52-AP-Yamakappakarana 1.pdf

ප්‍රකාශිත වර්ෂය :
1985
මුද්‍රිත වර්ෂය :
1985
පිටු ගණන :
583
බාගත කිරීම් ගණන :
2,213
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
118 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 292

යමකප්පකරණ (ප්‍රථම භාගය) යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 48 වන වෙළුම (Volume XLVIII) වන අතර, අභිධර්ම පිටකයේ එන සවැනි (මෙන්ම අටවැනි) ග්‍රන්ථය ලෙස සැලකෙන යමක ප්‍රකරණයේ මුල් කොටසයි. මෙහි මූල පාලි පාඨය සහ සිංහල අනුවාදය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.

මෙම කෘතිය මුලින් සරික්කාමුල්ලේ සිරිනන්දන පරිවේණාධිපති පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකිත්ති ස්ථවිරයන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද අතර, පසුව ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සතරකෝරළේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර නායක ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ සම්පාදක මණ්ඩලය මඟින් විශේෂ සංස්කරණයකට ලක් කර ප්‍රකාශයට පත් කරන ලදී.

බුද්ධ ශාසන වර්ෂ 2528 (ක්‍රි.ව. 1985) දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුග්‍රහයෙන් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය දායකත්වයෙන් මෙම වෙළුම මුද්‍රණය කරවා ඇත.

සංස්කාරක නිවේදනය

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස්පන්සියවසක් පිරීම අනුස්මරණය සඳහා ලංකා බෞද්ධ මණ්ඩලය මගින් සංවිහිත වූ සත්ක්‍රියාවන් අතුරෙහි අතිශයින් දුෂ්කර වූ එහෙත් අර්ථාවන්විත වූ කෘත්‍යය වූයේ බුදුන් වදාළ ත්‍රිපිටක පාළිය සියබසින් පරිවර්තන කොට පළකරවාලීම යැ. 1955 මාර්තු මස 19වැනි දින කොළඹ රාජකීය විද්‍යාලයෙහි මුළුදුන් ගිහි පැවිදි මහාසභාවෙහි දී ත්‍රිපිටක ධර්මයෙහි හසළ බුද්ධිමත් මහතෙරවරුන් සූසාලිස්නමක් තබාගෙන අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් විසින් ත්‍රිපිටකයෙහි ඒ ඒ ග්‍රන්ථප්‍රදේශයන් සියබසට නඟාලනු සඳහා පවරාදෙන ලද්දේ ය. යමකප්‍රකරණයෙහි යමක පඤ්චකයකින් යුත් ප්‍රථමභාගය භාර දෙන ලදුයේ සරික්කාමුල්ලේ සිරිනන්දන පරිවේණාධිපති පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකිත්ති මහාස්ථවිරයන් වහන්සේට යැ.

මෙසේ පරිවර්තන සඳහා ත්‍රිපිටක ග්‍රන්ථ භාරගත් ඇතැම් මහ තෙර කෙනකුන් වහන්සේ තමනට නියත වූ ග්‍රන්ථයන් නිසිපරිදි සියබසට නඟා යථාකාලයෙහි භාර දුන්හ. ඇතැම් පරිවර්තනයක් මුද්‍රණයට සුදුසු තත්ත්වයෙහි නො පැවැති අතර ඇතැම් ග්‍රන්ථයක් පරිවර්තන වූයේ ම නැත. මෙසේ හෙයින් ත්‍රිපිටකග්‍රන්ථ බොහෝ ගණනක් සංස්කාරකමණ්ඩලය මගින් පරිවර්තන කරන්නට සිදු විය. “යමකප්පකරණ” පරිවර්තනය ද එසේ සංස්කරණයට පැමිණි ග්‍රන්ථයෙකි. මුද්‍රණ අවස්ථාවට පැමිණි ඒ සංස්කරණයෙහි ද අසම්පූර්ණත්වය දුටු හෙයින් සම්පාදක මණ්ඩලයෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ සතරකෝරළමහදිසාවේ ප්‍රධාන සංඝනායක පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාරස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ සම්පාදක තෙරවරුන් විසින් පාඨශොධනය හා පරිවර්තනය මැනැවින් සකස් කොට මුද්‍රණයට පමුණුවන ලද්දේ යැ. තවද යමකප්පකරණය හඳුන්වාලමින් පූර්ණවූ සංඥාපනය ද පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර නායක ස්ථවිරයන් වහන්සේ විසින් මැ සපයන ලද්දේ ය. මුද්‍රණයේ දි කිසි තැනෙක ගිලිහී ගිය වර්ණ ඇතිබව පෙනෙතුදු අර්ථාවබොධයට හානියක් නොවන හෙයින් ශුද්ධිපත්‍රයකුදු මෙහි නොයොදන ලද වෙයි.

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි අටසාලිස් (48) වැන්න ද අභිධර්මපිටකයෙහි අටවැනි ග්‍රන්ථය ද වශයෙන් සලකන ලද යමකප්‍රකරණයේ ප්‍රථමභාගය මෙසේ බෞද්ධජනතාව අතට පමුණුවාලන්නට ලැබීම මහත් ප්‍රීතියට හේතුවෙකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පූර්ණ අනුග්‍රහය ද සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය තැන් පත් ඊ. ඇල්. බී. හුරුල්ලේ ඇමැති තුමාණන්ගේ කාරුණික සහයෝගය ද ගෞරවයෙන් සඳහන් කරම්හ. විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තැන් පත් සෝමපාල ජයවර්ධන මහතාණන් ස්වකීය විවේකය ද නො සලකා උදාරයෙහි කරන උත්සාහය ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය සුභමුද්‍රව කරගෙනයෑමට මහත් අනුබලයක් වී ඇති බව කෘතඥතායෙන් පවසම්හ. ත්‍රිපිටක කාර්යාලය පවත්වාගෙන යන කොළඹ මහානායක චාරිකාරාමයෙහි නියුක්ත ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතාගෙන් ලැබෙන සහයෝගය ද, දෙහිවල දුටුගැමුණු මාවතෙහි “තිසර” මුද්‍රණායතනයෙහි අධිකාරි මහතුන් ප්‍රමුඛ කෘතහස්ත වූ කාර්යමණ්ඩලය ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණයෙහි ලා දක්වන අනුකූලතාව ද කෘතඥතා පූර්වක වැ කරුණායෙන් සිහිපත් කරම්හ.

සදෙවක ලෝකයාට සුවසෙත පිණිස පවත්නා භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත වූ සද්ධර්මප්‍රවර්තනය පිණිස අනුබල දෙන සතුටුවන හැම සාධූහු මැ සුභභාගී වෙත්වා’යි මෙත්සිතින් ආශංසනය කරම්හ.

මේ වගට, ශාසනොදයකාරී, ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිර ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක

2528 / 1985 ජුනි 22 වැනි දින
115, මහානායක චාරිකාරාමයේ ත්‍රිපිටක මණ්ඩලය, විජේරාම මාවත, කොළඹ 7.

සංඥාපන

සම්බුදුරදුන් විසින් නයමුඛ වශයෙන් සැකෙවින් වදාළ, අගසවු සැරියුත් මහ රහතුන් වහන්සේ විසින් විස්තර විභාග කොට වාචනාමාර්ගයට නඟනලද අභිධර්මපිටකයෙහි සවැනි ප්‍රකරණය යමක ප්‍රකරණ නම් වෙයි. මෙ වූකලි බෞද්ධ දර්ශනයෙහි නාමරූප ධර්මයන්ගේ යථාතත්ත්වය ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් විවිධාකාරයෙන් නිරූපණය වූ සියුම් නුවණට මැ විෂය වන ඉතා ගැඹුරු දහම්විවරණයෙකි. ‘ධම්මසංගණි’ ආදි සෙසු ප්‍රකරණයන්හි නිර්දිෂ්ට ධර්මයන් විශද කොට තර කිරීම යමකප්‍රකරණයෙන් සිදු වෙයි.

ථෙරවාදී මහතෙරවරු යමකප්‍රකරණයෙහි ප්‍රශ්න නඟා කුශාග්‍රබුද්ධිමත් විතණ්ඩවාදීන්ගේ ඔද තෙඳ සිඳැ ඔවුන් නිහඬ කළහ. සිග්ගව මහතෙරණුවන් සමග ත්‍රිවෙදපාරප්‍රාප්ත මොග්ගලිපුත්තතිස්ස බ්‍රාහ්මණ මාණවකයා කළ වාදයෙහි දී ‘සිග්ගව’ තෙරණුවෝ මාණවකහට විනයයමකයෙහි:

‘‘යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති. තස්ස චිත්තං නිරුජ්ඣිස්සති නුප්පජ්ජිස්සති.

යස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති නුප්පජ්ජිස්සති, තස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣතී’’ යි

යමක්හට සිත උපදී නිරුද්ධ නො වෙයි, ඔහට සිත නිරුද්ධ වන්නේ නූපදනෙ වේ ද?

තවද යමක්හට සිත නිරුද්ධ වන්නේ යැ නූපදනෙ යැ, ඔහට සිත උපදී, නිරුද්ධ නො වේ ද?

යන ප්‍රශ්නය යොමු කළහ. මාණවක නිරුත්තර වැ දහම් උගන්නා පිණිස සිග්ගව තෙරුන් වෙත පැවිදි වී. ඔහු පසු කලෙකැ ‘මොග්ගලිපුත්තතිස්ස’ මහ රහත් නමින් ප්‍රකට සංඝස්ථවිර වැ පරවාදමථන කොට ථෙරවාදය නඟා අශොක අධිරාජ්‍යාගේ ධර්මවිජයෙහි සසුන් ව්‍යාප්ත කළ අයුරු ශාසන ඉතිහාසයෙහි පළට වෙයි. මෙසේ යමකප්‍රකරණය දාර්ශනිකයන්ගේ බහුමානයට පාත්‍ර වූයෙ යි. මෙ තැන් සිට එහි නයවිභාග සැකෙවින් දක්වම්හ.

‘‘කෙනට්ඨෙන යමකන්ති යුගළට්ඨෙන’’ — ‘කවර අරුතින් යමක වේ යැ යත්: යුගලාර්ථයෙනැ’ යි ‘යමකපාටිහාරිය, යමකසාලා’ ආදි තන්හි සෙයින් යුගලාර්ථයෙන් යමක නම් වූ සැටි අටුවායෙහි දක්වන ලද යැ. යුගළ සංඛ්‍යාත යමකයන්ගේ වශයෙන් දෙසනලද වන බැවින් මෙ යමක නම් වෙයි.