57-AP-Patthanappakarana 3.pdf

ප්‍රකාශිත වර්ෂය :
1989
මුද්‍රිත වර්ෂය :
1989
පිටු ගණන :
617
බාගත කිරීම් ගණන :
2,441
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
132 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 309

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 52 වන වෙළුම ලෙස පළ වූ අභිධර්ම පිටකයට අයත් පට්ඨානප්පකරණ - තෘතීය භාගයයි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ව්‍යාපෘතිය යටතේ සම්පාදනය කොට මුද්‍රණය කරවා අවසන් වූ මෙම ග්‍රන්ථයෙන් සමස්ත ත්‍රිපිටක මුද්‍රණ කාර්යය සම්පූර්ණ විය.

අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක හිමියන්ගේ අනුශාසනා පරිදි හේගොඩ ඛේමානන්ද හිමි සහ නරාවිල බුද්ධරක්ඛිත හිමි යන වියත් තෙරවරුන් විසින් පාඨශෝධනය කර සංස්කරණය කරන ලද අතර, ලබුගම ලංකානන්ද මහානායක හිමියන් ප්‍රධාන සංස්කාරක ධුරය හොබවා ඇත. පට්ඨාන පෙළ එකම ආකාරයට ගලායන හෙයින් සිංහල පරිවර්තනයක් නොයොදා, අර්ථාවබෝධය පිණිස විස්තරාත්මක උපග්‍රන්ථයක්, ප්‍රත්‍යය සහභාග සංග්‍රහයක් සහ පට්ඨාන ප්‍රදීපයක් ඇතුළත් කර තිබේ.

මෙම තෘතීය භාගයට දුක පට්ඨානයේ කාමාවචර දුකයේ සිට සරණ දුක දක්වා වූ අවසන් කොටස් අට සහ දුකතික, තිකදුක, තිකතික, දුකදුක යන පට්ඨාන කොටස් මෙන්ම වටිනා අතිරේක පරිච්ඡේද ඇතුළත් වේ.

සංස්කාරක නිවේදනය

දෙදහස් පන්සිය වැනි බුද්ධපරිනිර්වාණ වර්ෂය අනුස්මරණය සඳහා ප්‍රාරබ්ධ සත්කාර්‍ය්‍යයන් කෙරෙහි අතිශයින් දුෂ්කරවූයේ බුදුරදුන්ගේ ආභව්‍ය වචන වූ ත්‍රිපිටක පාළිය සංශෝධනය කොට සියබසින් තබාලීම යැ. මේ කාර්‍ය්‍යභාරය නිර්වහණය පිණිස එවක ස්වදේශ කටයුතුභාර අමාත්‍ය වූ ගරු ඒ. රත්නායක සිරිමතාණන්ගේ දිරිගැන්වීමෙන්, තත්කාලීන ශ්‍රී ලංකාද්වීපයේ අග්‍රාමාත්‍ය වූ මහාමාන්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා විසින් ව්‍යවහාර වර්ෂයෙන් එක්දහස්නවසියපනස්පස්වන වර්ෂයේදී, ත්‍රිපිටක පෙළ පොත් සියල්ලම සංස්කරණය කොට හෙළබසින් ද රජයේ වියදමින් පළකළයුතුයැ යි ගත් තීරණය අනුව, ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව මේ සත්කාර්‍ය්‍යයෙහි නිරත වූවාය. ත්‍රෛනිකායික කුශාග්‍ර බුද්ධිමත් දක්ෂ-විචක්ෂණ උගත් සියලු පැවිදි පඬිවරයෝ මේ ශ්‍රේෂ්ඨ කාරක සභාවේ අන්තර්ගත වූහ.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලය යැයි වෙන් වැ ගත්, එවක මෙරට වැඩ විසූ විරාගීන්ද්‍ර වියත් බහුශ්‍රැත මහතෙරපාණන් විසින් ම සංගෘහිත වූ පරිෂදය සදානුස්මරණීයයැ. එහිදු උත්තරීතර සංස්කාරක මණ්ඩලය වශයෙන් වෙන් වූ,

වැලිවිටියේ සොරත පරවාහැර වජිරඤාණ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ලබුගම ලංකානන්ද කෝදාගොඩ ඤාණාලෝක

යන තෙරවරුන් වහන්සේ කාර්‍ය්‍යභාරයේ පුරෝගාමී වූහ.

ත්‍රිපිටකයේ පෙළ පොත් සියල්ල පනස්දෙකක් සේ ගෙන, ඒ ඒ පොත් ඒ ඒ පඬිහිමිපාණන් වහන්සේලා වෙතැ පාඨශෝධනය කිරීම පිණිසත් වියත් හෙළබසට පරිවර්තනය කිරීම පිණිසත් භාරකරන ලදි. උන්වහන්සේලා විසින් සකසන ලදුවැ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය වෙතැ ඉදිරිපත් කොට එයිනුදු ශෝධනයවී මුද්‍රණයවී එලිදැක්වීම සාම්ප්‍රදායික පිළිවෙළයි. මින් හවුරුදු තිස් තුනකට පමණ පෙර ඇරඹුණු මෙම ත්‍රිපිටක මුද්‍රණයේ අවසන් භාගයට අද එළඹ සිටිමු.

බුද්ධ ධර්මයෙහි අතිශය ගැඹුරුවූ දර්ශනික අංශය ඉගැන්වෙන්නේ අභිධර්ම පිටකයෙනි. එයිනුදු දුරවබෝධවූ ගැඹුරු ම ඉගැන්වීම ඇත්තේ මේ පට්ඨානප්‍රකරණයේ යි. ත්‍රිපිටක මණ්ඩලයෙන් ශෝධිත පට්ඨානප්‍රකරණයේ මුල් භාගයේ එන පට්ඨාන නය නිරූපණය (සිංහල) රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බෙල්ලන ඤාණවිමල නායක ස්ථවිරයන් වහන්සේ විසිනුත්, තෙවන භාගයේ එන ප්‍රත්‍යය සහභාග සංග්‍රහය සහ ප්‍රත්‍යය සටහන අග්‍රමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් විසිනුත්, උප ග්‍රන්ථය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හේගොඩ ඛේමානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසිනුත්, එහිම එන පට්ඨාන ප්‍රදීපය රාජකීය පණ්ඩිත නරාවිල බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ විසිනුත් සකස්කොට ඇත්තේයි. ත්‍රිපිටකයේ සියලු ග්‍රන්ථ සිංහල අනුවාදයක් සහිතව මුද්‍රණය වුවත් පට්ඨානප්‍රකරණය පමණක් හුදු පෙළබසින් මුද්‍රණයවීම විශේෂයෙකි. මෙහිදී පාළිය නොදන්නා පින්වතුනට එය මැනවින් තේරුම් ගැනීමට ඉහත කී පට්ඨාන නය නිරූපණය, ප්‍රත්‍යය සහභාග සංග්‍රහය සහ ප්‍රත්‍යය සටහන, උප ග්‍රන්ථය හා පට්ඨාන ප්‍රදීපය යන මෙයින් අර්ථය සුගම වෙනවා ඇත. ගතසහස්ස නය විසින් විභජනය වන පට්ඨානයේ පෙළ එකම ආකාරයකට ගලායන හෙයින් ඒ හෙළ බසට නැගීම අවශ්‍ය දෙයක් නොවේ. ශ්‍රද්ධාව විසින් මෙහෙයන ලද්දවුන්ට වාචනා මාර්ගය පිරිවහන් පිරිවහන් මැ එහි අරුත මැනවින් වැටහේ.

තුන්පිටකයේ විශාල මැ ග්‍රන්ථය වූ පට්ඨානප්‍රකරණය ප්‍රථම භාගය ද්විතීය භාගය තෘතීය භාගය වශයෙන් කොටස් තුනකට වෙන්කොට මුද්‍රණය කරවීමට මුල් මැ ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් තීරණය කරනලදී. ඒ අනුව පට්ඨානප්‍රකරණයේ ප්‍රථම භාගය තිකපට්ඨානයේ කුසලත්තිකයේ සිට දස්සනත්තික දක්වා වූ කොටස ගෙන මුද්‍රණය කළේ වෙයි. දෙවන භාගය තිකපට්ඨානයේ දස්සනේනපහාතබ්බහේතුත්තිකයේ සිටැ සනිදස්සනසප්පටිඝත්තික දක්වා වූ තික තුදුසෙක් ද දෙවන දුක පට්ඨානයේ හේතුදුකයේ සිටැ උපෙක්ඛාසහගත දුක දක්වා වූ දෙඅනුවක් දුක ගෙන සිටියේ වෙයි. තෙවන භාගය දුක පට්ඨානයේ කාමාවචර දුකයේ සිටැ සරණ දුක දක්වා වූ දුක අටක් සමඟ දුකතික පට්ඨානයත්, තිකදුක පට්ඨානයත්, තිකතික පට්ඨානයත්, දුකදුක පට්ඨානයත් යන පට්ඨාන දැක්වේ.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි 52 වැනි ග්‍රන්ථයවූ පට්ඨානප්‍රකරණය ශෝධනය සඳහා ඇරැයුම් ලැබුවෝ අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයෝ වෙති. කාර්‍ය්‍ය බාහුල්‍යයෙන් අවිවේකී වූවද තත්කාර්‍ය්‍යයෙහි ද නිරතවූ උන්වහන්සේ මෙහි ප්‍රථම භාගය අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර නායක ස්ථවිරයන් වහන්සේට දෙනලද සදුපදේශයෙන් උන්වහන්සේ ලවා ද, දෙවන, තෙවන භාග, රාජකීය පණ්ඩිත හේගොඩ ඛේමානන්ද, රාජකීය පණ්ඩිත නරාවිල බුද්ධරක්ඛිත යන ස්ථවිරයන් වහන්සේලා ලවා ද පදශෝධනය කරවා මෙසේ ප්‍රකාශයට පත්කරවන්නට සැලැසූහ.

ඒ තෙරවරුන් විසිනුදු අන්‍යත් මුද්‍රිත ග්‍රන්ථ හා සංසන්දන කෙරෙමින් බුදුරදුන්ගේ ආභව්‍ය වචනය මැ නඟා ගැනීමට දරූ ප්‍රයත්නය ද ප්‍රශංසාරහ යැ.

තවද ත්‍රිපිටක පාළිය ශෝධනය කොට සිවුවසක් ඇතුළත මුද්‍රණය අවසාන කිරීමට බෞද්ධ මණ්ඩලය අදහස් කළ නමුත් පසුව සිංහල අනුවාදය ද සහිතව පළකරවීමට සම්මත කළ හෙයින් ද, එසේ පරිවර්තිත වූ කිසි ග්‍රන්ථයක් ප්‍රාමාණික නොවූයෙන් නැවත පරිවර්තන කරන්නට සිදුවූ හෙයින් ද, ඇතැම් මුද්‍රණාලයකදී සිදුවූ ප්‍රමාදදෝෂ හේතුවෙන් ද යථාකාලයෙහි මුද්‍රණය නිමහම් කිරීමට නොහැකිවූ බව කියයුතු වැ ඇත. කල් ගතවීමෙන් හෝ ත්‍රිපිටක ධර්මය සියබසින් කියැවීමේ ශ්‍රද්ධා ඇති බෞද්ධ ජනතාවගේ මනදොළ සපුරා සිංහල අනුවාද සහිත වූ ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය නිමවාලන්නට ලැබීම මේ පිළිබඳව අවධානය ඇති සුධීන්ගේ ප්‍රමෝදයට හේතුවේ යයි සලකම්හ.

1956 වර්ෂයේදී ආරම්භකොට 1989 වර්ෂයේදී කෙළවර කරන්නට හැකිවූ ත්‍රිපිටක සංශෝධනය හා මුද්‍රණය වෙනුවෙන් උපරිම අනුබලය - උනන්දුව - පරිත්‍යාගය ඉටුකළ එද - මෙදතුරැ වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන රජයන් මෙහිලා කෘතඥපූර්වක වැ සමරම්හ. ලංකා බෞද්ධ මණ්ඩලයේ සමාරම්භයේදීම කාරක සභාවේ ලේකම් පදවියක් දැරූ වත්මන් ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමාණන් ද ත්‍රිපිටක සම්පාදන කාර්‍ය්‍යයෙහි ආරම්භයෙහි සිටම ශ්‍රද්ධා පූර්වක වැ අනුග්‍රහය දැක්වූ බව ප්‍රීතිපුරස්සර වැ සඳහන් කරම්හ.

පට්ඨානප්‍රකරණයේ තෘතීය භාගය වූ මෙම ග්‍රන්ථය සකස් කිරීමේදී හා මුද්‍රණය කරවීමේදී ඉතා ගෞරවයෙනුත් භක්තියෙනුත් ශ්‍රද්ධාවෙනුත් අනුග්‍රහ දැක්වූ ගරු සංස්කෘතික හා දේශීය වෛද්‍ය ඇමැති වී. ජේ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාණන්ගේ උනන්දුව සදානුස්මරණීය වෙයි. එසේම සංස්කෘතික අමාත්‍යාංශයේ ගරු ලේකම් වෝල්ටර් ලද්දුහේහෙට්ටි මහතාත් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසෝකා ගුණවර්ධන මහත්මියත් මෙහිලා පැසැසිය යුත්තාහ.

සංස්කෘතික අමාත්‍යාංශයේ ම සාහිත්‍යය සහ ප්‍රකාශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලීලා දසනායක මහත්මියගේ උනන්දුවද මෙහිලා අගේ කළ යුතු වෙයි. බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ පොත් 29 ක්ම මුද්‍රණය කර දුන්, දෙහිවල, දුටුගැමුණු මාවතේ තිසර මුද්‍රණාලයේ අධිකාරි තැන්පත්, හිටපු සිවිල් සේවක එස්. ඩී. සපරමාදු මහතා මහත් පරිශ්‍රමයෙන් හා ඇපකැපවීමෙන් ද, භක්තියෙන් හා ගෞරවයෙන් ද, ශ්‍රමය, කාලය, ධනය වැඩියෙන් වැයකැර, එහි සේවකයින්ගේ උද්‍යෝගයෙන් මෙම ග්‍රන්ථය ද නිවැරදිවත් පිරිසිදුවත් ශෝභාවත් ලෙසත් කලට වේලාවට මුද්‍රණය කරදීම අපේ ප්‍රශංසාවට භාජන වෙයි.

වළගම්බා මහ රජුන් දවසට පසුව මෙරට සිදुकළ උත්තරීතර ශාසනික සේවාව වූ ත්‍රිපිටක සංශෝධනය හා සිංහලයට නැඟීම ගතවූ තිස්වසරක කාලයක් තිස්සේ මෙරට සිදුවිය. පට්ඨානප්‍රකරණයේ තෘතීය භාගය මුද්‍රණය කිරීමෙන් ඒ නිමාවට පත් විය. එහිලා මෙරට මෑත අතීතයේ විසූ එමෙන්ම මෙයට සහභාගිවූ මහතෙරපාණන් වහන්සේලා අතුරෙන් දැනට ජීවතුන් අතර වැඩ සිටිනුවෝ ඉතා ස්වල්පයහ. එසේ හෙයින් අපවත්වී වදාළ ඒ සංඝ පීතෘවරයන් වහන්සේලාට මේ මහඟු කුශල සම්භාරය හේතුවෙන් නිර්වාණ සුඛ ලාභය වේවායි ප්‍රාර්ථනා කරම්හ. එසේම මෙයට සම්බන්ධ වූ සියලු ශ්‍රද්ධාසම්පන්න මහත්ම - මහත්මීහු ද නිර්වාණාධිගමය කෙරෙත්වායි ආශංසනය කරම්හ. සියලු සත්වයෝ නිවන් ලබත්වා.

චිරං තිට්ඨතු ලොකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිර
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන සංස්කාරක.
1989 පෙබරවාරි 10 දින
ප්‍රවචනොදය පිරිවෙන
මොල්ලිගොඩ.