කර්මස්ථාන ප්රදීපය - යෝගාශ්රම සංස්ථාව.pdf
scanned v2
- ප්රකාශිත වර්ෂය :
- 2005
- මුද්රිත වර්ෂය :
- 2005
- පිටු ගණන :
- 432
- බාගත කිරීම් ගණන :
- 2,953
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-09
- ගොනුවේ ප්රමාණය :
- 92 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කර්මස්ථාන ප්රදීපය යනු ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ සේනාසනයන්හි වැඩ සිටින යෝගාවචර භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය තකා මාසිකව නිකුත් කරන ලද භාවනා උපදේශ පත්රිකා මාලාව එක්තැන් කොට සම්පාදනය කරන ලද ප්රායෝගික භාවනා අත්පොතකි. ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාව ආරම්භ කොට සතළිස් වසරක් පිරීම නිමිත්තෙන් සම්පාදනය වූ මෙම ග්රන්ථය, කඩවැද්දුවේ ශ්රී ජිනවංශ මහානායක හිමිපාණන් හා මාතර ශ්රී ඤාණාරාම මහානායක හිමිපාණන් යන මහා තෙරවරුන් වෙත උපහාර පිණිස පිළිගන්වා ඇත.
විසුද්ධිමාර්ගය, ත්රිපිටක පාළි, අටුවා, ටීකා සහ සම්භාව්ය කර්මස්ථානාචාර්යවරුන්ගේ උපදෙස් පාදක කර ගනිමින් සැකසුණු මෙම කෘතියෙහි සමථ හා විදර්ශනා භාවනා වැඩීමේ ක්රමවේද සරල ප්රායෝගික බසින් විස්තර කෙරේ. මෙහි අඩංගු ප්රධාන මාතෘකා අතර:
- භාවනාවේ පරමාර්ථය හා පූර්ව කෘත්යය
- මෛත්රී, අසුභ, මරණසති ආදී සතර කමටහන්
- ආනාපානසති භාවනාව (I හා II කොටස්)
- කසිණ භාවනා සහ අනුස්සති භාවනා ක්රම
- විදර්ශනා ප්රඥා භාවනාව
මෙම දෙවැනි මුද්රණය 2005 (බු.ව. 2549) වසරේදී කුරුණෑගල අස්ලිය ප්රින්ටර්ස් ආයතනයෙන් මුද්රණය කරවා ධර්මදානය පිණිස ප්රකාශයට පත් කර ඇත.
පිළිගැන්වීම
ශ්රීමත් ගෞතම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ ප්රධානාචාර්ය්ය අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමිපාණන් වහන්සේට සහ තත් සංස්ථා සමුත්පාදක ප්රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේටද, ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවට සම සතලිස් වර්ෂ පිරීමේ නිමිත්තෙන් සම සතලිස් කර්මස්ථානයන්ගේ සම්පිණ්ඩනයක් වන “කර්මස්ථාන ප්රදීපය” ග්රන්ථය අත්යන්ත ගෞරවයෙන් පිළිගැන්වේ.
“සතං සමාගමො හොතු - යාව නිබ්බාන පත්තියා”
පෙරවදන
“චිරං තිට්ඨතු ලොකස්මිං - සම්මා සම්බුද්ධ සාසනං, තස්මිං සගාරවා නිච්චං - හොන්තු සබ්බෙපි පාණිනො” (ආචාර්ය බදර තීර්ථවාසී ධම්මපාල මාහිමි)
සම්මා සම්බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් ලෝතුල පවත්වා සියලුම සත්ත්වයෝ සෑම කල්හි බුදුසසුනෙහි ගෞරව සම්ප්රයුක්තව නිරතුරුව යෙදෙත්වා - යනු ගාථාවේ තේරුමය.
අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශාභිධාන මාහිමියන් වහන්සේගේ සමුත්පාදකත්වයෙන් හා අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමියන් වහන්සේගේ ප්රධානාචාර්යත්වයෙන් ආරම්භ කොට පවත්වාගෙන එන ලදී. ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාව මගින් නිකුත් කරන ලද කර්මස්ථාන ප්රදීපය නමැති මහාර්ඝ භාවනා ග්රන්ථය දෙවැනි වරට මුද්රණය කරවා ධර්මදාන වශයෙන් ප්රදානය කරනුයේ මහගල්කඩවල සත් ගුණවත් ඩී. එම්. ගුණරත්නහාමි බණ්ඩාරනායක මහත්මාණන් ප්රධාන පරිත්යාගශීලී දායක සමූහය විසින් සුවසේ ධර්මාවබෝධය වීම පිණිස නිශ්ශරණාධ්යාශයෙනි.
පළමු වරට පොත මුද්රණය සඳහා දායකත්වය හා අනුග්රහය දැක්වූ සියලු දෙනාගේ නාමලේඛනය ද පොතේ අගට යොදා ඇත්තේ කෘතඥතා පූර්වක පුණ්යානුමෝදනා ශීර්ෂයෙනි. දෙවැනි වරට මෙය මුද්රණය කරවා ධර්මදානය සිදුකළ සත්ගුණවත් ඩී.එම්. ගුණරත්නහාමි බණ්ඩාරනායක මහාත්මයාණන් ප්රධාන අනුග්රාහක සියලු දෙනාටම සුවසේ ධර්මාවබෝධයෙන් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා. “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”
මෙයට මෙත්සති
නාලයනේ අරියධම්ම ස්ථවිර
නාලයන අරණ්ය සේනාසනය,
පන්සියගම.
අරමුණ සහ ප්රාර්ථනාව
ගල්ගමුවේ මහගල්කඩවල පදිංචි ඩී. එම්. ගුණරත්නහාමි බණ්ඩාරනායක වන මාහටත් මේ සඳහා සහභාගිවූ පරිත්යාගශීලි සත්පුරුෂ සෑම සාධු ජනතාවටත් උපකාර කළ සැමටත් නිවන් දකිනා තුරු ජාති ජාතිත් ධර්මඥානය ලැබෙනු පිණිසත්, සම්බුදු සසුනක දී ශ්රී සද්ධර්මය ඇසූ පමණින් සතර මග සතර ඵල පිළිවෙළින් ධර්මාවබෝධ වී අග්ර අමා මහ නිවන්සුව සාක්ෂාත් වීම පිණිසත්,
මෙම මහාර්ඝ ධර්මදානය සිදුකර ගැනීමට අවකාශ සලසාදීමෙන් අනුග්රහ දැක්වූ ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවේ වර්තමාන ප්රධාන අනුශාසක තැන්පත් පූජ්ය නාලයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට නිරෝගී සැප බල දීර්ඝායු ශ්රී සම්පත් හා පැතූ බෝධියෙන් අග්ර අමා මහ නිවන් සුව අත්වේවා, යන තිසරණ ප්රාර්ථනාවෙන් මේ ධර්මදානය පිරිනමන්නෙමු.
මෙයට, ධර්මකාමී
ඩී. එම්. ගුණරත්නහාමි බණ්ඩාරනායක මහතා
ප්රධාන දායක පිරිස
හඳුන්වාලීම
“පටිපත්තියං ඨිතො ධීරො යොගක්ඛෙමං න ධංසති ” (මනෝරථ පූරණී — 53 පිට)
“ පිළිවෙතෙහි පිහිටි ප්රාඥයා යෝගක්ෂේම නම් වූ නිවන කෙරෙන් නො පිරිහෙයි. ”
සම්බුද්ධ ශාසන සම්පත්තිය දුර්ලභය. එය අතිශය දුකින් හමුකර ගත යුතු වන්නේ ය. නිවන් අරමුණු කොට ගත් සන්තානයෙක්හි පළපදියන් කර ගත් චරණ සම්ප්රදායක බලයෙන් ම ඒ දුර්ලභ ශාසන සම්පත්තියට හිමිකම් සලසා ගත හැකි වන්නේ ය.
මෙම ශ්රෙෂ්ඨ ශාසන සම්පත්තිය වනාහි ශීල–සමාධි–ප්රඥා යන ධර්ම තුනෙන් හකුළුවා දැක්විය හැක්කේ ය. මෙම උත්තරීතර වූ ධර්ම කොටස් තුනට අයත් වන කාර්ය්යාංග, පරියත්ති–පටිපත්ති–පටිවේධ යන නම් තුනෙන් හඳුන්වා දෙන ලද බව ප්රසිද්ධය.
එහි පරියත්ති නම්, සසුන් තුළ සැදැහැ ගුණය මෝරවමින්, ලාභ–යසසාදියට දාස නොවී, තමාගේ මෞලික ප්රතිඥාවට තුඩුදෙන ආකාරයෙන්, නිස්සරණ අදහසින් සම්බුද්ධ දේශිත ධර්මය උගැනීම ය.
පටිපත්ති නම්, එසේ උගත් ධර්මයන් ක්රමයෙන් ක්රියාවට නංවාලීම ය; ස්ව-සන්තානයෙහිම පුරුදු කිරීම ය. මෙහිදී පළමුව සීලය හැම අංශයකින් ම තෝරා-බේරා ගෙන පුහුණු කළයුතු වන්නේ ය. මීළඟට සුදුසු භාවනා කමටහනක් ගෙන චිත්ත සමාධිය වැඩිය යුතු වන්නේ ය. හිත හොඳින් සමාහිත වූ කල්හි විදර්ශනා වඩා ප්රඥාව ඉපදවිය යුතු වන්නේ ය. පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්ණ වන තුරු පහළ වන ලෞකික විදර්ශනා ප්රඥාවන් පටිපත්තියට අයත් වන්නේ ය.
පටිවේධ නම්, එසේ පටිපත්තිය මුදුන්පත් වීමේ නිසර්ග ඵලය වශයෙන් පහළ වන්නා වූ ලෝකෝත්තර ඥාන දර්ශනය යි, හෙවත් චතුරාර්ය සත්යය විනිවිද දැකීමයි.
මෙසේ සලකා බැලීමේදී පරියත්තිය පටිපත්තියටත් පටිපත්තිය පටිවේධයටත් ප්රත්යය වන ආකාරය පැහැදිලි වන්නේ ය. ඉදින් පරියත්තිය ඒකාන්තයෙන් පටිපත්තියට තුඩු දී නො පවත්නේ නම් හෝ පටිපත්තිය නිසැක වශයෙන් පටිවේධයට හේතු නො වන්නේ නම් හෝ එය පවිත්ර ශාසනික මාර්ගයෙන් බැහැර වීමක් ලෙස හැඳින්විය හැක්කේ ය.
බුද්ධ කාලයේදී මෙම ත්රිවිධ ශාසනයන් ගේ අන්යොන්ය සම්බන්ධතාව හරියාකාරව ක්රියාත්මක වීමෙන් අපමණ ලෝ සතුන්ට මහත් යහපතක් සැලැසුණු අන්දම පෙළ-අටුවා පොත් වලින් ප්රකට වෙයි.
ලක්දිව බුදු සමය පිහිටි මුල් සමයේදී ද මෙම තුන් සසුන්හි අපූරු සංකලනයෙන් අසිරිමත් යුගයක් උදා වූ බව අටුවා හා වංශ කථා හෙළි කරයි. එහෙත් කල්යාමේදී මෙම තත්වයෙහි වෙනසක් සිදු වූ බව ද එම පෞරාණික ග්රන්ථයන් තුළින් ම අපට තේරුම් කර ගත හැකි වෙයි. එම විපරියාසයට හේතු වූයේ, පරියත්තිය යනු පටිපත්තියට පිවිසෙන දොරටුව වශයෙන් නොව හුදෙක් බුද්ධිමය චින්තනයක් ලබාදෙන්නා වූ ද ලාභ කීර්ති උපදවන්නා වූ ද ස්වෛරී අධ්යයනයක් ලෙසින් වර්ධනය කරගැනීමත්, ශාසනයෙන් ඉඳුරාම බැහැර වූ ශාස්ත්රයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමත් බව පෙනී යයි. මෙහි ප්රතිඵලය වූයේ පටිපත්තියත් පටිවේධයත් බෙහෙවින් දුබලවීමය. පටිපත්තියෙන් හා පටිවේධයෙන් ලැබිය යුතු රුකුල නො ලැබී යාමෙන් පරියත්තිය ද දුර්වල විය.
මෙම අනුක්රමික පරිහානියේ උච්ච අවස්ථාව උදා වූයේ මහනුවර සමයේදී ය. උපසපන් භික්ෂුවක තබා සිල්වත් සාමණේර නමක් හෝ සොයාගත නො හැකි තරමට එදා ශාසනය වල් බිහිවුණි.
එහෙත් මෙකල සිදු වූ පුනර්ජීවනයක් නිසා ශාසනයෙහි නැවත එක්තරා උද්දීපනයක් හට ගැනුණි. එතෙකුදු වුවත් පරියත්ති–පටිපත්ති–පටිවේධ ශාසනයන් අතර නිසි සංතුලනයක් ඇති නො වීමේ හේතුවෙන් ඒ වැඩිකල් නො ගොස් ම පිරිහීමට බඳුන් විය. මේ අතර වරින් වර බිහි වූ වීර්යෝදර බුද්ධ පුත්රයාණන් වහන්සේලා කීප නමක් පටිපත්තියට නැවත වරක් නිසි තැන දී කටයුතු කරමින් සසුන නගා සිටුවීමට උත්සාහ දැරූහ.
2500 බුද්ධ ජයන්ති සමයේ දී නැවත වරක් ශාසනික ප්රබෝධයක් ජනිත වුණි. පරියත්තිය ද පටිපත්තිය ද වෙන වෙන ම පණ ගැන්වීමේ නොයෙකුත් වැඩ සටහන් පැන නැගුණි. මේ අතර, ඉහත කී ශාසනත්රය ම අතර අන්යොන්ය සම්බන්ධතාව නැවත ගොඩනංවමින් සැබෑ ශාසනික සංවර්ධනයක් ඇති කරලීමේ එක්තරා මාහැඟි වැඩ පිළිවෙළක් ද ක්රමයෙන් දියත් වෙමින් තිබුණි.
එකල වූ ශාසනික පරිහානිය දැක මහත් කම්පාවට පත් වූ යෝධ බලැති උදාර සත්පුරුෂයාණන් වහන්සේ නමක් වන අතිපූජ්ය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේ ගේ අප්රතිහත ධෛර්යයෙන් කුළු ගැන්වුණු මෙම උතුම් වැඩ පිළිවෙළට, එක්වන් ශාසනික හැඟීමෙන් පණ ගැන්වුණු ගුණවෘද්ධ සංඝපිතෲන් වහන්සේ නමක් වන අතිපූජ්ය මහෝපාධ්යාය මාතර ශ්රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ ද මුළු හිතින් උර දුන්හ. සසුන් ලැදි බොහෝ ගිහි පැවිදි සාධූන් ගේ නොමද සහාය ලැබීමෙන් කෙමෙන් අතුපතර විහිදුවමින් වැඩි ගිය මෙම සද්ව්යාපාරය “ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාව” නමින් පතළ විය.
මෙම යෝගාශ්රම සංස්ථා වැඩ පිළිවෙළ යටතේ නැවත වරක් පටිපත්තියට තුඩු දුන් පරියත්තියක් සහ පටිවේධයට තුඩු දුන් පටිපත්තියක් ක්රියාවත් විය. වසර 40 ක් මුළුල්ලෙහි බුදු සසුන හොබවමින් අඛණ්ඩව ගෙනගිය මේ මහා අසිරිමත් සසුන් මෙහෙවරෙහි තවත් එක් ප්රභාස්වර සිහිවටනයෙකි, මෙම “කර්මස්ථාන ප්රදීපය.”
දිවයිනේ නා නා පළාත්වල විසිරී ඇති යෝගාශ්රමීය සේනාසනයන්හි වැඩ සිටින යෝගාවචරයන් වහන්සේලාගේ පහසුව තකා මාසිකව නිකුත් කෙරුණු භාවනා උපදේශ පත්රිකා මාලාව එක්රැස් කොට, මතු බොහෝ කලක් සසුන් වැඩ සලසමින් පවත්නා පිණිස ඒකීය ග්රන්ථ රත්නයක් වශයෙන් පළ කෙරෙන මෙම සෝමනස්ස සහගත අවස්ථාවේ දී, වැඩිදුරටත් සිහිපත් කළ මනා අදාල කරුණු කිහිපයක් මෙහි සටහන් කර තැබීම ඵලදායක වනු ඇතැයි හඟිමු.
ග්රන්ථාරූඪ නොවූ, ආචාර්ය පරම්පරානුගත යම් පෞරාණික භාවනා සම්ප්රදායයක් ලක්දිව තිබුණේ වී නම්, ඒ හැම මහනුවර සමය වන විට වැළලී යන්නට ඇතැයි නිගමනය කළ හැක්කේ ය. ඉන්පසු ලක්දිව යෝගාවචරයන් බොහෝ සෙයින් ම ගුරු කොට ගත්තේ “විසුද්ධි මාර්ගය” යි. නැවත බුද්ධ ජයන්තිය ආසන්න සමයේ දී විදර්ශනාව පිළිබඳ විශාල උද්යෝගයක් ඇති වී, බුරුමයෙන් ගෙනෙන ලද, උදරයේ පිම්බීම-හැකිලීම මූල කර්මස්ථානය කොටගත් “මහාසී විදර්ශනා ක්රමය” මෙහි මුල් බැස ගත්තේ ය. ඉනුත් මෑතක දී, ආනාපාන සතියෙන් සිත තැන්පත් කොටගෙන වේදනානුපස්සනාව වඩන්නා වූ තවත් බුරුම විදර්ශනා භාවනා ක්රමයක් (“ගොඑන්කා ක්රමය”) මෙරටට හඳුන්වා දෙනු ලැබීය. දැනට ලංකාවේ කර්මස්ථානාචාර්යවරු වැඩි දෙනෙක් සමථය සඳහා විසුද්ධි මාර්ගය ද විදර්ශනාව සඳහා ආනාපාන සතිය හෝ මහාසි බුරුම ක්රමය හෝ ද පදනම් කර ගනිති.
එහෙත් බුරුමය හා තායිලන්තය යන රටවල, ඒ දේශවලට ම ආවේණික වූ පරම්පරානුගත ථෙරවාදි භාවනා සම්ප්රදායන් රාශියක් අදත් අනුගමනය කරනු ලැබේ. (මහාසි ක්රමය ද එවැනි සම්ප්රදායයෙකි.) ඉරියාපථ, දෙතිස් කුණප, සෝළසාකාර ආනාපානසතිය, මරණසතිය, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ආදිය මූල කර්මස්ථාන වන්නා වූ විවිධ භාවනා ක්රම මේ අතර වන්නේ ය. මේ ඇතැම් ක්රම එකිනෙකට ප්රතිවිරුද්ධ ආකාරයක් ද බැලූ බැල්මට පෙනෙයි. එහෙත් ඒ කවර ක්රමයක් මගින් වුව ද සාර්ථක ප්රතිඵල ලැබිය හැකි බව පළපුරුදු යෝගාවචරයෝ පවසති.
මෙම ඇතැම් සාම්ප්රදායික කර්මස්ථාන පැරණි පොත්පත්වල උපදෙස්වලට පටහැනි සෙයක් ද පෙනෙන්ට තිබේ. නිදසුනක් වශයෙන්, සෝළසාකාර ආනාපානසතිය උගන්වන එක් සම්භාවනීය බහුශ්රැත තායි කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක් ආනාපානසතියේ ආරම්භක අවස්ථාවේ දී, නාසිකාග්රය, හෘදය හා නාභිය අතර හුස්ම අනුව සිහිය යොදවන මෙන් උපදෙස් දෙති. එහෙත් සතිය දියුණු වූ විට නාසිකාග්රයේ ම සිහිය රඳවන මෙන් උගන්වති.
තවද බුරුමයේ එක් ප්රකට භාවනා ක්රමයක (“සුංලුං ක්රමය”) පදනම වන්නේ, පය්යංකයෙන් බිඳකුදු නොසෙල්වී හිඳගෙන මුළු වැර යොදා තදින් ආශ්වාස ප්රශ්වාස කිරීමයි. මෙසේ විනාඩි 45 ක් පමණ යෙදීමෙන් මුළු සිරුර ම දරුණු දෘඪ වේදනා වලින් පීඩිත වූ කල, ඉන් ප්රකට ම වේදනාව අරමුණු කොට ගෙන විදසුන් වැඩීම කෙරෙයි. ඇතැම් යෝගාවචරයන්ට මෙම ක්රමය සාර්ථක වී ඇති බව වාර්තාගත වී තිබෙයි.
සම්මත රාමුවට අයත් නො වන්නා වූ කර්මස්ථානයන් පිළිබඳව පෙළ-අටුවා තුළින් ද අපට දැකගන්නට ලැබේ. චුල්ලපන්ථක තෙරුන් වහන්සේට කමටහන ලෙසින් ලැබුණු රෙදි කැබැල්ල, සුවණ්ණකාර තෙරුන් වහන්සේට කර්මස්ථානය වූ රන් පියුම, නාගසමාල තෙරුන් වහන්සේට කමටහන වූ පංචතූර්ය නාද මැද වීදියේ රඟමින් සිටි නළඟන ආදිය නිදසුන් කීපයෙකි.
මින් පැහැදිලි වන්නේ, ඒ ඒ යෝගාවචරයාගේ චරිතය, කුසලතාව, සංසාර පුරුදු අනුව ඇතැම් අසම්මත අරමුණක් වුවත් සාර්ථක කර්මස්ථානයක් විය හැකි බවය. විදර්ශනාව සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තෙකි. අභ්යන්තර-බාහිර ඕනෑම සංස්කාර ධර්මයක් විදර්ශනාව පිණිස කර්මස්ථානයක් කරගත හැක්කේ ය. එසේම කෙනෙකුට අසප්පාය වන කමටහනක් තවෙකෙකු හට සප්පාය විය හැක්කේ ය. එහෙයින් සම්මත කර්මස්ථානයන් පොතපතේ තිබූ පමණින් උපාදානය කර ගනිමින්, අන්ය කර්මස්ථානයක් අසම්මත වූ පමණින් වැරදියයි එක්වරම ප්රතික්ෂේප කිරීම ප්රඥාගෝචර නො වන්නේ ය.
මෙහි දී සැලකිය යුත්තෙකි, තමා වඩන කවර කමටහනක් හෝ සාර්ථක කර ගැනීමට නම් ඒ පිළිබඳව තමාගේ පූර්ණ විශ්වාසයක් තිබිය යුතු වන්නේ ය. කර්මස්ථානය හරි ද වැරදි දැයි සැක ඇතිවන්නේ නම්, වහාම ඒ ගැන කරුණු විමසා නිසැක තීරණයකට එළඹිය යුත්තේ ය. අසම්මත කමටහනක් වුව ද තමාගේ චරිතයට හා රුචියට ගැළපෙන්නේ නම්, නිසැක නම, සිහිබුද්ධියෙන් එය වැඩීමෙන් අවැඩක් වෙතැයි කිව නො හැක්කේ ය.
තවද දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සම්මත කර්මස්ථානයන් වඩා ඵලයක් නො ලද්දේ නම්, අසම්මත කමටහනක් වුව අත්හදා බැලීමෙහි දෙසක් නො කිව හැක්කේ ය.
විසුද්ධි මාර්ගයෙහි එන කමටහන් විස්තර අද ඇතැමුන්ගේ විවේචනයට ලක්වනු පෙනෙයි. මෙහි කමටහන් සපයා ඇත්තේ ආදිකම්මිකයන් උදෙසා බව සිහි කළ යුත්තෙකි. ඇතැම් කමටහන් සඳහා දීර්ඝ මූලික උපදෙස් මාලාවක් දක්වා ඇත්තේ මේ නිසාය. මේ භවයේ දී හෝ ආසන්න අතීත භවයක දී හෝ සිත දියුණු කොටගත් පළපුරුදු යෝගාවචරයෙකුහට එම පරිකර්ම පිළිබඳව වැඩි වෙහෙසක් නොවී මැ කර්මස්ථානය වැඩීමට හැකියාව තිබෙනු ඇත.
විසුද්ධි මාර්ගයෙහි ඇතුළත් වන්නා වූ ශමථ කර්මස්ථාන සතළිසම බුද්ධ දේශනාවෙහි සඳහන් වී ඇත්තේ ය. එහෙත් ත්රිපිටකයෙහි මෙම කමටහන් පිළිබඳ විස්තර අඩංගු වන්නේ සුළු වශයෙනි. විසුද්ධි මාර්ගය මේ කමටහන් සියල්ල සංග්රහ කොට පුළුල් ලෙසින් විවරණය කරයි. ඉදින් විසුද්ධි මාර්ගය නො වී නම්, මේ කමටහන් තොරතුරු අද වන විට අභාවයට පත්වන්නට හොඳට ම ඉඩ තිබුණි. එහි විදර්ශනා කර්මස්ථාන විස්තරය ගැන ද කීමට ඇත්තේ මෙය මැයි.
බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ කෙතරම් දුරට මෙම කමටහන් පෞද්ගලිකව භාවිතා කොට තිබුණේදැයි අපට කිව නොහැක්කේ ය. එසේම විසුද්ධි මාර්ගය ලියැවුණු සමයේ දී ලක්දිව පටිපත්ති හා පටිවේධ සාසනයන් කුමන තත්වයක තිබුණේදැයි ඒකාන්ත වශයෙන් අපට නො කිව හැක්කේ ය. එහෙත් විසුද්ධි මාර්ගයෙහි අඩංගු වන්නේ ලක්දිව මහා විහාරීය සම්ප්රදාය බව නම් පැහැදිලිය. පැරණි හෙළ අටුවාවන්හි වූ භාවනා තොරතුරු බොහොමයක් මෙම ග්රන්ථයට ද එක්වන්නට ඇත. ඉදින් එදා විද්යාමාන වූ මහා විහාර භාවනා සම්ප්රදායට පටහැනි වූ යමක් විසුද්ධි මාර්ගයෙහි ඇතුළත් වූයේ නම් එය සම්භාවනීය ග්රන්ථයක් ලෙසින් මහා විහාරය විසින් පිළිගනු ලබන්නේ නැත. මේ අනුව, එහි එන කර්මස්ථාන විභාගයන් වෙනත් ඉන්දියා දර්ශනයන්ගේ කෙලින් ම උපුටාගත් දෑ නොව සමකාලීන මහා විහාරීය බෞද්ධ සම්ප්රදායෙන් ගත් දෑ වශයෙන් සැලකීම යුක්ති යුක්ත වන්නේ ය. ඇතැම් විට එදා මහා විහාර සම්ප්රදය තුළ ඒ වන විටත් වෙනත් දර්ශනයන්ගේ ආභාෂය රැඳී තිබුණේ ද විය හැක්කේ ය.
කෙසේ හෝ අද අපගේ යුතුකම විය යුත්තේ මෙතෙක් කලක්, මෙතරම් දුරට හෝ මේ කර්මස්ථාන විභාගය නො නැසී රැකදීම ගැන විසුද්ධි මාර්ගයට හා බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේට පින් දෙමින්, විසුද්ධි මාර්ගයෙන් අපට යම් වැඩක් ගතහැකි වන්නේ නම් එය සලසා ගැනීම ය. අපට රුචි නොවන යමක් එහි වන්නේ නම් අපි උපේක්ෂක වන්නෙමු. එය වෙනත් කෙනෙකුට ප්රයෝජනවත් විය හැකි හෙයිනි.
විසුද්ධි මාර්ගය වනාහි දුර්වලතා වලින් මුළුමනින් ම තොර වූ සර්ව සම්පූර්ණ කර්මස්ථාන සංග්රහයකැයි අපි නො කියමු. හැමට ම සාධාරණ වන්නා වූ ද හැමගේ රුචියට ගැළපෙන්නා වූ ද කවර හෝ කර්මස්ථාන සංග්රහයක් සකස් කිරීම දුෂ්කර කාර්යයක් බව පිළිගතයුතු කාරණයෙකි.
විසුද්ධි මාර්ගයෙහි ශමථ කර්මස්ථාන වර්ණනාවන්හි දී උග්ගහ හා පටිභාග නිමිති පිළිබඳව අවධාරණය කරනු ලැබේ. මේ අනුව ඔවුන් වඩා සාර්ථකව නිමිති උපද වූ යෝගාවචරයෝ වෙති. ඒ අතර ඇතැම් යෝගාවචරයෝ එබඳු විශේෂ නිමිත්තක් නැතිව වුව ද උපචාර අර්පණා සමාධි ඉපදවිය හැකි බව කියති. කෙසේ වුව ද ආරම්භයේදී ම නිමිත්තක් පිළිබඳ අපේක්ෂාවක් තිබීම නම් භාවනාවට නිවරණයෙකි. එහෙයින් චිත්ත සමාධිය ම ගරු කොට සමථය වැඩීම සුදුසු ය.
ඇතැම් කමටහන් මගින් කෙසේවත් අර්පණා සමාධි නූපදවිය හැකි බවත්, දස අසුභය, සතර බඹ විහරණ වැනි කමටහන් වලින් උපදවිය හැක්කේ අර්පණා ධ්යාන සියල්ල අතුරින් එකක් හෝ කීපයක් හෝ පමණක් බව ද විසුද්ධි මාර්ගයෙහි සඳහන් වෙයි. එහෙත් සමහර යෝගාවචරයෝ එසේ ප්රතික්ෂේප කළා වූ ඇතැම් අර්පණාවන් ඉපදවිය හැකි බව කියති. මෙය වනාහි වැඩිදුරටත් පරීක්ෂා කළ යුත්තෙකි.
බුද්ධ දේශනාවෙහි ද අටුවාවෙහි ද තැනින් තැන ඉතා වටිනා කර්මස්ථාන උපදෙස් රාශියක් තිබෙන බව ද මෙහිලා සඳහන් කළයුතු වන්නේ ය. ඇතැම් විට ඉතා කෙටියෙන් දක්වා ඇති මෙම උපදෙස් මතුකර ගැනීම යෝගාවචරයන්ට මෙන්ම කර්මස්ථානාචාර්යවරුන්ට ද බෙහෙවින් ඵලදායක වනු ඇත.
සමථ පුබ්බංගම විපස්සනාවත්, විපස්සනා පුබ්බංගම සමථයත්, යුගනද්ධ භාවනාවත්, බුද්ධ කාලයේ සිට ම ප්රචලිත වී පැවති බවට අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි එන අරහත්තපත්ති සූත්රන්තයෙන් ප්රකට වෙයි. මෙහි සමථ පුබ්බංගම විපස්සනාව නම් පළමුව සමථය ධ්යාන මට්ටම දක්වා දියුණු කොට, එය පාදක කොට විදර්ශනා වැඩීමයි. විපස්සනා පුබ්බංගම සමථය නම් පූර්ව ධ්යාන සමාධියකින් තොරව හුදු විපස්සනාව ම වඩා ඒ තුළින් ම ධ්යාන මට්ටමට සමාන වූ විදර්ශනා සමාධියක් උපදවමින් විදසුන් මුදුන්පත් කර ගැනීමයි. යුගනද්ධ භාවනාව නම් එකට බැඳි ගොන් බානක් සමව එකට ම හැසිරෙන්නාක් මෙන් සමථය හා විපස්සනාව මාරුවෙන් මාරුවට සමව වඩමින් භාවනාව සමාධිමත් කර ගැනීමයි.
ධ්යාන සමාධියක් පළමුව නූපදවා විදර්ශනාව සාර්ථකව කළ නොහැකි යයි සමහරෙක් තර්ක කරති. එහෙත් ශුෂ්ක විදර්ශනාව හෙවත් විපස්සනා පුබ්බංගම සමථය (විපස්සනාව පෙරටු කොටගත් සමථය) හොඳින් වඩන විදර්ශනායනිකයා තුළ හුදු විදසුන මගින් ම ක්රමයෙන් සමාධියක් ගොඩනැංවෙන බවත්, මෙම විදර්ශනා සමාධිය පළමුව නීවරණ ප්රහාණයට ද දෙවනුව විදර්ශනා ඥාණ පහළ කරලීමට ද අවසානයේ දී විදසුන මුදුන්පත් කරමින් මඟ-ඵල ලබාදීමට ද ප්රමාණවත් වන බවත් යෝගාවචරයන්ගේ අත්දැකීම තුළින් පැහැදිලිව පෙනී යන්නේ ය. මෙහිදී කෙරෙන නීවරණ ප්රහාණය කෙතරම් ප්රබලදැයි කිවහොත්, කිසිදු මාර්ග-ඵලයක් නො ලබම, තමා සහමුලින් ම කෙලෙස් දුරුකොට ඇතැයි යන හැඟීම ඇතැම් විදර්ශනායනිකයන් තුළ පහළ වන්නේ ය. ඕනෑමකමින් නීවරණ ජනිත කර ගැනීමට උත්සාහ කළත් මේ අවස්ථාවේ දී එය කළ නො හැකි වන්නේ ය.
ශුද්ධ විදර්ශනාවෙන් එක්තරා ප්රබල සමාධියක් ලබාගත් යෝගාවචරයෙකුට, ඉදින් කසිණාදි සමථ අරමුණක් වඩන්නේ නම් පහසුවෙන් ධ්යාන ඉපදවිය හැක්කේ ය. එහෙත් මොහු විදර්ශනාවට ම බෙහෙවින් පුරුදු වී සිටීම නිසා එසේ වඩන්නා වූ සමථ අරමුණ මුලදී නිරායාසයෙන් විදර්ශනාවට නැඟීම සිදුවිය හැක්කේ ය. මෙම තත්වය පාලනය කර ගැනීමට යෝගාවචරයා පුහුණු වූ කල්හි සමථය වැඩීම ඔහුට අසීරු නො වන්නේ ය.
ඉදින් විපස්සනායනිකයා වුව ද පළමුව සතර කමටහන් වඩා, ධ්යාන මට්ටමකට නො වුවත්, සිත එක්තරා ප්රමාණයකට තැන්පත් කරගැනීම කළ හොත්, එය ඔහුගේ විපස්සනාව සඳහා පහසුවක් වන්නේ ය. සමථයානිකයාහට විදර්ශනාවේ දී වැඩි පහසුවක් සැලසෙන්නේ නීවරණ පෙළීම ඔහු විසින් කල් ඇතුව ම යටපත් කරන ලද හෙයිනි. එහෙත් සමථය වැඩීමේ මුල් අවස්ථාවේ දී ඔහුට ද නීවරණ ජය ගන්නට සිදු වන්නේ ය.
ධ්යාන නො ලබා විදර්ශනාව කළ නො හැකි යයි ඇතැමෙකු පවසද්දී සමථය මුළුමනින් ම ප්රතික්ෂේප කොට විදර්ශනාව ම කළ යුතුයයි තවත් අයෙක් කියති. මේ මත දෙක ම ධර්මීය හා භාවනා මාර්ගය පුළුල්ව නො දැක්කම නිසා හටගත් දෘෂ්ටීහු ය. තම පුද්ගලික රුචිය අනුව ප්රත්යක්ෂාවබෝධයකින් තොරව පොත පතට හා තර්කයට වහල්වීමත්, එක්තරා සීමිත ප්රත්යක්ෂයක් ලැබූවත් එය ම පමණක් ප්රමාණ කොට ගෙන පොදු නිගමනවලට එළඹීමට තැත් කිරීමත් යන කරුණු මුල් කොට ගෙන මෙබඳු අන්තගාමී දෘෂ්ටීන් හටගන්නා බව පෙනෙයි.
සමථය වැඩිය යුතු ද නැද්ද යන කාරණය මෙන් ම සමථය වඩන්නේ නම් එය කෙතරම් දුරකට වැඩිය යුතු ද යන්න, ඒ ඒ යෝගාවචරයාගේ කුසලතාව අනුව තීරණය කළ යුතු වන්නේ ය. සාංසාරික ප්රවණතා අනුව ඇතැම් යෝගාවචරයෙකු සමථය පිළිබඳ වැඩි රුචියක් දක්වන අතර සමහරු විපස්සනාව දෙසට වැඩි නැඹුරුවක් දක්වති. අතීත සංසාර හැකියාවන් මතු කොට ගැනීමෙන් යෝගාවචරයාගේ භාවනා කාර්යය වඩාත් හොඳින් හා ඉක්මනින් සඵල වීමට ඉඩ ඇත්තේ ය. එබැවින් ආධුනික යෝගාවචරයා විසින් ශමථයානික-විදර්ශනායානික භේදයකින් තොරව මධ්යස්ථව කමටහන් වඩනු ලැබීම ප්රයෝජනවත් වනු ඇත. එවිට ඔහුගේ සහජ නැඹුරුව පවතින්නේ කුමන අංශයටදැයි වටහා ගත හැකි වන්නේ ය. ඒ අනුව සමථය හෝ විපස්සනාව හෝ දෙසට යොමුවීම සුදුසු ය.
වර්තමාන සමාජයෙහි අවිවේකී පරිසරයත්, ඉක්මන් ප්රතිඵල ලැබීමේ කැමැත්තත් විදර්ශනා කර්මස්ථාන ලබාගැනීමේ පහසුකම් වැඩිවීමත් යනාදී හේතු නිසා අද බොහෝ දෙනා ශුද්ධ විදර්ශනාවට පෙලඹෙන බැව් පෙනෙයි. ඒ අතර ම ඉතා ඉහළට සමථය දියුණු කරන්නා වූ ගිහි-පැවිදි පුණ්යවන්තයෝ ද සිටිති. නිසි කර්මස්ථාන හා විවේක පහසුකම් ලැබෙන්නේ නම් සමථ භාවනාව සාර්ථක කර ගන්නා සංඛ්යාව තවත් වැඩි වනු ඇතැයි හඟිමු. විශේෂයෙන් විවේක අරණ්ය සේනාසනවල වැඩ වසන යෝගාවචරයන් වහන්සේලාට සමථය වැඩීමේ පහසුකම් ඇත්තේ ය.
ඒ සමඟම, සම්බුද්ධ ශාසනයකින් ලැබිය හැකි උසස් ම දායාදය නම් විදර්ශනාව බව අවධාරණය කළ යුතු වන්නේ ය. බුද්ධ ශාසනයේ හරය සමාධිය නොවන බව සර්වඥයන් වහන්සේ වදාරා තිබේ. එහෙයින් සමථය වඩන යෝගාවචරයා වුව ද සමාධි සැපයෙහි ම ඇලී නො සිට නිසි කල්හි විපස්සනාවට බැසිය යුතු වන්නේ ය.
සාර්ථකව භාවනාව ගෙනයාම පිණිස පරියත්ති ඥාණය හෙවත් සුතමය ඥාණය එක්තරා ප්රමාණයකින් අවශ්ය වන්නේය. පටිපත්තියට තුඩුදෙන පරියත්තිය යනුවෙන් අප මුලදීම අවධාරණය කළේ මෙම කාරණයයි. භාවනාව සම්බන්ධයෙන් කථා කරන කල්හි පරියත්ති ඥාණය යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් භාවනා කාර්යය අඛණ්ඩව කර ගෙන යාමට ප්රමාණවත් වන ධර්ම ඥානයෙකි. ගුරු ඇසුරෙහිම හිඳ කමටහන් වඩන යෝගාවචරයෙකු හට තම සුතමය ඥාණය පිළිබඳව එතරම් කරදර වීමට සිදු නොවන්නේය. අවශ්ය අවස්ථාවලදී අදාල වන්නා වූ දහම් දැනුම කර්මස්ථානාචාර්යතුමන් වෙතින් ලැබෙන බැවිනි. (කර්මස්ථානාචාර්යවරයෙකුට ධර්මය පිළිබඳ හසළ දැනුමක් තිබිය යුතු වෙයි.)
ගුරු ඇසුරින් ඈත්ව සිට කමටහන් වඩන්නාවූ යෝගාවචරයාහට තම සුතමය ඥාණය ඇතැම් විටෙක බාධාවක් විය හැක්කේය. භාවනා මාර්ගය පිළිබඳව කලින් දැන සිටින ඔහුට භාවනා ප්රත්යක්ෂයන් ලැබීමට ප්රථමයෙන්ම ඒවා ගැන අපේක්ෂා ඇතිකර ගැනීමෙන් භාවනාව සඵල නොවීමට ඉඩ ඇත්තේය. එසේම ප්රත්යක්ෂාවබෝධය නිසි ආකාරයෙන් ඇතිවීමට පෙර ඒවා සිතින් මවාගෙන මුළාවට පත්වීමටද විය හැක්කේය. එහෙයින් යෝගාවචරයා විසින් භාවනා කාර්යයේදී ප්රත්යක්ෂාවබෝධයට මුල් තැන දී සුතමය ඥාණය පසුබිමෙහි තබාගත යුත්තේය. කිසියම් ගැටළුවක් මතුවූ කල්හිද ප්රත්යක්ෂාවබෝධය සම්මුතියට පෙරළා ගැනීමට අවශ්යවූ කල්හිද පමණක් සුතමය ඥාණය යොදා ගැනීම යෝග්ය වන්නේය.
සුතමය ඥාණයෙන් තොරවීම හේතුවෙන්ද නිසි ගුරු ඇසුරක් නොලබන බොහෝ යෝගාවචරයන් මුලාවට පත්වන බවද මෙහිලා සඳහන් කළයුතු වන්නේය.
මෙම ග්රන්ථයෙහි අන්තර්ගත වන භාවනා උපදේශ පත්රිකාවන් සකස් කරන ලද්දේ ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාවෙහි බහුල වශයෙන් පුහුණු කෙරෙන සාම්ප්රදායික සම්මත කර්මස්ථාන විධි මුල් කොට ගෙනය. පූර්ව කෘත්ය සහිත සතර කමටහන් පළමුව විභාග කොට ඉක්බිතිව ආනාපානසති කර්මස්ථානය සවිස්තරව දක්වා ඇත්තේය. අනතුරුව විසුද්ධි මාර්ගයෙහි එන ශමථ කර්මස්ථානයන්ද විදර්ශනාවද පැහැදිලි කොට ඇත්තේය. පත්රිකා ප්රමාණය සීමා කරන්නට සිදුවීම නිසා අභිඥා වර්ණනාව ඇතුළු තවත් විස්තර ඇතුළත් කිරීමට නො හැකිවිය.
පළපුරුදු සම්භාව්ය කර්මස්ථානාචාර්යයන් වහන්සේලා කීප නමකගේම කමටහන් උපදෙස් මෙම පත්රිකාවන්හි අඩංගු වී ඇත්තේය. ඊට අමතරව විසුද්ධි මාර්ගය, පෙළ, අටුවා, ටීකා සහ නූතන භාවනා පොත්පත් කීපයක්ද මෙහිලා ඇසුරු කරන ලද්දේය.
එතෙකුදු වුවත් සෑම යෝගාවචරයෙකු හටම මෙහි සඳහන් කර්මස්ථාන ගෝචර වෙතැයි අපි නොකියමු. එක් එක් යෝගාවචරයාගේ චරිතය, රුචිය කුසලතාව, අතීත පුරුදු ආදිය විවිධාකාර වන හෙයිනි. අපගේ උත්සාහය වූයේ එක්තරා පොදු පිළිවෙතක් ඉදිරිපත් කිරීමත් එය ක්රියාවත් කිරීමේදී මතුවිය හැකි ඇතැම් දුෂ්කරතා පිළිබඳ සාකච්ඡා කිරීමත්ය. හැකිතාක් දුරට සරල ආකාරයකින්, ප්රායෝගික මුහුණුවරකින්, ලිහිල් බසින් විස්තර ඉදිරිපත් කිරීමට අපේ අවධානය යොමු විය. කෙසේ වෙතත් කවර යෝගාවචරයෙකුට වුවත් මින් කිසියම් හෝ ප්රයෝජනයක් නෙලාගත හැකි වෙතැයි අපි පතන්නෙමු. තවද අපේ ශක්ති ප්රමාණයෙන් මෙම භාරදූර කාර්යය නිමහම් කිරීමේදී අප’තින් යම් ප්රමාද දෝෂයක් වී ඇත්නම් සුධීහු කමාව භජනය කරත්වා!
මෙම භාවනා උපදේශ පත්රිකා මාලාව සකස් කිරීමේ අදහස පළමුව එළි දුටු මොහොතේ සිට “කර්මස්ථාන ප්රදීපය” ඉදිරියට වඩම්මවන අවස්ථාව තෙක් මෙම ශාසනික කර්තව්යයට නන් අයුරින් උපකාරවත් වූ ගිහි-පැවිදි සත්පුරුෂ සංඛ්යාව බොහෝය. ඒ හැම ශාසනකාමීන් හට ශමථ–විදර්ශනා භාවනා සුවසේ මුදුන්පත් කොට ගෙන ප්රාර්ථනීය බෝධියකින් අමාමහ නිවන පසක් කිරීමෙන් සසර දුක කෙළවර කිරීමේ පරම වාසනාව ඉක්මනින් ම උදාවෙවා!
තව ද ශ්රී කල්යාණී යෝගාශ්රම සංස්ථාව සමාරම්භ කොට සතලිස් වසරක් මුළුල්ලෙහි අතිසාර්ථකව එය ඉදිරියට ගෙන යමින් අමිල සසුන් මෙහෙයක යෙදෙමින් වැඩ සිටින්නා වූ අතිපූජ්ය මහෝපාධ්යාය මාතර ශ්රී ඤාණාරාමාභිධාන මහා ස්වාමීන්ද්රයාණන් වහන්සේ ද අතිපූජ්ය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශාභිධාන මහා ස්වාමීන්ද්රයන් වහන්සේ ද නිදුක්ව නිරෝගීව සුවපත්ව ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැජඹෙමින් බුදු සසුන තවදුරටත් රැක දෙත්වා! ස්වකීය සකල ධර්ම ප්රාර්ථනාවන් ඒකාන්තයෙන් ම සමෘද්ධිමත් කර ගනිත්වා!