44-KN-Petakopadeso.pdf

කතෘ :
මහා කච්චායන හිමි
ප්‍රකාශිත වර්ෂය :
1989
මුද්‍රිත වර්ෂය :
1989
පිටු ගණන :
374
බාගත කිරීම් ගණන :
1,351
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
68 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 188

පෙටකොපදෙසො යනු බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 40 වන වෙළුම (සූත්‍ර පිටකයේ 34 වන ග්‍රන්ථය) ලෙස පළ වූ ඛුද්දක නිකායට අයත් ප්‍රකරණ ග්‍රන්ථයකි. මෙය නෙත්තිප්පකරණය මෙන්ම සූත්‍ර ධර්මයන්හි අර්ථ විග්‍රහ කිරීමේ හා ධර්ම න්‍යාය විවරණය කිරීමේ ක්‍රමවේදය (හාර්‍ය්‍ය, නය, මූලපද ආදිය) විස්තර කෙරෙන අගනා න්‍යායික ග්‍රන්ථයකි.

මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලදැයි සම්ප්‍රදායිකව පිළිගැනෙන මෙම කෘතිය, මොල්ලීගොඩ ප්‍රවචනොදය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත ලබුගම ශ්‍රී ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් පාඨශෝධනය කොට සිංහල අනුවාදය සම්පාදනය කරන ලදී. ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ සම්මතයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජ්‍ය මුද්‍රණාලයේදී බු.ව. 2532 (ක්‍රි.ව. 1989) දී මුද්‍රණය කරවා ඇත.

මෙහි ප්‍රධාන භූමි (පරිච්ඡේද) 8 ක් ඔස්සේ ධර්ම කරුණු විග්‍රහ කර ඇති අතර, ග්‍රන්ථාවසානයේ ගාථාදිපාදානුක්‍රමණිකා, සඤ්ඤානාමානුක්‍රමණිකා සහ විසෙසපදානුක්‍රමණිකා ඇතුළත් වේ.

ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය

උපදේශක :

අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක මහාස්ථවිරපාදයන් වහන්සේ

සභාපති හා ප්‍රධාන සම්පාදක :

මොල්ලිගොඩ ප්‍රවචනොදය පිරිවෙන් විහාරාධිපති ශ්‍රී මහා විහාරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ත්‍රිපිටකවාගීශ්වර, සාහිත්‍ය චක්‍රවර්ති ප්‍රවචන විශාරද රාජකීය පණ්ඩිත ලබුගම ශ්‍රී ලංකානන්ද – කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභායෙහි මහානායක ස්ථවිරයන් වහන්සේ

සම්පාදක :

කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්‍ය්‍ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, බෙල්ලන ඤාණවිමල නායක ස්ථවිරයන් වහන්සේ

කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්‍ය්‍ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, හෑගොඩ ඛෙමානන්ද – බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්ථවිරයන් වහන්සේ

මොරටුව – එගොඩඋයන (දකුණ) ශ්‍රී ජිනෙන්ද්‍රචෛත්‍යාරාමාධිපති, රාජකීය පණ්ඩිත නරවානේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ

ලේකම් :

කොළඹ බෞද්ධාලෝක මාවතෙහි බෞද්ධාලෝක විහාරාධිපති, පණ්ඩිත දෙරණගමුවේ සිරි ධම්මපාල – කොළඹ දිසාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ

සංඥාපනය

පෙටකොපදෙස සංශොධනය සඳහා මා මෙහෙයන ලද්දාහු මොල්ලිගොඩ ප්‍රවචනොදය පරිවෙණාධිපති වැ වැඩවිසූ එල්ලාවල සිරි සංකිච්චාභිධාන නායක මාහිමියන් වහන්සේ යි. 1940 පමණ කාලයෙහි නායක මාහිමියන් වහන්සේ විසින් පෙටකොපදෙසය ශුද්ධ කොට මුද්‍රණය කරවන ලෙස විධාන කරමින් බුරුම අක්ෂරයෙන් මුද්‍රණය කළ පැරණි පොතක් ද සපයා දෙන ලද්දේ යැ. ඒ නියමය භාරගත් මා විසින් එවක පිරිවෙනේ උසස් පන්තියෙකැ ඉගෙනීම ලබමින් සිටි මතියඩංගණ ප්‍රදේශයෙහි — බරවර්ධනය — විගොල්ලේ විහාරාධිපති උඩිස්පත්තුවේ — සොමරතන නායක ස්ථවිරයනුදු සහායකොටගෙනැ බුරුමපොත සිංහල අක්ෂරයෙන් පිටපත් කොට ශොධනය ආරම්භ කරන ලද්දේ යැ. මේ සඳහා අපට හමුවූයේ, 1909 වර්ෂයෙහි බුරුමරට හංසාවතී නගරයෙහිදී මුද්‍රණය කරවන ලද දොෂගහණයෙන් දූෂිත වැ — හැම තැන්හි ව්‍යාකූල වැ — තුබූ ග්‍රන්ථය පමණෙකි.

අනතුරු වැ සිංහල අක්ෂරයෙන් ලියැවුණු පෙටකොපදෙසයක් ඇද්දැයි සෙවීමට මහත් පරිශ්‍රමයක යෙදුනෙමි. පෙටකොපදෙසය කුදුගත්සඟියේ අවසානයෙහි තිබියැ යුතු ග්‍රන්ථයක් හෙයින් පැරණි පුස්තකාල බොහෝ ගණනෙකැ කුදුගත්සඟි විමසා බලන ලද්දේ යැ. අපට සමුවූ කුදුගත්සඟි වැඩිගණනක් මැ චරියාපිටකයෙන් අවසාන වැ තුබූ අතර ඇතැම් කුදුගත් සඟියෙකැ අවසානයෙහි නෙත්තිප්පකරණය හා “අනාගත බුද්ධවංස” නම් නිබන්ධය ද දක්නට ලැබිණ. එහෙත් අපට හමු වූ කිසිදු කුදුගත්සඟියෙකැ පෙටකොපදෙසය දක්නට නොලැබිණ. එහෙයින් මහාවිහාරීය ආචාර්ය්‍යවරයන් විසින් පෙටකොපදෙසය ත්‍රිපිටක ග්‍රන්ථයන් අතුරෙහි ලා නොගිණු බව ද නෙත්තිප්පකරණය මෙන් ගුරුත්වයෙන් සලකා නැති බව ද නිගමනය කරන්නට සිදුවිය.

පසුවැ කිහිපතැනෙකැ — සිංහල අක්ෂරයෙන් ලියැවුණු පෙටකොපදෙසයක් ඇතැයි සැළවූයෙන්, පානදුරේ වලපොල — “සද්ධර්මොදය ” පිරිවෙන් විහාරස්ථානයට අයත් පුස්තකාලයෙහි තුබූ නෙත්තිප්පකරණය හා පෙටකොපදෙසය එක්කොට ලියනලද පුස්කොලපොත ගෙන්වාත් පරීක්‍ෂා කෙළෙමි. එය 1909 වැන්නේහි බුරුමරට — හංසාවතියෙහි — මුද්‍රණය කළ පැරණි ග්‍රන්ථයෙන් පිටපත් කරන ලද්දෙක් විය. පිටුවක් පාසා ව්‍යාකූල වැ ගිය දොෂජාල ගහන වූ ඒ ග්‍රන්ථයෙන් පෙටකොපදෙස ශොධනයට කිසිදු පිටුවහලක් නොවී යැ.

රෝමන් අක්ෂරයෙන් මුද්‍රණය කළ පෙටකෝපදේශයෙක් ඇත. එය අරබින්ද බරුචා (පී.එච්.ඩී.) මහතා විසින් 1949 වර්ෂයෙහි සංස්කරණය කරන ලද්දැ ලන්ඩන් නුවර පාලි පොත් සමාගම මගින් කොළඹ — ලේක්හවුස් ආයතනයෙහි ‘ලංකා ඩේලිනිවුස්’ මුද්‍රණාලයේ මුද්‍රණය කරවන ලද්දේ යැ. ඒ මහතා කියන පරිදි ඔහුගේ සංස්කරණයට බුරුම අත්පිටපත් තුනක් හා සිංහල අක්ෂරයෙන් ලියැවුණු අත්පිටපතක් ද හමුවී ඇත. සිංහල අත්පිටපත අප මුලදී සඳහන් කළ — හංසාවතියෙහි මුද්‍රිත — පොතෙන් පිටපත් කරන ලද්දක් වියැයුතු යැ. ඊට වඩා පැරණි සිංහල පිටපතක් දිවයිනෙහි සුලභ නොවන හෙයිනි.

තමහට හමුවූ බුරුම හා සිංහල පිටපත් ඉතා ව්‍යාකූල බව ද පෙටකයෙහි උද්ධෘත පාඨවල මුල් පොත් ද සම්පූර්ණයෙන් සොයා ගැනීමට නොහැකි වූ බව ද එහෙයින් මේ පොත ශුද්ධ කිරීමේ වෑයම අතහැර හැකි පමණින් සකසා මුද්‍රණය කරවූ බව ද හේ කියයි. මේ සැකැසීමේදී පෙටකොපදෙසයේ මුල් ස්වරූපය ද — එක්තරා ප්‍රමාණයෙකින් හෝ — වෙනස් වූයේයැ’යි නොකියැ හැකි ද?

බුරුමරට — ඡට්ඨසංගීතිකාරකයන් විසිනුදු “දෙදහස්පන්සියවැනි — බුද්ධජයන්තිය ” අනුස්මරණය සඳහා සිදුකළ ත්‍රිපිටක ශොධනයෙහි ලා “පෙටක — ශොධනය ” ගැන උත්සුක වූ බවක් ද නොපෙනේ. ඒ තෙරවරුන් විසින් අරබින්ද බරුචා මහතාගේ සංස්කරණය මැ බුරුම අක්ෂරයෙන් මුද්‍රණය කරවා ඇති බව කියැයුතු යැ. ව්‍යාකූලවැ ගිය වාක්‍යප්‍රදෙශ හා උද්ධෘත “දෙශනාපාලියෙහි” පවා ශොධනයට නොපැමිණිතැන් ද පොත් දෙකෙහි මැ සමාන වැ එන හෙයිනි. එහෙත් කිසි තැනෙකැ ශුද්ධ කර ඇති බව ද කියැයුතු යැ.

(i) පදට්ඨානං ච ලක්ඛණං P. T. S. — පදට්ඨානො ච ලක්ඛණො ම. ඡ. සං. (ii) පරිදාසො P. T. S. — පරිළාහො ම. ඡ. සං. (iii) අභියාතා P. T. S. — අභියාතා ම. ඡ. සං.

මේ එබඳු තැන් කිහිපයෙකි.

පෙටකොපදෙස ශබ්දාර්ථ

සම්බුද්ධභාෂිත වූ පර්‍ය්‍යාප්තියට භාජන වූයෙන් ‘ධර්මා’භිධර්ම විනය’ — “පිටක යැ”යි ව්‍යවහාර කරනු ලැබේ. පිටකයන්ගේ සංවර්ණනාව “පෙටකයැ”යි ද, පිටක සංවර්ණනාවට දක්වන උපදේශය “පෙටකොපදෙස නමැ”යි ද කියනු ලැබේ. තත් ප්‍රකාශක ග්‍රන්ථය ද උපචාර විසින් “පෙටකොපදෙස ” නම් වී යැ.

පෙටකොපදෙස කතුවරයාගේ අභිමතාර්ථය ?

පෙටකොපදෙසය නෙත්තිප්පකරණයට අනුව මැ සකස් වූ ග්‍රන්ථයෙකි. එහෙත් නෙත්තිප්‍රකරණය විස්තර නොකළ ධර්ම කරුණු පිළිබඳ (වැඩි) විස්තර ඉදිරිපත් කිරීමට කතුවරයාණෝ විශේෂ අවධානය යොමු කරති.

1. ග්‍රන්ථය ආරම්භවනුයේ ද ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවට විශේෂ විස්තර සපයමිනි. මෙහිදී — නවංගසත්ථු සාසනයත් බුද්ධත්වයේ පටන් සම්බුද්ධ පරිනිර්වාණය තෙක් ම — දේශිත හැම බුද්ධ වචනයනුත් එහි අන්තර්ගතවන අයුරු පළමුවෙන් ම පැහැදිලි කරති.

2. නෙත්තිප්‍රකරණයෙහි අවසන්හි දැක්වෙන — සාසනපට්ඨානය වනාහි (1) සංකිලෙසභාගිය සූත්‍ර යැ (2) වාසනාභාගිය සූත්‍ර යැ — ආදි “සූත්‍ර ධර්මවර්ග” දහසයක් (16) පිළිබඳවැ කෙරෙන විවරණයෙකි. පෙටකොපදෙස කතුවරයාණෝ “සාසනපට්ඨානය” ද්විතීය භූමිය වශයෙන් ගනිමින් “සූත්‍ර ධර්ම වර්ග” එකුන් පණසක් (49) පිළිබඳවැ විස්තර ඉදිරිපත් කරති.

3. (අ) තුදුස් (14) අධිට්ඨානයන් පිළිබඳ විස්තර දැක්වෙන තෘතීය (සුත්තාධිට්ඨාන) භූමිය.

(ආ) සූත්‍රා’ර්ථ විවරණය පිළිබඳ උපදෙස් දැක්වෙන “සුත්තවිචය” නම් වූ චතුර්ථ භූමිය.

(ඉ) “සුත්තත්ථ සමුච්චය” නම් වූ ෂෂ්ඨ භූමිය.

(ඊ) සත්තම භූමියෙහි එන “ප්‍රකීර්ණක ධර්ම” විස්තරය හා එහි මැ හමුවන —

(උ) ධ්‍යාන — භාවනා පිළිබඳ විශේෂ විස්තර කථාවැයි — ද

පෙටකොපදෙසයට “විශේෂ වූ අංගයන්” වශයෙන් දැක්විය යුතු යැ.

මේ අනුවැ පෙටකොපදෙසය ලියන ලද්දේ නෙත්තිප්පකරණයෙහි නො එන “ධර්ම — විස්තර” ඉදිරිපත් කරනු සඳහා යැ’යි කරනු ලබන නිගමනය ද සත්‍යථ වෙයි.

ග්‍රන්ථකතුවරයාණෝ

නෙත්තිප්පකරණ ග්‍රන්ථාවසානයෙහි පැනෙන “එත්තාවතා සමන්තා නෙත්ති, යා ආයස්මතා මහා කච්චායනෙන භාසිතා, භගවතා අනුමොදිතා —” යන පාඨයෙනුදු නෙත්තිසංගාහක තෙරුන් විසින් තබනලදැයි සැලකෙන (සංගහවාරයෙහි —), “මහා කච්චායනෙන නිද්දිට්ඨා,” (හාරවිභංග වාරයෙහි) “තෙනාහ ආයස්මා මහා කච්චානො —” ආදි පාඨයන්ගෙනුදු මෙම කෘතිය මහා කච්චායන මහ රහතුන් වහන්සේ විසින් දේශිතබව පැහැදිලි වේ. නෙත්ති — අටුවාහිදු එය මැ සනාථ කෙරෙයි. වැලිත් ඔබ වනාහි ගෞතම බුදුරදුන්ගේ මහා ශ්‍රාවකවරුන් අතර — සංක්ෂිප්ත දේශනාවන් අර්ථ – ව්‍යඤ්ජන විසින් සපුරා විභාග කිරීමෙහි සමර්ථයනට අග්‍රස්ථානලද (එතදග්ග පාළියට අනුවැ) දසවැනි තැනට නම සඳහන්වන මහ රහතුන් වහන්සේත් වෙති.

‘පෙටකොපදෙසය’ ද “මහා කච්චායන” නම් වූ මහ තෙර කෙනෙකුන්ගේ මැ කෘතියෙකි. ඒබව පෙටකොපදෙසයෙහි මැ —

“පෙටකොපදෙසෙ මහා කච්චායනෙන භාසිතෙ අරියසච්චප්පකාසනා නාම පඨම භූමි සමත්තා

(30 වැනි පිටුව)

තවද එහි මැ — පඤ්චම හා අට්ඨම භූමිවල —

“සුචිරස්ස මහා කච්චායනස්ස ජම්බුවනවාසිනො පෙටකොපදෙසෙ හාරවිභංගො නාම පඤ්චම භූමි සමත්තා —”

ආදි වශයෙන් දැක්වේ.

(144 වැනි පිටුව)

මෙහි එන “ජම්බුවන — වාසය” පිළිබඳ වැ ථෙරවාද — සාහිත්‍ය කෘතිවල විස්තර නොපැනේ. නෙත්තිප්පකරණ කතුවරයාණන්ගේ පිළිගනු ලබන මහා කච්චායන මහ රහතුන් වහන්සේ (දක්ෂිණා පථයෙහි —) අවන්තිදේශයේ බ්‍රාහ්මණ කුලපුත්‍රයාණ කෙනෙකි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසුවැ රචිත කෘතියක් සේ සැලකෙන, සර්වාස්තිවාදීන්ගේ මහා අභිධර්ම ග්‍රන්ථය වශයෙන් ද පිළිගනු ලබන, “ඥානප්‍රස්ථානය” සම්පාදනය කළාහු ද “මහා කාත්‍යායනීපුත්‍ර” නම්වූ මහතෙර කෙනෙක් වෙති. මෙම පෙටකොපදෙසය ද ඔබගේ මැ කෘතියක් විය නොහැකිද? යි කෙනෙක් විමසති.

කතුවරයාණන් කවුරුන්වුව ද මෙම ග්‍රන්ථදෙක අතරැ ඇත්තේ දැඩි සමානත්වයෙකි. ග්‍රන්ථදෙකේහි මැ ප්‍රධාන වශයෙන් විස්තර කරනු ලබන්නේ එක මැ මාතෘකාවන් වේ.

(i) සොළසහාර (ii) පඤ්ච නය හා (iii) අට්ඨාරස මූලපද — ඒවායි.

(අ) සොළසහාරා නෙත්ති — පඤ්ච නය සාසනස්ස පරියෙට්ඨි අට්ඨාරස මූලපදා — මහා කච්චානෙන නිද්දිට්ඨා (නෙත්ති ප්‍ර. 2 වන පිටුව)

සොළසහාරා නෙත්ති — පඤ්ච නයා සාසනස්ස පරියෙට්ඨි අට්ඨාරස මූලපදා — කච්චායන ගොත්ත නිද්දිට්ඨා (පෙටකොපදෙස — 4 වන පිටුව)

(ආ) ‘හාර විභංග’ නම් වූ පඤ්චම භූමියෙහිදී — පෙටකොපදෙස කතුවරයා (3) යුක්තිහාර (4) පදට්ඨානහාර (5) ලක්ඛණහාර හා (7) ආවට්ටහාරයන් — විස්තර කරනු වස්

පළමුවැ දක්වනුයේ නෙත්තිප්‍රකරණයෙහි — එම හාරයන් දැක්වීම සඳහා එළ වූ ගාථාවන් මැ වේ.

(6) චතුබ්‍යුහහාර හා (10) වෙවචනහාර — දැක්වීමට ද නෙත්තිප්‍රකරණ ගාථාවන් මැ මද වශයෙන් වෙනස්කොටැ දක්වයි.

(ඉ) අට්ඨමභූමියෙහි උද්දාන ගාථාවන්හි (328 පිටුව) පළමුවැ එන ගාථා තුන මැ නෙත්තිප්‍රකරණයෙහි උද්දෙසවාරයෙහි එන (නෙත්ති ප්‍ර. 6 වන පිටුව) ගාථාවන් මැ වේ.

එහිමැ අවසානැ දැක්වෙන ගාථා පහ (5) මැ නෙත්තිප්‍රකරණයෙහි — නිද්දෙසවාර යෙහි — (නෙත්ති ප්‍ර. 10 පිටුව) දැක්වෙන ගාථාවන් මැ වෙයි. මේවාහි ඇත්තේ ඉතා සුළු වෙනස්කම් පමණෙකි.

මේ අනුවැ පෙටකොපදෙසය ආරම්භ වනුයේත් අවසන් වනුයේත් නෙත්තිප්‍රකරණය මැ ඇසුරු කරමින් බව මැනවින් පැහැදිලි වෙයි.

එහෙත්, මෙ ද ‘විමැසියැ යුතුමැ’ යි හඟිමහ :

නෙත්තිප්‍රකරණය ආරම්භ වනුයේ—

යං ලොකො පූජයතෙ — ස ලොකපාලො සදා නමස්සති ච තස්සෙ’තං සාසනවරං — විදූහි නෙය්‍යං නරවරස්ස

යන නමස්කාර ගාථාවෙකිනි. ඒ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ මැ වෙති.

පෙටකොපදෙසය ආරම්භ කරනුයේ මෙසේයැ :

“නමො සම්මා සම්බුද්ධානං පරමත්ථදස්සිනං සීලාදිගුණ පාරමීප්පත්තානං —” යනුවෙනි.

මෙහි නමස්කාරය බොහෝ බුදුවරුනට යැ.

තවද, මෙහි “දස වත්ථුකා කිලෙසා” — (268 පිටුව) පරම්පර පච්චය – සමනන්තර පච්චය (102 පිටුව) හා පරික්ඛාර හාරය (136 පිටුව) ආදී තැන්හි එන ධර්මවිස්තර පාළි ත්‍රිපිටකාගත ධර්ම හා සැසඳියැයුතු. මෙම කරුණු ද සලකමින් ගන්ථකතුවරයාණන් විමැසියැයුතු සේ හඟිමහ.

ග්‍රන්ථාගත කරුණු

පෙටකොපදෙසයෙහි භූමි (පරිච්ඡේද) අටෙකි. මෙසේ යැ :

1. පඨමභූමි — අරියසච්චප්පකාසනා 2. දුතියභූමි — සාසනපට්ඨාන 3. තතියභූමි — සුත්තාධිට්ඨාන 4. චතුත්ථභූමි — සුත්තවිචය 5. පඤ්චමභූමි — හාරවිභංග 6. ඡට්ඨභූමි — සුත්තත්ථසමුච්චය 7. සත්තමභූමි — හාරසම්පාත 8. අට්ඨමභූමි — සුත්තවෙභංගිය යනුවෙනි.

උද්දාන ගාථා

මෙහි භූමියෙකැ අවසන්හි — එහි අන්තර්ගත ධර්ම කරුණු හෝ දේශනා පාඨ හා ගාථාවන් හෝ උද්දාන ගාථා මගින් ද (නැවත) සංග්‍රහකොටැ දක්වා ඇත. (1) පඨම (2) දුතිය (3) තතිය (4) චතුත්ථ හා (8) අට්ඨම භූමිවලැ අගැ මෙබඳු ගාථාවන් පිළිවෙලින් 5 – 21 – 9 – 1 හා 8 බැගින් දැක්වේ. එහෙත් ඇතැම් භූමියෙකැ මධ්‍යයෙහිදු මෙබඳු (උද්දාන) ගාථාවන් හමු වේ. දුතිය භූමිය (පෙටක — 56 පිටුව) එබඳු තැනෙකි.

මේ සියලු උද්දාන ගාථාවන් ධර්ම සංග්‍රාහක තෙරවරුන්ගේ නිබන්ධන වියහැක. එහෙත්, ඇතැම් භූමියෙකැ — එනම්, (5) පඤ්චම (6) ඡට්ඨ හා (7) සත්තම භූමිවලැ උද්දාන ගාථා නො පැනේ. ඒවා ගිලිහීගියා හෝ වියහැක. මෙසේ ගිලිහීගිය තැන් තවත් හමුවෙයි. 294 පිටුවෙහි එබඳු තැනෙක් හමුවෙයි. එසේමැ ආකූලවැ ගියතැන් ද වරෙක හමුවෙයි. 215 වැනි පිටුවෙහි එබඳු තැනෙක් ඇත. එමෙනි.

විමැසිය යුතු ස්ථාන

(අ) සත්තම භූමියෙහි (පිටු 302–304) එන “සඞ්ගීති සුත්තවණ්ණනා පාඨය” කවර කරුණක් සඳහා දක්වන ලද්දේද? යි අපැහැදිලි යැ.

(ආ) නෙත්තිප්පකරණය මෙන් මැ පෙටකොපදෙසය ද සූත්‍රපිටකය මැ ගුරුකොටගත් බවක් පෙනේ. උභය ග්‍රන්ථයන්හි මැ එකසේ දැක්වෙන අට්ඨාරස මූලපද අතරෙන් නමයක් (9) අකුසලයන් වේ. මෙසේය : 1. තණ්හා 4. දොසො 7. සුභසඤ්ඤා 2. අවිජ්ජා 5. මොහො 8. නිච්චසඤ්ඤා 3. ලොහො 6. සුඛසඤ්ඤා 9. අත්තසඤ්ඤා යනුවෙනි.

ථෙරවාද — අභිධර්ම පිටකයෙහි දැක්වෙන පරිදි කිලෙස (අකුසල) දසයෙකි. ධම්මසඞ්ගණීප්පකරණයෙහි (බු.ජ.මු. ධම්මසඞ්ගනී 458 පිටුව) දැක්වෙන පරිදි ඒවා මෙසේය : 1. ලොභො 4. මාන 7. ථීන 2. දොසො 5. දිට්ඨි 8. උද්ධච්ච 3. මොහො 6. විචිකිච්ඡා 9. අහිරික හා 10. අනොත්තප්ප යනුවෙනි.

ථෙරවාද – අභිධර්ම පිටකයට අනුවැ “තණ්හා” හා ‘ලොභ’ යනු එක මැ චෛතසිකයෙකැ නම් දෙකෙකි. මේ අනුවැ “අකුසල මූල පද” දැක්වීමෙහිදී – සූත්‍ර පිටකය පමණක් මැ ගුරුකොටගත් සේ යැ.

(ඉ) තවද, නෙත්ති අටුවායෙහි “වුත්තඤ්ච’හෙතං පෙටකෙ — :” යි

යත්ථ ච සබ්බෙ හාරා — සම්පතමානා නයන්ති සුත්තත්ථං බ්‍යඤ්ජනවිධිප්පයුත්තා — සා භූමි ‘හාරසම්පාතො – ’

යන ගාථාව පෙටකයෙහි කියනලදැයි පවසයි. එහෙත් අප හමුවෙයෙහි ඇති පෙටකොපදෙසයන්හි මේ ගාථාව දක්නට නැත.

(ඊ) එසේමැ ‘සමාධි කාමච්ඡන්දස්ස, පටිපක්ඛො පීති බ්‍යාපාදස්ස, විතක්කො ථීනමිද්ධස්ස සුඛං උද්ධච්ච’කුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡායාති පෙටකෙ වුත්තං — ” යි

(i) විනයටීකාවා (91 වැනි පිටු) යෙහි ද (ii) විසුද්ධිමග්ග (104 වැනි පිටු) යෙහි ද

දක්නට ඇත. එහෙත් අප හමුවෙයෙහි ඇති පෙටකොපදෙසයෙහි එය දක්නට නැත.

(උ) ඛුද්දක නිකායට අයත් — ධම්මපදයෙහි — මුල් ම ගාථාව මනොපුබ්බඞ්ගමා ධම්මා — මනො සෙට්ඨා මනොමයා යනුවෙන් — හැමතැන්හි මැ – දැක් වේ. එහෙත්, පෙටකොපදෙසයෙහි මෙය දැක්වෙනුයේ මෙසේ යැ :

මනො පුබ්බඞ්ගමා ධම්මා — මනො සෙට්ඨා මනො ජවා යනුවෙනි.

(ඌ) සුත්තනිපාතයට අයත් – රතනසූත්‍රයෙහි — II වැනි ගාථාවෙහි මුල්පද මෙසේ යැ :

කිඤ්චා’පි සො කම්මං කරොති පාපකං — යනුවෙනි මෙය පෙටකොපදෙසයෙහි එනුයේ මෙසේ යි :

කිඤ්චා’පි සෙය්‍යො’පි කරෙය්‍ය පාපං

ඉමබඳු තැන් — තවදුරටත් — විමැසියැ යුතු සේ හඟිමහ.

1. පඨම භූමි

පෙටකොපදෙශයෙහි පළමුවැ එනුයේ, “අරිය සච්චප්පකාසනා” නම් වූ පඨමභූමිය යි. නෙත්තිප්පකරණයෙහි මෙන් සංග්‍රහවාරයෙක් හෝ උද්දෙස — නිද්දෙස හා පටිනිද්දෙසවාර හෝ මෙහි නොමැත. (i) සොළසහාර (ii) පඤ්චනය හා (iii) අට්ඨාරස මූලපද

නාම මාත්‍රයෙන් දක්වා, අනතුරුවැ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේගේ මංගල ධර්මදේශනය වන “ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනය” පසුබිම්කොටැ නවංගසත්ථුශාසනය මැ එහි බැස සිටිනා අයුරු පැහැදිලිකොට ඇත.

ධම්මචක්ක දේශනාන්තරගත චතුර්විධ ආර්‍ය්‍ය සත්‍ය ධර්මයන් හා ආර්‍ය්‍යමාර්ගාංගයන් වෙන් වශයෙන් විවිධ දේශනා පාඨ ගෙනහැර පාමින් විග්‍රහ කරනුයේ මෙයාටඅනතුරුවැ යැ. ආර්‍ය්‍යසත්‍ය ධර්ම විග්‍රහයට මැ වෙන් වූ ‘පඨමභූමිය’ ද මෙතෙකින් සමාප්ත වේ.

2. දුතියභූමි

දෙ-වන භූමිය “සාසන පට්ඨාන ” නමි. (1) සංකිලෙසභාගිය සූත්‍ර යැ (2) වාසනා භාගිය සූත්‍ර යැ — ඈ විසින් නගාගත් මාතෘකා පස් පණසකට (55) උදාහරණ එලවමින් කරනු ලබන විස්තර කථා මෙහි දැක්වේ.

එහෙත්, අවසන්හි දැක්වෙන (50) සකවචනාධිට්ඨානයැ (51) පරවචනාධිට්ඨානයැ (52) සකවචනාධිට්ඨාන හා පරවචනාධිට්ඨාන යැ (53) කිරිය යැ (54) ඵල යැ (55) කිරිය හා ඵලය යැ යන මේ සය (6) නිදසුන් දැක්වීමෙන් පටික්ඛිත්ත යැ.

3. තතියභූමි

“සුත්තාධිට්ඨාන” තෘතීය භූමිය වේ. (1) ලොභ (2) දොස හා (3) මොහ යන — අකුසල චෛතසිකයන් හා (4) අලොභ (5) අදොස හා (6) අමොහ — යන කුසල චෛතසිකයන් ද (7) කාය (8) වාචා හා (9) මනො — යන ද්වාර ත්‍රය ද එසේමැ (10) සද්ධා (11) සති (12) විරිය (13) සමාධි හා (14) ප්‍රඥා — යන පඤ්ච විධ වූ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ද විස්තර කථා මෙහි දැක්වේ. සූත්‍රපිටකාගත දේශනා පාඨ හා ගාථා ධර්ම නිදසුන් වශයෙන් ගෙනහැර පාමින් මෙසේ තුදුස් අධිට්ඨානයන් විග්‍රහ කරනුයෙන් මෙම භූමිය ද “සුත්තාධිට්ඨාන” නම් වී යැ.

4. චතුත්ථභූමි

තථාගත ධර්මය මැනවින් විවරණයකොටැ — විභජනයකොටැ — පිරික්සා බැලියැ යුතු පිළිවෙළ පහදනු ලබනුයෙන් චතුර්ථ භූමිය “සුත්තවිචය” නම් වී යැ. වැලිදු අකුසල ධර්මයන්ගේ ප්‍රහානය මෙන් මැ කුසල ධර්මයන්ගේ වර්ධනය සිදුවන පිළිවෙලත් මේ සඳහා සූත්‍ර ධර්ම (බුදු දහම) හදළ යුතු අයුරුත් දක්වමින් සතර මහා පදෙස පිළිබඳව ද කරනු ලබන විස්තර මෙහි දැක්වේ. සූත්‍රපිටකාගත — ගොපාලකූපම සූත්‍ර යැ — මැදුම් සඟියැ දෙවධාවිතක්ක සූත්‍රයැ ආදි නිදසුන් එළවමින් බුදුරදුන්ගේ ධර්මය යෙසේසත් විසින් දක්වනවිටැ – එය සම්බුදු දහමට උචිත දැ? යි පිරික්සා බලමින් — සෑසඳෙන අයුරු මැ (අනුඥාතය මැ) ගතයුතු පිළිවෙල පැහැදිලි කරනු වස් ‘සූත්‍ර සංකරය’ හා ‘සූත්‍ර විචය’ ද මෙහි දක්වා ඇත.

5. පඤ්චම භූමි

“හාරවිභංග” නම් වූයේ පඤ්චම භූමිය යි. නෙත්තිප්පකරණයෙහි එන සොළොස් වැදෑරුම් වූ හාරයන් මැ — එම පිළිවෙලට මැ — මෙහිදු විස්තරකොට ඇත.

නෙත්තිප්‍රකරණ කතුවරයා පළමුවැ එක් එක් හාරය ( (2) නිද්දෙස වාරයෙහි —) ගාථාවෙකින් හඳුන්වමින් යලි (3) පටිනිද්දෙස වාරයෙහි මැ නිදසුන් ද දක්වමින් පැහැදිලි කරයි. එහෙත් පෙටකොපදෙස කතුවරයා මෙම පිළිවෙත අනුගමනය කොට නැත.

මෙහි — හාරවිභංග වාරයෙහි මැ — පළමුවැ ගාථාවකින් හඳුන්වමින් එතැන්දී මැ නිදසුන් ද දක්වමින් විස්තරය ද සපයයි. මෙහිදී— (3) යුක්තිහාර යැ (4) පදට්ඨානහාර යැ (5) ලක්ඛණහාරය හා (7) ආවට්ටහාරයන්ගේ විග්‍රහය සඳහා යොදාගෙනැ ඇත්තේ, නෙත්තිප්‍රකරණය මේ සඳහා යොදාගත් ගාථාවන් මැ වේ. (1) දේශනාහාර යැ (2) විචයහාර යැ හා (16) සමාරොපනහාරය ද විග්‍රහකරනු වස් විශේෂ (වෙනස් වූ) ගාථා යොදාගනියි. (6) චතුබ්‍යුහ හාරය ද (10) වෙවචන හාරය ද හඳුන්වනුයේ නෙත්තිප්‍රකරණාගත ගාථාව මැ මඳ වශයෙන් වෙනස්කොටැ දක්වමිනි. මේ අතර – සෙසු හාරයන් හැඳින්වීමට ගාථා යොදාගෙන මැ නැත.

6. ඡට්ඨභූමි

‘සුත්තත්ථ සමුච්චය’ නමින් එනුයේ පෙටකොපදෙසයෙහි ඡට්ඨභූමිය යි. මෙහිදී ධර්ම කරුණු සොළොසක් පිළිබඳව විස්තර එයි : 1. පඤ්චක්ඛන්ධා 2. අට්ඨාරස ධාතුයො