විපස්සනා භාවනා ක්‍රමය - මහාසී සයාඩෝ හිමි, නාඋයනේ අරියධම්ම හිමි.pdf

කතෘ :
මහාසී සයාඩෝ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1980
මුද්‍රිත වර්ෂය :
1980
පිටු ගණන :
51
බාගත කිරීම් ගණන :
3,717
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-05-25
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 26

විපස්සනා භාවනා ක්‍රමය යනු බුරුමයේ අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මහාසී සයාඩෝ නායක මාහිමියන් වහන්සේ විසින් බුරුම බසින් සම්පාදිත ප්‍රකට ‘විදර්ශනා භාවනා ක්‍රමය’ නම් මහා ග්‍රන්ථයේ පස්වන කාණ්ඩයෙහි භාවනා මනසිකාරය කරන පිළිවෙළ ඇසුරෙන් සැකසුණු සිංහල පරිවර්තනයකි.

මෙම කෘතිය පූජ්‍ය යූ. ඤාණින්ද සෙයාඩෝ මාහිමියන්ගේ සදුපදේශ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් සිංහල බසට පරිවර්තනය කර ඇත. මීතිරිගල නිස්සරණ වන අරණ්‍ය සේනාසනාධිපති මාතර ශ්‍රී ඥානාරාම මහනාහිමියන්ගේ සහ කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා නිර්මාතෘ කඩවෑද්දුව ශ්‍රී ජිනවංශ මාහිමියන්ගේ ආශිර්වාදයෙන් යුතුව ඉදිරිපත් කොට ඇති මෙම කෘතිය 1980 දී ධර්ම දානය පිණිස මුද්‍රණය කරවා ඇත.

සතර සතිපට්ඨාන විදර්ශනා භාවනාවෙහි මූලික පියවර වන උදරයේ පිම්බීම-හැකිලීම මෙනෙහි කිරීමේ සිට ඉරියාපථ මෙනෙහි කිරීම, වේදනා මෙනෙහි කිරීම සහ එදිනෙදා ක්‍රියාකාරකම් සිහියෙන් යුතුව මෙනෙහි කරමින් විදර්ශනා වඩා නිවන් සුව සාක්ෂාත් කරගන්නා ආකාරය මෙහි සවිස්තරව පහදා දී තිබේ.

හැඳින්වීම

ශාන්ත නිවන් සුව මේ ජීවිතයේදීම ලබනු කැමතියනට සප්තවිශුද්ධි ක්‍රමයෙන් සුවසේ නිවනට පැමිණෙනු පිණිස, සතර සතිපට්ඨාන විදර්ශනා භාවනාව මුල පටන් වඩන ආකාරය අනුපිළිවෙළින් දක්වමින්, බුරුම රට අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත භදන්ත ඌ, සොභන මහාසී සෙයාඩෝ නායක මාහිමියන් වහන්සේ විසින් බුරුම බසින් සම්පාදිත “විදර්ශනා භාවනා ක්‍රමය” නම් මහා ග්‍රන්ථයේ 5 වෙනි කාණ්ඩයෙහි භාවනා මානසිකාරය කරන පිළිවෙළ විපස්සනා භාවනා ක්‍රමය නමින් සිංහල බසින් මුද්‍රණය කරවා භාවනාභිලාෂීන් වෙත මෙසේ ධර්මදාන වශයෙන් බෙදා දෙනු ලැබේ.

ගාල්ලේ, වැකුණුගොඩ, බෝපේ ධර්මායතනාධිවාසී අති පූජ්‍ය යූ. ඤාණින්ද සෙයාඩෝ මාහිමියන් වහන්සේගේ සදුපදේශ ඇතිව, දියතලාවේ කහගොල්ලේ ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයේදී සහ මාතර කැකණදුර, උතුරු තලල්ලේ ශාන්ති ආශ්‍රමයේදී මේ භාවනා පොත සිංහලට පරිවර්තනය කරන ලදී.

බුරුම බසින් ලියන ලද “විදර්ශනා භාවනාක්‍රමය” මහා ග්‍රන්ථයේ සම්පාදක අග්ගමහා පණ්ඩිත භදන්ත ඌ-සොභන මහාසී සෙයාඩෝ නායක මාහිමියන් වහන්සේ වනාහි මෑත භාගයේ බුරුම රට විසූ අරණ්‍ය වාසී අභිඥාලාභී රහත් පරපුරෙක්හි දැනට වෙසෙන ශ්‍රේෂ්ඨ කම්මට්ඨානාචාර්ය්‍යයන් වහන්සේ නමකි. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ධර්ම සංගායනාවේ පෘච්ඡාපෘච්ඡක ඨානාන්තරය දැරූ මහාසී නායක මාහිමියන් වහන්සේ විසුද්ධිමාර්ග මහා ටීකා සන්නය, මහා සතිපට්ඨාන සූත්‍ර සන්නය, සබ්බාසව සූත්‍රසන්නය, වත්ථූපම සූත්‍ර සන්නය, ප්‍රතිපත්ති ශාසන ඉතිහාසය යනාදී සම්භාවනීය ග්‍රන්ථ 24 ක් සැපයූ අත්‍යුත්තම ග්‍රන්ථ කර්තෲන් වහන්සේ නමකි.

මහාසී නායක මාහිමියන් වහන්සේ විසින් පුහුණු කරවනු ලබන මේ සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්‍රමය බුරුමය - සියමය - ලංකාව දඹදිව හා කාම්බෝජ යන රටවල ව්‍යාප්තව පවතී. ඉන්දියාවේ සහ කාම්බෝජයේ ස්වල්ප වශයෙන් මෙය පැතිර ඇත. ලංකාවේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය ප්‍රධානම ශාඛා ස්ථාන 30 ක මේ ක්‍රමය පුහුණු කරනු ලැබේ. දස දහසකට වැඩි පිරිසක් භාවනා පුහුණු වී සිටිති. සියම් රට භාවනා මධ්‍යස්ථාන 300 පමණ ඇත. යෝගාවචරයෝ ලක්ෂයකට අධිකය. බුරුම රට වනාහි භාවනා මධ්‍යස්ථාන 367 කි. පුහුණු යෝගාවචරයෝ හයලක්ෂ පණස් එක් දහස් හයසියයකට අධික වෙති.

සසර දුකින් මිදී නිවන්සුව ලබනු පිණිස, භාවනා වඩනු කැමතියනට උපකාර පිණිස අතිපූජ්‍ය මහාසී නායක හිමියන් වහන්සේගේ භාවනා ග්‍රන්ථයෙන් පරිවර්තනය කරන ලද මේ විපස්සනා භාවනා ක්‍රමයේ යම් පරිවර්තන දෝෂයක් ඇත්නම් එය අප වෙතය. මේ භාවනා ක්‍රමය පිළිබඳ සියලු ගෞරවය අතිපූජ්‍ය මහාසී නායක මාහිමියන් වහන්සේ වෙත පත්වේවා.

පොත පරිවර්තනය කිරීමෙහි සම්පූර්ණ සහාය දී වදාළ අතිපූජ්‍ය ආචාර්ය්‍ය යූ. ඤාණින්ද සෙයාඩෝ මාහිමියන් වහන්සේටත්, මෙය අනුමත කොට වදාළ මීතිරිගල නිස්සරණ වන අරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමි පාණන් වහන්සේටත්, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශාභිධාන මාහිමි පාණන් වහන්සේටත් භක්ත්‍යාදර ගෞරව නමස්කාර පූජා වේවා.

මෙය පිටපත් කිරීමෙහි සහාය වූ පූජ්‍ය මාතලේ ධම්මින්ද, පූජ්‍ය මිරිහානේ නන්ද, පූජ්‍ය නාඋයනේ අරියඥාණ යන ආයුෂ්මතුන් වහන්සේලාටත්, පොත මුද්‍රණය කරවීමේ උද්‍යෝගයෙන් සියලු කටයුතු වල යෙදුනු ගාල්ලේ-වංචාවල මීගොඩ “රණගිරි” නිවැසි පින්වත් ඩබ්ලිව්. රණසිංහ මහත්මාටත් අපේ කෘතඥතාවය පිරිනමමි.

ධර්ම දානයෙහි අනුසස් දන්නා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ මණ්ඩලයක් විසින් මේ පොත මුද්‍රණය කිරීමේ සියළුම වියදම දරණ ලදී. පුණ්‍ය කාමී ඒ සැම දෙනාටම මේ ධර්මදානමය මහ පින මග පල නිවන් සුව පිණිසම හේතු වේවා. වාසනා වේවා.

‘‘ආරභථ නික්ඛමථ — යුඤ්ජථ බුද්ධ සාසනෙ ධුනාථ මච්චුනො සෙනං — නළාගාරංව කුඤ්ජරෝ’’

‘‘බුද්ධ ශාසනයෙහි ආරම්භ ධාතු වීර්ය්‍යය කරව්, නික්ඛම ධාතු වීර්ය්‍යය කරව්. පරාක්‍රම ධාතු වීර්ය්‍යයද කරව්. බට ගෙයක් නසන ඇත් රජෙකුසේ, කෙලෙස් මර සෙනඟ වනසා දමව්’’ (අරුණවතී සූත්‍රය)

මේ භවයේදීම අනුසස් ලබනු පිණිස සියල්ලෝම භාවනා වඩාත්වා!

මෙයට,
නාඋයනේ අරියධම්ම
ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය,
ගල්දූව - අම්බලන්ගොඩ.