අභිධර්මප්රදීපිකා විභඞ්ග අටුවා සන්නය - මේධානන්ද හිමි.pdf
- කතෘ :
- මොරටුවේ මේධානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 2017
- මුද්‍රිත වර්ෂය :
- 2017
- පිටු ගණන :
- 2,314
- බාගත කිරීම් ගණන :
- 2,194
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-02-14
- ගොනුවේ ප්‍රමාණය :
- 280 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විභඞ්ග අටුවා සන්නය යනු අභිධර්ම පිටකයේ දෙවන ග්‍රන්ථය වන විභංගප්පකරණයේ අට්ඨකථාව (සම්මෝහවිනෝදනී) අලළා පූජ්‍ය මොරටුවේ මේධානන්ද මාහිමියන් විසින් සම්පාදිත විස්තරාත්මක සිංහල සන්න ග්රන්ථයකි.
නාඋයන ආරණ්‍ය සේනාසනයේ හීනටිගල පඤ්ඤාරාම ස්ථවිරයන් වහන්සේගේ මූලිකත්වයෙන් හා සංස්කාරකත්වයෙන්, දිරාපත්ව තිබූ පැරණි මුද්‍රණ සොයාගෙන ශුද්ධි පත්‍ර සකසා පරිශීලනයේ පහසුව පිණිස 2017 වසරේදී මෙය නැවත සංස්කරණය කොට ඩිජිටල්කරණය කර මුද්‍රණය කරවා ඇත.
පොත ගැන වචනයක්...
බුද්ධවචනය මැනවින් තේරුම් ගැනීමට නම් පාළි දැනුම අත්‍යාවශ්‍යය. පාළි දැනුම තිබූ පමණින් දහම තේරුම් ගැනීමද දුෂ්කරය. සමහර දහම් කරුණු ආචාර්ය පරම්පරාවෙන්ම උගත යුතුය. අටුවාචාරීන් වහන්සේලාද ආචාර්ය මත පෙන්වා දෙන්නේ, පාළි භාෂාව නොදන්නා නිසා නොව ආචාර්ය මතයද ගරු කොට ගතයුතු නිසාවෙනි.
පාළි භාෂාව පිළිබඳ විශිෂ්ඨ දැනුමත් මියන්මාරය-ලංකාව ආදී රටවල ආචාර්යවරුන් ඇසුරු කොට ගත් අවබෝධයත් ඇතිව වැඩසිටි මොරටුවේ මේධානන්ද මාහිමියන් විසින් ලියන ලද සන්නයක් වූ මේ විභංඟ අටුවා සන්නය දැනට අප දන්නා තරමින් ලංකාවේ ඇති එකම සම්පූර්ණ අටුවා සන්නය වේ. පුරාණයේ ලංකාවේ වැඩ සිටි මහා තෙරවරුන් විසින් ත්‍රිපිටක පෙළ අටුවා වලට සන්න ලියා ඇති බව බොහෝ කරුණු වලින් පෙනෙතත් දැනට අපට ලැබුණු අටුවා සන්න අතුරින් සිංහල භාෂාවෙන් ඇති එකම සම්පූර්ණ අටුවා සන්නය මේ විභංඟ අටුවා සන්නයයි. මියන්මාරයේ බුරුම භාෂාවෙන් බොහෝ සන්න ඇති බව කියනු ලැබේ. සිංහල භාෂාව පමණක් දන්න අයට එයින් ප්‍රයෝජන ගත හැක්කේ සිංහල භාෂාවට ඒවා නැගූ කලෙකය.
පැරණි පොත පත පිළිබඳ උත්සාහවත් වන සහ පිරිසක් වැඩ සිටීම බුද්ධ සාසනයට විශාල උපකාරයකි. විනාශ වී යන පැරණි පොත පත සොයා ඒවා නැවත සකස් කරමින් මතුවට සුරකීම පිණිස, බොහෝ පැරණි පොත පත සකස් කරමින් සිටින විට මේ විභංඟ අටුවා සන්නය පළමු කොටස හා දෙවන කොටස එකට බැඳි පැරණි පොතක් නා උයන ආරණ්‍ය සෙනසුන් පුස්තකාලයේ තිබී සොයාගත් අතර, එම පොතේ පිටු පෙරලන්නවත් බැරි තරමට දිරාපත්වී තිබුනේය.
බොහෝ දහම් කරුණු බෙදා පෙන්වන අර්ථ වශයෙන් ඉතා ගැඹුරු මෙවන් සිංහල අටුවා සන්නයක් විනාශ වීම ගැන ඇති වූ සංවේගයෙන් එය ස්කෑන් කොට සකසා මුද්‍රණයට පැමිණවීමට සිතා පරෙස්සමින් ශුද්ධි පත්‍රය ද සකසා ස්කෑන් කලෙමු.
බොහෝ දහම් කරුණු බෙදා පෙන්වන අර්ථ වශයෙන් ඉතා ගැඹුරු මෙවන් සිංහල අටුවා සන්නයක් විනාශ වීම ගැන ඇති වූ සංවේගයෙන් එය ස්කෑන් කොට සකසා මුද්‍රණයට පැමිණවීමට සිතා පරෙස්සමින් ශුද්ධි පත්‍රය ද සකසා ස්කෑන් කලෙමු.
සංඝයා වහන්සේලාට බොහෝ උපකාරවත් මහතෙකු වූ මොරටුවේ සොයිසා මහතාට දිනක් අභිධර්ම ප්‍රකාශය පොත ගැන කියා එය සොයා ගත හැකිනම් මැනවැයි කීවෙමු. ඒ මහතා මහත් කැපවීමෙන් මොරටුව ප්‍රදේශයේ බොහෝ පැරණි පන්සල් වලට ගොස් පැරණි පුස්තකාල පරීක්ෂා කළ ද ඒ පොත සොයාගත නොහැකි විය. ඒ මහතා වරින් වර නොයෙක් වටිනා පොත පත අපට ගෙනැවිත් දුන්නේය. පැරණි පුස්තකාල වල විනාශ වී යන පොත පත ගැන කිසි හැඟීමක් එහි වෙසෙන අයට නැත, ඔබ වහන්සේලා මේවායින් ප්රයෝජනගනු මැනවි යැයි පැරණි පොත් එම විහාර වලින් ගෙන ඒ මහතාගේ මුදලින් ඒවා ස්කෑන් කොට නව පිටපත් සාදා අපට පූජා කළේය. ඒ අතර තිබී විභංඟ අටුවා සන්නයේ තුන් වැනි කොටස හා සතර වැනි කොටස අපට ලැබිණ. ඒ අනුව මුළු විභංඟ අටුවා සන්නයම කොටස් හතරකට මුද්‍රණය වී තිබූ බව දැන ගතිමි.
මෙලෙස අපට උරුම වූ විභංඟ අටුවා සන්නය සම්පූර්ණයෙන්ම ස්කෑන් කලෙමු. ශුද්ධි පත්‍රය ද සැකසුවෙමු. සම්පූර්ණ පොත පිටු 2154 කි. මුලින් කොටස් හතරකට මුද්‍රණය වී තිබූ විභංඟ අටුවා සන්නය පරිශීලනයේ පහසුව පිණිස කොටස් පහකට මුද්‍රණය කරන්නට අදහස් කොට පළමු කාණ්ඩයේ පටිච්ච සමුප්පාද විභංගය පමණක් ගෙන එය වෙනම පොතක් ලෙස සකසා ඇත. එවිට එය දෙවන කාණ්ඩය ලෙස මුද්‍රණය කරවන්නෙමු. එවිට අප විසින් සැකසූ විභංඟ අටුවා සන්නය කොටස් පහක් වන අතර මුල් පිටපත් වල කිසිවක් වෙනස් නොකොට ශුද්ධිපත්‍රය පමණක් සකසා ඇත.
මෙසේ විනාශ වන්නට ගිය අටුවා සන්නයක් නැවත මුද්‍රණය කරමින් රැකගන්නට ලැබීම ලංකා සාසනයටත් මතු සහ පරපුරටත් මහත් ලාභයක් වනු නොඅනුමානය. ග්රන්ථ තත්වය ගැන යමක් නොකියන්නේ මුලින් එය සම්පාදනය කළ හා සංස්කරණය, මුද්‍රණය කළ පිංවතුන් විසින් සටහන් තබා ඇති නිසාය.
මේ සත් කාර්යයෙහි ලා උපකාර වූ බොහෝ පිරිසක් ඇත. ඒ අතරින් සාසන අනුග්‍රහයෙන් ධර්ම ගරුත්වයෙන් දින ගණනාවක් අලුයම දෙක තුන වන තුරු නිදි වරාගෙන මේ පොතේ ශුද්ධිපත්‍රය ද සකසමින් පිටුවෙන් පිටුව ස්කෑන් කළ පත්තිනිගම සුගතවංස ආයුෂ්මතුන් වහන්සේත්, රන්පොකුණුගම ජිනසිරි ආයුෂ්මතුනුත්, එසේ පිටුවෙන් පිටුව ගලවා ස්කෑන් කළ පොත් නැවත තිබූ අයුරින් බඳිමින් බොහෝ උපකාර වන හබරකඩ සන්තසුමන ආයුෂ්මතුන් වහන්සේත්, අභිධර්ම පිටකය හා අටුවා පිළිබඳ මතවාද විමසුමක් යන මැයෙන් වටිනා ලිපියක් සපයා දෙමින්ද පැරණි පොත්වල අගය කියාදෙමින් ඒවා PDF පොත් ලෙස සකසමින් පැරණි පොත පතද සොයා දෙමින් බොහෝ උපකාර වන දිද්දෙණියේ අරියදස්සන ආයුෂ්මතුන් වහන්සේත්, කරුණු විමසමින් අපව උනන්දු කරවන පැලෑඳ තිලෝකානන්ද ආයුෂ්මතුන් වහන්සේත්, සකසන පොත් කැපසරුප් ලෙස සුදුසු අය ලවා මුද්‍රණය කොට අපේ දහම් දැනුම නගා සිටුවන්නට වෙහෙසෙන කිරිවත්තේ තේජානන්ද ආයුෂ්මතුන් වහන්සේත් මෙම පොත් ලබාදුන් සියලු හිමිවරුනුත් යන නම් සඳහන් කළ නොකළ සියලු උපකාරක සත්පුරුෂයනට මේ පින ඉක්මනින්ම ධර්මාවබෝධය පිණිසම හේතු වේවා.
මෙවන් අති විශාල ග්රන්ථයක් සැකසුව ද මුද්‍රණය කිරීම ලෙහෙසි වැඩක් නොවන්නේ මුද්‍රණය සඳහා ඉදිරිපත් වන අය අඩු නිසාවෙනි. ධර්මය පුරුදු කරමින්, අන් අයට ද ධර්මය කියා දෙමින් පැවිදි ගුණදම් පුරණ ඇරුපෝරුවේ දමිත ආයුෂ්මතුන් වහන්සේ මේ සත් කාර්යයට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වී දහම්සොඬ ධර්ම මණ්ඩපයේ ධර්මකාමී පිරිසගේ උපකාරයෙන් මේ පොත මෙසේ මුද්‍රණය කරන්නට ඉදිරිපත් වීම ඉතා වටිනා සාසනික සේවාවකි. පූජ්‍ය ඇරුපෝරුවේ දමිත ආයුෂ්මතුන් වහන්සේ ප්‍රධාන දහම්සොඬ ධර්ම මණ්ඩපයේ සියළු දෙනාට එකම ධර්ම මණ්ඩපයකදීම නිවන් අවබෝධ වේවායි පතමි.
මෙසේ මෙවැනි වටිනා පොතක් සම්පාදනය කොට තබා අපවත් වී වදාළ මොරටුවේ මේධානන්ද මහා ස්වාමින් වහන්සේටත්, සංස්කරණ කටයුතු වලින් සහය වී තිබෙන කහදාමුවදොර චන්ද්‍රකීර්ති ශ්‍රී පියරතන මහා ස්වාමින් වහන්සේටත්, එකළ විශාල වියදමක් දරා මේ පොත මුද්‍රණයට පැමිණවූ රංජන් නිවසේ ප්‍රනාන්දු මහතාටත් අප රැස්කළ කුසලය නිවන් පිණිසම හේතු වේවා.
අපගේ ආචාර්ය උපාධ්යායෝත්තමයානන් වහන්සේලා වන අති පූජනීය මාතර ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ, අති පූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමිපාණන් වහන්සේ, අති පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සියළු උතුමන් වහන්සේලාට මේ පින පතන උතුම් අධිගම ඤාණයන්ගෙන් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා.
චිරං තිට්ඨතු සද්ධම්මෝ!!!
සම්බුද්ධසාසනවරස්ථිතිකාමී,
හීනටිගල පඤ්ඤාරාම ස්ථවිර,
නාඋයන අරණ්‍ය සේනාසනය,
පන්සියගම.
2017-12-03 උඳුවප් පෝය දින.
අභිධර්ම පිටකය හා අටුවා පිළිබඳ මතවාද විමසුමක්
අභිධර්ම පිටකය
අභිධර්ම පිටකය පිළිබඳ දීර්ඝ විස්තරයක් මෙම පොතේ “සප්තප්‍රකරණ තත්ව ඥාපනය” යන මාතෘකාව යටතේ අති පූජනීය මොරටුවේ මේධානන්ද මහා ස්වාමින් වහන්සේ විසින්ම දක්වා ඇති බැවින් ඒ පිළිබඳ වැඩියමක් පැවසීම අනවශ්‍යය. නමුත් දැනුදු ඇතැම් පිරිස් “අභිධර්මය බුද්ධදේශනාවක් නොවේ” යන වැරදි මතය සමාජගත කිරීමට උත්සාහ දරන බැවින් ධර්මානුකූලව කරුණු විමසා බලන නුවණැත්තන්ගේ යහපත උදෙසා ඊට කරුණු කීපයක් එක් කිරීමට අදහස් කළෙමු...