විදර්ශනා ගුරු පොත - යාගොඩ ධර්මප්රභ හිමි.pdf
- කතෘ :
- යාගොඩ ධම්මප්රභ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2007
- මුද්රිත වර්ෂය :
- 2007
- පිටු ගණන :
- 213
- බාගත කිරීම් ගණන :
- 2,536
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2016-09-17
- ගොනුවේ ප්රමාණය :
- 12 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විදර්ශනා ගුරු පොත හෙවත් සතිපට්ඨාන විදර්ශනා උපදේශය යනු ගාල්ලේ වවුලුගල තපෝවන ආරණ්යවාසීව වැඩවිසූ පූජ්ය යාගොඩ ධම්මප්රභ හිමියන් විසින් සම්පාදිත ප්රායෝගික විදර්ශනා භාවනා උපදෙස් ඇතුළත් කෘතියකි. බුරුමයේ මහාසී සයාඩෝ පාමුල භාවනා ප්රගුණ කොට මෙරට භාවනාව ප්රචලිත කිරීමේ අරමුණින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇත.
සතිපට්ඨාන විපස්සනා භාවනා මාර්ගය, වායෝ ධාතුව මුල් කරගත් පිම්බීම-හැකිළීම මෙනෙහි කිරීමේ ක්රමවේදය, ආනාපානසතිය හා සසඳමින් විග්රහ කිරීම, යෝගාවචරයෙකු විසින් පිළිපැදිය යුතු සිරිත් විරිත්, කර්මස්ථානාචාර්යවරයෙකු සතු විය යුතු සුදුසුකම් ආදී කරුණු රැසක් පෙළ අටුවා පාඨ සාධක සහිතව මෙහි පැහැදිලි කෙරේ.
මෙම දෙවන මුද්රණය බුද්ධ වර්ෂ 2550 (ක්රි.ව. 2007) දී ප්රකාශයට පත් වී ඇත.
බැතිමල්
සුවර්ණ භූමි සඛ්යාත බුරුම බෞද්ධ මහා රාජ්යයෙහි ද සියම් කාම්බෝජ වියට් නෑම් සහ ලංකා බෞද්ධ රාජ්යයන්හිද සිය ගණන් සතිපට්ඨාන විපස්සනා භාවනා මධ්යස්ථානයන් හි මූලස්ථානය වූ, රැන්ගුන් නගරාසන්නයෙහි, “ශාසන යෙයිතා” (සසුන් සෙවන) නම් වූ විදර්ශනා මහා යෝගාශ්රමයෙහි ආරම්භක ප්රධාන කර්මස්ථානාචාර්ය්ය වර, අග්ගමහා පණ්ඩිත අෂින් සොභන මහාසී අස්මද් කර්මස්ථානාචාර්ය්ය මාහිමියන් වහන්සේ වෙත මෙම ග්රන්ථය ගුරුභක්ති පුෂ්පාඤ්ජලියක් වේවා
- කර්තෘ -
FLOWERS OF DEVOTION
May this book be an offering of flowers made with my fingers clasped in devotion and deep gratitude to my teacher the most Venerable Karmasthanacharya, the teacher incomparable in the instruction of Meditation, Agga Maha Panditha Ashin Sobhana Mahasi, The founder and chief instructor at Sasana Yeitha (an abode that propagates the message of the Buddha), the foremost amongst the hundreds of Satipattana Vipassana Meditation Centres situated near the city of Rangoon in the great Buddhist Kingdom of Burma considered as ‘the Golden Land’ and in the other Buddhist countries of Siam, Cambodia, Vietnam and Sri Lanka.
Author
ශාසනික නිවේදනය
“දෙසිතො ආනන්ද, මයාධම්මො අනන්තරං අබාහිරං කත්වා න ත්ථානන්ද, තථාගතස්ස ධම්මෙසු ආචරිය මුට්ඨි” (සංයුක්ත)
ආනන්ද, නොඇතුළු නො බැහැර කළ යුතු කොට මවිසින් දහම් දෙසන ලදි. ආනන්ද, තථාගත ධර්මයෙහි ගුරු මුෂ්ටියක් නැත.
මෙසේ සැඟවු ගුරු මුෂ්ටියක් සම්බුද්ධ ධර්මයෙහි නොමැති වුවද නොසැඟවු ගුරු මුෂ්ටියම ගුරුවරයකු වෙතින් ලබා අත්තනොමත බැහැරලා නොමඟ නොගොස් යෝනිසො මනසිකාරයෙහි (භාවනායෙහි) යෙදිය යුතු බව භාවනාභිලාෂී සාධූන් වෙත කෙරෙන ශාසනික නිවේදනයයි.
මෙය විදර්ශනා ගුරුන් සඳහාය. එමතුදු ධර්ම බුද්ධියෙහි පිහිටි සත්පුරුෂයනට ද මෙයින් මහත් සද්ධර්මරසයක් ලැබෙනු නියතය. භාවනාදී ප්රතිපත්ති දියුණුව එකම අදහස කරගණිමින් බෞද්ධ පින්වතුන් අතර විදර්ශනා වැඩීමෙහි මහත් උපද්යෝගයක් ඇති කරවමින් ස්වකීය කාලයත් ධනයත් වැය කරන, ඇස්. ඊ. ද සිල්වා මහතාණන් වෙත මෙහි මුද්රණ ආදී කෘත්යභාරය පැවරිමු.
ලක්දිව සියලු සැදැහැවත් බෞද්ධ පින්වතුන් මෙම භාවනා ක්රමය නිවැරදිව ප්රගුණ කිරීමෙන් සද්ධර්ම රසය විඳීම නිශ්ශරණාධ්යාශයෙන් මෙහි ලා අප ගත් ශ්රමසාඵල්යය යි. එද හැම සතුවේවා!
ඈත සිට බලා විවේචනය කරන්නට මිස ළංව පිළිබඳව විමසා බලන්නට අපේ විවේචන ගරුක උගත් බෞද්ධයන් හා භික්ෂූන් නොපෙළඹෙන හෙයින් කෙළින්ම කරුණු පැහැදිලි කරන්නට වීම ප්රතිවිරුද්ධ අදහස් දරන්නවුන් කෙරෙහි අනුකම්පාවත් කර්මස්ථානාචාර්ය්යවරයන් අස්වැසිමත් පිණිස වේවා!
මෙහි සදසද්විවේකයෙහි කෘත්යයොග ආගතාගම සුධීන්ට පමණක් බැව් අපගේ ශාසනිකාධ්යාශයයි. ආචාර්ය්ය උපකාරකාදීන් හා හැම සත්හුම උතුම් සුව ලබත්වා!
චිරං තිට්ඨතු සද්ධම්මො
මෙයට වනවාසී ධම්මප්රභ
ශ්රී බුද්ධවර්ෂ 2502 පොසොන්පුර පසළොස්වකැ
‘තපෝවන’ යේදීය.
වවුළුගල වතුයාය - ඉමදූව
පෙරවදන
නමෝබුද්ධාය
විදර්ශනා ගුරුපොත කර්තෘ ගාල්ලේ වවුලුගල වතුයාය අසල පිහිටි “තපෝවන ආරණ්යයේ”හි වැඩ වසන යෝගාවචර පූජ්ය ධම්මප්රභ හිමිපාණෝ, කලුගල ආරණ්යයෙහි කලක් වැඩවසාල අග්රමහා පණ්ඩිත පූජ්ය බලන්ගොඩ ආනන්ද මෛත්රිය හිමිවැනි අග්ර පණ්ඩිත ස්වාමීන්ද්රවරයන්ගේ පාද මූලයන් හි දහම් හදාරා, මීට තෙවසකට පමණ පෙර, පෙර කී වතුයාය අයත් සැදැහැවතුන්ගේ මෙහෙයීමෙන්, බුරුම රට පිවිස, “ශාසන යෙයිතා” (සසුන් සෙවන) නමින් ප්රකට විපස්සනා භාවනා මධ්යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත අෂින්මහාසී අස්මද් කර්මස්ථානාචාර්ය්ය මහා හිමියන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා, කලක් විදසුන් වඩා මනා දියුණුවක් ලැබ පෙරලා තපෝවනයට පැමිණ, එය අවට ගම් නියම් ගම් ආදියෙන් පමණක් නොව, ඈත කැළණිය වැනි නොයෙකුත් ප්රදේශාදියෙන්, මෙම භාවනා පුහුණුව අපේක්ෂා කරමින් එහි පැමිණෙන භාවනාභිලාෂී සැදැහැවත් ගිහි පැවිදි උභය පක්ෂයටම, තපෝගුණයෙන් යුක්තව, අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර, කර්මස්ථානයන් දෙමින් මෙම සතිපට්ඨාන විපස්සනා භාවනා ක්රමය ඔවුන්ට හැඳෑරීමේහි සහ එය ප්රචාරක ග්රන්ථ ධුරයෙහිද යෙදී සිටීමෙන් ප්රතිපත්ති ශාසනයට ඉමහත් සේවයක් අද සිදු කරණ, භව දුක් නිශ්ශරණය සඳහා මහණදම් පිරීමට පා තැබූ බව කිසිසේත් අමතක නොකළ, පූජ්ය සුපේශල ශික්ෂාකාමී අතිගරු භික්ෂු පරපුරේ ගරුත්වය රැක සිටින පඬිවරයන් අතර වැජඹෙන මිණිරුවනකි.
හේතු උදාහරණ සහිත, පෙල අටුවාපාඨ සඳහන්, ලිහිල් බසින් සකස් වී තිබෙන, මෙම ග්රන්ථයේ අත් පිටපත අප අතට පත්ව සාදරයෙන් පසස්නා ලදින් එහි ප්රකාශනය අපි සතුටින් පිළිගතිමු.
මෙම ග්රන්ථය වර්තමාන භාවනා ලෝකයෙහි පැවැති ඝනාන්ධකාරය දුරුකරණ, එහි තිබී විශාල පුරප්පාඩුවක් පිරිමසන කර්මස්ථාන ගුරු ආචාර්ය්යවරුන්ට පමණක් නොව, භාවනාභිලාෂී ආධුනිකයන්ට පවා මහඟු හස්තසාරයක් වෙනවා නිසැකය. අප රට වැඩ වසන පත් පොත් භාවනා ක්රම දැන උගත්, එය පමණවත් පුරුදු පුහුණු නොකළ, ව්යාජමතධාරීන්ට මෙන්ම, මිථ්යා යෝගී භාවනා වැඩීමෙන් නොමඟ ගිය භාවනානුයෝගී සැදැහැවතුන්ට පවා ඔවුන්ගේ දුර්මත දුරුකර ගැනීමට ඉවහල්වන කරුණු ස්වල්පයක් ද මෙහි අන්තර්ගත වී ඇත. මෙම පුෂ්තකය, භාවනා අළලා මෙම ස්වාමීන් වහන්සේ සකස්කොට පලකරවන දෙවැනි ග්රන්ථයය.
සතිපට්ඨාන භාවනා ක්රමය
මෙම විපස්සනා ක්රමය පැරණි ලංකාවේ භාවිතව, විදේශ විජාතික ආණ්ඩු අනුග්රහයෙන් පැවති ආගමික ප්රහාරයන් හේතු කොට ගෙන ඇති වූ ශාසන පරිහානියෙහිදී යටපත් වූ ක්රමයකි. මෙරට මෙන් විජාතීන්ගේ ආගමික ප්රහාරයන් ගෙන් උග්ර පීඩිත නුවූ බුරුම වැසි වනගත භික්ෂු පරපුරෙහිද යටපත්ව පැවති මෙම ක්රමයට පුනර්ජීවනයක් දුන් අග්ගමහා පණ්ඩිත අෂින් මහාසී මහා හිමියානන් වහන්සේ එරට නොබෝදා පැවැත් වූ ඡට්ඨ සංගායනාවේ ප්රශ්න විචාරක වශයෙන් දෙලක්ෂයක පමණ සංඝ සභාවකින් තෝරාගත් අසහාය පඬිරුවනය. වජිරාරාමාධිපති පූජ්ය ගරු නාරද ස්වාමීන් වහන්සේ, අප අගනුවර ප්රසිද්ධ රැස්වීමකින් පිළිගත් මෙම මහාසී සයාඩෝ හඳුන්වා දුන්නේ නිසැකයෙන් මාර්ගඵලලාභී මහෝත්තමයෙක් මෙන්ය.
ලංකා බුරුම දෙරට ශතවර්ෂාදී කාලයක් පැවත එන බෞද්ධ සහෝදරත්වය දියුණු කිරීම් වස්, ආදර්ශවත් බෞද්ධයෙක් වූ ගරු ඌ බාලුචින්, මෙරට බුරුම තානාපතිතුමාගේ මෙහෙයීමෙන්, මෙම ක්රමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලත් බුරුම ස්වාමීන්ද්රයන් වහන්සේ තෙනමක්, මෙහි වැඩමවා එම බුද්ධ පුත්රවරුන් මගින් මෙම ක්රමය තව වරක් මෙහි ප්රතිෂ්ඨාපනය කිරීමෙන්, ගරු ඌ බාලුචින් තුමාද එම ස්වාමීන්ද්රයානන් වහන්සේලාද ප්රතිපත්ති ශාසනයට අමරණීය සේවයක් කර, ලක්දිව සැදැහැවත් බෞද්ධ මහජනයාගේ අසහාය කෘතඥතාවය ලැබ සිටිති.
ආනාපාන සතිය
ආනාපාන සති භාවනා ක්රමය සවිස්තරව දක්වන මහා සතිපට්ඨාන සූත්රයෙහි “සබ්බකාය පටිසංවෙදී......” යනුවෙන් උගන්වන්නේ සියලු ආශ්වාස-ප්රශ්වාස කය වැටහෙන සුළුව අභ්යාස කරමින් .....උත්පත්ති විනාශ ස්වභාවය දක්නේ..... කිසිවක් ආත්මාදී වශයෙන් නොගෙන...... කය අනුව බැල්මෙන් සිටීමය. කර්මස්ථානය වශයෙන් මෙහි පෙන්වන්නේ ආශ්වාස-ප්රශ්වාසයෙන් ඇතුල්වන සහ පිටවන “සියලු වායෝ කය” මිස එහි විශේෂ ස්ථානයක් නොවේය. අනුබුදු සම්මානය ලැබී බුද්ධඝොස හිමි ඒ අනුව යම්කිසි විශේෂ දර්ශනයකින් නාසිකාග්ර උඩුතොල ගැටෙන වායො ධාතුව සමථයට සුදුසු ලෙස කර්මස්ථාන කොට ගෙන දක්වා තිබේද, මහසි සයාඩෝ හිමිද එවැනි දර්ශනයකින් විදර්ශනාවට සුදුසු වූ, එම එකම වායෝ ගමනින් සිදු කරණ නාභි මණ්ඩල චලනය හෙවත් පිම්බීම-හැකිළීම කර්මස්ථාන කොට ගෙන තිබේ. ඒ නිසා මේ (කර්මස්ථාන) දෙදෙනා එකම කායානු පස්සනා මවගෙන් බිහිවූ නිවුණ් සොහොයුරන් වැනිය. එකකට අයත් ගුණාංග අනිකටද උරුමව ඇත. පුහුණුවෙහිදී හෝ ප්රගුණත්වයෙහිදී, වැරදි ලෙස ආසනය සකස් කර ගැනීමෙන් හෝ කය ඇද නැතිව සිහිය අභිමුඛ කොට පිහිටුවා නොගැනීමෙන් හෝ යම්කිසි ශාරීරික හෝ මානසික ආබාධයන් මෙම ක්රම දෙක්හිදීම පැන නැගිය හැකිය. විශේෂයෙන් මින් සමහර ආබාධයන් ඇතිවිය හැක්කේ ආශ්වාස ප්රශ්වාසය උත්සාහයෙන් සීඝ්ර කිරීමෙන්ය. මෙම සතිපට්ඨාන විපස්සනා ක්රමය එයට කිසිසේත් ඉඩ තබා නැත. මෙම ක්රමයේදී ඉඳීම-සිටීම මෙනෙහි කිරීමට යෝගියාට උගන්වන්නේ, බෙහෙවින් පිම්බීම-හැකිළීම ප්රකට වෙනතුරු එසේ කය අනුව බැල්මෙන් සිටීමටය.
එහෙත් යම්කිසි ශරීරාබාධයකින් පෙළෙන යෝගියෙකුට පහසු ලෙස වාඩි වී හෝ සැතපී භාවනා වැඩීමට වරප්රසාද ඇත. සමහර එවැනි යෝගීන්ට භාවනා වැඩීමේදී ඇතිවූ ලෙස පිරිසිදු වීම හේතු කොට ගෙන සමහර ආබාධයන්ගෙන් බොහෝ දුර සංසිඳීමක් ඇතිවූ බවද අත්දැක තිබේ.
විදර්ශනාව
විදර්ශනාවෙන් අදහස් කරන්නේ පැනනගින නොයෙකුත් අරමුණු හෙවත් නාම රූපයන් තත්වාකාරයෙන් මෙනෙහි කර නිරුද්ධ කිරීමය. (12 පිටුව) ශුද්ධ විදර්ශනා ක්රමය විශුද්ධි මාර්ගයේ බුද්ධඝොස හිමි පෙන්වා ඇත. ‘’රහත්වීමට ධ්යාන අවශ්ය නොවෙති’’. ධර්ම සංග්රහය, නාරද හිමි. ‘’ශුෂ්ක විදර්ශකයෝ හුදෙක් විදර්ශනා වඩා කෙලෙසුන් නැසුවාහුය’’ - සීල භාවනා, පඤ්ඤාසීහ හිමි - මෙම සතිපට්ඨාන ක්රමයෙන් ධ්යාන ලාභ සෙවීමක් නැති වුවද නොයෙකුත් බණ කථාදියෙන් අපට ඇතිවී තිබෙන හැඟීම නම්, හේතු සම්පත් අනුව, විදර්ශනායානිකයාට පවා ධ්යානලාභී රහත් පල ලැබිය හැකි බවය. ආනාපාන සතිය ශ්රේෂ්ඨ ක්රමයක් බව අපේ පිළිගැනීමය. එම ක්රමය ප්රගුණ කරමින් තෙවසක් පමණ භාවනාමය සූර්ය්යා ලෝකය සොයමින් අන්ධයෙක් ගල්ගසන්නාක්සේ ගමන් කළ අපට එම අලෝකය උදාවූයේ කඳුබොඩ විපස්සනා ක්රමය ප්රගුණ කළායින් පසුවය යනු මෙහිලා කෘතඥ පූර්වකව කිව යුතුය. අපේ අවංක හැඟීම නම්, ගිහි ජීවිතයේ නොයෙකුත් කම්කටොලු මැදද මෙම ක්රමය ප්රගුණ කිරීමට, කියයුතු අවහිරයක් ඇති නොවන අතර, ආනාපාන සතිය සත්ප්රාය වන්නේ බෙහෙවින් ගිහි සැපයෙන් වෙන්වූ ආරණ්යගත යෝගීන්ටය.
සියම් ජාතික ගරු පූජ්ය ඉන්දවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ කඳු බොඩ භාවනාශ්රමයෙහිදී කීප මසකට පෙර කළ දේශනයකින් අපට අනුශාසනා කළේ එම ස්වාමීන් වහන්සේට නාම-රූප දෙදෙනා මෙම ක්රමයෙන් පහසුවෙන් හැඳින ගන්ට හැකිවූ බැවින්, මෙහි නැතිදොස් ඇති ලෙස පෙන්වන්නට දිරිදරන කිසිවෙකුට ඇහුන්කන් නොදී මෙම ක්රමයම ප්රගුණ කරන්නටය.
ඉන්දවංශ ස්වාමීන් වහන්සේට හැඳිනගන්ට හැකිවූ නාම-රූප දෙදෙනා දෙස අපිදු මොහොතක් බලමු. පූර්ව කෘත්යය වශයෙන් සිය ජීවිතය බුදුන්වහන්සේට සහ ගුරුන්ට පුදකර, භාවනාව ඇරඹූ යෝගියාගේ මනැසට පෙනෙන්නේ :-
1. ආශ්වාසයෙන් ඇතුල් වූ වායෝධාතුව උදරය තුළ පවතින ආපෝ තේජෝ වායෝ පඨවි යන භූතයන් සමග එක්වී පිම්බීම හැකිළීම යන භූත රූපය නිර්මාණය කරණ බවද,
2. එම රූපය ජීවිතේන්ද්රියගේ හේතුවෙන් නිර්මාණය වූ ඵලය මිස සත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ උත්සාහයකින් නොමැවුන රූපයක්ය යන අනාත්ම සංඥාවද,
3. පිම්බීම-හැකිළීම ඇතිවේවි නැතිවීම අනිත්යයාගේ ලක්ෂණය බවද,
4. පිම්බීමෙන් - හැකිළීමෙන් ඇතිවන තදවීම - සැහැල්ලුවීම යන වේදනාව දුක්ඛස්කන්ධයාගේ ලක්ෂණය බවද,
5. නාමය නමැති සිත රූපය නමැති අනිත්ය ද්රව්යය දෙසටම නැමී නැමී පවතින ධර්මයන් දෙදෙනෙක් බවද,
6. අනිත්ය ලක්ෂණය මෙනෙහි වීම නවමහා විදර්ශනා ඤාණයේ මූලික අංගය වූ උදයව්ය ඤාණය බවද,
7. ආත්ම සංඥාවෙන් ඈත්ව, බුදුන් වහන්සේට-ගුරුන්ට සිය කය පුදකිරීමෙන්, එය බාහිර (අනුන්ගේ) කයක් මෙන් සලකා, එහි ඇතිවන-නැතිවන දුක් හෝ සැප වේදනාදිය දෙස, ක්රෝධයෙන් හෝ සොම්නසින් තොරව, උපේක්ෂා සහගතව (මධ්යස්ථව) බලා සිටීමද,