විශුද්ධි මාර්ගය - මාතර ධර්මවංශ හිමි.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2004
මුද්‍රිත වර්ෂය :
2004
පිටු ගණන :
1,110
බාගත කිරීම් ගණන :
13,347
වෙබ් අඩවියට එක් කළ දිනය :
2017-08-19
ගොනුවේ ප්‍රමාණය :
6.3 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 556

විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය යනු අටුවාචාර්‍ය්‍ය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත විශුද්ධිමාර්ගය නම් පාලි අට්ඨකථා ග්‍රන්ථයට මාතර ශ්‍රී ධර්මවංශ හිමියන් ඇතුළු වියතුන් විසින් සම්පාදිත විස්තරාර්ථ සන්නය සහිත ග්‍රන්ථයකි.

සම්පූර්ණ විශුද්ධිමාර්ගය ආවරණය කරමින් ශීල, සමාධි, සහ ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන් පදනම් කරගත් පරිච්ඡේද 23ක් ඔස්සේ නිවන් මග විස්තර කෙරේ. මෙහි ආරම්භක ප්‍රස්තාවනාව මගින් විශුද්ධිමාර්ගයේ අභිධෙය, නිමිති, කර්තෘත්වය, ග්‍රන්ථ පරිමාණය (බණවර 58/59 පිළිබඳ විචාරය) සහ විමුක්තිමාර්ගය හා ඇති සබඳතාව ආදී ඓතිහාසික හා ශාස්ත්‍රීය කරුණු විමර්ශනය කෙරේ.

මෙම සංස්කරණය බුද්ධ වර්ෂ 2547 (ක්‍රි.ව. 2004) දී ධර්ම දානය පිණිස සම්පාදනය කර මුද්‍රණය කර ඇත.

ප්‍රස්තාවනා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

ශ්‍රීමත් සර්‍වඥශාසනයෙහි අතිශයින් දුර්‍ලභ වූ පැවිද්ද ලත් කුලපුත්‍රයනට ක්ෂේම වූ නිර්‍වාණ ප්‍රතිලාභයට සෘජු වූ ආර්‍ය්‍ය මාර්‍ග සංඛ්‍යාත ප්‍රතිපත්තිය ඉවහල් වන බැවින් ප්‍රතිපත්තිය ශීල-සමාධි-ප්‍රඥා මුඛයෙන් ප්‍රකාශනය කරනු පිණිසැ ඒ මේ විශුද්ධිමාර්‍ගය සම්පාදනය කරන ලද්දේ වෙයි. එහි සංඥාප්‍යාර්ථ පඤ්චකය ප්‍රමුඛ කොට ඇති මේ ප්‍රස්තාවනාව ශාසනමාමකයන් ගේ විශුද්ධිමාර්‍ගාවතරණයෙහි ප්‍රයත්න දනවනු පිණිස අනේක ග්‍රන්ථාශ්‍රයයෙන් ද, ඉතිහාස ප්‍රවෘත්ති සංකලනයෙන් ද, ආචාර්‍ය්‍යමතානුසාරයෙන් ද කරුණු සම්පිණ්ඩනය කොට ගෙන විවේචන පූර්වක වැ සපයනු ලැබේ.

“විසුද්ධි සබ්බමලවිරහිතං අච්චන්තපරිසුද්ධං නිබ්බානං වේදිතබ්බං තස්සා විසුද්ධියා මග්ගොති=විසුද්ධිමග්ගො” යනු ග්‍රන්ථගත වූ අභිධෙයාර්ථ හෙයින්ද විශුද්ධි සංඛ්‍යාත සංඥා සර්‍වමලවිරහිත අත්‍යන්තපරිශුද්ධ වූ නිර්‍වාණයට මාර්‍ගය විශුද්ධිමග්ග නම් වේ. ඒ මේ විශුද්ධිමාර්‍ගය සර්‍වප්‍රකාරයෙන් ප්‍රකාශනය කරන මේ ග්‍රන්ථය ද අභෙදොපචාරයෙන් විසුද්ධිමග්ග නම් වන බව දත යුතු. “විසුද්ධියා මග්ගො = විසුද්ධිමග්ගො” යන විග්‍රහය පූර්‍වොක්ත ග්‍රන්ථගත අභිධෙයාර්ථයෙන් ම සිද්ධ ය. මෙහි විශුද්ධි නම් නිර්‍වාණය යි. මග්ග නම් අධිගමෝපාය යි. “මග්ගොති අධිගමූපායො වුච්චති” යනු කී බැවින් අධිගම ලාභයට උපාය මග්ග නම් වන බව දතයුතු. “නිවනට මග විසුද්ධිමග්ග නම් වේ” යනු මෙහි නිෂ්කර්‍ෂ යි.

“විශුද්ධිමාර්‍ගය යි නිෂ්පර්‍ය්‍යායයෙන් ලෝකෝත්තර මාර්‍ගය දතයුතුය. තදුපාය හෙයින් වනාහි පූර්‍වභාග මාර්‍ගය ද තන්නිශ්‍රය කථා ප්‍රබන්ධය ද විශුද්ධිමාර්‍ගය යි කියනු ලැබේ.” යන මේ පරාක්‍රමබාහු නරේන්ද්‍රවචනයෙන් ද මේ ග්‍රන්ථයට විශුද්ධි මග්ග නාමය දීමෙහි සම්විධානය ව්‍යක්ත වේ මැයි. ඒ මේ විශුද්ධි මාර්‍ගය වනාහි කිසිතැනෙක්හි විදර්ශනාමාත්‍ර වශයෙන් ද, කිසි තැනෙක්හි ධ්‍යාන - ප්‍රඥා වශයෙන් ද, කිසි තැනෙක්හි කර්මාදීන් ගේ වශයෙන් ද, කිසිතැනෙක්හි ශීලාදීන් ගේ වශයෙන් ද, කිසිතැනෙක්හි ස්මෘත්‍යුපස්ථානාදීන් ගේ වශයෙන් ද දෙසුහ. මේ ග්‍රන්ථයට වස්තු වූ “සීලෙපතිට්ඨාය” යනාදි ගාථාවෙන් ශීල-සමාධි-ප්‍රඥා මුඛයෙන් මෙහි විශුද්ධිමාර්‍ගය දක්වන ලද්දේ වෙයි. එහෙයින් මේ ග්‍රන්ථය දුශ්චරිත සංක්ලේශයා ගේ විශුද්ධියට මාර්‍ගය වූ ශීලය ද තෘෂ්ණාසංක්ලේශයා ගේ විශුද්ධියට මාර්‍ගය වූ සමාධිය ද, දෘෂ්ටි සංක්ලේශයා ගේ විශුද්ධියට මාර්‍ගය වූ ප්‍රඥාව ද සර්‍වඥ දේශනානුසාරයෙන් ප්‍රකාශිත වන බැවින් විසුද්ධිමග්ග නම් වූ බව දත මැනැවි. සංව්‍යවහාරාර්ථය පිණිස සංඥාකරණය වක්තව්‍ය හෙයින් මෙහි

“විසුද්ධිමග්ගං භාසිස්සං” යන්නෙන් ග්‍රන්ථකාරකයෝ ම සංඥාව කැළම දක්වති. විශුද්ධිමාර්‍ගය ග්‍රන්ථස්වරූපයෙන් පවසන බව දත යුතු ය. අර්ථානුගතසංඥා හෙයින් අන්වර්‍ථසංඥා විසින් ද මෙයින් විදර්ශනා මාත්‍රය ද, ධ්‍යාන ප්‍රඥාවන් ද, කර්මාදිය ද, ශීලාදිය ද, ස්මෘත්‍යුපස්ථානාදිය ද අවිශේෂයෙන් පවසතත් ශීල සමාධි-ප්‍රඥා මුඛයෙන් මේ ග්‍රන්ථයම විශුද්ධිමග්ග නාමයෙන් වක්තව්‍ය හෙයින් විශේෂ සංඥාවිසින් ද මෙහි සංඥාර්ථය දත යුතුය. සමුදය විසින් නිවනට මග විශුද්ධිමාර්ගයැයි කිව ද මෙහි ශීලයත් සමාධියත් ප්‍රඥාවත් අවයව විසින් විශුද්ධියට කරුණු වන්නෙන් අවයවයක් පාසා විශුද්ධිය පර්‍ය්‍යාය විසින් ලැබෙයි. එහෙයින් මේ විශුද්ධිමග්ග යන නාමය අවයවාර්ථයෙන් නො ගිලිහුණු ගුණයට නිමිති වන්නේන් නෛමිත්තක වෙයි. “විශුද්ධිමාර්‍ගය යනු අවයවාර්ථව්‍යුත්පන්න ගුණ නිමිත්තක වැ සිද්ධ වන බැවින් නෛමිත්තක නාම වෙයි.” යන පරාක්‍රමබාහු නරපති වචනයෙන් ද තදර්ථප්‍රකාශනය වෙයි.

මේ ග්‍රන්ථකරණයෙහි නිමිත්ත වනාහි අන්තර්නිමිත්ත යැ, බාහ්‍ය නිමිත්තයැ යි දෙපරිද්දෙකින් දැක්විය හැකිය. මෙහි අන්තර්නිමිත්තය නම් විශුද්ධිය කැමැති කුලපුත්‍රයන් නිමිත්ත කරෙහි උපන් අනුකම්පාවයි. හේ වනාහි ග්‍රන්ථකාරයන් විසින් ම “විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො” යන්නෙන් දක්වන ලද්දේ වෙයි. සත්පුරුෂ කුලපුත්‍රයන් කෙරෙහි පහළ වූ ග්‍රන්ථකාරයන්ගේ කරුණාව මෙයින් හෙළිවන බැවිනි. සත්කාත්‍යශ්‍රවණයෙහි ඔවුන් යෙදවීමෙන් තමන් ලෙහි උපන් කුලුනුගුණය මෙයින් ඇද දැක්වූ බව දතයුතු ය.

“ප්‍රතිපන්න යෝගී ජනයන් අඥාන දුර්ඥාන මූලක අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්ති හේතුක සංසාර දුඃඛයෙන් මුදනු සඳහා මේ විශුද්ධිමාර්‍ගය කළ බැවින් යථෝක්ත ප්‍රතිපද්ජනයන් කෙරෙහි සමුත්පන්න අනුකම්පාව අන්තර් නිමිත්ත යැ” යන මේ පරාක්‍රමබාහුනෘපතිවචනයෙන් හේ පැහැදිලි වෙයි. අන්තර්නිමිත්තය දැක්වුව ද බාහ්‍ය නිමිත්තය දෙපරිද්දෙකින් දක්වන ලද බව පැනෙයි.

විහජ්ජවාදිසෙට්ඨානං - ථෙරියානං යස්සසිනං මහාවිහාරවාසීනං - වංසජ්ජස්ස විභාවිනො භදන්ත සංඝපාලස්ස - සුවිසල්ලෙඛවුත්තිනො විනයාචාරයුත්තස්ස - යුත්තස්ස පටිපත්තියං ඛන්තිසොරච්චමෙත්තාදි - ගුණභූසිත චෙතසො අජ්ඣෙසනං ගහෙත්වාන - කරොන්තෙන ඉමං මයා

යන මේ ග්‍රන්ථකාරයන් ගේ සූගීතයෙන් මහාවිහාර වංශයෙහි උපන් පැණවත් වූ පිවිතුරු සලේ පැවැතුම් ඇති විනේ අසරෙහි යෙදුණු පිළිවෙත්හි ඇලුණු කැත්සුරත් බැව් ඈ ගුණ මුළුවෙන් සැරසුණු සිත් ඇති භදන්ත සංඝපාල මහාස්වාමීන් ගේ ආරාධනය මේ ග්‍රන්ථකරණයට බාහ්‍යනිමිත්තය බව හෙළි වෙයි. “මේ විශුද්ධිමාර්‍ගකරණයෙහි බඩාරද පරම පරම විශුද්ධාශය සංඝපාල ස්ථවිරපාදයෝ බාහ්‍ය නිමිත්ත වෙත්.” යන්නෙන් පරාක්‍රමබාහු නරදේවයෝ ආරාධකයා බාහ්‍යනිමිත්ත විසින් දක්වති. ආරාධකයා කීමෙන් ආරාධනය ද ගැනෙන බැවින් හේ අසංගත නොවේ. මේ එක් බාහ්‍යනිමිත්තය යි අනෙක් බාහ්‍ය නිමිත්තය ප්‍රතිපද්ජනයා යි.

“සුදුල්ලහං ලභිත්වාන - පබ්බජ්ජං ජිනසාසනෙ සීලාදිසඞ්ගහං ඛෙමං - උජුමග්ගං විසුද්ධියා යථාභූතං අජානන්තා - සුද්ධිකාමාපි යෙ ඉධ විසුද්ධිං නාධිගච්ඡන්ති - වායමන්තාපි යොගිනො”

යන මේ ග්‍රන්ථකාරකයන් ගේ සද්ගීතියෙන් එව්හු දක්වෙති. සර්‍වඥ ශාසනයෙහි අතිශයින් දුර්‍ලභ වූ පැවිද්ද ලැබ විශුද්ධියට සෘජුමාර්‍ගය වූ ශීලාදිසංග්‍රහය තතු සේ නො දන්නා වූ ශුද්ධිකාමීන් වැර වඩතුදු විශුද්ධිය නොලබන බව මෙයින් පවසති. ඔවුන්ගේ තත්වාඥානයට විශුද්ධිමාර්‍ගය කරන බව පැවසීමෙන් ග්‍රන්ථකාරකයෝ ප්‍රතිපද්යෝගීජනයා ද බාහ්‍යනිමිත්ත කොට දක්වති. මෙසේ මෙහි නිමිත්තාර්ථය දත යුතු. ග්‍රන්ථ සම්භාවනා පිණිස නිමිත්තකථනය සාධුසම්මත ය. එහෙයින් තමන් කරන ගතට නිමිති දක්වමින් ග්‍රන්ථකාරකයෝ ස්වාධ්‍යාශය පිළිබඳ නිමලත්වය මැනැවින් හෙළිපෙහෙළි කරත්.

මෙහි කර්තෘවරයෝ අනුබුද්ධ බුද්ධඝෝෂ මහාස්වාමිහු වෙති. ලංකාධීශ්වර පරාක්‍රමබාහුන් විසින් “බුද්ධඝොෂාචාර්‍ය්‍යපාදයෝ මේ විශුද්ධිමාර්‍ගයට කර්තෘත්‍වයෙන් වෙදිතව්‍යයෝ යි” යනුවෙන් කර්තෘ ස්වකීය විශුද්ධිමාර්‍ග මහා සන්‍යයෙහි දක්වන ලද බැවින් ද, “විපුල විසුද්ධබුද්ධිනා බුද්ධඝොසොති ගරූහිගහිත නාමධෙය්‍යෙන ථෙරෙන මොරණ්ඩඛෙටකවත්ථබ්බෙන කතො විසුද්ධිමග්ගො නාම” යි විශුද්ධිමාර්ග ග්‍රන්ථාවසානයෙහි සඳහන් වන බැවින් ද මේ ගැන සැකයක් නැති. බුද්ධඝෝෂාචාර්‍ය්‍යපාදයන් මේ විශුද්ධි මාර්‍ගය සම්පාදනය කළ බව පරම්පරායාත වාර්තාවලින් ද හෙළිවෙයි. එක් පරම්පරායාත වාර්තාවක් දක්වන පරාක්‍රමබාහු නරේශ්වරයෝ මෙසේ සඳහන් කෙරෙති.

මේ ආචාර්‍ය්‍යයෝ ජම්බුද්වීපවාස්තව්‍ය මහා ස්ථවිරවරයන් විසින් සමාරාධිත වැ හෙළු අටුවා පෙරළා සර්‍වඥීන මූලභාෂායෙන් තෙවළාවට අටුවා ලියනු සඳහා මේ ලංකාද්වීපයට වැඩ මහා විහාරයෙහි සංඝපාල මහාස්ථවිරයන් කෙරෙහි හෙළු අටුවා අසා සියලු ස්ථවිරවාද ඉගෙන මහා සංඝයා රැස් කොට අටුවා ලියන්නට පොත් දෙන්නේ යැයි ඉල්ලූහ. සංඝයා ද අටවිකථා කරනුවට ශක්ති පරීක්ෂා සඳහා තොප ගේ සාමර්ථ්‍යය මෙහි දක්වව. ඒ දැක පොත් දෙම්හ යි මේ ගාථා දෙක දුන්හ. එසඳ තදර්ථවිචාරණාවාරයෙන් එහි අටුවා සහිත පිටකත්‍රය සංග්‍රහ කොට මේ විශුද්ධිමාර්‍ගය කළහ යනු පරම්පරායාත වාර්තා යි.”

මේ පරම්පරායාත වාර්තාව නිසැකයෙන් ම පිළිගත් විශුද්ධිමාර්‍ග මහාසන්‍යකාරක පරාක්‍රමබාහු මහීශ්වරයෝ විශුද්ධිමාර්‍ගය බුද්ධඝෝෂාචාර්‍ය්‍යයන්ගේ කෘතියක් බව සමර්ථනය කෙරෙති.

“සංඝස්ස ගාථාද්වයං තස්සා ‘දාසි සාමත්‍ථියං තව එත්ථ දස්සෙහි තං දිස්වා සබ්බෙ දෙමාති පොත්ථකෙ පිටකත්තයමත්ථඤ්ච - සද්ධිමට්ඨකථාය සො විසුද්ධිමග්ගං නාමා’කා - සංගහෙත්වා සමාසතො”

මේ මහාවංශෝක්තියෙන් ද විශුද්ධිමාර්‍ගය බුද්ධඝෝෂපාදයන් ගේ කෘතියක් බව හෙළිවෙයි. මෙහි අදහස යට කී පරම්පරායාත වාර්තාවෙහි ඇතුළත් වන බැවින් අමුතුවෙන් කියයුතු නො වේ. බුද්ධඝොසුප්පත්ති නම් ග්‍රන්ථයෙහි ද සාසනවංස නම් ග්‍රන්ථයෙහි ද, තවත් බොහෝ ග්‍රන්ථයන්හි ද බුද්ධඝොෂාචාර්‍ය්‍යවරයන් විශුද්ධිමාර්‍ගය කළ බව සඳහන් වෙයි.

“ඉති පන සබ්බං යස්මා - විසුද්ධිමග්ගෙ මහා සුපරිසුද්ධං වුත්තං තස්මා භිය්‍යො - න තං ඉධ විචාරයිස්සාමි”

යන මේ ආගමාටීකථාවචනයෙන් ම විශුද්ධිමාර්‍ගය බුදුගොස් හිමියන් ගේ බව මැනැවින් හෙළිවන බැවින් මෙහි මුලින් දක්වන ලද කරුණු ද සමර්ථනය වෙති. මෙතෙකින් ඒ මේ විශුද්ධිමාර්‍ග නම් ග්‍රන්ථයෙහි කර්තෘවරයා විශුද්ධබුද්ධින් ප්‍රසිද්ධ වූ බුද්ධඝෝෂ මහාස්වාමින් බව නිගමනය වෙයි. “නිමිත්ත කර්තෘකථාව්‍යය ග්‍රන්ථ ගෞරවෝත්පාදනාර්ථ වෙයි. යනු පරාක්‍රමබාහු වචන හෙයින් නිමිත්තකථනය මෙන්

ම කර්තෘකථනය ද ග්‍රන්ථ සම්භාවනා පිණිස වැටෙයි. “විසුද්ධිමග්ගං භාසිස්සං” යනාදී පිණ්ඩාරිත්ථධරණයෙන් ම මෙහි කර්තෘ වාච්‍ය වෙයි.

යම් කිසි ග්‍රන්ථයෙක්හි පරිමාණකථනය ශිෂ්‍යලෝකයා ගේ ප්‍රවෘත්තියට කාරණ වෙයි. මෙහි පරිමාණය සමුදය පරිමාණ අවයවපරිමාණ විසින් ම දැක්විය යුතු වෙයි. සමුදය පරිමාණ විසින් සලකන විට මෙහි ග්‍රන්ථ ප්‍රමාණය බණවර විසින් අටපනසක් (58) බව පැනෙයි. එතද්ග්‍රන්ථාවසානයෙහි පැනෙන:-

“විසුද්ධිමග්ගො එසොව - අන්තරායං විනා ඉධ නිට්ඨිතො අට්ඨපඤ්ඤාස - භාණවාරාය පාළියා”

යන ගාථාවෙන් ඒ බව මැනැවින් හෙළි වෙයි. මෙය පරාක්‍රමබාහු මහීපයන් විසින් දක්වන ලද්දේ “මෙහි ග්‍රන්ථප්‍රමාණ තුදුස් දහස් දෙබණවරෙකි” යන්නෙනි. ග්‍රන්ථප්‍රමාණ තුදුස් දහස් දෙබණ වරෙකැයි කීමත් අටපනස් බණවරෙකැයි කීමත් අර්ථ විසින් සමානය. විචිත්‍රාවබෝධය සඳහා කී හෙයින් පරාක්‍රමබාහුවචනය සාධුවචනයෙන් පිළිගතයුතු ය. බණවර ගණින විට ග්‍රන්ථයකට අකුරු දෙතිසක් ගනු ලබන බැවිනි. ග්‍රන්ථාගත ක්‍රමයට විරුද්ධ වැ මෙහි බණවර එකුන්සැටක් (59) බව මනෝරථපූරණීනිගමනයෙන් පෙනේ.

“එකූනසට්ඨිමන්තො - විසුද්ධිමග්ගො පි භාණවාරෙහි අත්ථප්පකාසනාය - ආගමානං කතො යස්මා”

යන ගාථාවෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙය ද බුදුගොස් හිමියන් විසින් ම කියන ලද බැවින් විචාර්‍ය්‍ය යි. තමන්ගේම කෘති දෙකෙකින් එකම ග්‍රන්ථයෙක්හි පරිමාණය දෙපරිද්දෙකින් කීම සැබවින් ම විචාරණය කටයුතු වෙයි. මේ ගැන විචාරණය කළ බෙන්තර භදන්ත ශ්‍රද්ධාතිෂ්‍ය මහාස්ථවිරපාදයෝ:-

“විශුද්ධිමාර්‍ගය බණවර අටපනසකට වැඩි ය. එකුන්සැටට අඩු ය. ඒ වැඩි ටික ගණන් නො ගෙන විශුද්ධිමාර්‍ගනිගමනයෙහි අටපනසෙකැ යි ද, වැඩි ටික නිසා චතුරාගම වර්‍ණනාවන්හි ‘එකූනසට්ඨිමත්තො’ යි ‘මත්තා’ ශබ්දයෙන් ටිකක් අඩුබවත් හඟවා එකුන්සැටක් පමණැයි ද ලියන ලද්දැයි සැලකිය යුතු ය” යනු ස්වකීය

ප්‍රස්තාවනාවෙහි දක්වති. මේ විචාරණය ශාස්ත්‍රීය පක්ෂයට බර නො වතුදු ගත් උත්සාහයට පැසසිය යුතු ය. බණවරකට අකුරු අටදහසෙකි. විශුද්ධිමාර්‍ගයෙහි සම්පූර්‍ණ අක්ෂර සංඛ්‍යාව ගැන එය අටදහසෙන් බෙදූ විට බණවර ගණන ලැබෙයි. එසේ ගැන බලන විට බණවර එකුන් සැටක් නොලැබෙන බව ප්‍රත්‍යක්ෂයෙන් දත හැකි ය. අටපනසට වැඩි බවත් සැබෑ ය. එකුන් සැටට අඩු බවත් සැබෑ ය. එහෙත් “අප්පකං ඌනමධිකං ගණ්‍යපගං න හොති” යන නීතියට ගැලපෙන සේ අටපනසෙකැයි කීම වඩා සුදුසු ය. සැටට අඩුනම් එකුන්සැටෙකැ යි කීම ගැලපෙයි. එහෙත් මෙහි බණවර එකුන් සැටට අඩු බැවින් එකුන්සැටකැයි කීම කිසිසේත් ශාස්ත්‍රීය නො වේ. එක ම ග්‍රන්ථයෙක්හි සමුදය පරිමාණය මෙසේ දෙ පරිද්දෙකින් කීම ද ශාස්ත්‍රීය නොවේ. එකම කර්තෘවරයා තමා කළ ග්‍රන්ථයෙහි සමුදය පරිමාණය අර්ථ විසින් දෙපරිද්දෙකින් කීම අනවස්ථිත දෝෂ ප්‍රසංගයෙන් ගර්‍හාවට පාත්‍ර වීමට කරුණෙකි. එහෙයින් මේ විමසිය යුතු තැනෙකි. මෙහි “එකුනසට්ඨිමත්තො” යන පදයෙන් අටපනසක් පමණ යැ යි ගන්නට යම්කිසි ශාස්ත්‍ර යුක්තියෙක් වෙයිනම් මැනැවි. “එකො ච එකො ච = එකා” යි සරූපෙක ශෙෂවාර්‍තීකයෙන් “එක” යන්නෙන් දෙකක් ගත හැකි බව පෙනෙයි. එසේ ගැනීම ශාස්ත්‍රයුක්තියට උචිත වන බැවින් වරදෙක් නො වේ. එකල්හි “එකුනසට්ඨිමත්තො” යන්නට දෙකකින් අඩු වූ සැටක් පමණැයැ යි අරුත් කිය හැකි වෙයි. මෙසේ ප්‍රයත්නයෙන් ශාස්ත්‍රයුක්ති දක්වා මෙය සිද්ධකර ගැනීමට අවශ්‍ය කමෙක් නැතැයි ඇතැම් විදග්ධ කෙනෙකුන් විසින් තර්ක කළ හැකි වෙයි. ප්‍රධාන සඟිඅටුවා සතරෙහි ම මේ වචනය යොදා තිබෙන බැවින් වෙනස් කිරීම ද නො යෙදේ. විශුද්ධිමාර්‍ගයෙහි කී “අට්ඨපඤ්ඤාස” යන වචනය ඉවත්ලීම ද නො යෙදෙයි. දෙක ම සාධුසම්මතයෙන් පිළිගත යුතු කල්හි ආයාසයෙන් වුව නීතියකට ගැනීම සාධුසම්මත විසින් සැලකිය යුතු ය. මෙහි නොයෙක් ප්‍රශ්න මතු විය හැකි ය. ඒ කිනම් ප්‍රශ්නයක් මතු වුවත් විශුද්ධිමාර්‍ගය බණවර විසින් අටපනසෙකැයි යනු පිළිගත යුතු මැයි. මෙහි අවයව පරිමාණය වනාහි සීල - ධුතඞ්ග - කම්මට්ඨානගහණ - පඨවිකසිණ - සෙසුකසිණ - අසුභකම්මට්ඨාන - ඡඅනුස්සති - අනුස්සතිකම්මට්ඨාන - බ්‍රහ්මවිහාර - ආරුප්ප - සමාධි - ඉද්ධිවිධ - අභිඤ්ඤා - ඛන්ධ - ආයතනධාතු - ඉන්ද්‍රියසච්ච - පඤ්ඤාභූමි - දිට්ඨිවිසුද්ධි - කඞ්ඛාවිතරණවිසුද්ධි - මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි - පටිපදාඤාණදස්සනවිසුද්ධි - ඤාණදස්සනවිසුද්ධි - පඤ්ඤාභාවනානිසංස නිද්දෙස විසින් තෙවිසි (23) නිද්දෙසයෙකින් දක්වන ලද්දේ වෙයි. මෙසේ මෙහි සමුදය - අවයව පරිමාණ විසින් පරිමාණකථනය ග්‍රහණධාරණ ශක්තිමතුන් ගේ ග්‍රන්ථපරිශීලනයට ඉවහල්වන බව දත යුතුය.

“ප්‍රස්තුතග්‍රන්ථයෙහි අධ්‍යයනය ශ්‍රවණාදි වශයෙන් පවත්නා ශිෂ්‍යලෝකයා හට ප්‍රොත්සාහෝත්පාදන සඳහා පරිමාණ කථා කර්තව්‍ය යි.”

යනු එහෙයින් කියන ලදී. ශිෂ්‍යයන් ගේ ශක්ති පරිද්දෙන් පිළිපැදීමට පරිමාණකථනය අවශ්‍ය බව දතයුතු.

පරිමාණකථනය මෙන් ප්‍රයෝජනකථනය ද ශිෂ්‍යලෝකයා ගේ පැවැත්මට කාරණය වෙයි. “පරිමාණ ප්‍රයෝජන කථාව්‍ය ශිෂ්‍යලෝකප්‍රවෘත්ත්‍යංග වෙයි”.

යනු ප්‍රයෝජන පරාක්‍රමබාහු වචන හෙයින් ග්‍රන්ථයෙක්හි ප්‍රයෝජන කථනය ද අවශ්‍ය වෙයි. ප්‍රයෝජනය බලත් මුඛ්‍යානුෂංගික වශයෙන් දෙපරිදි වේ. මෙහි මේ ප්‍රයෝජන ද්වයම දක්වන පරාක්‍රමබාහු නරදෙවයෝ :-

‘එහි ප්‍රියශීල ප්‍රතිපත්තිවත්සල සුශික්ෂිත මුමුක්ෂුයොගී ජනයහට ප්‍රීතිර්‍යුත්පාදනය මුඛ්‍ය ප්‍රයෝජනය, චතුස්පාරිශුද්ධිශීලයෙහි සුප්‍රතිෂ්ඨිත වැ අධිශීල ශික්ෂා සිද්ධ කොට ස්වචරිතානුකූල කර්මස්ථාන පරිග්‍රහාදික්‍රමයෙන් පැවැත භාවනාප්‍රකර්ෂයීන්ත ජන්මක ලෝකොත්තරඥානසීධින් අධිප්‍රඥාශික්ෂායෙහි මස්තකප්‍රාප්ත වැ පරමදක්ෂිණීයක්ෂීණාශ්‍රවභාවයට සම්ප්‍රාප්ත වැ සමාපත්ති සුඛානුභවයෙන් දවස් යවා නිරුපධිශෙෂ නිර්වාණධාත්මපදප්‍රාප්ත වනුමෙහි ආනුෂංගික ප්‍රයෝජනය යි දත යුතුය.”

යනු පවසති. පිළිවෙත් පිරුමෙහි ආදර ගෞරව සම්ප්‍රයුක්ත වූ සසරින් මිදෙනු කැමැති යෝගීජනයනට ප්‍රීතිය පහළ වීම මුඛ්‍ය ප්‍රයෝජනය බව මෙයින් පැවැසෙයි. ඒ යෝගී ජනයනට එතද්ග්‍රන්ථශ්‍රවණයෙන් ප්‍රීතිය පහළ වීමෙන් සසරින් මිදීමට යුක්තප්‍රයුක්ත වැ අධිප්‍රඥාශික්ෂාවෙහි හික්මී අමාමහ නිවන් සැප ලැබිය හැකි බැවින් තත් ප්‍රතිලාභය ආනුෂංගික ප්‍රයෝජනය බව ද පැවැසෙයි. මේ ප්‍රයෝජනය “තෙසං පාමොජ්ජකරණං” යන්නෙන් ග්‍රන්ථකාරකයෝ ම දැක් වූහ. මෙසේ සංඥා නිමිත්ත කර්තෘ - පරිමාණ - ප්‍රයෝජන සංඛ්‍යාත අර්ථපඤ්චකය මේ ග්‍රන්ථයෙහි දක්වන ලද බැවින් විශුද්ධ බුද්ධිමත් බුද්ධඝෝෂාචාර්‍ය්‍යපාදයෝ ද ප්‍රාවීණවායියන්ගේ චාරිත්‍රය අනුගමනය කළහ.

ධර්මසංවර්ණනා කරන ආචාර්‍ය්‍යපාදයන් විසින් ඒ වර්ණනා කරනු ලබන ධර්මයට නිදානය ආදියෙහි ම තබා තදන්තර වැ ප්‍රයෝජනය - පිණ්ඩාරිථය - පදාර්ථ සම්බන්ධය

ග්‍රන්ථතත්ත්‍වය අධිප්‍රායය - චොදනාය - ශොධනා යැ යන මේ හැම කිය යුතු වෙයි මෙ වනාහි ධර්මසංවර්ණනා විෂයෙහි ආචාර්‍ය්‍ය සම්මතය බව ටීකා - සන්‍ය දෙකින් ම පැනෙයි. මෙහි වනාහි “භගවන්තං කිර සාවත්ථියං විහරන්තං රත්ති භාගෙ අඤ්ඤතරො දෙවපුත්තො උපසඞ්කමිත්වා” යනාදීන් නිදානය දක්වන ලදී.

“අන්තොජටා බහිජටා” යනාදී ගාථාවෙන් දිව්‍ය පුත්‍රයා විසින් විචාරණය කරන ලද කාරණය හෙළි පෙහෙළි කරමින් භාග්‍යවතුන් වහන්සේ විසින් “සීලෙ පතිට්ඨාය” යනාදී ගාථාවෙන් වදාළ ධර්මය ඔහු ගේ සැක පසිඳලීමට ඉවහල් වූ බව පැනෙන හෙයින් ප්‍රයෝජනය ද මෙහි නිදාන මුඛයෙන් ම දක්වන ලදි. සත්ත්වයා ගේ විශුද්ධියට ශීල - සමාධි - ප්‍රඥා සංඛ්‍යාත මාර්ගය ඉවහල් වන්නේ එය “විසුද්ධිමග්ගං භාසිස්සං” යනාදීන් පිණ්ඩාරිථය විසින් දක්වන ලදී. “සීලෙ ද පතිට්ඨායාති = සීලේ ඨත්වා” යනාදීන් පදාර්ථය ද සම්බන්ධය ද අධිප්‍රායය ද විභාවනය කරන ලදී. “කිංසීලං” යනාදිය චොදනා විසින් ද “පාණාතිපාතාදීහි වා විරමන්තස්සවත්ත පටිපන්නං වා පුරෙන්තස්ස චෙතනාදයො ධම්මා” යනාදිය ශෝධන විසින් ද දක්වන ලදී. සමාධි - ප්‍රඥාකථායෙහි ද මේ ක්‍රමයෙන් ම දක්වන ලදී. මෙසේ මේ ග්‍රන්ථය ආචාර්‍ය්‍ය චාරිත්‍රනුගමනයෙන් සම්පාදනය කරන ලද බව පැනෙයි.

මේ ග්‍රන්ථය වනාහි දීඝනිකායාදි පාළියට කළ සුමංගල විලාසින්‍යාදි අට්ඨකථාවන් මෙන් වෙන සංවර්ණනාවක් වත් අභිධම්මාවතාරාදිය මෙන අන්‍ය ප්‍රකරණයක් වත් නො වන බව ටීකාචාර්‍ය්‍ය මතය බැවින් මෙහි විශේෂත්වයක් ඇති බව පිළිගත යුතු ය. මේ වනාහි ඒ සුමංගලවිලාසින්‍යාදීන් ගේ ම ශේෂයැ යි’ ඒ විශේෂත්වය ටීකායෙහි ම කියන ලදී. සන්‍යයෙහි ද මේ ටීකා මතය ම ඇර දක්වන ලදී. මෙය වෙන සංවර්ණනාවක් නො වන බැවින් ම වස්තු වැ විනා ස්තුති පූර්වක වැ අසම්පාදිත බව නිගමනය කරන ලද්දේ වෙයි.

“දීඝනිකායාදීන්ට සුමංගලවිලාසින්‍යාදීන් මෙන් වෙන සංවර්ණනාවක් නො වන බැවිනුදු අභිධර්මාවතාර - සුචතාවතාරාදීන් මෙන් ප්‍රකරණාන්තරයක් නො වන බැවිනුදු ස්තුති පූර්වංගමකොට නො දක්වන ලදී. මේ වනාහි සුමංගලවිලාසින්‍යාදීන් ගේ ම ශේෂය යි දත යුතු යි”

යන මේ පරාක්‍රමබාහු වචනයෙන් ද එය පැහැදිලි වෙයි. විශුද්ධිමාර්ගය පිළිබඳ මෙවැනි නිගමනයක් කිරීමට ඉවහල් වූයේ බුද්ධඝෝෂාචාර්‍ය්‍යයන් විසින් ම සුමංගලවිලාසින්‍යාදී අටීකථා නිගමනයන්හි විශුද්ධිමාර්ගයේ බණවර ගණන සමඟ ඒ අටීකථාවන්හි බණවර ගණන එක් කොට සලකන ලද බැවිනි. සුමංගල විලාසිනියේ විශුද්ධිමාර්ගයේ බණවර ගණන සමග බණවර එක්සිය සාලිසෙකි. පපඤ්චසූදනියේ එක්සිය සසැටෙකි. සාරත්ථප්පකාසිනියේ එක්සිය සත්තිසෙකි. මනෝරථපූරණියේ එක්සිය තෙපනසෙකි මෙසේ චතුරාගම සංවර්ණනානිගමනයෙහි විශුද්ධිමාර්ගයේ අටපනස් බණවර සමග ඒ ඒ ආගමන සංවර්ණනානිගමනයෙහි විශුද්ධිමාර්ගයේ අටපනස්

බණවර සමග ඒ ඒ ආගමසංවර්ණනාවන්හි බණවර ගණන කැටි කොට දක්වන ලද්දේ ඒ මේ විශුද්ධිමාර්ගය චතුරාගමසංවර්ණනාශේෂය වන බැවිනි. විශුද්ධිමාර්ගයෙහි සාමාන්‍ය සංඥාව චතුරාගමසංවර්ණනාශෙෂය යනු මෙයින් ම සිද්ධයැ යි හැඟේ. ප්‍රධාන සඟිඅටුවා සතරෙහි පැහැදිලි කළයුතු කරුණු රැසක් මේ විශුද්ධිමාර්ගයෙහි විස්තර වශයෙන් දක්වන ලද බැවින් මේ ග්‍රන්ථයට ඒ සාමාන්‍ය නාමය මැනැවින් ගැලපෙයි. ග්‍රන්ථත්වය දැනගැනීමට මේ කාරණය ම පමණි වෙයි. එහෙත් මේ ග්‍රන්ථය පිළිබඳ ඇතැම් විචාරකයන් ගේ අදහස් දැක්වීමෙන් පාඨකයිනට යම්කිසි එළියක් ලැබිය හැකි වෙයි.

“උපතිස්ස ගේ ඇටසැකිල්ලක් හෝ රාමුවක් වැනි විමුක්ති මග්ගය තමන් ඉදිරියේ ඇතිව බුද්ධඝෝස විසින් විසුද්ධිමග්ගය ලියූ බව ද, තම හසළ බුද්ධියෙන් හා පාණ්ඩිත්‍යයෙන් එහි අඩු තැන් පුරවා ශ්‍රේෂ්ඨ කෘතියක් නිපැද වූ බව ද අප නිගමනයයි.”

මේ වනාහි ප්‍රනානුවර පරිශ්‍රයසන් විද්‍යාලයේ පාළිභාෂාව පිළිබඳ ආචාර්‍ය්‍යවරයෙකු වූ ඇම්.ඒ.පී. එච්.ඩී. උපාධිධාරී පී.වී. බාපත් මහතාගේ මතය විශුද්ධිමාර්ග මහාසන්න ප්‍රස්තාවනාවෙහි දැක්වූ සැටිය මෙයින් විශුද්ධිමාර්ගය ළඟ තබාගෙන එහි ඌනපූරණය කරමින් නිපදවන ලද ග්‍රන්ථයක් බව හෙළි වෙයි.

“ථෙරවාදීන්ට විශුද්ධිමාර්ගය යම්සේ ද? අභයගිරිකයන්ට විමුක්තිමාර්ගය ද එසේය. මහාවිහාරිකයන්ට විමුක්තිමාර්ගයේ එන ඇතැම් මත ඛණ්ඩනය කිරීම අවශ්‍යයෙන්ම උවමනා වී තිබෙන්නට ඇත. එමෙන් ම ඔවුන්ට එවැනි ග්‍රන්ථයක අවශ්‍යතාව බෙහෙවින් බලපවත්වන්නට ඇත. එසේ නම් බුද්ධඝොස හිමියන්ගෙන් ඒ කාර්‍ය්‍ය මැනැවින් ඉටු වී තිබෙන බව කිය හැකිය.”

මේ වනාහි පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන්හි ආචාර්‍ය්‍ය පණ්ඩිත පින්වත්තේ දෙවානන්ද ස්ථවිරයන් වහන්සේ ගේ මතය යි. මෙයින් විමුක්තිමාර්ගය අභයගිරිකයන් ගේ ග්‍රන්ථයක් බව ද, විශුද්ධිමාර්ගය මහාවිහාරිකයන් ගේ ග්‍රන්ථයක් බව ද හෙළි කරන අතර විමුක්තිමාර්ගයේ ඇතැම් මත ඛණ්ඩනය සඳහා විශුද්ධිමාර්ගය කරන්නට ඇති බව ද සැක සහිත වැ දැක්වෙයි. මෙයින් බාපත් මතය නිරස්ත වෙයි. විශුද්ධිමාර්ගය විමුක්ති මාර්ගයේ ඌණපූරණයක් නො වැ එයට පටහැනි වැ සැපයූ ගතක් බව මෙයින් පැවැසෙන බැවිනි.

“මේ නිදසුන් වලින් අපට පෙනෙන්නේ නොයෙක් පොත් වලින් කරුණු උපුටා සංග්‍රහ කෙරෙමින් ලියා තිබුණු සිංහල විසුද්ධිමග්ග අටුවාව බුදුගොස් තෙරණුවන් විසින් පාළියට පෙරලූ බව ය. විසුද්ධිමග්ගය සිංහල රටේ සිංහල භික්ෂුවක් අතින් නිපනක්

බවට එහි පෙනෙන නානාවිධ කථාවන් සහ ප්‍රවෘත්තීනුත් නිදසුන් කළ හැකිය. විසුද්ධිමග්ග විමුක්තිමග්ගයේ පරිවර්තනයැ යි ඇතැම් උගත්තු කල්පනා කෙරෙති. මේ දෙපොතේ සම්‍යය දැඩි වශයෙන් පෙනෙතත් එකින් එකක් පරිවර්තනය නො කළ බවට නිදසුන් බෙහෙවි.”

මේ වනාහි සරීක්කාමුල්ලේ නිග්‍රෝධාරාම පිරිවෙන් හිමි පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිරයන් වහන්සේ ගේ මතය යි. මෙයින් සිංහල භික්ෂුවක් විසින් ලියා තැබූ සිංහල විශුද්ධිමාර්ගයක් බුදුගොස් හිමියන් විසින් පාළියට පෙරලන ලද බවත් විශුද්ධිමාර්ගය විමුක්තිමාර්ගයේ පරිවර්තනයක් නො වන බවත් දැක්වෙයි. මුලින් සඳහන් කළ බාපත්මතය මෙයිනුදු නිරස්ත වෙයි. මෙසේ අපරට විචාරකයන් දෙපළක ගේ අදහස් දැක්වීමට දක්වන ලද්දේ බාපත්මතය එයින්ම බිඳවැටෙන බව දැක්වීමට නො වේ. බාපත්මතය අප ද නො පිළිගන්නා බැවින් එයට සාධක වශයෙන් ඒ විචාරකයන්ගේ අදහස් ඇද දැක්වීමටත් ඒ අදහස් හි සාරයක් ඇද්දැ යි විමසීමටත් ය. පණ්ඩිත දෙවානන්දස්ථවිරමතය ගැන යමක් පළමුකොට කියයුතු වෙයි. විමුක්තිමාර්ගය අභයගිරිකයන් ගේ බව ඒ මතයෙහි සඳහන් වේ. විමුක්තිමාර්ගය කළ උපතිස්ස හිමියන් අභයගිරිකයකු බව මේතාක් ඔප්පු නො කළ බැවින් එහි වෙනස් මත ඇති පමණින් එය අභයගිරිකයන් ගේ ග්‍රන්ථයකැයි නිගමනය නො කළ හැකිය. මහාවිහාරිකයන් ගේ යැයි සම්මත ග්‍රන්ථයන්හිත් වෙනස් මතයන් ඇතැම්විට දක්නට ලැබෙන බැවිනි. මහා විහාරිකයන් විසින් ඛණ්ඩනය නො කළ හැකි මතයක් විමුක්ති මාර්ගයෙහි නැති බව දැනට පළ වී තිබෙන කරුණු වලින් පෙනේ. එහෙයින් මහාවිහාරිකයන් විමුක්තිමාර්ගමතයන් ඛණ්ඩනය කිරීමට බුදුගොස් හිමියන් යොදවන ලද බව පිළිගැනුමට කරුණු නැති. විශුද්ධිමාර්ගය කිරීමෙන් විමුක්තිමාර්ගයේ ඇතැම් මතයනට පහර වැදීම වූ බැවින් මහාවිහාරිකයන් ලඝුකොට සැලකිය යුතු නොවේ. අනතුරුව පණ්ඩිත විමලකීර්ති ස්ථවිර මතය ගැන සලකා බැලිය යුතු වෙයි. සිංහල භික්ෂුවක් විසින් ලියන ලද සිංහල විශුද්ධිමාර්ග අටුවාව බුදුගොස් හිමිතුමන් විසින් පාලයට පෙරළන ලද බව තන්මතය යි. විමුක්තිමාර්ගයේ පරිවර්තනයක් නොවන බවද උන්වහන්සේගේ පිළිගැනීම යි. මේ මතය වියතුන් විසින් ප්‍රශස්තයැ යි පිළිගැනීමෙහි වරදෙක් නැති සිංහල අටුවාව පාලියට පෙරළීමට මෙහි පැමිණි බුදුගොස් හිමියනට පරිවර්තනශක්තිය ඇති දැයි විමසීම මහාවිහාරික ප්‍රාඥයනට අභිමතව වූනා පුදුමයක් නොවන බැවිනි. එහෙත් සිංහල විශුද්ධිමාර්ග අටුවාවක් තිබුණු බවට කිසිම සාධකයක් නැති බැවින් මේ මතය තවත් විචාරණයට තැබිය යුතු වෙයි. එනම් අටුවාවක් ගැන කිසිම දැනීමක් අපට මේ තාක් නූපන් බැවින් විචාරකయనට ඉඩ තබා මේ ග්‍රන්ථය පිළිබඳ අපගේ අදහස මෙයින් මතු දක්වම්හ.

ඒ මේ විශුද්ධිමාර්ගය වනාහි හෙළ අටුවා මැනැවින් ඉගෙන මහාවිහාරිකයන්ගේ සුවිශුද්ධිවිනිශ්චය මැනැවින් දැනැ හෙළ බසින් පැවැති මහ අටුවාවෙහි ගැබ් වූ කරුණු