39-KN-Apadana Thera Apadana 1.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1961
- මුද්‍රිත වර්ෂය :
- 1961
- පිටු ගණන :
- 687
- බාගත කිරීම් ගණන :
- 1,500
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 112 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම ග්‍රන්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 36 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 30 වන ග්‍රන්ථය) ලෙස පළ වූ අපදානපාලි ප්‍රථම භාගයයි. ඛුද්දකනිකායට අයත් මෙම පාලි මූලය සහ එහි සිංහල අනුවාදය මෙහි ඇතුළත් වේ.
ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, කොළඹ දෙමටගොඩ ජයශෙඛරාරාමාධිපති පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් මෙම සිංහල පරිවර්තනය සම්පාදනය කර ඇත. ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවේ හා සංස්කාරක මණ්ඩලයේ සභාපති පරවාහැර වජිරඤාණ ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කාරක නිවේදනය හා දීර්ඝ සංඥාපනය සපයා තිබේ.
බුදුරජාණන් වහන්සේ, පසේබුදුරජාණන් වහන්සේලා සහ මහා සඟරුවනගේ අතීත පාරමිතා හා චරිතාපදාන මෙහි විස්තර වන අතර බුද්ධාපදාන, පච්චෙකබුද්ධාපදාන ඇතුළු ථෙරාපදාන රාශියක් මෙම ප්‍රථම භාගයට අන්තර්ගතය.
සංස්කාරක නිවෙදනය
සූත්‍රාන්තපිටකයෙහි ඛුද්දකනිකායට ඇතුළත් අපදානපාලියෙහි ප්‍රථමභාගය බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලා සඞ්ඛ්යාවශයෙන් 36 වැනි — සූත්රාන්තපිටකග්රන්ථසඞ්ඛ්යාවෙන් 30 වැනි ග්‍රන්ථය වෙයි.
ලංකාබෞද්ධමණ්ඩලයෙහි ඇයුදුමෙන් මේ ග්‍රන්ථය සිංහලභාෂාවට පරිවර්තනය කළ කොළඹ දෙමටගොඩ ජයශෙඛරාරාමාධිපති වූ, ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්ය්ය වරයකු ද වූ පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ විසින් සවකාර්ය්යය මැනවින් ඉටු කරන ලද බව පෙනේ.
කාලාන්තරාගත ලිපිදොෂ හා අපපාඨ සංයොගයෙන් ද යුක්ත ව තිබූ මේ ග්‍රන්ථය යථාස්ථානයට පැමිණවීම සම්බන්ධයෙන් උන්වහන්සේ දරා තිබෙන ප්රයත්නය පැසසිය යුතු වේ. මෙහි ශොධ්‍යපත්‍ර බැලීමේ දී පරිවර්තක - කර්තෘන් වහන්සේ ද පණ්ඩිත ගලගම ධම්මසිද්ධි ස්ථවිරයන් වහන්සේ ද සහාය වූහ.
බුද්ධ - පච්චෙකබුද්ධ - අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක, ශ්‍රාවකයන් වහන්සේගේ සොළොස්කාර සමාධියෙහි සමර්ථ වූ පුරාකෘතකුශලකර්මවිශෙෂයන් දැන තමන් විසින් ද අනිමිත්තබොධියකින් නිවන් පසක් කරණු කැමැති සැදැහැතියන්ට මාර්ගොපදෙශක වූ මේ ග්‍රන්ථය මෙසේ මුද්‍රණයෙන් පළ කිරීම සඳහා ස්වායත්ත ක්‍රියා යථාශක්තින් සිද්ධ කිරීමෙන් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක මණ්ඩලීය ස්ථවිරයන් වහන්සේ ද ලංකාරජය පිළිබඳ සංස්කෘතික කාර්ය්යාංශයෙහි අධිකාරිහු ද, මහාබොධි මුද්‍රණාලයෙහි අධිකාරීන් හා සෙවක පිරිස ද තමන් ලත් පුණ්යමහිමයට අනුරූප වන පරිදි සාදෘශ්‍ය සිය අපදානයන් මෙතේ සම්බුදුන් වෙත පහළ කිරීමෙහි පොහොසත් වෙත්වා.
පරවාහැර වජිරඤාණ ස්ථවිර
ත්රිපිටකපරිවර්තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද
සභාපති
ශ්‍රී බුද්ධවර්ෂ 2505.
ත්‍රිපිටක කාර්ය්යාලය, ධර්මදූතාශ්‍රම විද්‍යාලය,
දෙමටගොඩ, කොළඹ 9.
සංඥාපනය
අපදානපාළි:
නිකාය විසින් සූත්‍රාන්ත පිටකාන්තර්ගත ඛුද්දකනිකායෙහි එන, පාවචන විසින් පඤ්චවිධධර්මයෙහි වැටෙන, රස (සම්පත්) විසින් විමුක්ති රසයෙහි - සංසාර දුඃඛනිවෘත්තියෙහි යෙදෙන, ශාස්තෘශාසනාඞ්ග විසින් ගාථාංගයෙහි ලා ගැනෙන, ධර්මවිභාග විසින් ජාතක, බුද්ධවංස, පෙතවත්ථු, විමානවත්ථු ආදිය මෙන් කම්මස්සකතාඥානයෙහි වැටෙන අපදානපාලිය ආශය වශයෙන් බුද්ධාපදාන, පච්චෙකබුද්ධාපදාන, ථෙරාපදාන, ථෙරී අපදාන යි කාණ්ඩ සතරෙකින් යුක්ත වේ. එහි බුද්ධාපදාන, පච්චෙකබුද්ධාපදාන සහිත ථෙරාපදානයෙහි වර්ගසඞ්ඛ්යාව පස් පණසෙකි. ථෙරී අපදානයෙහි වර්ග දශයෙකි. මෙසෙයින් වර්ග පන්සැටක් ඇති මෙහි අපදානයෝ පන්සිය අනූසෙකි. ඒ ඒ අපදානයෙහි එන ගාථාවන්ගේ මුළුගණන සත්දහස් සසිය එකූන් විස්සෙකි.
ප්රකීර්ණවිපාකයෙන් සැදුනු උදාරචරිතයන් පූර්වෙනිවාසඥාන ප්‍රතිසංයුක්ත වෘත්තාන්තකථායෙන් විභාවනා කිරීම අපදාන ශබ්දයේ යථාර්ථය වේ.
“අපදානසඤ්ඤෙ කාරණ ගහණ අපගමන පටිපාටි අක්කොසනාදීසු දිස්සති - පෙ- ඉධ පන කාරණෙ දිස්සති. තස්මා බුද්ධානං අපදානානි බුද්ධාපදානානි, බුද්ධකාරණානීති අත්ථො” යි කියූ.
අපදානශබ්දය කාරණ, ග්‍රහණ, අපගමන, පටිපාටි, ආක්රොශන ආදී අර්ථයෙහි පෙණේ... මෙතන්හි ‘අපදාන’ ශබ්දය කාරණයෙහි දැක්වෙයි. එහෙයින් බුදුවරයන්ගේ අපදානයෝ බුද්ධාපදානයෝයි. බුද්ධකාරණ - පැරුම්දැමීම යන අර්ථයි.
මෙසෙයින් සම්බුදු, පසේබුදු, මහ රහත් යන ආර්‍ය්‍යයන් වහන්සේගේ මුළුපුරාණි බිසිදිකාරණ ‘අපදාන’ යි කියු සාරිපුත්තථෙරාපදානයෙහි එකාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයකින් පෙර අනවමදර්ශී සම්‍යක් සම්බුදුන් දවස ශරභංග සම්‍යක්සම්බුද්ධ ශාසනයෙහි අග්‍රශ්‍රාවක පදලාභය පිණිස සරද තාපසයන් තුළ පැවැති කාරණය පැවැසෙයි. මෙලෙසින් අපදානපාළියෙහි එන්නේ සම්‍යක් සම්බෝධි, ප්‍රත්‍යෙකබෝධි, ශ්රාවකබෝධි යි තුන්බෝධින් පිණිස ප්‍රණිධාන කරමින් ඒ ඒ පුද්ගල විශේෂයන් විසින් කරන ලද පුණ්යකර්මයන්ගේ වෘත්තාන්ත කථා සඞ්ග්‍රහය යි
විසඳුගතා:
“පඤ්චෙව අපදානානි පඤ්ච සුත්තානි යස්ස ච ඉදං බුද්ධාපදානන්ති පඨමං අනුලොමතො” යි -
කියූ පිළිවෙළ අනුව මුල එන බුද්ධාපදානය අපදාන පසෙකින් හා සූත්රපසෙකින් හා සමන්වාගත යයි අටුවාවෙහි පැවැසුහ. බුද්ධාපදානාවසානයෙහි එන ‘ඉත්ථං සුදං භගවා අත්තනො බුද්ධචරියං සම්භාවයමානො බුද්ධාපදානියං නාම ධම්මපරියායං අභාසිත්ථ’ යන පාඨයෙන් බුද්ධාපදානය ‘බුද්ධාපදානිය’ නම් ධර්මදේශනා වන සෙ දක්වති. බුද්ධාපදානයෙහි සම්බුදුරජාණන් වහන්සේගේ අතීත කුසලකම්මාපදානයන් හා පුබ්බකම්මපිලොතිකාපදානයෙහි උන් වහන්සේගේ අතීත අකුසලකම්මාපදානය ද දැක්වේ. බුද්ධාපදානයේ නිදානය සාවත්ථියෙහි ජේතවන විහාරය වෙයි. පුබ්බකම්මපිලොතිකාපදානයෙහි නිදානය අනවතප්තදහතීරය අසළ පිහිටි ගල්තලායෙකි. මෙසේ මෙ අපදාන දෙකට නිදාන දෙකෙක. අපදානලක්ෂණ ද කුශලාකුශල විසින් දෙකෙකි. බොධිසත්වයන් අතීත භවයෙහි කළ අකුශලකර්මයකට ප්රවෘත්ති වශයෙන් ඉහාත්මයෙහි දුන් විපාක දොළොස පුබ්බකම්මපිලොතිකාපදානය යි කියැවෙයි.
පච්චෙකබුද්ධාපදානයෙහි සුත්ත නිපාතයෙහි එන ඛග්ගවිසාණ සූත්‍රාගත ගාථා ද එහි ගම්භීර ධර්මාර්ථ සංදීපනය ද ඇත.
අපදානපාළියෙහි එන රහත් තෙරහු බොහෝ දෙනෙක් ථෙරගාථාපාළියෙහි දු දැක්වෙති. අපදානපාළියෙහි එනුයේ උන් වහන්සේගේ පූර්වචරිතාපදාන ගාථා පමණෙකි. ථෙරගාථායෙහි උන් වහන්සේගේ ප්රව්රජ්යාසන්තාපච්ඡේදයෙහි වැටෙන උදානගාථා එයි. මෙසෙයින් ගත් කල අපදානපාළී, ථෙර - ථෙරීගාථාපාළී යන ග්රන්ථයන්හි අපදාන පිළිබඳ විසඳුගතා පෙණෙයි.
ථෙරාපදානයන්හි -
“කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා නාගොව ඡින්නබන්ධනො විහරාමි අනාසවො. ස්වාගතං වත මෙ ආසි බුද්ධස්ස සන්තකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.”
යන ගාථා ද ඇත. මේ උදානගාථා ෂඩභිඥ මහරහතුන් විසින් ම ගැයූ සේ පෙණේ. එහෙත් ථෙරගාථාට්ඨකථායෙහි දැක්වෙන චක්ඛුපාල නම් සුක්ඛවිපස්සක රහත් තෙරහු අපදානපාළියෙහි උම්මාපුප්ඵිය තෙරහ යි සඳහන් කොට ඇත. සුක්ඛවිපස්සක රහත්නට ෂඩභිඥ මහරහත්නට අයත් ත්‍රිවිද්‍යා, ප්‍රතිසංවිදා, විමොක්ෂ, ෂඩභිඥ යන ගුණවිශෙෂයෝ නැත. එසේ වුව ද උම්මාපුප්ඵියත්ථෙරාපදානයෙහි ෂඩභිඥ ක්‍ෂීණාස්‍රවයන්ගේ උදානගාථා උක්ත නයින් එයි. ඒ ඒ ඇදුරෝලෙහි එක්වන් තෙරණුවන් පිළිබඳ මතභේද පැවැති සේ මෙයින් සිතියැහෙන්නේ ය.
විමංසිය යුතුයි:
අපදානපාළියෙහි එන පුබ්බකම්මපිලොතිකාපදානය වෙසෙසින් විමසුමට නිස්සැ. එ ද බුද්ධාපදානයෙකි. එහි එන කර්මවිපාකයන් කෙරෙහි:
“වෙමත්තානං පුබ්බෙ ධනහෙතු හනිං අහං, පක්ඛිපිං ගිරිදුග්ගස්මිං සිලාය ච අපිංසයිං තෙන කම්මවිපාකෙන දෙවදත්තො සිලං ඛිපි, අබභුයිං පිංසයි පාදෙ මම පාසාණසක්ඛරා” යි
බුදුරජුන්ගේ අකුශලකර්මවිපාකයෙක් එයි. දෙව්දතුන් විසිබු ගල්කුළ බුදුන් කරා නො අව ද පපටිකායෙක් නැගී ඔබ පයැ ලේ සෙල් විය. විනවළායෙහි දී “භගවතො පාදෙ රුහිරං උප්පාදෙසි” යනුයෙන් බුදුන් පයැ ලේ උපන් බව කියු. අපදානයෙහි දී “අබභුයිං පිංසයි” යනුයෙන් මහපට ඇඟිලි තැළු සෙ කියැවෙයි. බුදුන් කය වජ්රකාය වන බැවින් පරොපක්‍රමයෙන් කායභෙදයෙක් නොවියැ හෙන්නේ යැ.
තෙල රුධිරොත්පාදන පූර්වකර්මහෙතුයෙනැ යි අපදානයෙහි දක්වති. එසේ දැක් වුව ද මිලින්ද ප්‍රශ්නයෙහි එන සෙ බලත්ම පරස්පර විරෝධයෙක් පෑනේ. “අපි ච මහාරාජ, නත්ථි භගවතො කම්මවිපාකජා වෙදනා, නත්ථි විසමපරිහාරජා වෙදනා. අවසෙසෙහි සමුට්ඨානෙහි භගවතො වෙදනා උප්පජ්ජන්ති” යනුයෙන් කර්මවිපාකජ වූත් විෂමපරිහාරජ වූත් වෙදනා බුදුනට නැතිසෙය ද, අවශෙෂ සමුට්ඨානයෙන් වෙදනා උපදනා සෙය ද දක්වා “න සා සකලිකා පුබ්බෙ කතෙන භගවතො පාදෙ නිපතිතා,” යනුයෙන් ඒ ගල් පහර පූර්වකර්මහෙතුයෙන් නො වූ බව සාප්රත්ය කොට කියත්. මිලින්ද ප්‍රශ්නයෙහි එන පරිදි එය ප්රතික්ෂෙපනහෙතුයෙන් වූ ඖපක්රමිකවෙදනායෙකි. සාරත්ථදීපනී ටීකා කල ශාරිපුත්‍ර සංඝරාජාදීහු අපදානය ප්‍රමාණ කොට ගෙණ වෙරඤ්ජායෙහි දී යව වැළඳීම ආදිය පූර්වකර්මවිපාක සේ කියති. මිලින්දප්රශ්නය ප්‍රමාණ කොට නොගත් සේ ය. මෙය හීනයානිකායික මතභේදයෙක් දැ යි ධර්මධරයන් විසින් විමංසිය යුතු. මෙබඳු බොහෝ තැන් අපදානපාළියෙහි ඇත ද එක් කරුණක් ගෙණ දිග්බාත්රයක් දැක්වීමිහ.
කල්පිතමත:
අපදානපාළිය විවෙචනය කරණ සමහරු ථෙරාපදානයෙහි එන
“අභිධම්මනයඤ්ඤූහං කථාවත්ථු විසුද්ධියා සබ්බෙසං විඤ්ඤාපෙත්වාන විහරාමි අනාසවො.”
යන ගාථාව ඇරැ පාමින් “නිසැකයෙන් ‘කථාවත්ථුවිසුද්ධියා’ යනුයෙන් කථාවත්ථුප්පකරණය සඳහන් කෙරෙති”යි කියත්. මෙසෙයින් සාධක තබා මොග්ගලීපුත්තතිස්ස මහ රහතුන් විසින් ප්‍රණීත කථාවත්ථුප්පකරණ නමැති අභිධර්මප්රකරණයෙන් පසු අපදානය සැකැසිනැ යි බණෙත්.
ප්රවොක්ත ගාථාවෙහි ‘කථාවත්ථුවිසුද්ධියා’ යන්නේන් අපෙක්ෂිත වන්නේ කථාවත්ථුප්පකරණය නො වේ. පුණ්ණමන්තාණිපුත්ත මහ රහතුන්ගේ අපදානයෙහි එන තෙල ගාථාවෙහි යථාර්ථය නම්:
“ඒ සියුමැඳුරු බුදුන් කල විභජනය දක්වා (කථාවස්තුප්රවිභාගයෙහි දක්ෂ වූයෙම් ද ඒ) කථාවස්තු විශුද්ධිය හැම මහණුන්ට හඟවමින් ක්ෂීණාස්රව වූයෙම් වෙසෙමි’ යනු යි.
“කථාවත්ථුවිසුද්ධියාති=කථාවත්ථුපකරණ විශුද්ධියා ඡෙකො; අප්පිච්ඡකථා සන්තුට්ඨිකථාදීසු වා දසසු කථාවත්ථුසු ඡෙකො. තාය කථාවත්ථු - විසුද්ධියා” යනු අටුවා යි. මෙය ‘කථාවත්ථුවිසුද්ධියා’ යන පදයෙහි අර්ථය යි දන්නේ ය.
බුද්ධ කාලයෙහි විසූ ධර්මකථික මහ තෙරුන් අතුරෙහි පුණ්ණමන්තාණි - පුත්ත තෙරහු අග්රතැන්පත් වූහ. උන් වහන්සේ සබ්රහ්මසරුනට දසකථා වස්තුවෙන් දම් දෙසුහ. මෙහි ලා මජ්ඣිමනිකායෙහි එන රථවිනීත සූත්‍රය ද බලන්නේ ය. පුණ්ණාපදානයෙනුදු එබව ස්ථිර වෙයි. තෙල ගාථාහි එන ‘කථාවත්ථු’ නම් ප්රවිභාගොචිතධර්මකථාවස්තු හෝ ශාසනයෙහි ප්‍රසිද්ධ ‘අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලසම්පදාකථා, සමාධිසම්පදාකථා, පඤ්ඤාසම්පදාකථා විමුත්තිසම්පදාකථා, විමුත්ති ඤාණදස්සනසම්පදාකථා, යන දශකථාවස්තුයි.
තවද ඒ වාදීහු අංගුත්තර නිකායාගත පඤ්චක නිපාතයෙහි යොධාජීව වග්ගයට අයත් නවවැනි අනාගතභය සූත්‍රයෙහි සිවු වැනි කරුණ ගෙණ හැර පාමින් “භික්ෂූන් තථාගතභාෂිත වූ... සූත්‍රයන් පසෙක තබා ශ්‍රාවකභාෂිත වූ කාව්‍ය ප්‍රබන්ධ ප්‍රගුණ කරන්ති යි වදාළසේකැ” යි කියමින් අපදානපාළී, ථෙරගාථාපාළී, විමානවත්ථු, පෙතවත්ථු ආදි ඛුද්දකනිකායික පොත්පෙළ ශ්රාවකභාෂිතයෙහි තබමින් ඒ හැම පාවචනයට අයත් නොවැති’යි කියත්. සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙහි ශ්‍රාවකභාෂිත වූ ධර්මස්කන්ධයෝ දෙදහස ද බුද්ධ දේශිත ධර්මනයානුකූල වන බැවින් බුද්ධ භාෂිත පාවචන වෙත්. එහෙයින් ඛුද්දකනිකායෙහි එන අපදානපාළිය වැනි ග්රන්ථ බුද්ධදෙශනා අනුව ගාථාබන්ධයෙන් තැනුනාහු ‘කවිකෘති’ වෙති යි පෙන්වීමට කරණ යත්නය උන්මාර්ගයෙහි වූ ව්යායාමයෙකි. සම්බුදුරජාණන් වහන්සේගෙන් එහිභික්ෂුභාවයෙන් පැවිදි උපසපන් ලද මහරහතුන් වහන්සේ බොහෝ දෙනෙක් අපදානයෙහි එත්. සාරිපුත්ත, මහාමොග්ගල්ලාන, අඤ්ඤාකොණ්ඩඤ්ඤ, මහාකස්සප, අනුරුද්ධ, උපාලි, පුණ්ණමන්තාණිපුත්ත, පිණ්ඩොලභාරද්වාජ, ඛදිරවනිය රෙවත, ආනන්ද, රාහුල ආදි ක්ෂීණාස්රව මහාශ්‍රාවකයෝ තුමූම ස්වකීය ප්රතිපදාන දෙසුහ. තථාගතපරිනිර්වාණයෙන් පසු ධරමාන වූ උන් වහන්සේ අතුරෙන් ඇතැම් දෙනකුන් වහන්සේ පඨමධර්මසංගීතියෙහි දී සවකීය අපදාන ද ධර්මසඞ්ගීතියට නැගූහ.
ඇතැම් අපදානයෝ ද්විතීය, තෘතීය ධර්මසඞ්ගීතීන්හි පෙළට ආරෝපිත වූහ. අපදානපාළියෙහි බුද්ධසඤ්ඤකථෙර නමින් ද, ථෙරගාථා - පාළියෙහි චිත්තකොසක නමින් ද එන රහතුන් වහන්සේගේ අපදානය තෘතීයධර්මසංගීතියෙහි දී පෙළදහමට ඇතුළත් වූ එක් අපදානයෙකි. තෘතීය ධර්මසංගීතියෙන් පසු අපදානපාළියට හෝ ථෙරගාථාපාළියට ඇතුළත් කළ අපදානයෙක් නැත. නිදර්ශීන වශයෙන් දක්වත් ම අනාගත සම්බුද්ධශාසනය සුරක්ෂිත කොට තැබීමට මහාපරිශ්රම දැරූ මොග්ගලි - පුත්තතිස්සත්ථෙර, මහාමහින්දත්ථෙර බඳු මහාක්ෂීණාස්රවයන් වහන්සේගේ අපදාන හෝ උදානගාථා අපදානපාළී ථෙරගාථාපාළී ආදියෙහි නැත. මේ පොත් පශ්චාත්කාලීන ‘කවිකෘති’ නම් උන් වහන්සේගේ ද අපදාන වාර්තා එහි ඇතුළත් කටයුතු ම වෙති යි එහෙත් එබන්දෙක් පෙළපොත්හි නො පැණෙයි. මෙ කරුණෙනුදු ඛුද්දකනිකායාන්තර්ගත ඒ පොත් පශ්චාත්කාලීනකෘති නොවන බව පැණේ. “පාළි අපදානය සංස්කෘතාපදානයට පසුකලෙක සඞ්ග්‍රහ කරණ ලද්දෙකැ” යන තර්කය ද එයින් ම බිඳේ.
භාෂා තත්වය හා පද රීති.
තථාගතයන් වහන්සේගේ ධරමාණකාලයෙහි සිට පැවැතෙන අපදානගාථාපාළිය පුරාතනාචාර්ය්යයන් වහන්සේ විසින් සමාදෘතය. රත්නත්‍රය ශරණපරායණ හිතකාමී ජනයාට ප්රසාදජනනය කරවන්නේකි. පුනර්භවවාදය, කර්මවාදය වැනි සූක්ෂ්මධර්මාර්ථ නිරූපණය කරණ හස්තසාරයෙකි. සරල, සුමධුර, පරිශුද්ධිත භාෂාවෙන් සමෘද්ධික අපදාන ගාථාවෝ අසන, කියන, කියවනුන්ගේ ලැක්මෙහි පොහොසත් වෙත්. අර්ත්ථව්යඤ්ජන සම්පත්තියෙන් පිරිපුන් අපදාන ගාථා වීර, කරුණා, ශාන්ත, අද්භූත ආදි රස වහන විශෙෂපදඝටනායෙන් ඖචිත්‍ය සම්පන්නය.
අවදානසාහිත්‍යය:
භාරතයෙහි උත්තරදේශීයබෞද්ධයන්ගේ අවදානසාහිත්යයෙක් ද ඇත. එය අපදානපාළියට වඩා වයසින් දෙටු තන්හි ලා හැරැ පාන්නාහු ද ඇත. ථෙරීය නිකායෙන් භින්න වූ සර්වාස්තිවාදී භික්ෂූහු ද අනුක්රමයෙන් අවදාන සාහිත්‍යයක් ගෙතූහ. සූත්‍රපිටකයෙහි එන පඤ්ච මහා ආගමයන් හා විනය පිටකය හා පිටුවහල් කොට ගෙණ ඔවුන්ගේ අපදානසාහිත්යය ක්‍රමයෙන් ප්රාථුල්යයට ගියේ ය. ශාසනෙතිහාසයෙහි අවදාන සාහිත්‍යයට ලැබෙනුයේ අපදාන පාළියට වඩා කනිටු තැනෙකි. සංස්කෘතබෞද්ධ සාහිත්‍යයෙහි ද්වාදශාඞ්ගප්රවචනයෙක් එයි:
“සූත්රං ගෙයං ව්යාකරණං ගාථොදානාවදානකම්, ඉතිවුත්තකං නිදානඤ්ච වෛපුල්යඤ්ච සජාතකම්, උපදෙශාද්භුතධර්මෞ ද්වාදශාඞ්ගමිදං වචඃ”
යන ශ්ලොකයෙහි සඳහන් වනුයේ එ ද්වාදශාංගප්රවචනයි. අවදානාංගය ද ඔවුන් අතුරෙහි එක් අංගයෙකි. ඒ අවදානාංගයෙහි වැටෙනුයේ අවදානශතක, මහා වස්තු, දිව්‍යාවදාන, ජාතකමාලා, කල්පද්රැමාවදානමාලා, අවදානකල්පලතා ආදි ග්රන්ථසමුදයයි. මොවුනතුරෙහි පැරණි ම පොත නම් අවදානශතකයයි. එ ද ක්රිස්තුපුර්ව ප්‍රථම ශතවර්ෂයට වඩා පැරණි නො වේ. අවදානසාහිත්යයෙහි එන හැම ග්රන්ථයෙක්හි ඇති බොහෝ චරිතාවදානයෝ පාලිසාහිත්‍යයෙහි ද එති. මහා වස්ත්වවදානය හීනයානිකායික වන අතර දිව්‍යාවදානය සර්වාස්තිවාදීන් සතුය. එය ක්‍රිස්තුවර්ෂ විංශති සංවත්සරයෙහි සඞ්ගෘහිත ය. අවදානකල්පලතාව කාශ්මීරදේශීය ක්ෂෙමෙන්ද්රයන් විසින් එකොළොස් වන සිය වස්හි ලියැවින. මෙසේ පාලිසාහිත්යානුභාසයෙන් සඞ්ගෘහිත බෞද්ධග්රන්ථපරම්පරායෙහි ඉතිහාසය අනුව සලකත්ම පාලි සාහිත්‍යය ආශ්‍රය කොට ගෙණ සංස්කෘතාවදාන සාහිත්‍යය විකසිත වූ බව සහෙතුක ව පෙණෙයි. එහෙයින් අපදානපාළිය සංස්කෘතාවදාන සාහිත්‍යය ඇසුරින් සඞ්ගෘහිත යයි කිම අතාථ්‍ය යැ.
අපදානපාළියේ සිංහලපරිවර්තනය:
සම්පූර්ණ අටුවා පෙළෙකින් හෝ ටීකායෙකින් හෝ පැරණි සන්නයෙකින් වහලක් නොලැබිය හෙන අපදානපාළි නම් වූ මේ පද්යධර්මග්රන්ථය හෙළබසට පරිවර්තනය කිරීමේ කාර්‍ය්‍යයෙහි තත්පරවූවෝ කොළඹ දෙමටගොඩ ජයශෙඛරාරාමාධිපති, ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි ද කථිකාචාර්ය්යයකු වූ පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේය. ධර්මඥානය හා භාෂාශාස්ත්රඥානය ඇති ජනප්රියධර්මකථික ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ ස්වකීය කාර්ය්යය මැනවින් ඉටු කොට ඇත. පර්‍ය්‍යාප්ති ශාසනසංග්රහය පිණිස වූ මේ අධිකාරයෙන් පණ්ඩිත ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේ ලත් පුණ්‍යමහිමය ද ප්රශංස්ය අපදානයක් වේවා.
පරවාහැර වජිරඤාණ ස්ථවිර. ධර්මදූතාශ්‍රම විද්‍යාලය, දෙමටගොඩ, කොළඹ - 9.
පරවාහැර වජිරඤාණ ථෙර.
ධර්මදූතාශ්‍රම විද්‍යාලය,
දෙමටගොඩ, කොළඹ - 9.