37-KN-Patisambhidamaggappakarana 1.pdf

ප්‍රකාශිත වර්ෂය :
1971
මුද්‍රිත වර්ෂය :
1971
පිටු ගණන :
550
බාගත කිරීම් ගණන :
1,558
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-07-20
ගොනුවේ ප්‍රමාණය :
116 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 276

මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා රජය මගින් මුද්‍රණය කරවන ලද බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 35 වන වෙළුම (සූත්‍රාන්ත පිටකයේ 29 වන ග්‍රන්ථය) වන පටිසම්භිදාමග්ගප්පකරණ (ඛුද්දක නිකාය - ත්‍රයොදශ භාගය / 1 වන කොටස) වේ. මෙහි පාලි පෙළ සහ සිංහල අනුවාදය මුහුණට මුහුණලා පෙළගස්වා ඇත.

මෙහි පෙළ ශෝධනය මහා මහෝපාධ්‍යාය මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි උපප්‍රධානාචාර්ය්‍ය ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිරයන් වහන්සේ විසින් සිදුකර ඇති අතර, සිංහල අනුවාදය උන්වහන්සේ සහ උඩමාකඩවර පුරාණ විහාරවාසී පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කරන ලදී.

සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලදැයි සැලකෙන පටිසම්භිදාමග්ගයෙහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිවුපිළිසැඹියාවන් ප්‍රගුණ කිරීමට උපකාරී වන ගැඹුරු ධර්ම විග්‍රහයන් සහ සූත්‍ර විවරණ අන්තර්ගත වේ. මෙම ප්‍රථම භාගයෙහි මහා වර්ගය ඇතුළු විස්තරාත්මක මාතෘකා රැසක් විග්‍රහ කෙරේ.

සංස්කාරක නිවේදනය

පටිසම්භිදාමග්ගප්පකරණ ශොධනය

සම්බුද්ධපරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය වසක් ඉක්මයාම නිමිත්ත කොටගෙන බුද්ධ ජයන්ති මහෝත්සවය උත්කර්ෂයෙන් පැවැත්වීම සඳහා තත්කාලීන ලංකාරාජ්‍යයේ ද අනුග්‍රහයෙන් ඇරැඹුණු බෞද්ධ මණ්ඩලය මගින් සංවිහිත වූ ශාසනොපකාරික කෘත්‍යයන් අතුරෙහි ප්‍රශස්‍ය වූයේ ත්‍රිපිටක පාළිය හෙළබසින් තැබීමේ අතිශය දුෂ්කර කාර්‍ය්‍යය යි. 1955 දී ත්‍රිපිටක ග්‍රන්ථ හෙළබසට නඟාලීම සඳහා සුදුසුකම් ඇති භික්‍ෂූන් වහන්සේ පත්කර ගැනීමේ දී පටිසම්භිදාමග්ගයෙහි වර්ග තුන වෙන වෙන ම මහතෙරවරුන් තුන්නමකට භාර කරන ලද විය. එහෙත් එහි ඇතැම් කොටස් 1959 වර්‍ෂය වන තුරු ද ශොධනය හා පරිවර්‍තනය නිමාවට නො පැමිණියේ විය. නිමවා තුබූ කොටස්හි පවා ශොධනය හා පරිවර්තනය ප්‍රමාණ නොවන බව පෙනීගිය හෙයින් උත්තරීතර සංස්කාරක මණ්ඩලය විසින් පටිසම්භිදාමග්ගයෙහි සපූරා ශොධනය හා පරිවර්‍තනය අප වෙත පවරන ලද්දේ ය.

ලක්දිව මෙතෙක් මුද්‍රණයට නො පැමිණුවා තුබූ පටිසම්භිදාමග්ගයේ ශොධනය ආයාස උපදවන කරුණක් බව පෙනීගියෙන් පුස්කොළ පිටපත් බොහෝ ගණනකුදු සපයාගෙන, සියම්රට තායි-අක්‍ෂරයෙන් මුද්‍රිත පොත ද, එංගලන්තයේ පාළිපොත් සමාගම මගින් පළකරවනලද පොත ද, බුරුමරට ඡට්ඨසංගීති පුස්තකය ද ඇසුරු කෙරෙමින් සූත්‍රාන්තපිටකයෙහි වෙනත් ග්‍රන්ථයනුදු වහල් කොටගෙන පටිසම්භිදාමග්ගය මුළුල්ලැ ශුද්ධියට පමුණුවන ලද්දේ ය. කල් නොයා දී මැ පරිවර්තනය ද නිමවන ලද්දේ ය. පරිවර්තන අවස්ථාවෙහි ලා පණ්ඩිත කරහම්පිටිගොඩ සුමනසාර ස්ථවිරයන් වහන්සේ මුල සිට මැ සහාය වූහ. 1962 දී පරිවර්තනය අවසන් කොට මුද්‍රණයට ඉදිරිපත් කරනලද නමුදු මුද්‍රණකාර්යයෙහි ක්‍රමානුකූල සංවිධානයක් නොවුයෙන් පළකරවාලීම මෙතෙක් පමාවූ බව ද පවසම්හ.

තවද පටිසම්භිදාමග්ගපාඨශොධනයෙහි දී හා පරිවර්‍තනයෙහි දී ද දෙමටගොඩ පධානඝරවිහාරාධිපති වැ වැඩවිසූ ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක වැ සිටි පරම ගෞරවාස්පද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්‍ය දර්ශනවිශාරද පරවාහැර ශ්‍රී වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා එකාබද්ධ අමරපුරමහානිකායේ මහානායකධුරීණ අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අභංගම විද්‍යාවංශ පරිවෙණාධිපති ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය්‍ය පණ්ඩිත කොළඹගොඩ ඥානාලොකාභිධාන දක්‍ෂිණලංකායෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ හා සදුපදේශදානයෙන් උපස්තම්භ වූහ. මෙහි ලා දෙමටගොඩ ධර්‍මදූතාශ්‍රම විද්‍යාලයාධිපති භාෂාන්තරවිශාරද ශ්‍රී වජිරඥාන පණ්ඩිත පරවාහැර ප්‍රඥානන්ද (බී. ඒ. ගෞරව ලන්ඩන්) කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ ද කෘතඥතාපූර්වක වැ සඳහන් කරම්හ.

ලබුගම ලංකානන්ද අනුනායක ස්ථවිර. ත්‍රිපිටකසම්පාදක මණ්ඩලයේ ප්‍රධානසම්පාදක
20. 12. 70
ප්‍රවචනොදය පිරිවෙන.

සංඥාපනය

‘‘යො පබ්බජී ජාතිසතානි පඤ්ච පහාය කාමානි මනොරමානි, තං වීතරාගං සුසමාහිතින්‍ද්‍රියං පරිනිබ්බුතං වන්දථ සාරිපුත්තං’’

පටිසම්භිදා

පටිසම්භිදා (පිළිසැඹියාව) සතරෙකි. ‘අත්ථ, ධම්ම, නිරුත්ති, පටිභාන’ යි. ඒ සියුපිළිසැඹියාවනට මාර්ගය, අධිගමයෙහි උපාය නුයි — ‘පටිසම්භිදාමග්ග’ නම් විය. ප්‍රතිසංවිත්ප්‍රතිලාභයෙහි හේතුව යි.

මේ දේශනාව හෝ මේ ප්‍රකරණය ඒ සියුපිළිසැඹියාවනට කිසෙයින් උපාය වෙයි යත්: ප්‍රභේද හෙයින් දෙසනලද ධර්මය හේතු කොටගෙන පිළිසැඹියා නුවණ උපදවන හෙයිනි. එසේ මැ ය: නානාභේදයෙන් ප්‍රභේදයට ගිය ධර්මයන් පිළිබඳ නානාභේදභින්න වූ දේශනාව අසන ආර්යපුද්ගලයන්ට ප්‍රතිසංවිජ්ඥානප්‍රභේදය ද උපදවයි, පුහුදුන් පුහුලනට අනාගතයෙහි ප්‍රතිසංවිජ්ඥානප්‍රභේදයට ද ප්‍රත්‍යය වෙයි. මේ වදාරන ලද මැය: ‘පභෙදගතා හි දෙසනා සවිනිබ්භොගපටිසම්භිදාඤාණාවහා හොති’ යි. මෙ ද අග්‍රසවු සැරියුත් මහ රහතුන් වහන්සේගේ නානාභේදභින්න වූ දේශනායෙකි. එහෙයින් පටිසම්භිදාවනට මාර්ගභාවය සිද්ධ යි.