ධාතුකථා ප්රකරණපාළිය සන්නය - දික්වැල්ලේ ගුණරතන හිමි.pdf
- කතෘ :
- දික්වැල්ලේ ගුණරතන හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1912
- මුද්‍රිත වර්ෂය :
- 1912
- පිටු ගණන :
- 238
- බාගත කිරීම් ගණන :
- 1,673
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්‍රමාණය :
- 26 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධාතුකථාප්රකරණපාළිය පදච්ඡායාවැසි ගුණවිපදවිවරණයෙන් යුක්තව දික්වැල්ලේ සුදස්සානානන්ද විහාරවාසී දික්වැල්ලේ ගුණරතන ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම ග්රන්ථයකි. මෙහි අන්තර්ගතය ලක්මිණිපහන් කර්තෘ ඇම්. ධර්මරත්න පණ්ඩිතයන් විසින් ශෝධ්යපත්ර බලා පිළිගන්නා ලදුව, දෙමටගොඩ පදිංචි ඇස්. ඇස්. පෙරේරා සහ දික්වැල්ලේ ඩබ්ලිව්. ඇම්. අභයසේකර යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් බු.ව. 2456 (ක්‍රි.ව. 1912) දී රත්මලානේ මෙරුසමෝදය යන්ත්‍රාලයේ මුද්‍රණය කරවා ඇත.
අභිධර්ම පිටකයට අයත් සප්ත ප්රකරණයන්ගෙන් තෙවැන්න වන ධාතුකථා ප්‍රකරණය විදර්ශනානුක්රමය සහ ධර්ම විභාගය හදාරන්නන්ට අතිශයින් වැදගත් මූල ග්රන්ථයකි. මෙම සංස්කරණයෙහි පාලි පාඨය, පදච්ඡායාව, සන්නය හා අටුවානුකූල විවරණ අන්තර්ගත කර තිබේ.
මූලික මාතෘකා කිහිපයක් පහත දැක්වේ:
- ධාතුකථා මාතෘකාව
- රූප, වෙදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ ස්කන්ධ සුද්ධවාර සහ නයවාර
- එකමූලී, ද්විමූලී ආදී නය ක්‍රම
- ආයතන, ධාතු, සච්ච, ඉන්ද්රිය සහ පටිච්චසමුප්පාද නිර්ද්දේශ
- ගණිඨී පද විවරණ
සංඥාපනයයි.
මේ මහාභද්‍රකල්පයට සාරාසංඛ්‍ය කල්පලක්ෂයකින් මත්තෙහි ලොව පහළ වූ ලෝකශිවංකර වූ දීපංකර නම් බුදුන් සමයෙහි අපගේ ශ්රීමහාබෝධිසත්වයයන් වහන්සේ අප්‍රමෙය්‍ය ධනසම්පත්තියට ස්වාමි වූ බ්‍රාහ්මණමහාසාර කුලයෙහි සුමෙධනම් පණ්ඩිතව ඉපිද වෙදත්‍රය පාරප්රාප්තව තමා සතුවූ අප්රමෙය්යධනය දුගීමගී යාචකාදීන් විෂයෙහි දන්දී හිමාලය වනයට වැද ඍෂිප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව පඤ්චාභිඥා අෂ්ටසමාපත්තී උපදවා ආකාශචාරීව හැසිරෙණුයේ දීපංකර බුදුන් දැක උන්වහන්සේ කෙරෙහි පැවිදිව අතට පත් නිවන්සැපත් හැරපියා උන්වහන්සේ කෙරෙන් නියත විවරණ ලැබ සංසාර සාගරයෙහි නිමග්නවූ අනාථ සත්ව ප්‍රජාව කෙරෙහි හටගත් මහාකරුණාවෙන් මෙහෙයන ලද සිත් ඇත්තාව සසරවැද සාරාසංඛ්‍ය කපලක්ෂයක් මුළුල්ලෙහි දානාදි දසපාරමිතා ධර්මයන් සම්පූර්ණ කොට වෙස්සන්තර ආත්මභාවයෙහි ඉපිද පඤ්චමහාපරිත්යාගය කොට මහපොළොව යදණ්ඩකින් පහර ලදු ලොහතලියක් මෙන් සතරාව සතසුරාවයෙන් කම්පා කරවා එයින් සැව තුසීපුරයෙහි සෙතකෙතුනම් දිව්යරාජත්ව ඉපිද මිනිස් ගණනින් සත්පණ්ණස් කෙළ සැට ලක්ෂයක් හවුරුදු දිව්යසිරිවළඳා දසදහසක් සක්වළ දෙවිබඹුන් විසින් බුදුවීමට සුදුසු කාලයයි කරණලැබූ ආයාචනාව පිළිගෙන කිඹුල්වත්පුර ශාක්යවංශොද්භූත උභයකුලපරිශුද්ධ ශුද්ධොදන මහ රජුනිසා ඇසළමස පුරපසළොස්වක් පොහොය ලත් ගුරුදින අලුයම්වෙලෙහි උතුරුසලනකතින් මහාමායාබිසවුන් කුස පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් වෙසඟමැදි පොහෝ දවස විසානකතින් මහබඹු එළවු රන්දැල බිහිව පුරපක්ෂයෙහි වැඩෙන්නාවු නවසඳ මඩලක් මෙන් අනුක්රමයෙන් වැඩි සොළොස්දහසක් පුරඟනන් විසින් පිරිවරණ ලද යශොධරාදේවීන් අගමෙහෙසුන් කොට තුන්සාතුවට සුදුසු රම්‍ය සුරම්‍ය සුභයන තුන්ප්රාසාදයෙහි දිව්යසිරි බඳු රජසිරිසම්පත් අනුභව කරමින් දවස් යවනුයේ ජරා ව්‍යාධි මරණ ප්‍රව්‍රජිත සංඛ්‍යාත සතර පූර්වනිමිත්ත දැක කලකිරුණු සිත් ඇත්තේ රාහුල කුමාරොත්පත්තිය මැදිමයම ඡන්නනම් ඇමතියා බණවා කන්ථක නම් අශ්වරත්නයා එදැසු පිටට පැනනැගී ඡන්නයා සහායකොටගෙන දෙවියන් ඇඳිඇඳෙරින් මහබිනික්මන් කොට අනෝමා නම් ගංතෙරට පැමිණ මහ බඹු එළවු අටපිරිකරින් පැවිදිවෙස්ගෙන සානුදුද්දමුල්ලෙහි මහපැවිද්දෙන් පැවිදිව වෙසක් මස පුණුපොහෝදවස අලුයම සුජාතා නම් සිටුදියනියන් විසින් පිළිගන්වන ලද ක්ෂීරපායාස වළඳා සවස් භාගයෙහි බෝමැඩ කරා පැමිණ සොත්ථිය නම් බමුණා විසින් පිළිගන්වන ලද කුසතණ අටමිට සලාවගුරුවාලීමෙන් පැණ නැංගාවූ
තුදුස්රියන් සත්රත්නමය වජ්රාසනාරූඪව හිඳ හිරු අස්තංගත වන්නට මත්තෙන් සකලමාරපරාජය කොට දශබල චතුර්වෛශාරද්යඥානාදී සකල බුදුගුණ ප්‍රතිමණ්ඩිත සර්වඥතාඥානය ප්‍රතිවේධ කිරීමෙන් මේ අභිධර්මය සාගරාභ්යාස අවබෝධ කරගත් අභිධර්මඥානව එවජ්රාසනයෙහිම පර්යංකයෙන් වැඩහුන් සතිය අනිමිස ලොචන පූජාසතිය සක්මන් සතිය යන තුන් සතිය ඉක්මවා සතරවෙනි සතියෙහි පශ්චිමොත්තර දෙදිසාන් අන්තර වයව්ය දිසාවෙහි දෙවියන් විසින් මවා දෙන ලද සත් රත්නමය ගෘහයෙහි වැඩහිඳ විනය සූත්‍ර සංඛ්‍යාත පිටකද්වය සන්මර්ෂණය කොට අභිධර්මපිටකය ට බැස “ධම්මසංගණිය විභංගය ධාතුකථාය පුග්ගලපඤ්ඤත්තිය කථාවස්තු යමකය, යන සතරක් ප්රකරණ සන්මර්ෂණයකළ සේක එකල්හිදු සම්බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් රශ්මිහු නොනික්මුණාහුය මහාප්රකරණයට, ස හෙතුප්රත්යයාදීකොට උපනිස්සයප්රත්යය අවසන්කොට ඇති සවිසිප්රත්යයයන් ප්රතිමණ්ඩිතවු අනන්තනය සමන්වාගත මහප්රකරණය සන්මර්ෂණය කිරීමට පටන්ගත්කල්හි සර්වඥතාඥානය මහාප්රකරණයෙහිම අවකාශලැබ සූක්ෂ්මාතිසූක්ෂ්මතර ධර්මයන් සන්මර්ෂණය කරන්නාවූ සර්වඥයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නීල පීත ලෝහිතාවදාත මාජේෂ්ඨ ප්‍රභාස්වර සංඛ්‍යාත ෂඩ්වර්ණ බුද්ධරශ්මිහු නික්මෙන්ට පටන්ගත්තාහුය (එමහත් හේතු කවරේදයත්?) සූක්ෂමාතිසූක්ෂමතර ප්රතිපුණ්ණ අභිධර්මපිටකය සන්මර්ෂණය කරන්නාවූ සර්වඥයන් වහන්සේගේ සොමනස්සජවන ඥාණය කාරණකොටගෙන තදාධාර වූ ලෝහිතය ප්‍රසන්නවිය එහෙයින් හදයවත්ථු රූපයද ප්‍රසන්නවිය. චිත්තජ රූපයන්ගේ පැතිරයාම හේතුකොටගෙන ඡවිවර්ණය ප්රසන්නවූයේය ඒ හේතුවෙන් චිත්තප්රභව උතුසමුට්ඨාන වර්ණායතනය ශ්‍රී ශරීරයෙහි නිල පීතාදීවෙන් අවයවයන්ගෙන් නික්ම සරසින් දසදහසක් ලෝකධාතුවෙහිද උඩින් බ්‍රහ්මලොකය දක්වාද යටින් අජටාකාශය දක්වාද ධාවනයකොට අවසානයෙහි හාරපසින් අසුරියන් පමණ ප්‍රදේශයෙහි නිශ්චලව සිටියේය මේ ක්‍රමයෙන් සතියක් මුළුල්ලෙහි සන්මර්ෂණයකළාවූ ධර්මය අනන්තාප්‍රමාණ වේමැයැ
“එකං සමයං භගවා දෙවෙසු තාවතිංසෙසු විහරති පාරිච්ඡත්තක මූලෙ පණ්ඩුකම්බලසිලායං තත්ර ඛො භගවා දෙවානං තාවතිංසානං අභිධම්මකථං කථෙසි,, යනු අභිධර්මපිටකයාගේ නිදානපාඨයයි: තථාගතයන් වහන්සේ බුද්ධවූ සත්වන වර්ෂයෙහි තීර්ථකයන්ගේ මානමර්දනය පිණිස ගණ්ඩම්බරුක්මුලෙහි යමකප්‍රාතිහාර්ය දක්වා ත්රිපදවික්රමයෙන් තව්තිසාව දෙව්ලොවට වැඩි සක්දෙවිඳුහුගේ පරසතු මන්දාරරුක්මුලෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි යුගඳුරු මුදුනපත් බාලාර්කමණ්ඩලයක් මෙන් වැඩහිඳ දසදහසක් සක්වළින් රැස්වූ දෙවි බඹුන් මධ්‍යයෙහි මාතෘ දිව්‍යපුත්‍රයා කායසාක්ෂිකොට තෙමසක් මුළුල්ලෙහි වේගයෙන් බස්නා ආකාශ ගංගා ප්රවාහයක්මෙන්ද කල්පාන්ත මේඝය වර්ෂා කරන්නාක්මෙන්ද දෙශනා කොට වදාළාවූ අභිධර්මය අනන්තාපරිමාණවෙයි. එසේ දෙශනා කරන කල්හි මිනිස් ලොව කාලවේලාව බලා භික්ෂාචාර වේලාවෙහි නිර්මිත බුදු කෙනෙක් මවා එසේම දෙශනා කෙරෙවායි අධිෂ්ඨාන කොට උතුරුකුරු දිවයින පිඬුපිණිස වැඩ අනවතප්ත විලෙහි වැළඳ විහාරපර්වතයෙහි දීවා විහරණය පිණිස වැඩනැවත වැඩිකල්හි උපස්ථානයට පැමිණෙන සැරියුත් මහ තෙරුන්ට සාරිපුත්‍රයෙනි අද මෙතෙක් ධර්මය දෙවියන්ට දෙශනා කෙළෙමියි. ඒ දවස දෙවියන්ට දෙශනා කළාවූ අභිධර්ම දේශනාව නය සන්දර්ශන මාත්රාක්රමයෙන් දැක්වූ සේක් නයප්රඥාවන් අගතැන්පත් සැරියුත් මහ තෙරුන් වහන්සේ සද්ධිවිහාරික පන්සියයක් භික්ෂූන්ට ඒ මාතෘකාව එල්බගෙන විස්තාර සහිතව කළ දෙශනාතොමෝ ප්රකරණ ප්රමාණවශයෙන් “ධම්මසංගණී විභංග ධාතුකථා පුග්ගලපඤ්ඤත්ති කථාවත්ථු යමක පට්ඨාන,, යන මොවුන්ගේ වශයෙන් සප්ත ප්රකරණයෙක්හි ඇතුලත් වන්නීය. ඔවුන් අතුරෙන් මේ ධාතුකථා ප්‍රකරණය මාතෘකානුකූලව දෙශනා කොට වදාරණ ලද්දී යි. එයද නොයෙක් අධිකවූ ඛණ්ඩවාර සංඛ්‍යාවන් ඇත්තේ වීනමුත්ද නිරවශෙෂයෙන් විස්තර කරණු ලබන්නෙ නම් අනන්තාපරිමාණ වේ මැයි.
එපරමගම්භීරවූ අභිධර්මපිටකයට අයත් සප්ත ප්‍රකරණයන් අතුරෙන් තුන් වෙනි ප්රකරණ වූ මේ ධාතු කථා ප්‍රකරණය වනාහි අභිධර්මය හදාරන්නාවූ ධාතුසංඛ්යාත විදර්ශනානුක්රමයෙහි විදර්ශනා වඩා මාර්ග ඵලාධිගමය කරණු කැමැත්තාවූද සියල්ලන් විසින්ම අතිවශ්යයෙන් පාළිභාෂා වශයෙන්ද උද්ග්‍රහණ ධාරණාදිය කටයුතු වේ.
අභිධර්මය හදාරන්නවුන් විසින් පළමු කොට අභිධර්මාර්ථ සංග්‍රහය විභාවිනී ටීකාව අභිධර්ම සුත්රාන්ත සංඛ්‍යාත උභය මාතෘකාව යනාදී පොත් ආචාර්යයන් සමීපයෙන්ම ඉගෙන තදනන්තරව මේ ධාතුකථාප්‍රකරණය අධ්‍යයනය කිරීමෙන් නිසි සේ ඉගෙන ගතයුතු වේ.
අපේ ලක්දිව දැනට ශාසනානුග්රහවු පර්‍ය්‍යාප්තිය ඉගැන්වීමහා ඉගෙනගැනීමද අභාවප්‍රාප්තවීම කරණ කොට ගෙන ශාසන පරිහාණියද ඉතා ආසන්නවී තිබේ. පාලි සංස්කෘතාදි භාෂා හා තද්ව්යාකරණ ඉගෙන ගත්තවුන්ගෙන් මෙයට ඇති ගාම්භීර්ය්ය අදහස් දැනගැනීම ඒකාන්තයෙන් නොහැක්කේමය. නානානය ප්‍රතිමණ්ඩිත පරමගම්භීරාර්ථයෙන් යුක්තවූ මෙම ප්‍රකරණය නියම ඇදුරු පරපුරෙන් උද්ග්‍රහණය නොකොට අටුවාටීකා බලා ඇම කීවහැකිදැයි නුවණින් සලකා බැලිය යුතුයි—නොදෙක් මේ ප්‍රකරණය පමණක් නොව යමකපට්ඨානප්රකරණයද එසේමැයි එබැවින් නියම ගුරුඇසුරෙන්ම ඉගෙනගතයුත්තක් බව මෙයින් ප්‍රකාශකරණ කාටවුනත් වැටහෙනු නිසැකයි—තවද ආභිධර්මික සංඥාව ධර්මකථිකයෙක් වනුපිණිස සූත්රවිනයමාත්රයක් හදාලපමණින් ධර්මකථිකයෙක් නොවනබවහා නාමරූපවිභාගය නොදැන විදර්ශනා නොකටහැකිබවද ආගමනීයමයයි. “ආභිධම්මිකභික්ඛුයෙව කිර
ධම්ම කථිකානාම කස්මා තෙ ධම්මං කථෙන්තා කම්මන්තං විපාකන්තං රූපාරූප පරිච්ඡේදං ධම්මන්තං ආලොළෙත්වා නකථෙන්ති අනභිධම්මිකාපන ධම්මකථං තථා ලොළෙත්වා තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිතකාලෙ පඤ්හං කථෙස්සති,, යනු ඊට සාධක පාඨයි (මෙහි අර්ථ සුබෝධයි) කර්මාදීන්ගේ විභාගාදිය හා නානානයෙන් දැනගණුකැමැති සියල්ලන්විසින්ම මේ අභිධර්මය නියමආචාර්ය්යයන්ගේ වාචනාමාර්ගය ඇසුරුකොට ගෙන ඉගෙනීමට උත්සාහවැඩියයුතුයි.
වර්තමාන කාලයෙහි බොහෝ දෙන ධර්ම විනය ඉගෙනීම අගරු කොට සලකා සංස්කෘතාදි භාෂා හා නොයෙක් තිරශ්චීන විද්‍යා ඉගෙනීම මිථ්‍යා ජීවයෙන් උදරභරණ මාත්‍රයම පරමාර්ථ වශයෙන් සලකා ක්රියාකරණ බැවින් දැනට ශාසනය පිරිහීමේ ලකුණු බොහෝදුර පහළවීගෙන ඇවිත්තිබෙනබව නුවණැත්තන්ට ප්රත්යක්ෂ කාරණයකි.
මේ ශාසනයාගේ චිරස්ථිති පිණිස ක්‍රියා කිරීමෙහි ප්‍රධාන අයිතිකාරයන් භික්ෂූන් වහන්සේලාම බැවින් උන්වහන්සේලා පර්‍ය්‍යාප්ති ධර්මය නිසීසේ ඉගෙනගැනීම් දැරීම් ආදි වශයෙන් පුහුණුකරන්නේ නැත්නම් ශාසනයාගේ චිරප්රවෘත්තියට එය හේතු නොවේමය—එබැවින් දුකසේ ලත් මිනිසත්බව සඵල කරගණුකැමැති සියල්ලන්විසින්ම පළමුකොට ධර්මවිනය නිසීසේ ඉගෙනීමට උත්සාහවැඩියයුතුයි.
තවද දික්වැල්ලේ සුදස්සානානන්ද විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රද්ධා ශීලාදී නෙක ගුණගණාභරණ සම්ලංකෘත අතිගෞරවාර්හ ගණාචාර්‍ය්‍ය ගණපාමොක්ඛ වැලිගිටියේ වජිරඤාණ ලංකාර සිරිසුමන මහා ස්ථවිර ස්වාමිපාදොත්තමයාණන් වහන්සේගේ ශිෂ්‍ය භූත වූ දික්වැල්ලේ ගුණරතනාභිධාන වූ අපි පළමුකොට ලොකප්‍රසිද්ධ වූ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණේ බොහෝ කලක් ශබ්දශාස්ත්රානුද්ග්රහණය කරණුලැබ ඉක්බිති “බුද්ධසාසන මහාසුරසෙනාපති,, යන රාජදත්තිය ගෞරවනාමාංකිත ස්වර්ණමණ්ඩලීවන උෂ්ණීසපට්ටධාරී ඇම්. ධර්මරත්න ලක්මිණීපහන්කර්තෘභූත පණ්ඩිතතුමන් අතිරේක දශවර්ෂකාලයක් ඇසුරුකොටගෙන පිළිවෙළින් “උභයප්රාතිමොක්ෂය කඞ්ඛාවිතරණිය, අභිධර්මාර්ථසංග්‍රහය, විභාවිනීටීකාව, අභිධර්මසූත්රාන්ත සංඛ්‍යාත උභයමාතෘකාව, සච්චසංඛෙපය, ධාතුකථාප්‍රකරණය, කථාවත්ථුප්රකරණයෙන් අටුවාසහිත කොටසක් සහ, යමකප්රකරණයෙන් අටුවාසහිත මූලයමකයද, අට්ඨසාලිනී අටුවාව, සම්මොහවිනොදනී අටුවාව, නිද්දෙසපාඨය සහ, එම අටුවාවද, යන ධර්මවිනයධරයන් විසින් අවශ්‍යයෙන් උගතමනා සියලුපොත්පත් මහාවිහාරාන්වයෙන් අවිච්ඡින්නව එන්නාවූ ආචාර්ය්යපරම්පරානුයාත වාචනාමාර්ගය අන්වොහාර උද්ග්රහණයකොට ඒ ගුරුමුඛයෙන් උගත්පරිද්දෙන්ම ශාසනානුග්රහයපිණිස මේ ධාතුකථාප්රකරණයට විස්තරසහිත අර්ත්ථාවබොධනයක් ලියා අවසන්කෙළෙමු
ඉන්පසු මෙහි නම සඳහන් වන දෙමටගොඩ පදිංචි ඇස්. ඇස්. පෙරේරා, ඩබ්ලිව්. ඇම්. අභයසේකර යන මහතුන්විසින් ශාසනයාගේ චිරස්ථිතිය ප්රාර්ථනාකොට රුපියල් (700) හත්සියයකට වැඩිගණනක් වියදම්කිරීමෙන් මෙය මුද්රණයකරවා ලක්දිව ආධුනිකයන් අතට පත්කරවනලැබූබව සතුටින් සඳහන්කරම්හ.
තවද රත්මලානේ පදිංචි ශ්‍රද්ධාබුද්ධි සම්පන්න මුණිසිංහ රත්න මෙන්දිස් සිල්වා වෙදමහතා විසින් ඇතුළුවූ ස්වකීය හාමිනේ සහ දූදරු පවුලවිසින් හස්තුග්රාහයක් ආවාසයකොට අපට නැවතීසිටගණ ඉගෙනගැනීමට කාපසරුප්පරිද්දෙන් සම්පාදනයකොටදී අපි එහිවිසූ මුළුකාලය තුළ දවස්පතා ශක්තිපමණින් සිව්පසයෙන් උපස්ථානකිරීමෙන්හා අපගේ ඉගෙනගැනීමට ආවශ්යකවූ පිටපත්වලට අයත් බණදහම් පොත්පත්රාශියක් එගම්වැස්සනුත් දායකකරවාගෙන සම්පාදනයකොටදීම් ආදිවශයෙන් කරණලැබූ ආධාරොපකාරයන් කරණකොටගෙන මාගේ මනොරථයද මුදුන්පත්වී ඔවුන්ටද ස්වර්ගමොක්ෂසම්පත් ලැබීමට සුදුසු උදාරතර පුණ්‍යකර්මයක් අත්වත්වූයේය.
එසේම දෙහිවල පදිංචි රත්නත්‍රය මාමක ශ්‍රද්ධාසම්පන්න එලිසා හැරෝ උපාසිකාව විසින්ද බොහෝ කලකපටන් අපට බොහෝ ආධාරොපකාරාදියකිරීමෙන් පුණ්‍යසම්භාරයක් රැස්කරගණුලැබූබවද කෘතඥතාගුණයසලකා මෙහි සඳහන්කරම්හ.
තවද මේ ස්ථානය සත්‍යය ප්‍රකාශ කටයුතු තැනක් බැවින් අපේ නියම මූලස්ථානය වූ දික්වැල්ලේ වැවුරුකන්නල සුදස්සානන්ද විහාරස්ථානය දකුණුපළාතේ අමරපුරනිකායේ ඉතාපොහොසත් විහාරස්ථානයක්වතනමුත් අනාථව සියරටහැර අභිගතකළ මේ දහතුන්හවුරුද්ද මුළුල්ලෙහි අපේ මේ ඉගණගැනීම පිණිස අපේ ඒස්ථානය වෙනුවෙන් කෙසේකළත් මෙප්රස්ථාවෙහි “කම්මස්සකා මාණව සත්තා,, යනාදීන් වදාළ දේශනාවේ ක්‍රමයට අපේකර්මයම ඉදිරියට ආවුත් අපටත් උපකාරකළබවත් සඳහන්කරමු.
මීට, ශාසනස්ථිතිකාමී
ඩී, ගුණරතනස්ථවිරවම්හ.
ශ්‍රී බුද්ධවර්ෂ 2456 ක්වූ වෙසක්මස පුරපසළොස්වක් දවස්හිය.
D. Goonaratana Sthavira
ඩී, ගුණරතනස්ථවිරවම්හ.
ශ්‍රී බුද්ධවර්ෂ 2456 ක්වූ වෙසක්මස පුරපසළොස්වක් දවස්හිය.
D. Goonaratana Sthavira