විපස්සනාව පෙළගැස්ම - මහාසී සයාඩෝ හිමි.pdf

කතෘ :
මහාසී සයාඩෝ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2005
මුද්‍රිත වර්ෂය :
2005
පිටු ගණන :
35
බාගත කිරීම් ගණන :
2,118
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-10-17
ගොනුවේ ප්‍රමාණය :
1.4 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 18

විපස්සනාව පෙළගැස්ම යනු බුරුමයේ අතිපූජ්‍ය මහාසී සයාඩෝ (සොබන මහා ස්ථවිර) තෙරුන් වහන්සේගේ මූලික දේශනාවක් ඇසුරෙන් සැකසුණු විපස්සනා භාවනා උපදෙස් සංග්‍රහයකි. මෙය සිංහල බසට පරිවර්තනය කොට සකස් කර ඇත්තේ මීතිරිගල නිස්සරණ වනවාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි.

ආධුනික යෝගාවචරයෙකු විසින් විපස්සනා භාවනාව ආරම්භ කළ යුතු පිළිවෙළ, ආශ්වාස-ප්‍රශ්වාසය අනුව උදරයේ පිම්බීම හා හැකිලීම මෙනෙහි කිරීම, ඉරියව් පැවැත්ම, සක්මන් භාවනාව සහ වේදනාවන් මෙනෙහි කිරීම පිළිබඳ සවිස්තර මූලික උපදෙස් මෙහි පැහැදිලි කර දී ඇත.

මෙම කෘතියේ ප්‍රථම මුද්‍රණය ශ්‍රී බුද්ධ වර්ෂ 2549 (ක්‍රි.ව. 2005) දී නුගේගොඩ ‘ලිතිර’ ප්‍රකාශනයක් ලෙස ධර්මදානමය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

පෙරවදන

අති පූජනීය මහා-සී සයාඩෝ ස්වාමීන් වහන්සේ (අති පූජනීය සොබන මහා ස්ථවිර) විසින් ආරම්භ කරන ලද මෙම විපස්සනා භාවනා ක්‍රමය නිසා ලොව නන් දෙසින් නිවන් මගට බැස ගන්නා පිරිස දිනෙන් දිනම වැඩෙමින් පවතින බව ප්‍රකට කාරණයකි. බුරුමය වැනි සම්ප්‍රදායානුකූල රටක ඉපිද මේවන විට වසර හැටකට වඩා කාලයක් එහි ප්‍රයෝජනවත් බව කියා පාමින් එය වැජඹෙයි. ලාංකිකයන් වන අපට මෙවැන්නක අවශ්‍යතාවය බොහෝ කලක සිට පැවතීම නිසා වරින් වර එළි දක්වන ලද කුඩා පොත් රාශියක් මේ වන විටත් භාවනා කරන්නන් අතර සැරි සරයි.

කෙසේ නමුත් මීතිරිගල නිස්සරණ වනයට භාවනාව සඳහා පැමිණෙන ගිහි උපාසක පිරිසත්, උපදෙස් අපේක්ෂාවෙන් එන උපාසිකා පිරිසත් වසර කිහිපයක් තිස්සේ ඇසුරු කිරීමෙන් වැටහී ගියේ තවමත් එවැන්නන් සඳහා ලැබී ඇති මූලික උපදෙස් වල අඩුපාඩු රාශියක් තිබෙන බවයි. අතිපූජනීය මහා-සී සයාඩෝ ස්වාමීන් වහන්සේගේ ම දේශනාවක් අනුව ලියැවී ඇති මෙහි සම්පූර්ණ භාවනා ක්‍රමයම සම්පිණ්ඩනය වී ඇති නිසා මෙය සියලු දෙනාගේ එවන් අවශ්‍යතාවයන් සපුරනු ඇත, යන්න අපගේ අදහසයි. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙහි දැක්වෙන සක්මන් භාවනාව සම්බන්ධව දැක්වෙන උපදෙස් කෙරෙහි විශේෂ අවධානයක් කා විසින් වුවද යොමු කළ යුතු බවයි.

මීතිරිගල නිස්සරණ වනයට පසළොස්වක පෝය දාට සිල් ගැනීමට නිතිපතා පැමිණෙන සිල් පිරිසගේ ඉදිරිපත්වීම අනුව මෙය මෙලෙස මුද්‍රණ ද්වාරයෙන් එළි දකින්නේ එවන් අඩු පාඩු හා අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේ එම අදහස ක්‍රියාවත් කිරීමක් වශයෙනි. මෙය වටිනා ධර්ම දානයකි. සංවිධානය කළ ආනන්ද සරත් ජයකොඩි මහතා ඇතුළු එයට අත-හිත දුන් සියලු දෙනාටම ධර්ම මාර්ගය එළි පෙහෙළි වේවා! කියවා බලන මෙන්ම ක්‍රියාවත් කරන සියලු දෙනාටමත් සතිපට්ඨාන භාවනාව මුදුන් පත් වේවා! මුද්‍රණ කටයුතු සෝබන ලෙස කරදුන් අපගේ කමල් ඇඹුල්දෙණිය මහතා ඇතුළු “ලිතිර” හි සියලු දෙනාටමත් ධර්මයම සැනසීම උදාවේවා!

මෙම පොත් ඇසුරු කරමින්, ගුරු උපදෙස්ද ලබමින් ලැබී ඇති මෙම වටිනා ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීමට කෙනෙක් මෙය අනුව සිත් පහළ කරයි නම් එපමණකින් අපගේ බලාපොරොත්තු ඉෂ්ඨ වුනා වන්නේය. මෙහි යම් අඩුපාඩුවක් හෝ මුද්‍රණ දෝෂ හෝ වෙත් නම් ඒවා අපගේම දුර්වලතා බව සලකා කරුණාවෙන් පෙන්වා දෙන මෙන් අවසාන වශයෙන් මතක් කරමු.

තෙරුවන් සරණ වේවා!

මෛත්‍රියෙනි,
උ. ධම්මජීව හිමි.
නිස්සරණ වනය
මීතිරිගල
11742
31/12/05