මහාසී විපස්සනා භාවනා ක්රමය Chapter 1-2.pdf
- කතෘ :
- මහාසී සයාඩෝ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2010
- මුද්රිත වර්ෂය :
- 2010
- පිටු ගණන :
- 170
- බාගත කිරීම් ගණන :
- 3,144
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-19
- ගොනුවේ ප්රමාණය :
- 7.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය බුරුමයේ අතිපූජ්ය මහාසී සයාඩෝ හිමියන් විසින් රචිත ශ්රේෂ්ඨ විදර්ශනා භාවනා ග්රන්ථයක් වන විපස්සනා නයප්පකරණය (විදර්ශනා භාවනා ක්රමය) ග්රන්ථයේ පළමුවන කාණ්ඩයේ 1 හා 2 පරිච්ඡේද ඇතුළත් සිංහල පරිවර්තනයයි. මෙම පරිවර්තනය මීතිරිගල නිස්සරණ වනයේ කර්මස්ථානාචාර්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් බුරුම ජාතික ඌ. අගගඤ්ඤ හිමියන්ගේ සහාය ඇතිව සිදුකර ඇත.
සතර සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්රමය ප්රායෝගිකව සහ ධර්මානුකූලව ප්රගුණ කරන ආකාරය ගැඹුරින් විස්තර කෙරෙන මෙම මහා ග්රන්ථය, මුල් බුරුම කෘතිය ඇසුරෙන් කාණ්ඩ කිහිපයකින් යුත් කොටස් හතරක් ලෙස පළකිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. මෙහි අන්තර්ගත වන්නේ එහි ප්රථම කොටසයි.
අමා දම් සංගමය (විපස්සනා භාවනා මධ්යස්ථානය, දික්හේන, පොල්ගස්ඕවිට) මගින් ප්රකාශිත මෙම දෙවන මුද්රණය බු.ව. 2554 (ක්රි.ව. 2010) දී නුගේගොඩ ලිතිර මුද්රණාලයේ මුද්රණය කරවා ධර්ම දානය පිණිස බෙදාහැර ඇත.
හැඳින්වීම I
ශාන්ත නිවන් සුව මේ ජීවිතයේදීම ලබනු කැමතියන්ට සප්ත විශුද්ධි ක්රමයෙන් සුවසේ නිවනට පැමිණෙනු පිණිස, සතර සතිපට්ඨාන විදර්ශනා භාවනාව මුල පටන් වඩන ආකාරය අනුපිළිවෙළින් දක්වමින්, බුරුම රට අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත භදන්ත ඌ, සෝභන මහා-සී සයාඩෝ නායක මාහිමියන් වහන්සේ විසින් බුරුම බසින් සම්පාදිත “විදර්ශනා භාවනා ක්රමය” නම් මහා ග්රන්ථයේ 5 වෙනි කාණ්ඩයෙහි භාවනා මනසිකාරය කරන පිළිවෙළ විපස්සනා භාවනා ක්රමය නමින් සිංහල බසින් මුද්රණය කරවා භාවනාභිලාෂීන් වෙත මෙසේ ධර්මදාන වශයෙන් බෙදා දෙනු ලැබේ.
ගාල්ලේ වැකුණුගොඩ, බෝපේ ධම්මායතනාධිවාසී අතිපූජ්ය යූ. ඤාණින්ද සෙයාඩෝ මාහිමියන් වහන්සේගේ සදුපදේශ ඇතිව, දියතලාවේ කහගොල්ලේ ශ්රී ඥානාරාම විවේකාශ්රමයේදී සහ මාතර කැකණදුර, උතුරු තලල්ලේ ශාන්ති ආශ්රමයේදී මේ භාවනා පොත සිංහලට පරිවර්තනය කරන ලදී.
බුරුම බසින් ලියන ලද “විදර්ශනා භාවනා ක්රමය” මහා ග්රන්ථයේ සම්පාදක අග්ගමහා පණ්ඩිත භදන්ත ඌ-සෝභන මහා-සී සයාඩෝ නායක මාහිමියන් වහන්සේ වනාහි මැත භාගයේ බුරුම රට විසූ ආරණ්ය වාසී අභිඥාලාභී රහත් පරපුරෙහි දැනට වෙසෙන ශ්රේෂ්ඨ කර්මස්ථානා-චාර්ය්යන් වහන්සේ නමකි. සම්බුද්ධ ජයන්ති ත්රිපිටක ධර්ම සංගායනාවේ පෘච්ඡක ඨානාන්තරය දැරූ මහාසී නායක මාහිමියන් වහන්සේ අතින් අංග සම්පූර්ණ විශුද්ධිමාර්ග මහා ටීකා සන්නය, මහා සතිපට්ඨාන සූත්ර සන්නය, සබ්බාසව සූත්ර සන්නය, වත්ථූපම සූත්ර සන්නය, ප්රතිපත්ති ශාසන ඉතිහාසය යනාදී සම්භාවනීය ග්රන්ථ 24 ක් සැපයූ අත්යුත්තම ග්රන්ථ කර්තෘන් වහන්සේ නමකි.
මහා සී නායක මාහිමියන් වහන්සේ විසින් පුහුණු කරවනු ලබන මේ සතිපට්ඨාන විදර්ශනා භාවනා ක්රමය බුරුමය-සියමය-ලංකාව-දඹදිව හා කාම්බෝජ යන රටවල ව්යාප්තව පවතී. ඉන්දියාවේ සහ කාම්බෝජයේ ස්වල්ප වශයෙන් මෙය පැතිර ඇත. ලංකාවේ කඳුබොඩ භාවනා මධ්යස්ථානය ප්රධාන ශාඛා ස්ථාන 30ක මේ ක්රමය පුහුණු කරනු ලැබේ. දසදහසකට වැඩි පිරිසක් භාවනා පුහුණු වී සිටිති. සියම් රට භාවනා මධ්යස්ථාන 300 පමණ ඇත. යෝගාවචරයෝ ලක්ෂයකට අධිකය, බුරුම රට වනාහී භාවනා මධ්යස්ථාන 367කි. පුහුණු යෝගාවචරයෝ හයලක්ෂ පණස් එක් දහස් හයසියකට අධික වෙති.
සසර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස, භාවනා වඩනු කැමතියනට උපකාර පිණිස අතිපූජ්ය මහා සී නායක හිමියන් වහන්සේගේ භාවනා ග්රන්ථයෙන් පරිවර්තනය කරන ලද මේ විපස්සනා භාවනා ක්රමයේ යම් පරිවර්තන දෝෂයක් ඇත්නම් එය අප වෙතය. මේ භාවනා ක්රමය පිළිබඳ සියලු ගෞරවය අතිපූජ්ය මහා සී නායක මාහිමියන් වහන්සේ වෙත පත් වේවා!.
පොත පරිවර්තනය කිරීමෙහි සම්පූර්ණ සහාය දී වදාළ අතිපූජ්ය ආචාර්ය්ය යූ. ඤාණින්ද සයාඩෝ මාහිමියන් වහන්සේටත් මෙය අනුමත කොට වදාළ මීතිරිගල නිස්සරණ වන ආරණ්ය සේනාසනාධිපති අතිපූජ්ය පණ්ඩිත මාතර සිරි ඥානාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේටත්, ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථා සම්පාදක අතිපූජ්ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේටත් භක්ත්යාදර ගෞරව නමස්කාර පූජා වේවා!.
මෙය පිටපත් කිරීමෙහි සහාය වූ පූජ්ය මාතලේ ධම්මින්ද, පූජ්ය මිරිහානේ නන්ද, පූජ්ය නා උයනේ අරියඤාණ යන ආයුෂ්මතුන් වහන්සේලාටත්, පොත මුද්රණය කරවීමේ උද්යෝගයෙන් සියලු කටයුතු වල යෙදුණු ගාල්ලේ-වංචාවල මීගොඩ “රණගිරි” නිවැසි පින්වත් ඩබ්ලිව්. රණසිංහ මහත්මායාටත් අපේ කෘතඥතාවය පිරිනැමේ.
ධර්ම දානයෙහි අනුසස් දන්නා ශ්රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ මණ්ඩලයක් විසින් මේ පොත මුද්රණය කිරීමේ සියළුම වියදම් දරණ ලදී. පුණ්යකාමී ඒ සෑමදෙනාටම මේ ධර්මදානමය මහ පින මගපල නිවන් සුව පිණිසම හේතු වේවා. වාසනා වේවා!.
“ආරභථ නික්ඛමථ-යුඤ්ජථ බුද්ධ සාසනෙ ධුනාථ මච්චුනො සෙනං - නළාගාරං ව කුඤ්ජරො”
“බුද්ධ ශාසනයෙහි ආරම්භ ධාතු වීර්ය්ය කරව්, නික්ඛම ධාතු වීර්ය්ය කරව්, පරාක්රම ධාතු වීර්ය්ය කරව්. බට ගෙයක් නසන ඇත් රජෙකුසේ, කෙලෙස් මර සෙනඟ වනසා දමව්”
මේ භවයේදීම අනුසස් ලබනු පිණිස සියල්ලෝම භාවනා වඩත්වා!
මෙයට මෙත්සිතී, නා උයනේ අරියධම්ම ස්ථවිර.
ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව - අම්බලන්ගොඩ. 1980-05-05
මෙම හැඳින්වීම ප්රථම මුද්රණයෙන් උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න.
නා උයනේ අරියධම්ම ස්ථවිර, ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව - අම්බලන්ගොඩ. 1980-05-05
හැඳින්වීම II
ශ්රී ලංකාවේ අග්රගණ්ය යෝග භූමියක් වන මීතිරිගල නිස්සරණ වන ආරණ්යයේදී පැවිදි උපසම්පදා ලාභීව, බුරුම රට පණ්ඩිතාරාම භාවනා මධ්යස්ථානයේ පුරා තෙවසරකට අධික කාලයක් නැවතී මහා සී සතිපට්ඨාන භාවනා මාර්ගයෙහි පූර්ණ අධ්යයනයක් බුරුම භාෂා කුශලතාවත් රැගෙන සියරට සැපත් වී මීතිරිගල නිස්සරණ වන ආරණ්යයෙහි වර්තමාන කර්මස්ථානාචාර්ය්යව සසුන් පිළිවෙත - නිවන් මග ආලෝකවත් කිරීමෙහි උද්යෝගිමත්ව වැඩ වෙසෙන පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මහා සී සතිපට්ඨාන භාවනා මහා ග්රන්ථය මෙසේ පරිවර්තන ශීර්ෂයෙන් සම්පාදනය වීම භාවනාභිලාෂී සාධූන්ගේ අමන්දානන්දනයට හේතුවනු ඒකාන්තය,
මහා-සී සතිපට්ඨාන විපස්සනා භාවනා මහා ග්රන්ථය බුරුම බසින් සිංහලට පරිවර්තනය කළ පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේටත් සහාය වූ බුරුම ජාතික පූජ්ය අගගඤ්ඤ ස්වාමීන් වහන්සේටත් ආයුරාරෝග්ය සම්පත් හා පැතූ බෝධියෙන් අග්ර නිර්වාණ ධාතුවත් සාක්ෂාත් වේවා!.
සම්භාවනීය මේ මහා ග්රන්ථය මුද්රණය කරවා ධර්මදාන ශීර්ෂයෙන් පිරිනැමීමට ඉදිරිපත් වූ පරිත්යාගශීලී පින්වත් සී. එස්. හෙයියන්තුඩුව ගුරු මාතාව ඇතුළු සැමදෙනාටත් ධර්ම ඥාන, භාවනා ඥාන මුදුන් පත් වී පැතූ බෝධියෙන් අග්ර අමා මහා නිවන් සුව සාක්ෂාත් වේවා!.
සමථ විපස්සනා භාවනා මාර්ග දෙකෙහිම මුදුනට පත්ව, ධර්මයටම ජීවිතය පරිත්යාග කොට ධර්මකාමීව ධර්මාභිවෘද්ධිය පිණිස කටයුතු සැලසීමෙහි අප්රමාදී වූ සත්ගුණවත් කමල් ඇඹුල්දෙණිය මහත්මාණන් අතින් මේ මහා ග්රන්ථය මුද්රණය වීම අති මහත් ශාසන සංග්රහයකි. එතුමා ප්රධාන පවුලේ සැමටත් දෙලොව සුබ සෙතත් ශාන්ත අමාමහ නිවන් සුවයත් සාක්ෂාත් වේවා!.
සතිපට්ඨාන විපස්සනා භාවනා මාර්ගය අනුගමනය කරනු කැමති සැමට මෙය රන් රුවන් පිරි ධන නිධානයක්ම වේවා. බොහෝදෙනා සැමදෙනා උද්යෝගයෙන් සතිපට්ඨාන විපස්සනා වඩා සුමිහිරි නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!.
මෙයට මෙත්සිතින්, නා උයනේ අරියධම්ම ස්ථවිර,
නා උයන ආරණ්ය සේනාසනය, පන්සියගම. 2003-05-05
නා උයනේ අරියධම්ම ස්ථවිර, නා උයන ආරණ්ය සේනාසනය, පන්සියගම. 2003-05-05
පරිවර්තක ස්වාමීන් වහන්සේගේ පෙරවදන
මෙම කෘතිය වූ කලී අතිපූජනීය මහා-සී සයාඩෝ ස්වාමින් වහන්සේගේ කුළුඳුල් මෙන්ම වැදගත්වූත් ශ්රේෂ්ඨතමවූත් කෘතිය යැයි කෙළින්ම හඳුන්වාදිය හැක්කේය.
බුද්ධ ජයන්තියත් සමග ලංකා ශාසනයෙහි සිදු වූ වඩා වැදගත්ම පෙරළිය වශයෙන් සැලකිය යුත්තේ කලක් යටපත්ව තිබූ විදර්ශනා භාවනාව නැවතත් ඉස්මතු වීමයි. මේ සම්බන්ධයෙන් සමකාලීන ශාසන කෙතෙහි භාවනා විෂයෙහි දැවැන්තයෙකුව වැඩ සිට අපවත් වී වදාළ අස්මදාචාර්ය්ය අතිපූජ්ය මාතර ශ්රී ඥානාරාම මහෝපාධ්යාය ස්වාමීන් වහන්සේ තම “විදර්ශනා පරපුර” නම් වූ මාහැඟි පොතේ මෙසේ අපූරු සටහනක් තබා ඇති සේක. එයද මෙයට පෙරවදනක් මෙන්ය.
“දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය බෞද්ධ පිරිසේ උනන්දුවට හේතු විය. මේ උනන්දුවෙන් නොමනා සැරසිලිවලට සිත යෙදූ පිරිසක් මෙන්ම වුවමනා ත්රිවිධ ශාසනික වැඩට සිත දුන් පිරිසක් ද වූහ. මේ පිරිස නිසා ලෝකයේ බොහෝ පැතිවල පැතිර ගිය භාවනා ව්යාපාරයක් උදා වූවේය. බුරුම භාවනාව යැයි මෙකල කථා කරන භාවනා වැඩ පිළිවෙළ ද බුරුම රට අතිසම්භාවිත මහ තෙරුන් වහන්සේලාගේ මාර්ගයෙන් අපේ රටට ලැබුණු ප්රශස්ත වූ විදර්ශනෝපදේශ සමූහයකි. විදර්ශනා භාවනා පරම්පරාව අඛණ්ඩව ගෙනගිය බුරුම පින්වතුන් වහන්සේලා ගිහි පක්ෂයට ද උගන්වමින් එය හොඳින් ගෙන යාමට නොපසුබටව උත්සාහය යෙදූහ.
.......අතිශයින් සාර්ථක භාවයක් මුල පටන්ම සලසා දෙන මේ භාවනා ක්රමය ශාසනානුලෝමික නොවේ, යැයි කියන සුළු පිරිසක් ඇත්තාහ. අධ්යාත්මික වැඩ පිළිවෙළක් වූ, භාවනාවක් පිළිබඳව එහි නොයෙදී විවේචනයක් කරන්නට යාම වැනි මෝඩකමක් කරන ඒ පින්වතුන් හට මොළය පෑදීමට කවර තරමේ උපක්රමයක් සුදුසු වේ දැයි අපට නම් සිතා ගැනීම දුෂ්කරය. ඉසිමන් ඉවතලා මේ භාවනාවේ යෙදීමට ආරාධනා කරමු.” (භාවනා උපදෙස් සහිත විදර්ශනා පරපුර-24 පිට).
මෙසේ වූ වටිනාකමක් ඇති විදර්ශනා භාවනා ක්රමය මුලින්ම ලොවට හඳුන්වා දුන් මෙම මහඟු පොත සම්පූර්ණයෙන්ම බුරුම බසින් ගල්පුවරුවල කොටා ආරක්ෂා කොට ඇතත් මෑතක් වන තුරුම වෙනත් කිසිම භාෂාවකට පරිවර්තනය නොවීම අරුම සිද්ධියකි. බුරුම පොත් නොයෙක් ලෙසින් පරිවර්තනය කොට ලාංකික යෝගාවචරයන් දිරිමත් කළ මෑතකදී අපවත් වී වදාළ මහා ග්රන්ථකතුවර අතිපූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේද මේ පොත පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නොයෙක් විට සටහන් තබා ඇතත් එය මේ තාක් ඉටු වූ බවක් දැන ගන්නට නැත. මෙහි අත්යාවශ්යය යැයි ගැනෙන පස්වන පරිච්ඡේදය පමණක් අතිපූජ්ය බුරුම ජාතික ඌ. ඤාණින්ද ස්වාමීන් වහන්සේගේ සහායෙන් අතිපූජ්ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් 1980 වර්ෂයෙහි සිංහලෙන් ලියා පළ කරවන ලදී. ඊට අමතරව අතිපූජනීය මහා-සී ස්වාමීන් වහන්සේගේ විවිධ ලිපි-ලේඛණ හා ධර්ම දේශනා සිංහල ඇතුළු විවිධ භාෂාවන්ට නැගී ඇත. එමගින් ප්රායෝගික අවශ්යතාවය පිරිමැසී ගියත් මුල් පොතෙහි සම්පූර්ණ පරිවර්තනයක් නොමැති වීම තවමත් අඩුකමක් විය.
මෙම පරිවර්තන කෘත්යයේ යෙදී සිටින අපට වැටහී ගියේ ඉතිහාසමය වටිනාකමකුත් බුරුමයට තරම් නොවන ප්රමාණයේ විප්ලවකාරී චින්තනයකුත් මෙහි ගැබ් වී ඇති සැටියි. මෙම පොත ඒකාන්තයෙන්ම යුග පෙරළියක් ඇති කළ මහා කෘතියකි.
මුල් කෘතියේ දැක්වෙන ආකෘතිය එහි සම්භාවනීය වටිනාකමට දක්වන සැලකිල්ලක් ලෙස එලෙසින්ම මෙ මගින් එළි දක්වන්නෙමු. පූර්වකාලීන බුරුම මුද්රණවල උධෘත පාඨ සඳහා මුලාශ්ර දැක්වීමේ එතරම් උත්සාහයක් යොදා ඇති බවක් නොපෙනුනත් මෑතකාලීන මුද්රණවල ක්රම ක්රමයෙන් ඒවා ඇතුළත් වී ඇති සැටියක් දැක ගන්නට ඇත. ඉතා මෑතකදී ප්රකාශයට පත් කොට ඇති මෙහි පාලි පරිවර්තනයේ (බුරුම අකුරු මුද්රණයේ) මූලාශ්ර දැක්වීම අංග සම්පූර්ණව සිදු කොට ඇත. මෙම සිංහල පරිවර්තනයේ මූලාශ්ර දක්වා ඇත්තේ මධ්යස්ථ මට්ටමකටය. එසේම 1943 දී පමණ එළි දක්වා ඇති බුරුම මුල් කෘතියේ මුලට එක්කොට තිබූ සංකේත විග්රහය එලෙසින්ම පරිවර්තනය කරන්නට යෙදුන මුත් සිංහල පොතේ එහි දැක්වෙන ප්රමාණයට වඩා සංකේත ප්රමාණයක් භාවිතා කොට ඇති බව මෙහිලා දක්වනු කැමැත්තෙමු. එසේ පරිවර්තනයේදී අමතරින් යොදා ගැනුන සංකේත නම්:
01. (..........) = වරහන්. 02. ; තිත් කොමාව = නිදසුන් ගෙනහැර පෑමේදී. 03. : විග්රහ ලකුණ = කාරණයක් විග්රහ කිරීමේදී. 04. - කෙටි ඉර = අසමාන අර්ථ ඇති වචන රචනයේ සමාන බරකින් යුක්තව යෙදෙන විට. 05. කළු අකුරු = පාළි වචන වෙන් කොට දැක්වීමේදී. 06. ඇල අකුරු = සිංහලට හුරු සමහරක් පාළි වචන එලෙසින්ම යොදන විට.
මෙම පරිවර්තනයේදී මුල් පොතේ අර්ථය හැකිතාක් දුරට යෝගාවචරයෙකුට ගැලපෙන ලෙසට ප්රයෝජනය සලකා මතු කරදීමට උත්සාහ ගතිමු. කෙතෙක් දුරට එය සාර්ථක වී දැයි මැනීමට තරම් තවමත් ඉක්මන් වැඩිය. කෙසේ නමුත් පරිවර්තනයේ අඩුපාඩු නැතැයි කාටනම් කිව හැකික්ද? එවන් දුෂ්කරතාවයක් පැන නගින්නේ නම් අති පූජනීය මහා-සී සයාඩෝ ස්වාමීන් වහන්සේගේ අනෙකුත් ලේඛන පොත්පත් සමග ගළපා බලා අඩුපාඩු පිරිමසා ගන්නා මෙන් කරුණාවෙන් මතක් කරමු. මේ පමණකින් හෝ මේ භාරදූර කර්තව්යය ඉටුකිරීමේදී උදව් උපකාර කළ සත්පුරුෂයන් වහන්සේලා කීප නමකි. එහිලා මුලින්ම, අපව බුරුම රටට ස්වකැමැත්තෙන්ම වැඩමවාගෙන ගොස් රට පෙන්නා, භාෂාව පිළිබඳව අත්පොත් තබා වටිනා ගුරුවරුන් හඳුන්වා දෙමින් වැදගත් මෙහෙවරක් කළ රාජකීය ඕවාදාචාර්ය්ය, අග්ග මහා පණ්ඩිත, බුරුම ජාතික ඌ. ඤාණින්ද ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නේ මෙයින් ජනිත අපමණ කුසලය ඔබ වහන්සේගේ පාමුල තබා පිළිගැන්වීමෙනි.
එසේම මෙම කටයුත්තේදී ළඟින් සිට උපකාර කළ බුරුම ජාතික ඌ. අගගඤ්ඤ ස්වාමීන් වහන්සේගේ මෙහෙවර ද ලක්වැසි යෝගාවචරයන් ණය ගැතිය. මෙම පොත මීට කලින් පරිවර්තනය විය යුත්තක්ව තිබූ බව කියමින් දිනපතා පැමිණෙමින් උන්වහන්සේ කළ මෙහෙය උදාර ශාසනික මෙහෙයකි. මේ පොත සිංහලෙන් මුද්රණය කිරීම සඳහා අවසර ගැනීම පිණිස බුරුමයේ මහා-සී මධ්යස්ථානයේ වර්තමාන ලේකම් උ. ථෝ මින්ට් මහතා හමුවීමේදීත්, අදාළ ඡායාරූප සපයා ගැනීමේදීත්, අවසරය ලබාගැනීමේදීත් ඉතාමත් උනන්දුවෙන් කටයුතු කළ ආකාරය ආදර්ශවත්ය. එම ලේකම් මහත්මා විසින් එහිදී ලබා දුන් මෙහි පාළි පරිවර්තනය අවසාන සෝදුපත් බැලීමේදී මහෝපකාරී විය. උක්ත අවසරය ලබා දුන් මහා-සී මධ්යස්ථානයේ වර්තමාන අනුශාසක සංවිධානයට ද ස්තූතිවන්ත වෙමු.
විවිධ බුරුම භාවනා පොත් පරිවර්තනය කරමින් එහි දැක්වෙමින් කටයුතු කරන අප අමාදම් සංගමයේ ප්රධාන අනුශාසක අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ මෙම ක්රමය ලක් සසුනට හඳුන්වා දීම සඳහා මුලින්ම මෙම ග්රන්ථයෙහි පස්වන පරිච්ඡේදය පරිවර්තනය කොට එළි දැක්වූ අතර එහි අංග සම්පූර්ණ පරිවර්තනයක් වන මෙහිදී ද මුල්ම අත් පිටපත කියවා අනුමත කළ තැන් පටන් අවසාන වශයෙන් පෙරවදනකින් මෙම පොත සරසන තැන තෙක් කළ ශාසනික මෙහෙවර උදාරය. ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ සාමාජිකයන් සඳහා මෙම විදර්ශනා ක්රමය නොපැකිල අනුමත කරන්නේ “මාර්ග ඵල අධිගම ලාභීන් පහළ කරවමින් බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට මෙය ඉවහල් වන බවට” කරන ශාසනික උදාරාශංසනයක් ලෙසිණි. අමාදම් සංගමය වෙනුවෙන් පෙළ ගැසී සිටින අනෙකුත් අනුග්රාහකයන් අතරට පූජ්ය විලානගම පියරතන ස්වාමීන් වහන්සේ, පූජ්ය කිතුල්හිටියාවේ ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ, පූජ්ය මහයායේ ධම්මසුනෙත්ත ස්වාමීන් වහන්සේ, මෙහි පිටපත් කටයුතු කිරීමෙන් සෝදුපත් බැලීමෙන් සහාය විය. යෝගාවචර ලලිත් ජයවර්ධන මහත්මයා, විජිත කරුණාරත්න මහත්මයා, කලංසූරිය මහත්මයා ඇතුළු බොහෝ දෙනෙක් මෙම කටයුත්තෙහි ලා එක්වූහ. මෙතෙක් අමාදම් සංගමය මගින් මුද්රණය කළ පොත්වල යෙදූ අකුරු වලට වඩා පැහැදිලි අකුරු වර්ගයක් මෙම පොතට යොදන්නට ලැබීම කියවන්නාට පහසුවක් වනු ඇත.
මුල් බුරුම පොතත් එහි පාළි පරිවර්තනයත් කාණ්ඩ දෙකක් ලෙස එළිදක්වා ඇති මුත්, නොයෙක් කරුණු සලකා බලා අමාදම් සංගමය විසින් එය කුඩා පොත් (කොටස්) හතරක් ලෙස ප්රකාශ කරන්නට ඉතිරි කොටස් කාණ්ඩ කිහිපයකින් ද මුද්රණය කොට යෝගාවචරයන් වෙත පිළිගන්වන ලදී. ප්රථම මුද්රණය සඳහා සත් ගුණවත් සී. එස්. හෙයියන්තුඩුව ගුරු මෑණියන් විසින් බරපැණ දැරීය. එතුමියට නිදුක් නීරෝගී සුව සම්පත් ලැබ නිවනින් සැනසීම ලැබේවා!
ශ්රී සද්ධර්මය නිතර අසමින්, කියවමින්, ප්රගුණ කරමින්, ධර්ම දානමය පිරිනමමින් ධර්මයෙහි සිත් අලවා ධර්ම රසය විඳින්නා වූ ඔස්ට්රේලියාවේ පදිංචිව සිටින සත් ගුණවත් චිත්රානන්ද අමරසිරි මහත්මා සහ චින්තා අමරසිරි මහත්මිනි විසින් දෙවන වරට මුද්රණය කොට මෙසේ ධර්ම දානමය ප්රධානය කෙරෙනුයේ ඉමහත් ශ්රද්ධාවෙනි. මෙම ධර්ම දානමය කුසල් බලයෙන් හා රත්නත්රයේ අනන්ත ගුණානුභාව බලයෙන් චිත්රානන්ද අමරසිරි මහත්මාගේ දෙමාපියන් දෙපලත්, චින්තා අමරසිරි මහත්මිනිගේ දෙමාපියන් දෙපල ඇතුලු පවුලේ සැමටත්, ආයුරාරෝග්යාදි ශ්රී සම්පත් අභිවර්ධනය වේවා! සමාද්ධි වේවා! දෙලොව සුබසෙතත්, ශාන්ත නිවන් සුවයත් අත්වේවා! යි ඉතසිතින් ප්රාර්ථනා කරමු.
මුද්රණ කටයුතු සුපුරුදු පරිදි මෙහෙය වූ කමල් ඇඹුල්දෙණිය මහතාත් ‘ලිතිර’ හි කාර්ය මණ්ඩලයත් මෙහිදී ඉතා හොඳ මෙහෙවරක් ඉටු කරන්නට යෙදුණේ, අතර වාරයේ පැමිණි විවිධ බාධා මධ්යයේ ය. එම සියලුම පරිශ්රමයන් තව තවත් ධර්ම ඥාණය පිණිසම හේතු වේවා! යි පතමු.
වසර ගණනාවක් තුළ ක්රම ක්රමයෙන් හැඩ ගැසෙමින් ගලාගිය මෙම පුණ්ය කටයුතු ප්රවාහය තුළින් අප රැස් කරගත් යම්තාක් කුසල් සම්භාරයක් වේද එය අම්මා-අප්පච්චී ඇතුළු සියලුම අභාවප්රාප්ත ඥාතීන්ටත් අත්වේවා! ධර්මය සැනසීම උදාවේවා! සියලුම ආචාර්ය උපාධ්යායයන් වහන්සේලාටත් අත්වේවා! හිතවත් මැදහත් අහිතවත් යන සියලු සත්ත්වන්ටත් අත්වේවා! සියලු දෙනාගේ සියලු ආකාර සම්යක් ප්රයත්නයෙන් ලක්දිව බුදු සසුන බැබලේවා! යි පතන්නේ මෛත්රියෙනි.
උ. ධම්මජීව භික්ෂුව නිස්සරණ වනිය, මීතිරිගල.
බු. ව. 2554 ක් වූ වප් මස පුර පසළොස්වකදා.
උ. ධම්මජීව භික්ෂුව, නිස්සරණ වනිය, මීතිරිගල. බු. ව. 2554 ක් වූ වප් මස පුර පසළොස්වකදා.