42-KN-Buddhavamsa Chariyapitaka Pali.pdf

ප්‍රකාශිත වර්ෂය :
1977
මුද්‍රිත වර්ෂය :
1977
පිටු ගණන :
383
බාගත කිරීම් ගණන :
1,583
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
54 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 192

බුද්ධවංස පාලි - චරියාපිටක පාලි යනු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 38 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයෙහි 32 වන ග්‍රන්ථය හෙවත් ඛුද්දක නිකායේ 15 සහ 16 වන ග්‍රන්ථ) වේ. මෙහි පාලි මූල පාඨය සහ එහි සිංහල පරිවර්තනය අන්තර්ගත වේ.

බුද්ධවංස පාළිය බලපිටියේ රාජකීය පණ්ඩිත විසුද්ධාලොක නායක ස්ථවිරයන් විසින් ද, චරියාපිටක පාළිය බෙන්තර ශ්‍රී මඞ්ගලාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් විසින් ද පළමුව සිංහලයට පරිවර්තනය කරන ලද අතර, පසුව රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් සහ ලබුගම ලංකානන්ද මහාස්ථවිරයන් විසින් නැවත සම්පාදනය කොට සකස් කරන ලදී. ශ්‍රී ලංකා ජනරජයේ අනුග්‍රහයෙන් බු.ව. 2520 (ක්‍රි.ව. 1977) දී දෙහිවල තිසර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලදී.

දීපංකර බුදුරදුන්ගේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි බුදුවරුන්ගේ ප්‍රවේණි කථාව සහ විවරණ කථාව බුද්ධවංසයෙන් විස්තර කෙරෙන අතර, බෝසතාණන් වහන්සේ විසින් පෙරුම් පුරන ලද චරියාවන් චරියාපිටකයෙහි දැක්වේ.

  • බුද්ධවංස– පෙළ හා පරිවර්තනය
  • චරියාපිටක– පෙළ හා පරිවර්තනය
  • ගාථාදිපාද සූචි සහ සඤ්ඤානාමානුක්‍රමණිකා
  • විශෙෂ පදානුක්‍රමණිකා

සංස්කාරක නිවේදනය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි අටතිස් (38) වන ග්‍රන්ථය වූයේ බුද්ධවංසපාළි හා චරියාපිටකපාළි යන පොත් දෙක යැ. ඛුද්දක නිකායාන්තර්ගත ග්‍රන්ථයන් කෙරෙහි අවසාන ග්‍රන්ථද්වය වශයෙන් සලකන මේ දෙපොත ප්‍රමාණයෙන් කුඩා වූ හෙයින් මුද්‍රණයෙහි දී එක් මැ ග්‍රන්ථභාගයක් ලෙස මුද්‍රණය කැරැවීම මැනැවැයි ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ සම්මතය වියැ. එහෙයින් මෙය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි අටතිස් වැන්න ලෙස සලකනු ලැබේ.

ත්‍රිපිටක ග්‍රන්ථ සිංහලභාෂාවෙන් පරිවර්තන කොට තැබීම අපේක්ෂා කළ ලංකා බෞද්ධමණ්ඩලයේ ආරාධනය පරිදි ‘බුද්ධවංසපාළිය’ අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ මහාචාර්ය්‍යවරයකු වන බලපිටියේ රාජකීය පණ්ඩිත විසුද්ධාලොක නායකස්ථවිරයන් වහන්සේ විසින් ද, ‘චරියාපිටකපාළිය’ බෙන්තර පණ්ඩිතරත්න පරිවෙණාධිපති ව සිටි බෙන්තර ශ්‍රී මඞ්ගලාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ද මහත් පරිශ්‍රමයකින් විවිධ පිටපත් හා සංස්කරණ බොහෝ ගණනක පාඨ සංසන්දන කොට සිංහල පරිවර්තනය ද සපයා බෞද්ධමණ්ඩලයට ඉදිරිපත් කොට තිබිණ.

මේ දෙපොතෙහි සිංහල පරිවර්තනය බෞද්ධමණ්ඩලයේ සැලැස්ම අනුව සම්පාදනය නොවු බව පෙනීගිය හෙයින් උත්තරීතර සංස්කාරක මණ්ඩලය විසින් එය නැවත පරිවර්තන කිරීමට සම්මත වියැ. එහෙයින් යථොක්ත මහතෙරවරුන්ගේ ශොධිතපාඨ ඇසුරු කොට ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයෙහි නියුක්ත වූ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ හා අප ද විසින් මේ සිංහල පරිවර්තනය සම්පාදනය කරන ලද වෙයි. මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදක මණ්ඩලයේ මහතෙරවරුන්ගේ සාහාය්‍යය හෙතු කොටගෙන ශොධන සංස්කරණ කාර‍්‍ය්‍යයන් මැනැවින් කළ හැකි වියැ.

තවද කරහම්පිටිගොඩ සුමනසාර පණ්ඩිත ස්ථවිරයන් විසින් බුද්ධවංසපාළිය හා එහි අටුවාව ද අලළා ලියන ලද විචාර පූර්වක සංඥාපනය බුද්ධවංසකථාව ඉගෙනගනු රිසියනට බොහෝ සෙයින් ඵලදායක වනු ඇත. බුද්ධවංසපාළිය පශ්චාත්කාලීන කෘතියකැයි කියන අත්‍යන්ත වූ විචාරකයනුදු හික්මවාලන්නට මේ සංඥාපනයෙන් යත්න දරා තිබේ. චරියාපිටක සංඥාපන කරනලදුයේ අප විසිනි.

ත්‍රිපිටක මුද්‍රණ කටයුතු ඉක්මනින් නිමහම් කරවාලීම සඳහා අග්‍රාමාත්‍යවර සිරිමාවෝ බණ්ඩාරනායක උත්තමාව නිරතුරු දක්වන ආගමික හැඟීමෙන් යුක්ත වූ අනුග්‍රහය ද, වර්තමාන සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය තැන් පත්, ටී. බී. තෙන්නකෝන් මැතිතුමාණන් අන් හැම කාර්ය්‍යයකට වඩා මේ සඳහා දක්වන ඉමහත් උද්‍යොගය ද, සංස්කෘතික නිලධාරී පින්වතුන්ගේ සහයොගය මෙන් ම සහකාර සංස්කෘතික අධ්‍යක්ෂ සෝමපාල ජයවර්ධන මහතාණන් ස්වකීය ස්වකීය විවේකය ද නිසරු කොට මේ සඳහා දක්වන ක්‍රියාශීලිභාවය ද අතිශයින් පිහිටවන බව කියම්හ.

දෙහිවල තිසර මුද්‍රණාලයාධිපතිතුමා හා එම කාර්ය්‍යමණ්ඩලය ත්‍රිපිටක මුද්‍රණය සඳහා දක්වන උනන්දුව මෙන් ම ත්‍රිපිටක කාර්ය්‍යාලය පිහිටි කොළඹ මහානායක වාරිකාරාමයේ භාරකාර ඒ. ඇම්. ආර්. සමරසිංහ මහතාගෙන් ත්‍රිපිටක මණ්ඩලයට දවරයෙහි ලැබෙන සහයෝගය ද අනුස්මරණීය වේ.

අතිපරිශුද්ධ පර්‍යාප්ති ධර්මය ව්‍යාප්ත කරවාලීමෙහි යත්න දරන හැම සුධීහු ධර්‍මදානමය කුශලබලයෙන් සුභභාගී වෙත්ව’යි ආශංසනය කරම්හ.

ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක,
15 පෙබරවාරි 2520 / 1977
මොල්ලිගොඩ
ප්‍රවචනොදය පිරිවෙන්හි දී යැ.

සංඥාපනය

බුද්ධවංසය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලියුගවර්ෂයෙන් දෙදහස් පන්සිය තෙළෙස් (2513) වැන්නෙහි වෙසඟමස පුරපසළොස්වක් පොහෝදින දඹදිව මධ්‍යදේශයෙහි නිල්දලාවැහෙරැ ගයාවෙහි ඇසතුබෝරුක්මුල්හි කුසතණ ඇතිරියෙහි වැඩහිඳ සවාසනා සකලක්ලෙශයන් ප්‍රහීණ කොට චතුස්සත්‍යාවබොධයෙන් සම්‍යක්සම්බොධියට පැමිණ සත්සති ගෙවා සහම්පති මහබඹහු විසින් ආරාධිත වැ ඇසළමස පුරපසළොස්වක් පොහෝදැ බරණැස ඉසිපතන නම් මිගදයෙහි දී ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ’ ආදි පස්වග මහණුනට දම්සක් පවත්වා නික්මිනියැ අවිදෙසේහි දවස් අනාත්මලක්ෂණ සූත්‍රදෙශනායෙන් ඔබ හැම අර්හත්වයෙහි පිහිටුවා ‘එහිභික්ඛු’ පැවිදි දී සසුන් පිහිටුවා, විමුක්තිය සොයා තමන් වහන්සේ කරා පැමිණි බරණැස් සිටුදරු ‘යස’ කුලපුත්‍රයා හා ඔබගේ යහළු සිවුපනස් දෙනා රහත්පෙළෙහි සිටුවා ‘එහිභික්ඛු’ පැවිදි දී ඉසිපතන මුවළැව්හි පළමු වස් වැස පවරා හිල්මැදැ අවපැළවිය දවස් සැටදෙනා වහන්සේ ධර්‍මප්‍රචාරයෙහි යවා තමන් වහන්සේ උරුවේල්දනව් වැඩ තෙමසක් වැඩහිඳ දුරුතු පුරපසළොස්වක් දවස් උරුවෙල්කාශ්‍යප ප්‍රමුඛ දහසක් ජටිලයන් ‘ආදිත්තපරියාය සූත්‍රදෙශනායෙන්’ අර්හත්වයට පමුණුවා ‘එහිභික්ඛු’ පැවිදි දී නවම්මස අවපැළවිය දවස් එහැම පිරිවරා පළමු බිම්සර රජුට දුන් ප්‍රතිඥා පිණිස රජගහනුවර වැඩ සසුන්හි පහන් වැ සෝවන්පෙළෙහි පිහිටි බිම්සර මහ රජහු විසින් කරවා පුදනලද වෙළුවන මහවෙහෙරෙහි දෙමසක් වාස කොට පියාණන් සුදොවුන් මහ රජුන් එවු දූතපිරිසෙහි නායක කාළුදායි තෙරණුවන් මැදිමිණියැ පුරපසළොස්වක් දවස් කළ ආරාධනායෙන් විසිදහසක් මහණගණා පිරිවර කොටගෙන බක් අවපැළවිය දවස් රජගහනුවරින් පිටත්වැ දෙමසක් මුළුල්ලේ සැටයොදුන් මග ගෙවා වෙසක් පුරපසළොස්වක් දවස් කිඹුල්වත්පුරයට පිවිස ඥාතිසමාගමයෙහි රුවන්සක්මනැ යමාමහපෙළහර පා අවස්ථායෙහි දම්සෙනෙවි සැරියුත් මහරහත්තෙරණුවන්ගේ ඇරයුමින් බුද්ධවංශදේශනා කළහ.

චතුරාසඞ්ඛ්‍යකල්පලක්ෂයක් මුළුල්ලෙහි ඒ ඒ අවස්ථායෙහි සම්‍යක්සම්බොධි සමධිගම කළ දීපංකර තථාගතයන් වහන්සේ පටන් කොට අප ගෞතම තථාගතයන් වහන්සේ තාක් පස්විසි බුදු කෙනකුන් වහන්සේගේ ප්‍රවේණි විස්තාරකථාව ‘බුද්ධවංස’ නම් වෙයි. බුද්ධවංස දෙශනා වූකලි සැදැහැතියනට ප්‍රීතිප්‍රමෝදය දනවන, ශොකශල්‍යය උදුරාලන, දිව්‍යමානුෂාදි සර්‍වසම්පත් ලාභයට කරුණු වූ දෙශනායෙකි. ජාත්‍යාදි මද නිර්මදනය කරන්නා වූ අනුගතයන් සංසාරබන්ධනයෙන් මුදලන්නා වූ හැම දුක් ක්ෂය කරන්නා වූ මාර්ගයෙකි. ශ්‍රාවකයන්ගේ සිත් බුදුබැව්හි නතු කරන්නා වූ උතුම් දහමෙකි. අසා පරණ නොවන අසත් අසත් මැ සැදැහැති වඩවන පුනපුනා ඇසීමට ලොල් කරවන රමණීය ධර්මකථායෙකි. එහෙයින් මැ ධර්මව්‍යාඛ්‍යාන කළ ආචාර්‍ය්‍යවරු සැකෙවින් හෝ බුද්ධවංසය ද දැක්වූලූහ. ජාතකට්ඨකථා නිදානයෙහි ලා බුද්ධවංසය සපුරා දක්වනලද්දේ යැ. මයුරපාදපිරිවෙන්හිමි ‘බුදුපුත්’ තෙරණුවෝ පූජාවලියෙහි ද ‘ධර්මසේන’ තෙරණුවෝ සද්ධර්මරත්නාවලියෙහි ද දෙවරක්ඛිත ජයබාහු ධර්මකීර්ති තෙරණුවෝ සද්ධර්මාලංකාරයෙහි ද ධම්මදින්නාචරිය විමලකිත්ති තෙරණුවෝ සද්ධර්මරත්නාකරයෙහි ද බුද්ධවංසය ඇරැපූහ. සිලවංස ධම්මකිත්ති මාහිමියෝ සුවිසිවිවරණය ගෙන පාළිපද්‍යානිබන්ධයක් කළහ.

අප බුදුන් අතීතයෙහි ‘සුමෙධ’ නම් තවුසක් වැ දිවකුරු බුදුන් හමුවෙහි බුදුබව පිණිස නියතවිවරණ ලබාගෙන සාරාසැඞ්ඛ්‍යකප්සුවහසක් මුළුල්ලෙහි සූවිසි බුදු කෙනකුන්ගෙන් විවරණ ලබමින් සමතිස්පැරුම් පුරා සම්බොධියට පැමිණි අයුරු බුද්ධවංසයෙහි දක්වනලද්දේ යැ. මෙහි පරිච්ඡෙද පසෙකි: රතනචඞ්කමන කණ්ඩ යැ, සුමෙධකථා යැ, බුද්ධවංස යැ, බුද්ධපකිණ්ණක කණ්ඩ යැ, ධාතුභාජනීය කථා යැ යන පස යි.

රතනචඞ්කමන කණ්ඩ යැ බුද්ධවංසදෙසනායෙහි නිදානකථාව යැ. සුමෙධකථායෙන් බුද්ධවංසය ආරම්භ වෙයි. දිවකුරු බුදුන් හමුවෙහි අප මහබෝසතාණන් වහන්සේ බුදුබවට නියතවිවරණ ලද අයුරු එහි විස්තර වෙයි. ඉක්බිති සූවිසි බුදුන්ගේ ප්‍රවේණිකථාවත් ඒ ඒ බුදුන් හමුවෙහි බෝසතුන් විවරණ ලද අයුරුත් අවසන්හි අප ගෞතම බුදුන්ගේ වංසකථාවත් දැක්වෙන පරිච්ඡෙදය ‘බුද්ධවංස’ නමින් වෙසෙසා හැඳින්වෙයි. එහි ලා එක් එක් බුදුන්ගේ ප්‍රවේණිකථාව වෙන වෙන මැ දක්වනලදී. එහැම වංසකථා මැ ආකාරයෙන් එක් බඳු වෙයි. ඒ ඒ බුදුන්ගේ උපන් කල්පයැ නාමයැ ගොත්‍රයැ ජාති යැ නගර යැ පිතා යැ මාතා යැ බොධි යැ දම්සක්පැවැත්ම යැ අභිසමය යැ ශ්‍රාවකසන්නිපාත යැ අග්‍රශ්‍රාවක යැ උපස්ථායක යැ අග්‍රශ්‍රාවිකා යැ පරිවාරභික්ෂු යැ රශ්මි යැ ශරීරප්‍රමාණ යැ බොධිසත්ත්වාධිකාර යැ විවරණ යැ ප්‍රධාන වීර්‍ය්‍ය යැ ආයුෂ යැ පරිනිර්වාණ යැ යන දෙවිසි කරුණු ප්‍රකාශ කරන ලද්දේ යි. මෙ කරුණු දක්වන ලද්දේ බුදුවරුන්ගේ මනුෂ්‍යභාවය ප්‍රකට කරනු සඳහා යැ.

ඉදින් ජාතනගරය මවුපිය ආදීහු නො දක්වනලද්දාහු වී නම් මොහුට උපන් තැනෙක් පියෙක් මවක් නොපෙනෙයි. මෙතෙම දිව්‍ය-බ්‍රහ්මකුමාරයක්ෂාදීන් කෙරෙහි අන්‍යතරයෙකැයි සිතමි. දෙවියනට ද මෙබඳු ආශ්චර්‍ය්‍ය නො වූ පෙළහර ඇතැයි සිතන්නාහු බුද්ධවචනය ඇසියයුතු කොට නො සිතන්නාහ, එයින් අභිසමය නො වෙයි. අභිසමය නැතිවත් මැ බුද්ධොත්පාදය නිරර්ථක වන්නේ යැ. ශාසනය අනෙය්‍යාණික වන්නේ යි.

“යස්ස යදි නෙව ජාතනගරං න පිතා, න මාතා පඤ්ඤායෙථ, ඉමස්ස පන නෙව ජාතනගරං, න පිතා න මාතා පඤ්ඤායති, දෙවො වා සක්කො වා යක්ඛො වා මාරො වා බ්‍රහ්මා වා එස මඤ්ඤෙ දෙවානම්පි ඊදිසං පටිහාරියං අනච්ඡරියන්ති මඤ්ඤමානා න සොතබ්බං මඤ්ඤෙය්‍යුං තතො අභිසමයො න භවෙය්‍ය, අසති අභිසමයෙ නිරත්ථකො බුද්ධුප්පාදො භවෙය්‍ය, අනිය්‍යාණිකං සාසනං, තස්මා සබ්බබුද්ධානං ජාතනගරාදිකො පරිච්ඡෙදෙ දස්සෙතබ්බො”* යනු බුද්ධවංස අටුවා යි.

බුද්ධපකිණ්ණක කණ්ඩයෙහි ගථා අටළොස සඞ්ගීතිකාරක මහතෙරුන් විසින් තබනලද නිගමනගාථා යි. ධාතුභාජනීය කථා ගාථා තෙළෙසකින් සමන්විත වෙයි. බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ ශාරීරධාතු හා පාරිභොගිකධාතු ලොකයෙහි ව්‍යාප්ත වූ සැටි එහි දක්වන ලද්දේ යැ. ධාතුභාජනීය කථා ගැන කිසි සඳහනෙක් බුද්ධවංස අටුවායෙහි නැත. මේ පරිච්ඡෙදය ප්‍රථමසඞ්ගීතියෙන් පසු කලෙක බුද්ධවංසයෙහි සඞ්ගෘහීත බව “පාණිනං අනුකම්පාය ආහු පොරාණිකා තදා” යන පරිච්ඡෙදාවසාන සඳහනින් පෙනෙයි. ‘පොරාණ’ ‘පොරාණික’ ශබ්ද අටුවායෙහි හෙළටුවා ඇදුරන් සඳහා යොදනලද්දේ යැ. “පොරාණාති අට්ඨකථාචරියා”1 යනු සාරත්ථදීපනි විනයටීකා යි, එයින් හෙළටුවා ඇදුරන් ගන්නේ යැ. එයින් බුද්ධවංස-ධාතුභාජනියකථාව හෙළටුවා ඇදුරන් විසින් සඞ්ගෘහීත යැ යි සිතියහැක්ක. දීඝනිකාය ‘මහාපරිනිබ්බාන’ සූත්‍රයෙහි සූත්‍රයෙහි ද ශාරීරධාතූන් බෙදූ අයුරු සඳහන් වෙයි. එය බුද්ධවංස-ධාතුභාජනියකථා හා සැසැඳෙයි. මහාපරිනිබ්බාන සූත්‍රයෙහි ගද්‍යයෙන් කියූ දැය බුද්ධවංසයෙහි පද්‍යයට නැඟී ඇත. නැඟී ඇත.

* බුද්ධවංසය ඉංග්‍රීසි භාෂාවට නැඟු අයි. බී. හෝනර් මැතිනිය මෙ වාක්‍යඛණ්ඩය වරදවාගෙන දෙවියන් සැක උපදවන හෙයින් ජාතනගරාදිය සඳහන් කරන ලදැ යි බුද්ධවංස හැඳින්වීමෙහි දක්වා ඇත. B. V. - PTS xii P. G. 1. සාරත්ථදීපනී–මජ්ඣං, 202 පිටුව

“චත්තාලීස සමා දන්තා” යන ගාථාව දෙතන්හි මැ නො වෙනස් වැ සිටී. මහාපරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් නැති පාරිභොගික ධාතු පිහිටි තැන් ද බුද්ධවංස ධාතුභාජනීය කථායෙහි දක්නා ලැබේ. බුදුරදුන්ගේ පාත්‍රය, සැරයටිය, සිවුර, හඳනය, පසතුරුණ, ඩබරාව, කාබහන, දිය සළුව, ඌණ්ණරොම ධාතුව, කසාවත, (බෝසතුන්ගේ) හිස්වෙළුම, නිසීදනය, ඇතිරිය, අරණිය (ගිනිගානාදණ්ඩ) පෙරහන, කරකැත්ත, හිඳිගුළාව, හා සෙසු පිරිකර පිහිටි තැන් වෙන වෙන දක්වන ලද්දේ යි.

බුදුවරු කරුණු අටෙකින් අසමාන වෙති: ආයුෂ යැ ශරීර ප්‍රමාණ යැ කුල යැ ප්‍රධාන වීර්‍ය්‍ය කළ කාලපරිච්ඡේද යැ රැස් යැ අභිනිෂ්ක්‍රමණ යාන යැ බොධිවෘක්ෂ යැ පර්‍ය්‍යඞ්කප්‍රමාණ යැ යන අට යි.

හැම බුදුවරුන් පිළිබඳ කරුණු සතරක් නො වෙනස් වැ පවතියි. සියලු බුදුවරුන්ගේ බොධිපර්‍ය්‍යඞ්කය එක් මැ තන්හි වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදයෙහි යැ, දෙවොරොහණය සංකස්ස නගරද්වාරයෙහි යැ, ජෙතවනයෙහි ගන්ධකුටිය එක් මැ තන්හි වේ.

හැම බුදු කෙනකුන්ට මැ සාධාරණ ධර්මතා සමතිසෙකි: 1. පශ්චිමභවික බොධිසත්වයන් සිහිනුවණින් යුතු වැ මවුකුසින් බිහිවීම 2. මවුකුස පලක් බැඳ පිටත බලාසිටීම, 3. බෝසත් මවු සිටිපියෙහි සිට බෝසතුන් බිහිකිරීම, 4. අරණෙහි දී මවුකුසින් බිහිවීම, 5. උපන් කෙණෙහි උතුරුදිගට සත් පියවරක් ගොස් සිහනාද කිරීම, 6. සතර පෙරනිමිති දැකැ පුත්කුමරු උපන්දැ මහභිනික්මන, 7. පැවිදි වැ යටත් පිරිසෙයින් සත්දිනක් හෝ ප්‍රධාන වීර්‍ය්‍ය කිරීම, 8. බුදු වන දවස් කිරිපිඬු වැළඳීම, 9. තණ ඇතිරියෙහි වැඩහිඳ සර්වඥතාඥානාධිගමය, 10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම, 11. මරුන් බිඳැලීම, 12. බොධිපර්‍ය්‍යඞ්කයෙහි දී මැ ත්‍රිවිද්‍යාදි ගුණ ප්‍රතිලාභය, 13. සත්සති ගෙවීම, 14. මහබඹහුගේ අයැදීමෙන් දහම් දෙසීම, 15. ඉසිපතන මිගදයෙහි දී මැ දම්සක් පැවැත්වීම, 16. නවම් පුරපසළොස්වක්හි මැ ප්‍රථම ප්‍රාතිමොක්ෂ දෙශනාව, 17. දෙව්රම් වෙහෙර තන්හි මැ නිබද්ධවාසය, 18. සැවැත්පුරදොරැ යමාමහපෙළහර දැක්වීම, 19. තව්තිසාවෙහි අභිධර්‍මදෙශනාව, 20. සංකස්පුරදොරට දෙව්ලොවින් බැසීම, 21. නිරතුරු ඵලසමාපත්තියට සමවැදීම, 22. ධ්‍යාන දෙක්හි වෙණෙයජනයා බැලීම, 23. කරුණක් නැඟි කල්හි මැ ශික්ෂා පැනැවීම 24. අත්‍ථුප්පත්ති නිමිති කොට ජාතකදෙශනාව, 25. ඥාතිසමාගමෙහි බුද්ධවංස දෙශනාව, 26. ආගන්තුක භික්ෂූන් හා පිළිසඳර කිරීම, 27. ආරාධනායෙන් වස් වැස, දායකයන් නො පිළිවිස නො යෑම, 28. දවස්පතා පඤ්චබුද්ධකෘත්‍යය නොකඩ කොට කිරීම, 29. පරිනිර්වාණ දිනයෙහි මාංසරසභෝජනය, 30. සුවිසි කෙළසුවහස් සමවත් සමැවැද පිරිනිවීම, යන මෙ කරුණු යි.

‘අනුරුද්ධ’ තෙරණුවන් ද උපාලි තෙරණුවන් ද යන මේ දෙදෙන බුදුරජුන් කිඹුල්වත් පුරයට පිවිසි කල්හි රැස්වූ ඥාතිසමාගමයෙහි දී පැවිදි වූවන් සෙයින් බුද්ධවංසයෙහි පෙනෙයි. මෙය ඛන්ධකපාළිය හා ද අට්ඨකථා හා ද නො සැසැඳෙයි, විමසාගන්නැ’යි අට්ඨකථාවාචී බුද්ධදත්ත තෙරණුවෝ කියති.

බුද්ධවංශයෙහි උත්තරා යැ නන්දමාතා යැයි උපාසිකාවෝ දෙදෙනෙකි. ඔහු දෙදෙන අග්‍රඋපස්ථායිකා ද වෙති. අංගුත්තර එතදග්ගපාළියෙහි නන්දමාතා උත්තරා එක් මැ උපාසිකාවකි. ඕ එහි ධ්‍යායී උපාසිකාවන් අතුරෙහි අග්‍ර වූ යැ.

බුද්ධවංශයෙහි, ‘චිත්ත’ ගෘහපති හා ‘හත්ථාලවක’ හා මෙ දෙදෙන අග්‍රඋපස්ථායක වෙති. අංගුත්තර එතදග්ගපාළියෙහි ‘චිත්ත’ ගෘහපති ධර්‍මකථික උපාසකයන් අතුරෙහි අග්‍ර වෙයි. ‘හත්ථාලවක’ සතර සඞ්ග්‍රහවස්තුයෙන් ජනසඞ්ග්‍රහ කරන උපාසකයන් අතුරෙහි අග්‍ර වේ.

දීඝභාණකයෝ බුද්ධවංස, චරියාපිටක, අපදාන යන මෙ ග්‍රන්ථ ඛුද්දකනිකායෙන් බැහැර කෙරෙති. මජ්ඣිමභාණකයෝ එ තුන ද ඛුද්දකනිකායෙහි අන්තර්ගත යැයි කියති.* මජ්ඣිමභාණක වූවාහු සැරියුත් මහරහතුන් වහන්සේගේ අතැවැසි පරපුරෙහි වූ තෙරවරු වෙති. ‘බුද්ධවංස’ ‘චරියාපිටක’ දෙශනා සැරියුත් තෙරණුවන්ගේ ආරාධනයෙන් කරනලද වෙයි. මේ දෙශනා වාචනාමාර්ගයෙහි පවත්වා ගෙන ආවාහු ද සැරියුත් තෙරණුවන්ගේ අතැවැසි පරපුරෙහි තෙරවරු යැ. සැරියුත් තෙරණුවන් පටන් කොට භද්දජි යැ තිස්ස යැ කොණ්ඩඤ්ඤ යැ සිග්ගව යැ මොග්ගලිපුත්ත යැ සුදත්ත යැ ධම්මික යැ දාසක යැ සොණක යැ රෙවත යැ යන ඇදුරු පරපුර විසින් තෘතීයසඞ්ගීති කාලය දක්වා ද ඉන්පසු උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර විසින් ද පවත්වා ගෙනඑන ලද්දේ යැ. “තෙසංයෙව සිස්සානුසිස්සෙහි එවං තාව ආචරියපරම්පරාය යාවජ්ජකාලා ආභතො’ති වෙදිතබ්බො” යන අටුවා සඳහනින් පෙනෙනුයේ අට්ඨකථා කාලය තෙක් ආචාර්‍ය්‍යපරම්පරාව අඛණ්ඩ වැ පැවැති බව යි. බුද්ධවංසය ඉංග්‍රීසියට නඟා එංගලන්තයේ පාළිපොත් (PTS) මුද්‍රණයෙහි පළ කරවූ අයි. බී. හෝනර් මැතිනිය එයට විමර්ශනාත්මක පෙරවදනක් සපයමින් කරුණු සහිත වැ එහි පෞරාණිකත්වය තරකොට ඇත.

කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර

* බුද්ධවංස අටුවාකථා – හෙවිලිහු 44 පිටුව.

කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිර