨාන වශයෙන් ඇතිවන සිතේ කෙලෙසිල්ල නතර වන්නේ සමාධි සංවරණයෙනි. මේ දෙපිළිවෙතින් කෙලෙසුන්ගේ ක්රියා කාරීත්වය අඩපණවනු මිස කෙලෙස් ප්රහාණයක් සිදුවන්නේ නැත. කයත් සිතත් මෙසේ සංවර කර ගැනීමේ තේරුම ඥාන දර්ශනයට ඉඩ සලසා ගැන්ම ය. මේ සංවරණය දියුණුකර ගත යුත්තේ සතියේ උපකාර යෙනි. සතිය වඩා ගැන්ම අතිශයින් අවශ්ය දෙයකි. නිවන් මඟට දොර හැරෙන්නේ සතිය දියුණුකර ගැන්මෙනි. සතිපට්ඨානය ඒකායන මාර්ගය වශයෙන් දක්වා වදාළේ මේ තේරුම අනුවය.
තමන්ගේ නාදයෙන් ආමෝදවන කෝකිල යෙකු මෙන් අපිත් අපේ අනුයායි ජීවිත පැවැත්මේ මිහිර විඳ විඳ එයින් සැනසෙමින් නිවන් මඟට විසිකුරු වෙමින් ඉදිරියට යමු. අපම අපේ සැනසිලි අරමුණ කර ගත්තා සැටි සතිපට්ඨාන භාවනා එළියෙන් අපි දැක ගනිමු. ආර්ය උතුමන් අනුත්තර ආධ්යාත්ම ගුණයන්ට සමවැදෙමින් නිරාමිස සුව විඳගත්තා සේ අපිත් අපේ පිවිතුරු ජීවිත ගමනේ පියවර සටහන් දකිමින් සිතේ පණ වඩා ගනිමු. ඒ අපේ ජීවිත සමාපත්ති යයි.
කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමය තමන් බෞදු පිළිවෙතින් සැනසෙමින් තව බොහෝ දෙනා ඒ සැනසිලි පෙරහැරට එක් කර ගත්තේ කල්යාණ මිත්ර පෙරහැරක විසිතුරෙනි. තත් බෞද්ධ සංගමයේ දායකත්වයෙන් අපේ සසුන් දරු රත්නයවු නාඋයනේ අරියධම්ම ස්ථවිර තම 1984 වර්ෂයේ පටන් මාසිකව පවත්වා ගෙන එන භාවනා පන්තියේ අතිවිශේෂ භාවනා පාඩම් සියල්ල බෞද්ධ සංගමය මගින් මුද්රණය කොට බෙදා දී ඇත්තේ මිණිරුවන් මාලාවක් ලෙසිනි. එහි මෙවර මේ නිකුත් කරන්නේ සතිපට්ඨාන පාඩම් මිණිරුවන් මාලාවයි. සතිපට්ඨානයට මෙවැනි පෙහෙළියක් මෙයින් පෙර පලනොවීයයි තත් සංගමයේ ගරු ප්රධාන ලේකම් තැන්පත් ක්රියාශීලි මුදලිගේ මහතා අප ඉදිරියේ උදන පහළකළේ දහම් සතුට උතුරුවමිනි. මේ ධර්ම වාසනාව, මේ පහන් පෙරහැර යාව නිබ්බාන වේවා !
“සතං සමාගමො හොතු යාව නිබ්බාන පත්තියා”
අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස ස්ථවිර, ශ්රී ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව, කහව. 2533 1990.02.15 වෙනි දින දීය.
සතිපට්ඨාන භාවනාව
සතිපට්ඨාන දේශනාවත්, භාවනාවත් යන දෙකම සම්මා සම්බුදු සසුනෙක ප්රධාන ස්ථානය ගත්තා අති විශිෂ්ඨවූ ක්රියා මාර්ග දෙකකි. මේ මාර්ග දෙකෙන්ම ලැබ ගත්තා ආනිසංසය ප්රධාන වශයෙන් එකෙකි. එනම් අසංඛත ධාතුව ප්රත්යක්ෂ කර ගැනීමයි. අප්රධාන වශයෙන් සිතෙත් කයෙත් සැනසුම ආදි කොට ඇති ආනිසංසයෝ බොහෝ ලැබෙන්නාහ.
මේ සතිපට්ඨාන භාවනාව දේශනාමාර්ගයෙන් පැහැදිලි ලෙසින්ම ඉදිරිපත් කරන නාඋයනේ අරියධම්ම ස්ථවිර තම තමන් තුළ ඇති ප්රතිභාශක්තියත් භාවනා පරිචිතියත් උඩ සිත් යොමා ඉතා උසස් අර්ථයක් සිදුකරන සැටි අපට පෙනෙයි. මේ උසස් අවස්ථාවෙන් නිසි ප්රයෝජන සලසා ගැනීමට හැම දෙනාම උනන්දුවිය යුතු බව මතක් කරමි.
කළෙකිනී බුදුකෙනෙකුන් උපදින්නේ දුකෙකිනී මිනිසත් බව ලැබගන්නේ මෙදෙකිනී මෙසසර දුක් දුරු ලන්නේ සුදනෙනී කිම විරිය නොකරන්නේ ?
මා. ඤාණාරාම මහා ස්ථවිර නිස්සරණවනය, මීතිරිගල. 1989 දෙසැම්බර් 29
හැඳින්වීම
බුද්ධොත්පාදය, මිනිසත් බව, හේතු සම්පත්තිය, පැවිදි බව, සද්ධර්මය හා කල්යාණමිත්ර සම්පත්තියද අතිශයින් දුර්ලභය. ඒ සියල්ල මේ කාලයේ එක්තැන් ලැබී තිබීම බෝධ්යාශයේ උතුම් භාග්යයකි. ජෝති ජෝතිපරායන වීමෙ හෙවත් එළියෙන් එළියට යාමේ අවස්ථාව උදාවී ඇති බැවිනි.
ලොව පහළවූ අනන්ත සර්වඥයන් වහන්සේලා විසින් එකලෙස දේශනා කරන ලද අවිරහිත දේශනාවක්වූ සතිපට්ඨාන සූත්රාන්ත දේශනාව වනාහි, භාවනා කර්මස්ථාන විසි එකකින් යුක්තවූ එකායන මාර්ග දේශනාවකි.
ආනාපාන සතිය - ඉරියාපථ මනසිකාරය - චතු සම්පජඤ්ඤ මනසිකාරය - පටිකූල මනසිකාරය - ධාතු මනසිකාරය හා නව සීවථිකය ද සමඟ කායානුපස්සනා භාවනා කර්මස්ථාන 14 කි. වේදනානුපස්සනා භාවනා 1 කි. චිත්තානුපස්සනා භාවනා කර්මස්ථාන 1 කි. ධම්මානුපස්සනා කර්මස්ථාන භාවනා වනාහි, නීවරණ විදර්ශනාව - ස්කන්ධ විදර්ශනාව - ආයතන විදර්ශනාව - බොජ්ඣංග - විදර්ශනාව ආර්ය සත්ය විදර්ශනාවද වශයෙන් පස් වැදෑරුම්වේ.
ආනාපාන සතිය හා පටිකූල මනසිකාරය සමථයෙන් පිවිස විදර්ශනාවට බසින කමටහන් වන අතර, ඉතිරි කමටහන් දහනවයම විදර්ශනා කර්මස්ථානයෝය. බුද්ධ ශාසනයේ පරමාර්ථය, සීලයෙන් සමථයටත්, සමථයෙන් විදර්ශනාවටත්, විදර්ශනාවෙන් මගපල නිවනටත්, පැමිණීමය. නිවන සඳහා වැඩිය යුතු භාවනා කමටහන් සියල්ලම මහා සතිපට්ඨාන සූත්රයට ඇතුළත්ය.
සතිපට්ඨාන භාවනාව ලැබෙන්නේ බුද්ධශාසනයක පමණි. අබුද්ධෝත්පාද කාලයකදී සතිපට්ඨාන භාවනාවක්ම නැත. බුදු බවට පත්වී දවසක් පැවැත්මීමෙන් පසු දවසට තෙවිටක් සහ පිරිසට අනුශාසනා කරන සර්වඥයන් වහන්සේ අප්පමාදෙන සම්පාදෙථ යයි “එළඹ සිටි නුවණින් පිළිවෙත් සම්පාදනය කරව්” යයි සුගතෝවාදයෙන් කරන අනුශාසනාවද සතිපට්ඨාන භාවනාවමය.
අද කාලයේ ඉන්දියාවේ නවදිල්ලි පෙදෙස බුද්ධ කාලයේ ප්රසිද්ධව තිබුණේ කුරු රට කම්මාස්සදම්ම නියම්ගම නමිනි. මහා සතිපට්ඨාන සූත්රය දේශනා කරන ලද්දේ එහිදීය. වැඩිහිටි බොද්ධයන් පමණක් නොව, නිවෙස්වල දස මෙහෙවර කරන දැසි දස් කම්කරු ජනතාව පවා සතිපට්ඨාන භාවනාව පෙළගස්වාගෙන කටයුතු කර ඇත. ගමින්ගම ඇවිදින තළ්වකුට අමතකවූ ගිරාපැටවකුට ‘අට්ඨි - අට්ඨි’ යනාදි අට්ඨික භාවනා උගන්වා එයින් ඔහුගේ ජීවිතය උකුස්සෙකුගෙන් බේරාගත් සැටිත්, පසු කලෙක ලක්දිව ඉපදි මහා ‘තිස්ස’ නමින් පැවිදිව අට්ඨික භාවනාවෙන්ම කෙලෙස් තවා රහත් වූ සැටිත් සතිපට්ඨාන අට්ඨකථාවෙහි දැක්වෙනුයේ තිරිසන්ගත අහේතුක පක්ෂියකුට පවා සතිපට්ඨාන භාවනාවෙන් පලයක් ලද හැකි බවට සාධක වශයෙනි.
සීලයෙක පිහිටා ගුරුඋපදේශ අනුව චතුරාරක්ෂා නම්වූ සතර කමටහන් වඩා සතිපට්ඨාන භාවනාව වඩන ගිහි පැවිදි යෝගාවචරයනට මේ ජීවිතයේදීම ආනිසංස නෙලා ගැනීමට ලැබෙනවා ඒකාන්තය. පෞරාණික බොහෝ යෝගාවචරයන් වහන්සේලා අවුරුදු ගණන් ‘ගතපච්චාගතික’ වත් පුරමින් සතිපට්ඨාන භාවනාවෙන්ම මාර්ගඵලාධිගම කල බව බොහෝ චරිතාපදානයන්ගෙන් පැහැදිලිව දක්නට ලැබේ. එහෙත් කමටහන් වැඩීමේදී පහළ වන පස්සද්ධි, සමාධි ලක්ෂණ මාත්රයෙන්ම මඟපල නිවන් නොලැබේ. ලබන ලදැයි පිළිගැනීමෙන් යෝගාවචරයන් නිවන් මඟ අතරමංවීම ගැන කමටහන් දෙන ගුරුවරුන් විසින් ඉතාමත් සුපරීක්ෂාකාරීව අවධානය යෙදිය යුතුව ඇත.
අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 35 වසරක සිට පවත්වාගෙන එනු ලබන කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ සංවිධානයෙන් හා ප්රධාන ලේකම් ධුරය දරණ සත්ගුණවත් යූ. එස්. මුදලිගේ මහත්මයාගේ උපදේශයෙන්ද අපගේ මෙහෙයවීමෙන්ද, කොළඹ මහජන පුස්තකාලයේ මසකට වරක් පවත්වනු ලැබූ භාවනා පාඩම් පෙළෙහි ආරම්භය වූයේ බුදුගුණ භාවනාවෙනි. 1984 ජූලි 06 වෙනිදා සිට පුරා අවුරුදු සතරක්ම බුදුගුණ, දහම්ගුණ, සඟගුණ, මෛත්රී - අසුභසති - මරණසති භාවනාවන් සවිස්තරව පුහුණු කරවන ලද්දේ සතිපට්ඨාන භාවනාවට බලසම්පන්න පදනමක්-අත්තිවාරමක් පිහිටුවා ගැනීම පිණිසය. රත්නත්රයේ ගම්භීර සුවිසි මහා ගුණය සහිත සතර කමටහන් ප්රගුණ කර ගත් යෝගාවචරයා, සතිපට්ඨාන භාවනාවෙන් කිසිසේත් නොපිරිහී, නිවන දක්වාම දියුණුවනු ඒකාන්තය. ඒ නිසා සතිපට්ඨාන භාවනාව වඩනු කැමති සෑම දෙනා විසින් සතර කමටහන් විශේෂයෙන් වැඩිය යුතුය.
කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමය මගින් පැවැත්වූ භාවනා සය භාවනා පොත් සතරක් වශයෙන් මුද්රණය කරවා ධර්මදානය වශයෙන් භාවනානුයෝගීන් වෙත බෙදා දී ඇත. සතිපට්ඨාන භාවනාව ඒ පොත් පෙළේ පස්වැන්නයි. ඉහත සඳහන් සතර කමටහන් නොවැඩූ අය විසින් සතිපට්ඨාන භාවනාව පටන් ගැනීමට පෙර සතර කමටහන් භාවනා ප්රගුණ කොට ගෙනම, ඉන් අනතුරුව සතිපට්ඨාන භාවනාව ආරම්භ කල යුතුවේ.
නවීන මෝටර් රථයක් පදවනු කැමති රියැදුරා විසින් පැට්රල් ඇන්ජින් ඔයිල් හා රෝද සතරට අවශ්ය පමණ සුළඟ පුරවා වාහනය පැදවිය යුතුවේයි. නොඑසේ නම් ගමන අතරමංවනු ඒකාන්තය. එසේම සති පට්ඨාන භාවනා යානාව නිවන් අභය පුරය වෙත පදවාගෙන යාම පිණිස, සීලයත් සතර කමටහන් භාවනාවත් නොඅඩුව පුරවා ගෙනම ගමන පටන්ගත යුතු වේ. එසේ සතිපට්ඨාන භාවනාව වඩන යෝගාවචරයා, අතරමං නොවී අමා මහ නිවනටම යනවා ඒකාන්තය.
මේ සතිපට්ඨාන භාවනා පොත වනාහි, දේශනා පාලියත්, සිංහල අනුවාදයත්, භාවනා උපදෙශත් ප්රායෝගික වශයෙන් වැඩිය යුතු භාවනා කර්මස්ථාන වාක්යයත්, ත්රිලක්ෂණ විදර්ශනාවත්, සහිතව භාවනා පාඩම් 25 කින් යුක්ත ග්රන්ථයකි. මසකට වරක් බැගින් වසර දෙකක් තුළ මේ භාවනා පාඩම් පුහුණු කිරීමේදී විශාල පිරිසක් සහභාගි වී ඇත. ඒ සෑමටමත්, මතුවට භාවනා වඩනු කැමති බොහෝ දෙනාටත්, මෙයින් ලැබෙන ප්රයෝජන අපමණය. මසකට වරක් බැගින් ඉදිරිපත් කරන ලද භාවනා පාඩම සහ මෙම භාවනා පොතද මැනවැයි ආශිර්වාද පූර්වාංගම ප්රසාදයෙන් අනුමත කොට වදාළ මීතිරිගල නිස්සරණවන සේනාසනාධිපති ප්රධාන කර්මස්ථානාචාර්ය අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේටත් ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ සමුත්පාදක ප්රධාන අනුශාසක අති පූජ්ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංසාභිධාන අස්සඤ්ඤාචාර්ය්ය මාහිමිපාණන් වහන්සේටත්, ශතවර්ෂාධික කාලයක් දීර්ඝායු ශ්රී සම්පත්තිය හා උතුම් ලොවුතුරා බුදුබව අත්වේවා! යි ගුරු භක්තියෙන් වැඳ නමස්කාර කරමි.
මුද්රණයට යෝග්ය වනසේ භාවනා පාඩම් පෙළ යතුරු කරවා සකස්කළ ගල්දූව අරණ්යවාසී හිතවත් වැවේගෙදර සෝමානන්ද ස්වාමීන් වහන්සේටත් රජයේ මුද්රණාලයේ මුද්රණය කරවීමට අනුමත කරමින් අනුග්රහ කල බෞද්ධ කොමසාරිස් පින්වත් එස්. කාරියවසම් මහත්මාණන්ටත්, ඒ සඳහා උපදෙශයෙන් කටයුතු මෙහෙයවූ පින්වත් යූ. එස්. මුදලිගේ ප්රධාන ලේකම් තුමාටත්, කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ නිලධාරී මණ්ඩලයට හා සාමාජික පිරිසටත් මේ පොත පරිහරණය කරමින් භාවනා වඩන සැමටත්, රත්නත්රයානුභාව බලයෙන් ආයුරාරෝග්යාදි සැප සම්පත් ලැබ, බුදු සසුන රැක ගැනීමේ ශක්තිය අභිවර්ධනය වී, මතු පැතු උතුම් බෝධියෙන් ශාන්ති ලක්ෂණ අමාත මහා නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සාක්ෂාත් වේවා !
මෙයට මෙත්ති. (අරියධම්ම)
අතිපූජ්ය නාඋයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේ ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය ගල්දූව, කහව. අම්බලන්ගොඩ
රාජ්ය සේවා බෞද්ධ සංගමයේ ප්රාර්ථනය
රාජ්ය සේවා බෞද්ධ සංගමයේ ආරාධනයෙන් අම්බලන්ගොඩ කහව ගල්දූව ගුණවර්ධන යෝගාශ්රමවාසී අතිපූජ්ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් මසකට වරක් බැගින් කොළඹ මහජන පුස්තකාලයේදී 1984 ජූලි මස 6 වන දින සිට මේ දක්වා පවත්වන ලද භාවනා පන්තියේ උගන්වන ලද භාවනා පාඩම් ආශ්රයෙන් සකස් කරන ලද පස්වැනි ධර්ම ග්රන්ථයයි. සතිපට්ඨාන භාවනා පොත. පිළිවෙලින් බුදු ගුණ භාවනාව, දහම් ගුණ භාවනාව, සඟ ගුණ භාවනාව යන ග්රන්ථ තුන ද, මෛත්රී භාවනාව, පිළිකුල් භාවනාව හා මරණානුස්සති භාවනාව එක් පොතක් වශයෙන් ද, සතර කමටහන් මුද්රණය කර බෙදා දෙන ලදී.
“බුද්ධානුස්සති මෙත්තාව අසුභං මරණස්සති ඉති ඉමා චතුරාරක්ඛා භාවෙය්ය සීලවා”
ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා ඇති භාවනා පටිපද පිළිවෙත අනුව පළමුකොට සතර කමටහන් වඩා, සතර සතිපට්ඨාන භාවනා වැඩීම මගපල නිවන් පසක් කර ගැනීමේ ඒකායන මාර්ගය බැවින්, ඒ අනුවම අපගේ අනුශාසක අතිපූජ්ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් සතර කමටහන් උගන්වා අනතුරුව ප්රායෝගික වශයෙන් සතිපට්ඨාන භාවනාවට අයත් පරිච්ඡේද 21 ක් පාඩම් වශයෙන් 25 කට බෙදා මාස 25 කින් උගන්වා තමන් වහන්සේගේ භාවනා අත්දැකීම් ද, උපයෝගී කර ගනිමින් භාවනා වඩන යෝගීන්ට උචිත අන්දමින් සකස් කර ඇති මෙම සතිපට්ඨාන ධර්මග්රන්ථය අති ශ්රේෂ්ඨතම ධර්ම ග්රන්ථයක් බව සඳහන් කරනුයේ ඉමහත් ශ්රද්ධාවෙනි.
භාවනා උගන්වන භාවනා මධ්යස්ථාන වර්තමානයෙහි සුලභවීම, සුභදායක වූවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති පරිදි ම, භාවනා වැඩීම බොහෝ ස්ථානවල සිදු නොවීම සතුටුදායක නොවන හෙයින්, රාජ්ය සේවා බෞද්ධ සංගමයේ සාමාජිකවරුන්ට හා අපගේ භාවනා පන්තියට පැමිණි භාවනා ක්රම හදාරණ පින්වතුන්ට ලැබී ඇති මෙම ධර්ම ලාභය අති විශාලය.
රජයේ සේවකයන් පිට පැවරී ඇති රාජකාරීමය, සාමාජික හා ආර්ථික ප්රශ්න නිසා අවිවේකී දුෂ්කර ජීවිත ගතකිරීමට සිදුවී ඇතත්, මෙලොව, පරලොව වාසනාවන්ත කරගැනීමටත් කෙලෙවර උතුම් නිවන් සුවයෙන් සැනසීමටත් භාවනා වැඩීම ඒකාන්තයෙන් මහත් රුකුලකි.
“පඤ්ඤාවන්තස්සායං ධම්මො - නායං ධම්මො දුප්පඤ්ඤස්ස” යන තථාගතයන් වහන්සේගේ ධර්ම උපදේශය අනුව අපටම වදාරා ඇති ධර්මයක් මෙත්ම විමුක්ති මාර්ගයක් බව සලකා ඉඩ ලැබෙන අන්දමින් අධිෂ්ඨාන ප්රතිබද්ධ වීර්යයෙන් යුක්තව ලැබී ඇති මෙම අවස්ථාවෙන් ප්රයෝජන ගැනීමට කරුණාධ්යාශයෙන් ආරාධනා කරමු.
රාජ්ය සේවයේ නියුතු හෝ විශ්රාමික පින්වතුන්ට රාජ්ය සේවා බෞද්ධ සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකි අතර, එමගින් මෙම ආගමික කටයුතු සංවිධානය කිරීමේ මහඟු කුසල කර්මයේ කොටස් කරුවෙකු විය හැකිය.
අවිශේෂයෙන් ඕනෑම ශ්රද්ධා බුද්ධි සම්පන්න ගිහි පින්වතුන්ට භාවනා පන්තියට සහභාගී වී භාවනා වඩා ගැනීමට සියලු පහසුකම් සලසා ඇත.
මෙම භාවනා පන්තිය පැවැත්වීම සඳහා ඉතාම කරුණාවෙන් වැඩම කරන එම ධර්ම ග්රන්ථ සකස් කර දෙන අතිපූජ්ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේටද, උන්වහන්සේට එසේ පැමිණ මෙසා විශාල ශාසනික සේවාවක් සිදු කිරීමට අවසරදී වදාල අතිපූජ්ය කඩවැද්දුවේ ජිනවංසාභිධාන නායක හිමිපාණන් වහන්සේට හා මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපති මාතර සිරිඤාණාරාමාභිධාන නායක ස්වාමින් වහන්සේටද දිගාසිරි සම්පත් ප්රාර්ථනා කරමින් උතුම් වූ ලොව්තුරා බුද්ධත්වය අත්වේවා! යි ප්රාර්ථනා කරමු. රාජ්ය සේවා බෞද්ධ සංගමය ආරම්භ කිරීමට රජයේ සේවක පිරිස් උනන්දු කරවා මෙම සංගමයේ ආරම්භක අනුශාසක ධූරන්ධර අමරපුර සංඝ සභාවේ සභාපති අතිපූජ්ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින් වහන්සේ මේ දිනවල විදේශ ධර්ම ප්රචාර සේවාවක නියුක්තවී සිටින හෙයින් මෙම ධර්ම ග්රන්ථයට පෙර වදනක් ලබා ගත නොහැකි වුවත් උන්වහන්සේගේ උපදෙස් හා ආශීර්වාද මත ආරම්භ කරන ලද මෙම භාවනා පන්තියෙන් සිදුවූ අසීමිත ශාන්තිය අනුස්මරණය කර උන්වහන්සේට ද දිඝාසිරි හා උතුම් නිවන් සුව ප්රාර්ථනා කරමු.
මේ හැර මෙම භාවනා පන්තිය පැවැත්වීමට මහජන පුස්තකාල ගොඩනැගිල්ල ලබා දෙන කොළඹ මහනගරාධිපති තුමා, නගරසභා ලේකම් එම්. එච්. සිරිමන් මහතා, පුස්තකාලයාධිපති එම්. ඩී. එච්. ජයවර්ධන මහතා, හා සේවක පිරිසටද, මෙම සතිපට්ඨාන භාවනා පොත ඉතා ශ්රද්ධාවෙන් මුද්රණය කර දුන් බෞද්ධ කටයුතු කොමසාරිස් සෝමරත්න කාරියවසම් මහතාට ද, රජයේ මුද්රණාලයාධිපති හා එම දෙපාර්තමේන්තුවේ බී. එස්. කුරේ මහතා, එච්. ඩබ්ලිව්. රත්නතිලක මහතා ආදි සැමටත්, රාජ්ය සේවා බෞද්ධ සංගමයේ විධායක කමිටුව ඇතුලු සමාජික පිරිසට හා භාවනා පන්තියට නොකඩවා සහභාගි වන සැදැවත් පිරිසටත්, මෙම සාරාණීය කුසල ශක්තියේ බලයෙන් ආයුරාරෝග්ය සැප සම්පත් ලැබීමටත්, සුවසේ පාරමී පුරා පැතූ බෝධියකින් උතුම් නිවන්සුව ලබා ගැනීමටත් හේතුවේවා!යි ප්රාර්ථනා කරමු.
වඳුරාපැ ද සිල්වා, වැඩබලන සභාපති; අභය වීරකෝන්, ආගමික අංශය භාර උප සභාපති; යූ. එස්. මුදලිගේ, ගරු ප්රධාන ලේකම්. රාජ්ය සේවා බෞද්ධ සංගමය, සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්යාංශය, මැදලේ විදිය, කොළඹ 2. 1990 නවම් මස 15 දින දීය.