ශමථ විදර්ශනා භාවනා මාර්ගය - මාතර ඥාණාරාම හිමි.pdf
typed
- කතෘ :
- මාතර ඥාණාරාම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2013
- මුද්රිත වර්ෂය :
- 2013
- පිටු ගණන :
- 246
- බාගත කිරීම් ගණන :
- 3,545
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-25
- ගොනුවේ ප්රමාණය :
- 2.3 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශමථ විදර්ශනා භාවනා මාර්ගය යනු අතිපූජ්ය පණ්ඩිත මාතර ශ්රී ඥානාරාම මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත ශමථ හා විදර්ශනා භාවනා ක්රම පිළිබඳ අගනා අත්පොතකි. මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ යෝගාවචරයන් වහන්සේලා උදෙසා උන්වහන්සේ විසින් ලබාදුන් උපදෙස්, කමටහන් සටහන් සහ අත්දැකීම් ඇසුරින් මෙම ග්රන්ථය සකස් කර ඇත.
මෙහි ශමථ භාවනාව වැඩීම, ධ්යාන උපදවා ගැනීම, විදර්ශනා කාණ්ඩය, විදර්ශනා ඥාන සහ නිවන් මග දක්වා වූ ප්රතිපත්ති මාර්ගය අනුක්රමයෙන් පැහැදිලි කර දී ඇත. මෙම සිව්වන මුද්රණය 2013 (බු.ව. 2556) වසරේදී මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මඟින් ධර්ම දානය පිණිස මුද්රණය කරවා ඇත.
- ශාසන සම්පත්තිය සහ ක්ෂණ සම්පත්තිය
- භාවනාරම්භය
- ධ්යාන භාවනා සහ මාර්ග භාවනා
- විදර්ශනා කාණ්ඩය හා විදර්ශනා ඥාන
- නිවන සහ ගැටපද මාලාව
සංඥාපනය (ප්රථම මුද්රණය) හැඳින්වීම
ශමථ භාවනා සහ විදර්ශනා භාවනා ක්රමය පිළිබඳ ඉතාමත් ආවශ්යක වූ උපදෙස් පෙළක් පහදා දෙන මේ ග්රන්ථය “ශමථ විදර්ශනා භාවනා මාර්ගය” නම් වේ.
ග්රන්ථ තත්ත්වය:
නීවරණාදී ප්රත්යනීක උපක්ලේශයන් දවන-තවන-උපතාපනය කරන-සංසිඳුවන චිත්තභාවනාව ශමථය යි. සම්මුතිය බිඳ සෑම අරමුණකම ඇති නාමරූප-ස්කන්ධ-ආයතන-ධාතු-සත්ය-ප්රතීත්යසමුත්පාදාදි පරමාර්ථයන් සහ අනිත්ය-දුඃඛ-අනාත්මලක්ෂණය ද විවිධාකාරයෙන් විශේෂාකාරයෙන් දක්නා වූ ප්රඥා භාවනාව විදර්ශනාවයි.
ශමථයෙන් චිත්තෛකාග්රතාවත් විදර්ශනාවෙන් යාථාභූත ඥානාදර්ශනයත් උපදවා ගැනීමේ උපාය මාර්ගය මේ භාවනා ග්රන්ථයෙන් මතුකොට දෙනු ලැබේ. ත්රිහේතුක ප්රතිසන්ධියක් ඇතිව ජාතිප්රඥාවෙන් සමන්විත වූ සසර භය දක්නා වූ නැණවත් කෙනකුන් හට සිහියත්- වීර්ය්යයත්-නුවණත් පෙරටුකොට සිවු පිරිසුදු සීලයෙහි පිහිටා, ශමථ විදර්ශනා භාවනා වැඩීමෙන් ම මාර්ග ඵල හා අසංඛත ධාතු සංඛ්යාත නිර්වාණ ධාතුව ප්රත්යක්ෂ කරගත හැකි වන්නේය. අත්යුත්තම වූ ශාන්ත පද නිර්වාණයට සැපත්වීමේ අනුපූර්ව ප්රතිපත්ති ක්රමය සාර්ථක ලෙස අනුගමනය කිරීමට කල්යාණමිත්ර සම්පත්තිය ඒකාන්තයෙන් ම ආවශ්යක වන්නේය.
මෙකල භාවනා වැඩීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩි වන බව පෙනෙන්නට තිබේ. භාවනාවෙන් අධ්යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහී ඇත. සඳමඬල තෙක් අවකාශය තරණය කළ නමුත් එයින් නොලද හැකි ලොවුතුරු අමා සුවයක් භාවනාවෙන් ලද හැකි බව ඇතැම් බටහිර පඬිවරයන් පවා පිළිගෙන ඇත්තේය. භාවනාව ගැන මෙතරම් උනන්දුවක් ඇතිවීමට එය ද එක හේතුවෙකි. සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදී ම අධ්යාත්මික වූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩන නිස්සරණාධ්යාශය ඇති යෝගාවචරයනට නිවන් මග පහදා දෙනු පිණිස ම මේ “ශමථ විදර්ශනා භාවනා මාර්ගය” නමැති ග්රන්ථය සම්පාදනය කර ඇත්තේය.
සම්පාදකයන් වහන්සේ:
මීතිරිගල නිස්සරණවන ආරණ්ය සේනාසනාධිපති ප්රධාන කර්මස්ථානාචාර්ය්ය අති පූජ්ය පණ්ඩිත මාතර ශ්රී ඥානාරාමාභිධාන මහෝපාධ්යාය ස්වාමීන්ද්රයන් වහන්සේ මේ භාවනා ග්රන්ථයේ කර්තෘන් වහන්සේ වෙති. ව්යවහාර වර්ෂ 1951 ජුනි 18 වෙනි දිනට යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දින සම්බුද්ධශාසනය රැක ගැනීම පිණිස ම අති පූජ්ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සමාරබ්ධ ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය සංඝ පීතෲන්වහන්සේ බවට පත් කරගනු ලැබූයේ ද මෙම සම්භාවනීය මහෝපාධ්යායන් වහන්සේය. චිරරාත්රඥ අති පූජ්ය මහෝපාධ්යායන් වහන්සේ වනාහි ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්රථම සඤ්ඤාලේඛකාචරිය මහෝපාධ්යාය අති පූජ්ය මාතලේ අග්ගධම්මාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අති ශ්රේෂ්ඨතම ශිෂ්ය රත්නයෙකි. ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ හිටපු අධිකරණ නායක ධුරන්ධර ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය අති පූජ්ය රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්රී සීලාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අද්විතීය ධර්මාන්තේවාසී ශිෂ්යරත්නයෙකි. සර්වඥ දේශිත විනය සූත්ර අභිධර්ම පිටකත්රය පිළිබඳ කුශාග්ර බුද්ධිමතෙකි. එළු-මගධ-සකු ඈ භාෂාවන් පිළිබඳ හා ඉතිහාස පුරාවිද්යා තර්ක න්යාය, කාව්ය ඡන්දොලංකාර විෂයන්හි ද ස්වසමය සමයාන්තරයන්හි ද තෙරපත් විශද ඥානප්රභාවයෙන් ප්රභාවිත අති උත්තම බුද්ධිමතෙකි.
දීර්ඝකාලීන ආරණ්ය වාසයෙන් කාය විවේකය හා චිත්ත විවේකය වළඳන උත්තමයාණන් වහන්සේ නමකි. ශමථ විදර්ශනා භාවනා පිළිබඳ විශේෂ අත්දැකීම් සහිතව කර්මස්ථාන භාවනා පුහුණු කරවන අති දුර්ලභ කර්මස්ථානාචාර්ය්යයන් වහන්සේ නමෙකි. ශීලාදි ගුණයෙන් ප්රියවූ ද, එසේ හෙයින් ම ගරු සම්භාවනීය වූ ද, අවවාද අනුශාසනා දෙන්නා වූ ද, නපුරු වචන ඉවසන සුළු වූ ද, ගැඹුරු දහම් පැහැදිලි කර දෙන්නා වූ ද, අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහිම යොදවන්නා වූ ද ශ්රේෂ්ඨතම කල්යාණ මිත්රයන් වහන්සේ නමෙකි.
පොත සැකසුණු අයුරු:
මේ ආත්මභාවයේ දීම ධ්යාන-අභිඥා-මාර්ග-ඵල උපදවා නිර්වාණයට පැමිණීමේ උත්තමාධ්යාශය ඇත්තා වූ යෝගාවචරයන් වහන්සේලා උදෙසා ම ව්යවහාර වර්ෂ 1967 දී ප්රසිද්ධ වෙළඳ ව්යාපාරික අශෝක වීරරත්න මහතා (පසුව පූජ්ය මීතිරිගල ධම්මනිසන්ති හිමි) විසින් ආරම්භකොට පවත්වනු ලබන ‘මීතිරිගල නිස්සරණවනය’ අරණ්ය සේනාසනයේ ප්රධාන කර්මස්ථානාචාර්ය්ය මහෝපාධ්යාය අතිපූජ්ය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ අතින් සම්පාදිත මේ භාවනා ග්රන්ථය වනාහි භාවනාභිලාෂී යෝගාවචර සැමදෙනා හට ම සඳහිරු ගමන්ගත් ගුවන්තලය සේ භාවනා මාර්ගය අතිශයින් පිරිසුදුව පැහැදිලි කරන්නේය.
ව්යවහාර වර්ෂ 1981 දෙසැම්බර් මස 11 වෙනිදාට අතිපූජ්ය මීතිරිගල මහෝපාධ්යාය මාහිමියන් වහන්සේට සම අසූවිය සපිරීම නිමිත්තෙන් 1981 අගෝස්තු මස 30 වෙනිදා පටන් නොවැම්බර් මස 15 වෙනිදා තෙක් සති අන්තයේ ඉරු දිනයන්හි මීතිරිගල නිස්සරණවනය සේනාසනයේ දී අතිශයින් විසිතුරු වූ සෙත් පැතීමේ පින්කම් පෙළක් පවත්වනු ලැබීය. විවේක සුවයෙන් භාවනානුයෝගීව ගත කරන යෝගාවචරයන් වහන්සේලාට බින්දුමාත්රයකුදු පළිබෝධයක් නොවන ලෙස ශ්රී කල්යාණී යෝගාශ්රමීය ආරණ්ය හා විවේක සේනාසන සියල්ල ම නියෝජනය වන පරිදි පවත්වනු ලැබූ ඒ පින්කම් පෙළ අතිශයින් ම ආදර්ශ සම්පන්න විය. ඒ විසිතුරු සෙත් පැතීමේ අසිරිමත් පින්කම් පෙළ පිළිබඳ සිහිවටනයක් වශයෙන් අති පූජ්ය මහෝපාධ්යායන් වහන්සේ අතින් සම්පාදිත විවිධාකාර, ශාස්ත්රීය ධර්ම ග්රන්ථ-ලිපි ලේඛන-ගාථා-කාව්ය ශ්ලෝක නිබන්ධ රාශියක් එක්තැන් කොට විශේෂ ග්රන්ථයක් මුද්රණය කරවා උපහාර පූජාවක් පැවැත්වීමට යෝජනා කෙළෙමු. අතිපූජ්ය මහෝපාධ්යායයන් වහන්සේගේ කාරුණික අවසරය ද ඉතා අපහසුවෙන් ලබා ගතිමු.
යථෝක්ත කාරණය පිළිබඳ සාතිශය ප්රමෝදයට පත් අස්මදාචාර්ය්ය අතිපූජ්ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ ලිපි ලේඛනාදිය සපයා දීමෙන් අපව දිරි ගැන්වූහ. අතිපූජ්ය ත්රිපිටක වාගීශ්වරාචාර්ය්ය විද්යාවිසාරද රාජකීය පණ්ඩිත ඉඳුරුවේ ශ්රී උත්තරානන්දාභිධාන ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමියන් වහන්සේ ද දහසක් ශාසනික කටයුතු මධ්යයේ අතිපූජ්ය මහෝපාධ්යාය මාහිමියන් වහන්සේගේ ජීවන චරිතය විදහාපාන මනස්කාන්ත ප්රස්ථාවනාවක් සම්පාදනය කළහ.
ග්රන්ථයේ වැඩ කටයුතු නිමවා මුද්රණයට දීමට ඉතාමත් ආසන්නව තිබියදී පැවැදි ගිහි යෝගාවචරයන්ගේ ප්රයෝජනය පිණිස අවශ්ය ම වන්නා වූ “ශමථ විදර්ශනා භාවනාමාර්ගය” පළමු වරට මුද්රණය කරවිය යුතුය යනු අතිපූජ්ය මහෝපාධ්යාය මාහිමියන් වහන්සේගේ බලවත් අදහස විය. එබැවින් යට සඳහන් ශාස්ත්රීය ධර්ම ග්රන්ථ මතුවට තබා මෙම භාවනා ග්රන්ථය පළමුවෙන් මුද්රණය කරවීමට ඉදිරිපත් වූ බව, ඒ සඳහා මහත් උනන්දුවෙන් සහාය දුන් පැවැදි ගිහි සත්පුරුෂ මණ්ඩලයට කෘතඥතා පූර්වකව ඉතා සැලකිල්ලෙන් සිහිපත් කරවමු.
මෙම භාවනා උපදෙස් පිළිබඳ ග්රන්ථය වනාහි අතිපූජ්ය මහෝපාධ්යායන් වහන්සේගේ සටහන් පොත්වල වරින් වර සටහන් කරන ලද කරුණු, භාවනා පිළිබඳ ලියා තබන ලද විශේෂ ලිපි, කමටහන් වඩන යෝගාවචරයන් උදෙසා පිළිවෙලින් දෙන ලද අවවාද අනුශාසනා හා තමන් වහන්සේ ම ලත් අත්දැකීම් ආදී කරුණු රාශියක එකතුවෙකි. භාවනා කිරීමේ අවශ්යතාව, භාවනා නොවැඩීමේ හේතු, ගුරුඋපදේශ රහිතව භාවනා කිරීමෙන් නොමඟ යාම හා අතරමං වීම ආදිය පිළිබඳ අතිශයින් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරමින් ශමථ විදර්ශනා භාවනා වැඩීමේ ආරම්භයේ පටන් මග-පල-නිවන-පලසමවත් සුවය තෙක් ඉතාමත් අවශ්ය උපදෙස් මග පැහැදිලි කරමින් සම්පාදනය කර තිබේ.
මීට වසර කීපයකට පෙර අති පූජ්ය මහෝපාධ්යාය මාහිමියන් වහන්සේ අතින් සම්පාදිත “විදර්ශනා ඥාන හා සප්තවිශුද්ධිය” නමැති භාවනා ග්රන්ථය උගත් බහුශ්රැත යෝගාවචරයනට සහ බොහෝ කලක් භාවනා පුරුදු කළ යෝගාවචරයනට ද මහර්ඝ හස්ත සාර වස්තුවක් බවට පත්විය. භාවනා කිරීමට පටන් ගන්නා ආදිකාර්මික යෝගාවචරයන්ගේ පටන් භාවනා ප්රගුණ කළ උගත් බහුශ්රැත යෝගාවචරයන් දක්වා සෑම දෙනාට ම මේ ශමථ විදර්ශනා භාවනා මාර්ගය අතිශයින් ප්රයෝජනවත් වන්නේය. භාවනා සුවඳ ඔස්සේ එන පෙර-අපර දෙදිග විදේශීය යෝගාවචරයනට ද ප්රයෝජනවත් ලෙස මේ ග්රන්ථය ඉංග්රීසි භාෂාවෙන් ද මුද්රණය කරවීමට වැඩිකල් ගත නොවේවා. ධ්යාන විදර්ශනා ක්රමය ඉතාමත් පුළුල් ලෙසින් දක්වන විසුද්ධිමාර්ග ග්රන්ථය පරිශීලනය කිරීමෙන් ලබාගත යුතු වන භාවනා ක්රමය පිළිබඳ අවබෝධය මේ ග්රන්ථයෙන් යෝගාවචරයනට ලැබිය හැකි වනු ඒකාන්තය. එය එසේම වේවා.
උපකාරානුස්මෘති:
විවිධ ශාස්ත්රීය විෂයන් හි ප්රවීණ එහෙත් අද යෝගී ජීවිත ගත කරන ඇතැම් යෝගාවචරයන් වහන්සේලා සිය විවේකය ද රැකගෙන මෙම මාහැඟි කර්තව්යය සඳහා ලිපි කොපිකර දීමෙන් හා ටයිප් කර දීමෙන් ද විශේෂ උපදෙස් දීමෙන් ද සහාය වූ බව කෘතඥතා පූර්වකව සඳහන් කරම්හ.
විශේෂයෙන් පූර්වෝක්ත මහා ග්රන්ථය සම්පාදනය කිරීම සඳහා ලිපි ලේඛන සැපයීමෙන් හා අවශ්ය කඩදාසි ආදී හැම උපකරණයක් ම කලට වේලාවට සැපයීමෙන් මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය සහාය වූ බව සිහිපත් කරන අතර ඒ පින්වත්හු ද තම තමන්ගේ සියලු පැතුම් සපුරා ගෙන අමාමහ නිවනින් සැනසෙත්වා.
මේ භාවනා ග්රන්ථය මුද්රණය කරවා ධර්මදාන වශයෙන් බෙදාදීමට ඉමහත් ශ්රද්ධාවෙන් භක්තියෙන් ඉදිරිපත් වූ කොළඹ 5, උද්යාන පාරේ,
සංඥාපනය (තෙවන මුද්රණය)
ගැටපද මාලාවක් ද සහිතව දෙවන මුද්රණය 1988 වර්ෂයේදී නිලඹ භාවනා මධ්යස්ථානයේ ජී. සමරරත්න මහතා විසින් ප්රකාශයට පත්කරන්නට යෙදුනි.
අතිගරු පූජනීය මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ම දෙවරක් මුද්රණය වූ මෙම ග්රන්ථය මාහිමිපාණන් වහන්සේගේ අවධානයට තව තවත් යොමුවිය. මේ තෙවැනි මුද්රණයේ දී මාහිමිපාණන් වහන්සේ පරිශීලනය කළ පෞද්ගලික පිටපතෙහි සඳහන්ව ඇති සංශෝධන ද ඇතුළත් කොට ඇත.
සූ යශස්ථාම පුණ්ය ඍද්ධි ප්රඥා මහන්තතාවෙන් අග්රතැන්පත් දශබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ පවා ආයුෂ ගෙවී පිරිනිවීම ස්වභාව ධර්මයකි. එසේ නම් කවර සංස්කාරයක් සදාකල් පවත්නේ ද? නැත. අපේ අතිගරු පූජනීය මහෝපාධ්යායන් වහන්සේ ද පුරා අවුරුදු 91ක් ආයු වළඳා 1992 අප්රෙල් 30 වැනිදා සතෝ සම්පජඤ්ඤකාරීව සිහිනුවණින් යෙදී අපවත් වූ සේක. අහෝ! සියලු සංස්කාරයෝ අනිත්යයෝය, දුක්ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය. මාහිමිපාණන් වහන්සේ තවමත් ජීවමානව වැඩ සිටින්නා සේ දේශනා කළ, රැස් කළ ධර්මය හා ගුණ ධර්ම සම්භාරය අදත් එසේම පවතී.
අතිගරු පූජනීය මහෝපාධ්යාය මහාමිපාණන් වහන්සේගේ ශීලාදි අනුත්තර ගුණ විශේෂයෙහි ලා අතිශයින් ප්රසාදයට පත්ව, වර්ෂ ගණනාවක් තිස්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි මහා සංඝරත්නයේ පරිහරණය සඳහා මහාපරිමාණයේ ඖෂධ පූජාවක් පවත්වන ලෝලුවාගොඩ සහ ඇටඹේ, මීතිරිගල නිස්සරණ වනය දාන උපස්ථායක සමිතිය මගින් තෙවන වරට මෙම භාවනා ග්රන්ථය විශාල මුදලක් වැයකොට ධර්මදානය පිණිස මුද්රණය කරනු ලබන්නේ ඖෂධ පූජාවත් සමග ධර්මෞෂධ පූජාමය පුණ්ය සම්භාර ලාභය අත්පත් කර ගැනීමත් අපවත් වී වදාළ අතිගරු පූජනීය මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේගේ ශ්රී නාමයට ගෞරවෝපහාර පූජා පිණිසත්ය. එම සත්පුරුෂ දායක මණ්ඩලයට තව තවත් ධර්ම ඥාන භාවනා ඥාන මුදුන්පත් වී පැතූ උතුම් බෝධියෙකින් ශාන්ති ලක්ෂණ අමෘත මහා නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සුවසේම සාක්ෂාත් වේවා!
“සෝභන ලෙස පොත මුද්රණය කළ ශික්ෂා මන්දිර ප්රකාශන ආයතනයේ සැමටත් තෙරුවන් සරණින් ගුණ නුවණින්, ධන ධාන්යයෙන්, යස ඉසුරින් හා සැප සම්පතින් තව තවත් දියුණුව අත්වේවා”යි ආශිංසනය කරමි.
සම්බුද්ධ ශාසනයට නව ජීවයක් ගොඩනංවා අපවත් වී වදාළ අතිගරු පූජනීය පණ්ඩිත මාතර ශ්රී ඥානාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේගේ සම්යක් ප්රාර්ථනා සියල්ල සමෘද්ධ වී ප්රාර්ථනීය උතුම් බෝධි ඥානයෙන් ශාන්ති ලක්ෂණ අමෘත මහා නිවාර්ණ ධාතුව ඒකාන්තයෙන් සුවසේ සාක්ෂාත් වේවා!
මෙයට මෙත්පැති නාඋයනේ අරියධම්ම ස්ථවිර ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව, කහව. 2537 - 1994.05.07
නාඋයනේ අරියධම්ම ස්ථවිර
ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය,
ගල්දූව, කහව.
2537 - 1994.05.07
ප්රස්ථාවනාව
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
බුද්ධොත්පාදය වැනි උතුම් කාලයක් ලබාගත් තැනැත්තා විසින් කර ගත යුතු නියම පින්කම භාවනාව යි. එහෙයින් ම මේ කාලයේ භාවනාව ගැන නොයෙක් විදියේ කථාත් විසිතුරු සිතිවිලිත් පැවැත්වීම අතිශයින් සුදුසු සේ සලකමු. භාවනාව වැනි නිරාමිෂ පින්කම්වලට සිත නැමෙන්නේ ද බලවත් උපකාරක ප්රත්යන්ගේ මෙහෙයීමකිනි. එය ද අතිශය දුර්ලභ සිදුවීමෙකි. එහෙයින් මහජනයා තුළ පවත්නා ඒ හොඳ වාසනාවත් හැඟීම බිඳ දැමීමට හෝ යටපත් කිරීමට උත්සාහ කළ යුතු නො වේ. එය වැඩෙන ලෙසට කථා කළ යුතුයි.
භාවනාව නම් “සිත කිලිටි කරනා රාගාදි පව් නසනා සිතිවිලි” බව පැරණි උගතුන් පැවැසූහ. රාග, ද්වේෂ, මොහ, මදමාන, මාත්සර්යාදි කෙලෙසුන් නිසා සිත කෙලෙසෙන සැටි ඔබට ප්රත්යක්ෂ විය යුතු ය. කුණුගොඩේ ස්වභාවය තමාගේ අපිරිසිදුකම රැක ගනිමින් තමා වසන තැන ද කුණු දුගඳ බවට හැරවීම ය. එයින් ඒ ස්ථානය නරකව හැරීම සමග ම නරක විපාක සලසාලීම ද කරන බව ප්රසිද්ධ ය. රාගාදි පව්වල සැටි ද එසේ ය. එයින් නො කිය හැකි තරම් නරක විපාක රැසක් සැලසෙයි. මේ ගතිය නසන සිතුචිලි භාවනා යැයි ඔවුන් කී සැටි කදිම ය. පව් නසනා සිතිවිලිවල තව ද ශක්තියෙක් වෙයි. එනම් කුසල් පහළ කරනා සැටිය යි. සිතිවිල්ලෙකින් පව් නැසෙන්නේ එහි පහළ කරගත් කුසල බලවේගයෙනි. එහෙයින් භාවනාවේ දී සිදුවිය යුත්තේ අභ්යන්තරයෙහි කුශල බලවේගය බලවත් වීම යි. කුසල් අතින් සිත දියුණුවට පත්වීම යි.
අකුසල් හෝ කුසල් හෝ නො සිතා නිකම්ම සිත තබා ගැනීම භාවනාවෙක් නො වේ යයි කිය යුත්තේ මේ කාරණය අනුව ය. භාවනාවක දී පහළ කැරෙන කුසල් කවරේදැයි නියම අන්දමින් භාවනාව කරන්නකුට විසඳා දීමට හැකි විය යුතුය. භාවනාවක් කරගෙන යන කල්හි වෙනත්