53-AP-Yamakappakarana 2-1.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1987
- මුද්‍රිත වර්ෂය :
- 1987
- පිටු ගණන :
- 824
- බාගත කිරීම් ගණන :
- 2,003
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 172 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 49 (I) වන වෙළුම ලෙස පළ කරන ලද අභිධර්ම පිටකයට අයත් යමකප්‍රකරණ ද්විතීය භාගයෙහි පළමුවන කාණ්ඩයයි. බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලය මගින් මුද්‍රණය කෙරුණු මෙහි පාලි පෙළ සහ ඊට අදාළ සිංහල අනුවාදය මුහුණට මුහුණ ලා සංසන්දනාත්මකව දක්වා ඇත.
මූලිකව මෙම ග්රන්ථ පරිවර්තනය පවරන ලද්දේ රාජකීය පණ්ඩිත මිරිස්සේ ගුණසිරි හිමියන්ට වුවද උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු පෙළ සංස්කරණය සහ සිංහල අනුවාදය සතරකෝරළ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ ශ්‍රී සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් සම්පූර්ණ කරන ලදී. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් කරන ලද මූල්‍යමය පරිත්‍යාගයෙන් පිටපත් 3,000ක් මුද්‍රණය කර ඇත.
මෙම කාණ්ඩයෙහි යමකප්රකරණයේ එන ප්‍රධාන යමක සතරක් ආවරණය වේ:
- සංඛාරයමකං
- අනුසයයමකං
- චිත්තයමකං
- ධම්මයමකං
සංස්කාරක නිවේදනය
දෙදහස් පන්සිය වැනි බුද්ධපරිනිර්වාණ වර්ෂය අනුස්මරණය සඳහා ප්‍රාරබ්ධ සත්කාර්ය්යයන් කෙරෙහි අතිශයින් දුෂ්කර වූයේ බුදුරදුන්ගේ ආඥාවචන වූ ත්‍රිපිටක පාලිය සංශෝධන කොට සියබසින් තබාලීම යැ. මේ කාර්ය්යභාරය නිර්වහණය පිණිස පත්කරන ලද පරිවර්තක මණ්ඩල හා සංස්කාරක මණ්ඩල ගැන කියයුතු දෑ සියල්ල මුලින් මුද්‍රණය වූ ග්රන්ථයන්හි සංස්කාරක නිවේදනවලදී පළකොට ඇත. තවද ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් මුල් අවස්ථාවෙහි ත්‍රිපිටක ග්රන්ථ සියල්ල කාණ්ඩ දෙපනස (52) කින් යුක්ත කොට මුද්‍රණය කළ මැනවැයි සම්මත කරන ලද්දේ යැ. ඇතැම් ග්‍රන්ථයක පරිච්ඡේද ප්‍රමාණාදිය සැලකීමෙනි. යමකප්පකරණයෙහි ප්‍රථම භාගය ප්‍රථම භාගය “මූල - ඛන්ධ - ආයතන - ධාතු-සච්ච” යන යමක පඤ්චකය සංග්‍රහ කොට මුද්‍රිත විය. සංඛාරාදි ඉතිරි යමක පස ද්විතීය භාගය වශයෙන් සලකන ලද නමුත් මුද්‍රණ අවස්ථාවට පැමිණි එය ප්‍රමාණයෙන් විශාල වනබව පෙනුණු හෙයින් “සංඛාර - අනුසය - චිත්ත - ධම්ම” යන යමක චතුෂ්කය ද්විතීය භාගයෙහි ප්‍රථම කාණ්ඩය වශයෙන් නිමවාලන්නට සිදුවිය. ඉන්ද්රිය යමකය මෙහි දෙවැනි කාණ්ඩය වශයෙන් මුද්‍රණය වන්නේය.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි එකුන්පනස් (49) වැනි ග්‍රන්ථය වූ යමකප්පකරණ ද්විතීය භාගය අභිධර්මපිටකයෙහි නව වැනි ග්‍රන්ථය වෙයි. එය සියබසට නඟාලීම සඳහා පවරා දෙන ලද්දේ රාජකීය පණ්ඩිත මිරිස්සේ ගුණසිරි ස්ථවිරයන් වහන්සේට යැ. එහෙත් පරිවර්තන කාර්ය්යය නිසි පරිදි සිදු වූයේ නැත. උන්වහන්සේගේ හදිසි අපවත් වීම නිසා පෙළ සංස්කරණය කිරීම හා සිංහල අනුවාදය ද ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය වෙත පැවරිණ. එහෙයින් සම්පාදක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන හිඟුල, මාකඩවර ශ්‍රී රෙවත පරිවෙණාධිපති සතරකෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරීණ ශ්‍රී ධම්මක්ඛන්ධ රෙවත රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ ශ්‍රී සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් සපුරා සියබසට නඟන ලද්දේය. ත්‍රිපිටකයෙහි හා විශේෂයෙන් අභිධර්මපිටකයෙහි ද පෙරදිග භාෂාශාස්ත්රාන්තරයෙහි ද කළ පරිචය ඇති නායක ස්ථවිරයන් වහන්සේ මෙහි පරිවර්තන කාර්ය්යය මැනවින් කර ඇතිබව පැවැසිය යුතු ය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තැන්පත් ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ද සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන් හා ගරු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඇම්. පී. බණ්ඩා මැතිතුමාණන් ඇතුළු සංස්කෘතික කාර්ය්යාංශය ද තිසර මුද්රණාධිකාරීහු ද මේ සඳහා උපස්තම්භක වූ හැම සුධීහු ද මෙම ධර්මදානමය කුශලයෙන් සුඛභාගී වෙත්වා’ යි ආශංසනය කරම්හ.
ලබුගම ලංකානන්ද මහානායකස්ථවිර ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ ප්‍රධාන සංස්කාරක. 1987 නොවැම්බර් මස 10 වැනි දින, ප්‍රවචනෝදය පිරිවෙන, මෝල්ලිගොඩ.
සංඥාපනය
යමක ප්‍රකරණයෙහි දශවිධ යමකයන් පිළිබඳව නයවිභාගාදි කිවයුතු දැය ප්රථමභාග සංඥාපනයෙහි ලා කියන ලද්දේ යැ. මේ ග්රන්ථයෙහි සඞ්ගෘහීත වූ සඞ්ඛාරයමකයැ අනුසය යමක යැ චිත්තයමක යැ ධම්මයමක යැ යන චතුර්විධ යමකයන් පිළිබඳ විස්තර විභාග ද එය බලා දන්නේ යැ. විශේෂ වූ කිහිප තැනක් මෙහි දක්වාලම්හ.
ඛන්ධයමකාදියෙහි මෙන් ධම්මුද්දෙසයට අනතුරු වැ පදසොධනය නො අරඹා පළමු වැ සඞ්ඛාර විභාග කොට දක්වා ඉක්බිති පදසොධන වාරය ඇරඹීම සඞ්ඛාර යමකයෙහි දක්නා විශේෂයෙකි. මෙහි ‘සංඛාර’ නම් කායසඞ්ඛාර යැ වචීසඞ්ඛාර යැ චිත්තසඞ්ඛාර යැ යන මොහු යි. ඔවුන්තුරෙහි:
‘කායසඞ්ඛාර’ යනු ආශ්වාස ප්‍රශ්වාස වාතයට නමි. කරජකයින් ආශ්වාස ප්‍රශ්වාස වාතය නිපදවනු ලබන හෙයින් ඒ කායසඞ්ඛාර නම් වෙයි. ඒ කිහ චූළවෙදල්ල සූත්‍රයෙහි: ‘’අස්සාසපස්සාසා ඛො ආවුසො විසාල කායිකා. එතෙ ධම්මා කායපටිබද්ධා’’යි. ‘වචීසඞ්ඛාර’ යනු විතර්ක විචාරයනට නමි. පළමු මැ විතර්කවිචාර කොට පසු වැ වාග්භෙද කරන හෙයින් විතර්කවිචාර ‘වචීසඞ්ඛාර’ යි කියනු ලැබෙයි. එය කිහ චූළ වෙදල්ලයෙහි ‘’පුබ්බෙව ඛො ආවුසො විසාල විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති තස්මා විතක්කවිචාරා ‘වචීසඞ්ඛාරො’යි. ‘’චිත්ත සංඛාර’’ යනු සංඥා වෙදනා දෙකට ද විතර්කවිචාර හැර හැම චිත්ත සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද නමි. සංඥා හා වෙදනා හා මේ දෙක චෛතසිකයෝ යැ. ඔහු චිත්තප්රතිබද්ධ හෙයින් ‘චිත්තසඞ්ඛාර’ නම් වෙති. එය කිහ චූළවෙදල්ලයෙහි: ‘’සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා. එතෙ ධම්මා චිත්තපටිබද්ධා තස්මා සංඥා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො’’යි ‘’ඨපෙත්වා විතක්කවිචාරෙ සබ්බෙපි චිත්තසම්පයුත්තකා ධම්මා චිත්තසඞ්ඛාරා’’ යනු සඞ්ඛාරයමක යි.
‘අනුසය’ යනු අප්‍රහීණ වැ සන්තානගත වැ සිටුනා කාමරාග යැ පටිඝ යැ මාන යැ දිට්ඨි යැ විචිකිච්ඡා යැ භවරාග යැ අවිජ්ජා යැ යන සප්තවිධ ක්ලේශධර්මයන්ට නමි. අප්‍රහීණ වැ සන්තානයෙහි සයනය කරන අර්ථයෙන් ඔහු අනුසය නම් වෙති. අනුරූප කාරණ ලැබැ නැඟී සිටීම අනුසය ස්වරූප යි. අනුසය ධර්මයෝ චිත්තසම්ප්‍රයුක්තයෝ යැ. ඒකාන්ත අකුශල ධර්ම වෙති. ඔවුන්තුරෙහි දිට්ඨි විචිකිච්ඡා දෙක සෝවන් මඟින් ද කාමරාග පටිඝ දෙක අනගැමි මඟින් ද මාන භවරාග අවිජ්ජා තුන රහත් මඟින් ද ප්රහීනතව්ය වෙති.
අනුසය යමක පාලියෙහි අනුලෝමනයෙහි “ද්වින්නං පුග්ගලානං” යන තන්හි සොතාපන්න සකදාගාමී පුද්ගලයෝ දෙදෙනා ද “තිණ්ණං පුග්ගලානං” යන තන්හි පුථුජ්ජන සොතාපන්න සකදාගාමී තිදෙනා ද “චතුන්නං පුග්ගලානං” යන තන්හි පුථුජ්ජන සොතාපන්න සකදාගාමී අනාගාමී පුද්ගලයෝ සතර දෙනා ද ගතයුතු වෙති. පටිලෝමනයෙහි “ද්වින්නං පුග්ගලානං” යන තන්හි අනාගාමී අරහන්ත දෙදෙනා ගත යුත්තාහ. පජහනවාරයෙහි “අට්ඨමකො”යි සොතාපත්ති මාර්ගයෙහි සිටි පුද්ගලයා කියනු ලැබෙයි. අර්හත්ඵලස්ථ පුද්ගල අග්රදක්ෂිණාර්භ බැවින් ප්‍රථම පුද්ගල වේ.
උප්පන්නා: චිත්තයමකයෙහි උප්පන්නුප්පජ්ජමාන වාරයෙහි ‘’උප්පාදක්ඛණෙ උප්පන්නඤ්චෙව උප්පජ්ජමානඤ්ච’’. යන තන්හි ‘උප්පන්නං’ යනු උත්පාදසමයැ සිතට ද උත්පාදයට පැමිණ නිරුද්ධ නො වූ සිතට ද නමි.
උප්පජ්ජමානං ඛණං: අතීතානාගතකාලවාරයෙහි “උප්පජ්ජමානං ඛණං” යනු උත්පාදක්ෂණය යි. එහි උත්පාදක්ෂණය උත්පද්‍යමාන නොවත්හුදු උත්පාද්යමාන චිත්තයාගේ ක්ෂණය වන බැවින් ‘උත්පාදක්ෂණය’ යි කියන ලදි.
“ඛණං වීතික්කන්තං අතික්කන්තකාලං” යනු නොබෝකල්හි ඉක්ම ගිය යන අරුති. උපදනා සිත උත්පාදක්ෂණය ඉක්මවා අතික්රාන්තකාල සංඛ්‍යාවට යෙයි.
ධම්මයමක පවත්තිමහාවාරයෙහි “උප්පජ්ජන්ති නිරුජ්ඣන්ති” යන මෙහි උත්පාදනිරෝධයෙහි කුශලාකුශල ධර්මයෝ ඒකාන්තයෙන් ප්රවෘත්ති කාලයෙහි මැ ලැබෙති. ච්‍යුති ප්රතිසන්ධි කාලයෙහි නො ලැබෙත්. අව්‍යාකෘත ධර්මයෝ ප්‍රවෘත්තියෙහි ද ච්යුතියෙහි ද ප්රතිසන්ධියෙහි ද යි තුන් කල්හි මැ ලැබෙත්. ධම්මයමකයෙහි පරිඤ්ඤාවාරය භාවනාවාර නම් වේ.
කරහම්පිටිගොඩ සුමනසාර, හිඟුල, මාකඩවර, රෙවත පරිවෙණාධිපති, සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිර, රෙවත පිරිවෙන, මාකඩවර. හිඟුල. 1987. 11. 07.