විශුද්ධි මාර්ගය - මාතර ධර්මවංශ හිමි.pdf
scanned
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2004
- මුද්රිත වර්ෂය :
- 2004
- පිටු ගණන :
- 1,097
- බාගත කිරීම් ගණන :
- 2,781
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-01-26
- ගොනුවේ ප්රමාණය :
- 34 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විස්තරාර්ථ සන්න සහිත විශුද්ධිමාර්ගය යනු අටුවාචාර්ය්ය ශ්රීමත් බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් ප්රණීත විශුද්ධිමාර්ග පාලි ග්රන්ථය සඳහා සම්පාදිත විස්තරාර්ථ සන්නය සහ සිංහලානුවාදය ඇතුළත් කෘතියකි. මාතර ධර්මවංශ හිමියන් විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ වර්ෂ 2547 (ක්රි.ව. 2004) දී මුද්රණය කර ප්රකාශයට පත් කොට ඇත.
ශීල, සමාධි සහ ප්රඥා යන ත්රිවිධ ශික්ෂාවන් පදනම් කරගනිමින් නිවන් මග විවරණය කරන අටුවා සම්ප්රදායේ අග්රගණ්ය මඟපෙන්වීමක් වන විශුද්ධිමාර්ගයෙහි ගාථා හා පාඨයන්හි සන්න සහිත විස්තරාර්ථ විවරණය මෙහි අන්තර්ගතය. පූර්විකාවෙහි ග්රන්ථ නාමය, කර්තෘත්වය, ග්රන්ථකරණයට හේතු වූ අන්තර් හා බාහ්ය නිමිති සහ ඓතිහාසික පසුබිම පිළිබඳව දීර්ඝ විමර්ශනයක් ඉදිරිපත් කර ඇත.
භාවනා යෝගාවචරයන්ට සහ ධර්ම ගවේෂකයන්ට කමටහන් හා අභිධර්ම නය විග්රහයන් නිවැරදිව වටහා ගැනීම පිණිස මෙම සන්න ග්රන්ථය ඉමහත් පිටිවහලක් සලසයි.
ප්රස්තාවනා
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
ශ්රීමත් සර්වඥශාසනයෙහි අතිශයින් දුර්ලභ වූ පැවිද්ද ලත් කුලපුත්රයනට ක්ෂෙම වූ නිව්ර්ාණ ප්රතිලාභයට ඍජු වූ ආර්ය්ය මාර්ග සංඛ්යාත ප්රතිපත්තිය ඉවහල් වන බැවින් තත් ප්රතිපත්තිය ශීල-සමාධි-ප්රඥා මුඛයෙන් ප්රකාශනය කරනු පිණිස ඒ මේ විශුද්ධිමාර්ගය සම්පාදනය කරන ලද්දේ වෙයි. එහි සංඥාද්යර්ථ පඤ්චකය ප්රමුඛ කොට ඇති මේ ප්රස්තාවනාව ශාසනමාමකයන් ගේ විශුද්ධිමාර්ගාවතරණයෙහි ප්රයත්න දනවනු පිණිස අනේක ග්රන්ථාශ්රයයෙන් ද, ඉතිහාස ප්රවෘත්ති සංකලනයෙන් ද, ආචාර්ය්යමතානුසාරයෙන් ද කරුණු සම්පිණ්ඩනය කොට ගෙන විවේචන පූර්වක වැ සපයනු ලැබේ.
‘’විසුද්ධි සබ්බමලවිරහිතං අච්චන්තපරිසුද්ධං නිබ්බානං වෙදිතබ්බං, තස්සා විසුද්ධියා මග්ගොති = විසුද්ධිමග්ගො ‘’ යනු ග්රන්ථාගත වූ අභිධෙයාර්ථ හෙයින් විශුද්ධි සංඛ්යාත සංඥා සර්වමලවිරහිත අත්යන්තපරිශුද්ධ වූ නිව්ර්ාණයට මාර්ගය විශුද්ධිමග්ග නම් වේ. ඒ මේ විශුද්ධිමාර්ගය සර්වප්රකාරයෙන් ප්රකාශනය කරන මේ ග්රන්ථය ද අභේදොපචාරයෙන් විසුද්ධිමග්ග නම් වන බව දත යුතු ‘’ විසුද්ධියා මග්ගො = විසුද්ධිමග්ගො’’ යන විග්රහය පූර්වොක්ත ග්රන්ථාගත අභිධෙයාර්ථයෙන් ම සිද්ධ ය. මෙහි විසුද්ධි නම් නිව්ර්ාණය යි. මග්ග නම් අධිගමොපාය යි. ‘’මග්ගොති අධිගමුපායො වුච්චති’’ යනු කී බැවින් අධිගම ලාභයට උපාය මග්ග නම් වන බව දතයුතු. ‘නිවනට මග විසුද්ධිමග්ග නම් වේ’’ යනු මෙහි නිෂ්කර්ෂය යි.
‘’විශුද්ධිමාර්ගය යි නිෂ්පර්ය්යායයෙන් ලෝකෝත්තර මාර්ගය දතයුතුය. තදුපාය හෙයින් වනාහි පූර්වභාග මාර්ගය ද තන්නිශ්රය කථා ප්රබන්ධය ද විශුද්ධිමාර්ගය යි කියනු ලැබේ.’’ යන මේ පරාක්රමබාහු නරේන්ද්රවචනයෙන් ද මේ ග්රන්ථයට විසුද්ධි මග්ග නාමය දීමෙහි සම්මිතත්වය ව්යක්ත වේ මැයි. ඒ මේ විශුද්ධි මාර්ගය වනාහි කිසිතැනෙක්හි විදර්ශනාමාත්ර වශයෙන් ද, කිසි තැනෙක්හි ධ්යාන - ප්රඥා වශයෙන් ද, කිසි තැනෙක්හි කර්මාදීන් ගේ වශයෙන් ද, කිසිතැනෙක්හි ශීලාදීන් ගේ වශයෙනුදු, කිසිතැනෙක්හි ස්මෘතිප්රස්ථානාදීන් ගේ වශයෙන් ද දෙසුන. මේ ග්රන්ථයට වස්තු වූ ‘’සීලෙපතිට්ඨාය’’ යනාදී ගාථාවෙන් ශීල -සමාධි ප්රඥා මුඛයෙන් මෙහි විශුද්ධිමාර්ගය දක්වන ලද්දේ වෙයි. එහෙයින් මෙ ග්රන්ථය දුශ්චරිත සංක්ලේශයා ගේ විශුද්ධියට මාර්ගය වූ ශීලය ද තෘෂ්ණාසංක්ලේශයා ගේ විශුද්ධියට මාර්ගය වූ සමාධිය ද, දෘෂ්ටි සංක්ලේශයා ගේ විශුද්ධියට මාර්ගය වූ ප්රඥාව ද සර්වඥ දේශනානුසාරයෙන් ප්රකාශිත වන බැවින් විසුද්ධිමග්ග නම් වූ බව දත මැනැවි. සංව්යවහාරාර්ථය පිණිස සංඥාකරණය වක්තව්ය හෙයින් මෙහි ‘’විසුද්ධිමග්ගං භාසිස්සං’’ යන්නෙන් ග්රන්ථකාරකයෝ ම සංඥාව කැලම දක්වති. විශුද්ධිමාර්ගය ග්රන්ථස්වරූපයෙන් පවසන බව දතයුතු ය. අර්ථානුගතසංඥා හෙයින් අන්වර්ථසංඥා විසින් ද මෙයින් විදර්ශනා මාත්රය ද, ධ්යාන ප්රඥාවන් ද, කර්මාදිය ද, ශීලාදිය ද, ස්මෘතිප්රස්ථානාදිය ද අවිශේෂයෙන් පවසතත් ශීල සමාධි-ප්රඥා මුඛයෙන් මෙ ග්රන්ථයම විශුද්ධිමග්ග නාමයෙන් වක්තව්ය හෙයින් විශේෂ සංඥාවිසින් ද මෙහි සංඥාර්ථය දත යුතුය. සමුදය විසින් නිවනට මග විශුද්ධිමාර්ගයැයි කිව ද මෙහි ශීලයත් සමාධියත් ප්රඥාවත් අවයව විසින් විශුද්ධියට කරුණු වන්නෙන් අවයවයක් පාසා විශුද්ධිය පර්ය්යාය විසින් ලැබෙයි. එහෙයින් මේ විශුද්ධිමග්ග යන නාමය අවයවාර්ථයෙන් නො ගිලිහුණු ගුණයට නිමිතිවන්තෙන් නෛමිත්තක වෙයි. ‘’විශුද්ධිමාර්ගය යනු අවයවාර්ථප්රභූත ගුණ නිමිත්තක වැ සිද්ධ වන බැවින් නෛමිත්තික නාම වෙයි.’’ යන පරාක්රමබාහු නරපති වචනයෙන් ද තදුප්රකාශනය වෙයි.
මේ ග්රන්ථකරණයෙහි නිමිත්ත වනාහි අන්තර්නිමිත්ත යැ, බාහ්ය නිමිත්තයැ යි දෙපරිද්දෙකින් දැක්විය හැකිය. මෙහි අන්තර්නිමිත්තය නම් විශුද්ධිය කැමැති කුලපුත්රයන් නිමිත්ත කෙරෙහි උපන් අනුකම්පාවයි. හේ වනාහි ග්රන්ථකාරයන් විසින් ම ‘’විසුද්ධිකාමා සබ්බෙපි නිසාමයථ සාධවො’’ යන්නෙන් දක්වන ලද්දේ වෙයි. සත්පුරුෂ කුලපුත්රයන් කෙරෙහි පහළ වූ ග්රන්ථකාරකයන්ගේ කරුණාව මෙයින් හෙළිවන බැවිනි. සත්කෘත්යශ්රවණයෙහි ඔවුන් යෙදවීමෙන් තමන් ලෙහි උපන් කුලුණුගුණය මෙයින් ඇරැ දැක්වූ බව දතයුතු ය.
‘’ප්රතිපන්න යෝගී ජනයන් අඥාන දුර්ඥාන මූලක අප්රතිපත්ති දුෂ්ප්රතිපත්ති හේතුක සංසාර දුඃඛයෙන් මුදනු සඳහා මෙ විශුද්ධිමාර්ගය කළ බැවින් යථොක්ත ප්රතිපද්යනයන් කෙරෙහි සමුත්පන්න අනුකම්පාව අන්තර් නිමිත්ත යැ’’ යන මේ පරාක්රමබාහුනෘපතිවචනයෙන් හේ පැහැදිලි වෙයි. අන්තර්නිමිත්තය දැක්වුව ද බාහ්ය නිමිත්තය දෙපරිද්දෙකින් දක්වන ලද බව පැනෙයි.
විභජ්ජවාදිසෙට්ඨානං- ථෙරියානං යසස්සිනං මහාවිහාරවාසීනං- වංසජ්ජස්ස විභාවිනො භදන්ත සඞ්ඝපාලස්ස-සුවිසල්ලෙඛවුත්තිනො විනයාචාරයුත්තස්ස - යුත්තස්ස පටිපත්තියං ඛන්තිසොරච්චමෙත්තාදි - ගුණභූසිත චෙතසො අජ්ඣෙසනං ගහෙත්වාන- කරොන්තෙන ඉමං මයා’’
යන මේ ග්රන්ථකාරයන් ගේ සූගීතයෙන් මහාවිහාර වංශයෙහි උපන් පැණවත් වූ පිවිතුරු සලේ පැවැතුම් ඇති විනේ අසරෙහි යෙදුණු පිළිවෙත්හි ඇලුණු ක්ෂාන්තිසෞරත්ය බැව් ඈ ගුණ මුවෙන් සැරසුණු සිත් ඇති භදන්ත සංඝපාල මහාස්වාමීන් ගේ ආරාධනය මෙ ග්රන්ථකරණයට බාහ්යනිමිත්තය බව හෙළි වෙයි. ‘’මේ විශුද්ධිමාර්ගකරණයෙහි ඛඩ්ගධර පරම විශුද්ධාශය සංඝපාල ස්ථවිරපාදයෝ බාහ්ය නිමිත්ත වෙත්.’’ යන්නෙන් පරාක්රමබාහු නරදේවයෝ ආරාධකයා බාහ්යනිමිත්ත විසින් දක්වති. ආරාධකයා කීමෙන් ආරාධනය ද ගැනෙන බැවින් හේ අසංගත නොවේ. මේ එක් බාහ්යනිමිත්තය යි අනෙක් බාහ්ය නිමිත්තය ප්රතිපද්යජනයා යි.
‘’ සුදුල්ලභං ලභිත්වාන - පබ්බජ්ජං ජිනසාසනෙ සීලාදිසඞ්ගහං ඛෙමං - උජුමග්ගං විසුද්ධියා යථාභූතං අජානන්තා -සුද්ධිකාමාපි යෙ ඉධ විසුද්ධිං නාධිගච්ඡන්ති - වායමන්තාපි යොගිනො’’
යන මේ ග්රන්ථකාරකයන් ගේ සද්ගීතියෙන් එව්හු දැක්වෙති. සර්වඥ ශාසනයෙහි අතිශයින් දුර්ලභ වූ පැවිද්ද ලැබ විශුද්ධියට සෘජුමාර්ගය වූ ශීලාදිසංග්රහය තතු සේ නො දන්නා වූ ශුද්ධිකාමීන් වැර වඩතුදු විශුද්ධිය නොලබන බව මෙයින් පවසති. ඔවුන්ගේ තත්ත්වඥානයට විශුද්ධිමාර්ගය කරන බව පැවසීමෙන් ග්රන්ථකාරකයෝ ප්රතිපද්යොගීජනයා ද බාහ්යනිමිත්ත කොට දක්වති. මෙසේ මෙහි නිමිත්තාර්ථය දත යුතු. ග්රන්ථ සම්භාවනා පිණිස නිමිත්තකථනය සාධුසම්මත යි. එහෙයින් තමන් කරන ගතට නිමිති දක්වමින් ග්රන්ථකාරකයෝ ස්වාධ්යාශය පිළිබඳ නිමලත්වය මැනැවින් හෙළිපෙහෙළි කරත්.
මෙහි කර්තෘවරයෝ අනුබුද්ධ බුද්ධඝෝෂ මහාස්වාමීහු වෙති. ලංකාධීශ්වර පරාක්රමබාහුන් විසින් ‘’බුද්ධඝොෂාචාර්ය්යපාදයෝ මෙ විශුද්ධිමාර්ගයට කර්තෘත්වයෙන් වෙදිතව්යයෝ යි’’ යනුවෙන් කර්තෘ ස්වකීය විශුද්ධිමාර්ග මහා සන්යයෙහි දක්වන ලද බැවින් ද , ‘’විපුල විසුද්ධබුද්ධිනා බුද්ධඝොසොති ගරූහිගහිත නාමධෙය්යෙන ථෙරෙන මොරණ්ඩචෙටකවත්ථබ්බෙන කතො විසුද්ධිමග්ගො නාම’’ යි විශුද්ධිමාර්ගී ග්රන්ථාවසානයෙහි සඳහන් වන බැවින් ද මේ ගැන සැකයක් නැති. බුද්ධඝොෂා චාර්ය්යපාදයන් මෙ විශුද්ධි මාර්ගය සම්පාදනය කළ බව පරම්පරායාත වාර්තාවලින් ද හෙළිවෙයි. එක් පරම්පරායාත වාර්තාවක් දක්වන පරාක්රමබාහු නරේශ්වරයෝ මෙසේ සඳහන් කෙරෙති.
මේ ආචාර්ය්යයෝ ජම්බුද්වීපවාස්තව්ය මහා ස්ථවිරවරයන් විසින් සමාරාධිත වැ හෙළු අටුවා පෙරළා සර්වජනීන මූලභාෂායෙන් තෙවළාවට අටුවා ලියනු සඳහා මෙ ලංකාද්වීපයට වැඩ මහා විහාරයෙහි සංඝපාල මහාස්ථවිරයන් කෙරෙහි හෙළු අටුවා අසා සියලු ස්ථවිරවාද ඉගෙන මහා සංඝයා රැස් කොට අටුවා ලියන්නට පොත් දෙන්නේ යැයි ඉල්ලූහ. සංඝයා ද අර්ථකථා කරණුවට ශක්ති පරීක්ෂා සඳහා තොප ගේ සාමර්ථ්යය මෙහි දක්වව. එ දැක පොත් දෙම්හ යි මේ ගාථා දෙක දුන්හ. එසඳ තදර්ථවර්ණනාචාරයෙන් එහි අටුවා සහිත පිටකත්රය සංග්රහ කොට මෙ විශුද්ධිමාර්ගය කළහ යනු පරම්පරායාත වාර්තා යි.’’