විමුක්ති මාර්ගොදය (බොජ්ඣංග) - දික්වැල්ලේ සීලරතන හිමි.pdf
- කතෘ :
- දික්වැල්ලේ සීලරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1930
- පිටු ගණන :
- 282
- බාගත කිරීම් ගණන :
- 1,508
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්‍රමාණය :
- 19 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විමුක්ති මාර්ගෝදය යනු සප්ත බොජ්ඣඞ්ග (බොධ්‍යඞ්ග) ධර්ම විස්තර කරන සිංහල ධර්ම ග්රන්ථයකි. මෙය ගොඩඋඩ සිරිසුමනාරාමවාසී දික්වැල්ලේ සීලරතන ස්වාමීන් විසින් සම්පාදනය කරන ලදී. කර්තෘ සංඥාපනයේ සඳහන් කරන පරිදි මෙය පරිකල්පිත කෘතියක් නොවේ. අනේක බෞද්ධ ග්රන්ථ ඇසුරෙන් සම්පාදිත ධර්මනිබන්ධන සංග්‍රහයකි. විමුක්ති මාර්ගය උදාවීමට හේතු වන ධර්ම බොධ්‍යඞ්ග බැවින් පොතට මේ නම තබා ඇත.
විභඞ්ග පාළියේ බොජ්ඣඞ්ග විභඞ්ගය, ටීකා, සංයුත්ත නිකායේ බොජ්ඣඞ්ග සංයුත්තය සහ අනෙක් නිකායවල සූත්‍ර පෙළ බස නොදන්නා සාමාන්‍ය බෞද්ධයන්ට කියවිය නොහැකිය. එබැවින් ඔවුන්ට තේරුම් ගත හැකි පරිදි උපමා කථා සහිතව මෙය ලියන ලදී. දෙවුන්දර පී. එච්. අන්දිරිස් මහතාගේ ආරාධනයෙන් ලියවුණු මෙම පොත ඔහුගේ තනි වියදමින් ස්වදෙශ මිත්‍රයා යන්ත්‍රාලයෙහි මුද්‍රණය කෙරිණ. පොත රාජනීතිඥ ආර්. ඇල්. (රිචර්ඩ් ලයනල්) පෙරේරා මැතිතුමාට පිළිගන්වා ඇත. සංඥාපනය 1930 අගෝස්තු 20 (බු. ව. 2474) දින ලියා ඇත.
පොත ආරම්භ වන්නේ චක්‍රවර්ති, සදහම් අගරජ, අනුසස් යන මාතෘකාවලිනි. ඉන්පසු බොධ්‍යඞ්ග ප්‍රභේද හා අර්ථ විස්තර කෙරේ. ඊළඟට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන සම්බොජ්ඣඞ්ග සත සහ එක් එක් අඞ්ගය උපදවන හේතු ධර්ම සාකච්ඡා වේ. බුද්ධානුස්සති ආදී අනුස්සති හා නව අරහාදී බුදුගුණ ද එහි ඇතුළත් ය. අවසානයේ ග්රන්ථකරණයට සහාය වූවන් සඳහන් කරන පාළි ගාථා ඇත.
- චක්‍රවර්ති, සදහම් අගරජ, අනුසස්
- බොධ්‍යඞ්ග ප්‍රභෙද හා බොධ්යඞ්ගාර්ථ
- සති සම්බොජ්ඣඞ්ගය — උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය (සම්බොජ්ඣඞ්ග සත)
- ස්මෘතිහෙතු චතුෂ්කය, ධම්මවිචය හෙතු සප්තකය, වීර්ය්යහෙතු එකොළොස
- ප්රීතිහෙතු එකොළොස (බුද්ධානුස්සති ආදිය සහිතව)
- ප්රශ්රබ්ධිහෙතු සප්තකය, සමාධිහෙතු එකොළොස, උපෙක්ෂාහෙතු පඤ්චකය
මෙම ස්කෑන් පිටපත නාඋයන අරණ්‍ය සේනාසනය (Paññápárami - Na Uyana) විසින් 2018 දී නොමිලේ බෙදාහැරීම සඳහා සකස් කරන ලදී.
සංඥාපනය.
සත්‍යය.
සත්‍යය නම් නවීන ප්‍රබන්ධයක් නො වේ. එය වනාහි ස්වභාව ධර්මය තත් වූ පරිද්දෙන් මැ විවරණය කිරීමකි. හෙ ද අසර්වඥ වූ කිසිවෙකුට කිසි ලෙස කිනු ත් අවිෂය ය, අවිනෙය්ය ය. එහෙයින් අසර්වඥයාහට ලෝක සත්‍යය හෙවත් ලෝක ධර්මය පිළිබඳ පරිසමාප්ත නිරාකරණය කට බැසැ ගත නො හැකිම ය, අනාවරණය කළ යුතු දෑ ඔහුගේ ප්රඥාවිෂය ඉක්මවා විශාල වූ ලෝක ධාතුවෙහි ප්‍රස්තාර වී තිබෙන බැවිනි. ස්වභාව ධර්මයේ අතුල්‍ය නිර්මාණයක් වූ මනුෂ්‍යයාගේ ප්රවෘත්ති තත්ත්ව ගවෙෂණය පිණිස ලෝක තත්ත්වය තුළ කිඳුනු කල්හි ඔහු ශාස්වත හෝ උච්ඡෙද වාදයෙන් මතු වන්නේ ය. නැතහොත් නිවෘත්ති ගවෙෂණයට ගොස් ලාමක අනත්තවයට බැසැ ගන්නේ ය. එබඳු ප්‍රකාශ අප හමුවෙහි ඇත. නමුත් ඒ ප්‍රකාශ ඔවුන්ගේම චරිතාභිමුක්ති මැනැ පෙන්වන කෝදු මිස භූත තත්ත්වය ආදි ස්වභාව ධර්මය හෙවත් ලෝක ධර්මය මැන ගැනීමට ප්‍රමාණ වන කෝදු නො වෙති.
ආකාශය අනන්ත ය. අනන්ත වූ ඒ ආකාශය රියනක හෝ යාරයක නැත්නම් බඹයක කෝදුවකින් මැනැ කෙළවර අල්වා ගත නො හැකිය. අමාරුවේ නො වැටී එය මැනීමට නම් එපමණ වූම කෝදුවක් වුවමනා ය. එමෙන් සම්පූර්ණ ලෝකධර්මය පරිසමාප්ත නිරාකරණයට පැමිණවීමෙන් හෙළිකර දීම සර්වඥතාඥානයෙන් ම සිදු විය යුත්තකි. එ හෙයින් එ බන්දෙකුගේ ප්‍රකාශය පමණක් ම පරිසමාප්ත සත්‍යය විය යුතු.
මේ නිරවශෙෂ සත්‍යය සත්ත්වයා හෙතු-ඵල පරම්පරාවක් බව නො පැකිල කියන්නේ ය. ධාතු-ආයතනයන්ගේ රාශිය බව ද හෙළි කැරැ දෙන්නේ ය. එසේ ඔවුන්ගේම පරම්පරාව නො සිඳී පැවැත්ම සසර බව ද දක්වමින් අනාදිමත් කාලයක පටන් ලෝකයා අවුලෙන් අවුලට වැටෙමින් විසඳීමට වෙහෙසුන පුනරුත්පත්තිය පිළිබඳ ප්රශ්නය ද හෙළි කරන්නේ ය. ඒ හැරැ ආත්මශූන්ය ජංගමපුඤ්ජය වූ සම්පූර්ණ සත්ත්ව ජීවිතය දුඃඛපුඤ්ජය බව ද එය පළ කරන්නේ ය. ඒ දුක් පිඬේ සම්භවයට හෙතුව වූ චෛතසිකය ද නිරාකරණය කරන්නේ ය. දුඃඛපුඤ්ජයෙන් මුක්ත වූ ශාන්ත සුඛය ද විදහා පාන්නේ ය. එය ලැබිය හැකි උපාය වූ විමුක්ති මාර්ගය ද පහදා දෙන්නේ ය.
මේ නයින් භවයත්—සත්ත්වයාත් පිළිබඳ පැවැත්ම හා නැවැත්ම ද පැවැත්මේ හෙතුව හා නැවැත්මේ හෙතුව ද පරිසමාප්ත නිරාකරණයට පමුණුවා ලීම වූ කලී නිරවශෙෂ--අසමසම ආර්‍ය්‍ය සත්‍යය විසින් කරදෙනු ලැබේ. ඒ මේ පරම සත්‍යය වනාහි පර්‍ය්‍යාප්ති යන අපර නාමයකින් ද හඳුන්වනු ලැබේ. නානා නය රළ පෙළ ඇති ගම්භීර ගුණයෙන් සාගර තුල්‍ය වූ ඒ පර්‍ය්‍යාප්ති ධර්මය ද සූත්‍ර-අභිධර්ම-විනය යි පිටක වශයෙන් ත්‍රිවිධ ය.
ලොවුතුරු නවරුවන්.
සමන් බහදුරු වූ බුදුසසුන් රුවනාකරේ පහළ වූ මාර්ග--ඵල--නිර්වාණ සංඛ්‍යාත නවලොවුතුරු දහම් නැමැති මහඟිය නවරුවන් යථොක්ත සූත්‍ර-අභිධර්ම-විනය සංඛ්‍යාත සුවර්ණමය මඤ්ජුසාවන්හි විධිමත් ලෙස ගබඩා වී විවරණ ක්‍රම සහිත වැ සනරාමර ලෝකයා ඉදිරියෙහි විරාජමානය. එහෙයින් යථොක්ත මඤ්ජුසාත්රය යථාවිධින් විවරණය කොටැ ලොවුතුරු නවරුවන් මතු කර ගත යුතු ය. අතීතයෙහි වුසූ දෙව්-මිනිස්සු ඒ ශ්‍රෙෂ්ඨ පරිශ්රමයෙහි උත්සාහ වත් වැ නවලොවුතුරු මැණික් ගෙන හෙවත් සිය සිත්සතන්හි නවලොවුතුරු දහම් පහළ කරගෙන අජරාමර වූහ. එසේ අජරාමර වූවන්ගේ ගණන ද සංඛ්යාපථය ඉක්ම වූයේ ය.
නමුත් දැන් අප කෙරෙන් ඒ විවරණ ශාස්ත්‍රය ඉතා ඈත් වී තිබේ. එයට හෙතු බොහෝ ය. එයිනුදු අපගේ පරිශ්රමය පිළිබඳ අල්පකම “ප්‍රධාන හෙතුව”යැ යි කිය යුතු ය. මැණිකෙන් පිරිපුන් කසුන් බඳුන් සඳ හිරු මෙන් ප්‍රකාශ වැ ඇත. එහි අගය ද අසා ඇත. එසේම එය විවරණය කරගැනීම් පමණින් මැණික් ලැබිය හැකිය යන හැඟීම ද ඇත. විවරණ ශාස්ත්‍රය ද ඇත. එයට ළඟා වන මාර්ගය හෙවත් පූර්වභාග ප්‍රතිපදාව ද ඇත. සෘජු වුව ද ඒ දුෂ්කර මාර්ගය ඔස්සේ ගමන් කොටැ පැණසින් එය අනාවරණය කොටැ මැණික් අත් පත් කර ගෙන අජරාමර වීමට මිනිසා අද පසුබට ය. එබඳු අරුචියක් නැතහොත් දුබල කමක් මිනිසා කෙරෙහි තැන්පත් වූයේ පැණස අඳුරු වී විවරණ චාරය අසු නො වීමෙනි.
ශාස්ත්‍රය.
එහෙයින් අප විසින් ඒ විවරණ චාරයට ළඟා වන්නට මත්තෙන් ශාස්ත්‍රය කුමක් දැ?යි මනාව තේරුම් ගත යුත්තකි. එය නම් අන්‍ය කිසිවක් නො වේ. මේ විමුක්තිමාර්ගෝදයයෙන් ප්‍රකාශයට පැමිණෙන සප්ත බොධ්‍යඞ්ග ධර්මය මැ යි. නවලොවුතුරු දහම් පසක් කර ගෙන අජරාමර වීමට මත්තෙහි දූ මිනිසා ඥානයෙන් හා ධනයෙන් ද ශ්රෙෂ්ඨත්වයට පමුණුවා දිව්‍යමය සාධු ශීල පරම්පරාවෙන් අනූන වූ සුචිතයෙකු බවට පමුණුවන බලයක් ද මෙහි නිසර්ගයෙන් පිහිටා තිබේ. එහෙයින් ලෞකික-ලොකොත්තර වශයෙන් අභිවෘද්ධිය කැමැති සියල්ලවුන් විසින් මේ විමුක්තිමාර්ගෝදය භාවිත කළ යුතුම ය.
විමුක්තිමාර්ගෝදය.
මිනිසා කුසීත නිද්‍රාවෙන් නැගිටුවා උත්ථාන වීර්‍ය්‍යයෙහි පිහිටුවීම ආදිම ප්‍රතිඵලය කොට ඇති මේ පුස්තකය වනාහි පරිකල්පිත ක්රමයේ ග්රන්ථයක් නො වැ අනෙක බෞද්ධ ග්රන්ථයන් ඇසුරු කිරීමෙන් සම්පාදිත ධර්මනිබන්ධන සංග්‍රහයෙකි. මෙහි කථා ශරීරය බොධ්‍යඞ්ග ධර්ම බැවින් තදනුසාරයෙන් ප්රධානාඞ්ග සතෙකි. එහෙත් උපාඞ්ග වශයෙන් කිහිපයකි. එය මෙහි අන්තැනෙකැ පළ වූ අනුක්රමණිකාවෙන් දත හැකි ය. බොජ්ඣඞ්ග ශබ්දයේ අර්ථ නිරූපණය මෙහි ග්රන්ථාංශයක්හුගේ වශයෙන් මැ දැක් වෙන හෙයින් මෙහිදී ද දක්වනු නුවුවමනා ය. මෙහි ලා විශෙෂයෙන් අනුස්මරණය කැරැ විය යුත්තේ නාමය පිළිබඳ ව ය. මෙයට “විමුක්තිමාර්ගෝදය” යි නම් කෙළේ:--බොධ්‍යඞ්ග ධර්ම වනාහි විමුක්තිමාර්ගය උදාවීමේ හෙතු ධර්ම නිසා “මේ කාරණකොට ගෙන නිවන් මඟ උදාවේ”නු යි යන කරණකාරක විග්රහ වාක්‍ය විසින් යථොක්ත හෙතු ධර්ම ප්රස්තුත වන හෙයිනි.
තවද මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ සාමාන්‍ය බෞද්ධ ලෝකයාගේ පරිශීලනය බලාපොරොත්තු වෙනි. උගතුන්ට නම්:—මේ බොධ්‍යඞ්ග ධර්ම පිළිබඳ විස්තර විභඞ්ග පාළියෙහි බොජ්ඣඞ්ග විභඞ්ගය හා තදර්ථ කථා ද, ඒ පිළිබඳ වූ මැ මූලටීකා-අනුටීකා-මධුටීකා පාඨයන් ද, අත්ථයොජනා ගැටපද විවරණ ද, සංයුක්ත නිකායයෙහි බොජ්ඣඞ්ග සංයුත්තය ද, එසේ මැ දීඝ නිකාය – මජ්ඣිම නිකාය-අඞ්ගුත්තර නිකායයන්හි ඒ පිළිබඳ වූ නොයෙක් සියගණන් සූත්‍ර ද, ඒ ඒ අර්ථ කථාවන් හා ටීකා පාඨයන් ද අවලොකනය කිරීමෙන් බොධ්‍යඞ්ග ධර්ම පහසුවෙන් ඉගෙන ගත හැකිය. නමුත් පෙළ බස නො හසළ සාමාන්‍ය බෞද්ධ ලෝකයාට එබඳු පොත් බලා අර්ථරසය විඳගනු නො හැකි ය.
එහෙයින් එබඳු අයගේ පරිශීලනයට යොග්‍ය වන සේ බොධ්‍යඞ්ග ධර්ම වර්ණනාවක් ලියා දුන හොත් “මුද්‍රණයෙන් ප්රචාරයට පමුණුවන්නෙමි” යි ප්‍රතිඥා දුන් (Light House) රාජකීය ප්රදීපාගාරයකා ප්‍රධාන ධූරය දරන ශ්රද්ධාවත් බෞද්ධයෙකු හා පරමාර්ථ ධර්ම විෂයයෙහි පටුතර බුද්ධියකු ත් ඇති දෙවුන්දර- පී. එච්. අන්දිරිස් මහාත්මාගේ මෛත්‍රී පූර්වක ආරාධනය අනුව මේ පොත සම්පාදනය කරන ලද්දේ ය. මෙහි ප්‍රථමයෙන් කී පරිදි මැ සාමාන්‍ය ලෝකයා බලා ගෙන මෙය සැපයූ හෙයින්- ඇතැම් කරුණු සම්බන්ධයෙන්, නොයෙක් උපමා කථාදිය දැක්වීමෙන්, දුර්බොධය යි වැටහුණු තැන් සුබොධ වන සේ පිළියෙළ කළ හෙයින්-අපගේ මුල් බලාපොරොත්තුව ඉක්මැ ගොස් ග්‍රන්ථය විශාල විය. එය කියවන්නහුට ලාභයකි.
තවද, මේ ග්‍රන්ථය පූර්වොක්ත මහාත්මාගේ තනි වියදමින් මුද්‍රණය කරවන ලද්දකි. එසේ මැ ඒ අදහස අනුවැ මේ පොත ලඞ්කානීතිඥ මණ්ඩලාම්බරයෙහි අත්යුජ්ජලිත තාරකාව වූ ද, බෞද්ධ ජන ශ්‍රෙෂ්ඨයෙක් වූ ද සත්කීර්තිමත් රාජනීතිඥ රිචර්ඩ් ලයනල් පෙරේරා මැතිතුමාණන් වෙතැ පිළිගන්වන ලද්දේ ය.
සර්වඥ නො වූ නො වරදින සුලු කිසිවෙක් ලොවැ නැත්තාක් මෙන් මැ අපගේ මේ කෘතිය දෙෂයෙන් මුක්ත වුවහොත් ආශ්චර්‍ය්‍යයෙකි. එසේ අපගේ පෘථග්ජන දෙෂයෙන් ඇති වී තිබෙන යම් පමණ වරද තැන් මනාසට ගොදුරු වූ කලැ අප වෙත ලියා එවන මෙන් කරුණාවෙන් නුවණැතියනට ආරාධනය කරමූ. එසේ ලියා එවන වරද තැන් දෙවෙනි මුද්‍රණයෙහි දී සකස් කරන්නෙමූ.
කෘතඥතාව.
මේ ග්රන්ථ කරණයෙහි දී අපට පෙළ-අටුවා පොත් පමණක් නො වැ නොයෙක් සංග්‍රහ ග්රන්ථ ද උපකාරී වූහ. එසේම ස්වදෙශ මිත්‍රයා කාර්ය්යාලය ද අපට බෙහෙවින් ආධාර වූයේ ය. ඒ සියල්ලට මැ අපගේ කෘතඥතාව හිමි වේ. ඒ හැරැ මේ ග්රන්ථ කරණයෙහි දී අපට විශෙෂයෙන් ආධාර වූයේ දෙහිවල කරගම්පිටියේ සුබොධාරාම මහා විහාරාධිශ ගල්කිස්සේ ගුණාලඞ්කාර ස්ථවිර යන් වහන්සේ ය. අප කල්‍යාණ මිත්‍ර ඒ ස්ථවිරොත්තමයන්ගේ සහාය ලැබුණු නිසා ම මෙය මෙතරම් ශොභ්යයකින් යුක්ත කොට ප්‍රකාශයට පැමිණවීමට හැකි වි ය. අපට මුල පටන් සර්වප්රකාරයෙන් මැ පිහිට වූ පූර්වොක්ත විහාරස්ථානය සහිත සබ්‍රම්සරුන් වහන්සේ කිසි කලෙක ත් අමතක නොකරමූ.
පූජෝපහාරය.
මෙහි ලා අපගේ ප්රව්රජ්යාචාර්ය්ය ගොඩඋඩ සිරි සුමනාරාමාධිපති ගෞරවාර්හ ධම්මරතන මහා ස්ථවිර පාදයන් වහන්සේ නමස්කෘති පූර්වක වැ සිහිපත් කෙරෙමූ. උන් වහන්සේ වනාහි, දක්ෂිණ ලඞ්කා ශාසනය විශෙෂයෙන් පොබයවමින්, අනෙක ධර්මශාස්ත්‍රීය සංග්රහයන්හි ද යෙදෙමින්, දික්වැල්ලේ වැවුරුකන්නල සුදස්සනානන්ද මහා විහාරය, ගොඩඋඩ සිරිසුමනාරාමය යන උභය විහාරාධිපති වැ වැඩ විසූ පණ්ඩිත වැලිහිටියේ, වජිරඤාණාලඞ්කාර“ සිරි සුමන”මාහිමිපාණන් වහන්සේගේ-දැනට ජීවත්වැ සිටින පාතේගම ගුණානන්ද මහා ස්ථවිර, බජ්ජම සිරි සභාතිස්ස නායක ස්ථවිර, බඹරන්දේ ධම්මරතන ස්ථවිර, දික්වැල්ලේ ගුණරතන ස්ථවිර යන පැවිදි ශිෂ්‍ය සිවු දෙනා වහන්සේ අතුරෙහි වූ තුන් වෙනි ශිෂ්‍යරත්නය යි. ඒ අසමදාචාර්ය්යයන් වහන්සේ අප වෙනුවෙන් දැක්වූ කරුණා ගුණය වෙනුවට මේ විමුක්ති මාර්ගෝදය උන් වහන්සේට පූජෝපහාරයක් වේවා !.
ධර්මාචාර්ය්ය ප්‍රණාමය.
ධර්ම-ශාස්ත්‍ර විෂයයෙහි අපගේ ප්රධානාචාර්ය්ය වූ මෙකලැ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය මහා විද්‍යාලයාධිපති ධූරය දරන පණ්ඩිත ශිරොමණි කහවේ, සිරි සුමඞ්ගල රතනසාරාභිධාන මහා නායක මාහිමියාණන් වහන්සේ විශෙෂයෙන් මෙහි ලා නමස්කෘති පූර්වක වැ අනුස්මරණය කරම් හ.
එසේ ම ධර්ම-විනය දෙක්හි පූර්ව භාගයෙහි දී අපව හික්මවූ කෝට්ටෙගොඩ, සෞගතොදය විද්‍යාලයාධිපති කහඳ මූවදෙර පඤ්ඤාසාර මහා ස්ථවිරපාදයන් වහන්සේ ද, කහවේ, සිරි සොභනාරාමාධිපති ආචාර්ය්ය කහවේ, ආනන්ද මහා ස්ථවිරපාදයන් වහන්සේ ද, පරමාර්ථධර්ම විෂයයෙහි ආචාර්ය්ය වූ රේරුකානේ චන්ද්‍රවිමල ස්ථවිරයන් වහන්සේ ද නමස්කෘතියෙන් සිහි පත් කරම් හ.
ඒ හැරැ අපගේ මේ ව්‍යාපාරය බෞද්ධ සාධූන්ගේ උභයාර්ථ වෘද්ධිය පිණිස පවතීවා!යි ද, පී. එච්. අන්දිරිස් මහාත්මා ප්‍රධාන කොට ඇති අපගේ ඥාතීන් පිණිස වේවා! යි ද සමාශංසනය කරම් හ.
“ විමුක්තිමාර්ගය උදා වේවා. ! ”
මෙයට, දික්වැල්ලේ සීලරතන උන්නාන්සේය.
2474 — 1930 අගෝස්තු මසැ 20 බුද දිනැ ගොඩඋඩ සිරි සුමනාරාමයේ දී ය.
දික්වැල්ලේ සීලරතන උන්නාන්සේය. 2474 — 1930 අගෝස්තු මසැ 20 බුද දිනැ ගොඩඋඩ සිරි සුමනාරාමයේ දී ය.