38-KN-Patisambhidamaggappakarana 2.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 1971
- මුද්‍රිත වර්ෂය :
- 1971
- පිටු ගණන :
- 263
- බාගත කිරීම් ගණන :
- 1,345
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-07-20
- ගොනුවේ ප්‍රමාණය :
- 54 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 35 වන වෙළුම (ඛුද්දක නිකාය 13 වන භාගය) ලෙස පළ වූ පටිසම්භිදාමග්ගප්පකරණ - දෙවන භාගය මෙහි අන්තර්ගත වේ. මෙම වෙළුමට පටිසම්භිදාමග්ගයෙහි යුගනද්ධ වර්ගය සහ පඤ්ඤා වර්ගය යන ප්‍රධාන කොටස් දෙකෙහි එන කථා විස්සක් (20) ඇතුළත් වේ.
මෙහි පාඨශෝධනය සහ සිංහල අනුවාදය සිදු කර ඇත්තේ අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් වහන්සේ සහ රාජකීය පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසිනි. ලක්දිව පුස්කොළ පොත් සහ විදේශීය මුද්‍රිත පොත් ආශ්රයෙන් දුෂ්කර පාඨශෝධනයක් සිදු කොට පෙළ සහ සිංහල පරිවර්තනය මුහුණට මුහුණලා සිටින සේ සම්පාදනය කර ඇත.
මෙම වෙළුම බුද්ධ වර්ෂ 2515 (ක්‍රි.ව. 1971) දී ලංකාණ්ඩුවේ අනුග්‍රහයෙන් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී.
සංස්කාරක නිවේදනය
සූත්‍රාන්තපිටකයේ කුදුගත්සඟියට අයත් පටිසම්භිදාමග්ගප්පකරණ-යෙහි ද්විතීය භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්රන්ථමාලාවෙහි පන්තිස් (35) වැනි ග්‍රන්ථයේ ද්විතීය භාගය යි. පටිසම්භිදාමග්ගප්පකරණය එක් මැ ග්රන්ථයක් ලෙස සලකන ලද නමුත් ග්‍රන්ථය ප්‍රමාණයෙන් විශාල වූ හෙයින් පරිශීලනය කරන්නවුන්ගේ පහසුව සඳහා ප්‍රකරණයේ පළමුවැනි වූ මහාවර්ගය ප්‍රථම භාගය සැටියෙන් ද, යුගනද්ධ - පඤ්ඤා යන වර්ග ද්වය ද්විතීයභාගය සැටියෙන් ද පළකරවීමට සම්මත කරන ලද්දේ ය. එහෙයින් මෙය ඛුද්දකනිකායෙහි ත්‍රයොදශ (13) භාගය වේ. මේ ද්විතීය භාගය යුගනද්ධවර්ගයෙහි ‘යුගනද්ධ කථා’ ආදි දශකථාවෙකින් ද, ප්රඥාවර්ගයෙහි ‘පඤ්ඤාකථා’ ආදි දශකථාවෙකින් දැයි විසි කථාවෙකින් ප්‍රතිමණ්ඩිත වෙයි.
පටිසම්භිදාමග්ගයෙහි දෙවැනි තුන්වැනි වර්ගද්වය සිංහල භාෂායෙන් අනුවාදය සඳහා ශ්‍රී ලංකා බෞද්ධමණ්ඩලය විසින් පණ්ඩිත මහාස්ථවිර දෙපොලක් වෙත පවරන ලද නමුත් එහි පාඨශෝධනය හෝ පරිවර්තනය හෝ සම්‍යක්ත්‍වයට නො පැමිණියෙන් එ මැ කෘත්යනීහාරය සංස්කාරකමණ්ඩලය මගින් අප වෙත පවරන ලද විය. දවරැ දෙක විවිධ කාර්ය බාහුල්‍යයෙන් මිරිකෙමින් සිටිමිනුදු සිංහල අනුවාදය සහිත පරිශුද්ධ ත්රිපිටකධර්මය ඉතා ඉක්මනින් ඇස්හමු කරනු සඳහා මේ ඉමහත් බර හිසින් පිළිගෙන 1962 දී පාඨශෝධනය හා පරිවර්තනය නිමහම් කලෙම්හ.
මේ දුෂ්කරයෙහි ලා අප දහම් අතවැසි කලණමිත් කරහම්පිටිගොඩ සුමනසාර පණ්ඩිත ස්ථවිරයන් වහන්සේගේ අනන්යොපස්ථානය ද, ත්‍රිපිටක සංස්කාරක උන්නතිරමණමණ්ඩලයේ සහාය ද අපට ලැබුණුබව පවසම්හ. මෙතෙක් ලක්දිවැ මුද්‍රණයෙන් ප්‍රකාශයට නොපත් ත්‍රිපිටකයේ ග්රන්ථ රත්නයක් වූ ‘පටිසම්භිදාමග්ගප්පකරණය’ පළකරවාලීමෙන් ජාතික කුශලයෙන් දිවංගත පරමෝපකාර ශ්‍රී විජයනාභිධාන නා හිමිපාණන් වහන්සේ හා ශ්රීලංකාරක්ෂය හා සංස්කෘතික කෘත්යාංශයෙහි අධිකාරීහුද මුද්රණකාර්යාලයෙහි නියුක්ත වූ පින්වත්හු ද ලොව් ලොවුතුරාසුව ලබත්වා’ යි ආශංසනය කරම්හ.
මීට - ලොව්සුන්වැඩ පසස්නා
ලබුගම ලංකානන්ද ස්ථවිර
ත්‍රිපිටක සංස්කාරකමණ්ඩලයේ
ප්‍රධාන සම්පාදක.
1971. 8. 21 ත්‍රිපිටක කාර්යාලය,
කොළඹ මහානායකවාරිකාරාමය,
115, විජේරාම මාවත,
කොළඹ 7.
සභාපති ප්‍රකාශය
ආගම නාමයෙන් ප්‍රසිද්ධ පස්මහ සඟියෙහි ඛුද්දකනිකායට් ඇතුළත් ‘පටිසම්භිදාමග්ග’ දෙවන භාගය මෙය වේ. මෙහි පළමු වන භාගය කලකට පෙර මුද්‍රිත වියැ. ප්රතිසම්භිදාමාර්ගප්රකරණය පිළිබඳ වැ කියයුතු හැම එහි සංඥාපනයෙහි සඳහන් වනුවෙන් මෙහි දී ද ප්‍රකාශ කිරීම අවශ්‍ය නො වේ.
බුද්ධජයන්තිය නිමිති කොට පාළිධර්මය සියබසට හරවා මහාජනයා අත තබන්නට ලක්රජය ඉදිරිපත් වීමෙහි ප්‍රතිඵල වශයෙන් මෙසේ ‘පටිසම්භිදාමග්ග’ ය ප්‍රකාශයට පත් වෙයි. මෙයට කලින් මේ ප්‍රකරණය දිවයිනෙහි මුද්‍රිත නො වී යැ. විදෙශයෙහි මුද්‍රිත පොත් ද මෙරටැ පුස්කොළ පොත් ද සසඳා බලත් මැ විවිධ පාඨ ආකුල ව්‍යාකුල වැ ඇති බව පෙනේ. එයින් මෙහි පරිවර්තනකෘත්යයට වඩා පාඨශෝධනය අතිශය දුෂ්කර දැයක් වැ පැවැතිණ. එසේ වුව ද, තෙල මුද්‍රණයෙහි ලා පණ්ඩිතජනයාගේ ප්‍රසාදයට හේතු වන සැටියෙන් පාඨශෝධනය බෙහෙවින් සම්පූර්ණ වැ ඇත. යුගනද්ධ-කථාවසානයෙහි සිටි ගාථාපන්තියෙහි ශොධන ආදිය හා තෝරා අබෝලිපි කළ පාඨාන්තර හා බලත් මැ පාඨශෝධනයෙහි විශිෂ්ටතාව වටහාගත හැකි වෙයි. මේ කාර්යයෙහි දී තර්කව්යාකරණාදියෙහිත් සාහිත්‍ය, ත්රිපිටකපාළියෙහිත් ගහල බුද්ධි ඇති පණ්ඩිතාචාර්ය ලබුගම ශ්‍රී ලංකානන්ද අනුනායක මහාස්ථවිරයන් වහන්සේ නියුක්ත වූ හ. පරිවර්තන කාර්යයෙහි ලා භාෂා ශාස්ත්රාදියෙහිත් ධර්ම විනයෙහිත් පරිපක්ව බුද්ධි ඇති රාජකීයපණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාරස්ථවිරයන් වහන්සේ ඔබට සහාය වැ සිටියහ. මෙසේ මේ දෙදෙනා වහන්සේ කල ශාසනොපග්රහය ඉතා උසස් කොට මෙහි දී ප්‍රකාශ කරම්හ.
මහාජනයා කෙරෙහි අප්‍රකාශ වැ පැවැති ‘පටිසම්භිදාමග්ග’ ය සියබසින් කියවා ශාසනය කෙරෙහි ශ්‍රද්ධાસම්පත් ඇති කොට ගෙනැ දෙලොව්වැඩ හා කෙළවර නිවන්සම්පත් සිද්ධ කැරගනිත්වයි පතම්හ.
ශාසනස්ථිති කැමැති,
කෝදාගොඩ සිරිඤාණාලොක නායකස්ථවිර
ත්රිපිටකමණ්ඩලයෙහි සභාපති.