43-KN-Nettippakarana.pdf
- කතෘ :
- ලබුගම ලංකානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1980
- මුද්‍රිත වර්ෂය :
- 1980
- පිටු ගණන :
- 330
- බාගත කිරීම් ගණන :
- 1,421
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 62 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
නෙත්තිප්පකරණ යනු ත්‍රිපිටකයේ සූත්‍රාන්ත පිටකයට (ඛුද්දක නිකායට) අයත්, බුද්ධ භාෂිත සූත්‍රයන්හි අර්ථ විග්රහ කරනු පිණිස න්‍යාය හා හාර ක්‍රම විස්තර කෙරෙන අතිශය වැදගත් ප්රකරණ ග්රන්ථයකි. මෙහි කර්තෘත්වය සංක්ෂිප්ත දේශනා විස්තර වශයෙන් බෙදා දැක්වූ ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය ලැබූ මහාකච්චායන මහරහතන් වහන්සේ සතු වේ.
මෙම කෘතිය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 39 වැනි වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 33 වැනි ග්‍රන්ථය) ලෙස පාලි මූලය සහ සිංහල අනුවාදය සහිතව පළ කර ඇත. මෙහි පාඨශෝධනය සහ සිංහල අනුවාදය සිදු කරන ලද්දේ මොල්ලීගොඩ ප්‍රවචනෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි.
ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් සංගහවාරය සහ විභාගවාරය (උද්දේස, නිද්දේස, පටිනිද්දෙස) යන කොටස්වලින් යුක්ත වන අතර, සොළොස් හාර, පස් නය සහ ශාසනපට්ඨාන ආදී විමර්ශන ක්‍රම විස්තරාත්මකව ඉදිරිපත් කරයි.
නෙත්තිප්පකරණ සංස්කාරක නිවේදනය
සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය වසක් පිරීම නිමිත්ත කොටගෙන සංවිධාන වූ ලංකා බෞද්ධ මණ්ඩලය මගින් ලෝකශාසනාභ්යුදය සඳහා ප්‍රාරබ්ධ වූ සත්කාර්යයන් කෙරෙහි අතිශයින් දුර්ඝට වූයේ, එහෙත් අර්ථාවහ වූයේ නවාඞ්ගශාසන ත්‍රිපිටක පර්යාප්තිය සිංහල භාෂාවෙන් පරිවර්තන කොට ප්‍රසිද්ධියට පමුණුවාලීම යැ. ඒ සඳහා දිවයිනෙහි බහුශ්‍රැත වූහ’යි සම්මත වූ මහතෙරවරුන් සූසාලිස් නමක් නගාගෙන 1955 මාර්තු මස, 19 වැනි දින කොළඹ රාජකීය විද්‍යාලයෙහි මුළුදුන් මහාසභාවක දී, ලංකා බෞද්ධ මණ්ඩලයෙහි සභාපති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍ය තුමන් විසින් ඒ ඒ තෙරවරුන්ට නියමිත වූ පොත් පරිවර්තන කිරීම සඳහා පවරා දෙන ලද්දේය.
නෙත්තිප්පකරණ පාලිය ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි එකූන්සාලිස් (39) වැනි ග්‍රන්ථය වෙයි. එය ඛුද්දක නිකායෙහි සතළොස් වැනි ග්‍රන්ථය කොට අප විසින් සලකන ලද්දේය. එහෙත් කිසි තැනෙක මහානිද්දෙස චූළනිද්දෙස දෙක එක් මැ ග්රන්ථයක් වශයෙන් ගෙන, නෙත්තිප්පකරණ පෙටකොපදෙස දෙක බැහැර කොට ඛුද්දකත් සහිත ග්රන්ථ පසළොසකින් යුක්ත කොට දක්වති. තවද, නෙත්තිප්පකරණය ඛුද්දකපාඨ ධම්මපදාදිය සෙයින් සඞ්ගීති සමාරූඪ වී යයි කියති. එහෙත් සඞ්ගීතිකථාවෙහි එබඳු වචනයෙක් නැත. නෙත්තිප්පකරණය වෙන ම ග්රන්ථයක් වශයෙන් සඞ්ගීතියට නො නැඟි ගිය ද එහි හාර නය හා සාසනපට්ඨානය ව්‍යක්ත කරනු සඳහා නොයෙක් තැනින් නහාගත් සූත්රප්රදේශ ඒ ඒ නිකායග්රන්ථයන්හි දී මැ සඞ්ගීත හෙයින් නෙත්තිප්ප කරණය සඞ්ගීතියට නැඟුණැයි කිය හැකිය. නෙත්තිප්පකරණය සඞ්ගීතියට නැඟුණ ද, නැත ද, බුදුරදුන් වදාළ ගම්භීර වූ ලෞකික ලෝකොත්තරාර්ථ ප්‍රකාශක සූත්‍රයන්ගේ අර්ථ වර්ණනාව සඳහා නෙත්තීනය අතිශයින් වහල් වෙයි. නෙත්තිනය නොදත් දෙශකයා ධර්මකථිකයෙකැයි නොකියැ හැකි. මෙසෙයින් උපාදෙය වූ නෙත්තිප්පකරණයාගේ අර්ථව්යාඛ්යානය ද දුෂ්කර වූයේ මැ යි.
නයවිභාග හෙයින් ගම්භීර වූ නෙත්තිප්පකරණයාගේ සිංහලභාෂා පරිවර්තනය පවරා දෙන ලදුයේ දර්ශන විශාරද, පරවාහැර සිරි වජිරඤාණ නායක හිමිපාණන් වහන්සේට යැ, ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ සම්පාදක ධුරය දැරූ උන් වහන්සේට කාර්ය බහුලත්වය හේතු කොටගෙන එ මැ ග්රන්ථපරිවර්තනයෙහි යෙදීමට අවකාශයෙක් කැල මැ නො වී ය. එහෙයින් ඒ දුෂ්කරක්රියාවෙහි ද යෙදීමට අපට සිදුවිය.
නෙත්තිප්පකරණය සියබසින් තබාලීමට වඩා එහි පාඨශොධනය අතිශයින් ආයාසකර විය, ත්‍රිපිටකයෙහි නානාස්ථානයෙන් නහාගත් නිදර්ශනයන්හි ලැබෙන සඞ්ගීතියෙන් පසු නොයෙක් වර අවියත් ලෙඛකයන් විසින් කරන ලද කලූෂයෝ ද, අල්පශ්‍රැත ශොධකයන් හෙළාලූ අපපාඨයෝ ද ග්රන්ථයෙහි නොඅඩු වූහ. එ හැම දුෂ්කරතා මැඩපියා නිදර්ශිත සූත්රප්රදේශයන්ගේ මූලපාඨ සොයා ගොස් ත්‍රිපිටක මණ්ඩලයේ බහුශ්‍රැත මහතෙරවරුන්ගේ සහාය ද ඇති වැ පාඨශොධනය හා අර්ථව්යාඛ්යානය ද නිමහම් කළෙම්හ.
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ පළකරවාලීමෙහි පූර්ව නියෝජක වූ ලංකා බෞද්ධ මණ්ඩලයට සමග්‍ර බෞද්ධ ලොකයාගේ ප්‍රශංසාව හිමිවිය යුතු ය, ත්‍රිපිටක මණ්ඩලයට අනුග්‍රාහක වූ ශ්‍රී ලංකාද්වීපයෙහි ආදිම පූර්ණ විධායක බලධාරී ශ්‍රීමත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති උතුමාණන්ට අපගේ ශුභාශීර්වාදය පිරිනමමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු සාංස්කෘතික අමාත්‍ය ඊ. ඇල්. බී. හුරුල්ලේ මැතිතුමාණන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරි මහතුන්ට ද, රජයේ මුද්‍රණාලයාධිපති තුමාට හා ත්‍රිපිටක මුද්‍රණ කාර්යයෙහි නියුක්ත සේවක මණ්ඩලයට ද, ඉෂ්ටාශංසනය කරම්හ. ත්‍රිපිටක මණ්ඩලයට ඉතසිතින් හැම පහසුකම් සලසන මහානායක චාරිකාරාමයෙහි නියුක්ත ඒ. ආර්. පී. සමරසිංහ මහතා ද කෘතඥතාවෙන් සඳහන් කරමින් තථාගත ධර්මප්රවර්තන කුශලයෙන් හැම දෙන සුබභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.
ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිර,
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
1980 සැප්තැම්බර් 12 දින,
මහානායක චාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ 7.
නෙත්තිප්පකරණ සංඥාපනය
නෙත්තිශබ්දාර්ථ :
“කෙනට්ඨෙන නෙත්ති : සද්ධම්මනයනට්ඨෙන නෙත්ති” යි අටුවායෙහි සද්ධර්මනයනාර්ථය ‘නෙත්ති’ ශබ්දයෙහි ඇති සේ දක්වති. එසේ මැ ය, තෘෂ්ණාව සත්ත්වයන් කාමාදි භවයට පමුණුවනුයෙන් “භව නෙත්ති”යි කියනු ලැබේ. එසෙයින් මැ වෙණෙය සත්ත්වයන් ආර්යධර්ම සංඛ්‍යාත නව විධ සද්ධර්මයට පමුණුවා නුයි හාර නය පට්ඨාන යන ධර්මසමුදාය “නෙත්ති”යයි කියනු ලැබේ. මෙසේ කර්තෘසාධනයෙහි “නෙත්ති” ශබ්දයාගේ නිෂ්පත්ති දතයුතු. හාර-නයාදිය විභාග කොට වදාළ ප්‍රකරණය ද කාර්යොපචාර විසින් “නෙත්ති” නම් වී. යළි “නයන්ති නායා’ති නෙත්ති” ධර්මකථිකයෝ නෙත්ති උපදෙශය කරණ කොට ගෙන වෙණෙය පුද්ගලයන් දර්ශනමාර්ගයට පමුණුවත් නුයි “නෙත්ති” නම් විය. මෙසේ කරණසාධන විසින් හෝ නෙත්ති ශබ්දාර්ථය දතයුතු යැ. යළිදු ධර්මකථිකයන් විසින් තෙල ප්‍රකරණයෙහි ලා වෙණෙයයෝ නිවනට පමුණුවනු ලැබෙත් නුයි “නියන්ති එත්ථා’ති නෙත්ති”යි අධිකරණ සාධන විසින් හෝ “නෙත්ති” නම. නෙත්ති උපදෙශයෙන් විනා අවිපරීත සූත්රාර්ථාවබොධයෙක් නැත් මැ යි. එසේ මැ ය, සියලු මැ සූත්‍රාර්ථ සංවර්ණනාව නෙත්ති උපදෙශායත්ත වෙයි. “නෙත්ති” වැලින් සූත්‍රයෙන් උපන, සූත්‍රය සමාක් සම්බුද්ධයන් ප්‍රභව කොට ඇත්තේ යි.
කච්චායන තෙරණුවෝ :
“එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො” යි බුදුරදුන් විසින් සංක්ෂිප්ත භාෂිතයාගේ විස්තරයෙන් අර්ථ විභාග කරන සව්වන් කෙරෙහි අග්රතැන තබා වදාළ අසූ මහාශ්‍රාවකයන් කෙරෙහි දශමස්ථානයෙහි සිටි මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ නවාංග ශාස්තෘශාසන සංඛ්‍යාත බුද්ධවචනය අර්ථ වශයෙන් ද ව්‍යඤ්ජන වශයෙන් ද විභාග කරමින් නෙත්තිප්පකරණය වදාළහ. එය භාග්‍යවතුන් වහන්සේ විසින්දු පිළිගෙන වදාළ හෙයින් බුද්ධ භාෂිතයෙක් මැ විය. කච්චායන මහතෙරණුවෝ වනාහි අවන්ති ජනපදයෙහි උදේනි නුවර චණ්ඩප්‍රද්‍යොත රජුගේ පෙරෙවි බමුණු වැ සිටියාහු රජුගේ නියමයෙන් බුදුරදුන් උදේනියට වැඩමවනු සඳහා බුදුන් වෙත එළඹ බණ අසා රහත් වැ එහි භික්ෂුභාවයෙන් පැවිදි වූහ. ඔබ කත්යාධිකාර වශයෙන් බුදුරදුන්ගේ සංක්ෂිප්ත දෙශනා අර්ථව්යඤ්ජන විසින් සපුරා විභාග කිරීමෙහි සමර්ථ වූහ. අන්‍යත් ශ්‍රාවකයෝ අර්ථ විසින් හෝ ව්‍යඤ්ජන විසින් හෝ එක් ප්‍රකාරයකින් මැ සපුරාලීමෙහි සමර්ථ වෙති. එහෙයින් ඔබ මේ විෂයෙහි අග්‍රස්ථානයට සුදුසු වූහ. අංගුත්තරනිකාය-කාලි සූත්‍රාදියෙහි කච්චායන තෙරණුවන්ගේ ධර්මවිභාග දැක්ක හැකිය. විශේෂයෙන් “මධුපිණ්ඩික, කච්චාන පෙය්යාල, පාරායන” යන සූත්‍රාන්තයන් අර්ථොත්පත්ති කොට තෙරණුවෝ අග්‍රස්ථානයෙහි තබනු ලැබූහ. උන්වහන්සේ විසින් මැ නවාඞ්ගශාසනාර්ථ වර්ණනා සඳහා නය දක්වමින් “නෙත්තිප්පකරණය” දෙශනා කරන ලද්දේ යි.
නෙත්තිප්පකරණ :
නෙත්ති දෙශනාව ප්රකරණ පරිච්ඡෙද විසින් “හාර, නය, පට්ඨාන වශයෙන් තුන් වැදෑරුම් කොට දෙශනා කරන ලද්දේය. එහි මුලින් මැ හාරවිභාගයද යළි නයවිචාරය හා පට්ඨාන විචාරය ද වේ. පාලිව්යවස්ථාන (පිරිසිඳීම) විසින් “සංගහවාර, විභාගවාර’’යයි වාර දෙකෙකි. එහි සංගහවාරය “යං ලොකො පුජයතෙ” යනාදි ගාථා පසින් පිරිසිඳුනා ලද්දේය. සියලු මැ නෙත්තිනය මේ ගාථා පසින් සංග්‍රහ කරන ලද වෙයි. “පට්ඨානය එහි සංග්‍රහ නො ලදැ’යි ප්‍රශ්නයෙක. මූලපදග්රහණයෙන් පට්ඨානය සංග්‍රහ වී’යයි කියැ යුතු යැ “අට්ඨාරස මූලපදා කුහිං දට්ඨබ්බා සාසනපට්ඨානෙ”යයි (182 පිට) ග්රන්ථයෙහි එයි.
විභාගවාරය :
විභාගවාරය වැලිත් උද්දෙස, නිද්දෙස, පටිනිද්දෙස යයි ත්‍රිවිධ වෙයි. එහි “තත්ථ කතමෙ සොළස හාරා” යන්නෙහි පටන් භවන්ති අට්ඨාරස මූලපදානි යනු හිමි කොට ඇත්තේ උද්දෙසවාර යැ, අස්සාදාදීනවතා යන්නෙහි පටන් තෙත්තිංසා එත්තිකා නෙත්ති යනු අවසන් කොට ඇත්තේ නිද්දෙසවාර යැ. තත්ථ කතමො දෙසනාහාරො යන තැන සිට ප්රකරණාවසානය තෙක් පටිනිද්දෙසවාර යි.
තවද, පටිනිද්දෙසවාරය ‘හාරවිභඞ්ග, හාරසම්පාත, නයසමුට්ඨාන, සාසනපට්ඨාන’ යි වාර සතරෙකින් යුක්ත වේ. නොයෙක් උදාහරණ සූත්‍ර එළවමින් එක් හාරයක් දැක්වීම හාරවිභඞ්ගයෙහි ස්වරූප යි, එක් සූත්රයෙක්හි නොයෙක් හාරයන් බැසගෙන සිටුනා අයුරු දැක්වීම හාරසම්පාතයෙහි ලක්ෂණ යි. මේ යැ හාරවිභඞ්ග හාරසම්පාතයන්ගේ විශේෂය.
නොයෙක් සූත්‍රයෙන් නහාගත් තණ්හා අවිජ්ජාදි මූලපදයන් හා සමඟ චතුස්සත්‍යය යෝජනාව නයසමුට්ඨාන යි. එයින් නන්‍දියාවට්ටාදි නය උපදනා බැවින් කරණසාධන විසින් නයසමුට්ඨාන යි කියනු ලැබේ. නයභූමි යනුදු එය මැ යි.
වෙණෙයජනයන්ගේ අධ්යාශයානුරූප වැ ඔවුන්ට හිතසුව සලසනු පිණිස පර්යාප්ති ශාසනයාගේ පැවැත්ම ප්‍රකාරයෙන් ප්‍රකාශ කිරීම සාසනපට්ඨාන යි.
වෙණෙයජනයා ආර්යධර්මයට හෝ දර්ශනමාර්ගයට හෝ නිවනට පමුණුවන අර්ථයෙන් ‘නෙත්ති’ නම් වන බව කැලැ මැ කියන ලදි. එහි ලා හාරසංවර්ණනාව පළමු කළ යුතු යැ. සොළස හාරයන් දිසාලොචන නයින් දිශාභූත ධර්මයන් පරීක්ෂා කොට අඞ්කුස නයින් නහාගෙන නන්‍දියාවට්ටාදි තුන් අර්ථනයින් සූත්‍ර නිර්දේශ කළ යුතු වේ.
විමංසාස්ථාන :
තවද, අඞ්ගුත්තර අටුවාවෙහි “මධුපිණ්ඩික සුත්ත, කච්චානපෙය්යාල, පාරායනසුත්ත” යන තුන් සූත්‍රාන්තයන් අර්ථොත්පත්ති කොට බුදුහු මහාකච්චායන තෙරණුවන් අග්‍රස්ථානයෙහි තැබූහ’යි දක්වති. නෙත්තිප්පකරණ අටුවාවෙහි ද “කච්චායනසංයුක්ත” යක් සඳහන් වෙයි. එහෙත් කච්චානපෙය්යාලය හෝ කච්චායනසංයුක්තය නිකාය ග්රන්ථයන්හි දක්නට නැත. ඛන්ධසංයුක්ත නකුලපිතු වර්ගයෙහි 3-4 සූත්‍ර කච්චාන පෙය්යාල, කච්චායනසංයුක්ත වශයෙන් සඳහන් කොට ඇතැයි කියැහෙයි. මේ සූත්‍රයන්හි දී සූත්‍රනිපාතයෙහි මාගන්දීය සුත්ත, දීඝනිකායෙහි ‘සක්කපඤ්හසුත්ත’ යන සූත්‍ර දෙක්හි සංක්ෂිප්ත දෙශනා මහාකච්චායන තෙරණුවන් විභාග කොට වදාළ සැටි දැක්ක හැකිය. දසකනිපාතයෙහි ‘කාලි’ සූත්‍රය ද සඳහන් කළ යුතුය. මෙපරිද්දෙන් මධුපිණ්ඩික සූත්‍රාදියෙහි ලා සංක්ෂිප්ත දෙශනා අර්ථ ව්‍යඤ්ජන විසින් විභාග කොට දෙශනා කිරීමෙහි කුශලතාව හේතු කොට ගෙන කච්චායන තෙරණුවෝ අග්‍රස්ථානයට පත්වූහ. ඔබ යම් හාරනය ආදි මාර්ගයක් ඇසුරු කොට ඒ ඒ සූත්‍ර විභාග කරන ලද නම් නවාඞ්ග ශාසනාර්ථ වර්ණනාව සඳහා ඒ න්යායමාර්ගය තබාලූව මැනැවැ’යි සලකා පසු කලෙක නෙත්තිප්පකරණය වදාරන ලදුයි දත යුතුය.
මහාකච්චායන තෙරණුවෝ නෙත්තිනය දෙශනාවට පැමිණ දෙසනාහාරාදීන්ගේ ලක්ෂණ ව්‍යක්ත කිරීම පිණිස නිදසුන් දක්වන්නාහු යම් යම් ගාථාධර්මයක්, සූත්රපාඨයක් එළවන ලද නම්, බෙහෙවින් සංයුක්ත සඟියෙහි බැසගෙන සිටි නිදසුන් බව පෙනේ. යළි උදානපාළි, ධම්මපද, ජාතක, අඞ්ගුත්තරනිකාය, ඉතිවුත්තක විමානවත්ථු යන දෙශනාවන්හි සිටි සූත්‍ර බෙහෙවින් දැක්වූ අතර දික්සඟි මැඳුම්සඟි දෙක්හි සිටි නිදසුන් මඳ වෙයි. මෙහි සිට විමසීමට භාජන කළ යුතු කරුණු ද ඇත. වාසනාභාගිය සූත්‍රයට නිදසුන් කළ “පිණ්ඩාය කොසලං පුරං” (200 පිට) යනාදි තුදුස් ගයකින් යුත් වටංසක නම් අනාගත පසේබුදු කෙනකුන් පිළිබඳ ප්‍රවෘත සංගීතියට නැඟුණු පිටක ග්‍රන්ථයක මෙතෙක් හමු වූයේ නැත. එසේ මැ ‘ථෙරගාථා’ හෝ අපදානපාළියෙහි සැඟැහිය යුතු චරිත කීපයකට අයත් සේ පෙනෙන ගාථා ද ඇත. (200-204 පිටු විමසන්න) මෙසේ අප හමුවෙහි ඇති පිටකග්රන්ථයක නො පැණෙන ගාථා පසු කලෙක භාණකයන් අතින් ගිලිහී ගියා විය හැකිය. නොහොත් සංගීතිකාරකයන් විසින් සංගීතියට නො නඟන ලද හෝ විය හැකිය.
“අප්පතිංසං තතො කප්පා” (200 පිට) යනාදි ගාථාව සන්ඨිත ථෙරගාථාවෙහි ද අපදාන පාළියෙහි (සන්ඨිත) ද “එකතිංසෙ ඉතො කප්පෙ” යනාදි විසින් එයි, එය සිඛී බුදුරදුන් සඳහන් කරන තැනෙකි. ඒ බුදුහු ලොවැ පහළ වූවාහු මේ කපින් එක්තිස් වැනි කල්පයෙහි යැ, තිස්වැනි කල්පයෙහි පහළ වූ බුදුකෙනෙක් ද නැත. එයින් මේ නෙත්තිප්පකරණ පාළිය බුද්ධවංස, ථෙරගාථා, අපදානපාළි ආදිය හා විරොධ වෙයි නො යත්: විරුද්ධ නොවේ. ‘ඉතො කප්පෙ’යි මේ කපින් එක්තිස් වැනි කපැ’යි කියන ලදුයේත්, ‘අප්පතිංසං තතො කප්පා’ යි සිඛී බුදුරදුන් පහළවූ කල්පය මය්යාදා කොට තිස්කපෙකැයි කි හෙයින් අර්ථයෙන් සම වෙමැයි. මෙසේ නෙත්තිප්පකරණය ප්‍රගුණ කළ භාණකයන්ගේ පාඨය හා ථෙරගාථාදියෙහි එන පාඨය ද ව්‍යඤ්ජනයෙන් පමණක් වෙනස් වූයේ අර්ථයෙන් සම විය. 204-208 පිටු වල ද මෙබඳු ගාථා ඇත. 206 පිට “එකතිංසම්හිකප්පම්හි”, යනාදි ගාථාව ද සසඳා බලන්නේ මැනැවි. මෙහි පසුව දක්වූ වාසනාභාගිය සූත්‍ර දෙක ම අප හමුවෙහි ඇති ‘ථෙරගාථා, ‘අපදානපාළි’ දෙක්හි මැ දක්නට නො ලැබේ.
තවද නෙත්තිප්පකරණයෙහි නිදසුන් වශයෙන් එළවූ ඇතැම් සූත්රප්රදෙශ ත්‍රිපිටකයෙහි කවර තැනෙක සංගෘහීත වී ඇද්දැ’යි සොයාගත නො හැකි විය. විසි (20) වැනි පිට “යථාහ භගවා ඉදං දුක්ඛන්ති මෙ භික්ඛවෙ බාරාණසියං ඉසිපතනෙ මිගදයෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං.” යනාදි සූත්‍රය බුදුරදුන් දම්සක් පැවැත්වීමෙන් පසු කලෙක වෙනත් නිදානයෙක වෙනත් වස්තුයෙක දෙශනා කරන ලද්දක් සේ පෙනේ. මෙ ද විමසීමට භාජන විය යුතුය.
දසබල කථාවට පැමිණ (140 පිට) නිකායග්රන්ථයන්හි ද පටිසම්භිදාමග්ගයෙහි ද සවැනි තැනට එන ඉන්ද්රියපරොපරත්තඤාණය නෙත්තිප්පකරණයෙහි සත්වැනි ඤාණය කොට දක්වති. එය කවර හෙයෙකින් වූ විපර්යාසයෙක් දැයි නිශ්චය කළ නොහැකි විය. ජීනාලංකාරවර්ණනා කාරක තෙරණුවනුදු නෙත්තිප්පකරණය බලා ස්වකීය ග්‍රන්ථය සකස් කළ බව පෙනේ, මෙබඳු තැනුදු ධර්මධරයනට හමුවිය යුතුය.
සංගහවාරයෙහි “මහාකච්චානෙන නිද්දිට්ඨා” යනු ද හාරවිභඞ්ගවාරයෙහි ඒ ඒ හාරනිගමනයෙහි “තෙනාහ ආයස්මා මහාකච්චානො” යනු ද නෙත්තිසද්ධිගාහක තෙරුන් විසින් ප්රකරණාර්ථ සංග්‍රහ වශයෙන් තබන ලද්දේය.
නෙත්තිප්රකරණ වූ කලි සංක්ෂිප්ත දෙශනා අර්ථ ව්‍යඤ්ජන විසින් විස්තරයෙන් අර්ථ විභාග කරන භික්ෂූන් අතුරෙහි අග්රතැන් ලද මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ විසින් ධරමාන බුදුන් හමුවෙහි සංගෘහිත වැ සම්බුදු රදුන් විසින් අනුමෝදිත වැ වාචනා මාර්ගයට නැඟී සූත්රසංවර්ණනයෙහි උපයුක්ත වැ පැවැති ප්‍රකරණයක් වන බැවින් එබඳු අන්යධර්ම සංග්‍රහයන් මෙන් මැ ප්‍රථම සංගීතියෙහි දී පඤ්චාවිජ්ජනාදි විසින් වඩා ලා සංග්‍රහ කළ යුතු නො වී. සංගීතියට නැඟී ඇදුරෝල්හි පවත්වාගෙන එන ලද්දේ යි.
ලබුගම ලංකානන්ද
මහානායක ස්ථවිර.
1980 සැප්තැම්බර් මස 12 වැනි දින,
මොල්ලීගොඩ ‘ප්‍රවචනොදය’ පිරිවෙන්හි දී යැ.