බෞද්ධ භාවනා - යාගොඩ ධර්මප්‍රභ හිමි.pdf

කතෘ :
යාගොඩ ධර්මප්‍රභ හිමි
පිටු ගණන :
318
බාගත කිරීම් ගණන :
3,583
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-02-08
ගොනුවේ ප්‍රමාණය :
54 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 160

බෞද්ධ භාවනා යනු වනවාසී යාගොඩ ධර්‍මප්‍රභ ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත බෞද්ධ භාවනා මාර්ගෝපදේශ ග්‍රන්ථයකි. විශුද්ධිමාර්ගය සහ විමුක්තිමාර්ගය වැනි ඓතිහාසික භාවනා ග්‍රන්ථයන්හි දැක්වෙන සමථ සහ විදර්ශනා ක්‍රමවේද විමර්ශනය කරමින්, නූතන බෞද්ධයාට ප්‍රායෝගිකව පිළිපැදිය හැකි අයුරින් මෙය සම්පාදනය කර ඇත.

ග්‍රන්ථ ආරම්භයේදී වතුරුවිල ශ්‍රී ඥානානන්ද මහානායක හිමි සහ වෙරකේ ශ්‍රී සුමංගල අනුනායක හිමි ඇතුළු වනවාසී මහා සංඝරත්නය වෙත පූජෝපහාර දක්වා ඇති අතර, දීර්ඝ ප්‍රස්තාවනාව මගින් විමුක්තිමාර්ගය හා විශුද්ධිමාර්ගය අතර පවතින ධර්ම ශාස්ත්‍රීය සංසන්දනයක් ද ඉදිරිපත් කරයි. එසේම භාවනාව යනු හුදෙක් වාක්‍ය හෝ ගාථා කටපාඩමින් මිමිණීම නොව සිත දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් බව මෙහි අවධාරණය කෙරේ.

පොතේ ඇතුළත් ප්‍රධාන ඉරියව් සහ භාවනා ක්‍රම නිරූපණය සඳහා උක්කුටික ආසනය, අර්ධ බද්ධපර්යංක ආසනය සහ බද්ධපර්යංක ආසනය දැක්වෙන රේඛා චිත්‍ර ද ඇතුළත් කර ඇත. මෙම කෘතිය රත්න පොත් ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කර, කැලණියේ ශිලා ප්‍රින්ටින් වර්ක්ස් මගින් මුද්‍රණය කරවා ඇත.

පූජනීයානං!

එහි ප්‍රථම අතිගරු මහානායක (මාහිමි) පදවි පත් අර්ධශතසමාසන්න අරන් සෙනසුන් පිහිටුවා ද්විශතාධික වනවාසී භික්ෂූන් ඇති කොට, වදාළ වතුරුවිල නිබ්බොබුද්ධාවේ අරණ්‍ය මධ්‍යස්ථානානුශාසක පූජ්‍යතම වතුරුවිල ශ්‍රී ඤානානන්දාභිධාන වනවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේට හා -

වෙසෙසින් එහි ම ප්‍රථම අතිගරු අනුනායක පදවිපත් - අරන් සෙනසුන් රැසක් පිහිටුවා පිළිවෙත් සරු මහත් සිසු කැලක් ඇතිකොට සිරිලක උතුරු දිග වනවාසී සහපති වූ අනුරාධපුර මිහිඳු අරණ්‍ය සේනාසනානුශාසක වූ පූජ්‍යතම වෙරකේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ උපනින් හැටපස් විය සපුරණ ජන්ම ජයන්ති මහ පින්කම් ද නිමිත්තෙන් එම සුවියත්, සුපිළිපන්, සුමුදු, සුපුණ, කඳට-

මෙම භාවනා දහම් ගත ධර්මාවාප්ති භක්ත්‍යාදර පූජෝපහාරයක් වේවා!

-ධර්‍මප්‍රභ

පූජා ව......

අනුරපුර - පොළොන්නරු - මහනුවර සමයයන්හි ලක් සම්බුදු සසුන බැබල වූ මහා විහාරවංශික වනවාසී (ආරඤ්ඤක) සඟ පරපුර අභාවයට - අඳුරට යමින් පැවැති සමයක සසුන් දූතැදින උතුම් ගුරු ඇසුර ලබා නො හිමි සැදැහැ බැතියෙන් අරන් පිවිස අපිස් දුගහ ගුණයෙන් හා නො සිස් බඳුන් වැඩීමෙන් පිළිවෙත් සරු ව සසුන් සුරක්නා සුපිළිපන් මහ සඟ පරපුරක් වඩනු සඳහා,

මහාවිහාරවංශික ශ්‍යාමොපාලි වනවාසී මහා සංඝ සභාව (රජය පිළිගත් වනවාසී නිකාය) පිහිටුවා එහි - අතිගරු අනුශාසක පදවි හොබවන අලවල මහ කන්දේ අරණ්‍ය සේනාසනානුශාසක පූජ්‍යතම දඹගමුවේ ඤාණාරතන නා හිමි, මාලිගාතැන්නේ විවේක සේනාසනානුශාසක පූජ්‍යතම මැණික්දිවෙල දේවානන්ද නා හිමි, පොල්ගස්ඕවිට භාවනා මධ්‍යස්ථානානුශාසක පූජ්‍යතම තුම්බෝවිල මේධානන්ද නාහිමි; සල්ගල අරණ්‍ය සේනාසනානුශාසක පූජ්‍යතම බෝවත්තේ හේමාලෝක නාහිමියන් වහන්සේලාට ද,

කතෲ කෘතවේදී

මෙම භාවනා දහම් පොත රැසැයුමෙහි සහ මාගේ සියලු සසුන් කිසෙහි මූලික වූ පිළිකුත්තු රජමහා විහාරය, කොස්කඳවල සිරි සුනන්දාරාමය, පහළ යාගොඩ සුගතනන්දාරාමය, පල්ලේතුත්තිරිපිටියේ හැවනිල විවේකාරාමය යන චතුර්විහාරාධිපති වූ මදීය ප්‍රාචාර්‍ය්‍ය යාගොඩ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වර්තමාන එම චතුර්විහාරාධිපත්‍යය උසුලන මදීය ප්‍රව්‍රජ්ජාචාර්‍ය්‍ය ගරුතර යාගොඩ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ධර්මාචාර්ය විද්‍යොදය පරිවෙණාධිපති අතිගරු කලුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වාරණ මංගලගිරි පරිවේණාධිපති රජමහා විහාරාධිපති ගරුතර ඇස්වත්තේ ධම්මතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ත්, දෙමටගොඩ මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයාධිපති ගරුතර දෙවිනුවර ඤාණාවාස, ගරුතර බෝවල සිරිපවර යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත්, කම්මට්ඨානාචාර්ය බුරුමරට ශාසන යෙයිතා භාවනා මධ්‍යස්ථානාධිපති අජිත ශෝභන මහාසීහ ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, නමස්කාර පූර්වක ව සිහි කරමින්, මෙය ලිවීමෙහි උපකාරී වූ මාගේ ප්‍රිය ශිෂ්‍ය බැලුම්මහර රතන පොඩිනම ත්, පෲප් බැලීමෙහි සහාය වූ ත්‍රිපිටකාචාර්ය කලුගල රතනජෝති ස්ථවිරයන් වහන්සේත්, කලට වේලාවට හා ශෝභනව මුද්‍රණය කරදුන් කැළණියේ ශිලා ප්‍රින්ටින් වර්ක්ස්හි අධිපතිතුමා ඇතුළු සේවක පිරිසටත් පුණ්‍යස්තුති පෙරදැරිව ම සමරමි. මෙහි සම්පූර්ණ අයිතිය රත්න පොත් ප්‍රකාශකයන් සතුය. මෙහි ලා මට ආධාර උපකාර කළ සැමට හා මා දයාබර මාපිය ඥාතීන්ටද නිවන් සුව අත්වේවා!

ධර්මප්‍රභ.

සඳහණ

විශුද්ධිය ශාන්තිය සැනසීම නිවීම මෙම දහම් අවබෝධ කිරීමෙන් ලැබිය යුතු ය. නො සිස් උසස් අත්දැකීම් මෙහි ඇවිත් බැලිය යුතු ය. මෙහි පැමිණ හිස් අතින් යෑමක් නො වේ. හුදෙකලා ව තමන් විසින් ම මෙම උතුම් දහම් වෙන වෙන ම දැක්ක යුතු ය. මෙම ධර්ම මාර්ගය සම්පූර්ණ ය. මෙසේ බුදු දහම නුවණැති සියලු දෙවි මිනිසුන් වෙත සිත දියුණු කිරීමේ මාර්ගය හෙවත් භාවනා ඉදිරිපත් කරයි.

බුදු දම් සහ තෙ රුවන සරණ යෑමෙන් බෞද්ධයෙක් වෙයි. බුද්ධ යනු සියල්ල භාවනාවෙන් අවබෝධ කළ හෙයිනි. ඒ අවබෝධ කළ සියල්ල ධර්මය යි. එම ධර්මය අවබෝධ කළ, කරන සමූහය සංඝ නම් ය. සරණ යෑමෙන් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ ද එම උතුම් අවබෝධ මාර්ගයේ ගමන් කිරීමට ය, භාවනා කිරීමට ය. මක්නිසාද යත් භාවනා නො කර නිවන් නො ලැබෙන හෙයිනි.

අපේ බෞද්ධ පිරිස වැඩිදෙනා පාරම්පරික බෞද්ධයෝ ය. බෞද්ධයෙක් වීමේ මූලික පරමාර්ථය කලකට පසු දැනගනිති. ඒත් ටික දෙනෙකි. බෞද්ධයෙක් වීමේ පරමාර්ථය නිවන් දැකීම ය. නිවන් දැකීම දහම් දැකීම ය. දහම් දැකීම බුදුන් දැකීම ය.

බණ ඇසීමෙන් දහම් පොත් ඉගෙනීමෙන් බැලීමෙන්, සාකච්ඡාවෙන් නිවන් ඇති බව තමන් වටහා ගත් නුවණින් පිරිසිදු ශ්‍රද්ධා වීර්ය ඇති අනිත් සියලු දෙය ලැබීමට වඩා නිවන් උතුම් කොට සලකා නිරන්තර සිහියෙන් හා මනා නුවණින් යුතුව භාවනා කළ යුතු ය.

එසේ භාවනා කිරීමෙන් බෞද්ධයෙක් වීමේ මූලික පරමාර්ථය තරමක් හෝ සාර්ථක කොටගෙන නිසැක බෞද්ධයෙක් විය හැක. බණ දහම් කොතෙක් දුරට හදපත ගෑතැයි ප්‍රඥාව සම්පූර්ණ සැකය දුරු කිරීමට පොහොසත් නො වේ. ලෞකික වශයෙන් හෝ සැකය ශක්තිමත් ලෙස දුරු කිරීමට භාවනා කළ යුතු ය.

සංකීර්ණ සමාජයක වෙසෙන බෞද්ධයාට මුල සිට ක්‍රමයෙන් පුහුණු කළ යුතු බෞද්ධ ජීවිතයට අදාළ වූ භාවනා පොතක් නැතිවීම බලවත් පාඩුවක් ලෙස හැඟී ගියේ ය. අපේ භාවනා පොත් අතර අවුරුදු එකදහස් පන්සියයක සිට බෞද්ධ ලෝකයා ගේ භාවනා ධර්ම ග්‍රන්ථය පමණක් නොව ත්‍රිපිටක ධර්ම කෝෂය විශුද්ධිමාර්ගය යි. එහි සමථ - විදර්ශනා භාවනා පිළිබඳ ත්‍රිපිටකයත් මහා විහාරීය ඇදුරු උපදෙසත් අනුගමනයෙන් ශාස්ත්‍රීය නිගමනයන් දක්වා ඇත.

විශුද්ධි මාර්ගයට පැරණි වූ විමුක්තිමාර්ගය නම් භාවනා ධර්ම ග්‍රන්ථයක් ලක්දිව තිබී එය චීනයට ගෙණගොස් චීන බසින් ලියන ලදුව මෑතදී සෝම ථෙරයින්ද්‍රයන් වහන්සේලා විසින් චීන මහතෙර නමක ගේ ද ආධාරයෙන් ඉංග්‍රීසියට පෙරළා ප්‍රසිද්ධ කරවන ලදී. ඒ සමග ම එම ඉපැරණි විමුක්තිමාර්ගය ම ලක්දිව අස්ගිරි මහා විහාරයේ තිබී එහි සිංහල භාවයකුත් සමග සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරවන ලදී. එහි මූලික විමුක්තිමාර්ගය ලෙස සැලකිය හැකි පාලි ගද්‍යපොත මුද්‍රිත පිටු (41) සතළිස් එකක් පමණ ය. ප්‍රකීර්ණකාදීය දක්වන උද්දානගාථා කොටස විශාල ය. ගාථා එක් දහස් එක්සිය තිස්පහකින් යුතු ය.

මේ විමුක්තිමාර්ගය ගුරු තන්හි තබා විශුද්ධිමාර්ගය ලියන ලදැ’යි ඇතැම් උගතුන් අතර ඇති මතිභ්‍රමය දැන් දුරු ව ඇත. මක්නිසාද යත් එය විශුද්ධිමාර්ගයට ළං කළ නොහැකි තරමේ කුඩා වූ එකකි. එසේම විශුද්ධිමාර්ගය ථෙරවාද බුදුදහම අනුව ලියා ඇති අතර විමුක්තිමාර්ගය මහායානයට බර ව ගිය භාවනා ග්‍රන්ථයක් වූ හෙයිනි.

විශුද්ධි මාර්ගය ඇතුළු ථෙරවාද අභිධර්මයේ දැක් වෙන්නේ අටවිසි රූපයෙකි. එහෙත් විමුක්තිමාර්ගයේ ජාතිරූපය’ මිද්ධරූපයැයි දෙකක් ද ගෙණ තිස්වැදෑරුම් රූපයක් (Path of freedom 238. p. සහ විමුත්තිමග්ග 30. පිට) දක් වේ. එහෙත් විශුද්ධිමාර්ගයේ, “එකච්චානං මතෙන මිද්ධ රූපන්ති”

ඇතැමුන් ගේ මතයෙන් “මිද්ධ රූපයක් ඇතැයි සඳහන් කොට- “අද්ධා මුනීසි සම්බුද්ධො - නත්ථි නීවරණා තව.” මුනිරද ඒකාන්තයෙන් සම්යක්සම්බුද්ධ ය. ඔබට නීවරණ නැතැයි මිද්ධරූපය ප්‍රතික්ෂේපකර ඇත. නීවරණාදි ක්ලේශයන් නිරවශේෂ ප්‍රහාණය බුද්ධත්වයයි. රූපයන් ප්‍රහාණය නො කළ හැකි ය. ක්ලෙස නාම ධර්මයක් හෙයින් මිද්ධය ද බුදුරද ප්‍රහීණ කළ සේක. එහෙයින් මිද්ධය රූපයක් නො වේ. යනු නිගමනය යි.

“එකච්චානන්ති අභයගිරිවාසීනං” යනුවෙන් මෙම මිද්ධ - රූප මතය විශුද්ධිමාර්ග ටීකාවෙහි සඳහන් ය. අභයගිරි ආචාර්‍ය්‍ය පරපුර මහා විහාරයෙන් බිඳී මහායාන මත පිළිගත් බව ඉතිහාසය කියයි. අභයගිරි ආචාර්ය පරපුර ආරම්භයේ දී රචිත භාවනා ග්‍රන්ථයක් ලෙස විමුක්ති මාර්ගය ගැනෙන්නේ අනිත් බොහෝ කරුණු ථෙරවාද අටුවා ඇසුරු ලැබීම හා භාෂා ශෛලිය සංස්කෘත ආභාෂය නො ලැබීමත් නිසා ය.

තව ද, සීලං සමාධි පඤ්ඤා ච, යනාදී ගාථාව මුල්කොට විමුක්තිමාර්ගය ලිවීමත්- “සීලෙ පතිට්ඨාය” යන ගාථාව විශුද්ධිමාර්ගයට මුල්වීමත් මේ පොත් දෙක මහායාන හා ථෙරවාද සම්ප්‍රදායන්ට අනුකූල බව සිතා ගැනීමට සාධක ය. බුදුරද අවබෝධ කළ ශීල-සමාධි-ප්‍රඥාවන් විමුක්තිමාර්ගයට මුල් වූ ශයෙන් කියැවෙයි. විශුද්ධිමාර්ගයට මුල් වූ “සීලෙ පතිට්ඨාය” ගාථාව යෝගාවචරයා විසින් සීලයෙහි පිහිටා සමාධි-ප්‍රඥාවන් වැඩීමෙන් නිවන් ලැබීම කියැවේ.

තව ද, විමුක්ති මාර්ගයේ අග උද්දාන කොටස ශාන්ති-කර්මයන් මෙන් භාවනා ප්‍රකීර්ණකාදිය දැක්වීම කෙසේවෙත් බුදුදහමට එකඟ යැයි පිළිගත නො හැක. නියම විමුක්ති-මාර්ගය මුල්පිටු 41. පමණ බවද යාග - හෝමාදියෙහි මෙන් පිළිපැදීමක් දක්වන උද්දාන කොටස පසු ව එක් කෙරුණක් බව ද පිළිගත හොත් එම කුඩා විමුක්ති මාර්ගයේ වටිනාකම බෙහෙවින් වැඩි දියුණු වේ. සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මුද්‍රිත විමුත්තිමග්ගයේ අගට බඹරගල පරම්පරාවේ භාවනා පොත ද එක් කිරීමෙන් මේ සේ පසු ව එකතු කරණ ලද සසුන පසු බැස ගිය නූගත් යෝගාවචරයන් ගේ උපචාරවිධි ද ඇතුලත් පොතකි, විමුක්ති මාර්ගය. එය, ප්‍රකීර්ණකාදි උපචාරවිධි දැක්වෙන ගාථා එක්දහස්ගණන විමසීමෙනුත්, ඒවායේ ව්‍යාකරණ දෝෂ බහුල භාවයෙනුත්, සිතාගත හැකි ය. විමුක්ති මග්ගයේ පරිච්ඡේද වෙන්කර තිබෙන්නේ ද “කවඡා” නාමයෙනි. ධම්මසංගණී ‘පෙළට මුලින් එකතු කරණ ලද මාතිකා පාළියේ කොටස් වලට “ගොච්ඡා” යන නාමය යොදා ඇත. විශුද්ධිමාර්ගයේ පරිච්ඡේද නාමය ම යෙදීමෙන් හා භාෂාවෙහි ව්‍යාකරණ විශදත්වයෙන් සංස්කෘත ආභාෂය ලබා ඇත.

විමුක්තිමාර්ගය හා විශුද්ධිමාර්ගයේ කරුණු බෙදා දැක්වීමේ දී එක්තරා සාම්‍යයක් දක්නා නමුත් විශුද්ධිමාර්ගයේ ගුරු පොත ලෙස විමුක්තිමාර්ගය පිළිගැනීමට කිසි දු ඉඩක් නොමැතිවාක් මෙන් ම විමුක්තිමාර්ගයේ ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කිරීමෙන් හා සවිස්තර සාධිභෞම ධර්මවිවරණයන් බහා ලීමෙන් හා උදාහරණ කථාවස්තූන් යෙදීමෙන් සම්පූර්ණ භාවනා ග්‍රන්ථයක් විශුද්ධිමග්ග නාමයෙන් හැමදාට ම ගැල-පෙන සේ බුදුඝෝස මා හිමියන් සැකසූ බව පිළිගත යුතු ය.

“විසුද්ධිමග්ග හා සසඳා බැලීමේ දී කිසිසේත් විමුක්ති මග්ගය ගුරුපොතකොට ගෙණ විසුද්ධිමග්ගය රැසැයුණැ’යි කිව නො හැක්ක” යනුවෙන් අග්ගමහා පණ්ඩිත අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ විමුත්තිමග්ගයට ලියන ලද පෙරවදනෙහි ද සඳහන් වේ.

විමුත්තිමග්ගයේ තෙළෙස් (13) වන කවඡායෙහි “ද්වෙ විපස්සනා ඣාන විපස්සනා, සුක්ඛවිපස්සනාති” (39 - පිට අස්ගිරි) යනුවෙන් ථෙරවාද බුදුදහමට අනුව සමථයානික විදර්ශනාව හා ශුද්ධ විදර්ශනාව දක්වා ඇත. ථෙරවාද ග්‍රන්ථයන්හි නොදැක්වෙන ඣාන විපස්සනා නාමයෙන් ප්‍රකට කරන්නේ රූප අරූපධ්‍යාන නැති ව කරණ විදර්ශනාව සුක්ඛ විපස්සනා බව ය. එහෙත් රූප ධ්‍යාන නැති නමුත් විදර්ශනා සිත්හි ම යෙදෙන ඒකාග්‍රතා චෛතසිකයා ගේ දියුණු වීමෙන් සමාධිය සහ විතර්කාදී අනිත් ධ්‍යානාංගයන් ද සම්පූර්ණ වී චිත්තවිශුද්ධිය සැලසේ. මෙසේ ප්‍රථමාදී ධ්‍යාන නො උපදවා චිත්තවිශුද්ධිය නො ලැබේ යැයි ඇතැමුන්ගේ පිළිගැනීම සියලු ම ධර්මග්‍රන්ථයන්ට පටහැනි අධර්ම ලබ්ධියකි.

“විදර්ශනා පොත” හෙවත් “යෝගාවචර සංග්‍රහය නමින් රීස් ඩේවිඩ්ස් පඬිතුමන් විසින් 1896 දී ලංකාවෙන් ගෙණ ගිය භාවනා පොතක් ගැන විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති දර්ශන විශාරද පරවාහැර වජිරඤාණ නායක ස්වාමීන්ද්‍රයන් විසින් ලියන ලද “බෞද්ධ භාවනා” (Buddhist meditation) ග්‍රන්ථයෙහි සහ හිටපු උපකුලපති වල්පොල රාහුල ස්වාමීන්ද්‍රයන් විසින් ලියන ලද “බුදුන් වදාළ ධර්මය” (What the Buddha Taught) යන ග්‍රන්ථයේ ද සඳහන් වෙයි. එ ද මෙම විමුක්ති මාර්ගය ගැන හෝ එහි උද්දාන කොටස ගැන විය යුතු යැයි සිතේ.

වර්තමාන යුගයේ ද භාවනා ග්‍රන්ථ රාශියක් ලියැවී ඇත. එහෙත් බෞද්ධ ජීවිතයට අවශ්‍යයෙන් ළං කර ගත යුතු භාවනා පිළිබඳ ක්‍රමානුකූල ව සකස් වූ භාවනා පොතක් නොමැති වීම පාඩුවක් ලෙස අපට හැඟී ගියේ ය.

තෙරුවන් සරණ ගිය බෞද්ධයා සිල්වත් ව පළමුව බුදුගුණ භාවනාව ඔහුගේ ජීවිතයට එක්කර ගත යුතු ය. මක්නිසාදයත් බුදුගුණ දැනගත් තරමින්-සිතට කාවැදුණු තරමින් බුදුදහම වැටහී පිරිසුදු ශ්‍රද්ධාභක්ති ඔප්නැගුණු-වැරැද්දක්-පාපයක් කිරීම බුදුරදුනට කරණ වරදක් ලෙස සලකන උසස් බෞද්ධයෙක් වේ. නිසැක බෞද්ධයෙක් බවට පත්වීමට අධිතාලම වැටෙන්නේ බුදුගුණ සිත්හි බැසගත් තරමට ය.

අනිත් ගමන් - බිමන් වැඩකටයුතු අතර බුදුගුණ භාවනාව ද වැඩිය හැකි ය. වැඩිය යුතු ය. සෑමතන්හි ම වැඩිය යුතු හෙයින් සබ්බත්ථක කර්මස්ථානයකි. එසේම සිත කෙලෙසුන්ගෙන් රක්නා හෙයින් ද ජීවිතය බාහිර උපද්‍රවවලින් රක්නා හෙයින් ද ආරක්ෂක භාවනාවකි.

නව අරහාදී සම්බුද්ධගුණයන් ශාස්ත්‍රීය ලෙස විවරණය කරමින් එක එක බුදුගුණය වෙන් වෙන්ව භාවනා කරණ අයුරු විශුද්ධිමාර්ගයේ දක්වා ඇත. එහෙත් ඒ ගැඹුරු ධර්ම විස්තරය නැවත නැවත සිතට නගමින් සිත එක් තැන් කර ගැනීමේ ක්‍රමය වූ භාවනාව සඵල වීමට අවශ්‍ය ධර්ම ඥානය බොහෝ දෙනාට ලබාගැනීම අපහසු මෙන් ම මුල සිට සිත සැකසිය යුතු උපදෙස් ද නැත.

විමුත්තිමග්ගයේ “ඉතිපිසො” ආදි ගය පමණක් නොව තවත් බාහිර වශයෙන් බුදුගුණ පාඨ ද දක්වා ඇත. එහෙත් භාවනා ක්‍රමය හෝ උපදෙස් දක්වා නැත. එසේ දක්වා නැත්තේ භාවනා උගත් කළ පුරුදු අත් දැකීම් ඇති කල්‍යාණ මිත්‍රයකු ඇසුරුකොට භාවනා උපදෙස් ලබාගෙන භාවනා වැඩිය යුතු හෙයිනි. භාවනා දෙන කල්‍යාණමිත් ගුරුවරයකු සොයා ගැනීම හැම විට ම දුෂ්කර කාරණයෙකි.

ඇදුරු පරපුරෙන් පරපුරට භාවනා පිළිබඳ ගුරු උපදෙස් පැවති බවට අර්ථකථාවන්හි එන කරුණු වලින් ඔප්පු වේ. ලංකාවේ ශාසන ඉතිහාසයේ වර්තමාන නැගීම නුවරයුගයේ සිට බව පිළිගත යුතු ය. මෙකල ධර්ම ශාස්ත්‍රීය බුද්ධිය පරිණත අවස්ථාවකට පත් ව ඇති නමුත් බුදුදහම අනුව උසස් මානසික දියුණුවක් ඇති කර ගැනීමට සිත හසුරුවන ක්‍රමය වූ භාවනා ප්‍රතිපත්ති පිළිබඳ දැනීම ළදරු අවස්ථාවේ යැයි කිවයුතු ය.

භාවනා වාක්‍යයන් හෝ ගාථාවන් පාළියෙන් හෝ සිංහලෙන් කටපාඩම් කරගෙන කිය-කියා හෝ සිත-සිතා සිටීම භාවනා කිරීම යැයි තවමත් අපේ උගත්-නුගත් අය සියයට අනූවක් පමණ සිතන-කියන බව පෙනේ.

මා එක්තරා සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයක සිටිය දී දිනක් සවස හොඳට හැඳ පැළඳගත් තලතුනා පෙනීමක් ඇති උපාසක මහතෙක් පැමිණ, “මෙහෙ උගන්වන්නේ සතිපට්ඨාන භාවනාව ද”යි ඇසීය. වැදගත් පෙනීමක් ඇති මෙම උපාසක තැන සමග කථාවෙන් වැඩක් වේ යැයි සිතා “එසේයැ” යි පිළිතුරු දුනිමි.