මොක්පුර රන්දොර all books - පාඖක් ශයාඩෝ.pdf
- කතෘ :
- පා-ඖක් සයඩෝ
- ප්රකාශිත වර්ෂය :
- 2000
- මුද්රිත වර්ෂය :
- 2000
- පිටු ගණන :
- 1,154
- බාගත කිරීම් ගණන :
- 3,430
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්රමාණය :
- 173 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මොක්පුර රන්දොර (ප්රථම භාගය - සමථ කර්මස්ථාන) යනු මියන්මාරයේ (බුරුමයේ) අතිපූජ්ය පා-ඖක් සයඩෝ (උ. ආචිණ්ණ) හිමිපාණන් විසින් සම්පාදිත විශිෂ්ට භාවනා ග්රන්ථයක් වන නිබ්බාන ගාමිනී පටිපදා කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය සිදුකර ඇත්තේ පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් වන අතර, බුරුම ජාතික පූජ්ය උ. අග්ගඤ්ඤ ස්ථවිරයන් වහන්සේ සහාය පරිවර්තනයෙන් දායක වී ඇත. ශ්රී ඥානාරාම ස්වාමීන්ද්ර අනුස්මරණ ග්රන්ථ මාලාවේ පළමු අංකය ලෙස මෙය ප්රකාශයට පත් කර ඇත.
විශුද්ධි මාර්ගයේ එන භාවනා ක්රමවේදය අතිශය ප්රායෝගිකව සහ ක්රමානුකූලව අනුගමනය කළ හැකි පරිදි ත්රිපිටක හා අටුවා පාඨ පදනම් කරගනිමින් මෙම ග්රන්ථය සම්පාදනය කර තිබේ. මෙහි ප්රථම භාගය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ සමථ භාවනාවන් ප්රගුණ කරන ආකාරය පැහැදිලි කිරීමටයි. ආනාපානසති භාවනාවේ පටන් කසිණ භාවනා, අසුභ, මරණානුස්සති, බුද්ධානුස්සති සහ මෙත්තා ආදී චතුරාරක්ෂක භාවනා ඇතුළු සමථ කර්මස්ථානයන් ධ්යාන මට්ටම දක්වා වඩා ගන්නා ආකාරය සවිස්තරව විස්තර කර ඇත.
අමා දම් සංගමය මගින් වර්ෂ 2000 දී නොමිලේ ධර්ම දානය පිණිස මුද්රණය කරන ලද මෙම ග්රන්ථය, සමථ හා විදර්ශනා වඩා නිවන් මග සම්පූර්ණ කරගනු රිසි ගිහි-පැවිදි භාවනානුයෝගී සියලු දෙනාට අගනා මාර්ගෝපදේශයකි.
හැඳින්වීම
“නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස”
ජිනසාසනං චිරං තිට්ඨතු! බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනා සහිත ශාසනය චිරාත් කාලයක් පවතීවා!
ඵා-ඖක් ආරණ්යයේ භාවනා වැඩූ බොහෝ යෝගාවචර පිරිසගේ ආරාධනාවට අනුව මෙම නිබ්බාන ගාමිනී පටිපදා නම් වූ ග්රන්ථය සම්පාදනය කරන්නට යෙදුනි. මෙම ආරණ්යයේ භාවනා වඩන යෝගාවචරයන්ට කටපාඩම් කොට මනසිකාරයට නැංවීමේදී මෙය ප්රයෝජනවත් වේය යන බලාපොරොත්තුව ඇතිව අදාළ ධර්ම ග්රන්ථ කොටස් මෙසේ පිඬුකොට ලීවෙමි. බොහෝ සේ සංක්ෂිප්ත කරන ලද නිසා නොතේරෙන තරමට පත්විය හැකිය. පොත්වල සඳහන් පාඨ උද්ධෘත කරමින් නිසැකවම පිළිගත හැකි ලෙසට දැනගැනීමට අවශ්ය බව ආරාධනාවෙහි ලා සඳහන් වූ නිසා විස්තර අවම කොට ලියැදීමට සිදුවිය. මේ රචනයෙහි ලා පහත සඳහන් කොටස් සය අඩංගුය.
1. සමථ කම්මට්ඨාන කොටස 2. රූප කම්මට්ඨාන කොටස 3. නාම කම්මට්ඨාන කොටස 4. පටිච්ච සමුප්පාද කම්මට්ඨාන කොටස 5. ලක්ඛණාදි කොටස් සතර 6. විපස්සනා කොටස
මේ ආකාරයෙන් කොටස් හයක් කොට විස්තර කර ඇත. එනම් පොත් කාණ්ඩ හයකි.1 මෙහි ප්රථම කාණ්ඩයේ ආනාපාන කර්මස්ථානය, පටික්කූල මනසිකාරය, අස්ථික කර්මස්ථානය, ඕදාත කසිණය, මෙත්ති කර්මස්ථානය, බුද්ධානුස්සති කර්මස්ථානය, අසුභ කර්මස්ථානය, මරණානුස්සති කර්මස්ථානය යන මේවා අඩංගුය. මෙම සියලු කමටහන් මෙම සමථ කම්මට්ඨාන කොටසෙහි ලා සංග්රහකොට ඇත.
සියලු සත්පුරුෂයන්හට තම තමන්ගේ අභිමතයන්ට අනුව භාවනා වැඩීමට මෙය හේතු වේවා !
1. මෙහි පටිච්ච සමුප්පාද කම්මට්ඨාන කොටස අනු - කොටස් දෙකකට බෙදා ඇති හෙයින්, පොත් කාණ්ඩ හතක් වනු ඇත. (-පරිවර්තක)
පා-ඖක් ආරණ්යයේ චිත්තල පබ්බතයේ සයාඩෝ., බු.ව. 2549 /ක්රි:ව: 1996 ජනවාරි 20, The Venerable Sayadaw U Acinna of Pha - Auk Cittala - Pabbata Forest Monastery, Mudon, Mawlamyine, Myanmar.
පෙර වදන
සමථ භාවනාව සම්බුදු සසුනෙහි මධ්ය කල්යාණතාවයි. ශීලය නම් වූ ආදි කල්යාණතාවෙහි පිහිටා සිට මධ්ය කල්යාණ වූ සමථය වඩා පර්යවසාන කල්යාණ වූ ප්රඥාව සම්පූර්ණ කළ යුතු වේ.
අනුපිළිවෙළින්, ශීල - සමාධි - ප්රඥා සංඛ්යාත ත්රිවිධ කල්යාණ සකල ශාසනය සම්පූර්ණ කරන ගිහි - පැවිදි බෞද්ධයෝ බුද්ධෝත්පාද කාලයෙන් - මනුෂ්යාත්මභාවයෙන් නොසිස් වූ නිසිපල නෙලා ගැනීමට සමත් වෙති.
ඈත අතීතයෙහි ශ්රී ලංකාද්වීපයෙහි භාවිතා වූ ශමථ-විදර්ශනා භාවනා ක්රම විශුද්ධි මාර්ගය වැනි ග්රන්ථවල සඳහන් වී ඇතත්, ප්රායෝගික වශයෙන් එහි යෙදී අත්දැකීම් ලත් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා සුලභව නොමැති බව නොරහසකි.
බුරුම රට ථේරාවටී ජනපදයෙහි හිංතා’ට නම් උප නගරයෙහි, ලෙ-චෙං ගම් පියසෙහි ජනිතව ළමා වයසෙහි සසුන්ගතව යෙ-ජි නිකායෙහි ගරු උපසම්පදා ලැබීම ධම්මාචරිය විභාගය සමත් වී රැන්ගුන් නුවර පර්යාප්ති තක්ෂිලාවෙහි ඉංග්රීසි භාෂා සහිත පර්යාප්ති ධර්මය සම්පූර්ණ ලෙස පස් වසරක් තිස්සේ හදාරා ඉක්බිතිව විසි වසරක් පමණ මුළුල්ලේ ඣාන-හස්ත විශාරද ආචාර්යයන් වහන්සේලා වෙත නැවතී ශමථ-විදර්ශනාවෙහි පරතෙරටම ප්රගුණ කොටගත් අතිපූජ්ය ආචිණ්ණ සෙයාඩෝ හෙවත් ඵා-ඖක් සෙයාඩෝ නාහිමිපාණන් වහන්සේ අද ඓතිහාසික විශුද්ධි මාර්ගයෙහි එන භාවනා ක්රමය අතිවිශිෂ්ට ලෙස සිය-දහස් ගණන් ගිහි - පැවිදි යෝගීනහට පුහුණු කරමින් වැඩ සිටින සේක. උත්කෘෂ්ට ලෙස ශික්ෂා ගරුත්වයෙහි පිහිටි ආදර්ශවත් ඒ මාහිමියෝ දිවා රාත්රී අප්රමාදව ශාසනාභිවෘද්ධියෙහි යෙදී සිටින සේක් ජීවිත පරිත්යාගයෙනි.
අතිපූජනීය එම ඵා-ඖක් සෙයාඩෝ මාහිමියන් අතින් සම්පාදිත පිටු පන්සියයකට අධික, කාණ්ඩ පහකින් යුක්ත “නිබ්බාන ගාමිනී පටිපදා” නමැති බුරුම බසින් ලියැවුණු මහා ග්රන්ථය නිකුත් වීමට පළමුව එහිම සංක්ෂිප්ත කොටස් හතකින් යුත් ශමථ-විදර්ශනා අතුරින් ශමථ භාවනාව සිංහල බසින් එළිදැක්වීම මේ ග්රන්ථයෙන් සිදුවෙයි.
මීතිරිගල ශ්රී ඥානාරාම ධර්මායතනයෙහි නැවතී සිටි කර්මස්ථානාචාර්ය බුරුම ජාතික පූජ්ය අග්ගඤ්ඤ ස්ථවිරයන් වහන්සේගේ සහයෝගයෙන් මීතිරිගල නිස්සරණ වන සේනාසනවාසී පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්ථවිරයන් වහන්සේ විසින් සිංහල බසට පෙරළන ලද මේ සමථ භාවනා කාණ්ඩය, මීතිරිගල ශ්රී ඥානාරාම ධර්මායතනයේ නැවතී භාවනා පුහුණුව ලැබූ ධර්මකාමී සත්ගුණවත් කමල් ඇඹුල්දෙණිය මහතා සිය ධන වැයයෙන් මෙසේ මුද්රණය කරවා ප්රකාශ කරන ලදී. එතුමාට ධර්ම ශක්තියද ධෛර්යයද රත්නත්රයානුභාවයෙන් ලැබේවා!
අතිපූජනීය මහා කර්මස්ථානාචාර්ය ආචිණ්ණ සෙයාඩෝ මාහිමියන් වහන්සේ ශ්රී ලංකාව ගැන දක්වනුයේ අසීමිත ගෞරවයකි. මෙම ශමථ විදර්ශනා භාවනා මාර්ගය සකල බෞද්ධ ලෝකයට බෙදා හැරීමට සුදුසු එකම බෞද්ධ රට ශ්රී ලංකා ද්වීපය යයි අවධාරණයෙන් පවසන සේක් කෘතඥතා පූර්වක ගෞරවයෙනි.
එසේ හෙයින් මෙම භාවනා මාර්ගය ශ්රී ලංකා ද්වීපවාසීන්හට පුහුණු කරවනු පිණිසත් ස්වකීය පශ්චිම කාලය විවේකීව ගත කරනු පිණිසත් ශ්රී ලංකාවට යථා කාලයේදී වැඩම කරවීමට අපේක්ෂා කරන පූජනීය ආචිණ්ණාභිධාන ඵා-ඖක් සෙයාඩෝ මාහිමියන් වහන්සේට නිදුක්-නිරෝගී සුවයෙන් ශතවර්ෂාධික කාලයක් දීඝායු ශ්රී අත්වේවා.
බුරුම රට මෝලමියන් ඵා-ඖක් චිත්තල පබ්බත භාවනා මධ්යස්ථානයේ පුහුණු වෙමින් මේ භාවනා මාර්ගය මුදුනටම සපුරාගත් ගිහි-පැවිදි සිය-දහස් ගණන් යෝගීන් ඇත්තා සේම ශ්රී ලංකාවේද මේ භාවනා මාර්ගයෙන් ප්රතිඵල නෙලාගැනීමට සිංහල බෞද්ධ ගිහි-පැවිදි සැමට අවස්ථාව සැලසේවා!
මෙම සමථ භාවනා කාණ්ඩය සිංහලයට නැංවූ පූජ්ය අග්ගඤ්ඤ ස්ථවිරයන් වහන්සේ, පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්ථවිරයන් වහන්සේ යන දෙනමට ආයුරාරෝග්යාදි ශ්රී සම්පත් අත්වේවා! මේ පොත කියවන හැමට ඉන්ද්රිය ධර්ම, බල ධර්ම වැඩී භාවනා මාර්ගයේ ප්රතිඵල නෙලාගෙන අධිගමලාභී වීමේ ශක්තිය-බලය-වාසනාව තෙරුවන් සරණින් උදාවත් වේවා!
“චිරං තිට්ඨතු සද්ධම්මො !”
නාඋයනේ අරියධම්ම ස්ථවිර, ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව, කහව. 80312, 1999 අප්රේල් 15
පරිවර්තක ස්වාමීන් වහන්සේගෙන්
“තථාගතප්පවෙදිතො භික්ඛවෙ ධම්මවිනයො විවටො විරොචති, න පටිච්ඡන්නො” “මහණෙනි!, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබළයි; වැසුනේ නොම බබළයි.” [අං. නි. 3/510]
ධර්ම-විනය යන දෙකින් ධර්ම කොටසට අයත්, භාවනා මාර්ගයක් හෙළිකරන්නා වූ මෙම පොත ඉහත සඳහන් බුද්ධ වචනය සිත්හි දරාගෙන බුරුම බසින් සිංහලට පරිවර්තනය කිරීමේ කටයුත්තෙහි ලා අත-හිත දුන් කල්යාණ මිත්ර සංඛ්යාව විශාලය. එසේ නොවන්නට මෙය කිසි කලෙකත් මෙසේ මුද්රණ ද්වාරයෙන් එළි නොදැක පෞද්ගලික භාවිතාවයන් සඳහා සීමා වන්නට ඉඩ තිබුණි. එසේ වැසී නොගොස් විවෘත වූයේ ධර්ම බලයෙන්ම ය. එය බබළයිද, නැද්ද? යන්න පොත භාවිත කරන ඔබගේ ආකල්ප අනුව තීරණය වනු ඇති. මෙම පරිවර්තනයෙහි ලා “පදයෙන්-පදය” ක්රමය අනුගමනය නොකොට අර්ථයම සලකා කටයුතු කළ බවද සැලකිල්ලට ගත යුතුය. එම නිසාත් මෙහි නොයෙකුත් අඩු-පාඩු, අසම්පූර්ණතා තවමත් ඉතිරිව තිබිය හැක්කේය. එය වටහා ගෙන සුබහු ප්රයෝජනයම සලකා භාවිතා කරත්වා! එසේම මෙහි ප්රකට වන වැරදි වෙතොත් අප වෙත කරුණාවෙන් පෙන්වා දෙත්වා!
මේ සත් කටයුත්ත උක්ත සංකල්පයෙන් ආරම්භ කළ නමුත් මෙහිලා සෙවණැල්ලාවෙන් ඉදිරිපත් වී අන්තිම දක්වාම සහය දුන් බුරුම ජාතික අග්ගඤ්ඤ ස්වාමින් වහන්සේට මෙහි වැඩි කුසලය උරුමය. මෙම කටයුත්තට මුල පටන්ම අනුමැතිය-
අනුග්රහය දක්වමින්, අවසාන අත් අකුරු පිටපත කියවා සුදුසුකරදීමෙන් නතර නොවී වටිනා පෙරවදනකින් මේ පොත සැරසූ අතිපූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පතන උතුම් සම්මා සම්බෝධියට මෙය වටිනා කද්යාණ සංවත්තනික කුසල බලයක් වේවා! කද්යාණ පාරමිතාවක් වේවා!
මුල් අත්අකුරු පිටපත නැවත පිටපත් කිරීමෙන් සහය දුන් විලානගම පියරතන, කෝරලේගම සුධම්මානන්ද, අගුලදෙණියේ අරියනන්ද, යන ආයුෂ්මතුන් වහන්සේලාද, පොතේ මුල් භාගය මුල් බුරුම පොත සමග සසඳමින් ශුද්ධ කළ කෝට්ටේ වජිර ස්වාමින් වහන්සේ ඇතුළු 1997 වර්ෂයේ මීතිරිගල ශ්රී ඥානාරාම ධර්මායතනයේ වස් එලඹි 30 කට අධික දෙස්-විදෙස් සංඝයා වහන්සේලාගේ උනන්දු සහයෝගයද මෙහිලා කෘතඥ පූර්වකව සිහිපත් කරලමි.
පූජ්යපාද ගාල්ලේ සංඝසුභද්ර ස්වාමීන් වහන්සේගේ ඉවසිලිමත් පරික්ෂාව නොතිබෙන්නට මෙහි තවත් වැරදි රාශියක් අවසාන මුද්රණ අවස්ථාව තෙක් ඉතිරි වන්නට ඉඩ තිබුණි. ඉතා කරුණාවෙන් සෝදුපත් කියවා එම වැරදි ඉවත් කරමින් තවත් වටිනා යෝජනා මාර්ගයෙන් මේ තත්වයට ග්රන්ථය ගෙනඒමට දුන් සහයෝගය මුදුනින් අගය කරමි.
නන්නාඳුනන බුරුම භාෂාව අපට කරුණාවෙන් හදාරවා බුරුම දේශයට අප හඳුන්වා දුන් අතිපූජ්ය අග්රග මහා පණ්ඩිත උ. ඤාණින්ද (බුරුම ) ස්වාමීන් වහන්සේ ප්රධාන බුරුම භාෂාව අපට මේ පමණට ප්රගුණ කරවූ බුරුම ආචාර්ය්යවරුන් ද කෘතඥ පූර්වකව සිහිපත් කරලමි.
අවශ්ය ලිපිද්රව්ය ද විවේකය ද සිවු පසය ද අතින් අනුග්රහය දැක්වූ මීතිරිගල නිස්සරණ වනවාසී මෙයට මහ පොළව මෙන් පිහිට විය.
අන්තිමට නමුත් මෙම පෙහරට එක්වූ ඉතාම වැදගත් කල්යාණ මිත්රයා වූ මෙම සමථ භාවනා කොටස නොමිලයේ ම මුද්රණය කොට බෙදා දීමට ඉදිරිපත් වූ භාවනානුයෝගී කමල් ඇඹුල්දෙණිය මහතාට අප කාගෙත් කෘතඥතාවය නිසැකවම ලැබිය යුතුය.
මීට කලින් මෙම ඵා-ඖක් භාවනා ක්රමය හඳුන්වාදීමේ අත් පොත් කීපයක් සංක්ෂෙපයෙන් මුද්රණය කොට එළි දැක්වුවත් මේ පොත් මාලාව ඒ සඳහා සුදුසුම මාධ්යය බවට වාදයක් නොමැති නිසා මෙලෙස කාගෙත් සහය ලැබුණු බවට සැකයක් නැත. මෙහි ඉදිරි කොටස් මෙලෙසටම විවෘත කිරීමේ කෘත්යයේදීත් එම සහයෝගය හා උනන්දුව පවතීවා! සියල්ලන්ගේම සහයෝගය ලැබේවා! යි පතමු.
එපමණකින් නතර නොවී බුරුමයේ ප්රසිද්ධ අනෙකුත් මෙවැනිම සවිස්තර භාවනා පොත් පරිවර්තනය කොට එළි දැක්වීමට නොබෝ කලකින් බලාපොරොත්තු වන්නෙමු.
එම සියලු විවෘත කිරීම් වලින් ලාංකිකයනට මේ වටිනා සාසන සැපය විඳ ගැනීමට වැඩි අවකාශයක් ලැබේ නම් අපගේ ප්රයත්නය මල්ඵල ගැන්වුනා වන්නේය.
මාස ගණනාවක් මුළුල්ලේ ධර්මය හෙළි කිරීමේ පිරිසිදු අදහසින් මෙම පොත පරිවර්තනය කිරීමේදී අප සන්තානයේ ජනිත යම් කුසල ධර්මයක් වී නම්, එම වටිනා කුසල ශක්තිය අපට මෙම සැනසිලි මාර්ගය හෙළිකර දුන් දෙස්-විදෙස් ආචාර්යී උපාධ්යායන් වහන්සේලා ප්රමුඛ ගිහි-පැවිදි කල්යාණ මිත්ර සත් පුරුෂයෝ ද, හදා වඩා මිය පරලොව ගිය අම්මා, අප්පච්චි ඇතුළු මේ දිවිය පුරා නන් අයුරින් උපකාරවත් වූ ගුරුවර-ඤාති-මිත්ර, දායක-කාරකාදීහු ද හිත-අහිත- මැදහත් සදේවක ලෝකයා ද සාධු කියා අනුමෝදන් වී සකල ශාසනික ප්රාර්ථනා සමෘද්ධ කර ගනිත්වා!
ලක්දිව බුදුසසුන බැබලේවා!
උඩඊරියගම ධම්මජීව ස්ථවිර, නිස්සරණ වනය, මීතිරිගල. 11742, 1998 ජූලි මස 02
සහාය පරිවර්තක ස්වාමීන් වහන්සේගෙන්
බුද්ධ ශාසන ඉතිහාසයේ සංස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති උතුම් ශ්රී ලංකා දීපයට, රාමඤ්ඤ නිකායේ ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ සංඝයා වහන්සේලාගේ නියෝජිතයකු වශයෙන් අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ කළ ආරාධනයට අනුව, අතිපූජ්ය ඵා-ඖක් සෙයාඩෝ ස්වාමීන් වහන්සේත්, උ. කේසන්ද ස්වාමීන් වහන්සේත්, උ. චන්දිමා ස්වාමින් වහන්සේත්, බුරුම දායක මහතුන් තුන්දෙනෙකුත්, ඇතුළත් වූ අප පිරිස උඩුගම්පල ධම්මරංසි ස්වාමීන් වහන්සේත් සමඟ 1997 ජනවාරි මස 28 දින උදයේ පැමිණියෙමු.
කුඩා කල පටන් රාමායණ කථා වස්තුව ද අනෙකුත් රාජ කථා වස්තූන් ද, විශුද්ධි මාර්ගයේ එන උතුම් ආර්යයන් වහන්සේලා ගැන ප්රවෘත්ති ද කියවා-අසා තිබුණු බැවින් විශේෂයෙන් සිතේ කුලුපග බවක් දැනවු ශ්රී ලංකා දීපයට පැමිණීමේ අදහස මෙයින් මුදුන්පත් විය. එසේ පැමිණ සුන්දර වනරොද, ආරණ්ය සේනාසන, ඉතිහාසගත චෛත්ය ස්ථාන, පූජනීය ස්ථාන වන්දනා කර ගත්තෙමු.
ශ්රී ලංකාවෙහි නතර වී වාසය කරමින් පූජ්ය අගුලදෙණියේ අරියනන්ද ස්වාමීන් වහන්සේ සමඟ සංඝයා වහන්සේලාට හා ගිහි යෝගීනට භාවනා කමටහන් හෙළි කරමින් සිටින අතර නිස්සරණ වනයේ උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ සමග ඵා - ඖක් සයාඩෝ ස්වාමීන් වහන්සේගේ නිබ්බාන ගාමිනී පටිපදා (සංක්ෂිප්ත) ග්රන්ථයේ කොටස් හත බුරුම බසින් සිංහලට නැඟීමට ද සම්බන්ධ වී උපකාර කළෙමි. මෙම පොත ශමථ-විදර්ශනා භාවනා වඩන යෝගීන්ට ද, කමටහන් දෙන්නාවූ කර්මස්ථානාචාර්ය්යවරුන්ට ද, මග දක්වන මහඟු අත්පොතක් වනු ඇත. තවදුරටත් ස්වාක්ඛාත, සන්දිට්ඨික ආදී උතුම් ගුණයන් අතින් සම්පූර්ණ වූ ධර්ම රත්නයෙන් මේ භවයේදීම ප්රත්යක්ෂ වශයෙන්ම කාය සුඛ-චිත්ත සුඛ ලබා විඳගත හැකි බැව් සලකා තමා තුළින්ම එය සතුකර ගැනීමට උත්සාහ කරත්වා! යි ප්රාර්ථනා කරන්නෙමි.
අනන්ත ගුණයන්ගෙන් පරිපූර්ණ වූ ත්රිවිධ රත්නයට ද, දෙමාපියන්ට ද, භවය පුරා ශිල්ප ශාස්ත්ර උගන්වමින් අවවාද උපදෙස් දුන් වැඩිහිටි ගුරුවරුන් සියලුම දෙනාට ද, ප්රතිපත්ති මාර්ගයේ ගමන් කිරීමෙන් ලත් මේ කුසල් බලය ප්රජාවක් වේවා!
ශ්රී ලංකා වන්දනාව සඳහා බර පැන ඉසිලූ උපාසක-උපාසිකාවන්ට ද, සිවුපසයෙන් සංග්රහ කළ දායක-දායිකාවන්ට ද, අද තෙක් අප ධෛර්ය්යමත් කළ සංඝයා වහන්සේලාට ද, ස්වකීය වශයෙන් ධර්ම ලාභය ලැබීමේ උත්සාහයෙන් භාවනා කරන අතරම මෙම පොත මුද්රණය කිරීමේ ධර්මදානය දුන් කමල් ඇඹුල්දෙණිය මහතා ඇතුළු පවුලේ සැමට ද සාතිශය ප්රශංසාව පුදනය කරන්නෙමි.
බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මදායාදය සතුකර ගැනීමට භාවනා වඩන, පිළිවෙත් පුරන ඔබ සියලු දෙනාම ආර්ය සත්පුරුෂයන් බවට පත් වෙත්වා!
උ. අගුගඤ්ඤඤ්ඤ ස්ථවිර, ඵා ඖක් ආරණ්යය, මුඩොන්, මෝලමියන්, ම්යයන්මාර (බුරුමය), 1998 ජූලි මස 15
අනුග්රාහකගෙන්
සිංහල බසට පරිවර්තනය කරන ලද, බුරුම බසින් රචනා කරන ලද, නිබ්බාන ගාමිනී පටිපදා නම් භාවනා ග්රන්ථය මුද්රණය කිරීමට ලැබීම මා ජීවිතයේ ලද උතුම් භාග්යයක් කොට සලකමි.
විවිධ ගිහි-පැවිදි කර්මස්ථානාචාර්ය්යවරුන්ගෙන් හා ධර්මය පිළිබඳ ලියන ලද පොත-පතින් ලබාගත් දැනුම එක පෙළට පෙළ ගස්වා ගැනීමට මෙම උතුම් ඵා ඖක් භාවනා ක්රමය මාහට මහෝපකාරී විය. ලද අත්දැකීම්වලින් හා දැනුමින් මාහට මෙන්ම ගිහි-පැවිදි කාහටත් එකසේ මින් ප්රතිඵල ලබාගත හැකි බව ස්ථිර ලෙස කිව හැකිය.
සසරේදී මාහට භාවනා කමටහන් ලබා දුන් ගිහි - පැවිදි කර්මස්ථානා-චාර්ය්යවරුන් සහ මා හැදූ වැඩූ දෙමව්පියන් වෙත මගේ භක්ති පූර්වක අකලංක ගෞරව නමස්කාරය හිමිවිය යුතුය.
නිබ්බාන ගාමිනී පටිපදා භාවනා මාර්ගය අපට හඳුන්වා දුන් උ. ආචිණ්ණා ඵා ඖක් සයාඩෝ මහා ස්වාමින්වහන්සේටත්, මාහට කමටහන් ලබාදුන් අගුගඤ්ඤඤ්ඤ ස්වාමීන්වහන්සේටත්, නිබ්බාන ගාමිනී පටිපදාව තුළින් පූර්ණ නිර්වාණයට සැපත් වෙත්වායි ප්රාර්ථනා කරමි.