ශමථ විදර්ශනා භාවනා මාර්ගය - මාතර ඥාණාරාම හිමි.pdf
scanned
- කතෘ :
- මාතර ඥානාරාම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1994
- මුද්රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 248
- බාගත කිරීම් ගණන :
- 2,784
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-22
- ගොනුවේ ප්රමාණය :
- 75 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශමථ විදර්ශනා භාවනා මාර්ගය යනු මීතිරිගල නිස්සරණ වන ආරණ්ය සේනාසනාධිපතිව වැඩවිසූ අතිපූජ්ය පණ්ඩිත මාතර ශ්රී ඥානාරාම මහෝපාධ්යාය ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදිත ප්රායෝගික භාවනා අත්පොතකි. භාවනා වඩන යෝගාවචරයන්ගේ ප්රයෝජනය සඳහා උන්වහන්සේගේ අත්දැකීම්, සටහන් සහ කමටහන් උපදෙස් ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
මෙම කෘතිය මගින් ශමථ හා විදර්ශනා භාවනා වඩා මාර්ග ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ ක්රමවේදය මුල සිට අග දක්වා සවිස්තරව විග්රහ කෙරේ. මෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා:
- ශාසන සම්පත්තිය හා ක්ෂණසම්පත්තිය
- භාවනාරම්භය
- ධ්යාන භාවනා හා මාර්ග භාවනා
- විදර්ශනා කාණ්ඩය
- නිවන
- ගැටපද මාලාව සහ උප ලේඛනය
ප්රථම වරට 1983 දී මුද්රණය වූ මෙම කෘතිය, 1988 දී දෙවන වරටත්, අනතුරුව උන්වහන්සේගේ පෞද්ගලික පිටපතෙහි තිබූ සංශෝධන ද ඇතුළත් කරමින් 1994 දී තෙවන වරටත් මුද්රණය විය. මෙම පිටපත තායිවානයේ The Corporate Body of the Buddha Educational Foundation මගින් නොමිලේ බෙදාහැරීම සඳහා මුද්රණය කරන ලද්දකි.
සංඥාපනය (ප්රථම මුද්රණය)
හැඳින්වීම:
ශමථ භාවනා සහ විදර්ශනා භාවනා ක්රමය පිළිබඳ ඉතාමත් ආවශ්යක වූ උපදෙස් පෙළක් පහද දෙන මේ ග්රන්ථය “ශමථ විදර්ශනා භාවනා මාර්ගය” නම් වේ.
ග්රන්ථ තත්ත්වය:
නීවරණාදී ප්රත්යනීක උපක්ලේශයන් දමන - තවන - උපතාපනය කරන සංසිඳුවන චිත්තභාවනාව ශමථ යයි. සම්මුතිය බිඳ සැම අරමුණකම ඇති නාමරූප - ස්කන්ධ - ආයතන - ධාතු - සත්ය - ප්රතීත්යසමුත්පාදා දී පරමාර්ථයන් සහ අනිත්ය - දුක්ඛ - අනාත්ම ලක්ෂණය ද විවිධාකාරයෙන් විශේෂාකාරයෙන් දක්නා වූ ප්රඥා භාවනාව විදර්ශනාවයි.
ශමථයෙන් චිත්තේකාග්රතාවන් විදර්ශනාවෙන් යථාභූත ඥානදර්ශනයත් උපදවා ගැනීමේ උපාය මාර්ගය මේ භාවනා ග්රන්ථයෙන් මතුකොට පෙන්වනු ලැබේ. ත්රිහේතුක ප්රතිසන්ධියක් ඇතිව ජාතිප්රඥාවෙන් සමන්විත වූ සසර භය දක්නා වූ නැණවත් කෙනකුන් හට සිහියත් - වීර්ය්යයත් - නුවණත් පෙරටුකොට සිවු පිරිසුදු සීලයෙහි පිහිටා, ශමථ විදර්ශනා භාවනා වැඩීමෙන් ම මාර්ග ඵල හා අසංඛත ධාතු සංඛ්යාත නිර්වාණ ධාතුව ප්රත්යක්ෂ කරගත හැකි වන්නේය. ඒ අත්යුත්තම වූ ශාන්ත පද නිර්වාණයට පැමිණීමේ අනුපූර්ව ප්රතිපත්ති ක්රමය සාර්ථක ලෙස අනුගමනය කිරීමට කල්යාණමිත්ර සම්පත්තිය ඒකාන්තයෙන් ම ආවශ්යක වන්නේය.
මෙකල භාවනා වැඩීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩිවන බව පෙනෙන්නට තිබේ. භාවනාවෙන් ආධ්යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහී ඇත. සඳමඬල තෙක් අවකාශය තරණය කළ නමුත් එයින් නොලදහැකි ලොවුතුරු අමෘත සුවයක් භාවනාවෙන් ලදහැකි බව ඇතැම් බටහිර පඬිවරයන් පවා පිළිගෙන ඇත්තේය. භාවනාව ගැන මෙතරම් උනන්දුවක් ඇතිවීමට එය ද එක් හේතුවෙකි. සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදීම ආධ්යාත්මික වූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩන නිස්සරණාධ්යාශය ඇති යෝගාවචරයනට නිවන් මඟ පහදා දෙනු පිණිස ම මේ “ශමථ විදර්ශනා භාවනා මාර්ගය” නමැති ග්රන්ථය සම්පාදනය කර ඇත්තේය.
සම්පාදකයන් වහන්සේ:
මීතිරිගල නිස්සරණවන ආරණ්ය සේනාසනාධිපති ප්රධාන කර්මස්ථානාචාර්ය අතිපූජ්ය පණ්ඩිත මාතර ශ්රී ඤාණාරාමාභිධාන මහෝපාධ්යාය ස්වාමීන්ද්රයන් වහන්සේ මේ භාවනා ග්රන්ථයේ කර්තෘන් වහන්සේ වෙති. ව්යවහාර වර්ෂ 1951 ජුනි 18 වෙනි දිනට යෙදී තිබුණු පොසොන් පුර පසළොස්වක් පොහෝ දින සම්බුද්ධශාසනය රැකගැනීම පිණිසම අතිපූජ්ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සමාරබ්ධ ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය්ය සංඝ පීතෘන්වහන්සේ බවට පත්කර ගනු ලැබූයේ ද මෙම යශෝභාවනීය මහෝපාධ්යායන් වහන්සේය. චිරරාත්රඥ අතිපූජ්ය මහෝපාධ්යායන් වහන්සේ වනාහි ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්රථම සංඥාලේඛකාචාර්ය්ය මහෝපාධ්යාය අතිපූජ්ය මාතලේ අග්ගධම්මාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අතිශ්රේෂ්ඨතම ශිෂ්ය රත්නයෙකි. ශ්රී ලංකා රාමඤ්ඤ මහානිකායේ හිටපු අධිකරණ නායක ධුරන්ධර ත්රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජ්ය රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්රී සීලාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අද්විතීය ධර්මාන්තේවාසී ශිෂ්යරත්නයෙකි. සර්වඥ දේශිත විනය සූත්ර අභිධර්ම පිටකත්රය පිළිබඳ කුශාග්ර බුද්ධිමතෙකි. එළු - මගධ - සකු ඈ භාෂාවන් පිළිබඳ හා ඉතිහාස පුරාවිද්යා තර්ක න්යාය කාව්ය ඡන්දෝලංකාර විෂයයන්හි ද ස්ව සමය සමයාන්තරයන්හි ද මෙරපත් විශද ඥානප්රභාවයෙන් ප්රභාවිත අතිඋත්තම බුද්ධිමතෙකි.
දීර්ඝකාලීන ආරණ්ය වාසයෙන් කාය විවේකය හා චිත්ත විවේකය වළඳන උත්තමයාණන් වහන්සේ නමෙකි. ශමථ විදර්ශනා භාවනා පිළිබඳ විශේෂ අත්දැකීම් සහිතව කර්මස්ථාන භාවනා පුහුණු කරවන අතිදුර්ලභ කර්මස්ථානාචාර්ය්යයන් වහන්සේ නමෙකි. සීලාදි ගුණයෙන් ප්රියවූ ද, එසේහෙයින් ම ගරු සම්භාවනීය වූද, අවවාද අනුශාසනා දෙන්නාවූද, නපුරු වචන ඉවසන සුළුවූ ද, ගැඹුරු දහම් පැහැදිලිකර දෙන්නාවූ ද, අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහිම යොදවන්නාවූ ද ශ්රේෂ්ඨතම කල්යාණ මිත්රයන් වහන්සේ නමෙකි.
පොත සැකසුණු අයුරු:
මේ ආත්මභාවයේදීම ධ්යාන - අභිඥා - මාර්ග - ඵල උපදවා නිර්වාණයට පැමිණීමේ උත්තමාධ්යාශය ඇත්තාවූ යෝගාවචරයන් වහන්සේලා උදෙසාම ව්යවහාර වර්ෂ 1967 දී ප්රසිද්ධ වෙළඳ ව්යාපාරික අශෝක වීරරත්න මහතා (පසුව පූජ්ය මීතිරිගල ධම්මනිසන්ති හිමි) විසින් ආරම්භකොට පවත්වානු ලබන මීතිරිගල නිස්සරණවන ආරණ්ය සේනාසනයේ ප්රධාන කර්මස්ථානාචාර්ය්ය මහෝපාධ්යාය අතිපූජ්ය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ අතින් සම්පාදිත මේ භාවනා ග්රන්ථය වනාහි භාවනාභිලාෂී යෝගාවචර සැමදෙනාහටම සඳ හිරු ගමන්ගත් ගුවන් තලය සේ භාවනා මාර්ගය අතිශයින් පිරිසුදුව පැහැදිලි කරන්නේය.
ව්යවහාර වර්ෂ 1981 දෙසැම්බර් මස 11 වෙනිදිනට අතිපූජ්ය මීතිරිගල මහෝපාධ්යාය මාහිමියන් වහන්සේට සම අසූවිය සපිරීම නිමිත්තෙන් 1981 අගෝස්තු මස 30 වෙනිද පටන් නොවැම්බර් මස 15 වෙනිද තෙක් සති අන්තයේ ඉරු දිනයන්හි මීතිරිගල නිස්සරණවන සේනාසනයේ දී අතිශයින් විසිතුරු වූ සෙත් පැතීමේ පින්කම් පෙළක් පවත්වනු ලැබීය. විවේක සුවයෙන් භාවනානු යෝගීව ගතකරන යෝගාවචරයන් වහන්සේලාට බින්දුමාත්රයකුදු පළිබෝධයක් නොවන ලෙස ශ්රී කල්යාණී යෝගාශ්රමීය ආරණ්ය හා විවේක සේනායන සියල්ලම නියෝජනය වන පරිදි පවත්වනු ලැබූ ඒ පින්කම් පෙළ අතිශයින් ම ආදර්ශ සම්පන්න විය. ඒ විසිතුරු සෙත්පැතීමේ අසිරිමත් පින්කම් පෙළ පිළිබඳ සිහිවටනයක් වශයෙන් අතිපූජ්ය මහෝපාධ්යායන් වහන්සේ අතින් සම්පාදිත විවිධාකාර; ධර්ම ශාස්ත්රීය ග්රන්ථ - ලිපි ලේඛන - ගාථා - කාව්ය ශ්ලෝක නිබන්ධ රාශියක් එක්තැන් කොට විශේෂ ග්රන්ථයක් මුද්රණය කරවා උපහාර පූජාවක් පැවැත්වීමට යෝජනා කෙළෙමු. අතිපූජ්ය මහෝපාධ්යායයන් වහන්සේගේ කාරුණික අවසරය ද ඉතා අපහසුවෙන් ලබා ගතිමු.
යථෝක්ත කාරණය පිළිබඳ සාතිශය ප්රමෝදයට පත් අස්මදාචාර්ය අතිපූජ්ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ ලිපි ලේඛනාදිය සපයා දීමෙන් අපව දිරි ගැන්වූහ. අතිපූජ්ය ත්රිපිටක වාගීශ්වරාචාර්ය විද්යාවිශාරද රාජකීය පණ්ඩිත ඉඳුරුවේ ශ්රී උත්තරානන්දාභිධාන ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමියන් වහන්සේ ද දහසක් ශාසනික කටයුතු මධ්යයේ අතිපූජ්ය මහෝපාධ්යාය මාහිමියන් වහන්සේගේ ජීවනචරිතය විදහාපාන මනස්කාන්ත ප්රස්තාවනාවක් සම්පාදනය කළහ.
ග්රන්ථයේ වැඩ කටයුතු නිමවා මුද්රණයට දීමට ඉතාමත් ආසන්නව තිබිය දී පැවිදි ගිහි යෝගාවචරයන්ගේ ප්රයෝජනය පිණිස අවශ්යම වන්නාවූ “ශමථ විදර්ශනා භාවනාමාර්ගය” පළමුවරට මුද්රණය කරවිය යුතුය යනු අතිපූජ්ය මහෝපාධ්යාය මාහිමියන්ගේ බලවත් අදහස විය. එබැවින් යට සඳහන් ධර්ම ශාස්ත්රීය ග්රන්ථ මතුබට තබා මෙම භාවනා ග්රන්ථය පළමුවෙන් මුද්රණය කරවීමට ඉදිරිපත් වූ බව; ඒ සඳහා මහත් උනන්දුවෙන් සහාය දුන් පැවිදි ගිහි සත්පුරුෂ මණ්ඩලයට කෘතඥතා පූර්වකව ඉතා සැලකිල්ලෙන් සිහිපත් කරවමු.
මෙම භාවනා උපදෙස් පිළිබඳ ග්රන්ථය වනාහි අතිපූජ්ය මහෝපාධ්යායන් වහන්සේගේ සටහන් පොත්වල වරින් වර සටහන් කරන ලද කරුණු, භාවනා පිළිබඳ ලියා තබන ලද විශේෂ ලිපි, කමටහන් වඩන යෝගාවචරයන් උදෙසා පිළිවෙලින් දෙනලද අවවාද අනුශාසනා හා තමන් වහන්සේම ලත් අත්දැකීම් ආදී කරුණු රාශියක එකතුවෙකි. භාවනා කිරීමේ අවශ්යතාව, භාවනා නොවැඩීමේ හේතු, ගුරුපදේශ රහිතව භාවනා කිරීමෙන් නොමඟ යාම හා අතරමංවීම ආදිය පිළිබඳ අතිශයින් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරමින් ශමථ විදර්ශනා භාවනා වැඩීමේ ආරම්භයේ පටන් මග-පල-නිවන - ඵලසමවත් සුවය තෙක් ඉතාමත් අවශ්ය උපදෙස් මනා පැහැදිලි කරමින් සම්පාදනය කර තිබේ.
මීට වසර කීපයකට පෙර අතිපූජ්ය මහෝපාධ්යාය මාහිමියන් වහන්සේ අතින් සම්පාදිත (විදර්ශනා ඥාන හා සප්තවිශුද්ධිය) නමැති භාවනා ග්රන්ථය උගත් බහුශ්රැත යෝගාවචරයන්ට සහ බොහෝ කලක් භාවනා පුරුදු කළ යෝගාවචරයනට ද මහඟර්ඝ හස්ත සාර වස්තුවක් බවට පත්විය. භාවනා කිරීමට පටන් ගන්නා ආදිකාර්මික යෝගාවචරයන්ගේ පටන් භාවනා ප්රගුණ කළ උගත් බහුශ්රැත යෝගාවචරයන් දක්වා සැම දෙනාටම මේ ශමථ විදර්ශනා භාවනා මාර්ගය අතිශයින් ප්රයෝජනවත් වන්නේය. භාවනා සුවිඳ ඔස්සේ එන පෙර - අපර දෙදිග විදේශීය යෝගාවචරයනට ද ප්රයෝජනවත් ලෙස මේ ග්රන්ථය ඉංග්රීසි භාෂාවෙන් ද මුද්රණය කරවීමට වැඩිකල් ගත නොවේවා. ධ්යාන විදර්ශනා ක්රමය ඉතාමත් පුළුල් ලෙසින් දක්වන විසුද්ධිමාර්ග ග්රන්ථය පරිශීලනය කිරීමෙන් ලබාගත යුතු වන භාවනා ක්රමය පිළිබඳ අවබෝධය මේ ග්රන්ථයෙන් යෝගාවචරයනට ලැබිය හැකි වනු ඒකාන්තය. එය එසේම වේවා.
උපකාරානුස්මෘති:
විවිධ ශාස්ත්රීය විෂයයන්හි ප්රවීණ එහෙත් අද යෝගීජීවිත ගතකරන ඇතැම් යෝගාවචරයන් වහන්සේලා සිය විවේකය ද රැකගෙන මෙම මාහැඟි කර්තව්යය සඳහා ලිපි කොපිකර දීමෙන් හා ටයිප් කර දීමෙන් ද විශේෂ උපදෙස් දීමෙන් ද සහාය වූ බව කෘතඥතා පූර්වකව සඳහන් කරමිහ.
විශේෂයෙන් පූර්වෝක්ත මහා ග්රන්ථය සම්පාදනය කිරීම සඳහා ලිපි ලේඛන සැපයීමෙන් හා අවශ්ය කඩදාසි ආදී හැම උපකරණයක් ම කලට වේලාවට සැපයීමෙන් මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය සහාය වූ බව සිහිපත් කරන අතර ඒ පින්වත්හු ද තම තමන්ගේ සියලු පැතුම් සපුරා ගෙන අමාමහ නිවනින් සැනසෙත්වා.
මේ භාවනා ග්රන්ථය මුද්රණය කරවා ධර්මදාන වශයෙන් බෙදීමට ඉමහත් ශ්රද්ධාවෙන් භක්තියෙන් ඉදිරිපත් වූ කොළඹ 5, උද්යානපාරේ අංක 12, නිවැසි ශාසන හිතෛෂී සැදැහැවත් හේමා ප්රේමදාස බෞද්ධ මහෝපාසිකා මාතාව සහිත දරුපිරිස ගැන විශේෂයෙන් කෘතඥතා පූර්වකව පින්දෙන අතර තෙරුවන් සරණින් ඒ සැමටම ආයුරාරෝග්ය සම්පත් හා ශාන්ත නිර්වාණ සම්පත් අත්වේවා යි ඉතසිතින් ප්රාර්ථනා කරමු. මේ භාවනා ග්රන්ථය සංස්කරණයේදී නන්ලෙසින් උපකාර වූ හිතෛෂී සෑම දෙනාටත් ශෝභන ලෙස මුද්රණය කරවූ තිසර මුද්රණාලයේ අධ්යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ අවංක ස්තූතිය හිමි වේ.
අපගේ විශේෂ ප්රාර්ථනය:
ශ්රී සම්බුද්ධ ශාසනයේ යථාර්ථය අත්කර ගැනීමේ භාවනා මාර්ගය එළි දැක්වීමෙන් උදාරතම ශාසනාරක්ෂාව සලසා වදාරණ චිරන්තන භාවනා කර්මස්ථාන භාවිතයෙන් පරිභාවිත සන්තාන ඇති අති දුර්ලභ ගණයේ ශාසන භාරධාරී චිරරාත්රඥ සංඝපීතෘ - සංඝනේතෘ - සංඝ පරිනායක වූ අතිපූජ්ය පණ්ඩිත මාතර ශ්රී ඥානාරාමාභිධාන ප්රධාන කර්මස්ථානාචාර්ය්ය මහෝපාධ්යාය මාහිමියන් වහන්සේ අනන්ත තරුගණ මැද බබලන සොළොස් කලාවෙන් පිරිපුන් සරත් පුන්සඳ මඩල මෙන් සම්බුදු සසුන බබුළුවමින්, තෙරුවන් ගුණ තෙද බල මහිමයෙන් සියවසකට වැඩිකලක් යෙහෙන් වැජඹෙත්වා.
සම්බුද්ධ ශාසනයෙන් ගතයුතු වූ උත්තමාර්ථය මේ ජීවිතයේ දී ම අත්කර ගැනීම පිණිස මේ ශමථ විදර්ශනා භාවනා මාර්ගය ශාසනාන්තය තෙක් යෝගාවචරයෝ අනුගමනය කෙරෙත්වා.
‘’සතං සමාගමො හොතු යාව නිබ්බාන පත්තියා’’
‘’චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං’’
මෙසේම, සංස්කාරකවරු,
පූජ්ය මාණික්කාවෙ චූලාභය ස්ථවිර පූජ්ය නාලයනේ අරියධම්ම ස්ථවිර
2526 1982
පූජ්ය මාණික්කාවෙ චූලාභය ස්ථවිර, පූජ්ය නාලයනේ අරියධම්ම ස්ථවිර (2526 / 1982)
සංඥාපනය - තෙවන මුද්රණය
‘ස්වාක්ඛාතං බ්රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං’ සම්මා සම්බුද්ධ ශාසනය ස්වාක්ඛාතය - සාන්දෘෂ්ටික - අකාලිකය. ‘දෙසයේ ජෝතයේ ධම්මං - පග්ගණ්හේ ඉසිතං ධජං, සුභාසිත ධජා ඉසයෝ - ධම්මෝහි ඉසිතං ධජෝ’, ‘ධර්මය දේශනාද කරන්නේය, ප්රකට ද කරන්නේය, බුද්ධ ධර්මය නම් වූ ඍෂිධ්වජය ඔසවන්නේය, සර්වඥ සෘෂිවරු සුභාෂිතය ධ්වජය කොට ඇත්තෝය, ධර්මය සෘෂි ධ්වජය නම් වෙයි.’ ‘අමතං දදෝ ව සෝ හෝති - සෝ ධම්ම මනුසාසති’ යමෙක් ධර්මයෙන් අනුශාසනා කෙරේද හෙතෙම අමෘතය දෙන්නෙකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩ විසූ අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඥාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේ වනාහි ස්වාක්ඛාත සාන්දෘෂ්ටික අකාලික ද වූ ශ්රී සද්ධර්මය උද්ග්රහණ ධාරණ දේශනා වාචනා සංඛ්යාත පර්යාප්ති වශයෙන් ද, සීල පූරණ ධුතංග පරිහරණ ආර්යවංශ රූපවිනීත තුචටක නාලක වත්රපම ප්රතිපදා සමථ විපස්සනානුයෝග වශයෙන් ද ධ්යාන සමාධි සමාපත්ති මාර්ග ඵල සංඛ්යාත ප්රතිවේධ වශයෙන් ද ඈත භාගයෙහි ශෝභන සම්මා සම්බුද්ධ ශාසනය ජ්යෝතිමත් ලෙස බැබල වූ ශාසන වීර ජීවනය සැලසූ ශාසන භාරධාරී අද්විතීය මහා සංඝ පීතෘෲන් වහන්සේය.
ලොවට අමෘතය බෙදාදෙමින් සසුන් වැඩ වැඩූ අතිගරු පූජනීය මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේගේ ශ්රී හස්තයෙන් ලියැවුණු ‘ශමථ විදර්ශනා භාවනා මාර්ගය’ නමැති මේ මහාර්ඝ ග්රන්ථය ප්රථම වරට 1983 වර්ෂයේදී ද දෙවන වරට 1988 වර්ෂයේදී ද මුද්රණය වූ අතර නැවත තෙවන වරට මෙසේ මුද්රණය වනුයේ මෙහි ඇති ප්රයෝජන මහත් බැවිනි.
ගැටපද මාලාවක් ද සහිතව දෙවන මුද්රණය 1988 වර්ෂයේදී නිලඹ භාවනා මධ්යස්ථානයේ ජී. සමරරත්න මහතා විසින් ප්රකාශයට පත්කරන්නට යෙදුනි.
අතිගරු පූජනීය මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේ ජීවමාන කාලයේදීම දෙවරක් මුද්රණය වූ මෙම ග්රන්ථය මාහිමිපාණන් වහන්සේගේ අවධානයට තව තවත් යොමුවිය. මේ තෙවැනි මුද්රණයේදී මාහිමිපාණන් වහන්සේ පරිශීලනය කළ පෞද්ගලික පිටපතෙහි සඳහන්ව ඇති සංශෝධන ද ඇතුළත් කොට ඇත.
සු යශස්ථාම පුණ්ය ඍද්ධි ප්රඥා මහන්තතාවෙන් අග්රතැන්පත් දශබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ පවා ආයුෂ ගෙවී පිරිනිවීම ස්වභාවධර්මයකි. එසේ නම් කවර සංස්කාරයක් සදාකල් පවත්නේද? නැත. අපේ අතිගරු පූජනීය මහෝපාධ්යායයන් වහන්සේ ද පුරා අවුරුදු 91ක් ආයු වළඳා 1992 අප්රේල් 30 වැනිදා සතෝ සම්පජානකාරීව සිහිනුවණින් යෙදී අපවත් වූසේක. අහෝ! සියලු සංස්කාරයෝ අනිත්යයෝය, දුක්ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය. මාහිමිපාණන් වහන්සේ තවමත් ජීවමාන වැඩ සිටින්නා සේ දේශනා කළ රැස් කළ ධර්ම හා ගුණ ධර්ම සම්භාරය අදත් එසේම පවතී.