40-KN-Apadana Thera Apadana 2.pdf

ප්‍රකාශිත වර්ෂය :
1977
මුද්‍රිත වර්ෂය :
1977
පිටු ගණන :
463
බාගත කිරීම් ගණන :
1,383
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
71 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 232

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 37 වන කාණ්ඩය ලෙස ප්‍රකාශිත මෙම කෘතිය, සූත්‍රාන්ත පිටකයේ ඛුද්දකනිකායට අයත් අපදාන පාලි - ද්විතීය භාගය (1 කාණ්ඩය) වේ. මෙහි ථෙරාපදානයෙහි මෙත්තෙය්‍ය වර්ගයේ පටන් ප්‍රමුඛ ථෙරාවරුන්ගේ අතීත පාරමිතා හා පුණ්‍යකර්ම විස්තර කෙරෙන අපදාන පාඨ සහ ඒවායේ සිංහල පරිවර්තනය අන්තර්ගතය.

මෙහි මුල් කොටස තලල්ලේ සිරි ධම්මානන්ද නායක ස්ථවිරයන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද අතර, අස්ථානගත වූ කොටස් නැවත සම්පාදනය කරමින් පරිවර්තන කටයුතු සම්පූර්ණ කරන ලද්දේ රාජකීය පණ්ඩිත වෙඩරුවේ සිරි අනෝමදස්සී නායක ස්ථවිරයන් වහන්සේ විසිනි. ලබුගම ලංකානන්ද මහානායක ස්ථවිරයන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් මෙය සංස්කරණය කොට ශ්‍රී ලංකා ජනරජය මඟින් බු.ව. 2520 (ක්‍රි.ව. 1977) දී ප්‍රකාශයට පත් කරන ලදී.

සංස්කාරක නිවේදනය

සූත්‍රාන්ත පිටකයෙහි කුද්දකනිකායට අයත් ඛුද්දක පාඨාදි පසළොස් ග්‍රන්ථයන් කෙරෙහි තෙළෙස් වැන්න වූයේ අපදාන පාළි යයි. එය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලායෙහි 36, 37 ග්‍රන්ථ වශයෙන් පළ කරවීමට සම්මත විය. එයින් අපදාන පාළියෙහි ප්‍රථම භාගය 1961 දී මුද්‍රණයෙන් පළ විය.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනය පරිදි කොළඹ දෙමටගොඩ ජයශෙඛරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද නායකස්ථවිරයන් වහන්සේ විසින් අපදානපාළිය සිංහල භාෂාවෙන් සපුරා පරිවර්තන කරන ලද්දේ ය. ප්‍රථම භාගය මුද්‍රණයට පැමිණි සමනන්තරව මැ මෙම ද්විතීය භාගය ද එක්තරා මුද්‍රණාලයකට භාරදී තිබිණ. එහි ‘යසෝධරාපදානය’ මුද්‍රණය වූ පසු අප නොදන්නා කවර හේතුවකින් හෝ මුද්‍රණය නැවතී ලිඛිත වූ අත් පිටපත් එකකුදු සොයා ගත නොහෙන සේ වැනසී ගියේ ය. එහෙයින් ‘යසෝධරාපදානයෙහි’ පටන් නැවත පරිවර්තන කරන්නට සිදුවිය. මුලු දී මෙහි සිංහල පරිවර්තනය ලියූ තලල්ලේ ධම්මානන්ද නායකස්ථවිරයන් වහන්සේට ම මේ සඳහා අයැදුම් කළ නමුදු උන්වහන්සේට මේ කාර්ය්‍යයෙහි ව්‍යාපෘත වීමට අවකාශ නොවුයෙන් විද්‍යොදය පිරිවෙන්හි ආචාර්ය්‍ය ශාස්ත්‍රපති විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත වෙඩරුවේ සිරි අනෝමදස්සී නායකස්ථවිරයන් වහන්සේ එම පරිවර්තන කාර්ය්‍යය භාරගත්හ. එය ධර්මකාමීන්ගේ ප්‍රීතියට හේතු වෙතැයි සිතම්හ.

අපදානපාළි ද්විතීය භාගය එක් මැ ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය කළ යුතුව ඇත ද ග්‍රන්ථ පරිහරණ පහසුව සලකා සපනස් වන යසවග්ගයෙන් ථෙරාපදානය අවසානය දක්වා ද්විතීය භාගයේ පළමු වන කාණ්ඩය ලෙස ද, ථෙරී අපදානය දෙවැනි කාණ්ඩය ලෙස ද ප්‍රකාශයට පැමිණෙනු ඇත.

තවද මුද්‍රිත වැ ඇති බොහෝ අපදානපාළි ග්‍රන්ථයන්හි යසවග්ගාවසානයෙහි ‘රට්ඨපාල, උපවාන’ යන අපදාන දෙක යොදා ඇත ද, අපදානපාළියෙහි අටළොස් වැනි රට්ඨපාල ථෙරාපදානය ද දෙවිසි වැනි උපවාන ථෙරාපදානය ද (ප්‍රථමභාග - 112, 124 පිටු) නො වෙනස් වැ යෙදී ඇති හෙයින් ඒ අපදාන දෙක නැවත නොයෙදූ බව සලකනු මැනැවි.

මුද්‍රණයෙහි අවසානය නො දැක අභාව වැ තුබූ මේ ග්‍රන්ථ භාගය ද සංස්කෘතික සහකාර අධ්‍යක්‍ෂ සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ කටයුතු සංවිධානයත් තිසර මුද්‍රණාලයාධිකාරින්ගේ සහයෝගයත් හේතු කොටගෙන මෙසේ ප්‍රකාශයට පැමිණීම ශාසනොදය කාමීන්ගේ ප්‍රමෝදයට හේතු වේ යයි සිතම්හ.

“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”

මෙවගට - ශාසනොදයකාරී
ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටකමණ්ඩලයේ ප්‍රධාන සම්පාදක
1977, ජුලි 10,
ත්‍රිපිටක කාර්යාලය
මහානායක චාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ 7.