48-AP-Kathavastuprakarana 1.pdf

කතෘ :
කෝදාගොඩ ඤාණාලොක හිමි
ප්‍රකාශිත වර්ෂය :
1967
මුද්‍රිත වර්ෂය :
1967
පිටු ගණන :
617
බාගත කිරීම් ගණන :
2,401
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
89 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 309

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 44 වන වෙළුම ලෙස පළ වූ මෙම කෘතිය, අභිධර්ම පිටකයට අයත් පස්වන ග්‍රන්ථය වන කථාවස්තුප්‍රකරණයේ පළමු භාගයයි. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් තෙවන ධර්ම සංගායනාවේදී විභජ්ජවාදය තහවුරු කරමින් පුද්ගලවාදය ආදී විවිධ නිකායවාදී මිථ්‍යා මත ඛණ්ඩනය කරමින් දේශනා කරන ලද කථාවස්තුප්‍රකරණ පාළි පෙළ සහ එහි සිංහල පරිවර්තනය මෙහි ඇතුළත් වේ.

මෙම පරිවර්තනය අහංගම විද්‍යාචන්ද්‍ර පරිවේණාධිපති පණ්ඩිත කෝදාගොඩ ඤාණාලොක නායක ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, ලබුගම ලංකානන්ද හිමි, කරණඩමිටිගොඩ සුමනසාර හිමි, පරවාහැර වජිරඤාණ මාහිමි, සහ බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක හිමි ආදී වියතුන්ගේ උපදෙස් හා සහයෝගය ඊට ලැබී ඇත. ග්‍රන්ථ ආරම්භයේදී පරවාහැර වජිරඤාණ හිමියන්ගේ සංස්කාරක නිවේදනයක් සහ ලබුගම ලංකානන්ද හිමියන් විසින් සම්පාදිත දීර්ඝ ඓතිහාසික හැඳින්වීමක් (සංග්‍රහණය) අඩංගුය.

සංස්කාරක නිවේදනය

අභිධර්මපිටකයෙහි පස්වන ග්‍රන්ථය වූ කථාවස්තුප්‍රකරණයෙහි ප්‍රථමභාගය බුද්ධජයන්ති ත්‍රිපිටකග්‍රන්ථමාලාවෙහි සුසාලිස් වන ග්‍රන්ථයයි. බුද්ධජයන්ති අනුස්මරණ පිළිබඳ කෘත්‍ය සංවිධානය සඳහා ලංකාණ්ඩුවෙන් පත්කරණලද ලංකා බෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූ අහංගම විද්‍යාචන්ද්‍ර පරිවේණාධිපති, දක්ෂිණලංකාවෙහි ප්‍රධාන සද්ධර්මනායක පණ්ඩිතාචාර්‍ය්‍ය කෝදාගොඩ ඤාණාලොක මහාස්ථවිරයන්වහන්සේ කථාවස්තුප්‍රකරණපාළිය සිංහල භාෂාවට නගාලූහ.

ධර්මශාස්ත්‍රයෙහි හා පාළි - සංස්කෘත - සිංහල භාෂාවිෂයෙහි නිපුණ වූ “සාහිත්‍ය සරස්වතී” පණ්ඩිත ඤාණාලොක ස්ථවිරයන්වහන්සේ, ග්‍රන්ථව්‍යාඛ්‍යානයෙහි ලා පූර්වාචාර්‍ය්‍යවරයන් ගත් මග අනුගමනය කරමින් අක්‍ෂරපදබ්‍යඤ්ජනසම්පත් හා ගම්භීරාව් උදවනසේ ග්‍රන්ථගෞරවයට හා සිංහල සාහිත්‍ය පෝෂණයට හිත වූ ශ්ලාඝනීය වචනසන්නිවේශයෙන් මෙතෙක් සියබසට නොපත් කථාවස්තුප්‍රකරණය පළමුවරට සියබසට නගාලීමෙන් තමන් වහන්සේගේ නාමය ලක්දිව ශාසනවංශකථා සමග ඉතිහාසගත කළහ.

උන්වහන්සේගේ හිතමිත්‍ර විද්‍යානිධි පණ්ඩිත ලබුගම ලංකානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් ලියා තිබෙන සංග්‍රහණයෙන් කථාවස්තුප්‍රකරණය පිළිබඳ ඉතිහාසය ද, ග්‍රන්ථතත්ත්වය හා එහි වාදමාර්ගය ද, අභිනව සිංහලපරිවර්තනයෙහි අගය ද මැනවින් පහළ කොට ඇත.

මේ අධිකාරයෙහි අග්‍රමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක ස්ථවිරයන්වහන්සේගෙන් ද උපදෙස් ලැබී ඇත. ග්‍රන්ථය මුද්‍රණයට සකස් කිරීමෙහි දී ත්‍රිපිටකපරිවර්තනකාරකමණ්ඩලයෙහි සාමාජික කාර‍්‍ය්‍යක්‍ෂම පණ්ඩිත කරණඩමිටිගොඩ සුමනසාර ස්ථවිරයන්වහන්සේගෙන් ලැබී තිබෙන උපකාරය අතිශයින් පැසසිය යුතුය. පෙළ හා පරිවර්තනය යෙදෙන ප්‍රමාණයට සරිලනසේ කොටස් තුනකට බෙදා පරිහරණයට ද පහසුවන පරිදි මුද්‍රණය කිරීමට සම්මත වූ කථාවස්තුප්‍රකරණයෙහි ප්‍රථමභාගය අපගේ අවසාන සංස්කරණයෙන් මෙසේ මුද්‍රණයට පමුණුවාලීම මහත් ම භාග්‍යයෙකි. මෙහි ද්විතීය භාගය ද දැනට මුද්‍රණයෙහි පවත්නේ වේ.

සංසාරදුඃඛයාගේ අනුත්පාදනිරෝධය වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට බාධක වූ සත්කායදෘෂ්ටිය ප්‍රභව කොට ඇති පුද්ගලවාදය (=සචේතනික-අචේතනික හැම වස්තුවෙක්හි ම පැතිර පවත්නා ඉන්ද්‍රියවිෂය නො වූ ස්වයම්භූත සර්වබලධාරී ශාශ්වත සුඛස්වරූප ආත්මයෙක් ඇතැයි මායාමෝහනයෙන් ගන්නා අවිද්‍යාත්ම සංකල්පය) කථාවස්තුප්‍රකරණයෙන් ඛණ්ඩනය කොට ඇත.

මේ මිථ්‍යා සංකල්පය නිසා සත්ත්වයා සසරදුකෙහි බැඳී නිර්වාණාධිගමය නොලබන බව අවබෝධ කොටගත් මහාකාරුණික බුදුරජානන් වහන්සේ පඤ්චස්කන්ධ - ද්වාදශායතන - අෂ්ටාදශධාතු - ධාත්වංගතිස්ස යන ධර්මප්‍රඥප්තීන්ගේ සත්පණස් අවයව ධර්මධාතු (හේතුඵලනියාම) වශයෙන් විභාග කොට දක්වමින් විභජ්ජවාදය (අභිධර්මය) දේශනාකරමින් ප්‍රාකෘතක (ලෞකික) ජනයා විසින් පඤ්චස්කන්ධාදිය සත්ත්ව, පුද්ගල, ආත්ම වශයෙන් එකත්වයක් සේ ගැන්ම වූ ඒකාංශවාදය හෙවත් සක්කායදෘෂ්ටිය මිථ්‍යාවක් බව ප්‍රකාශ කොට වදාළසේක.

පුද්ගල (ආත්ම) වාදාදි වශයෙන් එකල පැවැති මිථ්‍යාමත බුදුරජානන් වහන්සේ වදාළ විභජ්ජවාදය අනුව මැඩලමින්, එසේ ම මතු ඇතිවන ශූන්‍යාර්ථිකයන් විසින් බුද්ධාභිධර්මය සම්බන්ධයෙන් නැගිය හෙන මතන්තර ද මැඩලීමට කරුණු දක්වමින් මොග්ගලිපුත්තතිස්ස මහරහතුන් වහන්සේ විසින් සැටදහසක් පමණ වූ සඟුන්මැද කථාවස්තුප්‍රකරණය ‘විභාග’ යන අර්ථ ඇති ප්‍රකරණ නාමයෙන් ම විභාවනා කරණ ලද්දේය.

එබැවින් මේ අභිධර්ම ග්‍රන්ථය ද මිථ්‍යාදෘෂ්ටිවිනිර්මෝක්‍ෂණයෙන් සත්‍යඥාන උද්භාවනයෙන් තථාගතප්‍රවේදිත නිර්වාණාධිගමයට ප්‍රණීත වූ මාර්ගයක් බව නිවන් පසක් කරණු කැමැති සැදැහැවතුන් විසින් සැලකිය යුතු වේ. ලංකාණ්ඩුව මගින් මහජන මුදලෙන් මේ පාළිග්‍රන්ථය ඉතිහාසයෙහි පළමුවරට අපගේ සිංහල භාෂාවට පරිවර්තනය කරවා මුද්‍රණයට පැමිණවීමෙන් ජනිත වන ධර්මදානමය පුණ්‍ය මහිමයෙන් මේ අධිකාරයට සම්බන්ධ මුද්‍රණ ශිල්පීන් ඇතුළු සියල්ලෝම නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා! නිවන් දකිත්වා! යනු අපගේ ආශංසනය යි.

පරවාහැර වජිරඤාණ.
ත්‍රිපිටකපරිවර්තන කාරකසභාවෙහි ද
සංස්කාරකමණ්ඩලයෙහි ද සම්පාදක.

බුද්ධවර්ෂ 2511.
ත්‍රිපිටක කාර්යාලය,
174, සිරිවජිරඤාණ මාවත,
කොළඹ 9.

පරිවර්තක නිවේදනය

සුවිශෙෂ හෙවත් දත් අප බුදුරජාණන් වහන්සේ පන්සාලිස්වසක් කාශ්‍යප-මහාමෙඝයක් සෙයින් සිට දහම්වහරේ වස්නුවන් අනාගතයෙහි සද්ධර්ම ප්‍රතිරූපක උපදනා පරිදි දක්වමින් මහසුප් මහරහත්හට සද්ධම්මප්පති-රූපක සූත්‍ර දෙසා, දෙශනාධර්මය පරීක්‍ෂා කොට ගනමනාසෙ දක්වමින් සඟහට මහාපදෙස සූත්‍ර දෙසා, සස්නට වන භය දක්වමින් අනාගතභය සූත්‍ර දෙසා, ආනාගතරක්‍ෂා පිණිස මං පහයා තබා පිරිනිවි පසු, දහම්සෙන් සක්විති මහරජාණන් දවස තුන්වන සාහස්‍රිකධර්මසංගායනායෙහි සර්වඥස්ථවිර වැ සිටි මොග්ගලිපුත්තතිස්ස මහතෙරණුවන් මහාසඞ්ඝිකාදි නානාවාදනිකායවාසීන් තත්තත්සූත්‍රපදයෙහි අර්ථ වරදවා ගෙනැ දුර්ලබ්ධි උද්භාවනා කරන්සෙ දැකැ, දෙව්ලොවැ අබිදම් දෙසමින් බුදුන් දුන් නය ගෙනැ පරවාද මර්‍දනය පිණිසැ සඟමැද දෙසු කථාවත්ථුප්පකරණය සඬ්ගීතියට නැගීමෙන් පසු ථෙරියනිකායවාසීන් වාචනාමාර්ගයෙන් ගෙනැ ආසෙ මැ අද ද අප අතර පවත්නේ වෙයි.

අභිධර්මපිටකයෙහි සප්තප්‍රකරණයට ඇතුලත් කොට ප්‍රකරණනාමයෙන් තැබූ එ කථාවත්ථුප්පකරණය ගෙවුණු දෙවාදහස් දෙසිය පන්සාළිසෙහිදු සියබසට නො නැගුණේය. බුද්ධජයන්ති සංවිධානය සඳහා ලංකාණ්ඩුව විසින් පිහිටුවන ලද ලංකා බෞද්ධ මණ්ඩලය විසින් ඒ ප්‍රකරණය සියබසට නංවා තැබීමෙහි කාර්‍ය්‍යභාරය අප වෙත දක්වා දෙනලදි. අපිදු මතු සඳහන් කරන පඬිවරුන්ගේ වහල් ද ලැබැගෙනැ තෙල දුෂ්කර කාර්‍ය්‍යයෙහි ව්‍යාපෘත වූම්හ.

අපගේ ප්‍රිය ශිෂ්‍ය වන අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙන්හි ආචාර්‍ය්‍ය, ශාස්ත්‍රවේදී පාතෙගම මංගල ස්ථවිරයෝ ද, අපගේ ශිෂ්‍ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ඩබ්ලිව්.ඒ.ජේ. විතාරණ (ඇම්. ඒ.) මහතා ද මෙහිලා සහාය වූවන් අතුරෙහි පළමු මැ සඳහන් කලයුතු වෙති. විතාරණ මහතා අධ්‍යයනාභ්‍යාසයෙහි දී බෙහෙවින් වෙහෙස දැරූ බව වෙසෙසින් කියයුතු වෙයි. මුද්‍රණය පිණිස දෙවනවර අත්ලිපි සකස් කිරීමෙහි දී වත්මන්යෙහි විද්‍යොදයනගරයාගේ ආදර-ගෞරවයට පාත්‍ර වූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි උපප්‍රධානාචාර්‍ය්‍ය, අපට කල්‍යාණමිත්‍ර වැ සිටිනා පණ්ඩිතාචාර්‍ය්‍ය ලබුගම ලංකානන්ද සද්ධර්මනායක ස්ථවිරයන් වහන්සේ ද, ධර්මවිනය ශබ්දශාස්ත්‍ර තර්කන්‍යායාදියෙහි ප්‍රවීණ පණ්ඩිතරත්නයක් වන කරණඩමිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ ද බෙහෙවින් වහල් වූහ. ලංකානන්ද සද්ධර්මනායක ස්ථවිරයන් වහන්සේ අර්ථව්‍යාඛ්‍යානයෙහි විෂමස්ථාන සකස්කිරීමෙහි ද, සුමනසාර ස්ථවිරයන් වහන්සේ ග්‍රන්ථාගත ප්‍රවෘත්ති - විස්සර්ජනා සකස් කිරීමෙහි ද, පාඨසංසන්දනා හා වාක්‍යච්ඡේද වෙන් කිරීමෙහි ද බෙහෙවින් උපකාරී වූහ.

පොත් සපයාදීමෙහි ලා මාතර ශ්‍රී සුදර්ශි පරිවේණාධිපති, පණ්ඩිතාචාර්‍ය්‍ය කඩවැද්දුව සිරිනිවාස සද්ධර්මනායක ස්ථවිරයන් වහන්සේ ද, අහංගම එළුකැටියේ බිම්බාරාමාධිපති වැ සිටි අහංගම පඤ්ඤාවාස මහාස්ථවිරයන් වහන්සේ ද, ශ්‍රීමත් හේම එච්. බස්නායක මැතිතුමා ද කළ අනුග්‍රහය කෘතඥතාවයෙන් සඳහන් කලයුතු වෙයි.

මෙහි සියලු දුෂ්ටස්ථාන සුස්ථ කිරීමෙහි ද ප්‍රණීතාර්ථ එලවාලීමෙහි ද එළිය දුන්නාහු නම්: විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි සම්මාන උපකුලපති ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය මහොපාධ්‍යාය, දක්‍ෂිණ විශාරද අතිගෞරවාර්හ පරවාහැර සිරිවජිරඤාණ කොළඹ නවකෝරළයේ ප්‍රධාන සද්ධර්මනායක මාහිමියන් වහන්සේ වෙති. උන්වහන්සේගේ නැණපහස නොහුන් තැනෙක් මෙහි නැත.

ග්‍රන්ථය පිළිබඳ යම් යම් වැදගත් කරුණු ගෙනැ සාකච්ඡා කිරීමෙහි දී විසිරගිය යශොඝෝෂා ඇති අග්‍රමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක ස්ථවිරයන් වහන්සේ ද සහභාගි වැ සිටිබව කියම්හ.

අපගේ ආවාසස්ථානම විද්‍යාචන්ද්‍රපිරිවෙන්හි අධ්‍යක්ෂ, කීර්ති ශ්‍රී වාගීශ්වර පරදූව සිරි ජීනරතනාභිධාන නල්ලේපත්තුව ඇතුළු මාතරදිශායෙහි ප්‍රධානසද්ධර්මනායකමහාස්ථවිරයන් වහන්සේ නන් අයුරින් තෙල කෘතියෙහිලා අපට ධෛර්‍ය්‍ය දුන් බව ද, ත්‍රිපිටක කාරකමණ්ඩලයෙහි නියුක්ත, දෝරගමුවේ පණ්ඩිත ධම්මපාල ස්ථවිරයන් වහන්සේ මෙහි මහත් ආදරයෙන් හිතකර ව ක්‍රියා කළබව ද අවසාන වශයෙන් සඳහන් කරම්හ.

කෝදාගොඩ ඤාණාලොක ස්ථවිර.

විද්‍යාචන්ද්‍ර පිරිවෙන,
අහංගම.
දෙසැම්බර්, 1967.