54-AP-Yamakappakarana 2-2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1988
- මුද්‍රිත වර්ෂය :
- 1988
- පිටු ගණන :
- 556
- බාගත කිරීම් ගණන :
- 2,234
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 124 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 49 (II) වන වෙළුම ලෙස පළ වූ මෙය, අභිධර්ම පිටකයට අයත් යමක ප්‍රකරණයේ ද්විතීය භාගයෙහි දෙවන කාණ්ඩයයි. පළමු කාණ්ඩය සවැනි සංඛාර යමකයේ සිට සංග්‍රහ වී විශාල වෙළුමක් වූ හෙයින්, දසවැනි ප්‍රකරණය වන ඉන්ද්රිය යමකය පමණක් වෙන්කොට මෙම වෙළුම වශයෙන් මුද්‍රණය කරවා ඇත.
මිරිස්සේ ගුණසිරි හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ උපදෙස් පරිදි හිඟුල මාකඩවර ශ්‍රී රෙවත පරිවේණාධිපති කරහම්පිටිගොඩ ශ්‍රී සුමනසාර හිමියන් විසින් මෙම කොටසේ පාඨ සංස්කරණය හා සිංහල අනුවාදය සපයන ලදී.
මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ ඉන්ද්රිය යමකයට අදාළ කරුණුය:
- පණ්ණත්ති උද්දෙසවාරො
- පණ්ණත්ති නිද්දෙසවාරො
- පවත්තියුප්පාදවාරො
- පරිඤ්ඤාවාරො
ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් සහ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ දායකත්වයෙන් බු.ව. 2530 (ක්‍රි.ව. 1988) දී මෙය ප්‍රකාශයට පත් කරන ලදී.
සංස්කාරක නිවේදනය
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි අභිධර්ම පිටකයට අයත් යමකප්‍රකරණය කාණ්ඩ දෙකකින් යුක්ත කොට මුද්‍රණයට සැලසුම් කරන ලද්දේය. එහි සවැනි සංඛාර යමකයෙහි පටන් ඉන්ද්‍රියයමකය තෙක් යමක පස මුද්‍රණ අවස්ථාවට පැමිණ පරිහරණයට දුෂ්කරවනසේ මහත් ග්රන්ථයක් වනබව පැනුණු හෙයින් ‘ඉන්ද්‍රියයමකය’ වෙන ම කාණ්ඩයක් ලෙස මුද්‍රණය කරවන්නට තීරණය විය. එහෙයින් මේ ග්රන්ථභාගය යමකප්රකරණයේ ද්විතීය භාගයෙහි දෙවැනි කාණ්ඩය ලෙස මුද්‍රණය වූබව සලකන්නේ මැනවි.
පණ්ඩිත මිරිස්සේ ගුණසිරි ස්ථවිරයන් වහන්සේ මේ ග්රන්ථභාගය ද පරිවර්තනය සඳහා බෞද්ධ මණ්ඩලය මගින් ආරාධිත වැ සිටි නමුත් උන් වහන්සේගේ ආකස්මික අභාවය නිසා එමැ සංස්කරණය හා සිංහල අනුවාදය ද ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය වෙත පැවරිණ. එහෙයින් ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රවීණ සාමාජිකවරයකු වන හිඟුල, මාකඩවර ශ්‍රී රෙවත පරිවෙණාධිපති සතරකෝරළ මහදිශාවෙහි ප්‍රධාන සංඝනායක ධුරීණ වූ ශ්‍රී ධර්මස්කන්ධ රෙවත, රාජකීය පණ්ඩිත ශ්‍රී සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් මෙ ද සපුරා හෙළබසට නඟා පාඨශෝධනය ද කරමින් මුද්‍රණයට සකස් කළබව පවසම්හ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතැන්පත් ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්රහයද සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය වූ ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන් හා නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඇම්. පී. බණ්ඩා මැතිතුමාණන් ඇතුළු සංස්කෘතික කාර්ය්යමණ්ඩලය ද, තිසර මුද්රණාලයාධිකාරි මහතාණන් ප්රමුඛ මුද්රණකාර්ය්යාංශය හා මෙහි උපස්කෘත සියලු සුධීහු ද මේ මැ ධර්ම දානමය කුශලයෙන් ස්වර්ග මොක්ෂ සුඛභාගී වෙත්වා’ යි ආශංසනය කරම්හ.
මේවගට,
ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිරයන් වහන්සේ,
ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක.
1987 දෙසැ. 25 දින.
කොළඹ මහානායක චාරිකාරාමය.
සංඥාපනය
යමක ප්‍රකරණයෙහි ඒ ඒ යමකයන් පිළිබඳ නය විභාගාදි කිවයුතු සාමාන්‍ය දැය ප්රථමභාග සංඥාපනයෙහි ලා කියන ලද්දේ යැ. මේ ග්රන්ථයෙහි එන ඉන්ද්රියයමකයෙහි නය විභාගාදිය එය බලා දන්නේ යැ. විශේෂ වූ කිහිප තැනක් මෙහි දක්වම්හ.
චක්ඛායතන චක්ඛුධාතු මූලකයෙහි මෙන් මේ චක්ඛුන්ද්රියමූලක නයෙහි ද ජීවින්ද්රිය කායින්ද්රිය මූලක යමකයෝ නො ගන්නා ලදහ. පළමු කී සොතින්ද්රිය ඝානින්‍ද්‍රිය හා සමාන විසර්ජන ඇති හෙයිනි. මනින්‍ද්‍රිය උපෙදසයෙහි කී පිළිවෙළ අනුව නොයොදා සියලු චක්ඛුන්‍ද්‍රිය මූලකාදීන් සමග අවසන්හිලා යොදන ලදු යැ. චක්ඛුන්ද්රියාදි මූලකයන් සමග මෙන් මැ ඉත්ථින්ද්රියාදි මූලකයන් හා සමග ද යෙදෙන බැවිනි.
චක්ඛුන්‍ද්‍රිය සමග ඉත්‍ථින්‍ද්‍රිය, පුරිසින්‍ද්‍රිය, ජීවිතින්ද්රිය, සොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය, සද්ධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, මනින්‍ද්‍රිය යන ඉන්ද්රියයෝ ගන්නා ලදහ. ප්රතිසන්ධියෙහි නො ලැබෙන බැවින් සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, දොමනස්සින්ද්රිය යන මොහු ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යන මොහු නො ගන්නා ලදහ. ඒ ඒ ඉන්ද්රිය මූලකයෙහි ඉන්ද්රියයන් ලැබෙන අයුරින් යමක ගිණියැ යුතු.
පවත්ති උප්පාදවාරයෙහි “සචක්ඛුකානං න ඉත්‍ථිනං උපපජ්ජන්තානං” යන මෙහි ‘ඇස් ඇති වැ ස්ත්‍රී නොව වැ උපදනාහු’ යයි බ්‍රහ්මපාරිසජ්ජාදි රූපී බ්‍රහ්මයෝ ද පුරුෂයෝ ද නපුංසකයෝ ද කියන ලද වෙති. ඔවුනට සත්ථින්ද්රිය නූපදියි. “සචක්ඛුකානං න පුරිසානං උපපජ්ජන්තානං” යන මෙහි ‘ඇස් ඇති වැ නො පිරිමිනි වැ උපදනාහු’ යයි රූපී බ්‍රහ්මයෝ ද ස්ත්‍රීහු ද නපුංසකයෝ ද කියන ලද වෙති. ඔවුනට පුරිසින්‍ද්‍රිය නූපදියි, “අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ජීවිතින්ද්රියං උපපජ්ජති” යන මෙහි ‘ඇස් නැති වැ උපදනා ඔවුනට ජීවිතින්ද්රිය උපදී’ යනු එකවොකාර (අසංඥසත්‍ව) චතුවොකාර (අරූප) කාමධාතුසත්වයන් ගෙන කියන ලද්දේ යැ. “සචක්ඛුකානං විනා සොමනස්සෙන” යනු උපෙක්ඛා සහගත සතර මහා විපාක ප්රතිසන්ධි ද “සචක්ඛුකානං විනා උපෙක්ඛාය” යනු සොමනස්ස සහගත ප්රතිසන්ධි ද “උපෙක්ඛාය අචක්ඛුකානං” යනු අහෙතුක ප්රතිසන්ධි ද ගෙන කියන ලද යැ. “අහෙතුකානං” යනු; අහෙතුක ප්රතිසන්ධි චිත්තය හා සමග ශ්‍රද්ධා, සති, ප්‍රඥා ඉන්ද්රියයෝ ඒකාන්තයෙන් මැ නූපදිති. සමාධි වීර්‍ය්‍ය දෙක ඉන්ද්රිය ප්‍රාප්ත නො වෙති. “සහෙතුකානං අචක්ඛුකානං” යනු ගර්භශය්‍යා ඇතියන් වශයෙන් ද අරූපී වශයෙන් ද කියන ලද යැ ඔවුන් හැර අනෙක් හෙතුසම්පන්න ඇස් නැතියෙක් නැත. “සචක්ඛුකානං අහෙතුකානං” යනු අපායෙහි ඔපපාතිකයන් ගෙන කියන ලද යැ,
“සචක්ඛුකානං ඤාණවිප්පයුත්තානං” යි කාමධාතුයෙහි ද්විහෙතුක ප්රතිසන්ධි ඇතියන් ගෙන කියන ලද යැ. “සචක්ඛුකානං ඤාණසම්පයුත්තානං” යනු රූපී බ්‍රහ්මයන් ද කාමාවචර දෙවිමිනිසුන් ද ගෙන කියන ලද යැ. “ඤාණසම්පයුත්තානං අචක්ඛුකානං” යනු අරූපීන් ද ත්‍රිහෙතුක ගර්භශය්‍යා ඇතියන් ද ගෙන කියන ලද යැ. “විනා සොමනස්සෙන උපපජ්ජන්තානං” යනු රූප ජීවිතින්ද්රිය හා අරූප ජීවිතින්ද්රිය ගෙන කියන ලද යැ. “පවත්තෙ සොමනස්ස විප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ” යනු අරූප ජීවිතින්ද්රිය ගෙන කියන ලදි.
පරිඤ්ඤාවාරයෙහි “අට්ඨමකො” යනු ශ්‍රොතාපත්ති මාර්ගස්ථ පුද්ගල යි. හෙ අර්හත් ඵලයෙහි පටන් ප්රත්යවරොහණ ක්‍රමයෙන් ගණිනු ලබන්නේ අටවැණි වෙයි, දක්ඛිණාර්හයන් ගිණීමෙහි දී රහතුන් වහන්සේ අග්‍ර දක්ඛිණාර්හ වන බැවින් ප්‍රථම පුද්ගල වෙයි.
“දෙව පුග්ගලා අඤ්ඤින්ද්රියං භාවෙන්ති නො ච දොමනස්සින්ද්රියං පජහන්ති” යන මෙහි ද්විපුද්ගලයෝ නම් සකෘදාගාමීමාර්ග සමංගී යැ අර්හන්මාර්ග සමංගී යැ යන දෙදෙනා යි, ඔවුනතුරෙහි සකෘදාගාමී පුද්ගල අසමර්ථ බැවින් දොමනස්සින්ද්රිය ප්රහාණය නො කෙරෙයි, අර්හන්මාර්ගස්ථ පුද්ගල ප්රහීණදොෂ බැවින් ප්‍රහාණ නො කෙරෙයි.
පඤ්ඤත්ති නිද්දෙසවාරයෙහි “කායො කායින්ද්රියන්ති” යන පෘච්ඡා විසර්ජනය “කායින්ද්රියං ඨපෙත්වා අවසෙසො කායො න කායින්ද්රියං” යි මරම්ම ඡට්ඨසංගීති යමකප්රකරණයෙහි ඇත. එය තායි අක්ෂර මුද්‍රණයෙහි ද PTS මුද්‍රණයෙහි ද “කායින්ද්රියං ඨපෙත්වා අවසෙසො කායො න කායින්ද්රියං” යි ඇත.
ආයතන යමකයෙහි “කායො කායායතනන්ති” යන පෘච්ඡා විසර්ජනයෙහි “කායායතනං ඨපෙත්වා අවසෙසො කායො කායො, න කායායතනං” යි තායි අක්ෂර මුද්‍රණයෙහි ඇත. ඉන්ද්රිය යමකයෙහි පාලි විභාගය ස්කන්ධ ආයතන යමකයෙහි කී නයින් මැ කළයුතු සේ අටුවාහි සඳහන් වෙයි. එහෙයින් අප විසින් මෙහි යථොක්ත පාළිය “කායින්ද්රියං ඨපෙත්වා අවසෙසො කායො කායො, න කායින්ද්රියං” යි සුපාඨ සේ ගන්නා ලද යැ. “කායින්ද්රියය හැර අවශේෂ කාය කාය නම් වෙයි, කායින්ද්රිය නො වෙයි” යනු එහි අර්ථයි. “අවසෙසො කායොති: නාමකායො, රූපකායො, හත්ථිකායො, අස්සකායොති එවමාදි” යි “අවශේෂකාය නම් නාමකාය, රූපකාය, හස්තිකාය, අශ්වකාය යන මේ ආදි යැ”යි අටුවාහි දක්වන ලද්දේ යැ. ඡට්ඨසංගීති සංස්කරණයෙන් ඒ අරුත් නො නැඟෙයි. මේ මතු නො වැ “අවසෙසා ඉන්ද්රියා ඉන්ද්රියා, න සොතින්ද්රියං” ආදි සෙසු තන්හි ද “අවසෙසා ඉන්ද්රියා න සොතින්ද්රියං” ආදීන් ඡට්ඨසංගීති සංස්කරණයෙහි පාළිය දක්නා ලැබේ. විමසා ගන්නේ යි.
කරහම්පිටිගොඩ සුමනසාර
නායක ස්ථවිර.
රෙවත පිරිවෙන,
මාකඩවර.
හිඟුල.
1987. දෙසැ. 25