නවනීත ටීකා.pdf

කතෘ :
ධම්මානන්ද කොසම්බි
ප්‍රකාශිත වර්ෂය :
1962
මුද්‍රිත වර්ෂය :
1962
පිටු ගණන :
204
බාගත කිරීම් ගණන :
1,604
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-02-14
ගොනුවේ ප්‍රමාණය :
27 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 103

අභිධම්මත්ථසඞ්ගහො තස්ස ච නවනීතටීකා යනු භදන්ත අනුරුද්ධාචාර්යයන් වහන්සේ විසින් රචිත සුප්‍රකට අභිධර්මාර්ථ සංග්‍රහයට, භාරතීය මහා පඬිවර ධර්මානන්ද කෝසම්බි තුමන් විසින් පාලි භාෂාවෙන් සම්පාදිත ප්‍රකට ‘නවනීත ටීකාව’ ඇතුළත් කෘතියයි.

මීට පෙර නාගරී අක්ෂරයෙන් පමණක් මුද්‍රණය වී තිබූ මෙම අගනා අභිධර්ම ටීකා ග්‍රන්ථය, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ ප්‍රස්තාවනාවක් සහිතව, කොළඹ මංගල විද්‍යාලයාධිපති ශාස්ත්‍රවේදී උදම්මිට ධම්මජෝති හිමියන් විසින් සිංහල අක්ෂරයට නගා සංස්කරණය කර ඇත.

කෝසම්බි පඬිතුමන්ගේ ජීවිත තොරතුරු ඇතුළත් දීර්ඝ හැඳින්වීමක් සහ උන්වහන්සේගේ සංඥාපනය ද මෙහි ඇතුළත් වන අතර, අභිධර්මය ප්‍රථමයෙන් හදාරන ආධුනිකයන්ට මෙන්ම පාලි හා අභිධර්ම විභාග හදාරන විද්‍යාර්ථීන්ට ඉමහත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. මෙම සංස්කරණය 1962 වර්ෂයේදී කොළඹ මංගල ට්‍රේඩර්ස් මඟින් ප්‍රකාශයට පත් කොට මංගල මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ඇත.

ප්‍රස්තාවනා

බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදී වූ සේක. උන්වහන්සේ විසින් සුදේශිත සද්ධර්මය මුලින්ම සම්මුති පරමත්ථ යයි දෙයාකාරයකින් විභජනයෙය. ගස්, ගල්, සත්ත්ව, පුද්ගල ආදී වශයෙන් ලෝකව්‍යවහාරය නොඉක්ම කළ දේශනා සම්මුතිය. පරමාර්ථයන්ගේ විස්තර විභාග ක්‍රමබද්ධව ඇත්තේ අභිධර්මපිටකයෙහිය. සම්මුතිය දැනුවද අභිධර්මය මැනවින් නොදැන ධර්මයේ පරමාර්ථයන් පිරිසිඳ නොදත හැකිය.

මේ නයින් පසක්කළ පොරාණාචාර්‍ය්‍යවරයෝ මුලින් ම අභිධර්මපිටකයට බැසගන්නා අභිධර්මාභිලාෂීන් සඳහා සරල සුගම මං සෙවූහ. එහි සුමධුර ප්‍රතිඵලය වූයේ ‘සංගහ’ නමින් හැඳින්වෙන අත්පොත් බිහිවන්නට වීමය.

මහානාම රජුන් දවස (ක්‍රි: ව: 412–434) ලක්දිව පැමිණ ත්‍රිපිටකයට අටුවා ලී බුද්ධඝොෂ හිමියන්ගේ සමකාලිකයකු වූ චෝළදේශයේ උරගපුර බුද්ධදත්ත හිමියන්ගේ අභිධම්මාවතාරය1 ඒ ගණයේ ප්‍රථම කෘතිය විය හැකියි. විනයවිනිශ්චයේ ද රචකයාණන් වූ උන්වහන්සේ විසින් රූපාරූපවිභාග2 නම් එබඳුම තවත් ග්‍රන්ථයක් ලියා ඇත. එකොළොස් වන සියවස තරමේ දී අභිධර්මයේ ආධුනිකයන්ට සුරගුරු වූවෝ අනුරුද්ධ හිමියෝ ය. උන්වහන්සේ ලක්දිව මූලසෝම විහාරයේ වැඩවෙසෙද්දී නම්බ නම් උපාසකතුමන්ගේ ආරාධනයෙන් අභිධම්මත්ථ සංගහය කළ බව එහි අවසන්හි එන ගාථાયුග්මය පවසයි. උන්වහන්සේ නාමරූපපරිච්ඡේදය ලියන්නට ඇත්තේත් මූලසෝම විහාරයේ වැඩවෙසෙන සමයේම විය හැකියි. මුන්වහන්සේ ලාංකික තෙරවරයෙකැයි බුරුම බෞද්ධයන් අතර ඇති විශ්වාසය මූලසෝම විහාරයේ වැඩවිසීම උඩ ගොඩනැගුණකි. එහෙත් අනුරුද්ධ හිමි කාඤ්චිපුර (කොන්ජීවරම්) කාවේරී පටුන්හි උපන්නෙකි. ඒ බව උන්වහන්සේ කාඤ්චිපුර වැඩවෙසෙද්දී කළ පරමත්ථවිනිච්ඡයේ ග්‍රන්ථානිගමනය පැහැදිලිව පවසයි.

අභිධම්මත්ථසංගහය අභිධර්මාධුනිකයන්ගේ ‘පළමුවන පාඩම් පොත’ ලෙස ලංකාවේ මෙන්ම බුරුමයේ ත් භාවිතයට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙරටේ ම එය පහසුවෙන් ඉගෙනීමට උපයෝගී නොයෙක් ටීකා හා සන්න පහළවන්නට විය.1

ඒ පරිවාර ග්‍රන්ථ අතර මහාපරාක්‍රමබාහු සමයෙහි (1152–1186) තත්කාලීනශාසනසංශෝධනයෙහි මුල්තැන් ගත් දිඹුලාගල කාශ්‍යප මාහිමියන් විසින් සම්පාදිතයැයි සැලකෙන අභිධම්මත්ථසංගහ පුරාණටීකාවත් ශාරීපුත්‍ර සංඝරාජයන් විසින් ලියූ සිංහල සන්නයත්1 ඒ සන්නය අනුව යෙමින් උන්වහන්සේගේ ශිෂ්‍ය සුමංගල හිමියන් සම්පාදිත අභිධම්මත්ථවිභාවිනී ටීකාවත් ආභිධම්මිකයන් අතර අතිශයින් සම්භාවිතය.

විසිවන ශතවර්ෂයෙහි අභිධම්මත්ථසංගහයට නොයෙක් භාෂාවන්ගෙන් ලියැවුණු පරිවාර ග්‍රන්ථ රාශියෙකි. ථෙරවාද බෞද්ධ ධර්මයේ විශාරදයකු වූ ස්වර්ගීය ධර්මානන්ද කොසම්බි පඬිතුමා විසින් පාලිභාෂාවෙන් ලියූ නවනීතටීකාව ඉන් අග්‍රගන්‍යය.

මෙතෙක් කල් නාගරී අකුරින් පමණක් මුද්‍රිතව පැවැති මේ අමූල්‍ය ග්‍රන්ථරත්නය සිංහල අකුරින් මුද්‍රණය වූ ප්‍රථම වාරය මෙය වේ.

බී. ඒ. (ලන්ඩන්) ගෞරවෝපාධිධාරී කොළඹ මංගල විද්‍යාලයාධිපති උදම්මිට ධම්මජෝති ස්ථවිරයන් වහන්සේ කෘතහස්ත අනුවාදකයාණ කෙනෙකි; පළපුරුදු ලේඛකයෙකි.2 නවනීත ටීකාව සම්පාදනය වී ඇත්තේ උන්වහන්සේ අතිනි. සම්පාදනාභාෂය මැනවින් තේරී ඇත. පාලිසාහිත්‍යයට හා බෞද්ධගණිතයටත් කර ඇති මේ අනුපද්‍රව සේවයට සකල ශිෂ්ට ලෝකයම ධම්මජෝති ස්ථවිරයන් වහන්සේට කෘතඥ වනු ඇත.

හම්මලව සද්ධාතිස්ස
2501/1962 වෙසක්පුරපසළොස්වක් දින
කෙන්සිංටන් උද්‍යානයේ ලන්ඩන් බෞද්ධ විහාරයේදීය.

හැඳින්වීම.

ධර්මානන්ද කොසම්බි තුමා මෙලොව එළිය දුටුවේ 1876 යේ ඔක්තෝබර් මස 9 වැනි දින ඉන්දියාවේ ගෝවා නැමැති ප්‍රාන්තයේ සස්සතී දිස්ත්‍රික්කයේ සබවල් නමැති ග්‍රාමයේදීය. එතුමාගේ අධ්‍යාපනය ප්‍රාථමික පාඨශාලා අධ්‍යාපනයට සීමාවිය. කුඩා කල සිටම එතුමා ධර්මයට ලැදි කමක් දැක්වූයේය. මරාඨි පත්‍රයක පළ වූ බුද්ධ ධර්මය පිළිබඳ ලිපියක් කියවීමෙන් පසු බුද්ධ ධර්මය කෙරෙහි එතුමා තුළ විශේෂ රුචියක් ඇතිවිය. ස්වාධ්‍යායනයෙන් එතුමා සිය බුද්ධධර්මඥානය දියුණු කර ගත්තේය.

බුද්ධ ධර්මය පිළිබඳ තමාගේ දැනීම දියුණු කර ගැනීමට සංස්කෘත භාෂාඥානය අවශ්‍ය යයි කල්පනා කළ කොසම්බි තුමා 1899 දී ගේදොර අත්හැර පූනා නගරයට ගියේය. පූනා නුවර කලක් ඉගෙනීම කර ඉන් පසු බරණැසට ගිය එතුමා දෙතන්හි ම හුදෙක් මහාජනාධාරයෙන් රැකෙමින් සංස්කෘත ඉගෙනීම කළේය. 1902 දී එතුමා මිත්‍රයකු සමඟ නේපාලයට ගියේය. නේපාලයට යෑමේ පරමාර්‍ථය වූයේ එහිදී බෞද්ධ පණ්ඩිතයන් මුණ ගැසී බුද්ධ ධර්මය ඉගෙනීමය. එහෙත් නේපාලයේ දී එතුමාට එකම බෞද්ධ පඬිවරයකු වත් භික්ෂුවක් වත් හමු නො වී ය. නේපාලයෙන් ආපසු පැමිණීමෙන් පසු එතුමා බුද්ධගයාවට ගියේය. බුද්ධගයාවේදී එතුමාට චන්ද්‍රජෝති මහාස්ථවිරපාදයන් වහන්සේ හමුවිය. කොසම්බි තුමා තුළ බුද්ධාගම ඉගෙනීමට ඇති බලවත් ආශාව දැනගත් උන්වහන්සේ එතුමාට ලංකාවට යාමට යෝජනා කළහ. එහෙයින් එතුමා උන්වහන්සේගේ යෝජනාව පරිදි කල්කටාවේ මහාබෝධි සමාගමේ උපකාර ඇතිව 1902 දී කොළඹට පැමිණියේය.

එතුමා කොළඹ විද්‍යෝදය පිරිවෙනට ගොස් හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන් වහන්සේගෙන් පාලි ඉගෙනීම ආරම්භ කළේය. සංස්කෘත භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබුණ නිසා එතුමාට පාලි ඉගෙනීම ඉතා පහසු විය. දස මාසයකින් පසු කොසම්බි තුමා සාමණේර භූමියට ඇතුළත් විය. උන්වහන්සේට ලංකාවේ කෑම හිතකර නොවූ නිසා උන්වහන්සේ ඉන්දියාව බලා පිටත් වූහ. මදුරාසියට පැමිණෙත්ම උන්වහන්සේ අත තුබූ මුදල් අවසාන විය. එහිදී බුරුමය බලායන ශිෂ්‍ය පිරිසක් හමුවී ඔවුන් සමග ඔවුන්ගේ වියදමින් උන්වහන්සේ බුරුමය බලා පිටත් වූහ.

බුරුමයේ මෝල්මින් නගරයේ එක්තරා විහාරයකදී උන්වහන්සේ උපසම්පදාව ලබා ගත්සේක. බුරුමයේදී ද ආහාර හිතකර නොවූ නිසා උන්වහන්සේ 1904 දී භාරතයට ආපසු පැමිණියහ. ඉන්පසු උන්වහන්සේ වශී දෙකක් පිණ්ඩපාතයෙන් ජීවත් වෙමින් භාරතයේ නොයෙක් පලාත්වල චාරිකාවෙහි හැසුරුණහ. ඉන්පසු උන්වහන්සේ නැවත බුරුමයට වැඩම කර භාවනා පුරුදු කිරීමෙහි යෙදුණහ. ටික කලකට පසු නැවත උන්වහන්සේ භාරතයට ආපසු පැමිණීමට නිශ්චය කරගත්හ. එහෙත් එකල භාරතයෙහි භික්ෂු ජීවිතය ගතකිරීම අපහසු නිසා ගිහිජීවිතයට පැමිණීමට ද ඉටා ගත්හ.

1906 යේ ජනවාරි මාසයේ දී කෝසම්බිතුමා කල්කටාවට පැමිණියේය. එහිදී එතුමාට කල්කටා ප්‍රසිඩෙන්සි විද්‍යාලයේ පාලි මහාචාර්ය්‍ය, හරිනාථ දේ මහතා හමුවිය. සරත්චන්ද්‍ර දාස් මහතා පාලි විෂයයෙන් ඇම්. ඒ. උපාධිය සඳහා සූදානම් වෙමින් සිටියේය. එතුමාට විභාගය සඳහා අභිධර්මය පිළිබඳ පොතක් ඉගෙනීමට අවශ්‍යවිය. මේ කාලයේදී කෝසම්බි තුමා කල්කටා ජාතික විද්‍යාලයේ පාලි ඉගැන්වීමේ යෙදී සිටියේය. ඉන්පසු එතුමා මහාචාර්ය්‍ය දේ මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි මහාචාර්ය්‍ය තනතුරට පත්විය.

1910 දී එතුමා විසුද්ධිමාර්ගය සම්පාදනය කිරීමට හාර්වඩ් විශ්වවිද්‍යාලයෙන් ආරාධනා ලැබ එංගලන්තය හරහා ඇමෙරිකාවට ගියේය. ඇමෙරිකාවේ සිට ආපසු පැමිණීමෙන් පසු එතුමා ඉන්දියානු නිදහස් සටනට සහභාගි විය. පසුව බෞද්ධ කල්‍යාණමිත්‍ර බිර්ලා සිටුතුමා කෝසම්බිතුමාට බොම්බායේ විහාරයක් තනවා දුන්නේය. ටික කලකට පසු කෝසම්බි තුමා එම විහාරය ඉන්දියා මහාබෝධි සමාගමට භාරදී අවසාන කාලය ඉසිපතනයේ ගත කිරීම සඳහා 1940 දී පමණ බරණැසට පැමිණියේය. එහිදී කෝසම්බි තුමාගෙන් අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙනීමේ භාග්‍යය මට අත්විය. එතුමා නවනීතටීකාව පිළියෙල කළේද ඒ කාලයේදීම ය. නාගර අකුරෙන් මුද්‍රිත එය සිංහල අකුරෙන් මුද්‍රණය කරවන ලෙස ඒ දිනවලම එතුමා මගෙන් ඉල්ලීමක් කෙළේය. එකල ඉසිපතනයේ විසූ සිංහල හොඳින් දත් නේපාල ජාතික මහානාම හිමියන් ලවා සම්පූර්ණ පොත සිංහල අකුරෙන් ලියැවීමි. එහෙත් එකල මම දඹදිව විසූ නිසා පොත මුද්‍රණය කිරීමට අවස්ථාවක් නො ලදිමි. පසුගිය අවුරුද්දේ දිනක අල්මාරියක පොත් පරීක්‍ෂා කිරීමේදී මහානාම හිමියන් විසින් ලියන ලද නවනීතටීකාව සහිත සම්පූර්ණ අභිධර්මාර්ථ සංග්‍රහය ඇතුළත් කොපි පොත් තුනෙන් දෙකක් සොයාගතිමි. පළමුවැනි පොත සොයා ගැනීමට නොහැකි විය. එහෙයින් එම කොටස නැවත මම පිළියෙල කෙළෙමි.

සිංහල අනුවාදයක් සමග මෙම පොත පළ කරවීම මගේ බලාපොරොත්තුව විය. එහෙත් හැකි තාක් ඉක්මනින් මෙම පොත ලංකාවේ පාඨකයන් අතට පත් කිරීමට මා තුළ බලවත් අභිලාෂයක් තිබුණ නිසා අනුවාදය පළ කිරීම පසුවට කල් තැබුවෙමි. හැකිතාක් ඉක්මණින් මීලඟ මුද්‍රණය සිංහල අනුවාදයකුත් සමග පළකිරීමට බලාපොරොත්තු වෙමි. සිංහල අකුරෙන් මුද්‍රිත පාලි සාහිත්‍යයට තවත් පොතක් එක් කිරීමට ලැබීම බලවත් ප්‍රීතියකි. එසේම අභිධර්මය ඉගෙනීමේ යෙදී සිටින අයට මෙම පොත ඉතා ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.

මුද්‍රණකරුවන්ගේ පහසුව සඳහා ඇතැම් තැන්වල සංයුක්තාක්ෂර වෙනුවට හල් අකුරු යොදා තිබේ. මෙම පොත මුද්‍රණය වූයේ ඉතාම අවිවේක සමයක නිසා මෙහි අச்சுවැරදි බැලීමේදී බොහෝ අඩුපාඩු ඇති වී තිබේ. එනිසා පොතේ අගට ශුද්ධි පත්‍රයක් යෙදීමි.

නාගරී අකුරෙන් මුද්‍රිත පොත පළ කරවන ලද්දේ ඉන්දියා මහාබෝධි සමාගම මගිනි. එමනිසා ඉන්දියා මහාබෝධි සමාගමේ ප්‍රධාන සම්පාදක දෙවප්‍රිය වලීසිංහ මහතාට ලියා යවා සිංහල පිටපත මුද්‍රණය කිරීමේ බලය පළමුව ලබාගෙන පොත මුද්‍රණයට භාර දුනිමි.

මෙය සිංහල පාඨකයන් අතට පත් කිරීමට අවසර දීම ගැන පළමුකොටම ඉන්දියා මහාබෝධි සමාගමේ ප්‍රධාන සම්පාදක දෙවප්‍රිය වලීසිංහ මහතාට කෘතඥතාව පළ කරනු කැමැත්තෙමි. එසේම මේ පොත සිංහල අකුරෙන් ලියාදුන් මහානාම හිමියනට මගේ කෘතඥතාව හිමිවේ. මේ ධර්මදානමය කුශලයෙන් ලත් පුණ්‍ය සම්භාරය සියලුම සම්‍යක් දෘෂ්ටික දෙව සමූහයා අනුමෝදන්ව බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා! එසේ ම මා ඇතුළු විශාල පිරිසකට නැණැස පාදා ගැනීමට මහෝපකාරී වූ මගේ ගුරුදේවයන් වූ ශ්‍රී දේවමිත්ත ධම්මපාල බුද්ධාධිකුරෝත්තමයාණන් වහන්සේට ද, මාගේ ආචාර්‍ය්‍ය උපාධ්‍යායන් වහන්සේලාට ද පරලෝ සැපත් මව් පියන් ඇතුළු වැඩිමහළු සොහොයුරාට ද, මට ද, මෙයට සහාය දුන් නුදුන් සියලු දෙනාට ද නිවන් සුව ලබාගැනීමට මේ ධර්මදානමය කුශල කර්මය හේතු වේවා!

උදම්මිට ධම්මජොති., මංගල විද්‍යාලය, 177, ඩීන්ස් පාර, මරදාන–කොළඹ., 9-6-62.

සංඥාපනය.

අභිධර්ම පිටකය ඉගෙනීම සඳහා අභිධර්මාර්ථ සංග්‍රහය නමැති කුඩා පොත අත්‍යාවශ්‍යක බව පාලි ඉගෙනීම ගැන උනන්දුව දක්වන කවුරුත් දන්නා කරුණකි. මම කොළඹ විද්‍යෝදය විද්‍යාලයෙහි පාලි ඉගැන්මෙහි යෙදී සිටියදී මේ බව දැන ගතිමි. මම දේවමිත්ත මහාස්ථවිරයන් වහන්සේගේ අභිධර්මාර්ථ සංග්‍රහ සංස්කරණය ගෙන එය තේරුම් ගැනීමට උත්සාහ කෙළෙමි. එහෙත් එය එකල අපහසු කරුණක් විය.

ඒ කාලයෙහිදීම මට බෞද්ධ සමාධිය පිළිබඳව දැනීමක් ඇතිකර ගැනීමට අවශ්‍ය විය. පියරතන නමැති තරුණ භික්ෂූන්වහන්සේ නමක් බුරුම අකුරෙන් මුද්‍රිත විසුද්ධිමාර්ගයක් මට දී සමාධිය පිළිබඳ සියල්ල එහි ඇතැයි කීහ. මම බුරුම අකුරු උගෙනුමෙන් පසු එම පොත කියවීමෙහි සමර්ථවීමි. මුලදී එය තේරුම් ගැනීමට නොහැකි විය. එහෙත් මම උත්සාහය අත් නොහැරෙමි පොත නැවත නැවත කියවීම නිසා ක්‍රමක්‍රමයෙන් තේරුම් ගැනීමටත් රසවිඳීමටත් හැකි විය.

1904 රේ දෙසැම්බර් මාසයේ දී මම දෙවැනි වරට බුරුමයට ගොස් සගයින් කඳුකරයෙහි සිව් මසක් පමණ විසීමි. එහිදී මම සමාධි භාවනාව පුරුදු කරමින් විසුද්ධිමාර්ගය ඉගෙන ගතිමි. 1905 හේ ග්‍රීෂ්ම ඍතුවෙහි දී සගයින් කඳුකරයෙහි පිරිසුදු ජලයත් ආහාරත් සොයා ගැනීම ඉතා අපහසු විය. එම නිසා මට මණ්ඩලේ නුවරට පැමිණීමට සිදුවිය. එහි ද දෙශගුණය හා ආහාර මට හිතකර නො විය. මා ජවර රෝගයෙන් පෙළෙමින් ඉතා දුර්වලව සිටිනිසා මෝල්මින් නුවරට පැමිණ වස්සාන කාලය වෙජ්ජයන්ති විහාරයෙහි ගත කෙළෙමි.

මේ විහාරයට ආසන්නව (නම මට අමතක වී තිබෙන) තවත් විහාරයක් විය. එහි අධිපති පදවිය දැරූයේ ගරු පඤ්ඤාසාමි ස්ථවිර පාදයන් වහන්සේ ය. උන්වහන්සේට මගෙන් මුග්ධබෝධ ව්‍යාකරණය ඉගෙනීමට ඕනෑ විය. එම නිසා වස් අවසානයෙහි දී මට එහි නැවතීමට උන්වහන්සේ ආරාධනය කළහ. මා ව්‍යාකරණය උන්වහන්සේට උගන්වන අතර උන්වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙනීමට මට බල කළහ. එය මට අවබෝධ කරවිය හැකි බව උන්වහන්සේ කීහ. මාගේ සාමාර්ථ්‍යය ගැන මා තුළ සැක පහළ වූ නමුත් උන්වහන්සේ සතුටු කිරීම සඳහා මම එය උන්වහන්සේගෙන් ඉගෙනීම ආරම්භ කෙළෙමි. උන්වහන්සේ පඤ්චද්වාර වීථි ප්‍රමුඛ කොට ඉගැන්වීම ආරම්භ කළහ. එය මේ ටීකාවෙහි උන්වහන්සේ තේරුම් කරදුන් අයුරුම යොදා තිබේ. වෙනසක් වශයෙන් මා කෙළේ අභිධර්මයෙහි සඳහන් පර්යාය වචන යෙදීම පමණකි.

බුද්ධඝෝෂාචාර්‍ය්‍යයන් වහන්සේ මේ වීථි විසුද්ධිමාර්ගයෙහි පස්වු වැනි පරිච්ඡේදයෙහි ම පැහැදිලි කරති. එහෙත් එය එකල මට වැටහී තිබුණේ නැත. එසේම මා විසුද්ධිමාර්ගය, විශේෂයෙන් එහි දූහතර වැනි පරිච්ඡේදය කියවා නොතිබුණා නම් පඤ්ඤාසාමි ස්ථවිර පාදයන් වහන්සේ ගේ පැහැදිලි දේශනාවෙන් පවා එතරම් ප්‍රයෝජන නොවන්නට ඇත. වීථියට අනතුරුව උන්වහන්සේ මට අභිධර්මාර්ථ සංග්‍රහයෙහි තුන්වැනි පරිච්ඡේදය ඉගැන් වූ සේක. ඒ කාලයෙහි දී මම මෝල්මින් නගරය අතහැර ගියෙමි. එහෙත් එතැන් පටන් මේ කුඩා පොත ගැන මගේ උනන්දුව අඩු නො විය. මා මේ විස්තරය කළේ අනුරුද්ධාචාර්‍ය්‍යයන් ගේ මේ මහාර්ඝ කෘතිය වටහා ගැනීමේදී ඇති වූ මූලික අපහසු කම් දැක්වීම සඳහා ය.

මේ පොතෙහි හා විසුද්ධිමාර්ගයෙහි නොයෙක් කොටස් වල ඇති සමානකම් ආරම්භයෙහිදීම යමෙක් මට පෙන්වා දුන්නේ නම් මාගේ කාර්‍ය්‍යය වඩා පහසු විය හැකිව තිබුණි. එහෙත් මට සහායකක් නොමැතිව උත්සාහ දරන්නට සිදුවූ නිසා එය තේරුම් ගැනීමට ප්‍රමාණවත් දීර්ඝ කාලයක් ගතවිය. එහෙයින් ශිෂ්‍යයන් ගේ පහසුව සඳහා මම මේ ටීකාවෙහි සියළුම සුදුසු සටහන් සඳහන් කෙළෙමි.

ඒවායේ උපකාරයෙන් ශිෂ්‍යයාට ඔහුගේ අපහසුකම් මගහරවා ගත හැකි වෙතැයි සිතමි. ඔහුට අභිධර්මාර්ථසංග්‍රහය තේරුම් ගැනීමට හැකි වනවා පමණක් නොව, අභිධර්මය පිළිබඳ ව සාමාන්‍ය දැනීමක් ද ඇති වෙනවා ඇත.

මෙම පොත මනාව හැදෑරීමෙන් අභිධර්මපිටකය ඉගෙනීමට එය මග පෙන්වනවා ඇත. අභිධර්මාර්ථ සංග්‍රහය පමණක් ඉගෙනගෙන අභිධර්මය පිළිබඳ ව ලබාගත හැක්කේ ඉතා සුළු දැනීමකි. මගේ මේ ටීකාව ඔහුගේ ඉගෙනීම වැඩිදුර ගෙනයාමටත් වඩා ප්‍රීතියෙන් එහි යෙදීමටත් සහායවෙතියි යනු මාගේ බලාපොරොත්තුවයි.

මෙහි මුල් ග්‍රන්ථය සම්වත් වර්ෂ 1979 දී අහමදාබාද්හි ගුජරාති විද්‍යාපීඨය මගින් ප්‍රචාරය කරනු ලැබූ මාගේ අභිධර්මාර්ථසංග්‍රහ සංස්කරණයට සමානය. එහෙත් සුළු වෙනස්කම් කිහිපයක් තිබේ. නව වැනි පරිච්ඡේදයේ විසි වැනි ඡේදයේ පළමුවැනි වගන්තිය ඊට ඉහත ඡේදයේ අගට යොදා තිබේ. මුල් සංස්කරණයෙහි සඳහන් කළ පොත්වලට අමතරව, තවත් පොත් දෙකක් මම සංසන්දනය කර බැලුවෙමි. (1933 නේ මහාබෝධි මුද්‍රණාලයෙහි මුද්‍රිත) පණ්ඩිත පඤ්ඤාසාර ස්ථවිරයන් වහන්සේ ගේ හා පණ්ඩිත විමලධම්ම ස්ථවිරයන් වහන්සේ ගේ සිංහලාක්ෂර සංස්කරණය ඉන් එකකි. 1939 දී රැන්ගුන් නුවර සබුමිට්ටෙව පිටක මුද්‍රණාලයයෙහි බුරුම අකුරෙන් මුද්‍රිත සංස්කරණය අනිකය. මේ සංස්කරණ දෙකට ම විභාවනී1 ටීකාව ඇතුළත්ය.

මුල් සංස්කරණයෙහි මෙත් ඉතා සුදුසු යයි වැටහුණු පාඨ මම පිළිගතිමි. “ආරම්මණ” යන්න බුරුමයෝ “ආලම්බන” යනුවෙන් ද සිංහලයෝ “ආලම්බන” යනුවෙන් ද ව්‍යවහාර කරති. එහෙත් අභිධම්ම පිටකයෙහි සෑම සංස්කරණයකම යෙදෙන්නේ “ආරම්මණ” යන්න පමණකි සෑම අවස්ථාවක