මෛත්‍රී අශුභ මරණසති භාවනා - නාඋයනේ අරියධම්ම හිමි.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1989
මුද්‍රිත වර්ෂය :
1989
පිටු ගණන :
82
බාගත කිරීම් ගණන :
5,250
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-05-25
ගොනුවේ ප්‍රමාණය :
13 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 42

මෛත්‍රී - අශුභ - මරණසති භාවනා යනු අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ විසින් චතුරාරක්‍ෂක භාවනාවන් අතුරෙන් මෛත්‍රී, අශුභ (කායගතාසති) සහ මරණානුස්සති යන භාවනා කර්මස්ථාන තුන විස්තර කරමින් සම්පාදනය කරන ලද භාවනා උපදෙස් ග්‍රන්ථයකි. මෙහි මුල් කොටස වන බුද්ධානුස්සති භාවනාව මීට පෙර වෙනම පොතක් ලෙස පළවී තිබූ අතර, මෙම ග්‍රන්ථය මගින් චතුරාරක්‍ෂාවේ ඉතිරි කර්මස්ථාන සම්පූර්ණ කර ඇත.

කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමය මගින් කොළඹ මහජන පුස්තකාලයේදී පවත්වන ලද මාසික භාවනා පන්ති මාලාවේ සටහන් ඇසුරෙන් මෙම කෘතිය සකස් වී ඇති අතර, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රකාශනයක් වශයෙන් 1989 දී ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරවා නොමිලේ ධර්මදානය පිණිස බෙදා දී ඇත. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් විසින් සපයන ලද අගනා පෙරවදනක් ද මෙහි ඇතුළත් වේ.

මෙහි අඩංගු ප්‍රධාන මාතෘකා:

  • භාවනා පූර්ව කෘත්‍යය
  • මෛත්‍රී භාවනාව (පාඩම් 1, 2, 3)
  • කායගතා සති භාවනාව (පාඩම් 1, 2, 3)
  • මරණානුස්සති භාවනාව (පාඩම් 1, 2, 3)

චතුරාරක්ඛා

බුදුරජාණන් වහන්සේ විසින් පහාරාද සූත්‍රය ආදි සූත්‍රයන්හි විස්තර කරන ලද අනුපූර්වප්‍රතිපදාව අනුව ශීලයෙහි පිහිටා පළමුව සමථ භාවනා වැඩිය යුතුය. සමථ භාවනාවට උපකාර වන කමටහන් හතළිහක් විසුද්ධි මාර්ගයෙහි විස්තර කැර ඇත. එයින් එකක් තෝරා ගැනීම චාරිත්‍රානුකූල වැ කළ යුතු යැයි විසුද්ධි මාර්ගයෙහි සඳහන් කැර ඇතත් බුදුරජාණන් වහන්සේ එබන්දක් කෙළින් මැ ප්‍රකාශ කොට නැති නිසාත් මහාරාහුලෝවාද සූත්‍රයෙහි දී රාහුල සමිඳුනට කමටහන් කිහිපයක් වඩන්නට අනුදැන වදාළ නිසාත් කර්මස්ථානාචාර්යපාදයන් වහන්සේ සමඟ හොඳින් සාකච්ඡා කොට කමටහන් ලබාගත යුතු වේ.

බුදුරජාණන් වහන්සේ භාවනා පිළිබඳ වැ රාහුල සමිඳුනට දුන් උපදෙස් ගැන නුවණින් සලකා බැලිය යුතුය. “මෙත්තං රාහුල භාවනං භාවේහි, මෙත්තං හි තෙ රාහුල භාවනං භාවයතො යො පටිඝො සො පහීයිස්සති” “රාහුලයෙනි! මෛත්‍රී භාවනා වඩව. රාහුලයෙනි! මෛත්‍රී භාවනා වඩන ඔබෙ යම් ව්‍යාපාදයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේයැ” යනුයෙන් කරුණා - මුදිතා - උපෙක්ඛා - අසුභ - අනිච්චසඤ්ඤා යන කමටහන් පහද දක්වා එයින් ප්‍රහීණ වන විහිංසාව - අරතිය - පටිඝය - රාගය - අස්මිමානය යන උපක්කිලෙසයන් ද පෙන්වා දුන්හ. අනතුරුව “ආනාපානසතිං රාහුල භාවනං භාවේහි ආනාපානසති රාහුල භාවනා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා” රාහුලයෙනි! ආනාපානසති භාවනා වඩන්න. රාහුලයෙනි! වඩන ලද ප්‍රගුණ කරන ලද ආනාපානසතිය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇති වේ යැයි වදාරා ආනාපානසති භාවනා වඩන ආකාරය සම්පූර්ණයෙන් විස්තර කළහ.

මෙයින් පැහැදිලි වන කරුණ නම් බුදුරජාණන් වහන්සේ රාහුල සමිඳුනට භාවනා වශයෙන් වැඩීමට ආනාපානසතිය ඉගැන්වූ අතර එය සකසා සපුරා කිරීමට බාධාකරන ප්‍රධාන උපක්කිලෙසයන්ගෙන් සිත ආරක්ෂා කැර ගැනීම සඳහා පුහුණු කිරීමට ඉතිරි කමටහන් ඉගැන්වූ බවයි. මේ පිළිවෙළ අනුගමනය කළ පුරාණාචාර්යයන් වහන්සේ සබ්බත්ථක කම්මට්ඨාන යැ පාරිහාරික කම්මට්ඨාන යැයි කමටහන් කොටස් දෙකකට බෙදා දැක්වූහ.

(1) සබ්බත්ථක කම්මට්ඨාන නම් හැම දෙනා ම විසින් හැම තැනදී ම පුරුදු පුහුණු කළ යුතු කමටහන් ය. පුරාණාචාර්යයන් වහන්සේ සබ්බත්ථක කම්මට්ඨාන වශයෙන් බුද්ධානුස්සති, මෙත්තා, අසුභ, මරණසති යන සතර ගෙන ඇත. එයට චතුරාරක්ඛා යි නමක් ද දෙන ලදී. සතර ආරක්ෂා යනු එහි තේරුමයි. පාරිහාරිය කම්මට්ඨානය වඩන යෝගියාගේ මනස උවදුරු සතරකින් ආරක්ෂා කරන භටයෝ ය යන අර්ථයෙන් චතුරාරක්ඛා නම් වෙයි. ඒ උවදුරු සතර නම් අශ්‍රද්ධාව - කෝපය - කාමය හෙවත් රාගය - ප්‍රමාදය යනුයි. බුද්ධානුස්සති වැඩීමෙන් ශ්‍රද්ධාව දියුණු වෙයි. අශ්‍රද්ධාව නිසා වන උවදුරුවලින් මිදෙයි. මෙත්තා වැඩීමෙන් මෛත්‍රිය දියුණු වෙයි, කෝපය නිසා වන උවදුරුවලින් මිදෙයි. අසුභ වැඩීමෙන් විරාගය දියුණු වෙයි. රාගය නිසා වන උවදුරුවලින් මිදෙයි. මරණසති වැඩීමෙන් අප්‍රමාදය දියුණු වෙයි. ප්‍රමාදය නිසා වන උවදුරුවලින් මිදෙයි.

(2) පාරිහාරිය කම්මට්ඨාන නම් තමන්ගේ චරිතයට හෙවත් මනසට අනුරූප වැ නිතර පරිහරණය කළ යුතු භාවනා වශයෙන් වැඩිය යුතු කමටහන්ය. පාරිහාරිය කම්මට්ඨානය එකක් ම විය යුතුය. නානාරම්මණික කුශලචේතනා කුශලචේතනා විනා භාවනාවක් නොවේ. ඒකාරම්මණික කුශලචේතනාව ම භාවනා නම් වෙයි. ශ්‍රද්ධාවෙන් බණ අසමින් සිටින විට හා දානාදි අත් පින්කමෙකැ යෙදී සිටින විට ද දිගට ම වාගේ කුශලචේතනා පහළ වනු ඇත. ඒවා නානාරම්මණික බැවින් කුශලචේතනා විනා භාවනා නම් නොවේ. එහෙයින් කර්මස්ථානාචාර්යයන් වහන්සේගේ ද සහාය ඇති වැ නිතර පරිහරණයට හෙවත් නිතර වැඩීමට එකම කමටහනක් තෝරා ගත යුතු වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ රාහුල සමිඳුනට විස්තර කැර දුන් ආනාපානසතිය මැනවැයි සිතමි.

පාරිහාරිය කම්මට්ඨානය කවරක් වුවත් භාවනාභිලාෂී හැම යෝගාවචරයකු විසින්ම සබ්බත්ථක කම්මට්ඨාන නමින් ප්‍රකාශිත සතර කමටහන් හොඳින් උගත යුතුය. හොඳින් ප්‍රගුණ කළ යුතුය. පාරිහාරික කම්මට්ඨානය නොවඩන ඉඩ ඇති හැම විටම ඒ සතර කමටහන් මෙනෙහි කළ යුතුය. එයින් නිතර වඩන කමටහනකින් ලබාගත් දියුණුව, චිත්තසමාධිය, අශ්‍රද්ධා - කෝප - රාග - ප්‍රමාද යන උපද්‍රවයන් ගෙන් ආරක්ෂා කැර ගත හැකි වේ.

රාජ්‍ය සේවා බෞද්ධ සංගමය දීර්ඝ ඉතිහාසයක් ඇති සංවිධානයෙකි. 2500 බුද්ධ ජයන්ති ප්‍රබෝධයත් සමඟ ආරම්භ කළ මේ සංගමය ආරම්භයෙහිදී ම ඇති කැර ගත් ප්‍රථම සම්මතය “අපේ බොහෝ දෙනා ගත කරන්නේ සංකර ජීවිතයකි. එහෙයින් අපි බෞද්ධ ජීවිතයට බැස ගනිමු” යනුයි. ඒ සඳහා බෞද්ධ ජීවිතය නමින් පොතක් ද මුද්‍රණය කරවා රජයේ සේවකයන් අතර බෞද්ධ ජීවිත ව්‍යාපාරය හොඳින් ප්‍රචලිත කළා.

එකල බොහෝ දෙනාට තිබුණේ සංකර නම් ය. එය හොඳින් සලකා බැලූ බෞද්ධ සංගමය ආර්‍ය්‍ය සිංහල නාමලේඛනය නමින් පොතක් මුද්‍රණය කරවා රටවාසීන් අතර සිංහල නම් තැබීමේ ආර්‍ය්‍ය චාරිත්‍රය ආරම්භ කළා. දැන් එය හොඳටම සාර්ථකයි. අනතුරුව සංගමයේ බලාපොරොත්තුව වූයේ චාම් ඇඳුම හා පොහොය නිවාඩුවයි. කලින් පුණ්‍ය පොහෝ දිනවත් නිවාඩුවක් නොතිබුණු බෞද්ධයනට පුණ්‍ය පොහෝ නිවාඩුව ලැබුණා. චාම් ඇඳුම ද බොහෝ දුරට සාර්ථක වුණා. මෙය රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ආරම්භක සේවයයි.

රාජ්‍ය සේවා බෞද්ධ සංගමයට ඥානවුද්ධ – ගුණවුද්ධ – තපෝවුද්ධ නාඋයනේ අරියධම්ම මහා ස්ථවිරයන් වහන්සේ හඳුනා ගන්නට ලැබුණේ 1976 දී ය. එතැන් පටන් සංගමයේ බොහෝ දෙනාට කල්‍යාණමිත්‍ර සම්පත්තියේ ඵල ලැබුණා. විශේෂයෙන් භාවනා ඉගෙනීමෙහිත් භාවනා පුහුණු කිරීමෙහිත් අවස්ථාව ලැබුණා. ඒ භාවනා මුද්‍රණද්වාරයෙන් සැදැහැවත් බෞද්ධයන් අතර පතුරුවන්නට ලැබීම මහා ධර්මදානයකි.

මේ මහා පින්කමට මහෝපකාරීවූ ඥානවුද්ධ – ගුණවුද්ධ – තපෝවුද්ධ පූජ්‍යපාද නාඋයනේ අරියධම්ම මහා ස්ථවිරයන් වහන්සේට නිදුක් නීරෝගී සුව අත්වේවා! දායකත්වයෙන් මෙයට මුල්වූ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයටත් ආධාර කළ අන් හැම දෙනාටත් නීරෝගී සුව අත්වේවා!

මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි, ශ්‍රී වජිරඤාණ භික්‍ෂු මධ්‍යස්ථානය, මහරගම.

හැඳින්වීම

බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති නම් වූ භාවනා කර්මස්ථාන පිළිබඳ භාවනා පාඩම් පෙළ නිමවූ කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ආරාධනා පරිදි මෛත්‍රී අශුභ මරණ සති භාවනා කර්මස්ථාන තුන ද අනුපිළිවෙලින් පුහුණු කරවන ලදී. බුද්ධානුස්සති ආදි භාවනා කර්මස්ථාන තුන සම්බන්ධ භාවනා පාඩම් සියල්ල එකතු කොට, බුදුගුණ භාවනාව - දහම්ගුණ භාවනාව - සඟගුණ භාවනාව නමින් පොත් තුනක් මුද්‍රණය කරවා ධර්මදානය වශයෙන් නොමිලයේ බෙදා ඇත.

මෛත්‍රී - අශුභ - මරණසති භාවනා තුන අනුපිළිවෙලින් පුහුණු කරවන ලද්දේ චතුරාරක්‍ෂා නම්වූ සතර කමටහන් භාවනාව සම්පූර්ණ වනු පිණිසය. සමථ - විදර්ශනා භාවනා වඩන සෑම යෝගාවචර කෙනෙකු විසින් සතර කමටහන් භාවනාව නිසියේ ප්‍රගුණ කරගත යුතුමය. භාවනාවක් වැඩීමේදී අතරමං නොවී ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල තෙක්ම දියුණුවට යා ගත හැකි වනුයේ සතර කමටහන් භාවනාව නිසියේ වැඩූ අයට පමණක්ම බැවිනි.

බුද්ධානුස්සතිය වැඩීමෙන් බුද්ධරත්නය කෙරෙහි ශ්‍රද්ධාව වැඩිදියුණු වීම නිසා අශ්‍රද්ධාදියෙන් නොමැඩී ජීවිත පරිත්‍යාගයෙන් ම නොපසුබටව භාවනාවෙහි යෙදීමට ශක්තිය ලැබේ. මෛත්‍රී භාවනාවෙන් දෙවියන්ගේ ද මනුෂ්‍යයන්ගේ ද හිතෛෂී භාවයට පත්වීම නිසා ආත්මාරක්ෂාව සැලසේ. අශුභ භාවනාවෙන් ශරීරයෙහි පිළිකුල්බව මනාව අවබෝධ වීම නිසා කිසිම ගෘහ අරමුණක් ගෘහ වශයෙන් නොගන්නා බැවින් රාගාදී ඇලීම් බැඳීම් කෙරෙන් සිත ආරක්ෂා වී භාවනාවට වැඩි වැඩියෙන් සිත නැමෙයි. මරණසති භාවනාවෙන් වනාහි ජීවිතයේ අනිත්‍යතාව මනාව අවබෝධ වීම නිසා භාවනා ප්‍රතිපත්ති කල් දැමීමෙන් වැලකී අප්‍රමාදීව භාවනා වැඩීමටත් කුශල් රැස්කිරීමටත් උනන්දුව ඇති වේ.

තවද චතුරාරක්‍ෂා භාවනා අතුරෙන් එකක් වුවද මූලකර්මස්ථාන වශයෙන් වැඩිය හැකිය. බුද්ධානුස්සති භාවනාවෙන් උපචාර සමාධිය ලබා විදර්ශනාවට ද මෛත්‍රියෙන් රූපාවචර ධ්‍යාන තුනක් හෝ සතරක් හෝ ලබාගෙන ද, අශුභ සතිය හෙවත් ද්වත්තිංසාකාර කායගතාසතියෙන් ප්‍රථමධ්‍යානය ලබාගෙන ද, මරණ සතියෙන් උපචාර සමාධිය ලබාගෙන ද විදර්ශනා වඩා මග ඵල නිවන සාක්ෂාත් කළ හැකිය. එහෙයින් බුද්ධානුස්සති මෛත්‍රී - අශුභ - මරණසති නම් වූ භාවනා සතර ආරක්ෂක භාවනා වශයෙන්ද මූලකර්මස්ථාන වශයෙන්ද වැඩීමට සුදුසුය.

බුද්ධානුස්සතිය වෙනම පොතක් වශයෙන් මුද්‍රණය කරවන ලද බැවින් චතුරාරක්‍ෂාව අතුරෙන් ඉතිරි කමටහන් තුන මෙසේ එක් පොතක් වශයෙන් මුද්‍රණය කරවීමට සිදුවී ඇත. බුද්ධානුස්සතිය පුහුණු යෝගාවචරයනට මේ පොතෙන් ඉතිරි ආරක්‍ෂක භාවනා තුන උගෙනීම පහසු වනු ඇත. එහෙත් ඉදිරි අනාගතයේදී යෝගාවචරයනට ප්‍රයෝජන වනු පිණිස බුද්ධානුස්සතිය ද සහිතව ආරක්‍ෂක භාවනා සතරම එක භාවනා ග්‍රන්ථයක් වශයෙන් මුද්‍රණය වන්නේ නම් මැනවැයි අතිගරු පූජනීය අස්මදාචාර්‍ය්‍ය මාහිමිපාණන් වහන්සේගේ අදහසද යථාකාලයේදී සිදුවනු ඇතැයි විශ්වාස කරමි.

මෛත්‍රී භාවනා පාඩම් තුනක් ද පිළිකුල් භාවනා පාඩම් තුනක් ද මරණසති භාවනා පාඩම් තුනක් ද මේ පොතට ඇතුළත් වෙති. මාසිකව පවත්වන ලද භාවනා පාඩම් පෙළ ඒ ලෙසටම මේ පොතට ඇතුළත් වුවද යෝගාවචරයන්ගේ අවබෝධය තවත් වැඩිදියුණු වනු පිණිස, කායගතාසති පළමුවන පාඩමෙහි, දන්තා - තචෝ – මංසං – නහාරූ - අට්ඨි නම් වූ කොටස් පස සම්බන්ධ සන්ධාන වශයෙන් අතිරේක විස්තරයක් එකතු කොට යොදා ඇත. විසුද්ධි මාර්ගය විභංගට්ඨකථා - පටිසම්භිදාමග්ග අට්ඨකථා සහ ඛුද්දකපාඨ අට්ඨකථා ආදි අට්ඨකථා අනුව එසේ විස්තර යොදා ඇත. භාවනාභිලාෂීන් හට එය මහත් සේ ප්‍රයෝජන වනු ඇතැයි සිතමි.

ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්‍ය්‍ය මිටිරිගල නිස්සරණවන සේනාසනාධිවාසී අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ සහ තත් සංස්ථා සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන අස්මදාචාර්‍ය්‍ය මාහිමිපාණන් වහන්සේද මේ භාවනා ග්‍රන්ථය අනුමත කොට වදාළ බව ද ආචාර්ය භක්තියෙන් යුතුව සඳහන් කරන අතර, සියවස් කලක් නීරෝගී සැප බල වැඩි මතු උතුම් බුදුබව අත්වේවා!යි පතමින් පින් දෙමි.

කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය විද්‍යාවිශාරද රාජකීය පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ, දහසක් ලෝක ශාසනික කටයුතු අතර පෙරවදනක් සපයා දීමෙන්ද කළ අනුග්‍රහය ඉතා උතුම් පිහිටක් බව ගුරු බැතියෙන් සිහිපත් කරමින් ශතවර්ෂාධික කාලයක් දීර්ඝායු විඳ මතු බුදු බව ලබත්වා!යි නමස්කාරයෙන් පින්දෙමි.

ශාසනික අභිවෘද්ධියත් ලෝක ශාන්තියත් ආත්ම විජයත් පරමාර්ථය කොට මාසික භාවනා වැඩසටහන සහ සීල භාවනා කටයුතු සංවිධානය කළ කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ නිලධාරි මණ්ඩලයටත් එහි සාමාජික පිරිසටත් භාවනා වැඩසටහනට සහභාගි වූ පින්වත් සෑම දෙනාටත් පොත මුද්‍රණය කරවීමෙහි සහායාධාරවූ පින්වත් සැමටත් මෙම ධර්මදානමය කුශලාභිසංස බලයෙන් ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධව පැතූ උතුම් බෝධියෙන් ශාන්ත නිර්වාණ සම්පත්තිය අත්වේවා!

ලොව පවත්නාවූ සියළු අධර්ම බලවේග අභිභවා ජයගන්නාවූ උතුම් භාවනා බලය අත්පත් කොට බුදුසසුන බබුළුවනු පිණිසත් ආත්ම විජය පිණිසත් ලෝක ශාන්තිය පිණිසත් සියල්ලෝම භාවනා වඩත්වා!

“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”

නාඋයනේ අරියධම්ම ස්ථවිර, ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය, ගල්දූව, කහව, 2533/1989.07.13.

රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ පැතුම

ලෝකයේ පරම දුර්ලභ කරුණු සයට අයත්වන බුද්ධෝත්පාද කාලයක් වීම, මනුෂ්‍යත්ව භාවයක් ලැබීම, ක්ෂණ සම්පත්තිය ලැබීම, කල්‍යාණ මිත්‍රත්වය ලැබීම, පැවිදි බව ලබා ගැනීම සහ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබීම යන කරුණු හයෙන් පහක්ම ලක්වැසි බෞද්ධ ගිහි ජනතාවට උප්පත්තියෙන්ම හිමිවී තිබේ. මෙබඳු අගනා අවදියක උත්පත්තිය ලැබීමෙන් අත්කර ගතයුතු ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලය සමථ විපස්සනා භාවනා වඩා මග ඵල නිවන් සුව අත්කර ගැනීමට උත්සාහ ගැනීමය. මේ නිසා රාජ්‍ය සේවා බෞද්ධ සංගමය, සංගමයේ සාමාජිකවරුන්ට හා පොදු බෞද්ධ මහජනතාවට අගනා ලාභයක් සලසා දෙනු වස් කල්‍යාණ මිත්‍රත්වයෙන් කල්‍යාණ මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීම සඳහා මීට වසර 6කට පෙර ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට කරන ලද ආරාධනය පරිදි උන්වහන්සේ විසින් කොළඹ මහජන පුස්තකාලයේ මසකට වරක් බැගින් සෑම මාසයේම පළමුවන බදාදා ප.ව. 3.00 සිට 5.00 දක්වා මූලික කර්මස්ථාන සතරේ සිට පිළිවෙලින් භාවනා පුහුණු කිරීමේ පන්තියක් පවත්වාගෙන යනු ලැබේ. ඉතාමත් සරල අන්දමින් හා විධිමත්ව පවත්වාගෙන යන මෙම භාවනා පන්තියේදී මාසික භාවනා සටහන් රෝනියෝ කර පන්සියයක් පමණ ඊට සහභාගි වන පින්වතුන්ට ලබා දෙන අතර, එක් එක් භාවනා කොටස් සම්පූර්ණ කිරීමෙන් පසු සතර ඉරියව්වෙන් මෙම භාවනා වඩා ගැනීම ගැන පුහුණුවක් ලබා දීමට සම්පූර්ණ දවසක සීල භාවනා දිනයක් ද පවත්වනු ලැබේ. පසුව භාවනා සටහන් ආශ්‍රයෙන් එක් එක් අංශයට අදාල හස්ත සාර ධර්ම ග්‍රන්ථය බැගින් මුද්‍රණය කර සංගමයේ සාමාජිකවරුන්ට හා භාවනා පන්තියට සහභාගිවන පින්වත් පිරිසට නොමිලයේ ලබා දෙන්නෙමු.

මෙම වැඩ පිළිවෙල යටතේ දැනට බුදුගුණ භාවනා, දහම්ගුණ භාවනා හා සඟගුණ භාවනා පොත් මුද්‍රණය කර බෙදා දී ඇත. මෙම ග්‍රන්ථයෙහි අඩංගුවන මෛත්‍රී භාවනා, අශුභ භාවනා හා මරණසති භාවනා පාඩම් තුනෙන් කමටහන් තුනක් සම්පූර්ණ වන හෙයින් මුලදී නිකුත් කරන ලද බුදුගුණ භාවනාවත් සමඟ සතර කමටහන් පිළිබඳ මූලික කර්මස්ථාන භාවනා හතර සම්පූර්ණ වෙයි.

මෙම උත්තරීතර ධර්ම කොටස් සතර මනාසේ වඩා ගැනීමෙන් සමථ විපස්සනා භාවනා වඩා ගැනීමට සිත, කය දෙක මනාව සකස් වනවා පමණක් නොව, ගිහි භවතුන්ට හුදෙකලාව තම තමන්ට ලැබෙන සීමිත විවේකයෙන් උපරිම ඵල නෙලා ගනිමින් සතර ඉරියව්වේදිම භාවනා වඩා ගැනීමටත් උපකාර වේ.

අත්තිවාරම සවිශක්ති වූ පමණට ගොඩනැගිල්ලක ස්ථිරත්වය තහවුරු වන්නාක් මෙන් සතරකමටහන් මනාසේ වඩා ගත් පමණට සුවසේ සමථ විදර්ශනා භාවනා වඩා ගැනීමට පහසුවන බව සලකා මෙම සතර කමටහන් වඩා ගැනීමට ආරාධනය කරමු. මෙම කාර්‍ය්‍යය මුදුන්පත් කර ගැනීමට හැමවිටම උපදෙස් දෙන පැවිදි අනුශාසක ස්වාමීන්වහන්සේලා අතර විශේෂයෙන් මෙම භාවනා පන්තිය පැවැත්වීමට සහාය වෙමින් උපදෙස් දෙන, අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින් වහන්සේටද, අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මහානායක මාහිමිපාණන්ගේ හා මිටිරිගල නිස්සරණ තපෝවනයෙහි අධිපති මාතර ශ්‍රී ඤාණාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේගේ කරුණා පෙරදැරි අවසරයෙන් ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ මෙම භාවනා පන්තියට මාසයකට වරක් බැගින් වැඩම කර, මෙම භාවනා පන්තිය පැවැත්වීම, භාවනා සටහන් පිළියෙල කර දීම, භාවනා ධර්ම ග්‍රන්ථ සකස්කර මුද්‍රණ කටයුතුවලදී පවා සෝදුපත් කියවා නිවැරදි කරවීම, ශීල-භාවනා දින පැවැත්වීම ආදී සියළුම කටයුතු සපුරා දීමෙන් කරන සාරණීය සේවාවට නමස්කාර පෙරටුව පින් අනුමෝදන් කරවමු.

මෙම ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කර දීමට ඉදිරිපත්වූ (දැනට බුද්ධශාසන අමාත්‍යාංශය)ට ද කොළඹ නගරාධිපති තුමා, කොළඹ නගර සභාවේ ලේකම් තුමා, මහජන පුස්තකාලයාධිපති තුමා හා එහි සේවක පිරිස් භාවනා පන්තිය පැවැත්වීමට සහාය වීමෙන් ද රජයේ මුද්‍රණාලයාධිපති තුමා එහි ශ්‍රද්ධා සම්පන්න නිලධාරි හා සේවක පිරිස ධර්ම පොත් මුද්‍රණය කර දීමෙන් ද, ශීල භාවනා දිනයන්හි සිල් පිරිසට දාන ගිලන්පස භාර ගෙන පූජා කරන පින්වතුන්ට ද, ස්වාමීන් වහන්සේලා වැඩම කරවීමට පරිත්‍යාග කරන පින්වතුන් හා ඉතා ශ්‍රද්ධාවෙන් වර්ෂ හය තුළම සමහර විටෙක එකම දිනයක්වත් නොවරද්දා පැමිණ මෙම භාවනා පන්තියෙන් උපරිම ප්‍රයෝජන ලබන සියළු භාවනාභිලාෂීන්ට ද මෙසේ ගම්භීර ධර්ම පරිත්‍යාගයක් කර හැම දෙනාට කල්‍යාණ මිත්‍රත්වයෙන් සංග්‍රහ කිරීමට උපකාරීවන රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු සාමාජිකවරුන්ට ද සමස්තයක් වශයෙන් දෙවියන් සහිත සකල ලෝවැසියන්ටද, පරලෝ සැපත් සියළු නෑද හිත මිතුරන්ටද මේ පිං භක්ත්‍යාදරයෙන් අනුමෝදන් කරවමු. හැම දෙනාටම උතුම් නිවන් සුව අත්වේවා!

පී. බී. වේරගොඩ (ගරු සභාපති), කේ. ඒ. නන්දසේන (ගරු භාණ්ඩාගාරික), යූ. එස්. මුදලිගේ (ගරු ප්‍රධාන ලේකම්), රාජ්‍ය සේවා බෞද්ධ සංගමය, 1989.07.13.