කර්මස්ථාන විභාවිනි - මඩවල ධම්මතිලක හිමි.pdf
- කතෘ :
- මඩවල ධම්මතිලක හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2011
- මුද්රිත වර්ෂය :
- 2011
- පිටු ගණන :
- 180
- බාගත කිරීම් ගණන :
- 1,872
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්රමාණය :
- 43 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කර්මස්ථාන විභාවිනි (මිනිස් දේහය භාවනා අරමුණ) යනු ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ආරම්භක ආචාර්යවරයෙකු වූ විදර්ශනාචාර්ය අතිගරු මඩවල ධම්මතිලක මාහිමියන් විසින් සම්පාදිත ප්රකට භාවනා උපදෙස් ග්රන්ථයකි. මෙහි මුල් භාගය හා පූජ්ය වැලිමඩ දම්මදස්සි හිමියන් විසින් සංස්කරණය කරන ලද දෙවන භාගය එක් කොට සම්පූර්ණ කෘතියක් වශයෙන් මෙම මුද්රණය එළිදක්වා ඇත.
සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වන උතුමන්ට මූලිකව කියාදෙන කායගතාසති භාවනාව ආශ්රයෙන් සමථ හා විදර්ශනා වඩා මාර්ග ඵල අවබෝධ කරගැනීමට අවශ්ය පූර්ණ මාර්ගෝපදේශය මෙහි විස්තර කෙරේ. පුරාණ ආරණ්යවාසී භික්ෂු පරම්පරාවෙන් පැවත ආ කමටහන් ක්රමවේදයන්ට අනුව මිනිස් ශරීරයේ කුණුප කොටස්, ධාතු මනසිකාරය, රූප කලාප සම්මර්ශනය හා අනුපස්සනා වඩන පිළිවෙළ අතිශය විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ.
මෙහි අඩංගු ප්රධාන කරුණු අතර:
- යුගනොවාදය ආරම්භය සහ කර්මස්ථාන ඉල්ලීමේ වාක්ය
- පටික්කූල කොට්ඨාශ හා කාය විනිර්භෝග සමථ භාවනාව
- හෙට්ඨිම, මජ්ඣිම සහ උපරිම කාය සමුට්ඨාන භාවනා
- කොට්ඨාශ විනිර්භෝග හා කාය විනිර්භෝග විදර්ශනා
- ධාතු මනසිකාරය සහ රූප කලාප සම්මර්ශනය
- දසාකාර අනිච්චානුපස්සනා, පස්විසි ආකාර දුක්ඛානුපස්සනා හා පස් ආකාර අනත්තානුපස්සනා
- මෛත්රී භාවනාව සහ පාරගූ ධර්ම
මෙම සංස්කරණය බුද්ධ වර්ෂ 2555 (ක්රි.ව. 2011) දී රුවන් රාජපක්ෂ මහතාගේ ධර්ම දානමය දායකත්වයෙන් මුද්රණය කරවා ඇත. අතිපූජ්ය නාඋයනේ අරියධම්ම ස්ථවිරයන් වහන්සේගේ පෙරවදනකින් සහ කහගොල්ලේ සෝමවංස හිමියන්ගේ පුණ්යානුමෝදනාවකින් ද යුක්ත වේ.
පැතුම
සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් බැබලීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා!
ධර්මධර, විනයධර සබ්රහ්මචාරීන් වහන්සේලාට උතුම් මාර්ග ඵල ඥාන අවබෝධවීමට මෙම ධර්මදානමය කුසලය හේතු වේවා!.
රුවන් රාජපක්ෂ
15/5 ඩී,
සමුපකාර මාවත,
තලපත්පිටිය, නුගේගොඩ.
දුර : 071-4881192
හැඳින්වීම
බෞද්ධ නාමයෙන් හැඳින්වෙන ගිහි, පැවිදි දෙපක්ෂයටම තම තමන්ගේ ශක්තියේ හැටියට භාවනාවකින් සිත් සතන් සකස් කර ගැනුම නියතයෙන් අයිති කරුණෙකි. මෙයින් පැවිදි පසට ග්රන්ථධූර විදර්ශනා ධුරයයි. නුවණ යොදා කරන වැඩ දෙකක් ඇති බව ප්රසිද්ධය. මේ බෙදීම කෙසේ වෙතත් භාවනා ක්රමයකින් නියතයෙන් වූ වැඩ පිළිවෙළක් භික්ෂුවකට උරුම නොවන බව සැලකිය යුතුයි. මේ භාවනා ක්රමය බුද්ධ කාලයේ පටන් මුඛ පාඨ වශයෙන් රැගෙන ආ බව නොයෙක් කරුණු අනුව සලකන කල්හි වැටහෙයි. සර්වඥයන් වහන්සේගෙන් යම්කිසි කර්මස්ථානයක් ඉල්ලූ තැනැත්තා හට බුද්ධ ඥානය යොමු කොට මහ කරුණාවෙන් එය දී වදාරන බව ප්රසිද්ධයි. ශ්රාවකයන් වහන්සේලා ද උන්වහන්සේලාගේ ශක්තියේ හැටියට ඒ ඒ අයට කර්මස්ථානයන් දී ඔවුන්ගේ උත්තමාර්ථයන් මුදුන්පත් කරවා දුන් බව ද ප්රසිද්ධය. පරම්පරාවට ආවේ මේ මහ රහතන් වහන්සේලා සර්වඥයන් වහන්සේගේ උපදෙස් අනුව ලොවට බිහි කළ දේ විය යුතුය.
දඹදිව විදර්ශනෝපදේශ පරම්පරාව තුන්වන ධර්ම සංගායනාවේ දී බාහිර දේශනයට වැඩිය මහ රහතන් වහන්සේලා සමඟ බෙදී ගිය බව සැලකිය හැකිය. මේ අනුව මෙම ලක් සසුන් පිහිටුවා වදාළ මිහිඳු මාහිමියන් විසින් වෙසෙසින් සැලකිය යුතු විදර්ශනෝපදේශ පන්තියක් මෙම දීපවාසීන් සඳහා පරිශීලනය කරන ලදැයි කීම ඉතාමත් සුදුසුය. එහෙත් එබඳු උපදේශ පන්තියක් ග්රන්ථාරූඪ නූයෙන් පසු කාලයෙහි වූවනට මහත් පරිහානියෙක් ම වූයේ ය. මහා විහාරීය භික්ෂු පරම්පරාවේ අදහස් සංසන්දනය කරමින් බුද්ධඝෝෂාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් සකස් කළ “විසුද්ධි මාර්ගය” අද දක්වා ලොකු අඩුපාඩුවක් පුරවමින් පැවතෙන්නේ ය. එහෙත් සුළු නුවණක් ඇති ඉක්මනින් සිය වැඩ ටික මුදුන් පමුණුවා ගන්නට බලාපොරොත්තු වන්නවුන් හට හෙයින් ප්රයෝජනය ගැනීම අමාරුය. තේරුම් ගැනීම ද අපහසුය. එබැවින් නිවන් පසක් කරගන්නට කැමති ගිහි, පැවිදි බොහෝ දෙනා මේ අඩු පාඩුකම් නිසා උතුම් ශාසනාර්ථයෙන් පිරිහී ගිය හ. ඇතැම්හු උමතු වූහ. ඇතැම් හූ අදහස් බැහැරලා නිශ්ශබ්ද වූහ. ඇතැම්හු ශාසනයේ ප්රතිවේධය ලබා ගන්නට පුළුවන් කාලය දැන් ගෙවී ගොස් යයි කීහ.
මෙබඳු ප්රතිවේධ ශාසනය සම්බන්ධ කොටගත් මහත් අර්බුදයක් පවතින සමයක ගරු පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංස මහ ස්ථවිරයන් වහන්සේ ශාසනයට පැටහැණි යථෝක්ත දුර්මතයන් කඩා බිඳ දමමින් උත්සාහ ගන්නවුන් ඇතොත් අදත් ආර්ය මාර්ගයන් ලබාගැනුම දුෂ්කර නැත. වරද නම් පිළිවෙත් පිරීමක් නැතිකම යයි මහ වාක් සංග්රාමයක් ඇරඹූහ. එය ප්රතිඵල සහිතම විය. ඇතැමු හු අතිශය නිර්දය පරිදි උන්වහන්සේට අවමන් කළාහු ය. තවත් හොඳ පිරිසක් උන්වහන්සේගේ කථාව මුදුනෙන් පිළිගෙන යම්කිසි වැඩපිළිවෙළක් අරඹතොත් අපිදු ආධාර උපකාර දෙන්නෙමුය යි ගිවිස ගෙන සිටියහ. සය වර්ෂයක් පිරී ඇති ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාව යනු යථෝක්ත ශාසන මාමකයන්ගේ ආධාරයෙන් නගන ලද භාවනා ක්රම පුහුණු කරන වැඩපිළිවෙළය. යථෝක්ත පණ්ඩිත ජිනවංස මහ ස්ථවිරයන් වහන්සේ විසින් මාතර පණ්ඩිත ශ්රී ඥානාරාම මහ ස්ථවිරයන් වහන්සේ මුඛ්යස්ථානයෙහි තබාගෙන 1951 පටන් යෝගාවචරයන් බොහෝ ගණනක් ඇති කොට පලාත් කීපයක ආරණ්ය ස්ථානයන් විවේක ස්ථානයන් සාදවා මහත් ශාසනාර්ථයක් සලසන අවස්ථාවෙහි ඒ මහා ස්ථවිරයන් වහන්සේලාගේ උතුම් අදහසට මාගේ ශක්ති පමණින් ආධාර දීමේ අධිෂ්ඨානය පිට මම ද ඊට සම්බන්ධ වී යෝගාවචරයන් කීප නමකට උපදෙස් දෙමින් වැඩ ගෙන යාම ආරම්භ කළෙමි. නියමිත අන්දමින් ශාසන රසය විඳ ගැනීමට නම් පිරිසිදු භාවනා පිළිවෙළක් තිබිය යුතුය. මෙකල උගත් ධර්මධර ගිහි, පැවිදි උතුමන් විසින් නොයෙක් ආකාරයෙන් සම්පාදනය කළ විදර්ශනා භාවනා පිළිබඳ පත පොත බලා සන්තුෂ්ටියට නොපැමිණි ගරු ජිනවංස මහා ස්ථවිර තුමා මේ පාඩුව කෙසේ සම්පූර්ණ කර දෙන්නෙම්දෝයි කරුණු සොයමින් සිටින අතර අප සමග ද නොයෙක් වර සාකච්ඡා කරමින් මෙසේ කීය.
අප ලංකාවේ කෝටි ගණන් රහතන් වහන්සේලා ඇති වූයේ ක්රමානුකූල ව්රත් භාවනා පිළිවෙළක් තිබුණ නිසාය. එය කොහේ නමුත් ඇත. ස්වාමීනි කරුණාකර එය සොයන්නට උත්සහ ගන්න හොඳයි. මෙම කාරුණික ආරාධනය පිළිගත් මා විසින් අප ආචාර්ය පරම්පරාවෙන් පැවතගෙන එන මේ විදර්ශනා භාවනා ක්රමය සකස් කිරීම ආරම්භ කරන ලද්දේ ය.
පරම්පරාවෙන් පැවත එන දිවයිනෙහි පමණක් නොව වෙනත් දේශවල ද මේ ක්රමයෙන් බොහෝ ප්රයෝජන සලසා ගන්නවා ඇත.
එහෙයින් මේ භාවනා ක්රමය ඇසුරු කොට ගෙන දහස් ගණන් බෞද්ධ සාධූන් සෝවාන් ආදී මාර්ග ඵල සම්පත් ලබා ගත් බව නම් නිසැකව කිය හැකිය. මෙය ඉතා පැරණි ය. වැඩි යමක් ආසන්න අතීත සමයේ දී පැරණි වූයේ නිකම්ම විය නොහැකිය. මෙසේ නිකම් පැරණි වූ දෙයක් අළුත් වැඩියා කිරීම ද ලෙහෙසි නැත. එහෙයින් මෙහි අඩුපාඩුකම් ද නැතිවිය නොහැකිය. එබඳු අඩු පාඩු නැති වෙතොත් භාවනා යෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් අප වෙත දන්වා එවුවොත් සතුටින් පිළිගන්නෙමු.
තවද මෙම පොතේ මුද්රණය නිමලව ආරණ්යපාලක සමිතිය විසින් දැරීමට කැමැත්ත ප්රකාශ කර සිටින්නන් අතර අප හිතවත් මහනුවර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු ශාසනමාමක කැප්පිටිපොළ මාර්ගහඇල්ලේ අහිංසාවාදී පී. රත්නායක මහතා විසින් 2501 ජයන්ති වෙසක් පුණු පොහෝදින ධර්මදාන වශයෙන් දීමට භාවනා පොතක් ලියා දෙන්නට යයි අපට ආරාධනයක් කරන ලද බැවින් එය ඉටු කිරීම් වස් යථෝක්ත සමිතියේ කැමැත්ත පරිදි මෙය මුද්රණය කරවා ධර්මදාන වශයෙන් දීමට ඒ මහතාණන්ට පැවරුවෙමු.
තවද අප ගරු හිතමිත්ර අතුරුගිරියේ ඤාණවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් මෙය මුද්රණයට සුදුසු පරිදි ලියා දීමෙන් හා සුද්දපත්රාව ලෝකනයෙන් ද අප වෙනුවෙන් ඉතා වටිනා සේවයක් සිදුකළ බැවි පිංදීමෙන් සිහිපත් කරමු.
සසර දුකින් තැවෙන සියල්ලන්ට මෙයින් සැනසිල්ල සැලසේවා
නිබ්බාණ පච්චයෝ හොතු
නිමලව ආරණ්යවාසී
කෑගල්ල - පුස්සැල්ලේ
ධම්මතිලක මහා ස්ථවිර
නිමලව ආරණ්ය,
යෝදකණ්ඩිය - තිස්සමහාරාමය
පෙරවදන
සම්මා සම්බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත්වෙන බුද්ධ පුත්රයන් වහන්සේලාට උපාධ්යායන් වහන්සේ විසින් කියා දෙන මූලික භාවනා කර්මස්ථානය වනුයේ කායගතාසති නම් වූ මූල කර්මස්ථානය ය. පැවිදි කරවීමට හිස කේ කැපීමේ දී කියවන මෙම කායගතා සතිය ජීවිතාන්ත තෙක් නොකඩවා භාවිතා කළයුතු වන භාවනාරාමතා ආර්යවංශ ප්රතිපදාවකි.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒක ධම්ම පාලියෙහි මෙම කායගතාසති භාවනාවෙහි අසහාය ආනිසංස වදාරණ ලද සූත්රාන්තරදේශනා 68 අට සැටක් දැක්වෙති. තවත් සිය ගණන් සූත්රාන්ත දේශනාවන් හි මෙම කායගතාසති කර්මස්ථානය දේශනා කොට ඇත.
සීවලී මහ රහතන් වහන්සේ අර්හත්වයට පත්වූයේත් පැවිදි වීමට හිසකේ රොද බෑමේ දී කායගතාසති භාවනාවෙනි. ශ්රී ලංකාවේ ප්රථමයෙන් පැවිදි වූ අරිට්ඨ මහා රහතන් වහන්සේ ප්රධාන 55 දෙනා වහන්සේ අර්හත්වයට පත් වූ සේක. පැවිදි වීමට හිසකේ බෑමේ දී කායගතාසතිය භාවනාවෙනි. අතීත පූර්ව ජාතිවල දී කායගතාසතිය භාවිතා කළ හේතුවෙන් එසේ සිදු වී ඇත.
විනය සූත්රාන්ත අභිධර්ම එසේ පිටකත්රයේ ම සවිස්තරව සූත්රාන්ත අභිධර්ම නම් වූ පිටකත්රයේ ම සවිස්තරව දැක්වෙන කායගතා සති භාවනාව පිළිකුල් වශයෙන් වැඩීමෙන් රූපාචචර ප්රථමධ්යානය ලැබේ. ධාතුමනසිකාර වශයෙන් වැඩීමේ දී උපචාරධ්යානය ද වර්ණ කසිණ වශයෙන් වැඩීමෙන් රූපාචචර අරූපාචචර අෂ්ඨ සමාපත්තිය ද පඤ්ච අභිඥාවන් ද ලැබෙති. ඒ එක එකකින් විදර්ශනාවට නංවා ලෝකෝත්තර සතර මග ඵල නිර්වාණ සාක්ෂාත් කළ හැකිවේ.
එහෙයින් පෞරාණික ආචාර්යයන් වහන්සේලා විසින් මෙම කායගතාසති භාවනාව මූලකර්මස්ථානය වශයෙන් ඉමහත් ගෞරවයෙන් භාවිතා කළ බවට බොහෝ සාධක දක්නට ලැබී ඇත..
එහෙයින් පෞරාණික ආචාර්යයන් වහන්සේලා විසින් මෙම කායගතාසති භාවනාව මූලකර්මස්ථානය වශයෙන් ඉමහත් ගෞරවයෙන් භාවිතා කළ බවට බොහෝ සාධක දක්නට ලැබී ඇත.
ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ මහා සංඝ පිතෲන් වහන්සේ නමක් වන නිමලව ආරණ්ය සේනාසනයෙහි වැඩ විසූ අතිපූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලකාභිධාන මාහිමියන් වහන්සේ විසින් ස්වකීය ආචාර්ය පරම්පරාවේ භාවිතා කරන ලද්දා වූ ද තමන් වහන්සේත් ඉතාමත් ගෞරවයෙන් වඩන ලද්දා වූ ද මේ කායගතාසති භාවනාව පිළිබඳ ප්රථම භාගය භාවනා ග්රන්ථයක් වශයෙන් මුද්රණය කරවන ලදි.
එහිම ද්විතීය භාගය වර්තමානයේ නිමලව ආරණ්යධිවාසී පූජ්ය වැලිමඩ දම්මදස්සි මහා ස්ථවිරයාණන් වහන්සේ විසින් සංස්කරණය කොට මුද්රණය කරවා ඇත. ඉතාමත් අගනා වූ එම දහම් පොත් දෙකම එකතු කොට ඇත. මෙම භාවනා ග්රන්ථයේ නිර්මාතෘන් වහන්සේ වන අතිපූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලකාභිධාන මහොපාධ්යාය මාහිමියන් වහන්සේටත්, ශ්රී කළ්යාණී යෝගාශ්රමාධිපති අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශාභිධාන මහොපාධ්යාය මාහිමියන් වහන්සේටත්, ප්රධානාචාර්ය අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහොපාධ්යාය මාහිමියන් වහන්සේ ප්රධාන සියලුම මහ සංඝපීතෲන් වහන්සේලාට මෙම ධර්මදානමය කුශලානුභාවයෙන් මතු උතුම් ලොවුතුරා බුදු බව අත්වේවා.
මුද්රණය පිණිස දායකත්වය දැරූ පරිත්යාගශීලි පින්වතුන්ට දෙලොව සුබ සෙතත් අමාමහා නිවන් සුවයත් අත්වේවා.
“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට, මෙත්ගති,
නාඋයනේ අරියධම්ම ස්ථවිර
පුණ්යානුමෝදනාව
කර්මස්ථාන විභාවිනි නම් වූ මාහැඟි ග්රන්ථය නැවත මුද්රණය කොට භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා අතට පත් කිරීමට ලැබීම සතුටට කරුණකි. මෙම ග්රන්ථය කීපවතාවක්ම කියවා කොටස් කොටස් වශයෙන් භාවනාවට ගත යුතුය. මෙම භාවනාවෙන් රහත් වූ සංඛ්යාව ගණනය කළ නොහැකිය. මෙම වටිනා ග්රන්ථය ගැන මා විසින් ප්රකාශ කළ කල්හි රුවන් රාජපක්ෂ මහත්මා මුද්රණය කිරීමට ඉදිරිපත් විය. එතුමා බොහෝ පිංකම් කරන වාසනාවන්ත තරුණ මහත්මයෙකි. සද්ධාදී ගුණයන්ගෙන් පිරිපුන් ජීවිතයකි. සසරත් පිංකම් කර ඇති බව වැටහේ.
මේ ධර්ම දානමය කුසලය සම්බුද්ධ සාසනය වසර පන්දහසක් කල් පැවැත්මට මහෝපකාරී වේවා. අපවත් වී වදාළ විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලක මාහිමිපාණන් වහන්සේටද, අතිගරු රාජකීය පණ්ඩිත මාතර ශ්රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේටද, අතිගරු රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්රී ජිනවංස මාහිමිපාණන් වහන්සේට ද මේ කුසල් අත් වී උතුම් බුදුබව අත්වේවා.
අතිගරු නාඋයනේ අරියධම්මමාභිධාන මාහිමිපාණන් වහන්සේ ප්රධාන මහා සංඝරත්නයට නිරෝගී සුව දිගාසිරි ලැබේවා. රුවන් රාජපක්ෂ මහත්මාගේ පරලොව සැපත් ඤාතීන්ට මේ පිං බලයෙන් නිවන් සුව අත්වේවා. සෝදුපත් බැලූ පූජ්ය ලග්ගල කල්යාණසිරි ස්වාමීන් වහන්සේට ද නිරෝගීසුව දිගාසිරි ලැබේවා.
ධර්ම දානමය පිංකමේ දායකත්වය දැරණ රුවන් රාජපක්ෂ මහත්මාටද පවුලේ සැමටද, මව්පිය ඤාතීන්ටද, උදව් කළ සියලු දෙනාටද මේ උතුම් පිං බලයෙන් මෙලොව යහපත පරලොව සුගතිය නිර්වාන සම්පත්තිය පිණිසද හේතුවේවායි ප්රාර්ථනා කරමි.
මෙයට,
කහගොල්ලේ සෝමවංස හිමි
ගල්දූව ආරණ්ය සේනාසනය
කහව - අම්බලන්ගොඩ.