47-AP-Vibhangappakarana 2.pdf

ප්‍රකාශිත වර්ෂය :
1975
මුද්‍රිත වර්ෂය :
1975
පිටු ගණන :
355
බාගත කිරීම් ගණන :
2,109
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
72 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 178

විභඞ්ගප්පකරණ (ද්විතීය භාගය) යනු අභිධර්ම පිටකයේ දෙවන ග්‍රන්ථය වන විභංගප්පකරණයේ දෙවන භාගයයි. මෙය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 43 වන වෙළුම ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි මුල් සිංහල අනුවාදය මාතර ශ්‍රී සුදර්ශී පරිවේණාධිපතිව වැඩවිසූ කඩවැද්දූව සිරිනිවාස නායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අතර, ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයේ රාජකීය පණ්ඩිත ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් සහ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේලා විසින් පාඨශෝධනය සහිතව ප්‍රතිසංස්කරණය කර ඇත.

මෙම දෙවන කාණ්ඩයට පහත සඳහන් විභංග ඇතුළත් වේ:

  • බොජ්ඣඞ්ග විභඞ්ගය
  • මග්ග විභඞ්ගය
  • ඣාන විභඞ්ගය
  • අප්පමඤ්ඤා විභඞ්ගය
  • සික්ඛාපද විභඞ්ගය
  • පටිසම්භිදා විභඞ්ගය

මෙම කෘතිය බු.ව. 2518 (ක්‍රි.ව. 1975) දී ශ්‍රී ලංකා ජනරජය මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලදී.

සංස්කාරක නිවෙදනය

අභිධර්‍ම සප්තප්‍රකරණයට අයත් විභඞ්ගප්‍රකරණය ග්‍රන්‍ථප්‍රමාණ්‍ය සලකා කාණ්ඩ දෙකක් වශයෙන් මුද්‍රණය කරවීමට නියම විය. එහි ඛන්ධවිභඞ්ගයේ පටන් විභඞ්ග නවයකින් ප්‍රථම භාගය සංගෘහිත විය. “බොජ්ඣඞ්ග” විභඞ්ගයේ පටන් “ධම්මහදය” විභඞ්ගය අවසන් කොට ඇති මේ ද්විතීය භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි තෙසාළිස් 43 වැනි වැනි ග්‍රන්‍ථය වශයෙන් පළවන්නේය.

ලඞ්කා බෞද්ධමණ්ඩලයේ ආරාධනය පරිදි විභඞ්ගප්‍රකරණයේ මේ ද්විතීය භාගය මාතර ශ්‍රී සුදර්ශී පරිවේණාධිපති ව විසූ කඩවැද්දූව සිරිනිවාස නායක ස්ථවිරපාදයන් වහන්සේ විසින් සිංහල භාෂාවෙන් අනුවාද කරන ලද්දේ විය. එහෙත් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලයේ සම්මතය පරිදි මෙ ද අප විසින් පාඨශොධනය සහිත කොට යළි හෙළබසින් ලියන ලද්දේය. මෙහිදු ශොධන පරිවර්තන කෘත්‍යය පිළිබඳ කොට කියයුතු දෑ ප්‍රථමභාගයෙහි ලා නිවෙදනය කරන ලද්දේය.

මුද්‍රණ අවස්ථාවට පැමිණ අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨාධිපති කෝදාගොඩ සිරි ඤාණාලොකාභිධාන දක්ෂිණ ලඞ්කාවෙහි ප්‍රධාන සංඝනායකස්ථවිරයන් වහන්සේ යැ විද්‍යොදය පිරිවෙන්හි උපපරිවෙණාධිපති ශාස්ත්‍රපති විද්‍යාවිශාරද රාජකීය පණ්ඩිත රද්දැල්ලේ සිරි පඤ්ඤාලොක අනුනායකස්ථවිරයන් වහන්සේ යැ, විද්‍යොදය පිරිවෙන්හි ආචාර්ය ශාස්ත්‍රපති විද්‍යාවිශාරද රාජකීය පණ්ඩිත වේඩරුවේ සිරි අනොමදස්සි නායක ස්ථවිරයන් වහන්සේ යැ, රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ යැ යන ත්‍රිපිටක සම්පාදකමණ්ඩලය හොබවන ධර්මධර මහතෙරවරුන්ගේ අනවස්ථිත පරිශ්‍රමය අතිශයින් උපස්තම්භක වූ බව කියයුතු ය, ලෙඛකාධිකාරී දෙරංගමුවේ සිරි ධම්මපාල නායකස්ථවිරයන් වහන්සේගෙන් ලැබෙන සහාය ද මෙහිලා අනුස්මරණීය වේ.

තවද ශ්‍රී ලඞ්කාජනරජයේ ගරු අග්‍රාමාත්‍යධුරන්‍ධර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිතුමිය ත්‍රිපිටක ග්‍රන්ථමාලාව මුද්‍රණය කරවා ලීමෙහි ලා දක්වන බලවත් ප්‍රසාදය ද, වර්‍තමාන සංස්කෘතික අමාත්‍යතැන් පත් ගරු ටී. බී. තෙන්නකෝන් මැතිතුමාණන් ත්‍රිපිටක මුද්‍රණය හැකිතාක් ඉක්මනින් අවසාන කිරීමට දක්වන උද්‍යොගය ද ප්‍රශංසාර්හ ය. සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් තැන්පත් ඒ. එච්. ඇම්. සුමතිපාල මහතාණන් හා සංස්කෘතික අධ්‍යක්ෂ පී. බී. වේරගොඩ මහතාණන් ද, සහකාර අධ්‍යක්ෂ සෝමපාල ජයවර්ධන මහතාණන් හා සාහිත්‍ය සංවර්‍ධන නිලධාරී කේ. ජී. අමරදාස මහතාණන් ප්‍රමුඛ සංස්කෘතික නිලධරුවන් මෙහි ලා දක්වන උනන්දුව බෞද්ධජනතාවගේ ප්‍රසාදයට සුදුසු බව කියමහ.

රාජ්‍යය පිළිබඳ අනෙකගත කෘත්‍යබහුලත්‍වයෙන් සම්බාධ ව තිබියදීත් රජයේ මුද්‍රණාලයාධිපති ඇල්. ඩබ්ලිව්. පී. පීරිස් මහතාණන් ත්‍රිපිටක මුද්‍රණ කාර්යාංශයකුදු පිහිටුවා ඒ සඳහා දෙන අනුබලය ද, එම කාර්යාංශයෙහි මහතුන් භක්තිසම්ප්‍රයුක්ත ව මුද්‍රණ කටයුතු මැනවින් කරගෙන යාම ද ජාතියේ ප්‍රශංසාවට නිසි වෙයි. ත්‍රිපිටක කාර්යාලය පිහිටි කොළඹ මහානායක චාරිකාරාමයෙහි නියුක්ත ඇම්. ඒ. ආර්. සමරසිංහ මහතාගෙන් මේ සඳහා ලැබෙන සහාය ද ප්‍රශංසා මුඛයෙන් පවසමහ.

සියලු ලෝවැසියනට වැඩදා වූ අතිපරිශුද්ධ ත්‍රිපිටක පර්‍යාප්ති ධර්‍මය ව්‍යාප්ත කිරීමෙහි යත්නදරන මෙ හැම සාධූහු ද, ත්‍රිපිටක සංශොධන සිංහල පරිවර්‍තන සඳහා නන් අයුරින් සහාය දුන් හැම පින්වත්හු ද ධර්‍මදානමය කුශලහෙතුවෙන් සුඛභාගී වෙත්වායි මෙත් සිතින් ආශංසනය කරම්හ.

මෙවගට—ශාසනොදයකාරී,
ලබුගම ලඞ්කානන්ද ස්ථවිර,
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.

ශ්‍රී බුද්ධවර්ෂ 2518,
රාජ්‍යවර්ෂ 1975 දෙසැම්බර් 10 දින,
ත්‍රිපිටක කාර්යාලය,
මහානායක චාරිකාරාමය,
115, විජේරාමමාවත,
කොළඹ 7.

සංඥාපනය

සකල ඥෙයධර්‍මවිෂයෙහි ප්‍රවෘත්ත වූ ඥානචාර ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ යමකමහාප්‍රාතිහාර්‍ය්‍ය දක්වා අවසානයෙහි ත්‍රිදශාලයෙහි වස්විසුසේක් පාරිච්ඡත්තකමූලයෙහි පාණ්ඩුකම්බල නම් සලසුන්හි වැඩහිඳ මාතෘදිව්‍යරාජයන් කායසාක්ෂී කොට දසදහසක් සක්වළ දෙවියනට අනෙකනය ශතසහස්‍රප්‍රතිමණ්ඩිත වූ විප්‍රකීර්‍ණ දෙශනා කළ සේක. ඒ සා මහත් ධර්‍මරාශිය අගසවු අනුබුදු සැරියුත් මහරහතුන් වහන්සේ වාචනාමාර්ගයට නගා පන්සියක් පමණ වූ සිය අතවැසිගණයාට උගන්වාලූසේක. සප්තප්‍රකරණාන්තර්ගත වූ ඒ විප්‍රකීර්‍ණදෙශනා මහාකසුප් ඈ මහරහතුන් විසින් සංගීත්‍යානුසංගීත වැ මෙවක් දක්වා අමෘතප්‍රවාහයක් මෙන් පවත්නේ ය.

බුද්ධජයන්ති මහෝත්සවය අනුස්මරණය සඳහා ලඞ්කාබෞද්ධ මණ්ඩලය විසින් කරනලද යොජනා පරිදි ත්‍රිපිටකග්‍රන්‍ථ ශොධනය කොට හෙළබසට නගා, ශ්‍රී ලඞ්කා ජනරජයේ අනුග්‍රහයෙන් දැනට එම ග්‍රන්ථමාලාවෙන් අඩක් පමණ ප්‍රකාශයට පමුණුවන ලද්දේ ය. අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථයන් අතුරෙන් ධම්මසඞ්ගණි, විභඞ්ග, කථාවත්‍ථු යන තුන්ප්‍රකරණය මුද්‍රණය වී ඇත. එහි අභිධර්මය හා ධම්මසඞ්ගණිප්‍රකරණය ගෙන කියයුතු දෑ, ධම්මසඞ්ගණි සංඥාපනයෙහි ද, කථාවත්‍ථුප්‍රකරණය ගෙන කථාවත්‍ථු ප්‍රථමභාග සංඥාපනයෙහි ද, මේ විභඞ්ගප්‍රකරණය පිළිබඳව මෙහි ප්‍රථමභාග සංඥාපනයෙහි ද ප්‍රකාශ කරනලද්දේ ය. එහෙත් මේ විභඞ්ග—ද්විතීයභාගයෙහි ලා ඇතැම් ශොධ්‍යස්ථාන ගෙන ප්‍රකාශ කරම්හ.

විභඞ්ගප්‍රකරණයෙහි සියවස් බොහෝ ගණනක පටන් අපරීක්ෂායෙන් හෝ අන්‍යථා පරීක්ෂණයෙන් හෝ පතිත වූ ඛලිතස්ථාන හමුවූ බව කියයුතු වේ. එයින් කිසි තැනක් ධර්මධරයන්ගේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරනුලැබේ: පටිසම්භිදාවිභඞ්ගයෙහි (118 පිට) “අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මපටිසම්භිදා, අත්ථධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා” යනු දේශනා පෙළ යැ. පෙළ මෙසේ තිබියයුතු වුව ද “අත්ථධම්මනිරුත්තාභිලාපෙ” යන පදය ඇතැම් කෙනෙක් ‘තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ’යි ද වෙනත් කෙනෙක් ‘‘තස්මිං ධම්මනිරුත්තාභිලාපෙ” යි ද ශුද්ධපාඨ සේ ගත්හ. අටුවාවෙහි එන “තස්මිං අත්ථෙ ච ධම්මෙ ච යා සභාවනිරුත්ති තස්සා අභිලාපෙ” යනු බලා ‘ධම්ම’ ශබ්ද ස්වභාවය ද කියනුයෙන් ‘තස්මිං සභාවනිරුත්තියා අභිලාපෙ’ යනු අර්ථ වියයුතු යයි සලකා ‘තස්මිං හෝ තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ’ යනු ශුද්ධ පාඨ සේ ගත් හ’යි පෙනේ. සිංහල සංස්කරණ කීපයක ද බුරුමරට ඡට්ඨ සංගීතිකාරකයන්ගේ ශෝධනයෙහි ද වෙනත් බොහෝ තැනක ද මේ පාඨය පෙනෙන හෙයින් අපේ සංස්කාරක මණ්ඩලයෙහි ද වැඩි දෙනකුන් වහන්සේගේ මතය පරිදි “තත්‍ර ධම්මනිරුත්තාභිලාපෙ” යනු පෙළ විසින් ගන්නා ලද්දේ ය.

එහෙත් හැම ශෝධක සුධීහු මැ අත්ථ-ධම්ම-නිරුත්ති යන තුන් පටිසම්භිදාවෙහි අර්ථකථා සංසන්දන නොකොට අයාථා නිගමනයකට බැසගත්හ’යි සිතියැ හෙයි. ‘පටිසම්භිදාමග්ග—ගණ්ඨිපදාවර්‍ණනා’ යෙහිදු මේ අපපාඨය පෙනෙනුයෙන් කාලාන්තරපතිත දෝෂයක්බව කියයුතු ය. ඇතැම් පටිසම්භිදාමග්ග අටුවාපොතෙක “අත්ථධම්ම නිරුත්තාභිලාපෙ ඤාණං” (ඒ අර්ථයෙහි ද ධර්මයෙහි ද වූ ස්වභාවනිරුක්ති වචනයෙහි ප්‍රභේදගත ඤාණය) යන ශුද්ධපාඨය ශේෂව තිබීම හේතුකොටගෙන අපි මේ නිගමනයට බැසගතුම්හ.

එහි අර්ථකථාවිවරණය මෙසේ යැ: යං කිඤ්චි පච්චයසමුප්පන්නං, නිබ්බානං, භාසිතත්ථො, විපාකො, කිරියා’ති ඉමෙ පඤ්ච ධම්මා අත්ථො...... තං අත්ථං පච්චවෙක්ඛන්තස්ස තස්මිං අත්ථෙ පභෙදගතං ඤාණං අත්ථපටිසම්භිදා” ප්‍රත්‍යයසමුත්පන්න යැ, නිර්වාණ යැ, භාෂිතාර්ථ යැ, විපාක යැ ක්‍රියා යැ යන පඤ්ච අර්ථයෙහි ප්‍රභේදයට ගිය ඥානය අත්ථපටිසම්භිදා’යි. “යො කොචි ඵලනිබ්බත්තකො හෙතු, අරියමග්ගො, භාසිතං, කුසලං, අකුසලන්ති ඉමෙ පඤ්ච ධම්මා ධම්මො...... තං ධම්මං පච්චවෙක්ඛන්තස්ස තස්මිං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මපටිසම්භිදා”යි ඵල උපදවන හේතු යැ, ආර්යමාර්ග යැ, භාෂිත යැ, කුශල යැ, අකුශල යැ යන පඤ්ච ධර්මයෙහි ප්‍රභේදයට ගිය ඥානය ‘ධම්මපටිසම්භිදා’යි. “තස්මිං අත්ථෙ ච ධම්මෙ ච යා සභාවනිරුත්ති, තස්සා අභිලාපෙ තං සභාවනිරුත්තිසද්දං ආරබ්භ... කත්වා පච්චවෙක්ඛන්තස්ස තස්මිං සභාවනිරුත්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා”යි ඒ පඤ්චවිධ අර්ථයෙහි ද පඤ්චවිධ ධර්මයෙහි ද ස්වභාවනිරුක්තියක් අවිපරීතව්‍යවහාරයක් ඇත, එය පැවැසීමෙහි දී ඒ ස්වභාවනිරුක්ති ශබ්දය අරමුණු කොටගෙන ප්‍රත්‍යවෙක්ෂාකරන්නහුට එහි ප්‍රභේදයට ගිය ඥානය නිරුත්තිපටිසම්භිදා’යි.

තවද පටිසම්භිදාවිභඞ්ගයෙහි සුත්තන්තභාජනීය සංගහවාර විභාගවාර යයි වාර දෙකෙක ලා වදාරන ලද්දේ ය. සංගහවාරයෙහි යට දැක්වූ පඤ්ච අර්ථයෝ ද පඤ්ච ධර්මයෝ ද සංගෘහීතයහ. ඒ ප්‍රභේදවාරය සච්චවාර, හේතුවාර, ධම්මවාර, පච්චයාකාරවාර, පරියත්තිවාර විසින් පස්වැදෑරුම් වෙයි. එහි පර්යාප්ති සංඛ්‍යාත නවාඞ්ගශාස්තෘශාසන ධර්මය-බුද්ධභාෂිතය, ධර්ම’ බව ද, භාෂිතප්‍රත්‍යයෙන් අවබෝධ කටයුතු භාෂිතාර්ථය ‘අර්ථ’ බව ද දක්වන්නට පස්වැනිවූ ‘පරියත්තිවාරය’ වදාරනලද්දේය. එහිදු භාෂිතය දැනගෙන පසුව භාෂිතාර්ථය දැනගන්නා සෙයින් භාෂිත භාෂිතාර්ථක්‍රමයෙන් පළමු ධම්මපටිසම්භිදාව වදාරා පසුව අත්ථපටිසම්භිදාව වදාරන ලදි. එහි සුත්ත ගෙය්‍යා’දි නවාඞ්ගයෙන් නිෂ්ප්‍රදේශ විසින් තන්තිධර්මය ගන්නා ලදි. අත්ථපටිසම්භිදයෙහිදු භාෂිතවශයෙන් නිෂ්ප්‍රදේශ විසින් තන්තිධර්මය මැ ගන්නාලද වෙයි. අටුවාවෙහි මෙ වදාරනලදි: “අයං ඉමස්ස අත්ථො අයං ඉමස්ස අත්ථො’ති ඉමස්මිං ඨානෙ භාසිතවසෙන නිප්පදෙසතො තන්ති එව ගහිතා”යි. භාෂිතවශයෙන් තන්තිධර්මය ම ‘අර්ථ’යි ද ගන්නාලදැයි දක්වා ඇත. මෙසේ අවධාන සහිත කොට විමසා බලත් බලත්මැ අත්ථ ධම්ම දෙක්හි බැසගෙන සිටුනා ස්වභාවනිරුක්ති ශබ්දය අරමුණු කොට නුවණින් විමසන්නහුට එහි ප්‍රභේදගත ඥානය නිරුත්තිපටිසම්භිදා වෙයි. මේ අර්ථය පහළකරනු සඳහා “අත්ථධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්ති පටිසම්භිදා”යි පෙළ හෙළාගතයුතු බව කියමහ. මේ සංස්කරණයෙහිදු සුත්තන්තභාජනීයෙහි සත් තැනක ද අභිධම්මභාජනීයෙහි එක්විසි තැනෙක ද තත්‍ර යන පදය යෙදී ඇත. ඒ හැමයෙහි ‘අත්ථ’ යනු තථාගතානුමත රූපය සේ යොදාගත යුතු යි.

තවද ධම්මහදයවිභඞ්ගයෙහි ලා “කාමධාතුයා උප්පත්තික්ඛණෙ කති ඛන්ධා පාතුභවන්ති” යනාදීන් වදාළ භූමිත්‍රයෙහි උත්පත්තික්ෂණයෙහි විද්‍යාමාන අවිද්‍යාමානධර්මයන් දක්වන සතරවැනි වාරයෙහි හේතු දක්වන තැන බොහෝ සංස්කරණයන්හි ‘කස්සචි අහෙතුකා පාතුභවන්ති’යි පාඨයක් දක්නට ලැබිණ, එය මුලින් සිටි “කස්සචි දෙව හේතු පාතු භවන්ති” යනාදි පාඨ බලා කාලාන්තරයෙහි පටන් ලේඛකයන් අතින් පතිතවූ ප්‍රමාදපාඨයක් ශෝධකයන් විසින්දු එසේ ම ගත්බව සිතියැ හෙයි, එහෙයින් “කෙචි අහෙතුකා පාතු භවන්ති”යි (290 පිට) සකස්කළෙමහ. එහි ම අහෙතුකයන් දක්වන තැන හැම සංස්කරණයක ම ‘අවසෙසානං සත්තානං අහෙතුකා පාතු භවන්ති’ යන වාක්‍යය එයි, එ ද ලේඛකයන්ගේ අනවධානයක් බව පෙනෙන හෙයින් “අසඤ්ඤසත්තා දෙවා අහෙතුකා අනාහාරා...... අවිඤ්ඤාණකා පාතුභවන්ති” (300 පිට) යන පාළිය හා සසඳා “අවසෙසා සත්තා අහෙතුකා පාතුභවන්ති”යි (298 පිට) ශුද්ධපාඨය සේ යොදාලූම්හ. මේ සංස්කරණයෙහි අනිකුදු බොහෝ ශෝධ්‍යස්ථාන ඒ ඒ පිටුයෙහි අධො ලිඛිත පාඨ විසින් දතහැකි වේ.

අපගේ මේ පරිශ්‍රමය සම්බුද්ධශාසනයාගේ අකලඞ්ක වැ චිරජීවනය පිණිස පවතීවා’යි ද මේ සත්ක්‍රියාවෙහි සහාය වූ ද ප්‍රසාදය දැක්වූ ද හැම සජ්ජනයෝ සුඛභාගී වෙත්වා’යි ද ආශංසනය කරම්හ.

මෙවගට—ශාසනොදයකාරී,
ලබුගම ලඞ්කානන්ද ස්ථවිර,
ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක.

ශ්‍රී බුද්ධවර්ෂ 2518
රාජ්‍යවර්ෂ 1975 දෙසැම්බර් 10 දින.