51-AP-Dhatukatha Puggalapannattippakarana.pdf
- කතෘ :
- නුවරඑළියේ සෙනානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1976
- මුද්‍රිත වර්ෂය :
- 1976
- පිටු ගණන :
- 438
- බාගත කිරීම් ගණන :
- 2,265
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 80 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධාතුකථා ප්‍රකරණය හා පුද්ගල ප්රඥප්ති ප්‍රකරණය යනු අභිධර්ම පිටකයේ තුන්වැනි හා සතරවැනි ප්රකරණ දෙක වන ධාතුකථාප්පකරණය සහ පුග්ගලපඤ්ඤත්තිප්පකරණය සිංහල පරිවර්තන සහිතව එක් කාණ්ඩයක් ලෙස මුද්‍රණය කළ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 47 වැනි ග්‍රන්ථයයි. පාලි පෙළ හා සිංහල පරිවර්තනය එකිනෙකට මුහුණලා දක්වා ඇත.
ධාතුකථාවේ සිංහල පරිවර්තනය රාජකීය පණ්ඩිත නුවරඑළියේ සෙනානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් ද, පුග්ගලපඤ්ඤත්තියේ පරිවර්තනය මල්වතු මහාවිහාරයේ අනුනායක අඹන්වැල්ලේ සිරි ධම්මානන්ද නායක ස්ථවිරයන් වහන්සේ හා කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් ද කරන ලදී. පාඨශෝධනය හා සංස්කරණය ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් සිදු කෙරිණි. ග්‍රන්ථය වසර ගණනක් මුද්‍රණය නොකර පැවති බවත් පසුව රජයේ මෙහෙයවීමෙන් මුද්‍රණය කළ බවත් සංස්කාරක නිවේදනයේ සඳහන් වේ.
සංඥාපනයෙහි ධාතුකථාවේ නයමාතිකා, අබ්භන්තරමාතිකා, නයමුඛමාතිකා, ලක්ඛණමාතිකා, බාහිරමාතිකා යන පඤ්චවිධ මාතිකා ද, සඞ්ගහ අසඞ්ගහ ආදි තුදුස් නය ද, පුග්ගලපඤ්ඤත්තියෙහි එකක සිට දසක දක්වා රාශි දහයක පුද්ගලයන් 383 දෙනෙකු විභාග කරන ආකාරය ද පැහැදිලි කෙරේ.
- ධාතුකථා - මාතිකා (නය, අබ්භන්තර, නයමුඛ, ලක්ඛණ, බාහිර)
- ධාතුකථා - නිද්දෙස (සඞ්ගහාසඞ්ගහ පදනිද්දෙසය ආදී පදනිද්දෙස 14)
- පුග්ගලපඤ්ඤත්ති - පෙළ හා පරිවර්තනය
- පදානුක්කමණිකා
ලඞ්කා බෞද්ධමණ්ඩලයේ ආරාධනාවෙන් ශ්‍රී ලඞ්කා ජනරජය මගින් බු. ව. 2519 (ක්‍රි. ව. 1976) දී ප්‍රකාශිත මෙම ග්‍රන්ථය දෙහිවල තිසර මුද්‍රණාලයේ මුද්‍රණය කෙරිණි.
සංස්කාරක නිවේදනය
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලායෙහි 47 වැනි ග්‍රන්ථය වූයේ අභිධර්ම පිටකයේ තුන්වැනි සතරවැනි ප්රකරණ වූ ‘ධාතුකථා’ ප්‍රකරණය හා ‘පුග්ගල පඤ්ඤත්ති’ ප්‍රකරණය යන ග්රන්ථ දෙක යි.
ලඞ්කා බෞද්ධමණ්ඩලයේ ආරාධනය පරිදි රාජකීය පණ්ඩිත නුවරඑළියේ සෙනානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් කරන ලද සිංහල අනුවාද සහිත වූ ධාතුකථා ප්‍රකරණය ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයේ ස්ථවිරවරුන් විසින් සංස්කරණය කරන ලද්දේ විය.
පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය සිංහලානුවාදය සඳහා ආරාධිත වූවාහු අඹන්වැල්ලේ සිරිධම්මානන්දාභිධාන මහනුවර මල්වතු මහාවිහාරයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යැ. එහෙත් උන්වහන්සේගේ අවිවේකි භාවය නිසා හිඟුලේ මාකඩවර පුරාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ද සහාය කොටගෙන කරන ලද සිංහලානුවාද සහිත ව මුද්‍රණය සඳහා සම්මත විය.
විවිධ හෙතුන් නිසා මේ ග්‍රන්ථය ද මුද්‍රණය කරවාලිය නොහැකිව අවුරුදු බොහෝ ගණනක් පසුවෙමින් තිබිය දී ගරු අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක උත්තමාවගේ විධානය පරිදි වර්තමාන ගරු සංස්කෘතික අමාත්‍ය තැන් පත් ටී. බී. තෙන්නකෝන් මැති තුමාණන්ගේ මෙහෙයවීම ද සංස්කෘතික අධිකාරියේ තත්කාර්යභාර මහතුන්ගේ හෘදයඞ්ගම සහයෝගය ද හෙතු කොට ගෙන ත්‍රිපිටක ග්රන්ථ මුද්‍රණය නො නැවැති කරගෙන යා හැකිව පවත්නා බව කෘතඥතා පූර්වක ව සඳහන් කරම්හ.
භාෂා ශාස්ත්‍රාන්තරයෙහි හා ත්‍රිපිටක පර්යාප්ති විෂයෙහි ද බැසගත් බුද්ධි ප්‍රභා ඇති වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයෙහි පණ්ඩිත මහාස්ථවිරවරුන් වහන්සේ දවරය සංශොධන සංස්කරණ කාර්යයෙහි නිරතුරු යෙදීම නිසා මුද්‍රණය සාධුත්වයට පමුණුවාලියැ හැකි වූ බව ද විශෙෂයෙන් කියැ යුතු ය.
දෙහිවල තිසර මුද්රණාලයාධිකාරීන්ගෙ හා තත් කාර්යමණ්ඩලයේ ද ක්‍රියා කෞශල්‍යය මේ ග්‍රන්ථය අල්ප කාලයකින් නිමහම් කිරීමට හැකිවූ බව ද ප්‍රශංසා පූර්වක ව පවසම්හ.
බුද්ධශාසනායු රක්ෂණයට කාරණ වූ මෙම ත්‍රිපිටක මුද්‍රණ කාර්යය සඳහා හැමලෙසින් සහාය වූ පින්වත් සාධූනට සගමොක් සුව ලැබෙවායි ආශංසනය කරම්හ.
මේ වගට: ශාසනොදයකාමී, ලබුගම ලඞ්කානන්ද ස්ථවිර; ත්‍රිපිටක කාර්යාලය, මහානායක වාරිකාරාමය, 115, විජේරාම මාවත, කොළඹ 7, 1976, සැප්තැම්බර් 20 දින
සංඥාපනය
ධාතුකථා:
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බොධියෙන් සත් වන වසැ තව්තිසායෙහි මාතෘදිව්‍යරාජයන් ප්රමුඛ දෙවියනට ප්‍රඥාසන්දීපක වූ පරමගම්භීර අභිධර්මදෙශනා කරනසේක් අටළොස් ප්රභෙදයෙන් සමන්වාගත වූ විභඞ්ග දෙශනා පවත්වා තදනන්තර වැ ධාතු ප්‍රභෙද දක්වමින් ධාතුකථා වදාළහ.
ධම්මසඞ්ගණියෙහි කුසලත්‍රිකය පටන් අරණධර්ම අන්ත කොට ඇති ධර්මයෝ ද ධාතුකථායෙහි පඤ්චස්කන්ධය පටන් මනසිකාර අන්ත කොට ඇති ධර්මයෝ ද ස්වභාවාර්ථයෙන් ධාතු නම් වෙති. ඔවුන් ගෙන කියන බැවින් මේ ප්රකරණ ‘ධාතුකථා’ නම් වෙයි. ‘ධම්මසඞ්ගණී’ ආදි අන්‍ය ප්රකරණයන්හිදු එ මැ ස්වභාවයෝ කියන ලදහ. එ හැම ප්රකරණයන්හි ලා එකදෙශකථනයක් මැ කරන ලද්දේ යැ. මෙහි වූකලි ඒ හැම ධාතුන් ‘සඞ්ගහ, අසඞ්ගහ’ ආදි තුදුස් නයෙහි ලා වෙන වෙන විභාග කොට කියන ලද වන බැවින් සාතිශය කථන නු යි මෙ මැ ප්රකරණ ‘ධාතුකථා’ නම් ලද.
“ධාතුකථා” ‘උද්දෙස’ ‘නිද්දෙස’ විසින් ද්විවිධ වෙයි. උද්දෙස නම් මාතෘකා යි. එ ද ‘නයමාතිකා’ යැ ‘අබ්භන්තර මාතිකා’ යැ ‘නයමුඛමාතිකා’ යැ ‘ලක්ඛණමාතිකා’ යැ ‘බාහිරමාතිකා’ යැ යි පඤ්චවිධ වෙයි.
නයමාතිකා: ‘සඞ්ගහො අසඞ්ගහො’ යනු පටන් ‘විප්පයුත්තෙන සඞ්ගහිතං අසඞ්ගහිතං’ යනු හිමි කොට ඇති තුදුස් පද නයමාතිකා යි. ධාතුකථා ධර්මයන් මේ සඞ්ගහාදි නයින් විභාග කරනු ලබන බැවින් මේ නයමාතිකා නම් වෙයි. මේ තුදුස් පදයන් ධර්මවිභාගයට මුල් වන බැවින් ‘මූලමාතිකා’ යි කියනුදු වටී.
අබ්භන්තරමාතිකා: ‘පඤ්චක්ඛන්ධා’ යනු පටන් ‘මනසිකාරො’ යනු හිමි කොට ඇති එක්සිය පස්විස්සක් පද ‘අබ්භන්තරමාතිකා’ යි. විභඞ්ගයෙහි ආ අටළොස් මාතෘකා අතුරෙහි ‘සික්ඛාපද, පටිසම්භිදා, ඤාණ, ඛුද්දකවත්ථු, ධම්මහදය’ යන මාතෘකා පස හැර අවශෙෂ තෙළෙස් මාතෘකා ද විභඞ්ගයෙහි නො ආ පඤ්චින්ද්රිය, පඤ්චබල, යන මොහු ද ‘ඵස්ස, වෙදනා, සඤ්ඤා, චෙතනා, චිත්ත, අධිමොක්ඛ, මනසිකාර’ යන චිත්තාඞ්ග ධර්මයෝ ද මෙහි අන්තර්ගත වෙති. ස්කන්ධාදි ධර්මයන් සඞ්ග්රහාදි නයින් විභාග කොට ස්වරූප විසින් දක්වා ධාතුකථාභ්යන්තරයෙහි මැ තබනලද වන බැවින් මෙ අභ්යන්තරමාතෘකා නම් වෙයි. ඛන්ධාදි පදයන් ධම්මසඞ්ගණී මාතිකායෙහි අසඞ්ගෘහීත වන බැවින් මෙ ‘ප්රකීර්ණක මාතෘකා’යි කියනුදු වටී.
නයමුඛමාතිකා: ‘තීහි සඞ්ගහො තීහි අසඞ්ගහො, චතූහි සම්පයොගො, චතූහි විප්පයොගො’ යන සතර පදයෙන් තබන ලද්දේ නයමුඛමාතිකා යි. සියලු මැ පඤ්චස්කන්ධාදි ධර්‍මයන්හිදු කුශලත්රිකාදි මාතෘකාධර්මයන්හිදු සඞ්ග්රහයත් අසඞ්ග්රහයත් ඛන්ධ ආයතන ධාතු පදත්‍රයෙන් මැ කළයුතු වෙයි. එහැමයෙහි සම්ප්රයොගයත් විප්රයොගයත් සතර අරූපස්කන්ධයෙන් මැ කළයුතු වෙයි. මේ මාතෘක සඞ්ග්රහාදිනයට ‘මුඛ’ වන බැවින් ‘නයමුඛමාතිකා’ යි කියනු ලැබෙ.
ලක්ඛණමාතිකා: ‘සභාගො, විසභාගො’ යන මේ දෙපදයෙන් තබන ලද්දේ ‘ලක්ඛණමාතිකා’ නම. මෙහි සභාගලක්ඛණ ධර්මයෙන් ‘අසඞ්ග්රහ, විප්‍රයොග දෙනය ද, විසභාගලක්ඛණ ධර්මයෙන් ‘සඞ්ග්‍රහ සම්ප්‍රයොග දෙනය ද යෙදියයුතු යැ. සභාග විසභාග ලක්ෂණ වශයෙන් සඞ්ග්රහාදි ලක්ෂණ දක්වන්නට තබනලද වන බැවින් මේ ‘ලක්ඛණමාතිකා’ නම් වේ.
බාහිරමාතිකා: ‘සබ්බාපි ධම්මසඞ්ගණී ධාතුකථාය මාතිකා’ යනු ‘බාහිරමාතිකා’ යි. මෙහි කුසලත්තිකාදි ත්රිකපද සසැටක් ද හෙතුදුකාදි ද්විකපද සියයක් ද සංක්ෂිප්ත කොට දක්වන ලදි. මේ මාතෘකා පඤ්චක්ඛන්ධා ආදි අභ්යන්තරමාතෘකා දක්වූ සේ ධාතුකථාමාතෘකා අතුරෙහි නො ලා ඉන් බැහැර කොට තබනලද වන බැවින් ‘බාහිරමාතිකා’ නම් වේ.
නිද්දෙසයෙහි දි අභ්‍යන්තර මාතෘකා ද බාහිරමාතෘකා ද නය, නයමුඛ, ලක්ඛණ යන මාතෘකා පදයන්හි ලා විභාග කරන ලද්දේ යැ. මෙසේ බලත් මැ ‘ධාතුකථාප්පකරණ’ යනු ‘ධම්මසඞ්ගණී මාතෘකා ද විභඞ්ග මාතෘකා ද ගෙන ‘නය, නයමුඛ, ලක්ෂණ පදයන්හි ලා කරන ලද ස්වරූප විභාගයක් බව පෙනෙයි. වාචනාමාර්ගයෙහි ආ පමණින් ‘ධාතුකථාප්පකරණය’ සාතිරෙක බණවර සයෙකි.
පුග්ගලපඤ්ඤත්ති:
ධම්මසඞ්ගණියෙහි තික - දුක වශයෙන් සඞ්ග්‍රහ කරනලද ධර්මයෝ විභඞ්ගයෙහි දී ස්කන්ධාදි වශයෙන් නිෂ්ප්රදෙශ කොට විභාග කරන ලදහ. දෙක්හි සඞ්ග්‍රහ කරන ලද්ද වූ ද විභාග කරන ලද්ද වූ ද ධර්මයෝ ධාතුකථායෙහි ලා ‘සඞ්ග්‍රහ අසඞ්ග්රහ’ ආදි තුදුස් නයෙකින් සාතිශය කොට විභාග කරන ලදහ. තදනන්තර වැ එ හැම ධර්මයන්ගේ ස්වභාව ප්රඥප්ති දු උපාද ප්රඥප්තිදු ප්‍රභෙද වශයෙන් දක්වන්නට “ඡපඤ්ඤත්තියො” යනාදීන් පුද්ගලප්‍රඥප්ති දෙශනා ආරබ්ධ යි.
සප්තප්‍රකරණයන් අතුරෙහි සතර වැන්න ‘පුද්ගලපඤ්ඤත්තිප්පකරණ’ නම් වෙයි. පඤ්ඤත්ති සයෙකි; ඛන්ධපඤ්ඤත්ති යැ ආයතනපඤ්ඤත්ති යැ ධාතුපඤ්ඤත්ති යැ සච්චපඤ්ඤත්ති යැ ඉන්ද්රියපඤ්ඤත්ති යැ පුග්ගල පඤ්ඤත්ති යැ කියා යි.
පඤ්චවිධ ඥෙයධර්මයන් අතුරෙහි ප්රඥප්තිය ද එකෙකි. ආභිධර්මිකයන් ප්රඥප්තිධර්මයෙහි නොමුළා වන පිණිස ප්රඥප්තිධර්ම ද අභිධර්මයෙහි ලා සඞ්ගෘහීත වෙයි. පුග්ගලපඤ්ඤත්තිප්පකරණයෙහි ස්කන්ධාදි පඤ්චප්රඥප්තීන් ආදියෙහි ලා කියතුදු පුද්ගලප්‍රඥප්ති ප්‍රභෙද ප්රකාශනය මැ මුඛ්‍ය වන බැවින් පුද්ගල ප්රඥප්තිය නිසා මේ ප්රකරණ පුද්ගල ප්රඥප්ති නම් වෙයි. ස්කන්ධාදි ප්රඥප්තීන් විභඞ්ගයෙහි ලා නිෂ්ප්රදෙශ කොට වදාරන ලද බැවින් මෙහි දී එකදෙශයෙකින් වදාළහ. විභඞ්ගයෙහි නො වදාළ පුද්ගලප්‍රඥප්තිය මෙහි ලා විස්තර විසින් විභාග කොට දක්වන ලදි.
‘පඤ්ඤත්ති’ ශබ්දය වූ කලි “ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති, පට්ඨපෙති” ආදි තන්හි ‘දර්ශනය ප්රකාශනය’ යන අරුත්හි වැටෙයි. “සුපඤ්ඤත්තං මඤ්චපීඨං” යන තන්හි ‘ස්ථාපන නික්ෂෙපණ’ අරුත්හි වැටෙයි. ‘පුග්ගලපඤ්ඤත්ති’ යන තන්හි ඒ දෙ අරුත් මැ වටී. පුද්ගලයන් ‘පුද්ගල’ යයි දක්වීම, පැවැසීම, තැබීම, බහාලීම පුද්ගලප්‍රඥප්ති නම් වෙයි.
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ උද්දෙස නිද්දෙස විසින් ද්විවිධ වෙයි. උද්දෙසයෙහි එකකය පටන් දසකය තෙක් අනුක්රමයෙන් රාශිදශයෙක ලා විවිධ පුද්ගලයෝ සඞ්ග්‍රහ කරන ලදහ. එකක රාශියෙහි පුද්ගලයෝ පනස්දෙනෙකි. ද්විකරාශි සවිස්සෙක, ත්රිකරාශි සොළොසෙක, චතුෂ්කරාශි එකුන්තිසෙක පඤ්චක රාශි තුදුසෙක, සප්තකරාශි දෙකෙක, ෂට්ක, අෂ්ටක, නවක දශක යන්හි එකෙකි රාශිය බැවිනි. සියලු පුද්ගලයෝ තුන්සිය තෙයාසූ (383) දෙනෙක් මෙහි සඞ්ගෘහීත වෙති. උද්දෙසයෙහි කියන ලද එක් එක් පුද්ගලයා ගෙන නිර්‍දෙශයෙහි දී විස්තර විසින් විභාග කොට දක්වන ලද්දේ යැ. වාචනාමාර්ගයෙහි ආ පමණින් ‘පුග්ගලපඤ්ඤත්තිප්පකරණය අතිරේකයක් සහිත බණවර පසෙක් පමණ වේ. අභිධර්මය පිළිබඳ වැ කිවයුතු දය ‘ධම්මසඞ්ගණිප්පකරණ’ සංඥාපනයෙහි කියන ලද වන බැවින් මෙහි වටාලා නො කියම්හ.
මෙයට, සසුන් වැඩ කැමැති, කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර; ත්‍රිපිටක කාර්යාලය, මහානායක වාරිකාරාමය, 115, විජේරාම මාවත, කොළඹ 7, 1976, සැප්තැම්බර් 20 වැනි දින දීය