මහාසී විපස්සනා භාවනා ක්රමය Chapter 5-6.pdf
- කතෘ :
- මහාසී සයාඩෝ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2005
- මුද්රිත වර්ෂය :
- 2005
- පිටු ගණන :
- 216
- බාගත කිරීම් ගණන :
- 2,306
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-19
- ගොනුවේ ප්රමාණය :
- 9.3 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මහා-සී විපස්සනා භාවනා ක්රමය (විපස්සනා නයප්පකරණය) යනු බුරුමයේ අතිපූජ්ය මහා-සී සයාඩෝ ස්වාමීන් වහන්සේ විසින් බුරුම බසින් සම්පාදිත ප්රකට විදර්ශනා භාවනා ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙය දෙවන භාගයේ පළමුවන කොටස වන අතර, 5 සහ 6 යන පරිච්ඡේද මෙහි අඩංගු වේ.
මෙම කෘතිය පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්ථවිරයන් වහන්සේ, බුරුම ජාතික පූජ්ය උ ඤාණින්ද සෙයාඩෝ මහා ස්ථවිරයන් වහන්සේ සහ අතිපූජ්ය නා උයනේ අරියධම්ම මහා ස්ථවිරයන් වහන්සේගේ සහභාගීත්වයෙන් සිංහලයට පරිවර්තනය කර ඇති අතර මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය මගින් 2005 වසරේදී ප්රකාශයට පත් කර ඇත.
මෙහි ප්රධාන වශයෙන් විපස්සනා භාවනා වඩන ආකාරය, විදර්ශනා ඥාන මාලාව සහ නාමරූප පරිච්ඡේද ඥානය ඇතුළු ඥාන පරම්පරාව පිළිබඳ ප්රායෝගික හා ධර්මානුකූල කරුණු විස්තර කෙරේ:
- පරිච්ඡේද 5: විපස්සනා භාවනා ක්රමය (මූලික මෙනෙහි කිරීම්, වේදනා මෙනෙහි කිරීම, ඵල සමාපත්ති ආදිය)
- පරිච්ඡේද 6: ඤාණ පරම්පරාව විසඳුම (නාම-රූප පරිච්ඡේද ඤාණය, පච්චය පරිග්ගහ ඤාණය, සම්මසන ඤාණය ආදිය)
හැඳින්වීම
ශ්රී ලංකාවේ ඈත අතීතයේ වසර දෙදහසකට පමණ ඉහතදී සම්බුදු සසුන බැබලුනේ අනෙකුත් බෞද්ධ රටවලටත් ආදර්ශවත් වෙමිනි. මේ භික්ෂූන් වහන්සේ පමණක් මග-පල අධිගම ලබා නැතැයි ඇඟිල්ල දික් කොට කිව නොහැකි තරම් මග-පල අධිගම ලාභීන්ගෙන් ශ්රී ලංකාව ඉතිරී පැතිරී පැවති ඇත. පර්යාප්ති, ප්රතිපත්ති, ප්රතිවේධ ත්රිවිධ ශාසනයම බැබලෙමින් පැවති නිසාම ශ්රී ලංකාව ධර්ම ද්වීපය නමින් ලෝකයේම ගෞරව සම්මානයට පාත්රවී ඇත.
කෝට්ටේ රාජධානි සමයේ ශ්රී ලංකාවෙන් බුරුම රටටත්, එරටින් තායිලන්තයටත් බුදු සසුන ගෙනයන ලදී. ඒ දෙරටේම දැනටත් මාර්ගඵල ලාභී ආර්ය්යයන් වහන්සේලා වැඩ සිටිති, ගිහි පැවිදි දෙපිරිසේම බෞද්ධයෝ ඉතාමත් ගෞරවයෙන් ප්රතිපත්ති පිරීමෙහි අප්රමාදීව යෙදී සිටිති.
අර්ධ ශත වර්ෂයක සිට ශ්රී ලංකාවේත් ගිහි පැවිදි බොහෝ දෙනා මේ භවයේදීම අධිගම අපේක්ෂාවෙන් භාවනාභිලාෂීව ප්රතිපත්ති පිරීමට යොමු වූයේ බුරුම රටින් මෙරටට කර්මස්ථානාචාර්ය්යයන් වහන්සේලා වැඩම කරවා විදර්ශනා භාවනා පුහුණු කරවීම ආරම්භ කළ බැවිනි.
සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් බුරුම රටේ පැවති ඡට්ඨ සංගායනාවේදී මුල් තැනක් ගෙන කටයුතු කළ අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත භදන්ත මහා-සී සෙයාඩෝ මාහිමියන් වහන්සේ විසින් ආරම්භ කොට පවත්වාගෙන එන විදර්ශනා භාවනා පුහුණු කරවන මධ්යස්ථාන දහසකට ආසන්නය. එරටේම බාල - තරුණ - මහළු ගිහි පැවිදි කෝටි සංඛ්යාත ජනතාවක් දැනට භාවනා පුහුණු වෙමින් දහම් රස විඳගන්නා බව අසන්නට ලැබීමත් වාසනාවකි.
පූජනීය මහා-සී සෙයාඩෝ මාහිමියන්ගේ කර්මස්ථාන ආචාර්ය්යන් වහන්සේ පූජනීය ජේතවන සෙයාඩෝ වෙති. එතුමන් වහන්සේගේ ආචාර්ය්යයන් වහන්සේ බේමින්ද සෙයාඩෝය. එතුමන් වහන්සේගේ ආචාර්ය්යයන් වහන්සේලා වන පූජනීය තීලං සෙයාඩෝ සහ කෙන්යෙත් සෙයාඩෝ යන දෙනම අභිඥාලාභී රහතන් වහන්සේලා දෙනමකි. එම ගුරු සිසු පරපුරේ මහා-සී සෙයාඩෝ මාහිමියෝ එම භාවනා මාර්ගය මේසා විශාල ජනතාව අතරට බෙදා දීමෙන් දේශීය විදේශීය රටවල් රාශියකට ශාසන දායාදය ලබා දුන්හ. ඒ මාහිමියන් වහන්සේට අපේ ගෞරවාදර නමස්කාරය වේවා.
යථෝක්ත මාහිමියන් අතින් සම්පාදිත වූ විපස්සනා භාවනා ක්රමය නම් වූ බුරුම බසින් මුද්රිත මහා ග්රන්ථ රත්නය, මීතිරිගල නිස්සරණ වන සේනාසන වාසී පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්ථවිරයන් වහන්සේ විසින්, බුරුම ජාතික පූජ්ය උ අග්ගඤ්ඤාණ සෙයාඩෝ හිමියනගේ ද සහායෙන් සිංහල බසට නංවා පරිච්ඡේද හතක් වශයෙන් කොටස් කොට මුද්රණය කරවා ප්රසිද්ධ කිරීම සිංහල බෞද්ධයනට ඉමහත් ධර්මානුග්රහයකි.
ප්රථම කොටසෙහි, 1- අවවාද කථා සහ සීලවිශුද්ධිය ද, 2- චිත්ත විශුද්ධියත් යන පරිච්ඡේද දෙකකින් යුක්තය, ප්රථම ග්රන්ථය වශයෙන් එය මුද්රිතයි. මේ දෙවන ග්රන්ථයෙහි පරිච්ඡේද දෙකක් ඇතුළත් වෙති. 1- ප්රඥප්ති - පරමාර්ථ දෙක වෙන්කිරීම - සමථයානිකයාගේ භාවනා මාර්ගය විදහා දැක්වීම. 2- මනසිකාර ක්රමය තත්ත්වාකාරයෙන් කල්පනා කොට බැලීම හා දැනගැනීමට දේශනා මාර්ගයෙන් විස්තර කිරීම ද ඇතුළත් වී ඇත.
ඉතිරි පරිච්ඡේද තුනෙන් පරිච්ඡේද දෙකක් වන 5- විපස්සනා භාවනා ක්රමය සහ 6- ඤාණ පරම්පරාව යන මාතෘකා මෙම ග්රන්ථයට ඇතුළත් කොට ඇත. ඉදිරියේදී ඉතිරි පරිච්ඡේදය මුද්රණය කරනු ලැබේවා. විපස්සනා යානික යෝගාවචරයන් හට අර්හත්වය දක්වා යා හැකි භාවනා මාර්ගය අනුපිළිවෙළින් සිංහල බසට නැංවීම අතිශයින් ප්රයෝජනවත් බැවිනි.
පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්ථවිරයන් වහන්සේ නිළඹේ භාවනා මධ්යස්ථානයේ දී ද, මීතිරිගල නිස්සරණ වන සෙනාසනාධිපති ප්රධාන කර්මස්ථානාචාර්ය්ය අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්රී ඤාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමියන් වහන්සේ වෙතින් ද, බුරුම රට රැන්ගුන් අගනුවර පණ්ඩිතාරාම භාවනා මධ්යස්ථානයේදී තෙවසරක් ද විපස්සනා භාවනාවත් බුරුම බසත් ප්රගුණ කරගත් බැවින් නිවැරැදිවත් පැහැදිලිවත් ලෙස මෙම විපස්සනා භාවනා මාර්ගය සිංහල බසට නංවාලීම සෑම දෙනාගේ චිත්ත ප්රසාදයට විශේෂ හේතුවකි.
බුරුම ජාතික පූජ්ය උ. අග්ගඤ්ඤාණ ස්ථවිරයන් වහන්සේ ද බුරුම රටේදී මහා -සී විපස්සනා භාවනාවත්, මෝලමියෙන් එා-අවුක් චිත්තලපබ්බත භාවනා මධ්යස්ථානාධිපති අතිගරු පූජනීය අග්ගමහා කම්මට්ඨානාචරිය සෙයාඩෝ යූ. ආචිණ්ණ මාහිමියන් වහන්සේ වෙත සමථ-විදර්ශනා උභය භාවනා මාර්ගයන් සර්වාකාරයෙන් ප්රගුණ කරගෙන එහිම උප ප්රධාන කර්මස්ථානාචාර්ය වශයෙන් කටයුතු කරන සම්භාවනීය ස්ථවිරයන් වහන්සේ නමක් බැවින් මෙය බුරුම බසින් සිංහලට පරිවර්තන කිරීම විශේෂයෙන්ම ප්රසංසනීය වේ.
සුද්ධ විපස්සනා යානිකයාට ද සමථාභියෝගය පහසුවකි, සමථයානිකයාට ද විපස්සනාව සුවසේම වැඬෙයි, මේ දෙකම ඒකාබද්ධව, එකිනෙකට පිහිටවන බැවිනි. පූජනීය මහා-සී සෙයාඩෝ මාහිමියන් වහන්සේගේ ප්රාචාර්ය්යවර තීලං සෙයාඩෝ-කෙන්යෙත් සෙයාඩෝ දෙදෙනා වහන්සේ අභිඥාලාභී රහතන් වහන්සේලා බැවින් එය පැහැදිළි වේ. වර්තමානයේ සුප්රසිද්ධ එා-ඕ සෙයාඩෝ මාහිමියෝ ද පළමුවෙන් මහා - සී විපස්සනාව සපුරා පුහුණු වී, ඉන් අනතුරුව සමථ විපස්සනාව ප්රගුණ කොටගෙන ඒ අනුව විශාල ජනතාවකට සමථ පූර්වාංගම විපස්සනා භාවනා පුහුණු කරවන බැවින් ද සමථ විදර්ශනා භාවනා මාර්ග දෙකම එකට අත්වැල් බැඳගෙන පවත්නා බව ඉතා පැහැදිළිය.
ධම්මපදයේ භික්ඛු වග්ගයෙහි ඒ බව මෙසේ දැක්වේ.
නත්ථි ඣානං අපඤ්ඤස්ස - පඤ්ඤා නත්ථි අඣායතො යම්හි ඣානඤ්ච පඤ්ඤාව - සවේ නිබ්බාන සන්තිකෙ
පස්වන පරිච්ඡේදය 1980 දී තරම් ඈත දිනයකදී පරිවර්තනය කිරීමට මුල් වූ බුරුම ජාතික අපේ උ. ඤාණින්ද සයාඩෝ ස්වාමීන් වහන්සේ පසුගිය මැයි මස 03 දින බුරුමයේදී අපවත් වී වදාළ සේක. මෙම සටහන ලියන අපවත් බුරුමයට කැඳවාගෙන ගොස් මෙම භාවනා ක්රමය පුහුණු වීමට ප්රස්ථාව සලසා දෙමින්, බුරුම බස උගන්වමින් කළ එම සේවයට ලක් වැසි සියලු බෞද්ධයන් කෘතවේදී විය යුතු යැයි හඟිමි. මෙම පරිවර්තන, ධර්ම දානමය සියලු කුසල් බලයෙන් අති පූජනීය ස්වාමීන් වහන්සේට ශාන්ත සුන්දර නිවන් සුව අත්වේවා! යි ප්රාර්ථනා කරන්නේ සමහන් සිතිනි.
එසේ ම පස්වන පරිච්ඡේදය පරිවර්තනය කරමින් මෙන්ම මෙම පොතට එය ඇතුළත් කිරීමට නො මසුරුව අනුදැනුම ලබාදුන්, සියලු කටයුතු විෂයෙහි අනුශාසනා කරන අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේටත් චිරාත් කාලයක් උතුම් ශාසනික කටයුතු ප්රවර්ධනය කරගෙන යෑමට නිදුක් නීරෝගී සුවයත් සැලසේවා, පතන සම්මා සම්බෝධියෙන් නිවන් සුවයත් අත්කරගැනීමට මෙයත් පාරමී කුසලයක් වේවායි පතමු.
පූජ්ය පාතේගම ධම්මසුමන ස්වාමීන් වහන්සේ තම භාවනා කාලය මීඩංගු කොට, මෙහි සොදුපත් බැලීමේදී බොහෝ කටයුතු කළේ හෘද ශාසනික හැඟීමෙනි. මෙම කුසල් බලෙන් කරගෙන යන භාවනාව තවත් දියුණු වේවා. නිදුකින් නීරෝගීව කරගෙන යෑමට සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා යි පතමු.
සෝදුපත් බැලීම, සම්බන්ධීකරණ කටයුතු, මුද්රණය ප්රකාශනය යන සියලු අංගයන්හී නියැලෙමින් බොහෝ ග්රන්ථ එළිදැක්වීමෙහි යෙදී සිටින අප නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය සභාපති තැන්පත් කමල් ඇඹුල්දෙණිය මහත්මායාට මෙම පොත කියවන කාගේත් ප්රශංසාව හිමි විය යුතුය. එසේම එම “ලිතිර” මුද්රණාලයේ සියලු කාර්ය මණ්ඩලයටත් ධර්මාරක්ෂාව වැඩි වැඩියෙන් සැලසේවා. නිදුක් නීරෝගිකම තම තමන්ගේ බණ භාවනා කටයුතු කරගැනීමට ලැබේවායි පතමු.
මේ තුන්වන කොටස සඳහා ප්රධාන දායකත්වය කලවානේ විශ්රාමික විදුහල්පති එස්. ඩී. පී. ලියනරත්න මහත්මයා සහ විශ්රාමික ගුරු හේමසීලි අතුකෝරාල මෙනවිය ද සම්බන්ධ විය. මීට වසරකට පෙර මියපරලොව ගිය කේ. බෝධිපාල මහත්මායාගේ වාර්ෂික ගුණ සැමරුම සලකා මෙම පොත එළිදැක්වීම එම දායිකාවගේ ද දූ දරුවන්ගේ ද අදහසය. ඒ සඳහා කවුරුත් දැක්වූ සහයෝගයක් ලෙස පොත ඉක්මනින් මුද්රණය විය. මේ සියළු පිං. කේ. බෝධිපාල මහත්මයා දකිත්වා. දැක සතුටු සිතැතිව පිං අනුමෝදන් වෙත්වා. සියලුම ඥාතීන් ද අනුමෝදන් වෙත්වා. දායකත්වය දැරූ සියලුම දෙනා අදහස් කරන පරිදි තම මව්-පිය, ගුරුවර වැඩිහිටි සියලුම දෙනාත් මේ පින අනුමෝදන් වෙත්වා. එමගින් සියලු දෙනාගේ ඥාණාලෝකය වර්ධනය වීමට හේතු වේවා.
මෙතුවාක් නොතිබුණු පහසුවක් ලෙස මෙම පරිවර්තනයේදී විශේෂයෙන් උපකාරී වූ මෙහි පාළි පරිවර්තනය [බුරුම අකුරු (මුද්රණය)] සිදු කළ මණ්ඩලේ නුවර පත්-මෝ විහාරාධිපති බුරුම ජාතික අග්ගමහා පණ්ඩිත අති පූජ්ය උ. කුමාරාභිවංස සයාඩෝ ස්වාමීන් වහන්සේට ද විශේෂ ගෞරව නමස්කාරය පුද කරමු.
මෙම කටයුතු කරගෙන යෑමේදී නිස්සරණ වන වාසී අප ලොකු ස්වාමීන් වහන්සේ ප්රධාන අනෙකුත් සියලු සබ්රහ්මචාරීන් වහන්සේලාගෙන් ලැබුණු සියලු සහයෝග ඇප උපස්ථාන කෘතවේදීව සිහිපත් කරලමු. සියලු දෙනා වහන්සේලා ට මේ ජීවිතේදී ම තම ශ්රමණ ධර්ම සම්පූර්ණ කරගැනීමට මෙම ධර්ම දානමය පිංකම හේතු වේවා යි පතමු.
මෙයින් ජනිත කුසල ශක්තියෙන් අප සියලුදෙනා ගේ අභ්යන්තර බාහිර යන දෙපාර්ශවයේ ම ශීල ශාසනය, සමාධි ශාසනය සහ ප්රඥා ශාසනය වැඩේවා. සමස්ථයක් ලෙස ලක්දිව බුදුසසුන බැබළේවා යි පතන්නේ ශාසනික ගෞරවයෙනි,
මීට මෙතැති උ. ධම්මජීව භික්ෂුව නිස්සරණ වනය මීතිරිගල 2549 ක් වූ නිකිණි මස පුර අමාවකදා
මීට මෙතැති
උ. ධම්මජීව භික්ෂුව
නිස්සරණ වනය
මීතිරිගල
2549 ක් වූ නිකිණි මස පුර අමාවකදා